සම්ප්‍රදාය අතික්‍රමණයට විද්‍යාව.අයින්ස්ටයින් සම්ප්‍රදායික චින්තනයෙන් ඔබ්බට යෑම

විකිපීඩියා වෙතින්

විද්‍යාව කියන්නේ දිනෙන් දිනම තත්පරයෙන් තත්පරය යාවත්කාලීන වන ක්ෂේත්‍රයක්.මේකට ප්‍රධානම හේතුව තමයි මිනිසාගේ නොසංසිඳෙන කුතුහලය සහ දැනුම් පිපාසය.ඇත්තටම ඒ කාරණා දෙක තමයි මිනිසා අද සිටින බුද්ධිමත් ජීවීයා බවට පරිණාමය කලේ.ලංකාවේ අපි සාමාන්‍යන විද්‍යාව කියන විෂය විෂයක් විදිහට ඉගෙන ගන්නේ 6 වසරේ ඉඳලා.හැබැයි 1-5 වසර දක්වා අපි පරිසරය කියල ඉගෙන ගන්නේත් විද්‍යාවම තමයි හැබැයි ගොඩාක් සරල විදිහට.6 වසරේ සිට 11 වසර දක්වා විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගන්නා අපි උසස් පෙල කරන කොට විද්‍යා විෂය ධාරාව හරි ගණිත විෂය ධාරාව හරි තෝරාගත්තා නම් එතනදීත් විද්‍යාව සාපේක්ෂව සංකීර්ණව ඉගෙන ගන්නවා.

6 වසරේ ඉඳන් විද්‍යාව ඉගෙන ගෙන උසස් පෙළදී විද්‍යා හෝ ගණිත විෂය ධාරාව ඉගෙන ගත්තු කෙනෙක්ට තේරුණ දෙයක් තමයි පොඩි කාලේදී ඉගෙන ගත්තු සමහර විද්‍යාත්මක කරුණු උසස් පෙලදී ඉගෙන ගන්නේ හාත්පසින්ම වෙනස් විදිහට කියන එක.එතකොට සමහරෙක්ට ප්‍රශ්නයක් එන්න පුලුවන් අපි පොඩි කාලේ විද්‍යාවට ඉගෙන ගත්තේ බොරුද කියලත්.ඊටත් වඩා හිතන කෙනෙක්ට එන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි උසස් පෙළට ඉගෙන ගන්න කරුණුත් වැඩි දුර උසස් අධ්‍යාපනය හදාරණ කොට වෙනස් වෙයිද කියන ප්‍රශ්නය.මේකට හොඳම නිදසුන තමයි පරමාණුවක ආකෘතිය.අපි උසස් පෙලට කලින් ඉගෙන ගන්නේ පරමාණුවක මධ්‍යයේ ප්‍රොටෝන සහ නියුට්‍රෝන වලින් සමන්විත න්‍යෂ්ටිය සහ ඒ වටා වෘත්තාකාර පථ වල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතිනවා කියලා.හරියට සෞරග්‍රහ මණඩලයේ සූර්යය වටා ග්‍රහලෝක ගමන් ගන්න විදිහට.මේ නිසාම මේ පරමාණුක ආකෘතිය හැඳින්වූවා ග්‍රහ ආකෘතිය කියලා.

හැබැයි අපි උසස් පෙලට රසයන විද්‍යාවට සහ භෞතික විද්‍යාවට ඉගෙන ගන්නවා මේ පරමාණුව සම්බන්ද ග්‍රහ ආකෘතිය පරමාණුව ලෙහෙසියෙන් තේරුම්ගැනීමට උපකාරී වුවත් එහි නිරවද්‍යතාවය අඩු බව.එතනදී අපි ඉගෙන ගන්නවා ග්‍රහ ආකෘතිය වෙනුවට ඉලෙක්ට්‍රෝන වලා ආකෘතිය.ඒ අකෘතියේදී න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ වෘත්තාකාර හෝ ඉලිප්සාකාර පථ වල නෙමේ.ඉලෙක්ට්‍රෝන වලාවක් ලෙස න්‍යෂ්ටිය වටා අධික වේගයන්ගෙන් ගමන් කරමින් පැතිරිලා තියෙන්නේ.ඒවගේම අපි උසස් පෙලට ඉගෙන ගන්නවා ඇත්තටම ෆෝටෝනයකට අංශුමය ලක්ෂණ වගේම තරංගමය ලක්ෂණත් තියෙනවා කියලා.නමුත් උසස් පෙලින් එහා මට්ටමේදී මේ කාරණාව තරමක් වෙනස් වෙනවා.ඇත්තටම අංශූ කියල දෙයක් නැහැ.තියෙන්නේ ක්ෂේත්‍ර සහ එහි ඇතිවන කම්පන.මේ කම්පන නිසා අංශුවක් කියන වස්තුව ගම්‍ය වෙනවා.පොඩ්ඩක් විතර විකාරයි නේද මේ කතාව.ඔව් ටිකක්.හැබැයි ඒක තමයි දැනට හොයාගෙන තියෙන සත්‍යම අර්ථකතනය අංශූ පිලිබඳ.හැබැයි අපි අත්දැකීමෙන්ම දන්නවා මේ කාරණාවත් අනාගතයේ සොයාගන්න නව දැනුමත් එක්ක යාවත්කාලීන වෙන්න පුලුවන් කියන එක.

මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්.ඇල්බට් අයින්ස්ටයින් එයාගේ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරපු කාලේ විද්‍යා ක්ෂේත්‍රයේ ඉඳපු ගොඩාක් අය එයාගේ සාපේක්ෂතාවාදය පිලිගන්න කැමති වුණේ නැහැ.විශේෂයෙන්ම ෆ්ලිප් ලෙනාඩ් කියන විද්‍යාඥයයා.ලෙනාඩ් කියන්නේ x කිරණ න්‍යායත්මකව සොයාගත්තු පුද්ගලයා.හැබැයි x කිරණ සොයාගැනීමේ ගෞරවය නම් ඔහුට හිමි වුණේ නැහැ, රොන්ට්ජන් කියන විද්‍යාඥයයා පරීක්ෂණාත්මකව x කිරණ පලමුවෙන්ම සොයාගත්තු නිසා.හැබැයි ලෙනාඩ් කියන්නේ නොබෙල් ත්‍යාගය දිනාගත්තු විද්‍යාඥයයෙක්.ඒ වගේම බොහොම බුද්ධිමතෙක්.අයින්ස්ටයින් පවා වරෙක ප්‍රකාෂ කලා ලෙනාඩ් කියන්නේ සුපිරි බුද්ධිමතෙක් කියලා.හැබැයි ලෙනාඩ් අයින්ස්ටයින්ට වඩා ගොඩාක් පරිණතයි විද්‍යාවෙන්.ඇත්තටම ලෙනාඩ් කියන්නේ පරීක්ෂණාත්මක භෞතික විද්‍යාඥයයෙක්.එකියන්නේ ඔහු ප්‍රායෝගික පරීක්ෂණ වලින් තමයි භෞතික විද්‍යාවේ වැඩ පෙන්නුවේ.හැබැයි අයින්ස්ටයින් කියන්නේ න්‍යායාත්මක භෞතික විද්‍යාඥයයෙක්.ඔහු වැඩ පෙන්නුවේ න්‍යායන් වලින්.ලෙනාඩ් මේ න්‍යායාත්මක භෞතික විද්‍යාව වැඩිය පිලිගත්තේ නැහැ.මොකද ඔහු කැමති වුණේ පරීක්ෂණාත්මකව දෙයක් කරල ඇසින් දැකලා නිගමනයකට එන්න.හැබැයි න්‍යායාත්මක භෞතික විද්‍යාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ.අපිටත් සමහර වෙලාවට ඔය ප්‍රශ්නේම තියෙනවා නේද.අපි යම් දෙයක් ගැන කොයිතරම් පත පොතින් ඉගෙන ගත්තත් අපි කැමති නැහැ ඒ දේ අපේ ඇසින්ම දකින කම් පිලිගන්න.ඉතින් අයින්ස්ටයින්ගේ කාලේ සාපේක්ෂතාවාදය ඔහු ඉදිරිපත් කලයින් පස්සේ ඔහුව පිලිගත්තේ මැක්ස් ප්ලාන්ක් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයයා විතරයි.ලෙනාඩ් ඇතුලු බොහෝ විද්‍යාඥයයෝ සාපේක්ෂතාවාදය පිලිගත්තේ නැහ.ඒවගේම අයින්ස්ටයින් සිහින දකින්නෙක් විදිහටයි ලෙනාඩ් ඔහුව අර්ථ දැක්වූවේ.ලෙනාඩ් නොබෙල් කමිටුවේ හිටපු බලවත් චරිතයක් වුණා.අයින්ස්ටයින්ව ඔහුගේ සාපේක්ෂතාවාදය වෙනුවෙන් යෝජන කෙරිලා තිබුණත් ලෙනාඩ්ගේ බලපෑම මත නොබෙල් කමිටුව තීරණය කලා අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය නොදී මැක්ස් ප්ලාන්ක්ට එය දෙන්න.හැබැයි අයින්ස්ටයින් පසු කාලේකදී ඔහුගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් දිනාගන්නවා.ඒ කාලේ තිබ්බ තාක්ෂණයනුත් එක්ක ප්‍රාකශ විද්‍යුත් ආචරණය පරීක්ෂණාත්මව තහවුරු කරන්න පුලුවන් වුණා.හැබැයි සාපෙක්ෂතාවදාය පරීක්ෂණාත්මක්ව තහවුරු කරන්න තිබුණේ එකම එක සාධකයක් විතරයි.ඒ තමයි සාපේක්ෂතාවදයේ එන ගුරුත්වාකර්ෂණ කාච සූර්ය ග්‍රහණයකින් ඔප්පු කරන්න පුලුවන් වීම.හැබැයි එතනදීත් ලෙනාඩ් කොස්ස දැම්මා.ඔහු කීවා එක සූරයග්‍රහණයකින් ඕක ඔප්පු වුණාට ඊලඟ සූරයග්‍රයණයෙන් ඕක වැරදියි කියලත් ඔප්පු වෙන්න පුලුවන් කියලා.මෙතන්දී අවශ්‍ය වුණේ එක් විශේෂ ගණයේ සූර්යග්‍රහණයක්.

ඉතින් මේක තමයි විද්‍යාවේ ස්වභාවය.විද්‍යාව නිතරම අලුත් වෙනවා.එතකොට පරණ කරුණු වැරදි වෙනවා හෝ සංශෝධනය වෙනවා.මෙතනදී අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි අපි කාලයක් ඉගෙන ගත්තු දෙයක් වැරදියි නැතිනම් සංශෝධනය වෙලා තියෙනවා කිව්වහම ඒ අලුත් දැනුම පිලිගන්න අපි පොඩ්ඩක් අදි මදි කිරීම.සමහර විට අපි ඒ අලුත් කරුණ එක හෙලාම ප්‍රතික්ෂේප කරන්න වුණත් පෙලඹෙනවා.ඔය දේ මට අනන්තවත් වෙලා තියෙනවා.හැබැයි පස්සේ කාලේකදී හිතුණා මම එහෙම හිතන එක හරි නැහ මමත් දවසින් දවස යාවත්කාලීන වෙන නව දැනුම එක්ක පෝෂණය වෙන්න ඕන කියලා.මට එක්ක සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේත් ඔයාලට මේ වගේ ලිපි ගෙන එන්න අවකාෂය ලැබුණෙත් ඒ හින්දාමයි.අදටත් මම හැමදාම මම මීට කලින් දැනගෙන ඉඳපු නැති දෙයක් ඉගෙන ගන්නවා.ඒ නොදැන හිටපු දේ ඉගෙන ගත්තහම පුදුම ෆීලීං එකක් තියෙන්නේ.මේවගේ දෙයකුත් ලෝකේ මම නොදැන තිබ්බා නේද කියලා!

ඉතින් අපි ඔයාලා හැමෝටම ආරාධනා කරන්නේ ඔයාලා ගාව තියෙන දැනුම තව තවත් ඔප මට්ටම් කරගන්න ගමන් නව දැනුමත් වැළඳ ගන්න කියන එක.මිනිසාගේ දියුණුව රඳා පවතින්නේ එතන.සමහර විට නව දැනුම පිලිඟන්න එක අමාරු දෙයක් වෙන්න පුලුවන් මොකද ඒ දේ සම්ප්‍රදායෙන් පිට තියෙන දෙයක් නම්.හැබැයි අපි මේ නව දැනුම වැළඳගන්න නම්‍යශීලී වෙනවා නම් අපිට හැකියාව ලැබෙනවා නව දැනුම ඇත්තටම වැරදිද නිවැරදිද කියලා තිරණය කරන්න.සැමවිටම කුතුහලයෙන් ලෝකය දෙස බලන්න.

================================================================

https://www.facebook.com/hashtalk/photos/a.1589558494683527.1073741828.1553468088292568/1688807374758638/?type=3&theater