ශ්‍රී ලංකාවේ කැටයම් කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ආයුබෝවන්
Photo.JPG


හැඳින්වීම[සංස්කරණය]

කිසියම් රටක සංස්කෘතික උරුමයේ වැදගත්ම අංගයක් ලෙස එරට සතු පැරණි කලා මාධ්‍යයන් හඳුන්වා දිය හැක.සම්ප්‍රදායික කලා මාධ්‍යයන්කිසියම් සමාජයක ආධ්‍යාත්මය පිළිඹිබු කරන කැටපතක් ලෙස අගය කල හැකිය.කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නොව ඔවුන්ගේකලා රසඥතාවන්,විද්‍යාත්මක හා තාක්ෂණික ඥානයන් එසේම ශිල්පීය කුසලතාවන් සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ගෙන් මනාව නිරූපණය කෙ‍රේ.

සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතර කැටයම් උදෙසා ලැබෙනුයේ අග්‍ර ගන්‍ය ස්ථානයකි.විශේෂයන් ලක්දිව කැටයම් කලාව ඒ අතරින් සුවිශේෂී වනුයේ ‍හෙළ ගල් වඩුවාගේ අප්‍රතිහත ධෛර්ය,හැකියාව,නිර්මාණ ශීලිත්වය මනාව පිළිඹිබු කිරීම නිසා පමණක් නොව තමන්ට ආවේණික වූ නිර්මාණ ශිල්පීයත්වයක් එයින් පිළිඹිබු කරන හෙයිනි.ලක්දිව සම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතීතයේ සිටම විකාශනයට පත් වූවකි.ප්‍රාග් ඓතිහාසික යුගයේ කවර අන්දමේ කැටයම් කලාවක් පැවතියේද යන්න පිළිබඳව කිසිවක් පැහැදිලිව කිව නොහැක්කේ ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලැබී නැති හෙයිනි.නමුදු ක්‍රි.පූ.6 වන සියවසේ බුදු සමයේ හදුන්වාදීමත් සමඟම දේශීය කැටයම් කලාවේ නව උන්නතියක් හා නව මුහුණුවරක් ඇති වූ බව නිගමනය කළ හැකිය. එමේන්ම පැරණි ලක්දිව කැටයම් කලාවේ ස්වභාවය හා විකාශනය පිළිබඳව අධ්‍යයනය කරන විට පැහැදිලි වන එක් කරුණක් වන්නේ,දේශීය කැටයම් කලාව ආගමික කථා වස්තු,තේමාවන්,රැගත් වෘත්තාන්ත මාධ්‍යයකට වඩා හුදෙක් විචිත්‍රත්වය සුන්දරත්වය,අලංකාර ‍ගෙන එන මාධ්‍යයක් වශයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.කැටයම් කලාව පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකදී එය පැහැදිලි වේ.පැරණි ලක්දිව කැටයම් කලාව අධ්‍යයනය කරන විට විද්‍යාමාන වන කැටයම් අතර


  • වාහල්කඩ
  • සඳකඩ පහණ
  • මුරගල
  • කොරවක් ගල
  • ඉසුරුමුණිය
  • ඇම්බැක්කේ ලී කැටයම්
  • ඇත් දත් කැටයම්

දක්නට ලැබේ.


වාහල්කඩ:-[සංස්කරණය]

වාහල්කඩ‍‍


පැරණි ලක්දිව කැටයම් කලාව අධ්‍යයනයේදී පැරණිතම කැටයම් හමුවන්නේ අනුරාධපුරයේ ඇති වාහල්කඩ යන ගෘහ නිර්මාණික අංගයෙන් බව පුරා විද්‍යාඥයන්ගේ නිගමනයයි.පැරණි යුගයේ මෙම වාහල්කඩ යන අංගය හඳුන්වා ඇත්තේ "ආයක්" යනුවෙනි.වාහල්කඩ යනු ලක්දිව පැරණිම දාගැබ්වල සතර දිශාව බවත්,දාගැබේ පහළ කොටසට සම්බන්දව ඉඳි කෙරුණ ප්‍රක්ෂේපණ 4ක් බවත්ය.ගල් පුවරුවලින් නිමවන ලද මෙම අංගය මූලික වශයෙන්ම සෘජුකෝණස්‍රාකාර ආකෘතියක් ගන්නා අතර එහි මධ්‍ය කොටස ඉදිරියට නෙරා ඇවිත් ඇත.මෙම වාහල්කඩේ පහළ කොටස කැටයම්වලින් තොර වූ සරල ගල් පුවරුවලින් සකස් වී ඇති අතර ඉහළ කොටස සකස් වී ඇත්තේ ඇතුළු පැත්තට හා පිට පැත්තට නෙරා ගිය ගල්තීරුවලිනි.එසේම මෙම වාහල්කඩේ දෙකෙළවර උස ගල් කණුවක් හා මිටි ගල්කණුවක් සෑම විටම දක්නට ලැබේ.මෙම වාහල් කඩ අංගය අලංකාර කිරීම සඳහා යොදා ගත් විවිධ කැටයම් වාහල්කඩ කැටයම් වේ.මෙම කැටයම් වලින් සෞභාග්‍ය හා ආරක්ෂාව වැනි හැඟීම් සං‍ඛේතවත් කරන සම්ප්‍රදායික කැටයම් මොස්තර නිරූපණය වේ.වාහල්කඩ වල ඉහළ කොටසේ ,දිග් අතට වැටී ඇති ගල් තීරුවලත් දෙකෙළවර පිහිටි ගල්කණුවලත් කැටයම් මොස්තර දක්නට ලැබේ.ඇතා,අශ්වයා,සිංහයා,ගවයා යන සතුන් හතරදෙනාගේ සත්ත්ව පෙරහැරත්,චෛත්‍යකාවාට යන සංඛේතයත්,සිරිවක්ස යන සංඛේතයත්,ත්‍රිරත්නය යන සංඛේතයත්,පූර්ණ සමයත්,නාග රූපයත්,වාමන රූපයත්,මකර රූපයත්,හංස රූපය හා නෙළුම් මල දැක්වෙන රූපයත් කැටයම් අතර කැපී පෙනේ.එසේම විවිධ ලියවැල් හා මල්වැල් අලංකරණය සඳහා යොදා ගෙන ඇත. දැනට ලක්දිව හමු වී ඇති පැරණිම වාහල්කඩ කැටයම වන්නේ "මිහින්තලයේ කණ්ඨක චෛත්‍යයේ" ඇති වාහල්කඩ කැටයම්ය.මෙහි එන කැටයම් මෝස්තර පැරණි දඹදිව කැටයම්වල ආභාසය මැනවින් සිහිගන්වයි.පැරණි අනුරාධපුර නගරයේ මිරිසවැටිය ස්ථූපයේත්,රුවන්වැලි සෑයේත්,දක්නට ලැබුණු කැටයම් කණ්ඨක චෛත්‍යයේ කැටයම්වලට වඩා තරමක් දියුණු අවස්ථාවක්වේ.එසේම අභයගිරි හා ජේතවන ස්ථූපවල වාහල්කඩ කැටයම් තවදුරටත් මුහුකුරා ගොස් ඇත.අනුරපුර යුගයේ ගල්පුවරුවලින්ම නිර්මාණය වූ මෙම වාහල්කඩ පොළොන්නරු යුගයේ ගලින්,ගඩොලින් හා බදාමෙන් නිර්මාණය වූ අතර එය කලාත්මක අගයෙන් තොර වී ගිය බව කිව යුතුය. නූතන යුගය සම්බන්දයෙන් බලන විට පෙනීයන්නේ මෙම වාහල්කඩ යන අංගය වෙනුවට පියස්සක් සහිත මල් ආසන බිහි වී ඇති බවයි.


සඳකඩ පහණ:-[සංස්කරණය]

Anuradhapuraye sadakadapahana.jpg


සඳකඩ පහණ පැරණි ලක්දිව කැටයම් කලාවේ බෙහෙවින්ම කැපීපෙනෙන අංගයක් වේ.පැරණි ලක්දිව ඉදිකරන ලද ආගමික හා ගිහි ගොඩනැගිලිවලට ඇතුළු වීම සඳහා වූ පියගැට පෙළෙහි මුලටම තබන ලද අර්ධකවාකාර ගල්පුවරුව සඳකඩ පහණ වන අතර වර්තමාන පාපිස්සකින් සිදුවන කාර්යය ඉටුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.


  • අමාවතුරෙහි '"අඩසඳපහණ"'
  • සද්ධර්මරත්නාවලියේ

හා පූජාවලියේ "සඳකඩපහණ"

  • පාලි බෞද්ධ ග්‍රන්ථවල "අඩිස් චන්ද පාෂාණ" ලෙසත් හැඳින්වේ.





අනුරාධපුර යුගයේ සඳකඩ පහණ[සංස්කරණය]

බොහෝ දුරට ලක්දිවට පමණක් ආවේණික වූ කැටයම් අංගයක් වන සඳකඩ පහණ අනුරාධපුර යුගයෙන් ආරම්භ වී ඇත.අනුරාධපුර මුල්ම යුගයට අයත් සඳකඩ පහණ සෘජු කෝණාස්‍රාකාර ආකෘතියක් ගන්නට ඇතැයි උපකල්පණය කළ හැකිය.

උදා:- මිරිසවැටිය විහාර සංකීරණය

එය කිසිදු කැටයමකින් තොර වූ අතර හුදෙක් සරල චාම් අර්ධකවාකාර ගල් පුවරුවක් බව පමණක් කිව යුතුය.අනුරාධපුර සඳකඩ පහණේ මීළඟ අවස්ථාව වූයේ සම්පූරණයෙන් පිපුණු නෙළුම් මලක අඩක් සරල ගල් පුවරුව මධ්‍යයෙහි නිරූපණය කිරීමයි.

උදා:- ශ්‍රී මහා බෝධියට ඇතුළු වන දොරටුව අභියස

Anuradapuraye sadakadapahana.jpg


සඳකඩ පහණ විකාශනයේ තවත් දියුණු අවස්ථාවක් ලෙස පෙරහැර ඊට එක් වීම දැකිය හැකිය.සඳකඩ පහණ විකාශනයේ පරිසමාප්ත අවස්ථාවට පත් වීමෙන් අනතුරුව එය කලාත්මක පක්ෂයෙන්ද විශිෂ්ටත්වයට පත් විය.අනුරපුර යුගයේ දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම මුහුකුරා ගිය සඳකඩ පහණ කැටයම් මෝස්තර තුනකින් සමන්විත විය.පිටතින්ම ඇති තීරුවේ හමුවන්නේ ගිනිදැල් හෝ පලා පෙති ය.ඊළඟ තීරුවේ ඇත්,සිහ,හා ගව යන සතුන් හතරදෙනාගේ පෙරහැරකි.මෙම සතුන් වමේ සිට දකුණට ගමන් කරයි.ඉන් පසුව ලියවැලකි.ලියවැලට පසුව හමුවන්නේ වමේ සිට දකුණට ගමන් කරන නෙළුම් පොහොට්ටු කටින් ගත් හංසපෙළකි.සඳකඩ පහණෙහි මධ්‍යයේම නිරූපණය වන්නේ සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම් මලක අර්ධයකි. අනුරාධපුර යුගයට අයත් දැනට ලැබී ඇති හොදම සඳකඩ පහණ හමුවී ඇත්තේ අභයගිරියට නුදුරුව පිහිටි බිසෝමාළිගයේ බව සොයා ගෙන ඇත.

පොළොන්නරු යුගයේ සඳකඩ පහණ[සංස්කරණය]

‍පොාළාන්නරුව සඳකඩ පහණ.jpg

ලක්දිව ඓතිහාසික යුගයේ දෙවන උප අවධිය ලෙස පිළිගැනෙන පො‍ළොන්නරු යුගය තුළදී සඳකඩ පහණ සැලැස්මෙහි යම් යම් වෙනසිකම් කිහිපයක් ඇති බව පැහැදිය.පොළොන්නරු යුගයේ සඳකඩ පහණ කවයකින් 3/4ක් පමණ වන අතර එහි මධ්‍යයේද නිරූපණය වන්නේ පිපුණු මලක 3/4ක් වේ.පොළොන්නරුවේ නෙළුම් මල,අනුරාධපුරයේ ‍නෙළුම් මලට වඩා මඳක් ඉහළට එස වී ඇත. පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ නිරූපණය කර ඇති රූප අතුරින්ගවයා අතුරුදහන් වී ඇති අයුරු පෙනේ.මෙයට හේතුව හින්දු ආගමේ බලපෑම නිසා බව උගතුන්ගේ පිළිගැනීමයි.හින්දු ආගමේ ප්‍රධාන දෙවියෙකු වන ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා පෑගීම අයහපත් ක්‍රියාවක් ලෙස සැලකෙන්නට ඇත.අනුරපුර යුගයේ සතුන් හතරදෙනාම එකම පෙරහැරක ගමන් ගත් අතර පොළොන්නරු යුගයේදී එක් එක් සත්ත්වයා සඳහා වෙනවෙනම පේළි යොදා ගෙන ඇත.අනුරපුර යුගයේ සඳකඩ පහණෙහි නෙළුම් මල අසලින්ම නිරූපිත හංස පංතිය මේ සඳකඩ පහණේදී පිටතම තීරුවට තල්ලු වී ඇත.එසේම මෙම යුගයේ ලියවැල් කීපයක් යොදා ගෙනද ඇත.හින්දු ආභාසය හේතු කරගෙන විවිධ මෝස්තර හා අලංකරණය සිදු වී තිබුණද අනුරාධපුර යුගයේ සඳකඩ පහණ කලාත්මක බවින් හා ජීවමාන බවින් ඉහළ බව පෙනී යයි.පොළොන්නරුවේ ඇති හොඳම සඳකඩ පහණ දළදා මළුවේ ඇති සඳකඩ පහණ වේ.

මහනුවර යුගයේ සඳකඩ පහණ[සංස්කරණය]

අඩකවයකින් ඇරඹි සඳකඩ පහණ බොහෝ දුරට සම්පූර්ණ කවයක ආකාරයට මේ යුගයේ දී වී ඇත.පූර්ව යුගයන්හි අඩක් දැක්වූ නෙළුම් මල මහනුවර යුගයේ සම්පූර්ණයෙන්ම නිරූපණය කර ඇති අතර එය ඉහළට එසවී ඇති ආකාරයක්ද පෙනී යයි.මහනුවර යුගයේ සඳකඩ පහණේ මූලික අවධානයක් යොමු වී ඇත්තේ නෙළුම් මල සඳහාය. පැරණි යුගයේ සඳකඩ පහණ්වල නිරූපණය කෙරෙන සතුන් සියල්ලම මේ යුගයේදී අතුරුදහන් වූඅතර ඒ වෙනුවට විවිධ අලංකාර ලියවැලින් හා මල්වැලින් පිරී ගිය බව පෙනේ.මහනුවර යුගයට අයත් හොඳම සඳකඩ පහණ හමුවන්නේ දළදා මාලිගය ආශ්‍රයෙනි.


සඳකඩපහණ



සඳකඩ පහණේ පිංතූර එකතුව[සංස්කරණය]


මුරගල:-[සංස්කරණය]

මුරගල

සඳකඩ පහණ මෙන්ම පැරණි දේශීය කලාකරුවාගේ නිර්මාණ කුසලතාවන් හා ශිල්පීය කුසලතාවන් පිළිඹිබු කරන කැටයම් අංගයක් ලෙස මුරගල දැක්විය හැකිය. ලක්දිවට ආවේණික කලා නිර්මාණයක් වන මෙය පැරණි ලක්දිව ආගමික හා ගිහි ගොඩනැගිලිවලට පිවිසෙන පියගැටපෙළ දෙපස සිරස් අතට තබා ඇති ගල් පුවරු වේ.සාමාන්‍යයෙන් මෙම මුරගල්වල උපරිභාවය අර්ධකවාකාර හැඩයක් ගන්නා අතර ප්‍රමාණයෙන් උස අඩි 3 සිට 5 දක්වාත් පළල 1 සිට 3 දක්වාත් වේ.මුලින්ම ඉදිකරන ලද මුරගල් කිසිදු කැටයමකින් තොරව ඉතා සරල චාම් ගල් පුවරුවක් විය. ක්‍රම ක්‍රමයෙන් මෙම සරල ගල් පුවරුවල විවිධ අන්දමේ මංගල වස්තු සහ සෞභාග්‍ය සංඛේතවත් කෙරෙන වස්තු නිරූපණය විය.විවිධ සංකලනයන් මඟින් පැරණි කැටයම්කරුවා ඉතා අලංකාර කලාත්මකභාවයෙන් යුත් නාග රූප මුරගලක් අනුරාධපුර යුගයේ දෙවන භාගයේ පහළ විය.මෙහි ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපිත හිටි ඉරියව්වෙන් යුත් නාග රාජයාටය. ඔහුගේ හිසට පිටුපසින් පෙණ මණ්ඩලයක් දක්වා ඇති අතර එහි ශීර්ෂ සංඛ්‍යාව 3 හෝ 5 හෝ 7 හෝ වශයෙන් නිරූපණය කර ඇත.අලංකාර හිස් වැස්මක් ඇති මෙම නාග රාජයාගේ උඩුකය නග්නව දක්වා ඇති අතර යටිකය වැසී ඇත්තේ ජෝතියකිනි.කර්ණාභරණ,මාල ,වළලු, බඳ පටි හා සලඹ පැළඳ ගත් මේ නාග රූපය සැමවිටම එක් කකුලකට බර දී අනෙක් කකුල පහසුවෙන් තබා ගත් ආකාරයක් දැක්වේ.මෙම නාග රූපයේ එක් අතක ඇති පුන්කලස දිව්‍ය ලෝකයේ සිතූ පැතූ සම්පත් දෙන වස්තුන් හතරින් එකක් වූ භද්‍රා සමය නිරූපණය කෙරෙන අතර අනෙක් අතින් කල්ප වෘක්ෂය සංඛේතවත් කෙරේ.අනුරාධපුර මුරගල මේ ආකාරයේ කලාත්මක හා නිර්මාණශීලී වූවද,ඉන් අනතුරුව පොළොන්නරු යුගය එතරම් නිර්මාණශීලී බවක් දක්නට නොලැබේ.


මුරගල


කොරවක් ගල:-[සංස්කරණය]

කොරවක්ගල.jpg


මුරගල ආසන්නයේම දක්නට ලැබෙන කොරවක් ගලද ලක්දිව කැටයම් කලාව මූර්තිමත් කරන්නකි.ඉතා සරල අන්දමින් ආරම්භ වූ කොරවක් ගල අනුරාධපුර යුගයේ දෙවන භාගයේ දී මකර කොරවක් ගල බවට පත් විය.අඩක් ඉස්මතු කළ කුළුණක් මත සිටගත්මකර රූපයක් හාඋගේ විවෘත මුඛයෙන් නික්මී පහළට වක් වී යන ලියවැලක් මෙම මකර කොරවක් ගල්වල දක්නටඇත. මෙම මකර රූපයට භාරතීය ආභාසය ලැබී ඇත. පැරණි භාරතීය කලාකරුවා මකරු නිරූපණය කර ඇත්තේ මනඃකල්පිත සත්ත්වයෙකු මෙන්ය. මකර රූපය නිරූපණය කර ඇත්තේ ජීව ලෝකයේ හමුවන සත්ත්වයින් හත්දෙනෙකුගේ අංගෝපාංග ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.


01 කිඹුලාගේ කට
02 ඇතාගේ හොඬවැල
03 සිංහ‍යාගේ පාද
04 ඌරාගේ කන්
05 මාළුවාගේ කඳ
06 හංසයාගේ පිල්කළඹ


අනුරාධපුර යුගයේ පැවති කොරවක් ගල ඒ අයුරින්ම පොළොන්නරු යුගයේදීද දක්නට ලැබේ.නමුත් සංක්‍රාන්ති යුගයේදී මකර කොරවක්ගල හදිසියේම "ගජ සිංහ" කොරවක් ගල බවට පරිවර්තනය විය. මෙය නිර්මාණය වී ඇත්තේ සිංහයාගේ ශරීරයත්, ඇතාගේ ශීර්ෂයත් ඒකාබද්ධ වීමෙනි. උදා:- යාපහුවේ සෝපාන මාර්ගයෙහිත්, ග‍ඩොලාදෙණි හා ලංකාතිලකයේත් හමුවේ.


ඉසුරුමුණිය:-[සංස්කරණය]

Isurumuniya.jpg

කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහිලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් අතර ඉසුරුමුණිය වැදගත් වේ. ඉසුරුමුණි පෙම් යුවළ ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා ඇත්තක් වන අතර අඩි 3ක් පමණ උසින් හා අඩි 2ක් පමණ පළලින් යුතුය. මෙහි මූලික වශයෙන්ම නිරූපණය කර ඇත්තේ ආසනයක වාඩි ගත් තරුණ පුරුෂයෙක් හා තරුණ කාන්තාවක්ය. පිරිමි‍යා වාඩි වී සිටින ඉරියව්ව ලලාතාසන ඉරියව්ව යනුවෙන් හැදින්වේ. කාන්තාව වාඩිවී සිටින්නේ තරුණයාගේ නවිගත් වම් කකුල මතය.තරුණයාගේ දකුණු උරහිසට ඉහළින් කඩුවක මිටක් හා පළිහක් වැනි දෙයක් දක්නට ඇත. දෙදෙනාගේම උඩුකය නග්නව දක්වා ඇති අතර විවිධ මාල, වළලු හා කර්ණාභරණ පැළඳ ඇති බව පැහැදිලිය. පිරිමියාගේ වස්ත්‍රය කෙටි වන අතර කාන්තාවගේ වස්ත්‍රය ඇස්වටය දක්වා ඇත. දකුණතින් දැක්වෙන මුද්‍රාව අපැහැදිලිය. ක්‍රි.ව. 5 වන සියවසය අයත් මෙය භාරතයේ විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වන ගුප්ත මූර්ති ගණයට අයත් විශිෂ්ට නිර්මාණයකි.



ඊට අමතරව ඉසුරුමුණියේ ස්වාභාවික පර්වතයක නෙලා ඇති වාඩි ගත් මිනිසෙකු හා අශ්ව හිසක් දැක්වෙන කැටයමද අවධානයට යොමු වී ඇත. අඩි 2 1/2 ක උසින් යුතු ඉති කඩවසම් මෙම පුද්ගලයා මහාරාජා ලීලාවෙන් සිටී. ඔහුගේ දකුණු හිසට ඉහළින් අශ්ව හිස ඇත.



මිනිසා සහ අශ්ව හිස
















ඉසුරුමුණි කැටයම්


ඇම්බැක්කේ ලී කැටයම්:-[සංස්කරණය]

පැරණි ලක්දිව කලාකරුවා ලී කැටයම් සම්බන්ධයෙන්ද දක්ෂතාවක් දක්වා ඇත. දැනට ලැබී ඇති පැරණිතම ලී කැටයම් අපට හමුවන්නේ මහනුවරට නුදුරු ඇම්බැක්කේ දේවාලයෙන් බව පිළිගැනේ.ගම්පල රාජ්‍ය කල තුන්වන වික්‍රමබාහු රජුගේ කාලයේ "දෙල්මඩ මූලාචාරි‍යා" නම් ශිල්පියාගේ ප්‍රමුඛත්වයෙන්මෙම කැටයම් සිදුකර ඇත. මේ දේවලයේ දිග්ගෙය හෙවත්මණ්ඩපයේ හමුවන ලී කණු හා ලී බාල්ක විවිධ සාම්ප්‍රදායික මෝස්තරවලින් අලංකාර වී ඇත.මෙහි කැටයම් අතර හංස පූට්ටුව,සැරපෙයියා,භේරුණ්ඩ පක්ෂියා,කින්නර රූපය, ඇත්කඳ ලිහිණි වැනි මෝස්තර කැපී පෙනේ.ලී කණුවල මුදුනෙන් ඇති දැවමය පේකඩ ශෛලිගත නෙළුමි මල් මෝස්තරයෙන් අලංකාර වී ඇත.මෙහි නිරූපිත කැටයම්වල බොහෝ දුරට ජන ආර මතු වී ඇත.


Lee katayam.jpg










ඇම්බැක්කේ ලී කැටයම්


ඇම්බැක්කේ දේවාලය


ඇත් දත් කැටයම්:-[සංස්කරණය]

ඇත් දත් කැටයම් කලාවටද දීර්ඝ ඉතිහාසයක් ඇත.දැනට ලැබී ඇත් කැටයම් අතුරින් වැඩිම ප්‍රමාණයක් මහනුවර යුගයට අයත් බව සඳහන් කළ යුතුය. විවිධ සම්ප්‍රදායික මෝස්තරවලින් අලංකාර වූ ඇත්දත්වලින් නිමකල ආභරණ පෙට්ටි,පනා, පුස්කොළ පොත්, කම්බා, වටාපත් මිටවල්,දාතු කරඬු, ආභරණ වැනි දේ ලැබී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම පිහිටි රිසී විහාරයේ ඇති ඇත් දත් කැටයමින් අලංකාර කෙරුණු දොර උළුවස්සද විශේෂ වේ. මෙම ලෙන් විහාරය 18වන සියවසේ රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නිර්මාණයකි. මෙහි කැටයම් අතර"පංචනාරීඝටය" කැපී පෙනේ. සාම්ප්‍රදායික ලියවැල් හා මල්වැල් මෝස්තරද මහනුවර යුගයේදී දක්නට ලැබිණ. පැරණි ලක්දිව කැටයම් මෝස්තර මූලික වශයෙන් වර්ග 5ක් වේ. මානව රූප ,සත්ත්ව රූප,ශාක රූප,ජ්‍යාමිතික රූප හා මනඃකල්පිත රූප ලෙස වේ. එසේම පැරණි ලක්දිව කැටයම් කලාව බොහෝ දුරට දේශීය ගෘහ නිර්මාණ ශිල්පය ආශ්‍රයෙන් විකාශනයට ලක්ව ඇති අතර කැටයම් කලාව හුදෙක් අලංකරණය හා සැරසිලි මාධ්‍යයක් වශයෙන් විකාශනය වී ඇත. හෙළ ගල් වඩුවාගේ නිර්මාණ ශක්තිය මනාව විදහාපාන කැටයම් කලාව ඉතා සූක්ෂම නිර්මාණවල එකතුවකි.



අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

Library Hearitage

සම්පත් දායකත්වය:-[සංස්කරණය]

මහාචාර්ය ඒ.බී.දිසානායක

Gd.jpg