ස්වර්ණමාලී මහා සෑය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ
රුවන්වැලි මහා සෑය
Ruwanwelisaya.jpg
ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ
විස්තර
සංස්ථාපනයදුටුගැමුණු මහා රජතුමා
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
පිහිටීමඅනුරාධපුර, ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ යනු, ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ප්‍රධානම සහ පූජනීමයම දාගැබකි. මෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා වැඩ සිටින අතර සමස්ත ලෝකයේම, පූජනීයම ස්ථාන අතුරින් එකකි. මෙම සෑය, එකල ශ්‍රී ලංකා ද්වීපය පාලනය කළ ශ්‍රේෂ්ඨතම රජෙකු වන දුටුගැමුණු මහා රජතුමා විසින් ඉදිකරන ලද්දකි.

සුවිශේෂත්වය[සංස්කරණය]

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම සෑ රජාණන් වහන්සේ වන්නේද ස්වර්ණමාලී මහා සෑය වේ.

පිහිටීම[සංස්කරණය]

මෙම සෑ රජාණන් වහන්සේ, ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

භෞතික ලක්ෂණ[සංස්කරණය]

මම ස්ථූපයෙහි උස අඩි 338ක් (මීටර් 103) ක් වන අතර විශ්කම්භය අඩි 942ක්ද (මීටර් 287.1) ක්ද වේ. එමෙන්ම ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807ක් වේ. මෙම චෛත්‍යය, ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක්ද වන අතර මෙහි වාස්තු විද්‍යාත්මක ගුණාංග, විද්‍යාඥයින් පවා මවිතයට පත්කිරීමට සමත්ව ඇත.

ඉදිකිරීම[සංස්කරණය]

ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීම[සංස්කරණය]

පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,

  • යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
  • යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
  • යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
  • යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
  • යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
  • යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
  • යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.

ඉදිකිරීම ඇරඹීම[සංස්කරණය]

දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී.

අඩිතාලම[සංස්කරණය]

එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.

  • භූමිය සමතලා කරන ලදී.
  • එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
  • එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
  • ගල් මිටියෙන් කඩන ලදී.
  • ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.
  • එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.
  • ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
  • එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල  රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල  රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල  දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.

ස්ථූපයට ආශීර්වාද කිරීම[සංස්කරණය]

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි  මේ අවස්ථාවේදී  දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.

ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද  රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට  පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

දුටුගැමුණු රජුගේ මරණය[සංස්කරණය]

අද්විතීය ස්වර්ණමාලී මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.

සද්ධාතිස්ස රජුගේ මරණය[සංස්කරණය]

දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

ශාරීරික ධාතූන් වහන්සේලා[සංස්කරණය]

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

අන්වර්ථ නාම[සංස්කරණය]

  • මහාථූප (පාලි භාෂාවෙන්)
  • මහා ස්ථූපය
  • මහා ථූපය
  • මහා සෑය
  • රුවන්වැලි මහා සෑය
  • රුවන්මැලි මහා සෑය
  • රත්නමාලි මහා සෑය
  • රතනමාලි මහා සෑය
  • හේමමාලි මහා සෑය
  • අසදෘශ මහා සෑය
  • ස්වර්ණමාලි මහා සෑය

වන්දනා ගාථාව[සංස්කරණය]

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතීතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

අමතර පරිශීලනය සදහා[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  • නිළ වෙබ් අඩවිය[1]
  • ෆේස්බුක් පිටුව[2]
  • මෙම පිටුව මුල් වරට විකිපීඩියාවට එක්කරන ලද්දේ ශනුක ෂෙහාන් විසිනි.[3]
"https://si.wikipedia.org/w/index.php?title=ස්වර්ණමාලී_මහා_සෑය&oldid=483860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි