සංස්කෘතික මානව විද්‍යාව

විකිපීඩියා වෙතින්

සංස්කෘතික මානව විද්‍යාව යනු මානව විද්‍යාව එක්සත් ජනපදය තුල වර්ධනයවීමේදී නිර්මාණය වූ ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් හතරින් එකකි. මේ වූකලි මිනිසුන් අතර පවත්නා සංස්කෘතික විවිධත්වයන් සහ ප‍්‍රාදේශීය සංස්කෘතික යථාර්තයන් කෙරෙහි ගෝලීය ආර්ථික හා දේශපාලනික කි‍්‍රයාවලීන්ගේ බලපෑම අධ්‍යනය කිරීම අරමුණ කරගනිමින් ‘සංස්කෘතිය’ අර්ථවත් විද්‍යාත්මක සංකල්පයක් ලෙස වර්ධනය වීමකි.

ස්වභාවිකත්වය හා සංස්කෘතිය අතර ප‍්‍රතිපක්‍ෂය මත පදනම්වූ කලින් පැවැති බටහිර කතිකාවන්ට එරෙහිව යාමක් මානව විද්‍යාවේ ‘සංස්කෘතිය’ යන සංකල්පය තුල දැකගතහැක. සෑම මිනිසකුටම සිය අත්දැකීම් වර්ගීකරණය කරගැනීමට, වර්ගීකරණයන් සංකේතීයව කේතාංකනය කිරීමට සහ එවැනි වියුක්තනයන් අන් අයට ඉගැන්වීමට හැකියාව මිනිසාට ඇති බැවින් මානව විද්‍යාඥයෝ සංස්කෘතිය මිනිසාගේ ස්වභාවිකත්වය බවට තර්ක කරඇත. මිනිසා සංස්කෘතිය ඉගෙනීම (අනුසංස්කෘත්‍යායන සහ සමාජානුයෝජන කි‍්‍රයාවලීන් මඟින්) හරහා අත්කරගන්නා අතර විවිධ ස්ථානයන්හි හෝ විවිධ තත්වයන් මත ජීවත්වන මිනිසුන් විසින් විවිධ සංස්කෘතීන් ප‍්‍රතිඵල කරයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ පෙන්වා දී ඇත්තේ සංස්කෘතිය මඟින් මිනිසාට සිය පරිසරයට ප‍්‍රවේණිගත නොවූ ආකාරයන්ගෙන් හැඩගැසිය හැකි බවය. ඒ අනුව විවිධ පරිසරයන්හි ජීවත්වන මිනිසුනට විවිධ සංස්කෘතීන් හිමිවනු ඇත. මානව විද්‍යාත්මක න්‍යායන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රාදේශීය (විශේෂයෙන්ම සංස්කෘතීන්) සහ ලෝකය (විශ්වීය මානව ස්වභාවිය හෝ විවිධ ස්ථානයන්/ තත්වයන් හි සිටින මිනිසුන් අතර පවත්නා සම්බන්ධතා ජාලය) අතර පවත්නා ආතතිය පිලිබඳව වන උනන්දුව මානව විද්‍යාව විසින් අගයකොට සලකයි.

එක්සත් ජනපදය තුල සංස්කෘතික මානව විද්‍යාවේ නැඟීමට සමාන්තරව ‘සමාජිය’ කේන්දී‍්‍රිය සංකල්පය ලෙස සලකන්නාවූ සහ සමාජ තත්වයන් හා විවිධ භූමිකාවන්, කණ්ඩායම්, ආයතන සහ ඔවුන් අතර සම්බන්ධතාවන් අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකළ සමාජීය මානව විද්‍යාව ශාස්ත‍්‍රාලීය දැනුම් පද්ධතියක් ලෙස බි‍්‍රතාන්‍යය තුල වර්ධනයවිය. සංස්කෘතික හා සමාජීය මානව විද්‍යා සම්ප‍්‍රදායන් දෙකම ඇතුලත් කරගනිමින් සමාජීය-සංස්කෘතික මානව විද්‍යාව යනුවෙන් යෙදුමක්ද නිර්මාණය වී ඇත.