සාංචිය හා අවට බෞද්ධ නටඹුන්

විකිපීඩියා වෙතින්

පිහිටීම[සංස්කරණය]

උතුරින් රාජස්ථාන්, උත්තර ප්‍රදේශ් හා බිහාර් ප්‍රාන්ත වලින් ද දකුණින් මහාරාෂ්ට්‍ර, ආන්ද්‍රා ප්‍රදේශ්  ප්‍රාන්ත වලින්ද නැගෙනහිරින් බිහාරය හා ඔරිස්සා යන ප්‍රාන්ත වලින් ද බටහිරින් රාජස්ථාන් හා ගුජරාට ප්‍රාන්තවලින් ද මායිම් වී ඇති මධ්‍ය ප්‍රදේශය භාරත දේශය විශාල ම ප්‍රාන්තයයි. වර්ග කිලෝමීටර 443446 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති මධ්‍ය ප්‍රදේශය ඉන්දියාවේ හදවත ලෙස සැලකෙන අතර මෙම භූමි කලාපීය විසිරී සිටින ජනගහනය මිලියන හැත්තෑවකට අධිකය.උස් තැනිතලා භූමියක් වන මෙම ප්‍රදේශය තැනින් තැන විසිරුනු කඳු පන්ති රාශියක් දකින්නට ලැබෙන අතර ග්‍රීෂ්ම  කාලයේ දී වියළි උණුසුම් දේශගුණයක් පවතී.

ඈත අතීතයේ සිට පැවත එන ගොන්ඩ හා බිල් ගෝත්‍රිකයෝ තවමත් මෙම භූමියේ තැනින් තැන විසිරී සිටිති. මධ්‍ය ප්‍රදේශ ජනගහනයෙන් වැඩි පිරිසක් හින්දි භාෂාව ව්‍යවහාර කරන අතර ප්‍රධාන ආගම හින්දු ධර්මය යි. අතීතයේදී මෙම ප්‍රදේශය මල්වා යන නමින් හැඳින්වූ බව ඓතිහාසික මූලාශ්‍ර වල සටහන් වෙයි. ඉන්දියානු ඉතිහාසයේ දී මධ්‍ය ප්‍රදේශයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර විශේෂයෙන්ම මෞර්ය වංශිකයන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ද මධ්‍ය ප්‍රදේශයයි.

මධ්‍ය ප්‍රදේශයේ අගනුවර බෝපාලයයි. බෝපාලයට එම නම ලැබුනේ මෞර්ය වංශික රජ කෙනෙකු වූ බෝජරාජ රජතුමාගේ නමිනි. බෝපාලයේ සිට කිලෝමීටර 45 ක් උතුරු දෙසින් පිහිටා ඇති සාංචි මධ්‍යම ප්‍රදේශයේ ඉතා කුඩා ගමකි. භාරත ඉතිහාසය හැදෑරීමේ දී හමුවන ඉපැරණි නටබුන් අතර ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ මොහන්දජාරෝ ගොඩනැගිලි අවශේෂයන්ටය. ඒ හා සමාන ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් නම් සාංචිය.

බෙට්වා ගඟේ වම් ඉවුරේ සිට අඩි 300ක පමණ උස් බිමක සාංචි බෞද්ධ නටබුන් පිහිටා ඇත. එහි ශේෂව ඇති ඉපැරැණි ගොඩනැගිලි ස්තූප කැටයම් වල ඇති සුවිශේෂත්වය නිසාම එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත. ඉන්දියාවේ දක්නට ලැබෙන අනෙකුත් බොහෝ බෞද්ධ නටබුන් මෙන් සාංචි නටබුන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සමග සෘජු සම්බන්ධතාවයක් දකින්නට නොලැබෙන අතර මෙම ස්ථානයේ හමු වී ඇති පැරණිම ස්තූපය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ දී අශෝක අධිරාජයා විසින් ගොඩනගන ලද්දක් බව තහවුරු කොට ඇත.

ඉතිහාසය[සංස්කරණය]

රාජ්‍යත්වයට පත් අශෝක (ක්‍රි.පූ 269 සිට 232) බින්දුසාර රජුගේ පුත්‍රයකු යැයි සඳහන් වේ. මෞර්ය වංශික ධර්මා ධම්මා දේවිය අශෝකගේ මව බව මහාවංශ ටීකාවේ සඳහන් වේ. දිව්‍යාවදානයේ සඳහන් වනුයේ ඇය බ්‍රාහ්මණයෙකුගේ දුවක බවයි. අශෝක මෞර්ය වංශයේ තෙවනියා ලෙසට රාජ්‍යත්වයට පත් වූ අතර විදිසා, අමන්දිමිත්‍රා, කාරුවකි, පත්මාවතී, නිෂ්‍යරක්ෂිතා යනුවෙන් බිසෝවරු පස් දෙනෙක් වූහ. විදිසා දේවිය ගේ ජන්ම භූමිය සාංචි අසලය. අද එතැන් හඳුන්වන්නේ විදිසා නුවර යනුවෙනි. විදිසා නුවරට උතුරෙන් වූ උදයගිරි පැරණි ලෙන් වල සිට සාංචිය දක්වා උමං මගක් වූවා යැයි ඇතැම්හු පවසති.

සංඝමිත්තා හා මහේන්ද්‍ර (මිහිඳු) අශෝක රජුට දාව ඇය ලද දරුවන් දෙදෙනාය. රාජ්‍යත්වයට පත් මුල් කාලවල දී ඉතා දරුණු හා අකාරුණික ලෙස රට පාලනය කළ ද පසු කලෙක බුදු දහම වැළඳ ඉතා දැහැමි පාලකයෙකු බවට පත්වූ බව බෞද්ධ වංශකතා වල සඳහන් වේ.

සාංචි ශ්‍රී ලංකා වාසි අපට වැදගත් වනුයේ අශෝක අධිරාජයාගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ මූලික පදනම සකස් වූයේ මෙම ස්ථානයෙන් වීමෙනි. අශෝක මහරජ විසින් මුළු භාරතය පුරා වෙහෙර විහාර අසූහාර දහසක් ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. එම විහාර කර්මාන්තය ආරම්භ වූයේ ද මෙම ස්ථානයෙනි.

එමෙන්ම එතුමා විසින් ආරම්භ කළ ධර්මදූත ව්‍යාපාරය මූලාරම්භය සිදුවූයේ ද සාංචියෙනි. තවද මිහිඳු මහරහතන් වහන්සේගේ ජන්ම භූමිය ද මෙම ප්‍රදේශය වන අතර ලක්දිවට වැඩම කිරීමට පෙර උන්වහන්සේ වැඩ සිටියේ ද සාංචි විහාරස්ථානයේ බව වංශකතාවල සඳහන් වී ඇත. මෞර්ය රාජ වංශය පිරිහීමත් සමග ගුප්ත අධිරාජ්‍ය වර්ධනය වන්නට විය. රජවරුන් වැඩි අවධානය යොමු වූයේ හින්දු ධර්මයටයි.

එම නිසා භාරත වැසියන්ට බුද්ධ ධර්මය අමතක වූවා සේ නොසලකා හරින්නට ද සිදුවිය. එහෙයින් බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක් වල්බිහි වී ජරාවාස වන්නට ඇත. පසුකලක මෙම ස්ථාන නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වන්නට ඇත.

අධිරාජ්‍යවාදී සමය[සංස්කරණය]

භාරතීයන්ගෙ මතකයෙන් අතුරුදන් වූ බොහෝ පැරණි බෞද්ධ හා වෙනත් ස්ථාන නැවත සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ය. වර්ෂ 1818 දී පමණ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් විසින් සාංචිය හා නටබුන් සොයා ගන්නා ලදී. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ ආරක්ෂක ප්‍රධානියා වූ ජෙනරාල් කනිංහැම් සාංචි නටබුන් සොයා ගන්නා ලදී. එකල ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ ආරක්ෂක ප්‍රධානියා වූ ජෙනරාල් කනිංහැම් සාංචි නටබුන් සොයා ගැනීමේ පුරෝගාමියා විය. පුරා විද්‍යාව කෙරෙහි මහත් උවමනාවකින් මෙන්ම ගෞරවයකින් විවිධ පර්යේෂණ කටයුතු වල නිරතව සිටි එතුමා 1817 දී බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දියාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලදී. ජෙනරාල් මේසි,

ජෙනරාල් කනිංහැම් ඉටු කළ පුරාවිද්‍යා පර්යේෂණ වලට උදව් කළ සහායකයකු වූ අතර සාංචි ස්තූප හා කැටයම් මුල්වරට සිතුවම් කරන ලද්දේද ඔහු විසිනි. අප්‍රිකාවේ හා ග්‍රීසියේ පුරාවිද්‍යා පර්යේෂණ බොහොමයක් ඉටු කළ සර් ජෝන් මාෂල් 1902 දී ඉන්දියාවේ පුරාවිද්‍යා ප්‍රධානියා ලෙස පත් කළ අතර ඔහු විසින් පැරණි ස්ථාන රාශියක ද සාංචියේ  ද පර්යේෂණ කටයුතු සිදු කළේය.  එමෙන්ම සාංචි හා පර්යේෂණයට ලක් වූ අනෙක් තැන් පිළිබඳව ද අගනා ග්‍රන්ථ රාශියක් ලියා ප්‍රකාශයට පත් කළේය. වර්ෂ 1881 දී බ්‍රිතාන්‍ය රජය විසින් ආරම්භ කළ සාංචි නටබුන් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 1919 දී අවසන් කරන ලද ලදී. මෙම ස්ථානය නැවත තහවුරු කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ බ්‍රිතාන්‍ය ජාතික සර් ජෝන් මාෂල් මහතාටය.

දැනට දක්නට ලැබෙන නටඹුන්[සංස්කරණය]

සාංචි නටබුන් අතර සංඝාරාම හා වෙහෙර විහාර හතළිහක පමණ ගොඩනැගිලි අවශේෂ දක්නට ලැබේ. ප්‍රධාන ස්තූපය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ දී අශෝක අධිරාජයා විසින් ගොඩනගන ලදී. ඉතා සවිමත් ගල් වැටකින් ආවරණය කොට ඇති මෙම ථූපය අංක එක ලෙස හැඳින්වෙන අතර මීටර් 16 පමණ උසකින් ද මීටර් 37 ක පමණ විශ්කම්භයකින් යුක්තය. ස්ථූපයට ඇතුල්වීමට සිව් දිසාවෙන් ඉතා අලංකාර කැටයමින් නිමාවූ තොරණ හතරක් ද ඇත්තේය. ඉන්දියාවේ ඇති අනෙකුත් කලා කර්මාන්ත අතර සාංචි තොරණ කැටයම් වලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. සැබැවින්ම එය බෞද්ධ කලාවේ අග්‍ර ඵලයයි. මෙම තොරණ ඉදි කරන්නට ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමු ශතවර්ෂයේ දීය. හතරැස් ගල් කුළුණු දෙකක් මත ඉදිරියේ ඇති මෙම තොරණ ඉතා සියුම් මහා අලංකාරවත් ලෙස ජාතක කතා කැටයම් කොට ඇත.

මෙම තොරණවල බෝධිසත්ව අවධියේ විවිධ අවස්ථාවන් හා චරිත විසිතුරු ලෙස කැටයම් කොට ඇත. එහෙත් කිසිම විටෙක මෙම කැටයම් වල බුදුරජාණන් වහන්සේගේ ජීවමානව ප්‍රතිනිර්මාණය කොට නැති අතර උන්වහන්සේ සංකේත ලෙස දක්වා ඇත්තේ නෙලුම් මල හා බෝගස උපයෝගී කරගෙනය. බොහෝවිට බෝගස දක්වා ඇත්තේ බුද්ධත්වයෙන් පසු අවස්ථා නිරූපණයටය. ධර්මය සඳහා චක්‍රය ද ඇතැම් තැනක පාද සලකුණ ද යොදා ගෙන ඇත. නැගෙනහිර වාහල්කඩෙහි ඇති තොරණේ සිද්ධාර්ථ තවුසා නිර්වාණය අවබෝධ කරගත් අවස්ථාව ද, මහමායා දේවිය දුටු සිහිනය ද දක්නට ලැබේ. දකුණු වාහල්කඩහි ඇති තොරණේ සිද්ධාර්ථ උත්පත්තිය ද, බටහිර තොරණේ වත්දන්ත ජාතකය ද ඉතා විසිතුරු ලෙස කැටයම් කොට ඇත. ගල් කණු රාශියක් ද මෙම ස්ථානයේ දක්නට ලැබෙයි. අංක දහය ලෙස දැක්වෙන ගල්කුළුණු අශෝක අධිරාජයා විසින් ඉදි කොට ඇති අතර එහි මුදුනේ එකිනෙකට පිටුපස හරවා ගත් හරවා සිටින සිංහයන් තිදෙනකු නිර්මාණය කොට ඇත. එය වර්තමාන ඉන්දියානු රාජ්‍ය සංකේතය ද වෙයි. තවත් රූප ගණනාවක් මෙම කඳු මුදුනේ දක්නට ලැබේ අංක 3 යනුවෙන් හැඳින්වෙන ථූපය වැදගත් වනුයේ සැරියුත් මුගලන් දෙනමගේ ධාතු හමු වූයේ මෙම ථූප ගර්භයෙන් වීමෙනි. එම ධාතු 1853 දී එංගලන්තයට ගෙන ගිය අතර 1953 දී නැවත ඉන්දියාවට පරිත්‍යාග කරන ලදී. ප්‍රධාන ථූපයට දකුණේ ගොඩනැගිලි අවශේෂ කිහිපයක් දක්නට ලැබෙන ලැබෙන අතර ඒවා බෞද්ධ විහාර ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම කඳු මුදුනේ ඇති විශාල ගොඩනැගිලි අවශේෂ සංඝාරාම බැව් පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කොට තිබේ.

සාංචියට දකුණේ කිලෝමීටර් දහයක් පමණ දුරින් සෝනාරී අසල උස් භූමියක රූප රාශියක් අවශේෂ දක්නට ලැබේ. මෙම ස්ථානයේ කළ පර්යේෂණවලින් ඇතැම් ථූපයන්ගේ මැටිබදුන් වල තැන්පත් කළ රහතන් වහන්සේලාගේ ධාතු හමුවී ඇත. සෝනාරී ගමේ තවත් බොහෝ ස්ථානවල ඉපැරණි බෞද්ධ අවශේෂ දක්නට ලැබේ. බටහිරින් පේසාලී ගං ඉවුරේ සෝනාරී සිට සැතපුම් තුනක් පමණ දුරින් සඳා පිහිටා ඇති ථූප තරමක් විශාල වන අතර ඒවා බොහෝ දුරට සාංචි ථූප වලට සමාන වේ. සාන්චිවලට මදක් නුදුරින් භූමි මට්ටමේ සිට අඩි 500ක පමණ උස් හිම කන්දේ බෞද්ධ නටබුන් පිහිටා ඇත. මෙම ථූපද සාංචි ථූප තරම් විශාල නොවන අතර පිහිටීම අනුව ඒවා සාංචි ස්ථූප වලට සමාන වේ. පළමු ථූපය වටා ඉදිකළ ගල් වැට තවමත් ආරක්ෂා වී ඇති අතර ගල් කණු කිහිපයක් ද දක්නට ලැබෙන අතර ඒවායේ සටහන් කොට ඇති අක්ෂර අශෝක රාජ සමයට අයත් යැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම ස්ථානය ආශ්‍රිතව කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලට අනුව ථූප ගර්භ වල තිබූ මැටි බඳුන්වල බහා ලූ රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතු කොටස් හමු වී ඇත. තවද මුරෙල් යන ස්ථානයෙන් ද බෞද්ධ නටබුන් හමු වී ඇත.

වර්තමානය[සංස්කරණය]

හින්දූන් විසින් නොසලකා හරින ලද මෙම පූජනීය ස්ථාන ස්ථාපිත කොට නැවත බෞද්ධයන් අතට පත් කිරීමේ මූලික ගෞරවය හිමිවිය යුත්තේ අනගාරික ධර්මපාලතුමාට ය. අවට තවත් බොහෝ බෞද්ධ නටබුන් ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. එම ස්ථාන රැක ගැනීමට වර්තමාන සාංචි විහාරාධිපති දේදුනුපිටියේ සෝමරතන හිමියෝ මහත් වූ වෙසක් දරති. එමෙන්ම බෝපාලය අවට බොහෝ දෙනෙකු ආචාර්ය අම්බෙක්කාර් තුමා අනුගමනය කරමින් බුද්ධාගම වැළඳගෙන ඇති අතර ඔවුන් හා නිරතුරුව දැඩි සබඳතාවයක් පවත්වාගෙන යාමටත් ප්‍රජා සංවර්ධන කටයුතු හා බෞද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් උන්වහන්සේ සැදී පැහැදී සිටිති. ලංකාවේ සිට වන්දනාවේ යන බොහෝ සැදැහැවතුන් මෙම ස්ථානය අමතක කර දමා ඇත. ඒ ඔවුන්ගේ ගමන් මගින් සාංචිය දුරස්ව පිහිටීමත් එය බුදුහිමියන්ගේ ජීවිතය හා සෘජුව සම්බන්ධ නොවීමත් වන්දනා ගමන් සංවිධායකයන්ට අමතර වියදමක් දැරීමට සිදුවන නිසාත් සාංචිය ගමන් සැලසුමට ඇතුලත් කිරීමට ඔවුන් අකමැතිය. බෞද්ධයන් වන අපට මිහින්තලේ වැදගත් වන්නේ යම් සේ ද ඒ හා සමානව සාංචිය ද වැදගත් වේ මන්ද එම පූජනීය ස්ථානයේ මිහිඳු හිමියන්ගේ ජන්ම භූමිය වන බැවිනි.

බාහිර සබැඳි[සංස්කරණය]

1999 ජුනි මස නවයුගය මාසික සඟරාව