ලේ ගැලීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇඟිල්ලකින් ලේ වහනය වීමක්

ලේ ගැලීමක් හෙවත් ලේ වහනය වීමක් යනු රුධිර සංසරණ පද්ධතියෙන් ලේ ඉවත්ව යාමකි. ලේ ගැලීමක් ශරීර අභ්‍යන්තරයේ ඇති රුධිර වාහිනී වලින් ශරීරය තුළට හෝ යෝනි මාර්ගය , මුඛය , ගුද මාර්ගය හෝ සම හරහා ශ‍රීරයෙන් පිටතට වුවද සිදුවිය හැකිය. ශරීරයේ වු රුධිර ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් හෝ සම්පුර්ණ රුධිර ප්‍රමාණයම හෝ ලේ වහනයකදී ඉවත් විය හැකිය. දේහයේ සම්පුර්ණ රුධිර පරිමාවෙන්10%-15% අඩු වුවද කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමට නිරෝගි පුද්ගලයෙකුට පුළුවන. රුධිර‍ය පරිත්‍යාග කරන අවස්ථාවන් වලදී රුධිරදායක‍යාගෙන් 8% - 10% දකවා ප්‍රමාණයක් රුධිරය ශරීරයෙන් ඉවත් වේ.

හදිසි අනතුරු වලට ලක්වු පුද්ගලයින් සියලු දෙනාම ඉතා ‍හොඳ සෝදිසි කිරීමකට ලක් කළ යුතුය. මෙලෙස කෙරෙන සමීක්ෂණයන් පියවරෙන් පියවරට සිදු කරන ප්‍රාථමික හා ද්විතීයික සමීක්ෂණයන් ලෙස වර්ග කෙරේ. මෙය “ABCs” ලෙස හැදින්වේ.

ප්‍රාථමික සමීක්ෂණයේදී අදාල රෝගියාගේ ස්වසන මාර්ගය (Airway) නිසි පරිදි ක්‍රියාත්මකව පවතීද, (Breathing) ස්වසනය සහ රුධිර සංසරණය (Circulation) නිසි පරිද ක්‍රියාත්මක වනු ඇත්දැයි සොයා බැලේ. මෙලෙස ABC ආකාරයට භාවිතා වන සමෘති ආධාරකයක් කෘතිම ස්වසනයේදී භාවිතා වේ, (CPR). ඉහතින් සඳහන් කළ පරිදි රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බලන අවස්ථාවේදී තව දුරටත් රුධිර වහනය වලක්වා ගැනීම කළයුතු අතර ඇඟිලි තුඩු වලට කේශනාලිකාවලින් රුධිරය ලබාදීම පරීක්ෂා කිරීම මගින් මෙය සෝදිසි කරගත හැකිය. මීට අමතරව අනතුරට පත් පුද්ගලයාගේ මානසික තත්වය (Disability) සොයා බැලීම සදහා AVPU දර්ශකය හෝ සම්ප්‍රදායික ග්ලාස්ගෝ කෝමා දර්ශකය භාවිතා වෙයි. සියලුම අනතුරු අවස්ථාවන්හිදී අනතුරට පත්වු රෝගියා ඇද සිටින ඇඳුම් ඉවත් කර නිරාවරණය කිරීමෙන් (Exposed) හිසේ සිට දෙපතුල දක්වා වෙනත් තුවාල ඇත්දැයි සොයා බැලීම මගින් ද්විතියික සමීක්ෂණයට ලක්කළ යුතුයි. මෙම සමීක්ෂණයන් සිදු කරන අවස්ථාවන්හිදී ‍විශේෂයෙන්ම යථා තත්වයට පත්කළ නොහැකි ගැටලුවක් හදුනා‍ගත් අවස්ථාවන්හිදී ප්‍රතිකාර ක්‍රම ලබාදීම සඳහා අදාල ස්ථාන වෙත රෝගියා රැගෙන යාම හෝ නිසි කළට ප්‍රතිකාර ලබා දීම ප්‍රමාද නොකළ යුතුය.

සුළු ප්‍රමාණයේ රුධිරය වහනය වීම්[සංස්කරණය]

සුළු ප්‍රමාණයේ රුධිරය වහනය වීමක් පළමු කාණ්ඩයේ ලේ ගැලීමකට අයත්වන අතර අදාල ස්ථානයට පීඩනයක් යෙදීම මගින් එය නවත්වා ගත හැකිය.

සුළු තුවාලයකදී ඇතිවන අවදානම් තත්වය වන්නේ තුවාලය ආසාදනයට ලක්විමයි. අදාල ස්ථානය කෙලින්ම පීඩනයක් යෙදීමෙන් සහ ඔසවා තැබීම මගින් රුධිර වහනය වනත්වා ගත හැකි අතර තුවාලය සබන් සහ ජලය යොදා හොදින් සෝදා ගත යුතුවෙයි. ගෝස් භාවිතා කරමින් තැනු වැස්මක් මගින් තුවාලය ආවරණය කළ යුතුය. පෙරොක්සයිඩ් සහ අයඩීන් අඩංගු බෙටඩීන් වැනි ද්‍රාවණයක් මගින් තුවාලය සුව කිරීමට ඉවහල් වන ‍ෛසල විනාශ විමක් සිදුවිය හැකි අතර එමගින් තුවාලය සුවවීමට කල් ගත වේ.

හදිසි අවස්ථාවකදී රුධිර වහනය පාලනය කිරීම[සංස්කරණය]

නිසියාකාරව ක්ෂණිකව ප්‍රතිකාර නොලදහොත් අධික රුධිර වහනයකින් රෝගියා මරණයට පවා ලක් විය හැකිය. එබැවින් අනිකුත් තත්වයන් පාලනයට වඩා මුල් තැනක් ප්‍රධාන රුධිර වහනයක් පාලනය කිරීමට කෙරෙහි ලබා දිය යුතුවේ. බොහෝ අවස්ථාවන්හිදී සෘජු පීඩනයක් යොදා අදාල තුවාලය ‍හෘදය වස්තුවට පිහිටා ඇති මට්ටමට වඩා ඉහලින් තබා විවේක ගැන්වීම මගින් ලේ ගැලීම පාලනය කළ හැකිවේ.

ලේ ගැලීම නැවැත්වීම සදහා ප්‍රථමාධාර උපක්‍රමයක් ලෙසට තුවාලයට ඉහලින් තදින් බැදීම බොහෝ අවස්ථාවන් වලදී අනුමත නොකෙරේ. මෙමගින් ඒ අවට ඇති පටක මරණයට පත්වීම සහ අදාල ගාත්‍රය අහිමි වීමට පවා පුළුවන. මෙම ක්‍රමය බහුලව යොදා නොගනුයේ අතින් පීඩනයක් යෙදීම මගින් බොහෝ අවස්ථාවලදී රුධිර වහනය වලක්වාගත හැකි බැවිනි.

දේහ කුහරවලින් ලේ ගැලීම[සංස්කරණය]

හේතුවක් නොමැතිව එකවරම නාසයෙන් ලේ ගැලීම හා කුඩා ළම‍යකු නාසයට ඇඟිල්ල දැමීමේදී වන සුළු තුවාලයකින් ලේ ගැලීම වැනි අවස්ථාවන් ඉතා සරල වේ.

බැරෑරුම් ලෙස හිසට වන අනතුරකදි එකවරම කනින් ලේ ගැලීමක් සිදුවීම මොලයට වු අනතුරක ලක්ෂණයක් වේ. සිහිමුර්ජාවීම , අමතක වීම සහ උසකින් වැටීම මගින් අනතුරෙහි බරපතල කම ඉහල නංවයි. මෙවන් අනතුරු තත්වයක් මෝටර් රථ අනතුරකදී දැකිය හැකි අතර එමගින් එහි මගීන්ට දරුණු අනතුරු හෝ මරණය පවා ළඟා කර දේ.

කැස්සක් සමග ලේ මිශ්‍රත සෙම පිටවීම අදාල රෝගියාට දරුණු රුධිර වහනයක ලක්ෂණ ඇති බව කියා පායි. මෙය බොහෝ අවස්ථාවලදි ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගවලදී දක්නට ලැබේ. ලේ වමනය යනු ආමාශයේ වු ලේ වහනයකින් ඇතිවුණු ප්‍රතිඵලයකි. මෙහිදී බොහෝ අවස්ථාවලදී ලේ වහනයට හේතුව හඳුනාගැනීම අපහසු වන අතර විෂේශඥ වෛද්‍ය දැණුම මේ සඳහා අත්‍යවශ්‍ය වේ.

දේහ අභ්‍යන්තර රුධිර ගැලීම[සංස්කරණය]

අභ්‍යන්තර ලේ ගැලීමක් දේහ අභ්‍යන්තරයට සීමා වන අතර මෙය අනතුරකදී හෝ සංස්ථානික මහා ධමනියේ වු විස්ථාරණයක් පුපුරා යාමේ දී සිදුවිය හැකිය. සුදු මැලිවීම , සම සීතල වීම , හෘද ස්පන්දන වේගය ඉහලයාම , සහ සිහි විකල්වීම මෙහි රෝග ලක්ෂණ වේ.

දේහ අභ්‍යන්තර රුධිර ගැලීමක් තැල්මක මගින් බාහිරව හඳුනා ගත හැකිවේ.

රුධිය මගින් අපිරිසිදු වීමේ අවධානම[සංස්කරණය]

නිරාවරණය වන පෙදෙහි ‍තුවාලයක් හෝ වෙනත් රෝගී තත්වයක් නොමැති නම් සම මගින් රුධිරය හා ස්පර්ශවීමේදී විශබීජ සිරුර ට ඇතුළු වීම වැළැක්වීම සඳහා බාධාකයක් ලෙසට ක්‍රියා කරයි. මෙගින් ක්ෂණිකව රෝගී තත්වයට පත්නොවේ. තව දුරවටත් ආසාදනය වැලැක්වීම සඳහා ආහාර ගැනීම , ඇස් හා මුඛය පෙදෙස ඇල්ලීමට පෙර හොඳින් රුධිරය වෙත නිරාවරණය වු කොටස පිරිසිදු කර ගත යුතු වේ.

අවධානම් අවස්ථා මගහරවා ගැනීම සඳහා ලේටෙක්ස් හෝ නයිට්‍රිල් රබර් වලින් නිෂ්පාදිත අත්වැස්මක් ප්ලාස්ටික් බෑගයක් හෝ රෙද්දක් මගින් දෑත් ආවරණය කරගත හැකිය . මෙය බොහෝ ප්‍රථමාධාර අවස්ථාවලදී ප්‍රථමාධාර දෙන්නවුන් හට ආරක්ෂා වීමට සඳහා වැදගත් උපක්‍රමයක් ලෙස ඉගැන්වේ.

වෙනත් අයෙකුගේ රුධිර ය සමග දේහය ස්පර්ශවීමේදී බොහෝ ප්‍රථමාධාර දෙන්නවුන් හදිසි අනතුරු දෙපාර්තමේන්තුවට පැමිණ රුධිරය මගින් බෝවන රෝග වැලැක්වීම සඳහා රෝගී නිවාරණ ක්‍රියා මාර්ග ලබා ගනිති.

"https://si.wikipedia.org/w/index.php?title=ලේ_ගැලීම&oldid=374250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි