ලලිත කලා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලලිත කලා යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිතුවම් කිරීම, මූර්ති ශිල්පය, නර්තනය, වේදිකාව, ගෘහනිර්මාණ ශිල්පය සහ මුද්‍රණ ශිල්පය ඇතුලූ ද්‍රෘෂ්‍ය හා ප‍්‍රසාංගික කලාවන් සම්බන්ධ වන්නාවූ කලාවන්ය.

‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්‍යවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්‍රෘෂ්‍ය කලා ප‍්‍රවර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්‍රෘෂ්‍ය කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ලෙසින් සලකනු ලැබේ. ‘ලලිත කලා’ යන යෙදුම නිරුක්තිය ලබන්නේ ඇරිස්ටෝටල්ගේ දර්ශනයේ දැක්වෙන අවසාන අරමුණ පිලිබඳ සංකල්පයෙනි. කලාවේ අවසන් අරමුණ වන්නේ එයමය. සමහර විටෙක එය රසවිඳින්නන්ගේ සතුට හැරෙන්නට එය වෙනත් කිසිවක් අරමුණුකර නොගන්නා අතර එහි විෂය වස්තුව එයම වෙයි.

ලලිත කලා ව්‍යවහාරික කලාවන්ගෙන් වෙනස්වූවක් ලෙස දැකීම බි‍්‍රතාන්‍යයේ විලියම් මොරිස් සාමාජිකත්වය දැරූ කලා සහ ශිල්ප ව්‍යාපාරයේ අනුගාමිකයින් සහ වර්ජිනියා වුල්ෆ් සහ බ්ලූම්ස්බරි කණ්ඩායම වැනි මුල් කාලීන නූතනවාදීන් අතර ඇතිවූ ගැටුමක ප‍්‍රතිඵලයකි. මුල් පිරිස කලාව වෙත සමාජවාදී මූලධර්මයන් ගෙන ඒමට උත්සාහ කළ අතර නූතනවාදිහු සෞන්දර්යාත්මක පරිශ‍්‍රමය එයටම සුවිශේෂීවූ සහ ගූඩ එකක් ලෙස පවත්වාගැනීමට උත්සාහ කළහ.

බොහෝ අවස්ථාවන්හි ජනතාව වැරදි අවබෝධයෙන් යුතුව ලලිත කලාවන් ලෙස දැක්වුනද ඉන් ඔවුන් අදහස් කර තිබුණේ ප‍්‍රසාංගික කලාවන් (සංගීතය, නර්තනය, නාට්‍ය ආදී) ය. කෙසේ වෙතත් මෙහි යම් අසමමිතියක් පවතී. උදාහරණයක් ලෙස යෝර්ක් විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයට ‘සාම්ප‍්‍රදායික’ ලලිත කලාවන්, සැලසුම් නිර්මාණය සහ ‘ප‍්‍රසාංගික කලාවන්’ ඇතුලත් වේ. එමෙන්ම නිර්මාණාත්මක රචනය ද ලලිත කලාවක් ලෙසින් සලකනු ලබයි.

ලලිත කලාවන් පිලිබඳ ශ‍්‍රාස්ත‍්‍රාලීය පාඨමාලාවකට ලලිත කලා පිලිබඳ ශ‍්‍රාස්ත‍්‍රවේදී, ශාස්ත‍්‍රපති සහ ලලිත කලා පිලිබඳ දර්ශනසූරි යනාදී උපාධීන්ද ශ‍්‍රාස්ත‍්‍රාලයන් තුල බිහිවෙමින් පවතී.

ආවේණික ලක්ෂණ[සංස්කරණය කරන්න]

කලා ප‍්‍රවණතාවයන් තාර්කික අවබෝධයට වඩා සහජ ඥානය කුළුගන්වයි. සාමාන්‍යයෙන් කලාකෘතීන් නිර්මාණය කරන්නේ එම අපේක්‍ෂාව පෙරදැරි කරගෙනය. ලලිත කලාව වෙනත් කිසිදු අරමුණක් වෙනුවෙන් සේවය නොකරයි. මෙකී ස්වභාවයේ ප‍්‍රතිඵලයක් ලෙස කලාකෘතීන් වර්ගීකරණය සඳහා වන උත්සාහයන්ට දුරවබෝධ වෙයි. එයට හේතුව ඒවා එක් ආකාරයට වඩා වැඩි ගණනකින් කියවිය හැකිවීමයි. එමෙන්ම කලාකෘතියක් එක් නිශ්චිත අර්ථනිරූපනයක් තුල සිරකළ නොහැක. ගැරිකෝල්ට්ගේ මෙඩුසාගේ පහුර සම්බන්ධයෙන් ගත්කළ නැව් දියබත්වීම පිලිබඳ සුවිශේෂී දැනුමක් එය අගය කිරීම සඳහා අවශ්‍ය නොවන නමුත් එතුල ගැබිව ඇති දේශපාලන ප‍්‍රකාශනය අවබෝධ කරගැනීමට නම් එවැනි දැනුමක් අවශ්‍ය වෙයි. කලාව මතුපිටින් බැලූකල සාමාන්‍ය සිද්ධියක් හෝ වස්තුවක් නිරූපනය කළද එතුල ගැබ්ව ඇති තේමාවන් ගවේෂණය කිරීම සඳහා ඇරයුම් කරන්නකි.

සාම්ප‍්‍රදායිකව කලාවේ උච්චතම ජයග‍්‍රහනයන් තුල නිරූපනය වන්නේ මාධ්‍යය පිලිබඳ ඉහල මට්ටමේ හැකියාවක් සහ නිපුණතාවයකි. මෙකී ආවේණික ලක්‍ෂණය ප‍්‍රතිවාදී තර්කයක් ලෙසින්ද ඉදිරිපත් කරනු ලැබිය හැක්කේ බොහොමයක් නූතනවාදී කලාකරුවන් (සංකල්පීය කලාකරුවෝ මෙහිදී විශේෂ වේ) ඔවුන්ගේ සිතේ පහළ වන නිර්මාණයන් ඔවුන් විසින් සාම්ප‍්‍රදායික නිදර්ශනාත්මක ස්වරූපයෙන් නිර්මාණය නොකරන බැවිනි.

හැකියාව සහ කෞෂල්‍යය


ආදම්, සිස්ටීන් දේවස්ථානයේ මයිකල් ආන්ජලෝ නිර්මාණය කළ බිතුසිතුවමක කොටසක් (1511)

යම් මාධ්‍යයක් පිලිබඳ නිපුනතාවයක් අත්කරගැනීම හෝ පුහුණුකළ හැකියාව යන්නද ද්විතීයික අර්ථයක් ලෙස කලාව තුල හැඟවෙයි. එමෙන්ම එය අර්ථය සන්නිවේදනය කිරීම සඳහා භාෂාව යොදාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම හා එම කාර්යයේ ශුරත්වයද කලාව තුල අන්තර්ගත වේ. කලාව අපගේ හැඟම් සිතිවිලි සහ නිරීක්‍ෂණයන් ප‍්‍රකාශ කිරීමේ කි‍්‍රයාවකි.

‘කලාව’ යන විශේෂණය උසස් බවක් හැඟවීම, කලාකරුවාගේ නිර්මාණාත්මක ප‍්‍රවීණත්වය දැක්වීම සඳහා යොදාගනු ලබයි. සාම්ප‍්‍රදායිකව ලිවීමේ දක්‍ෂතාවය කලාව සමඟ බැඳී පවතින්නක් ලෙස සලකනු ලැබූ අතර එහි සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය හැකියාවක් ලෙසින්ද සලකනු ලැබිණ. ලියනාඩෝ ඩා වින්චිට කලාව ඔහුගේ අනෙකුත් සොයාගැනීම් වැනිම වූවක් විය. ඒවායේ ගැබ්ව ඇති සදාකාලිකමය ගුණාංගය පිලිබඳව ඇගයීමට ලක්වන රෙම්බ්‍රොන්ට්ගේ කෘතීන් ඔහුගේ සමකාලීනයන් විසින් වඩාත් ඇගයීමට ලක්කළේ සියුම් කලාත්මකභාවය සම්බන්ධයෙනි. 20 වන සියවස ආරම්භයේදී ජෝන් සිංගර් සර්ගෙන්ට්ගේ නිර්මාණයන් සංශයවාදී ද්‍රෘෂ්ඨියකින් ඇගයීමට ලක්වූ අතර ඊට ආසන්න කාලයකදී එම යුගයේ විශිෂ්ඨතම සම්ප‍්‍රදායට අභියෝග කළ පරිපථන කලාකරුවා ලෙසින් හැඳින්වෙන පැබ්ලෝ පිකාසෝ සාම්ප‍්‍රදායික ශ‍්‍රාස්ත‍්‍රාලීය අධ්‍යාපනයේ විශිෂ්ඨයකු ලෙස සිය ශ‍්‍රාස්ත‍්‍රාලීය පුහුණුව අවසන් කරමින් සිටියේය.

’සමහර නූතනවාදී කලාවන් සම්බන්ධයෙන් වන තත්කාලීන විවේචනයක් වන්නේ බැලූ බැල්මට පෙනෙන්ට ඇති කතාකෘතියක් නිර්මාණය කිරිීම සඳහා අවශ්‍ය වන්නාවූ හැකියාවේ ඌනතාවයයි. සංකල්පීය කලාව තුල මාර්ෂල් ඩුෂෙම්ප්ගේ ‘ෆවුන්ටන්’ කලාකරුවා විසින් පවතින භාණ්ඩයක් යොදාගෙන සිය නිර්මාණය සිදුකරනු ලැබූ මුල්ම අවස්ථාවන්ගෙන් එකක් විය. එමෙන්ම එහිදී සාම්ප‍්‍රදායිකව පිලිගත් හැකියාවන් කිසිවක් භාවිතයට ගෙන නොතිබුණි. ටේ‍්‍රසි එමින්ගේ ‘මගේ ඇඳ’ හෝ ඬේමියන් හර්ස්ට්ගේ ‘ජීවත්වන අයකුගේ මනස තුල මරණයේ භෞතික නොපැමිණීම’ යනාදී කෘතීන් මෙම උදාහරණය අනුගමනය කළ ඒවා වෙයි. එමින් කලාගාරයක ප‍්‍රදර්ශිතයක් ලෙස ඉදිරිපත් කිරීමට පෙර ඇගේ ඇඳේ නිදාගැනීම සහ අනෙකුත් කි‍්‍රයාකාරකම් සිදුකළාය.

අගය නිශ්චය කිරීම


ඇබොර්ජිනියානු කුහරමය ලී සොහොන්කොත්, ජාතික කලාගාරය, කැන්බරා, ඕස්ටේ‍්‍රලියාව

කලාව යන යෙදුම ‘අගය නිශ්චය කිරීමේ’ දීද යොදාගනු ලබයි. උදාහරණයක් ලෙස ‘කෑම නම් නියම ආට් එකක්’ (සූපවේදියා නියම කලාකරුවෙකි) නොඑසේනම් ‘මැජික් කලාව’ වැනි යෙදුම් යොදාගැනීම දැක්විය හැක. කථාබහට විෂය වන කරුණෙහි ඉහල ගුණාත්මක බවක් දැක්වීමට එහි වටිනාකම මැනීමේ මිම්මක් ලෙස ‘කලාව’ යන වචනය යොදාගනු ලබයි.

යමක වටිනාකම නිශ්චය කිරීමට පදනම් වන්නේ ඒ පිලිබඳ විවේචනය කිරීමය. එහි සරළතම ආකාරයේදී සළකා බැලෙන්නේ එහි බලපෑම අපගේ හැඟීම් කෙරෙහි කලාව ඇතිකරන ආකාරයේ බලපෑමක් ඇතිකිරීමට සමත්වීද යන්නය. මෙම හැඟීම් දැනීම හැමවිටම අත්දැකීම් මත පදනම්වෙයි. කෙසේ වෙතත් උසස් කලාව හැමවිටම සෞන්දර්යාත්මකව සෑම නරඹන්නකුටම ප‍්‍රසාදජනක නොවිය හැක. උදාහරණයක් ලෙෂ ෆ්රැන්සිස්කෝ ගොයා ගේ 1808 මැයි 03 දින ස්පාඥ්ඥයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය දැක්වෙන සිතුවම දැක්විය හැක. හමුදා අනුඛන්ඩයක් විසින් තමන්ව ඝාතනය නොකරන ලෙසට බැගෑපත් වන සිවිල් වැසියන් පිරිසකට වෙඩි තබනු එහි දැක්වෙයි. එය සමහරුන්ට රසාස්වාදනීය නොවිය හැකිමුත් ගොයා ගේ විශිෂ්ඨ සෞන්දර්යාත්මක රූප සැකසුම සහ පවත්නා සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව පිලිබඳ ඔහුගේ ප‍්‍රකාශනය එම චිත‍්‍රය තුල අන්තර්ගත වෙයි. කෙසේ වෙතත් ‘කලාව’ ලෙස අර්ථනිරූපනය කිරීමට නම් කෘතියක පැවතිය යුතු සෞන්දර්යාත්මක තෘප්තිකර ස්වභාවය කුමක්දැයි යන්න පිලිබඳ වාදවිවාද තවමත් පවතී.

පිලිගත් මතයන්ට එරෙහි කැරලිගැසීම් සහ නව වටිනාකම් පිලිබඳ සෞන්දර්යාත්මකව උසස් යෝජනාවන් පවත්නා වටිනාකම් සම්පූර්ණයෙන් බැහැර කිරීමක් වියුතු නැත. ඇත්තෙන්ම බොහෝවිට සිදුවන්නේ ජනපි‍්‍රයත්වයට පත්වන දේ සෞන්දර්යාත්මකවද පිලිගැනීමට ලක්වීමයි. එමඟින් සෞන්දර්ය පිලිබඳ සංවේදීතාවය තවදුරටත් පුළුල් කිරීමකට ලක්කරනු ලබයි. ගුණාත්මකභාවය නිර්ණය කිරීම සඳහා විවිධ ගුරුකුල විවිධ අදහස් තරක විතර්ක ඉදිරිපත් කොට තිබුණද ඒ සියල්ලටම එක කාරණයක් සම්බන්ධයෙන් ඒකමතිකත්වයක් ඇත. එනම් යමක සෞන්දර්යාත්මක බව පිලිගැනීමට නම් එය එය භාවිතා කරන මාධ්‍යයේ නිම් වළලූ පුලූල් කරමින් විශ්වීය වටිනාකමක් නිර්මාණය කළ යුතු බවයි.

සන්නිවේදනය

කලාව හැමවිටම මිනිස් හැඟීම් සමඟ ගණුදෙනු කරන්නකි. ඊට සෞන්දර්යාත්මක හෝ සදාචාරමය හැගීම් උද්දීපනය කළහැක. එමෙනම් එය මෙම හැඟීම් සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක්ද වෙයි. කලාකරුවන්ගේ ප‍්‍රකාශනයන් බොහෝවිට ඔවුන්ගේ රසිකයින්ගේ හැඟීම් උත්තේජනය කිරීමට සමත්වුවද ඔවුන් එය සවිඥ්ඥාණිකව කළයුතු නොවේ. කලාව ගවේෂණය කරන්නේ මිනිස් ස්වභාවයයි. සාර්ථක කලාකෘතියක්ම මිනිස් ස්වභාවය පිලිබඳ නව ආලෝකයක් විහිදුවයි. නොඑසේනම් සාමූහික මිනිස් කි‍්‍රයාකාරකම්හි නිම්වළලූ පුළුල් කරවයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලලිත_කලා&oldid=378504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි