Jump to content

අනුරාධපුර යුගයේ ලක්දිව ඉදිකල දාගැබ්

විකිපීඩියා වෙතින්

රුවන්වැලි සෑය

[සංස්කරණය]

රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. මෙය මහා ථූපය නමින් ද හැඳින් වේ. රුවන් වැලි දාගැබ සඳහා වේදිකා දෙකක් තැනූ බව මහා වංශයේ සඳහන් වේ.ඉන්දියාවේ පැරණි දාගැබ්වල මෙන් ම මුදුන් පේසාව මධ්‍යයෙහි ධාතු ගර්භයක් පිහිට වූ බව ද මහා වංශයේ සඳහන් වේ. දාගැබේ ප්‍රධාන දිසා හතරට මුහුණලා මලසුන් ගෙවල් හතරක් හා වාහල්කල 4 ක් ඉදි කර තිබේ. දාගැබේ මුළු උස අඩි 300 කි.මෙය අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජු විසිනි.

අභයගිර දාගැබ

[සංස්කරණය]
අභයගිරි චෛත්‍යය

අභයගිරි දාගැබ වලගම්බා රජු ක්‍රි.පූ. 89-77 කාලයේ දී කරවන ලද බව සදහන් වේ. මේ ස්ථානයේ කලින් පැවතියේ නිගණ්ඨ ආශ්‍රමයකි. වලගම්බා රජු එය කඩා බිඳ දමා මේ චෛත්‍යය එතැන කරවීය. අභයගිරියේ ද පැරණි දාගැබක ලක්ෂණ පිළිබිඹු කෙරේ. මළුවට පිවිසෙන දොරටු 4 ක් තිබේ. පඩි පෙළක්, සඳකඩපහණක්, දොරටුපාල රූප දෙකක්, මුරගලක් යන චෛත්‍යාගයන්ගෙන් යුක්ත ය.


ජේතවනාරාමය

[සංස්කරණය]

මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 276-303 කාලයේ දී ජෝති වනෝද්‍යානයෙහි කරවන ලද්දකි. මෙහි පටී ධාතුව නිධන් කරන ලද බව පූජාවලියේ සඳහන් වේ. උස අඩි 231 කි. දොරටු හතරේ කැටයම් සහිත ගල් වැටකි. කැටයම් කළ ගල්කණු හා දොරටුපාල රූප ද ඇත. මලසුන් ගෙයක තිබී මහා මායා දේවිය දුටු සිහිනය දක්වන කැටයම් පුවරුවක් ද හමු වී එය දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

මහියංගනය

[සංස්කරණය]
මහියංගන චෛත්‍යය

ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ පපපපපකථාවල සඳහන් වන්නේ මහියංගන චෛත්‍යය යි. සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත් රියන් කොට බඳවන ලද බව සඳහන් වේ. මහියංගනයෙහි වම් අකුධාතුව නිදන් කළ බවට ද මතයක් පවතී. මෙය දෙවනපෑතිස් රාජ්‍ය ස‍මයේ උද්ධ චූලාභය කුමරු ලවා දෙතිස් රියන් කොට බඳවන ලද බව ද කියයි.

ගිරිහඬු සෑය

[සංස්කරණය]

ත්‍රිකුණාමලයට සැතපුම් 29 ක් උතුරින් තිරියාය නම් ගමෙන් සොයා ගෙන තිබෙන චෛත්‍යය ගිරිහඬු සෑය නම් වේ. තපස්සු භල්ලුක ‍දෙදෙනා විසින් කේශ ධාතු නිදන් කොට කරවන ලද බව සෙල්ලිපියක සඳහන් වේ.


ථූපාරාමය

[සංස්කරණය]
ථූපාරාමය

ශ්‍රී ලංකාවේ පැරණි ම චෛත්‍යය ථූපාරාමය යයි වංශ කථාවල සඳහන් වේ. දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රි.පූ. 307-267 කාලයේ දී දකුණු අකු ධාතුව නිදන් කර ඝණ්ඨාකාර හැඩයෙන් නිමවන ලදැයි සඳහන් වේ.



මාගම කැළණි - සේරුවාවිල - තිස්සමහාරාමය

[සංස්කරණය]

මහානාගයන්ගේ බලය රුහුණේ පැවති සමයෙහි කැළණියේ නා රජු විසින් තැන වූ කැළණි චෛත්‍යයත්, මාගම රජුන් විසින් කරවන ලද තිස්සමහාරාමයත්, සේරුවිල චෛත්‍යයත් ප්‍රාදේශීය රජුන් විසින් කරවන ලදී. සේරුවිල චෛත්‍යයේ ලලාට ධාතු නිදන් කරන ලද බව සඳහන් වේ.


මිරිසවැටිය

[සංස්කරණය]

අනුරාධපුරයේ මිරිසවැටි සෑය දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ. 161-137 කාලයේ දී ප්‍රථ‍මයෙන් කරවන ලද බව සඳහන් වේ. මෙය රජතුමාගේ ජය කොන්තය නිදන් කරන ලද බව සඳහන් වේ. මෙහි දක්නට ලැබෙන වාහල්කඩ පැරණි ම වාහල්කඩ වේ.


දීඝවාපී චෛත්‍යය

[සංස්කරණය]

මෙම ‍චෛත්‍යය සද්ධාතිස්ස රජු ක්‍රි.පූ.137-119 කාලයේ දී කරවන ලද බව සඳහන් වේ.


සේල චෛත්‍යය

[සංස්කරණය]

රුවන්වැලි සෑයටත්, ජේතවනාරාමයටත් අතර පිහි‍ටි මෙම සෑය පිළිබඳ ඉතිහාස පුවත් පැහැදිලි නැත. සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් කරවන ලද බව ඇතමෙක් කියති. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109) විසින් කරවන ලදැයි තවත් මතයකි. මෙහි උස අඩි 10 කි. අලංකාර සඳකඩපහණ දෙකක් හා පෙන හතකින් යුත් දොරටුපාල නාග රූපයන්ගෙන් ද සමන්විත මුරගල් දෙකක් ඇති පඩි පේළි දෙකක් චෛත්‍යය දෙපස දක්නා ලැබේ.

කණ්ඨක චෛත්‍යය, ඉඳිකටු සෑය, ලංකාරාමය හා අත්තනගල්ල වෙහෙර ද අනුරාධපුර ස‍මයේ ඉදි කරන ලද දාගැබ් වේ.


ආශ්‍රිත මූලාශ්‍ර

[සංස්කරණය]

හෙළ කලා ඌරුව - නිමල් ජේ. ගමගේ

ස්ථූප - චන්ද්‍රා වික්‍රමගේ

අනුරාධපුර නටබුන් - කඹුරුපිටියේ වනරතන මහ නාහිමි