Jump to content

ලංකාව - පියමං කල මං පෙත්- 2 වන පරිච්ඡේදය

විකිපීඩියා වෙතින්

මිහින්තලය සහ අනුරාධපුරය

[සංස්කරණය]

අනුරාධපුර හෝටලයේ උඩු ආලින්දයේ හිඳ සිටිමින් මගේ උදය ආහාරය ලෙස සොසේජයක් ආහාරයට ගන්නා අතරතුර මහා වංශයේ දසසතර වන පරිච්ඡේදය කියවමින් සිටි මම, පූර්වයේ රජයේ උද්භිද උද්‍යායනය වූ හෝටල උද්‍යානයෙහි වූ අනර්ඝ වෘක්ෂ සමූහය දෙස නෙත් යොමු කලෙමි. කරුණාවන්ත මනුෂ්‍යයෙකු වූ අප්පු, සංවාදයට මනාපයෙන් සිටියේය. හේ පැවසූවේ, පෙර කලට වඩා අමුත්තන් විරල බවයි. අවපාතය ලිහිල් වී ඇති බවක් පැවසුනද, ජනතාවට අවශ්‍ය තරම් දෑ නොවීය. තරුණ මිනි‍සෙකුට රැකියාවක් සොයා ගැනුම දුෂ්කර වූ අතර, වැඩිමහල්ලෙකුට තම රැකියාව රැකගැනුමද අපහසු විය. ඉතා සුන්දර සිනහවක් පෑ හේ, ඉන් උත්සාහ කලේ දිවියේ කටුක බවින් ඔහුගේ සිත සසල වී නොමැති බව පසක් කෙරුමට විය යුතුය.

අනුරාධපුර නගරයට කෙතරම් අසබඩින් වනය පිහිටා ඇත්දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

“කොපමණ කිට්ටුවෙන්?” ඔහු පිළිතුරු දුන්නේය. “ඇයි, මේ අවුරුදු දෙකකට කලින් වල් අලියෙක් නගරය මැද්දෙන් ඇවිදගෙන ගිහින් ගැහණියක් මරා දැම්මා.” ඔහු තම මස්සිනාගේ සෙහොයුරියගේ වත්තට යමින් සිටියදී සෙනග එක්රැස්වී සිටිනු දැක ඇත. අලියා වතු මැදින් හා නිවෙස් පසුපසින් ඇවිදගෙන යද්දී තණ බුදිමින් සිටි එළදෙනක් දැක ඇත. තම හොඬවැලෙන් එක් පහරක් දී එළදෙන එතැනම මරා දමා ඇත. ඉන්පසු ඌ ගැහැණියක් මරා දමා ඇත. කවරෙකු හෝ තුවක්කුවක් රැගෙන ඇවිත් ඌට වෙඩි තබා ඇත. ඌ මිය ගොස් වැතිර සිටිනවා ඔහු දැක ඇත. සමහරවිට ඌ තනි අලියෙකු වන්නට ඇත.

හෝටලයෙන් පිටවූ මම ශීතල උදෑසනෙහි අනුරාධපුරය හරහා යුහුසුළුව ගමන් කලේ කඩමණ්ඩියෙහි වූ කාර්ය බහුල ජනයා දෙස නෙත් යෙමුමට පමණක් මදක් රැ‍‍ඳෙමිනි. මට අවශ්‍යව තිබුනේ පළමුව මිහින්තලය දැක බලා ගැනුමයි. මග වැටී තිබුනේ වනය මැදින් වූ අතර, තම බිරින්දෑවරුන් හා සමගින් යටි කැලයෙහි පරඬැල් පහුරු ගාමින් සිටි වළි කුකුළෙකු, “ජෝර්ජ් ජොයිස්, ජෝර්ජ් ජොයිස්” යනුවෙන් පාරම්බානු මට ඇසිණි. දේවානම්පිය තිස්ස රජ ඔහුගේ අතවැසියන්ද සමගින් ක්‍රි.පූ. 307 දී දඩයම් ගමනක් සඳහා මෙම මග ඔස්සේ පයින් ගමන් කලේ, මෙම රට මත ඒ වන තුරු හෝ ඉන් පසු මේ වන තුරු හෝ බලපෑම් ඇති කල සිද්ධීන්ට වඩා ඉමහත් බලපෑමක් ඇති කල එක්තරා සිද්ධියක් වෙත අසංඥෙය ලෙසින් ඇදෙමිනි.රජතුමා විසින් වනලැහැබක උලාකමින් සිටි මුවෙකු දුටු සැටිත්, ඔහු කෙතරම් දක්ෂ දුනුවායෙකු වුවත්, මුවා වෙත ඊතලය විදීමට ඔහු හට නොහැකි වූ සැටිත් අඩංගු කතාන්තරය ඕනෑම කුඩා ලමයෙක් දනියි. ඔහු දුනුදිය අදිනවාත් සමගම, මුවා වනය වෙත පලා ගියේය.

‘රජතුමා ලුහුබැඳ ගියද, මුවා පිම්මේ දිවගොස් තෙරණුවන් අසලට වන්හ.’ මෙම තෙරණුවන්වහන්සේ, අශෝක අධිරාජයා විසින් ඉන්දියාවේ සිට ලංකාවට එවන ලද, බෞද්ධ ධර්මදූත ප්‍රචාරක, මහින්ද ස්ථවිරයන් වහන්සේය. ‘රජු විසින් මොහු දුටු කල, බිය ගැන්වී, නිසොල්මන්ව සිටියේය. “තිස්ස, මෙහි පැමිණෙන්න.” යැයි ඔහුගේ නමින්ම ආමන්ත්‍රණය කරමින් තෙරණුවන් වහන්සේ ඔහුට පැවසීය. ‘මේ නම් යකෙකු විය යුතුයි.’ යැයි මෙවිට, තිස්ස රජතුමා සිතීය. ’

“අප ධර්ම-රාජයන් ගේ ශ්‍රාවකයන් වන මහණුන් වෙමු, මහා රජතුමනිග ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයෙන් (ඉන්දියාවෙන්) ඔබ අබියසට අප පැමිණුමු ” යැයි තෙරණුවන් වහන්සේ පැවසීය. රජතුමා මෙය ඇසූ විට ඔහුගේ බිය පහවිය. ඔහුගේ මිතුරු (අශෝක) ගේ හසුන්පත සිහිවීමෙන්, සහ මේ නම් මහණුන් බව ඒත්තු යෑමෙන්, ඔහු දුන්න හා හී තල පසෙක ලෑ අතර, ඉසිවරයා වෙත පැමිණ, තෙරණුවන් වහන්සේ සමග අභිනන්දන හුවමාරු කර ගත් හේ එතුමා අසල බිම හිඳ ගත්තේය.

දැනට වසා දමා ඇති පැරණි තානායම පසු කල මා, අපිළිවෙළ කුඩා ගම්මානයක් වූ මිහින්තලය වෙත රිය ධාවනය කලෙමි. මෝටර් රථයෙහි ආගමනයත් සමගම, දවසේ ගමනකදී පසුකර යන්නාවූ ස්ථානයක් බවට මිහින්තලය පත් කිරීමට පෙර, පැරැණි කාලයේදී, අනුරාධපුරයේ සිට තනි ගොන් කරත්තයෙන් පැමිණි ප්‍රීතිමත් නඩ ‍කොපමණක් මෙහි රාත්‍රිය ගත කරන්නට ඇත්ද? දකුණට හැරී වක් ගැසෙන මග, ලොව ඇති අති ගාම්භීර පිට ගැට පෙළක් අබියසින් කෙළවර වේ. මහා පුළුල් කසාවන් ශෛලමය පිය ගැට සමූහය ගාම්භීර ලෙසින් කඳු මුදුන තෙක් විහිදී යයි. 1848 දී හා 1917දී ඔවුන් දුටු, වක් ගැසුණු පිය ගැටින් සමන්විතවූ පටු වන මඟ කුමක්දැයි අවබෝධ කරගන්නට ටෙනන්ට් හා මිටන් මෙනෙවිය අසමත් වන්නට ඇත්තේ, ඒ වන විට, පිය ගැට පෙළ කැණ, පිළිසකර කොට නොතිබූ නිසා විය හැක. සියවස් ගණනාවක් මුළුල්ලේ, මෙම මහේශාක්‍ය පිය ගැට පෙළ ඔස්සේ, ශ්‍රද්ධවූ කඳු මුදුන කරා ගෙන යන්නට ඇති මිලියන ගණනක් බැතිමතුන්, ඔවුන්ගේ පාවහන් නොපැලඳි, ගමනින් දුර්වර්ණ වූ දෙපයින් පුරාතන පාෂාණයෙහි කිසිදු ගෙවුම් සළකුණක් ඇති කරන්නට සමත් වූයේද යන්න සැකයකි.

“පඩි එක් දහස් අට සිය හතරයි” යැයි කිසියම් කටහඬක් මා පසු පසින් ඇසිණි. කළු ‍රොද සහිත කෙස් මනාව පීරා, සංචාරක-සහායකයන් ගේ අඩක්-බයාදු හා අඩක්-විශ්වාසශීලී ගතිගුණයෙන් මනාව හෙබියාවූ තරුණ මිනිසෙකු, අමුත්තා තක්සේරුකිරීමට මෙන් බලාසිටියේ කුමන අයුරින් මා හට සැලකිය යුතුද යන්න අධ්‍යයනය කරමින් විය යුතුය. මෙය ප්‍රයෝජනවත් තොරතුරක් වුවත්, අප පිය ගැට පෙළ නැඟ අවසන් වන තුරු එය සඟවා ගෙන සිටියේ නම් කෙතරම් කදිම දැයි මට සිතුන මුත්, අප දෙදෙනා එක්ව ශ්‍රද්ධවූ කන්ද තරණය කිරීම ඇරඹුවෙමු.

මහා පිය ගැට පෙළට දකුණින් මා දුටුවේ මෑතකදී කණින ලද, කණ්ඨක චෛත්‍යය නම් දා ගැබකි. කන්දේ බාහුවක පිහිටා තිබූ මෙය, අළුත් හා නැවුම් බවක් දැක්වූයේ, කපරාරු වඩුවන් හා පින්තාරුකරුවනට ඉතිරි වැඩ නිම කිරීමට ඉඩ සලසමින්, පුරාතන ගල් වඩුවන් මොහොතකට පෙර දාගබ මතවූ ශෛලමය හස්තීන් හා සිංහයන් වෙතින් බැහැරව ගිය ලෙසිණි. මේ වන විටද, රතු හා කහ පැහැති සායම් තැන තැන දක්නට ලැබුණු අතර, දාගැබ මත ගඩොල් පෘෂ්ඨයෙහි මත වූ කපරාරුව බොහෝ තැන්හී නිරුපද්‍රිතව තිබුණි. සිංහල ගෘහ නිර්මාණ ශිල්පයෙහි උත්කෘෂ්ඨ නිදසුනක් මනාව ප්‍රදක්ෂිණා වූ තැනක් ලෙස මෙය දැක්විය හැක. සාම්ප්‍රදායික ඇත් හා සිංහ නිර්මාණ තුලින් ප්‍රගමනය වන්නාවූ නිර්මාණශිල්පියාගේ ප්‍රාණය හා භාවාර්ථය, පෞරාණික ජීවමාන ස්වරයකින්, වත්මන් බැතිමතුන් අමතයි.

දාගැබ අසබඩ පිහිටියේ ‘ධාර්මික රජු ගාමිණීගේ පුත් වංශවත් ඇසිලි විසින් මහජනයාගේ බුත්තිය සඳහා කැප කෙරිණි’ යන වැකිය ශිලාලේඛනය කල කුඩා ලෙන් කුටියකි. සැම අහු මුල්ලකම සැඟවී හා ප්‍රපාත අද්දරයන්හී පිහිටුවා ඇත්තාවූ මෙවැනි කුටි වලින් මිහින්තලය පිරී පවතියි. මේවා කියා පාන්නේ, ලෞකීක දිවියෙන් මිදී සරණය ලැබීමට තවුසන් මෙම කන්ද භාවිතා කල, බුද්ධාගම පැමිණීමට පෙර කාලයේ ඉතිහාසයයි. බුද්ධාගමෙහි මුල් කාලයේදී මිනිසුන් මෙවැනි ආරණ්‍ය ලෙන් කු‍ටි වැද භාවානුයෝගීව ගත කර ඇත්තේ සියළු ලෞකීක දේ හී අනිත්‍ය මෙනෙහි කරමිනි.

බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය ක්‍රමයෙන් විකාශනය වූයේ මේවායින් ඇරඹී බව පැවසේ. ලෙන ඇතුලත ගඩොලින් ඇතිරීමට හා කපරාරු කිරීමටද ගල් දොර-කණු වලින් හා ගල් උඩළිපකතින් සමන්විත පටු දොරකින් ඇතුළු වීමට සැලැස්වීමටද අවශ්‍යතාවය ක්‍රමයෙන් පැන නැගුණි.


ආශ්‍රිත

[සංස්කරණය]

ඩබ්. ටී. කෙබ්ල්, සිලෝන් බීට්න් ට්‍රැක්, 1940, පිටු 344, සූරිය ප්‍රකාශකයෝ කොළඹ 10, ISBN 955-8425-27-3