වදන් කවි පොදු එන හෝඩිය
පළමුව බුදුන් වැඳ
දෙවනුව දෙසු දහම් වැඳ
මහ සඟ රුවන් වැඳ
පටන්ගනිමුව ගණදෙවිඳු වැඳ
ගණපති සුරන් වැඳ
ගුරුවර පහත් බැස වැඳ
දෙගුරුන් නැමී වැඳ
ඉඳුව වනගොත් දී පොතට වැඳ
බුත් සරණා වදනින්
දහම් සරණා වදනින්
සඟ සරණා වදනින්
මෙතුන් සරණා වදනින්
සම්මා සම්බුත් සරණා වදනින්
නව ලොව්තුරු දම් සරණා වදනින්
පිවිතුරු සව් සඟ සරණා වදනින්
පැවතුම් මේ තුන් සරණා වදනින්
උතුමා නිති බුත් සරණා වදනින්
පවරා සදහම් සරණා වදනින්
සෙත දා යළි සඟ සරණා වදනින්
උවදුරු හැර තුන් සරණා වදනින්
ස්වස්ති විභූෂණ කමලා වදනින්
සිඬමලඞ්කෘත විමලා වදනින්
අතුලිත මුනිවර චරණා වදනින්
ආභා භාසුර කිරණා වදනින්
ඉහ කුල පූජිත චරණා වදනින්
ඊශ නිශාකර භරණා වදනින්
උමා වධූපත් මහිමා වදනින්
ඌරු මනෝහර ජඞ්ඝා වදනින්
සෘණජ නයනා මෘතයා වදනින්
සෲකල්පායන කිරණා වදනින්
ඏකුල සන්තති භුවනා වදනින්
ඐපති මිහිපති මහිමා වදනින්
ඒක බාහු බල ජිතයා වදනින්
ඓරාවණ පූජිතයා වදනින්
ඕෂ්ට්‍ර මනෝහර ජඞ්ඝා වදනින්
ඖපගවස්මීකෘතයා වදනින්
අංප්‍රෙඩිත විධි කුසලා වදනින්
අඃකි අක්ෂර ෂෝඩශ වදනින්
සිඬම් වේවා ගණපති වදනින්
අස්තු නමෝජන තිලකා වදනින්
අගරජ සුරරජ මුනිරජ වදනින්
මුතුහර ගෙළදම් දම්රජ වදනින්
උරදා නේනය මුනි සුත වදනින්
සිළුමින් සිතුමින් තිසරණ වදනින්
ක ඛ ග ඝ ඞා ච ඡ ජ ඣ ඤා වදනින්
ට ඨ ඩ ඪ ණා ත ථ ද ධ නා වදනින්
ප ඵ බ භ මා ය ර ල ව ශ ෂ වදනින්
සහළා අං ඉති සිඬිරස්තු වදනින්
අ වන පටන් අං වන්නට වදනින්
දැනෙන සොළස සොරකුරු පෙළ වදනින්
ක යන එපස් වග යානව වදනින්
මෙ වන සුතිස් දනු හසකුරු වදනින්
එක් සොර පස්වග යරලව සතරා
ශ ෂ ස හ එකකුරු ළයනෙක අකුරා
සුරුවත් සමහරු නොදනිත් ඉඳුරා
සෝඩියෙ බරකුරු දැනගන් සපුරා
කණ්ටජ සත අහ ක වගය වදනින්
තාලුජ සත ඉය ච වගය වදනින්
මුර්‍ධජ සත රළ ට වගය වදනින්
දන්තජ සත ලස ත වගය වදනින්
ඕෂ්ඨජ සය ඌ ප වගය වදනින්
තාලුජ කණ්ටජ ඒ කුරු වදනින්
කණ්ටජ ඕෂ්ඨජ ඕ කුරු වදනින්
දන්තජ ඕෂ්ඨජ වෝ කුරු වදනින්
මුදුනය දසනය උපදින් කුරටා
යෙදු තාලුජය ද සෙසකුරු වලටා
ලදු අග මැද දිව දිනු තැන් ලෙසටා
හඳුනව කරණය කී ලෙස කුරටා
මේ ලෙස කුරු උපදින තැන් දනුවා
ආ ලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ දිජකුරු දනුවා
කී ලෙස ගරුකය ලහුකය දනුවා
එක්වූ අකුරට පෙරකුරු නිතිනා
වක්වූ ගුරු දිගුබව දනු නැණිනා
දැක්වූ නොම වන සිටි එක් මතිනා
දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා
එකමත ලුහුයයි දැන කියමින්නේ
යුගමත දිගුයයි ගුරු පවසන්නේ
වෙනමත තුනෙකින් පුලුත කියන්නේ
අඩමත දැනගන් හසකුරයන්නේ
අවනය ආදී ඒකජ අකුරු
එවනය ආදී දනු දිජ නම් අකුරු
දෙවන කවග සහ ලහුකය අකුරු
එයිනැර සෙසුකුරු ගරුකය අකුරු
ගනිමින් පස්වග පළමු දෙවනකුර
සමඟින් සයනු ද අගොසය කිව් පෙර
ළයනන් තව සෙසුකුරුයයි ගොසකුර
දැන්ගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර
ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි
තොසවන දනිතය සිතිලය දෙවගෙකි
නිසසය නිසිතය යනකුරු දෙවගෙකි
බස පෙර ඇති සෝඩියෙකුරු දෙවගෙකි
පස්වග යුග සිව් දනිතය දන්නේ
එම වගවල එක තුන පවසන්නේ
නොවළඟ සිතිලය දැන කියමින්නේ
මෙම වගකුරු පෙළ තෝරා දෙන්නේ
සිතරා එකකට යාදී නවකුරු
නොහැරා දනු එක් පාදී පසකුරු
විතරා සොර එක් එක් සුන් දෙයකුරු
සපුරා දැනගන් සෝඩියෙ සිවුකුරු
පනසෙක සොර සහ හස දෙවගින්නේ
එහි එක එක හසකුරු සදමින්නේ
සොළොසෙක සොර ලූ කල ගණනින්නේ
නොව සැක පන්සිය සැටකුරු දන්නේ
සෝඩිය සූතිස් පිල්ලම කාදී
ලූ කල සොරයන් සොළොසක් ආදී
ගණනින් පන්සිය සැටෙකින් සුසැදී
අකුරෙන් සතළිස් සතරක් බේදී
පෙර හසපර සොර සද නොව වෙනසක්
කර වියරණ විදි දැන ඇති විලසක්
කුරු හස එකකට වැඩිවිය සොළොසක්
තිර කුරු මඟ දැනුමට වැනි දිවැසක්
සෝඩිය පටන් ගෙන වන පොත් කරව දැනා
පිල්ලම් කියා අල්පිල් අකුරු දැනගෙනා
ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකා දැනා
ඇණවුම් සකස්කඩ සකසේ ඉගෙන ගෙනා
තිබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා
එසැඬ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා සිල්පයමයි මතු රැකෙනා
අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල් කොළ බිම අතුට නිඳි නොලැබ දුක් තකා
කල් ගිය වැරළි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
කසේ සැමිටි වේවැල් ඉරටු ගෙන අතේ
ඇසේ කඳුළු අකුරට ගිය කලට ගතේ
බසේ මියුරු ගෙපලති දෙගුරු සවනතේ
දසේ පසේ ගෙඩි දෙති පිටට එක රතේ
වේවැල් කෝටු නාරන් සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු
පොල් ඉරට්ටේ අණ තදකර ගතිම්මා
ඉන් ඔළ මොළ ගමකට සිත නොයම්මා
දැන් නිසලව ඉඳ අකුරුත් කියම්මා
ඉන් අප දඟ ගේක ලූ දැය අම්මා
අම්මොයි කියා ගෑ සියොලඟ තෙල් රුවට
යම්මොයි කියා යති අකුරට ගුරුන් ගෙට
බම්මොයි කියා බස් තෙපලති විටින් විට
අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැට
රුප්පා වල ඉඳ කෙළිනා දවස් දැඩී
තැප්පා සේ ම ගිනි උසුලද්ද මැඩි මැඩී
අප්පා උකුල ඉඳ තෙපලන බස් ම දැඩී
අප්පා බලා උන්නත් වළකී ද ගෙඩී
ගණදෙවි කෝවිල පිරිබඩලන්නේ
දත මැද පිරුවට ඇඳ පේවන්නේ
කළ කී දේ මට සාදා දෙන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
කිරි දී වෙඬරු ද පස්ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නම් කැවුමෙන් නිති පුද ලබනා
දෙන් මට නුවණක් ගණදෙවි යෙහෙනා
අඹ දඹ ඇටඹ ද කරඹ ද පුදමී
ඔළු පළු ලාළු ද ගිවුළු ද පුදමී
අතිරස අග්ගල අක්සුණු පුදමී
ගණදෙවි නුවණක් දෙමි පා වඳිමී
පුදා විලඳ අතිරස කිරිබත් සකුරූ
සදා මල් බුලත් පුවකුත් ලා කපුරූ
විදා වතක් සොඳ අඳවා ගුරු ඇදුරූ
මෙ දැන කළෝතින් වැඩ වෙයි සව් ඉසුරූ
පුදම් මම ඔබට පස් පඬුරෙන් ම සරා
අඹ දඹ කෙසෙල් පල වැළයෙන් ම තටුපුරා
ගොම පිරිබඩ මල් පහනින් ම සිත් පුරා
දෙවන් මට නුවණ ගණදෙවි පින් පුරා
වැඳලා දෙවියන් පොත අරගන්නේ
යැදලා ගුරුනුත් සිත නොතළන්නේ
සකලා සිල්පය මට සැදෙන්නේ
දැකලා ගණදෙවි නුවණක් දෙන්නේ
සොඳින් බැබළි ගජමූණෙකි පත්මේ
තෙදින් විදුරු චිත්නා නුවණැත්මේ
යෙහෙන් නැඟුණ මී වාහන යුත්මේ
වඳිම් එගණදෙවි සිපද පත්මේ
සුදු දළ ගජ සොඬ මූණෙකි පත්මේ
සුදු මීමකු නැඟෙමින් වැඩ ගත්මේ
සොඳ උමයංගන ඉසුරුගෙ පුත්මේ
වඳිනෙමි ගණදෙවි පිරිපද පත්මේ
අකුළාගෙන සොඬ ගජතකු වැන්නේ
නෙරවා කන්පොතු සුළු කුළු වැන්නේ
සියලඟ ගෝමර මල්පෙති වැන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
අඹ ගෙඩියක් උදෙසා තම චිත්තේ
ලොබ කොට දිව ගොස් දළ බිඳ ගත්තේ
එබට ම මම දැන් ගැති වෙමි නිත්තේ
සුබ නුවණක් කිම දෙනවා නැත්තේ
නුවණ මෙමට දෙන සොඳ උමයංගා
සිව් සැට බරණින් සැදි සිව ලිංගා
පුදනෙමි අක් සුණු ගෙන ආ ලංගා
දෙන් මට ගණදෙවි නුවණ නොසංගා
පුරුදු කරන සව් සත නම පුරුදූ
පසිඳු ව නුවණක් ලබනට ඔබඳූ
ගිරිඳු ඉසුරු හට දා කර එ වැදූ
ගණිඳුන් සිරිපද නමදිම් පසිඳූ
රන් වන් අංකුස සුරතින් ගෙන නිති
බුන් දත් සිව් අත් ගජ මූණක් ඇති
තුන් නෙත් නන්දන කරවන වික්මැති
දෙන් දැන් නුවණක් ගණපති පින් ඇති
මන් මද ගජ කුඹු වත අත දික් කළ
පුන් සඳ මෙන් සිරි උදුළෙව් පුත් කළ
කන් තල මිණිරැසු ගණපති පින් කළ
දෙන් මට නුවණක් සමුදුර මෙන් රළ
මූෂික වාහන මෝදක හස්තම්
චාමර කර්‍ණ විලම්බිත සූත්‍රම්
වාමන රූප මහේස්වර පුත්‍රම්
වි ඝන විනායක පාද නමස්ත්‍රම්
අවනත සුරගණ විකලිත චරණම්
ඝටතට විගලිත මද ජල මුදිතම්
විකසිත කර රුහ කරතල කමලම්
ප්‍රණචිත ශිව සුත ගණපති මභයම්
කුඞ්කුම වර්ණ චතුර් භුජ යුක්තම්
නාග මුඛම් මකුටඞ්කිත ශුණ්ඩම්
අංකුශ පාශක හස්ත සුපාදම්
වග්නි දෘශං ගණ නාථස්‍ය රූපම්
සූරිය කුල ඇති ඉරු දෙවියන්නේ
පෑවිය අණසක ලොව පවතින්නේ
කාරිය සිතුවා සාදා දෙන්නේ
සූරිය දෙවියනි නුවණක් දෙන්නේ
බබළා උදය ගිරි මුඳුනෙන් වඩින්නේ
නොවළා අඳුරු බිඳ ලොව එළි කරන්නේ
දැකලා සියලු රෝදුක් දුරු කරන්නේ
මෙකලා සොඳින් ඉරුදෙවි මා රකින්නේ
සීතා පති රජුමෙන් ගුණ උත්තම
බීතා ජනයන් දුරු කර නිත්තම
ඈතා පිරිපත හරිමිනි නිත්තම
නාතා සාමිනි රකු මා නිත්තම
මෙන් දිඩ ගිරි සිරි පිරි සිරි ලත්තම
තුන් තුඩ තුනි යස ගොස කර නිත්තම
මන් මැඬ මරු මතු බුදුවන උත්තම
සෙන්කඩ ගල සුරිඳුන් වඳු නිත්තම
ලොව සෙත් කර වන පත්තිනි සඳිනේ
සළඹක් අරගෙන සලු සලවමිනේ
වෙනසක් නොසිතා මගෙ ගුරු වරුනේ
ආසිරි නුවණක් දී මා රකිනේ
මන් ලෙස නමදිම් සරණත කර පෙම
නන් ලෙඩ රෝදුක් පිරිපත දුර දම
දැන් මෙ වදන් කවි කියමි බොලඳ මම
දෙන් මට නුවණක් සුරිඳු කතරගම
මූදු අසල් බඩ සිටිනා එ නුවරෙකී
ඉස බැඳි ඔටුන්නෙන් සැදුණේ රජවරුවෙකී
දෙපා පියුම් පෙති සුරතට රනෙන් වැකී
ඇඳින ගොසින් වඳු දෙවුරජ මේ ලෙස කී
තැඹිලි තඹුනෙල් නවසි බෝදිලි තල් කිතුල් ඉඳි කැන් මනා
ලේනතැරි දෝතළු පුවක් වලු කදලි සුවඳෙල් සමගිනා
ලබු පුසුල් නාරන් දොඩම් අඹ රසැති වැළ වරකා ගෙනා
තෙදැති ගණපති නුවණ දෙන් මට පුදම් මේ හැම සිතු මෙනා
තානු තරුණ අරුණ කිරණ බරණින් යස තේජනේ
බානු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි රාජනේ
මූණු සයෙකි අත් දොළසකි මයුරා පිට වාහනේ
රූණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ
බල වර්දන තුඟු පාබල සිරිනුත් ගිරි රාජනේ
නැගි දුර්ජන අසුරන් දප බිඳ හැරි සිහ රාජනේ
තොස වර්දන මූණු සයෙකි නැඟි සිකිනිඳු වාහනේ
ජයවරදන නුවර පිහිටි කදිර දේව රාජනේ
සිද්ද රන් දුනු තදව ගනිමින් එරන් හීයක් අරගෙනා
සද්ද වූ ලෙස ගොසය කරවා මඟුල් පෙරහැරයෙන් යනා
යුද්ද වූ තද රොසින් දස හිස් රාවණා බිඳ ජය ගෙනා
ඇද්ද තව මට වෙනින් පිහිටක් කතරගම සුරිඳුන් විනා
කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරාණන්
සකල සිරිලක දෙවි නරන් හට පැවත එන සොමි සඳානන්
පඳුරුලන කෙත් ගොයම් විලසට නුවණ මට දෙන රජාණන්
ඇදුරු රිපඳුරු පදට ගුරු මට කතරගම දෙවි රජාණන්
කදිරනේ කළ බරණිනේ තුනු සැරසුණේ පිරි සුවඳිනේ
තෙදණිනේ මිණි දුනු ගෙනේ අත පොළමිනේ විදුලිය මෙනේ
විදිරනේ සැර එකතිනේ සැඩ අසුරනේ දප මඬිමිනේ
කදිරනේ දෙවි උතුමනේ සව් සිරි දෙනේ රකු මා දැනේ
කතරනේ රුවි බබළමින් සිට සුසැට බරණින් සිරි සරා
අතරනේ දුනු රැගෙන නිතියෙන් මයුර වාහන පිවිතුරා
කොතරනේ රන් මාලිගාවට වැඩම කරවා විසිතුරා
කතරනේ දෙවි සරණිනේ මට නුවණ ගෙන දෙන් පින් පුරා
රූනු රට කදිරා පුරාදිප මූණු සය ඇති දෙව් රජාණෙනි
ආනු බාවෙන් මෙමට සිල්පය සිද්ද කර දෙන සමුදුරාණෙනි
බානු තෙදබල සව් සතුන් හට එළිය කර දුන් සොමි සඳාණෙනි
දී නුවණ සිරි දිනෙන් දින රකු කතරගම පුර දෙවි රජාණෙනි
සයුර මෙන් රැළ නෙපුද පෙරහර ඉසුරුවන විමනේ සුරන්
පතුර වන තද තෙදින් අදිපති මෙ සිරිලක හිමි දෙවි නරන්
නිතර සෙත් දී බලා දිවසින් නොයෙක් රෝදුක් දුරු කරන්
පතර යසසිරි නුවණ දෙන් මට කදිර පුර දෙව් රජුනි දැන්
ඈත කප් කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් සහ තුට
වීත රාගත් එර්දි නුවණත් ආයුවර්දන කරන හැම විට
පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහිකොට
දෝත මුදුනේ තබා වැන්දෙමි නාත දෙව් රජ නුවණ දෙන් මට
සිද්ද කිහිරැලි සමන් බොක්සැල් විභීෂණ සිව් වරම් රජ නිති
සිද්ද මහබඹු ශක්‍ර ඉසිවර කතරගම දෙවියනුත් සිතරුති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ භද්‍රකාලී දේවි ගණ පති
සිද්ද සිරිලක මෙ හැම දෙවියෝ මෙ මට ආසිරි දිගා දෙත් නිති
දිලුත් දිමුතු රවි මෙන් තෙද පරසිදු මුළු සක්වළ වට
මලුත් පහන් සමග පඬුරු පුද ලැබ වැජඹෙන සහ තුට
නිලුත් රතිනි සුදින් දිලෙන රන් කොත් කැලුමෙන් හැම විට
අලුත් නුවර පුල්වන් දෙවි රජුනි නුවණ දෙවන් මෙ මට
තුන්තරා වැඩ මුනිඳු ගඟ පැන් සනහමින් රැඳි කැලණියේ
ගංතරා අස වීදි දෙපසේ පිළිම ගෙවලින් ගිහිණියේ
ඉන්පුරා ලූ දාතු දළදා දාගබෙයි සිරි පැමිණියේ
ඉන්පුරා ඔබ වෙහෙර වැන්දෙමි නුවණ දෙන් දෙවි කැලණියේ
සතත හරි හර විතත මුනි යුධ මේඛලා ගිරි ශෝභනම්
සවත ශිව ශිව රූප නිර්‍මල වහ්නි ශෝභන සන්නිභම්
උභය රිවිකුල මේරු සිංහල ධාරි නිර්මිත ධාරිණම්
ධරණි ධර ධර භවති භව භව නාරසිංහ රා නාරණම්