අරිට්ඨ පබ්බත
නුවරකලාවියේ අරුම පුදුම උසම කන්ද
෴ අරිට්ඨ පබ්බත ෴
සීතා කුමරිය සොයා රාවණා සමඟ සටන් වදින රාමාගේ පිරිසෙන් ලක්ෂ්මන් කුමරුට ඊතලයක් වැදීම නිසා ප්‍රතිකාර කිරීමට ඖෂධයක් සොයා එන ලෙස හනුමාව හීමාලයට පිටත් කළත් හිමාලයට ගිය හනුමාට ඖෂධ නාමය අමතක වීම හේතුවෙන් හිමාලයේ කොටසක් රැගෙන හනුමා ලක්දිවට පැමිණෙනවා. එසේ ගෙනා කඳු කොටස් තුනක් ලක්දිව තැන් තුනක වැටුණු බවත් එයින් එක් කොටසක් රිටිගල බවත් ජනප්‍රවාදයේ පැවසෙනවා. එම කතාව සනාථ කිරීමට මෙන් බොහෝ විශේෂ ලක්ෂණ රැසක් රිටිගල දී දැකිය හැකියි.
වියළි කලාපයේ වුවත් නිතර මීදුම අතර සැඟව පවතින රිටිගල කන්ද පාමුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 - 30 අතර වුවත් කඳු මුදුනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 - 15 ක් පමණ වනවා. ලංකාවට ආවේණික ජෛව විවිධත්වය අතර රිටිගලට ආවේණික හා හිමාල කඳුවැටියේ දී හමුවන ඖෂධ පැළෑටි ද පවතිනවා. හිමාල කඳුවැටියත් ලංකාවේ මධ්‍ය කඳුකරයත් අතර රේඛාවේ පවතින උසම බිම්කඩ වන රිටිගල කන්ද අඩි 2514ක උසින් යුක්තය.
මහාවංසයේ රිටිගල හඳුන්වා ඇත්තේ අරිට්ඨ පබ්බත නමිනි. අරිට්ඨ යන්නෙහි තේරුම රක්ෂිත යන්න බවත් පණ්ඩුකාභය කුමරා ආරක්ෂක සටන් පුහුණු මධ්‍යස්ථානය ලෙස මේ පව්ව භාවිතා කළ බවත් සඳහන්ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ පරපුරෙහි අරිට්ඨ මහ රහතන් වහන්සේ මේ පව්වේ වැඩවාසය කළ බවත් ඒ හේතුවෙන් අරිට්ඨ පබ්බත නම් වූ බවත් තවත් මතයකි.
දුටුගැමුණු - එළාර යුධ ජයග්‍රහණය අවසානයේ ගෝඨයිම්භර යෝධයා විශාල සාදයක් පවත්වා ඇති අතර එහි පැමිණි දුටුගැමුණු රජුට යුද්ධය සඳහා සහය දුන් යක්ෂ සේනාවේ නායක රිටිගල ජයසේන මත් වී සිටි අවස්ථාවේ ගෝඨයිම්භර යෝධයාගේ බිරිඳව වැළඳගෙන තිබේ. එයින් කෝපයට පත් ගෝඨයිම්භර, රිටිගල ජයසේනට බැණවැදී ඇති අතර එයින් තමාට ඇති වූ ලැජ්ජාව ඉවසාගත නොහැකි වූ රිටිගල ජයසේන තමා හා ද්වන්ධ සටනකට එන ලෙස ගෝඨයිම්භරට අභියෝග කරනවා. පසු දා තම්මැන්නා සොහොනේ දී පැවැත්වෙන සටනේදී ගෝඨයිම්භර යෝධයා එල්ල කරන පළමු පහරින් ම රිටිගල ජයසේනගේ හිස ගැළවී ගොස් රිටිගල කරඹ ගස් මුදුනක රැඳෙනවා. රිටිගල ජයසේනගේ දෙවියන් වන සෙනසුරු දෙවියන් ජයසේනගේ ජීවිතය බේරාගැනීමට වලස් හිසක් ගෙනැවිත් සවිකරනවා. කලබලය වැඩි නිසාම එයත් සවි කර තිබෙන්නේ හිස පිටුපසට සිටින ලෙසයි. එදා පටන් මහසොහොන් යක්ෂයා බවට පත් වන රිටිගල ජයසේන මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා ම කඳු මුදුනේ තම වාස භවනට වී සිටින බව ජනප්‍රවාදයේ අලංකාර පුරාවෘත්තයකි.
එම පුරාවෘත්තයට ද පණ පොවන ස්ථාන සහ තවත් නොයෙක් ජනකතා පවතින බැවින් මහසෝනා ප්‍රබන්ධයක් ලෙස අහක දැමීමට නම් සිතෙන්නේ නැහැ. රිටිගල ජයසේනගේ හිස ගැළවී ගොස් රැඳුණු කරඹ ගස පැවති ස්ථානය අද දවසේ ද ඔළුකරඹ නම් වන අතර සෙනසුරු දෙවියන් වලස් හිසක් ගෙනා ස්ථානය ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල සෙනසුරු කෝවිල් භූමිය වේ. අදටත් රිටිගල ප්‍රදේශයේ උගන්වන විශුද්ධි අංගම් ශාස්ත්‍රය, සුදාලිය අංගම්පොර පරම්පරාවට ලබාදී ඇත්තේ ද රිටිගල ජයසේන විසිනි. රිටිගල මුදුනේ ඖෂධ උයනක්, පලතුරු උයනක්, උල්පත් උයනක්, මල් උයනක් ඇති බව කියැවෙන අතර එහි ඕනෑ තරමක් කා බී විනෝද වීමට හැකි වුවත් ආපසු එන විට මල්, පලතුරු, ඖෂධ කිසිවක් රැගෙන ආ නොහැකි බවත් එසේ රැගෙන එන්නන් අතරමං වන බවත් ජනශ්‍රැති ගතය.
1893 දී එච්.සී.පී.බෙල් මහතා රිටිගල පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන අතර 1931 හෙක්ටයාර 1528ක කඳු මුදුන දැඩි රක්ෂිතයක් ලෙස නම් කරනවා. අවුරුදු 2434ක පැහැදිලි ඉතිහාසයක් හිමි අක්කර 7200ක රිටිගල වනය තුළ කටාරම් කොටන ලද ගල්ලෙන් 74ක්, ශිලා ලේඛන 152ක්, පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි නටඹුන් 140ක් පමණ ද අඩි 30ක් ගැඹුරු "භන්දා" දකුණු ආසියාවේ විශාලතම පොකුණ ද පිහිටා ඇත. 1980 දී සංරක්ෂණ කටයුතු ඇරඹි රිටිගල පව්ව මාතෘභූමිය සතු අග්‍රගන්‍ය දායාදයකි.