රත්නපුර රදගුරු පදවිය - ශා. පේදුරු සහ පාවුළු ආසන දෙව්මැදුර

විකිපීඩියා වෙතින්

රත්නපුර රදගුරු වසමේ හදවත ලෙස ශුද්ධ වූ සභාවේ මුල් පුරුක් දෙක ලෙස සැලකෙන ශු. පේදුරු හා පාවුලු අපෝස්තුළුවරුන් නමින් කැප කරන ලද ආසන දෙව්මැදුර නම් කළ හැකිය. මෙම දෙව්මැදුර මෙරට දර්ශනීය දේවස්ථාන බොහොමයක් ඉදිකරන ලද සිල්වෙස්ත්‍රෝ බෙනදිකානු නිකායික ධර්මදූතවරුන්ගේ අද්විතීය ධර්මදූතික මෙහෙයවර අදත් නිහඬව කියා පායි. රත්නපුර නගරයේ ඉදි වූ පළමු දේවස්ථානය පෘතුගීසි සමයට නෑකම් කියන්නකි. එහි ඉතිහාසය දෙස බැලීමේදී රත්නපුර නගර මධ්‍යයේ පිහිටි පෘතුගීසි බලකොටුව ආසන්නයේ කතෝලික දේවස්ථානයක්තිබූ බව ලිඛිත තොරතුරු අනුව සඳහන් වේ. පෘතුගීසි සමයේදී එය ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරුන් සතු වූ බව සඳහන් වේ. ක්‍රි.ව. 1618 ආසන්නයේ දී පළමුවන රාජසිංහ රජුගේ අභාවයත් සමග ගැසපාර් පිගේරා නම් පෘතුගීසී සෙන්පතියාගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව අරන්දර, රුවන්වැල්ල, සීතාවක හරහා යටත්කර ගනිමින් රත්නපුර මහ සමන් දේවාලයටද පහර බලකොටුවක් සහ කතෝලික දේවස්ථානයක් තැනූ බව සඳහන් වේ. ඒ අනුව රත්නපුර කතෝලික දෙව්මැදුරේ ලිඛිත ඉතිහාසයට අනුව වසර 390 ක් බව සඳහන් වේ. එසේම එම බලකොටුවේ සිටින ආරක්ෂක භටයින් ආත්මික වත් පිළිවෙත් ඉටු කිරීම සඳහා ඉහත සඳහන් කරන ලද දේවස්ථානය ඉදි කොට තිබේ. වත්මන් දේවස්ථානයේ ආරම්භය බ්‍රිතාන්‍ය සමයට දිව යයි. එය ඉදිකරන ලද්දේ එවකට දකුණු අනු පදවියේ සේවය කරන ලද සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික ධර්මදූතවරුන් විසිනි. පළමු දේවස්ථානය රත්නපුර කෙලින් වීදියේ සාවියා මාවතේ පිහිටා තිබූ බවත් , එහි නිරන්තරයෙන් ඇතිවන ජල ගැල්ම හා භූමියේ ඉඩකඩ මදි කම නිසා එවකට සේවය කළ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික ගෞ. රොමයිරෝ ෆොර්නෙල්ලි පූජාප්‍රසාදීන් වහන්සේ විසින් එය පවුම් 110 කට විකුණා එම මුදලින් වත්මන් දේවස්ථාන භූමිය මිල දී ගත් බව සඳහන් වේ. වත්මන් දේවස්ථානය ඉදි කිරීමට පුරෝගාමී වී ඇත්තේ හේවාගම් කෝරළයේ මහා ධර්මදූතවරයාණන් ලෙස සැලකෙන සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික ගෞ. ප්‍රැන්සිස් සාලිස් වැඩෝලීසොන් පුජාප්‍රසාදීන් වහන්සේ විසිනි. එතුමා ඒ කාලයේදී හංවැල්ලේ සිට රත්නපුර දක්වා වූ හේවාගම් කෝරළය නැමැති ධර්මදූතික මධ්‍යස්ථානය භාරව ක්‍රියා කර ඇත. වත්මන් දේවස්ථාන ගොඩනැගිල්ල තනන්නට ක්‍රි.ව. 1870 වසරේදී එකල දකුණු අනු පදවියේ රදගුරු සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික අති උතුම් ඇබට් හිලේරියන් සිල්ලානි හිමිපාණන්ගේ මග පෙන්වීම මත ගෞ. ප්‍රැන්සිස් සාලිස් වැඩෝලීසොන් පුජාප්‍රසාදීන් වහන්සේ පෙරමුණ ගෙන ක්‍රියා කළ අතර, එම වසරේ ජූලි මාසයේ දී වත්මන් දේවස්ථානය ඉදි කරන්නට මුල්ගල් තබන ලදී. ක්‍රි.ව. 1870 ජූලි මස නව දේවස්ථානයට මුල් ගල තබා වසර 13 සපිරෙද්දී එවකට දකුණු අනු පදවියේ රදගුරු සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික අති උතුම් ක්ලෙමන්ට් පඤ්ඤානි හිමිපාණන් විසින් ආසිරි ගන්වා කැප කර ඇත. ඒ පිළිබඳව වාර්තාව මෙසේය , " ක්‍රි.ව. 1881 පෙබරවාරි මස 12 වන දින අති උතුම් ක්ලෙමන්ට් ඇන්ජෙලෝ පඤඤානි හිමිපාණෝ රත්නපුර ශා. පේදුරු දේවස්ථානය ආසිරි ගැන්වීම මෙහිදී සුවිශේෂී වේ. මෙම අභිනව දේවස්ථානය ගෞ. ප්‍රැන්සිස් සාලිස් වැඩෝලීසොන් පුජාප්‍රසාදීන් වහන්සේගේ ඉමහත් දායකත්වය තුළ ඉදිවූ අතර එම දේවස්ථානය සදහා සැලසුම අදින ලද්දේ ගෞ. ස්ටැනිස්ලාවුස් තම්බ්‍රානි පුජාප්‍රසාදීන් වහන්සේ ය. මෙම දේවස්ථානය ඉතා අලංකාර මෝස්තරයකින් ඉතා අලංකාර ගොඩනැගිල්ලක් වන අතර එය ඉතා උස් ස්ථානයක මෙන්ම අණ දෙන ස්ථානයක පිහිටා ඇති බව සදහන් කරයි. මෙහිදී රත්නපුර නගරයට රදගුරුතුමකු පැමිණි පළමු අවස්ථාව නිසා පිළිගැනීමේ උත්සව සහ දීර්ඝ විස්තරයන් සහිත කථනයන් විය. දරුවන් සහ වැහිටියන් 88කු හට රදගුරු හිමිපාණන් විසින් අභිවෘද්ධි ආලේපනය සක්‍රමේන්තුව පිළිබදව අනුශාසනා කොට , රදගුරු හිමිපාණන් සහ ගෞ. ප්‍රැන්සිස් සාලිස් වැඩෝලීසොන් පුජාප්‍රසාදීන් වහන්සේ අතර සංවාදශීලි දේශනා මගින්, සංචාරයක පරමාර්ථය සම්පූර්ණයෙන් පැහැදිලි කර ඇති අතර, එමගින් ශුද්ධාසනිය නිල නිවේදනයන් ඇතුළු සෙසු අනෙකුත් සභා නිවේදන සහ සෙසු සභා අනෙකුත් කාර්යයන් පිළිබදව දේවජනතාව දැනුවත් කරන ලදී. පසුදින ගෞ. පීටර් එලාරි පුජාප්‍රසාදීන් වහන්සේ සහ ගෞ. සහෝදරතුමා ආපසු කොළබ කරා ගිය අතර , රදගුරු හිමිපාණන් , ගෞ. ප්‍රැන්සිස් සාලිස් වැඩෝලීසොන් පුජාප්‍රසාදීන් වහන්සේ සහ ගෞ. ඩී. ජේ. ප්‍රනාන්දු පුජාප්‍රසාදීන් වහන්සේ සමග බලන්ගොඩ බලා පිටත්වූ බව සදහන් වේ. "

මෙම දේවස්ථානය ආසිරි ගන්වා වසර 5ක් සපිරෙද්දී එනම් ක්‍රි.ව. 1886 නොවැම්බර් මස 01 වන දින එකල දකුණු අනු පදවියේ රදගුරු ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික අති උතුම් අර්නස්ට් ක්‍රිස්ටෝෆර් බොන්ජින් හිමිපාණන් විසින් එතෙක් පැවති හංවැල්ල ධර්මදූතික මධ්‍යස්ථානයෙන් වෙන්ව රත්නපුර නව ධර්ම දූතික මධ්‍යස්ථානයක් ලෙස පත් කරන ලදී. ඒ අනුව රත්නපුර ධර්මදූතික මධ්‍යස්ථානයේ පළමු මීසම් සේවක පූජාප්‍රසාදිතුමන් ලෙස ඉතිහාසගත වී ඇත්තේ ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික ගෞ. ගරු පීටර් බුලික් පුජාප්‍රසාදීන් වහන්සේ ය. පසුකාලීනව එනම් ක්‍රි.ව. 1893 දී ශුද්ධාසනය විසින් ගාල්ල රදගුරු වසම ස්ථාපනය කළ අවස්ථාවේදී බෙල්ජියම් ජේසු නිකායික ධර්මදූතවරුන්ගේ බාරයට ලක්වූ මෙම මීසම තුළ සේවය කරන ලද පූජාප්‍රසාදීන් වහන්සේලා කීප නමක් පසුකාලීනව ගාල්ල රදගුරු වසමේ රාජගුරුප්‍රසාදීන් වහන්සේලා ලෙස සේවය කිරීම කිරීමද සුවිශේෂී වේ. ඒ අය අතුරින් අති උතුම් නික්ලස් මරියා ලෞඩාඩියෝ ( ජේ.නි.) හිමිපාණෝ , අති උතුම් එල්මෝ පෙරේරා හිමිපාණෝ සහ වත්මන් ගාලු රදගුරු අති උතුම් රේමන්ඩ් කිංස්ලි වික්‍රමසිංහ හිමිපාණෝ සුවිශේෂි වන අතර 1995 නොවැම්බර් මස 02 වන දින ලංකා කතෝලික සභාවේ 11 රාජගුරු පදවිය ලෙස ගාල්ල රදගුරු වසමේ වෙන් කරන ලද සබරගමු ප්‍රදේශය රත්නපුර රදගුරු පදවිය ලෙස ස්ථාපනය කිරීමෙන් පසු එහි ආසන දෙව්මැදුර ලෙස මෙම දේවස්ථානය නම් කරන ලදී. ඒ අනුව 1996 ජනවාරි මස පස්වන දින පළමු රදගුරුතුමන් ලෙස අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ ආසනාරූඪ වූ අතර, පසුව දෙවන රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ලෙස අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණෝ 2003 මාර්තු මස 22 දින ආසනාරූඪ වුණි. මෙහි තෙවන රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ලෙස සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික අති උතුම් ඩොම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණෝ 2007 ජුලි මස 28 වන දින ආසනාරූඪ වුණි.

වත්මන් ආසන දෙව්මැදුරේ ඉඩකඩ මදිකම නිසා විශාල කර නවීකරණය කිරිම සඳහා වත්මන් රදගුරු සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික අති උතුම් ඩොම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණෝ 2012 අප්‍රේල් 17 වන දින මුල්ගල තබා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, ඒ සඳහා පදවි අනුනායක අති ගරු ඩේමියන් ප්‍රනාන්දු පූජාප්‍රසාදීන් වහන්සේගේ සහ එවක රත්නපුර මීසම් සේවක ගෞ. රන්ජන්මාල් මොරායස් පූජාප්‍රසාදීන් වහන්සේගේ දායකත්වය මෙහිලා කෘතවේදීව නම් කළ යුතුමය. ඒ අනුව ආසන දෙව්මැදුර නවීකරණය කර ආසිරි ගැන්වීමේ මහෝත්සවය 2013 නොවැම්බර් 09 වන දින පැවැත්වුණි. ඒ සදහා එවක සිරිලක අපෝස්තලික තානාපති අතිඋතුම් ජෝශප් ස්පිටෙරි අගරදගුරු හිමිපාණන් ප්‍රධානත්වයෙන්, සෙසු රදගුරු වසම් වල රදගුරු හිමිවරු කීපනමක් ද ඇතුළු රත්නපුර රදගුරු හිමිපාණන් ද , සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායේ ලෝක නායක මාඨාධිපති හිමිපාණන්ද ඊට සම්බන්ධ විය.