Jump to content

ශ‍්‍රී ලංකාවේ කෝලාහල

විකිපීඩියා වෙතින්
ගොනුව:ලාංකික මුවර්වරු.JPG
ලාංකික මුවර්වරු

හැදින්වීම

[සංස්කරණය]

බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසු මෙරට සිදු කරන ලද බොහෝ වෙනස්කම් එහි‍ පොදු අවකාශීය වෙනසකට භාජනය වූවා මෙන්ම හදුන්වා දෙන ලද නූතනත්වය ලංකා‍‍ව සාම්ප‍්‍රදායිකව පැවති ක‍්‍රමයෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය.දහනව වැනි ශත වර්‍ෂයේ දෙවන භාගයෙහි විවිධ ආගම් අදහන ජනවර්‍ග රැසක් මෙහි පදිංචිව සිටිය ද බහුතරයක් වු බෞද්ධාගමික සිංහලයන් ද හින්දුවාදය ආගම වූ දමිළයන් ද ඉස්ලාම් ආගම අදහන මුස්ලිමිවරු ද මුල් කර ගනිමින් ලංකා‍වේ ඇති වන ක‍්‍රිස්තියානි ආගමික විපර්යාසයන්ට ප‍්‍රතික‍්‍රියාවක් ලෙස ප‍්‍රතිසංස්කරණ හා පුනර්ජීවන ව්‍යාපාර ආරම්භ විය. මෙම ජනවර්‍ග ක‍්‍රමයෙන් ආගමික මෙන්ම වාර්ගික අනන්‍යතා සකස් කර ගැනීමටත් විඥානයන් ගොඩනගා ගැනීමටත් පෙළඹුණි.එහෙත් බහුතරයක් වු සිංහල බෞද්ධයන්‍‍‍‍‍ගේ විඥානය ප‍්‍රබලව ඉස්මතු වීම ලංකා‍වේ අනෙකුත් ජන වර්‍ග කෙරෙහි ද බලපැවැත් වීය.‍මේ අයුරින් 19 වැනි සියවසයෙහි ඇති වු සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර බලවත් සංකීර්ණ මෙන්ම තීරණාත්මක සාධකයක් ලෙස ලංකා ඉතිහාසයෙහි පත් විය.එහි ප‍්‍රවණතා දෙකක් දක්නට ලැබුණි.එනම්, ‘සිංහල බෞද්ධ අනන්‍යතාවත්,යටත් විජිතවාදීන්ට පෙනෙන අයුරින් තම ආත්මාභිමානයන් ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමත්ය.’

මෙම ව්‍යාපාරවල නායකයන්ගේ අරමුණ වූයේ බෞද්ධ හා හින්දු භක්තික කිතු දහම වැළඳ ගත් ජනයා නැවත ඒ ඒ ආගම්වලට හරවා ගැනීමයි.එහෙත් බෞද්ධ,හින්දු,ඉස්ලාම් පිරිස් ක‍්‍රිස්තියානි ආගමට විරුද්ධව නැගී සිටියද ඔවුන් අතරත් ගැටුම් ඇති වනු දක්නට ලැබිණි.ඒ අනුව 19 වන සියවස මුල හා 20 සියවස අග භාගයේ දී සිංහල බෞද්ධ හා සිංහල රෝමානු කතෝලිකයන් අතර ද 1883 දී ඇති වූ ගැටුම ද නිදසුන්ය.ලංකා‍වේ වාසය කරන ජන සමූහයා ජාතියෙන්,ආගමෙන් හා භාෂාවෙන් විවිධ වුවත් සිංහල ජනයා තුළ සිය අනන්‍යතාවය පිළිබඳ හැගිම තහවුරු කිරීමත් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිංහල ජනතාව සංවිධානය කිරීමත් ආදි වු කාර්යන්ට මෙම විඥානය යටත් විජිත යුගයේ ද ප‍්‍රගතිශීලී කාර්යක් ඉටු කරන ලදී. ඓහෙත් ගැටලුව වූයේ මෙම විඥානය විවිධ ජන වර්‍ගවල විඥානයන් බවට පත් විමෙන් අනෙකුත් ජනවාර්ගික කොටස්වලට ද හිංසනයක් බවට පත් විමයි.නැතිනම් එය ලාංකික විඥානක් බවට පත් නොවී පටු ජාතිවාදයක් බවට පත්වීමයි.

දහනව වන සියවස ශ‍්‍රී ලංකා‍වේ ‍කෝලාහල

[සංස්කරණය]

1915 සිංහල-මරක්කල කෝලාහලය

[සංස්කරණය]

‘20 වන සියවස මුල් දශක කිහිපය තුළ ප‍්‍රචණ්ඩත්වයන් ආගම් අතර අර්බුද, ජාතිවාදී සහ කුල අතර අර්බුදවලින් ගහණය. එහෙත් 1915 ඇති වූ කැරලි සිංහල හා මරක්කල කෝලාහලය වඩාත් සංකීර්ණ හා අර්‍ථකතන රැසකට ලක් වූ එකක් විය. එය ලංකා‍ ඉතිහාසයේ එක් සුවිශේෂී සිදුවීමක් ලෙස හදුනා ගත හැකිය.

පසුබිම

[සංස්කරණය]

ලංකා‍වේ බහුතරයක් වු සිංහලයන් අතරට ද‍්‍රවිඩ ජාතිකයන් ද කතෝලිකයන් ද එක් වූවා මෙන් ම මුහම්මද් ආගමිකයන් වූ බොහෝ විට අතීතයේ සිට මෙරටට වාණිජ කටයුතු සඳහා පැමිණි පිරිස් ද මෑතක දී වෙළදාම පිණිස දකුණු ඉන්දියා‍වේ මලබාර් වෙරළින් ද සංක‍්‍රමණය වූ සිංහලයන්විසින් 'ඉන්දියානු මුවර්වරු'ලෙස හැඳින් වු පිරිසක් ද තවත් ජා,ඇෆ්ගන්,බෝර්වරු ස්වල්ප දෙනෙක් වාසය කරන ලදී.මෙවැනි විවිධ ජන වර්‍ගයන් වාසය කරන ලංකා‍වේ වැඩි දෙනා වු සිංහල බෞද්ධයන් වාර්ෂිකව ගම්පළ වලහගොඩ දේවාලයේ සිට පවත් වනු ලබන ඇසල පෙරහැරක් විය.1907 දී අඹගමුව වීදියෙන් ඉන්දියානු වෙරළබඩින් ආ මුස්ලිම්වරු විසින් පල්ලියක් ඉදිකරන ලද අතර ඔවුන් මෙම පෙරහැරට සැමවිටම විරෝධය පෑම සිදුකරන ලදී.එහෙත් එයට පෙර සිටි අනෙකුත් මුස්ලිම්වරුන්ගෙන් එසේ නොවීය.පෙරහැර පැවැත් වීම සම්බන්ධව වසරක් පාසා පළාතේ මුලාදෑනීන්ගෙන් ද මහනුවර ඒජන්තගෙන් ද අවසර ලබා ගැනී‍මේ නියෝගයක් විය.මෙයට පෙර පොලීසිය විසින් දෙන ලද අවසර පත‍්‍රයෙහි කවර පූජනීය ස්ථානයක් වුව ද ආගමානුකූල කෘත්‍යයන් පවත් වන කාලය තුළ දී ඒ ස්ථානයට පෙර හා පසුව යාර 100ක් ඈත දී වාදනය නතර කළ යුතු බවට’ සඳහන් විය.එහෙත් පසුව මුවර්වරුන් සම්බන්ධ කොට විශේෂ සඳහනක් ඇති බව දක්නට ලැ‍බේ.බ්ලැක්ස්ටන් පෙන්වා දෙන ආකාරයට 1907 සිට සෑම වසරක ම මුස්ලිම්වරු කෙසේ හෝ මෙම පෙරහැරට විරුද්ධ වීම හේතු කොට ගනිමින් 1909 දී බස්නායක නිලමෙගේ නියෝගය නොතකා පොලීසිය පෙරහැර ගමන් ගන්නා මාර්‍ගය වෙනස් කරන මුත් 1911 දිත් මෙම ගැටලුව මතු වුවාට සාම්ප‍්‍රදායික පෙරහැර ගෙන යන මාර්‍ගය තුළ නැවත පෙහැර ගෙන යාමට ඒජන්ත අවසර ‍‍‍‍දුණි.එහි දී වෙරළබඩ මුස්ලිම්වරුන්ගෙ පල්ලියකට යාර 50 කට පෙර හා පසුව තූර්යවාදක භාණ්ඩ හා බෙර වැයීම නොකළ යුතු බවට නීතියක් සඳහන් වී තිබූ බව’4 ඔහු පෙන්වා ‍‍‍දෙයි.‍මේ සඳහන් කර තිබූ නීතිය 1912 දී පෙරහැර පැවැත් වීමට යා‍මේ දී තද බල ඝට්ඨනයක් ඇති කළේය.එනම් 1912 දී නව පත් වීම් ලද බස්නායක නිලමෙට පෙරහැර සදහා අවසර ලැබුණු අතර, එහි දී මෙම නීතිය මගින් කරන ලද බලපෑම මත නිලමෙවරයා දේවාල නිලධාරීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නුවර දිස්ත‍්‍රික්ක උසාවියේ නඩුවක් ගොනු කළේය.

1914 පෝල්.ඊ.පිරිස් බෞද්ධයන්ට සාධාරණ වන ලෙස තින්දුව ප‍්‍රකාශ කළ ද තීතිපති විසින් එය ලංකා‍වේ ‍‍‍ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලදී.එහි දී පීරිස්ගේ තීන්දුව 1915 පෙබරවාරි 2 දින මහෙස්ත‍්‍රාත් ෂෝ හා ඩි සිමිපියෝ විසින් වෙනස් කරන ලහ.මෙයින් සෑහීමකට පත් නොවූ ගම්පළ බෞද්ධයන් එහි සාධාරණත්වයක් බලාපොරෙත්තුවෙන් ලන්ඩන්හි ප‍්‍රිවිකවුන්සලයට අභියාචනා කළේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උඩරට රාජධානියේ අවසානය ලෙසත් මුවර්වරුන්ගෙන් සිදුවන බලපෑම සාම්ප‍්‍රදායික සිංහලයන්ගේ අයිතීන්වලට හා සිරිත්වලට වන හානියක් ලෙසත් බෞද්ධයන් සිතීය.නිලමෙවරුන් 1815 ගිවිසුමෙන් කළ බෞද්ධාග‍මේ විහාර හා දේවාල ආරක්ෂා කරන බවට කළ සඳහන පිළිබඳව තර්‍ක කරන ලදී.බ්‍රිතාන්‍යයන් බලවත් වූවද ගිවිසුම ආරක්ෂා කරන බවට විශ්වාසය සිංහලයන් තුළ පැවතිය ද ලන්ඩන්හි ප‍්‍රිවිකවුන්සලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගන්නා ලද තීරණය නිවැරදීය යන සඳහන සිංහල බෞද්ධයන්ගේ අපේක්ෂාවන් කඩා බිද දැමීය.එයට හේතුව ලෙස බ‍්‍රිතාන්‍යයන් පැවසූයේ වැඩිදෙනාගේ කැමැත්තට හා නීතිමය වශයෙන් කරන වෙනස්කම් කාලයත් සමග වෙනස් විය යුතුය යන්න හා සිංහලයන් සඳහන් කරන ආකාරයේ ගිවිසුමක් අපට පිළිගත නොහැකය,තීරණ ගැනිමට බලය ඇත්තේ බ්‍රිතාන්‍යයන්ට පමණයි යන්නය.5 සෙංකඩගල ගිවිසුම පිළිබඳ ශත සංවත්සරය උදා වී තිබූ අවධියක බ්‍රිතාන්‍යයන්ගේ මෙවැනි අදහසක් උඩරට ගිවිසුම’ හුදු නාමික ලේඛනයක් බවට පත් කර ඇති බව පෙනෙයි.සිංහල ජනයාට ඉන්දියානු මුස්ලිම් වැසියන් කෙරෙහි පවතින අප‍්‍රසාදයත් මත බ්‍රිතාන්‍යයන්ගේ මෙවැනි ක‍්‍රියාවන් වසර ගණනාවක සිට කරගෙන එන ලද ආගමික පුද පූජාවන්ට කරන ලද නිග‍්‍රහයක් විය.‘සෑම ආගමික ස්ථානයක් අසල දී ම’ යන සාමාන්‍යය නීතියට සමගාමිව මුවර් පල්ලියක් ඉදිරියෙන් යන විට’ යන නව වාක්‍යය ගලපා තිබීම විශේෂ වූවා මෙන්ම එය එක්තරා ආකාරයකින් මුවර්වරුන්ට බ්‍රිතාන්‍යයන් කළ උපකාරයක් බදු විය.මයිකල් රොබට්ස් පෙන්වා දෙන ආකාරයට බ්‍රිතාන්‍ය රජය පනවා තිබූ නීති සිංහලයන් පවත්වා ගෙන ගිය ආගමික කටයුතුවල දී බාධා පැමිණ වීමට මුවර්වරුන්ට පහසුවක් වු බවයි.6 බ්‍රිතාන්‍යයන්ගේ මෙවැනි ක‍්‍රියා අධික මිලකට දුප්පතුන්ට භාණ්ඩ අලෙවි කරමින් ලාභ ලබන මුවර්වරු හා ලංකාවෙන් වාණිජ කටයුතුවල දී වාසි තකන බ්‍රිතාන්‍යයන්ට එකම ක්ෂේත‍්‍රයකදී ගණු දෙණු කරන විට හොඳ හිත පවත්වා ගෙන යෑම අතිශය වැදගත් වන්නට ඇත.


මෙම කරුණු පසුබිමෙහි පෙළ ගැසෙන විට 1915 මැයි මස 28 දින පොලිසියේ හා අදාළ බලධාරීන්ගේ අවසරය මත තූර්යවාදක කණ්ඩායමක් කාසල්හිල් වීදියේ ගමන් කරන අතර ඒ වන විට මාර්‍ගයේ ආරක්ෂාවට සිටි කුරේ නම් පොලිස් නිලධාරියා වාදන කණ්ඩායම්වලට ඒ වීදියෙන් ගමන් කිරීම තහනම් බව පවසා හරවා යැවීය.ඒ යන ගමනේයාර 120ක් පමණ එහා යෝනක පල්ලියක සිටින ජනයා මෙම බැති ගී කණ්ඩායමට සහ තූර්ය වාදකයන්ට කළ සරදම් ඉවසා ගත නොහී හරවා යැවූ කණ්ඩායමක් නැවත පෙර ගිය දෙසටම ගමන් කරන්නට විය.බැති ගී කණ්ඩායම පසු පස ගිය බෞද්ධයන්ට මරක්කලයන් ගල් ගැසීමට පටන් ගත් ‍‍‍හෙයින් උදහසට පත් වූ බෞද්ධයන් ද මුවර්වරුන්ගේ පල්ලියට හානි ක‍‍ළේය.මෙය හේතුව කර ගනිමින් රාත‍්‍රියේ ද ඇති වූ ගැටුම් දින දෙකක් පුරා මැයි මස 30 වන දින දක්වා පැවතුණි.එයින් ඇතැම් අය අත්අඩංගුවට පත් වු අතර තවත් අය සිරගත විය.පොලීසියට කෝලාහලය සංසිදවාගත නොහැකි වූයෙන් පංජාබ් හමුදාව කැඳවන ලදී.ජූලි 01 වන දින එය කොළඹ එනම්, බස්නාහිර පළතට පැතිරුණු අතර ඊළග දිනයෙහි දකුණ,මධ්‍යම,උතුර මැඳ,සබරගමුව ආදී පළාත්වලට ද පැතිර ගියේය.අවසානයේ දින 09කට පසු ජූනි 06 වැනි දින කෝලාහලය පාලනය කළ ද පැන වු යුධ නිතිය ඉවත් කරන ලද්දේ අගෝස්තු මස 30 වැනිදාය.


තත්වය වඩාත් සංකීර්‍ණවීමත් සමග ලංකා‍වේ බ‍්‍රිතාන්‍යය පාලනය මෙම කෝලාහලය ඔවුන්ගේ පාලනයට එරෙහිව සිංහලයන් විසින් නැගූ කැරැල්ලක් බවට තේරුම් ගත්තේය.එහෙයින් බෞද්ධ නායකයන් රැසක් අත්අඩංගුවට පත් විය.එහෙත් මෙම තර්‍කයට පැහැදිලි සාක්ෂි නොමැති වූවත් බ‍්‍රිතාන්‍යය පාලනය මෙම කැරලිවලට හේතුව ලෙස පවසා සිටියේ සිංහල නායකයන් වන බවයි.7 අත්අඩංගුවට ගන්නා ලද නායකයන් ගෙන් බොහෝ දෙනා කෝලාහලය මැඩපැවැත් වීමට ක‍්‍රියා කර ජීවිත හා දේපළ රැක ගැනීමට කටයුතු කළවුන් විය.එහෙත් පැහැදිලි කරුණක් වනුයේ නායකයන් හා කෝලාහලකරුවන් අතර කිසිදු සබඳතාවයක් නොවීමයි.ඒ සඳහා ඩී.එස්. ‍සේනානායක,ඩබ්ලිව්.ඒ.සිල්වා,අනගාරික ධර්‍මපාල ආදීන් නිදසුන්ය.බ්‍රිතාන්‍යය පාලනයට යුධ හා සිවිල් අරගල අතර වෙනස්කම් හරිහැටි හදුනා ගත නොහැකි වූ නිසා ඔවුන් නිලධාරී පැලැන්තිය හා පොලිසිය යොදවා හැසිර වීමට තිබූ තත්වය යුධ හමුදාව යොදා ගනිමින් මැඩ පැවැත් වීමට පියවර ගත්තේය.මෙයින් යටත් විජිත බ්‍රිතාන්‍යය පාලනය සංසිද වීමට ගත් ක‍්‍රියා මාර්‍ගය සිංහල ජනයාගෙ විරෝධය මතු කිරීමට හේතුවක් විය.ඒ කාලය තුළ හමුදාව විසින් සිදු කළ හානි පිළිබඳ පර්යේක්ෂණය නොකිරීම ද මෙම තත්වය බරපතල කළේය.යටත් විජිත නිලධාරීන්කෝලාහලය සම්බන්ධව නාගරිකව සිදු වු දෑ වැඩි ලෙස වාර්‍ත ගත කළහ.මුවර්වරුන්ට සිදුවු ජීවිත හානි හා දේපළ හානි එක් නිල වාතාවකට අනුව නිවාස ගිනි තැබිම්,කඩ ගිනි තැබිම් 350ක් ද සොරකම් කීරිම් 4075ක් ද,අනෙකුත් හානි කිරීම් 86ක් ද මුවර් මරණ 25ක් ද තුවාල වීම් 189 ක් හා දූෂණයන් 04 ක් ද ඇතුළත් වෙයි.9

කෝලාහලය සම්බන්ධව විද්වත් අදහස්

[සංස්කරණය]

නිදහසට පෙර අවධිය තුළ විවිධාකාරයේ ගැටුම් රැසක් ඇති වනු දැක ගත හැකි අතර ඒවා ඒ ඒ අංශ අනුව වෙනස් විය.1915 ඇතිවූ සිංහල මුස්ලිම් විරෝධී කෝලාහලය වඩා වැදගත් වනුයේ එය ජාතිවාදී අරගලයක් ලෙස බොහෝ දෙනා ඉස්මතු කිරීමයි.දකුණු ඉන්දියානු මුවර්වරුන් වෙළදාමට දැක් වු දක්ෂතාවය නිසා ම ඔවුන් ගෙන ගිය වෙළදාමත් සමකාලීන ලෝකයේ අනෙකුත් රටවල සමාජවල සිදුවූ පරිවර්‍තනයන් සමග මොවුන්ට තම වෙළදාම සකස් කර ගැනීමට සිදු විය. එලෙසම දිවයිනට පැමිණ කටයුතු කරන විට ඔවුන් නිතැතින්ම බහුතර ජනයාගෙන් වෙන් වීමත් තම අනන්‍යතා සකස් කර ගැනීම ද සිදු වන බව ‍‍‍‍පෙනේ.‍‍ඒ ඔවුන් වෙනස් වර්‍ගයක වෙනස් වූ ආකාරයක විශ්වාස පදනම් කර ගනිමින් ආගමික හෝ වෙනත් ජීවන ක‍්‍රමයන්ට අනුගත වූවන් බැවිනි.‍‍සිංහල ජනතාවට රුචි නොවු මුවර්වරුන්ව තමන්ගෙන් පිටස්තරව සැලකීම සිදු විය.සිංහලයන් ග‍්‍රාමීයව පවත්වන රැස්වීම්වලදී පවා මොවුන්ව තමන්ගේන් වෙන් කර අනෙකා ලෙස සලකා ලංකාවෙන් පිටුවහල් කිරීමට පවා සූදානම් වීම දැක ගත හැකි විය.එමෙන්ම සිංහල පුවත්පත් මගින් ද බොහෝ ලේඛකයන් මුවර්වරුන් වි‍වේචනයට ලක් කරනු හදුනා ගත හැකිය.මෙවැනි අප‍්‍රසාදයන් පැවතිය නිදහසට පෙර ඇති වූ 1915 කෝලාහලය ආගමික මතයක් තුළ ස්ථානගත කරනු බොහෝ අවස්ථාවල පෙනි යයි.ඇත්තෙන් ම කෝලාහලයට පසුබිමි වූ සාධකය සලකා බලන විට එය ආගමික කාරුණක් මත මුල් වූ බව පෙනේ.ආසන්නතම හේතුව ලෙස ආගම යන සාධකය බලපෑවද පෙළ ගැසෙමින් ආ කරුණු කාරණා දිගුකාලීන හේතූන් ලෙස විවිධ අධ්‍යයනයන් හා දෘශ්ටීන් මගින් නිරීක්ෂණය කර උපකල්පනය කෙරී ඇත.

පෙර සඳහන් කළ ආකාරයට මෙම කෝලාහලය සිංහල හා මුස්ලිමි ජනවර්‍ග දෙකක් අතර ඇති වූ හෙයින් එය වාර්ගික හා ජාතිවාදී අරගලයක් ලෙස හදුනා ගැනීම පැවතියද එයට මූලිකවම ආගමික කරුණුත් තවත් කාරණා ද බලපෑ බව පෙනී යන හෙයින් එය ජාතිවාදී හෝ වාර්ගිකය යන පටු විඥානය තුළින් විනිවිද දැකීම සුදුසු නොවන බව පෙනේ.එහෙත් එයට බලපාන ලද පැහැදිලි ආගමික,ආර්ථික හා දේශපාලන සාධක එකම සන්දර්භයක හෝ සන්දර්භයන් කිහිපයක් තුළ හෝ ස්ථාන ගත කළ හැකිය.මෙම කාරණය පිළිබඳව ආගමික කරුණු ම පමණක් සලකා නොබලා එයට බලපෑවා යැයි ගැනෙන අනෙකුත් කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

ඒ සඳහා සමකාලීන ලෝකයේ අනෙකුත් පෙදෙස් වෙත අවධානය යොමු කරන විට පෙනී යන්නේ පළමු වන ලෝක මහා සංග‍්‍රාමය ආරමිභ වී තිබූ අවධියක් වන බවයි.‍මේ වන විට යටත් විජිත වාසීන් බ‍්‍රිතාන්‍යයන් පරිකල්පනය කරන ලද සමාජය තුළ ජීවත් වෙමින් පූර්‍ණ නිදහස නොඉල්ලා බ්‍රිතාන්‍යය පාලනය යටතේ නිදහස ඉල්ලා සිටින ලදී.එහෙයින් බොහෝ දුරට ‍මේ කාලය වන විට යටත් විජිත අරගල , විරෝධයන් ඉස්මතු නොවීය.සමකාලීන ඉන්දියා‍වේ පවා ගාන්ධි විසින් ස්වරාජ්‍යයක් ඉල්ලනවාට වඩා බ‍්‍රිතාන්‍යයන් යටතේ පාලනයේ දී නිදහස ඉල්ලීය.ඒ සඳහා විවිධ ව්‍යාපාර ඉල්ලීම් පැවතුණි.යටත් විජිතවල මෙවැනි පසුබිමක් පවතිද්දී යුරෝපයේ පළමු වැනි ලෝක යුද්ධය මෙන් මහා සංග‍්‍රාමීය වියවුලක් පවතින විට බ්‍රිතාන්‍යයන්ට යටත් විජිත ආරක්ෂා කර ගැනීමට ද ඒවා පිළිබඳව සලකා බැලීමටද සිදු විම අපහසු කරුණක් විය.එමෙන්ම යුධ කටයුතු නිසා යුරෝපයේ වෙළඳපළවල භාණ්ඩ මිල ඉහළ නැග තිබුණි.එමෙන්ම ආහාර වැන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් පැවතුණි.ඒ තත්වය යටත් විජිතවලට ද දැනෙන්නට විය.යුරෝපයේ දරුණු යුධ ඇති වෙද්දී ඒ කෙරෙහි යමි සවිඥානික බවක් යටත් විජිත ජනයාට තිබුණ ද ඒ විඥානය කොතෙක් දුරට ගැමියන්ගේ හෝ දුප්පතුන්ගේ හෝ මෙරට සියලුම වැසියන්ගේ හෝ අවබෝධය කොතරම් පුලුල් කළා යන්න සැක සහිතය.මෙවැනි වෙනස්කම් ද කුමන ආකාරයකට හෝ කෝලාහල සඳහා යම් යම් බලපෑම් කළා විය හැකි.එහෙත් බොහෝ විද්වතුන්ගේ අදහස විමසා බලන විට 1915 කෝලාහලය වඩාත් සංකීර්‍ණ එකක් හා අර්‍ථකනත රැසකට බදුන් වූ බොහෝ ඉතිහාසඥයන් එකගතාවකට පැමිණීමට හෝ උත්සහ දරණ එකක් බව පෙනේ.


1915 කෝලාහලය පිළිබඳව මත පරීක්ෂා කර බලන විට හමුවන එක් මතයක් නම් කෝලාහල සඳහා ආගමික හේතු මෙන්ම ආර්ථික හේතු බලපෑ බවයි.‘මෙම කෝලාහලය ඇති වී ඇත්තේ සිංහල ජනයා හා දකුණු ඉන්දියාවෙන් මෑත දී සංක‍්‍රමණය වූ මුස්ලිම් ජනයා අතර ගොඩනැගෙමින් පැවති විරුද්ධත්වයේ හා වෛරයේ හැගීම්වල ඉහළම අවස්ථාව තුළයි.ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ම ආර්ථික හේතු හා මුස්ලිම් පල්ලියක් ඉරියේ යමින් තූර්ය වාදනය හා බෙර වැයීමක් වැනි ආගමික හේතු ද බලපෑ‍වේය.මුස්ලිම්වරුන්ට පැවති ආහාර ද්‍රව්‍යය හා වෙළඳ ඒකාධිකාරය සිංහලයන්ගේ අධික නොකමැත්තට හේතුවක් විය.පළමු වැනි ලෝක යුද්ධ සමයේ දී ආහාර හිගකම හා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීම් වැනි ජනතාවට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා මුස්ලිම්වරු වෙළඳා මෙන් ප‍්‍රයෝජන ගන්නා බවට සිංහලයන්ට ඒත්තු ගැන්වීමට උපකාර කළේය.

එස්.‍ ‍ජේ. තම්බියහ්

[සංස්කරණය]

මුස්ලිම්වරු වෙළඳාමට දක්ෂ ජාතියක් වූ නිසා ඔවුන්ගේ වෙළඳාම ඇතැම් විට ජනතාව දුෂ්කරතාවයන්ට යොමු කළේය.‘වෙරළබඩ වෙළදුන්ට එරෙහිව නැගුණු චෝදනාවක් වූයේ ඔවුන්ගේ වෙළදාම අවංක හා සාධාරණ නොවන බවයි.ඔවුන් ගිණිපොළියට මුදල් ණයට දෙනු ලැබීය.1915 කෝලාහලවලට පෙර පවා සිංහල ජනයා ඔවුන්ගේ කඩවල් හා ආහාර ලබාදෙන කඩවල් වර්ජනය කළේය’10. මුවර්වරු අත්‍යවශ්‍යය ද්‍රව්‍යවල මිල ඉහළ යවන බවට චෝදනාවක් විය.ඔවුන්ට විශාල වෙළඳ බලයක් කොළඹ හා අනෙකුත් නගරවල ද පැවතුණි.පළමු වැනි ලෝක යුද්ධ සමයේ සිදුවන ආර්ථික අවපාතය කෙසේ වුවත් මෙහිදී පවසනුයේ 1915 කෝලාහලවලට පෙර සිටම සිංහලයන් මුවර්වන්ගේ කඩ වර්ජනය කළ බවයි.ඒ අනුව වාණිජ තරගකාරිත්වය මත ඇති වූ බලපෑම හමු‍වේ මුස්ලිම්වරුන්ට වෙළඳාම කෙරෙහි සිංහල ජනයා හෝ මෙරට වසන අනෙකුත් ජනයා හෝ පෙළීමට තරම් බලයක් පැවති බව පෙනේ.මෙම මුස්ලිම්වරුන්ගේ එදිරිවාදීන් වූයේ පහතරට සිංහල වෙළදුන්ය.මුස්ලිම්වරුන් ගෙන් සිදු වූ අසාධාරණ හා බලවත් ආර්ථික පීඩනයන් නිසා ඔවුන්ව බොහෝ දෙනා යුදෙව්වන්ට සමාන කරන ලදී.මෙම වෛරය සිංහල ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැඩි බලපෑමක් කරන්නට ඇති බව පෙනී යයි.

කේ.එම්.ද සිල්වා

[සංස්කරණය]

1915 කෝලාහලය වෙරළබඩ මුස්ලිම්වරුන්ට එරෙහිව පැන නැගුණක්.ඔවුන් දුප්පතුන් හා කරන ලද වෙළදාම සමිබන්ධයෙන් අධික මිලකට ගණුදෙණු කළ අතර වැඩි පරාසයකට ණය දීම හේතු කොට ගෙන මුස්ලිම්වරු සිංහල වෙළෙන්ඳන්ගේ විශේෂයෙන් පහත රට සිංහල වෙළදුන්ගේ විරුද්ධවාදීන් බවට පත් විය.එහෙත් සිංහලයන්ට මුවර්වරුන්ගේ ආගම විනාශ කිරීමට හෝ වෙන යම් ජාතිවාදී ගැටලුවක් නොවීය.එසේම පහත රට වෙළදුන් බෞද්ධ ව්‍යාපාරයේ ඉතා ප‍්‍රබල සාමාජිකයන් වූ නිසාම මෙම වාණිජ එදිරිවාදිකම තියුණු ලෙස හා පහසුවෙන් ම ආගමික දෘශ්ටිවා දී මුහුණුවරක් ගත්තේය11. සිංහලයන්ගේ දැඩි එදිරිවාදිකම වැඩි ලෙස,බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප‍්‍රබලයන් වූ පහතරට සිංහල වෙළදුන්ගෙන් වාණිජ බලයක් පතුරවා සිටි මුස්ලිමිවරු කෙරෙහි ප‍්‍රතික‍්‍රියා කරන ලද්දේ සිංහල වෙළදුන්ට එතරම් ප‍්‍රබල විරෝධයක් එල්ල කිරීමට නොහැකි වූයෙන් මුස්ලිම්වරුන්ට බලපෑමක් කළ හැකි ආගමික දෘශ්ටියෙනි.එමෙන්ම විරෝධයන් ගෙන් මතු වුයේ වාණිජ තරගකාරිත්වයේ නොමනාපයන් මිස එය ආගමික හෝ ජාතිවාදී ප‍්‍රතිවිරෝධයක් නොවූ බව කේ.එම්.ද සිල්වා තම තර්‍කයෙන් ඉදිරිපත් කරයි.මෙම විරෝධතාවන් වෙරළබඩ මුස්ලිම් ප‍්‍රජාව ඔවුන්ගේ වෙළඳ පරමාර්ථය හැරුණු කොට බහුතර මුසලිම් ප‍්‍රජාවකට වඩා ඔවුන්ගේ සිවිල් අයිතීන් රැක ගැනීමට උනන්දු කළ බව පැහැදිලිවම පෙනේ.‍මේ අනුව මුස්ලිම්වරුන්ගේ විශේෂයෙන් ම වෙරළබඩ මුවර්වරුන්ගේ අනන්‍යතාවන් හා සවිඥානිකත්වයන් පහත රට සිංහල බෞද්ධයන්ගේ ආර්ථික ක‍්‍රියාකාරකම්වලට හා ජීවන ක‍්‍රමයට විරුද්ධ වීම මත හිංසනයක් බවට පත් විය.

කුමාරි ජයවර්ධන

[සංස්කරණය]

ඇය පෙන්වා දෙනුයේ යුද්ධය ඇති වී පළමු වසර වෙළද සම්බාධක නිසා ආනයන අපනයන ඉතා ඉහළ මට්ටමක පැමිණි අතර එමගින් ලංකා‍වේ නිෂ්පාදනවලට ද බලපාන ලදී.පොල් මිල ඉහළ ගොස් රබර් වෙළදාමට බාධා ඇති විය.ඒ තත්වය විරැකියාව,ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍යය ද්‍රව්‍යවල මිල ඉහළ යැවීමටත් දුප්පත් මිනිසුන්ට බලපෑම් කිරීමටත් සමත් විය.‍මේ පසුබිම මුස්ලිම් වෙළදුන්ට තිබූ අප‍්‍රසාදය ඉහළ යැවීමට හේතුවක් විය’12 යන්න පවසයි. මුවර්වරුන්ගේ පැවති වෙළඳාම සිංහල ජනයා අපහසුතාවයට පත් කළ බවත් පළමු වැනි ලෝක යුද්ධ සමයේ ආර්ථිකයේ සිදුවූ වෙනස්කම් මත මුස්ලිම් වෙළදුන් කෙරෙහි සිංහලයන්ට තිබූ නොකමැත්ත ඉහළ යාමත් මෙයට හේතු වූ බවයි.යුද්ධය නිසා ඇති වූ අගහිගකම් හා ආර්ථිකයේ උචිචාවචනයන් ඇතැම් විට සිංහල ගැමි ජනතාවට අවබෝධ කර ගැනීම අපහසු වූවා විය හැකිය.

මයිකල් රෙබට්ස්

[සංස්කරණය]

ඔහු තර්‍ක කරණුයේ කැරැල්ලේ මූලාරම්භයට විසිවන සියවස මුල් භාගයේ පැවති සිංහල දෘශ්ටිවාදයෙන් මතු වූ මුස්ලිම් විරෝධී අදහස් සුවිශාල දායකත්වයක් සැපයූ බවයි.1915 කෝලාහලයට ආර්ථික පැතිකඩ පමණක්ම නොව ආගමික පැතිකඩ ද බලපෑ බවයි.එහි දී ආගමික කාරණා ඉතාම වැදගත් ‍වේ.බෙරවාදනයට එරෙහිව බ‍්‍රිතාන්‍යයන් පැන වූ නීති ද පෙරහැර කිරීම සම්බන්ධව ඇති කර තිබූ අසාධාරණ තීරණ ද කෝලාහලයට බලපෑ බවයි13.දහනව වන සියවස ඇති වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපර මගින් ද සිංහලයන්ගේ විඥානය මුවර්වරුන්ට එරෙහිව ගොඩනැගී තිබීම ද සාම්ප‍්‍රාදායික වතාවත් උඩරට ගිවිසුමෙන් පිළිගෙන ජනතාවගේ ප‍්‍රසාදය දිනා ගත්ත ද එය නොසලකා හැරීම ද යන ප‍්‍රබල කාරණා ආර්ථිකයේ අවධානය යොමු කරන්නාවූ පැති කඩ මෙන්ම වැදගත් වන බව පෙනී යයි.මෙම කාරණා නිසැකවම ජනතාව අතර විරෝධයන් මතු වීමට බලපාන ලදී.

ජෝන් රොජර්ස්

[සංස්කරණය]

පහතරට සිංහල වෙළදුන් බෞද්ධ ව්‍යාපරය සඳහා බොහෝ උපකාර කළ වුන්ය.අනගාරික ධර්‍මපාල,පියදාස සිරිසේන ආදීන් සිංහල බෞද්ධයා’ ‘දිනමිණ’ ආදී පුවත්පත් මගින් මුවර්වරුන්ට බලපෑම් කළ අතර ඔවුන් මෙරටින් පන්නා දැමිය යුතුය යන අදහස් පවා ඉදිරිපත් කරන ලදී.පුවත්පත්වලට ලියන ලද එමෙන් ම ඒ තුළින් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව බලපෑම් කරන ලද බව බෞද්ධ නායකයන් රැසක් අත්අඩංගුවට ගනු ලැබීය. පුවත්පත් මගින් සිදු වූ බලපෑම කෝලාහලය සඳහා මුල් වූ බවට මතයක් ගොඩ නැගී ති‍බේ.එහෙත් බොහෝ නිරීක්ෂකයන් පවසනුයේ මෙම කෝලාහලයට බලෙන් මිනිසුන්ව ඇවිස්සූවක් නොව එය මිනිසුන් අතරින් ඉ‍බේටම ඇතිවූවක් බවත් එයට හේතූන් වූයේ අසාධාරණ ආර්ථික ප‍්‍රතිපත්තීන්ය යන්නයි’14 ලෙස ජෝන් රොජර්ස් පෙන්වා දෙයි.පුවත්පත්වල රචනා කරන ලද බොහෝ දෑ තුළ පියදාස සිරිසේන පවා විවිධ බැරුම් ප‍්‍රකාශ කිරීමත් එමගින් ජනතාවට තම සිරිත් විරිත් සම්ප‍්‍රදායන් පිළිබඳව නිතරම අවධාරණය කිරීමත් මෙම මතය ගොඩනැගෙන්නට හේතුවක් වී ඇත.එහෙත් ඒ තුළින් ජනතාව කෙරෙහි ඍජු බලපෑමක් පැහැදිලිවම නොවුනත් මුස්ලිම් ජනයා කෙරෙහි විරුද්ධවාදී චින්තනයක් ගොඩනැගීමට එය බලපෑවා විය හැකිය.

නිගමනය

[සංස්කරණය]

‍මේ අනුව ඉහත අර්‍ථකතන තර්‍ක තුළින් විද්වතුන් අතර ද නිශ්චිත එකගතාවක් නොමැති බව පෙනෙයි.බොහෝ දෙනාගේ දෘශ්ටිය යොමු වන තැනක් වන්නේ ආර්ථික හේතූන් බලපෑවාය යන්නයි.එහෙත් තවත් අයෙක් එය ආගමික අංශයන්ට හා ආර්ථික අංශයන්ට සමබරව පවරා දෙන අතරම එය ආර්ථික - ආගමික ගැටුමක් ලෙසද පෙන්වයි.විද්වතුන් වැඩි දෙනා එකග වන පරිදි ආගමික කරුණු පෙරදැරි කරගත් ආර්ථික පීඩනයන් හා තරගකාරිත්වය බලපෑ අතර කෙසේ වුවත් මෙම කරුණු සියල්ලම අඩු වැඩි වශයෙන් බලපෑ බව පෙනෙයි. නිදහසට දශක කිහිපයකට පෙර මිනිසුන් හා ප‍්‍රජාවන් අතර පැවති ගැටුම් වර්‍ග කිහිපයකට ලක් කළ හැකි ‍වේ.ඇතැම් ඒවා හිංසාකාරී වුවත් තවත් එ්වා වචනයට පමණක් සීමා විය.තවත් ඒවා ජනපි‍්‍රය ප‍්‍රභූ කණ්ඩායම් එකිනෙකා අතර ඇතිකරගත් ඒවා වී ද තවත් ඒවා ගම්මානවල ඉතා ස්වල්ප දෙනෙක් සම්බන්ධව ඇති වූවත් තවත් ගැටුම් නගරවල විශාල පිරිස් සම්බන්ධකර ගනිමින් ඇති වූ ඒවා විය.19 වන හා 20 වන සියවස තුළ ඇතිවූ ගැටුම් බොහොමයක් ආගම් හා වර්‍ග අතර ඇති වනු පෙනෙයි.1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලය ට සාමාන්‍යයෙන් ආගමික මුහුණුවරක් නිරූපණය කර ඇත.එහෙත් එය ජාතිවාදි දෘශ්ටියකට ලක් කර හදුන්වන අවස්ථා නැතුවා ම නොවෙයි.එමෙන් ම ආගමික කාරණා කෙරෙහි පමණක් අවධානය යොමු කරන ප‍්‍රසිද්ධ ඉතිහාසය අනෙකුත් කාරණා කෙරෙහි අවධානය අල්ප වශයෙන් යොමු කරනු පෙනෙයි.කෙසේ වුවද අවසාන වශයෙන් මෙම කෝලාහලය තුළින් මිනිසුන් දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී වීමටත් ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණ වැඩියෙන් ඉල්ලා සිටීමටත් කටයුතු කරනු දක්නට ලැ‍බේ.1915 සිංහල මුස්ලිම් කෝලාහලය සඳහා ආගමික කරුණුවලට යටින් ආර්ථික සාධක පැවතුණු බවත් පෙනෙන්නට ඇති අතර පසු කලෙක විවිධ ආකල්ප මිනිසුන් කෙරෙහි පැවතිය ද යටත් විජිත බ‍්‍රිතාන්‍යය තුළ ශ‍්‍රී ලාංකික යන විඥානය මත 'ජාතියක්' ලෙස සකස් වී අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීමට මං පෙත් විවර කරනු දක්නට ලැ‍බේ.

මූලාශ‍්‍ර

[සංස්කරණය]
  1. Tambiah,S.J. Levelling Crowds:Ethnonationalist Conflict and Collectiv Violence in South Asia,New Delhi,1997,p.p39
  2. ජයවර්ධන,කුමාරි ප‍්‍රවාද ,අංක 16,‘බෞද්ධ විඥානය හා ජනවාර්ගික ප‍්‍රශ්නය’,සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ,2000,පි.අ.633
  3. Wickramasinghe,Nira Sri Lanka in the Modern Age:A History of Contested Identites,London,2006,p.p114
  4. Tambiah,S.J. Levelling Crowds:Ethnonationalist Conflict and Collective Violence in South Asia,New Delhi,1997,p.p39
  5. Tambiah,S.J. Levelling Crowds:Ethnonationalist Conflict and Collective Violence in South Asia,New Delhi,1997,p.p37
  6. Roberts,Michale Exploring Conforntain Sri Lanka:Politics,Culture and History,Chur 1994,p.p207
  7. De Silva,K.M. History of Ceylon,Vol:3,Colombo 1973,p.p390
  8. De Silva,K.M. History of Ceylon,Vol:3,Colombo 1973,p.p390
  9. Roberts,Michale Exploring Conforntain Sri Lanka:Politics,Culture and History,Chur 1994,p.p187
  10. Tambiah,S.J. Levelling Crowds:Ethnonationalist Conflict and Collective Violence in South Asia,New Delhi,1997,p.p56
  11. De Silva,K.M. History of Ceylon,Vol:3,Colombo 1973,p.p389‍
  12. Tambiah,S.J. Levelling Crowds:Ethnonationalist Conflict and Collective Violence in South Asia,New Delhi,1997,p.p57-58
  13. Rogers,John Crime,Justice and Society in Colonial Sri Lanka,London,1987,p.p190

සබැදි පිටු

[සංස්කරණය]

අඩවි‍‍‍‍‍යෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශ‍්‍රී_ලංකාවේ_කෝලාහල&oldid=472540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි