Jump to content

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විකාශනය වීම කෙරෙහි බලපෑ සාධක

[සංස්කරණය]

කොටස් දෙකකට බෙදිය හැකිය.

  • යටත් විජිත පාලකයන් විසින් ජනවාර්ගික අර්බුදය නිර්මාණය කිරීම
  • පශ්චාත් නිදහස් සමය තුළ ජනවාර්ගික අර්බුදය උත්සන්නවීම
  • බෙදුම්වාදී ත්‍රස්තවාදය


යටත් විජිත පාලකයන් විසින් ජනවාර්ගික අර්බුදය නිර්මාණය කිරීම

[සංස්කරණය]
ඩොනමෝර් ප්‍රතිසංස්කරණ
[සංස්කරණය]
  • 1931 දී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වා දීම.
  • 1936 දී සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් පත්වීම.
  • සුළුතර ජාතීන්ට හානිකර අන්දමින් බලපෑමට ඉඩ ඇති පනත් කෙටුම්පත් ඔවුන්ගේ අකමැත්ත තිබිය දී සම්මත කර ගැනීමට හැකි වීම.
  • 1944 දී සමස්ථ ලංකා ද්‍රවිඩ සංගමය බිහිවීම.

පශ්චාත් නිදහස් සමය තුළ ජනවාර්ගික අර්බුදය උත්සන්නවීම

[සංස්කරණය]

පුරවැසි පනත

[සංස්කරණය]

1948 අංක 18 දරණ පුරවැසිවැසි පනත මගින් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉන්දියානු සම්භවයක් සහිත ජනයා විසින් සම්පූර්ණ කළ යුතු කොන්දේසි පුරවැසි පනත මගින් ලැයිස්තු ගත කොට නීති ගත කරන ලදී. මෙම ඉන්දීය සම්භවයන් සහිත ජනයාගෙන් බහුතරය මෙරටට ගෙන එන ලද්දේ බි‍්‍රතාන්‍යයට අයිත්ව තිබූ තේ වතුවල නිරත කරවීම සඳහාය. එබැවින් මෙම පනත මගින් රටේ ජීවත් වූ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයාගෙන් බහුතරයකට පුරවැසිභාවය අහිමි විය.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය

[සංස්කරණය]

නිදහසින් පසු යුගයේ ප‍්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර ගැටුම් ඇතිවීමට බලපෑ ප‍්‍රබල සාධකයක් ලෙස රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය සැලකිය හැකිය. බි‍්‍රතාන්‍යය පාලන සමයේ ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කරන ලද්දේ ඉංගී‍්‍රසි භාෂාවයි. (රටේ සමස්ත ජනගහනයෙන් 80%කට වැඩි ප‍්‍රමාණයකට ඉංගී‍්‍රසි භාෂාව කියවීමට හෝ ලිවීමට නොහැකි විය) එකල ඉංගී‍්‍රසි භාෂාව රජයේ රැකියාවලදී මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ද භාවිතා කරන ලදී. එහෙත් ජනගහනයෙන් බහුතරයකට ඉංගී‍්‍රසි භාෂාව හැසිරවිය නොහැකි විය. මෙම පසුබිම තුළ 1940 දශකය ආරම්භයේ දී සිංහල හා දෙමළ නායකයන් වෙතින් ඉංගී‍්‍රසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පවත්වාගෙන යාමේ ප‍්‍රතිපත්තියට එරෙහිව ප‍්‍රබල විරෝධයක් මතුවිය. මෙලෙස නිදහස ලබන අවධිය වන විට ලංකාවේ දේශපාලන පක්ෂ ඉංගී‍්‍රසි වෙනුවට සිංහල හා දෙමළ භාෂාවට සමතැන තිබිය යුතුයැ යි එකඟත්වයකට එළඹී තිබුණි. (Russell,1982:07) නමුත් 1955 වන විට මෙම පොදු ප‍්‍රතිපත්තියට එරෙහිව ව්‍යාපාරයක් මතුවිය

1956 මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රමුඛත්වයට පත් අංශය වුයේ රාජ්‍ය භාෂාව පිළිබඳ ප‍්‍රශ්නය යි. මැතිවරණයට ඉදිරිපත් වූ මහජන එක්සත් පෙරමුණ සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව විය යුතු බව ප‍්‍රකාශ කරන ලදී. මේ අයුරින් පැවති භාෂා ප‍්‍රශ්නය පිළිබඳ විවාදය සිංහල හා දෙමළ ජනවර්ග අතර පැවති සම්බන්ධතාවය ගැටුමක් බවට පරිවර්තනය කරන ලදී. ශී‍්‍ර ලංකාව පිළිබඳ අධ්‍යයන ගණනාවක් සිදුකළ දේශපාලන විචාරකයෙකු වූ එම්. ආර්. සින්ගර් (M.R.Singer) අවධාරණය කළ ආකාරයට 1956 මැතිවරණ ව්‍යාපාරය සිංහල හා දෙමළ ගැටුම නිළ වශයෙන් ආරම්භ වූ අවස්ථාව විය.

1956 ජුනි මහජන එක්සත් පෙරමුණු රජය විසින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ප‍්‍රකාශයට පත් කිරීම භාෂා ප‍්‍රශ්නයේ උච්ච අවස්ථාව විය. එමගින් සිංහල දෙමළ ජනවාර්ගික සම්බන්ධතාවයන් හි නව අවධියක ආරම්භය විය. එමගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවය අධ්‍යාපනය ආදී ක්‍ෂේත‍්‍රයන් හි නොවැදගත් තැනකට පත් වූ බවට දෙමළ ජනයාගෙන් ‍දුක් ගැනවිල්ලක් ඉදිරිපත් විය.

මේ අයුරින් ශී‍්‍ර ලංකාවේ වාසය කරන බහුතර ප‍්‍රජාවගේ භාෂාව වන සිංහල එකම රාජ්‍ය භාෂාව කිරීම වූ කලී නිදහසින් පසු ශී‍්‍ර ලංකාව තුළ එතෙක් කි‍්‍රයාත්මක වෙමින් තිබූ සිංහල දෙමළ ජනවාර්ගික සම්බන්ධතාවයන් විනාශ කර දැමීමේ ප‍්‍රථම කි‍්‍රයාකාරකම ලෙස හැඳින්විය හැක.

රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය

[සංස්කරණය]

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය සමග බැඳුණු ගැටළුවක් ලෙස රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය සැලකිය හැකිය. නිදහස ලබන අවස්ථාව වන විට රාජ්‍ය අංශය ප‍්‍රධාන සැපයුම්කරුවා විය. බි‍්‍රතාන්‍යය පාලන සමයේදී යාපන අර්ධද්වීපයේ අධ්‍යාපන පහසුකම් දිවයිනේ අන් ප‍්‍රදේශවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම නිසා රාජ්‍ය සේවාව තුළ නීති, පරිපාලන, වෛද්‍ය වෘත්තීන් තුළ ශී‍්‍ර ලංකාවේ දෙමළ ජන කොටස තම සංඛ්‍යාවට වඩා වැඩි බලපෑමක් හා නියෝජනයක් අත්කරගෙන සිටියේය.

මෙලෙස රජය විසින් ඉතා දැඩි ආකාරයෙන් රාජ්‍ය සේවාව තුළ දෙමළ නියෝජනය කප්පාදු කිරීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතු කර ගෙන රාජ්‍ය සේවාව තුළ දෙමළ නියොජනය ක‍්‍රමයෙන් පහළ බසින්නට විය. නිදහස ලැබූ අවස්ථාව වන විට රාජ්‍ය සේවාවේ 30%ක් නියෝජනය කළ දෙමළ පිරිස් 1945 වන විට 6% දක්වා අඩුවීම මගින් එය තහවුරු වෙයි. (Samaranayake,1998:172)

ෆෙඩරල් පක්ෂයේ භූමිකාව

[සංස්කරණය]

1948 සහ 1949 වර්ෂවල දී ඞී.එස්. සේනානායක ආණ්ඩුව විසින් හඳුන්වා දුන් පුරවැසි පනත්වලට විරුද්ධත්වය පළකරමින් එම ආණ්ඩුව සමග සහයෝගීතා ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි දෙමළ සංගමයේ පිරිසක් ඉන් කැඞී ගොස් ෆෙඩරල් පක්ෂය පිහිටුවන ලදී. මෙම පිරිසට නායකත්වය දෙන ලද්දේ එස්.ජේ.ටී. චෙල්වනායගම් විසිනි. පුරවැසි පනත්වලට විරුද්ධව ජන්දය දුන් ද්‍රවිඩ සංගම් සාමාජිකයෝ ඉන් ඉවත් වී 1949 දෙසැම්බර් මාසයේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි (Ilankai Tamil Arasukachchi) හෙවත් ෆෙඩරල් පක්ෂය පිහිට වූහ.

ආරම්භයේදී ෆෙඩරල් පක්ෂය ඉස්මතු කළ ප‍්‍රබල කරුණක් වුයේ උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ අභ්‍යන්තර සංක‍්‍රමණයි. මෙකල රජය විසින් අධික ජන ඝනත්වයකින් යුත් තෙත් කලාපයේ සිංහල ජනතාව උතුරු නැගෙනහිර පළාත් තුළ ගොවි ජනපද ව්‍යාපාරයෙහි පදිංචි කරවීමේ වැඩපිළිවෙලක් අරඹා තිබුණි. මෙම ජනපද වැඩපිළිවෙල තුලින් තම මාතෘ භූමියේ මෙන්ම ස්වකීය සංස්කෘතිය ද විනාශයට පත්වනු ඇති බවට දෙමළ ජාතිකයෝ සිතූහ. දෙමළ බහුතරය වෙසෙන ප‍්‍රදේශවල ගොවිජනපද පිහිටුවීමේ දී ප‍්‍රමුඛත්වය දිය යුත්තේ ද්‍රවිඩයන්ට බව ඔවුන්ගේ අදහස විය.

ෆෙඩරල් පක්ෂයේ භූමිකාව විශ්ලේෂණය කිරීමේ දී ”සිංහලකරණය” කි‍්‍රයාවලියට එරෙහිව ඔවුන් විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරය ද වැදගත් වේ. සිංහල පමණක් ” පනත කි‍්‍රයාත්මක වීමෙන් අනතුරුව ෆෙඩරල් පක්ෂය විසින් දියත් කළ ප‍්‍රබල විරෝධතාවය නිසා ඔවුන් අස්වැසීමේ උත්සාහයන් කිහිපයක් දරන්නට සිංහල නායකයන්ට සිදුවිය. 1957 හඳුන්වා දෙන ලද බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම එවැනි උත්සාහයන්ගේ පළමුවැන්නා විය. ”සිංහල පමණයි ” පනත හඳුන්වා දුන් නායකත්වයට රට සභා” යනුවෙන් හඳුන්වා දෙන ලද බලය විමධ්‍යගත කිරීමේ ඒකක ඔස්සේ වැදගත් සභා රැසක් දෙමළ නායකයින්ට ඉදිරිපත් කළේය. නමුත් අවසානයේ දී ගිවිසුම අත්සන් කොට මාස දෙකක් ගතවූ පසු ආණ්ඩුව ඒකපාර්ශවීය ලෙස ගිවිසුම ඉල්ලා අස්කර ගත්තේය.

1960 දී අසාර්ථක වුවත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය යටතේ පිහිටුවන ලද සභාග ආණ්ඩුවේ ඇමති ධූරයක් බාර ගැනීමට ෆෙඩරල් පක්ෂය තීරණය කරන ලදී. මේ අවස්ථාවේ දී දෙපාර්ශවය ඩඩ්ලි ‍‍චෙල්වනායගම් ගිවිසුම යනුවෙන් ප‍්‍රසිද්ධ වූ එකඟතාවයකට එළඹ දිස්ති‍්‍රක් සභා පිහිටුවන්නට තීරණය කරන ලදී . එය 1957 ඉදිරිපත් කළ රට සභා සමඟ සන්සන්දනය කිරීමේ දී අඩු බලතල සහිත අධිකාරියකි. ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම අත්සන් කොට අවුරුදු දෙකක් ඉකුත් වූ පසු 1968දී සිංහල බෞද්ධ කණ්ඩායම්වල හා විරුද්ධ පාක්ෂික දේශපාලන කණ්ඩායම්වල විරෝධතාවන්ට ඉලක්ක විය. එවිට නැවත වරක් බලය විමධ්‍යගත කිරීම පිළිබඳව සංකල්පය අර්බුදකාරී ගැටලූවක් බවට පත් වූ අතර අවසානයේ දී ආණ්ඩුව එම කෙටුම්පත අතහැර දමන ලදී .

විශ්ව විද්‍යාල ප‍්‍රවේශය පිළිබඳ ගැටළුව

[සංස්කරණය]
ගොනුව:JaffnaLib2.jpg
යාපනය පුස්තකාලය (ගිනි තැබීමට පෙර)

1970 දශකය ආරම්භයේ දී හඳුන්වා දුන් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හේතු කොටගෙන දෙමළ භාෂාව කතා කරන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු විය. මීට පෙර කි‍්‍රයාත්මක කළ සිංහල භාෂා පනත මගින් ඇති කළ වෙනස්කම් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දෙමළ ජනතාවගේ තත්වය දුර්වල කිරීමට සෘජු ලෙස බලපෑම් කරනු ලැබුවේ නැත. එහෙත් රාජ්‍ය භාෂාව පිළිබඳ ගැටළුවට වඩා දැඩි ලෙස බලපෑම් ඇති කළ ගැටළුවක් ලෙස උසස් අධ්‍යාපනය තුළ විද්‍යා අධ්‍යාපනයට ඇතුළු වීමට දෙමළ සිසුන්ට තිබූ අවස්ථාව සැලකිය හැකිය. 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ඉලක්ක කර ගනිමින් පුළුල් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන ලදී. එමගින් ප‍්‍රමිතිකරණය සහ දිස්ති‍්‍රක් පදනම සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාල ප‍්‍රවේශය තීරණය කළ යුතුය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල විද්‍යා විෂයන් මුල් කරගත් පීඨවලට ඇතුළු වූ දෙමළ සිසුන්ගේ සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස පහත වැටෙන්නට විය. 1960 ගණන්වල දී ලබා ගත් සංඛ්‍යා ලේඛණවලට අනුව විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨයන් හි දෙමළ ශිෂ්‍ය අනුපාතය පිළිවෙළින් ඉංජිනේරු පීඨයේ 37.2%, වෛද්‍ය පීඨයේ 40.%, කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨයේ 41.9% විය. (Silva,1979:15) නමුත් උසස් අධ්‍යාපන ප‍්‍රමිතිකරණය ආරම්භ කිරීම තුළ මෙම තත්වය සීඝ‍්‍රයෙන් වෙනස් විය.

1975 වන විට විශ්වවිද්‍යාල වලට ඇතුළත් වූ මුළු දෙමළ ශිෂ්‍ය සංඛ්‍යාව 19% දක්වා අඩු වූ අතර සිංහල ශිෂ්‍ය සංඛ්‍යාව 78% දක්වා ඉහළ ගියේය. (Silva, 1999:105) මහාචාර්ය සී.ආර් ද සිල්වා අවධාරණය කරන ආකාරයට දෙමළ තරුණයන් අතර බෙදුම්වාදී මතවාදය වර්ධනය වීම කෙරෙහි සෘජුව බලපෑවේ ප‍්‍රමිතිකරණයි. ඔහුගේ අදහස වුයේ මෙම ප‍්‍රතිපත්තිය බලාපොරොත්තු නොවු දේශපාලන ප‍්‍රතිවිපාක අත්කර දුන් බවය.


ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

[සංස්කරණය]
  • උයන්ගොඩ, ජයදේව 2008, ලංකාවේ දේශපාලන වෙනස්වීම් 2007-2008. කොළඹ:සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
  • ගුරැගේ, ලයනල් 2004, ශ්‍රී ලංකාවේ ජාතිකත්ව ගැටළුව සහ විසදුම්ත කොළඹ:විකල්ප ප්‍රතිලත්ති කේන්ද්‍රය.
  • නාරායන්, එම්.ආර්. 1996. ලංකා කොටි. කොළඹ:‍ලේක්හවුස් පොත්හල.
  • මුණසිංහ, සරත් 2000. යුධබිමේ මෙහෙවර. කර්තෘ ප්‍රකාශනයකි.
  • හෙට්ටිආරච්චි, ශිරානි 2003. "ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම සහ සාම ප්‍රයත්න" ගැටුම් නිරාකරණය. වරකාපොළ:ආරිය ප්‍රකාශන.
  • Russell, Jone 1982. Commune Politic under the Donaugh more Constitution 1931-1947. Dehiwala: Tissa Prakashakoyo Ltd.
  • Silva, C.R. 1979. The Impact of Nationalism on Education
  • Wilson, A. Jayarathnam 1994. S.T.V. Chalvanayakan and the crisis of Sri Lankan Tamil Nationalism 1947-1972- London United Kindom by Hurst & Co.

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]

මෙම අඩවිත් බලන්න