රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
රිටිගල නටඹුන්

මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජ ර‍‍‍‍ටේ වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගලවන පියසට හිමි‍‍‍‍‍වෙයි.‍‍‍‍‍‍ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රක්ෂිතයක්ව ඇති මෙම කඳු ශිඛරයේ ඇති රූස්ස ගස් වලින්ද මෙහි ඉතිහාසය පිළිබිඹු වේ.

පිහිටීම[සංස්කරණය]

පිහිටීම දැක්වෙන සිතියම

උතුරු මැද පළෘතේ,අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.

විදේශීකයන්ගේ පවා අවධානයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්, ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ. 600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා, කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත.

රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි. ඒ සමඟම හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි. ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ‍ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, පධානගර හා ගල් කුළුණුය.

වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය. වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ.

රිටිගල ලෙස හැඳින්වීම[සංස්කරණය]

  • මෙය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත.

පාලි 'අරිට්ඨ පබ්බත' සංස්කෘත 'අරිෂ්ට පර්වත' යන්නෙන් සිංහලයට බිඳී එන්නට අතැයි සාමාන්‍ය‍යෙන් සැලකේ. 'රිටි' යනු පාලි 'අරිට්ඨ' යන්නෙන් බිදී ආ 'ආරක්ෂාව' යන අරුත් ඇති පදයකි. ඒ අනුව රිටිගල ආරක්ෂක පර්වතයකි. මහාවංශයේ 'අරිට්ඨ පබ්බත' ලෙස සඳහන් වන්නේ ‍මෙම ස්ථානයයි.

  • රිටිගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයකි.
  • රිටිගල අඩතැන්නේ පිහිටි රිටක් මෙන් ඉහළට එසවී ඇති පර්වතයක් නිසා මේ නම ලැබෙන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.
  • රිටිගල යන නමේ 'රිටි' යන්නෙහි ගැබ්ව පවත්නා සැබෑ අරුත කුමක් වුව ද, එම වදන සිංහල භාෂාවේ පුරාතන වචනයක් බවවාග් විද්‍යාත්මක හා ඓතිහාසික සාධක ආශ්‍රයෙන් පැහැදිලි වේ.

ගවේෂණය කිරීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ගවේෂණ වල පුරෝගාමියෙක් වශයෙන් සැලකන එච්.සී.පී.බෙල් රිටිගල පිළිබඳ අවධානය යොමුකළ ප්‍රථම පුරා විද්‍යාඥයා වෙයි. රිටිගල කන්ද මුළුමනින්ම ගවේෂණය කොට එහි පැවති ලෙන් හා ශිලා ලිපි හඳුනා ගැනීමත්, නටඹුන් සොයා ගැනීමත් ඔහුගෙන් සිදු වුණු කාර්යන්ය. එම සියලු පුරා විද්‍යාත්මක තොරතුරු ඇතුලත් කොට සැලසුම් හා රූ සටහන් සහිතව බෙල්මහතා විසින් 1893 දී පළ කරන දී.

  1. "Ritigala kanda", sessional paper xxx viii Annual report -1893
  2. Archaeological survey of ceylon &plans and platesfor Annual Report-1893,
  3. Ancient Ruins of Ritigala යන වාර්තා, රිටිගල පිළිබඳ අධ්‍යයනයකදී ඉතා ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර වේ.

එච්.සී.පී.බෙල් මහතා සොයා ගත් සෙල් ලිපියකට අනුව ක්‍රි.පූ. 119-109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස රිටිගල විහාරයක් සාදා ඇති බව සඳහන්ව ඇති අතර තවත් සෙල් ලිපියක වළගම්බා රජු විසින් රිටිගල අසල කුඹුරු යායක් කරවා භික්ෂු ශාසනයට පූජා කළ බව සඳයක් වේ.

දැනට අවුරුදු 2434ක් පමණ (ක්‍රි.පූ.437) දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල මෙරට ඉතිහාසයේ මුල්ම රාජධානිය වන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවතුණි. ඔහු සිය මාමාවරුන් සමඟ කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම කඳවුරයි. එමෙන්ම මීටත් පෙර විජය කුමරු තම්මැන්නාවේ සිට ආ ගමනේදී ඒ ගමන් මඟ රිටිගල අසලින් වැටී තිබුණුබව ද කියවේ.

මහා වංශයේ සඳහන් වන පරිදි ක්‍රි.පූ.833-835 පළමු වන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට මෙහි ආරමයක් කරවා දී ඇති බව දසඳහන් වේ.

ජනප්‍රවාද[සංස්කරණය]

රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව පැවසේ.

රක්ෂිත වනයක් වීම[සංස්කරණය]

1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර, එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙ‍රෙහි විශේෂ අවධානයයොමු වන්නට විය. පුරා විද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ 1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය.

වැදගත්කම[සංස්කරණය]

  • තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත. අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත.
  • ‍ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ.
  • උද්හිද විද්‍යාත්මකව වැදගත් වේ.

ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත. පළු, වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභ වර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.

නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය. මිහින්තලේ, වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ. මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත්සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත් වන්නට විය. වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණික ස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ.

ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • සිළුමිණ 1998 අගෝස්තු 16

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]