යුධ භූගෝලීය විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යුධ භූගෝලීය විද්‍යාව යනු භූගෝල විද්‍යාවේ උප ඒකකයක් වුවද එය යුධ කටයුතුවලටම වෙන් නොවූවකි. එහෙත් දේශපාලකයින් සහ ශාස්ත්‍රඥයින් එම විෂයය දෙස යුධවාදී ඇසකින් බැලීම හේතුවෙන් යුධ භූගෝල විද්‍යාව, යුධ විෂයන් බවට පත්ව ඇත. II ලෝක යුද්ධයෙන් පසුව යුධ භූගෝල විද්‍යාව යුද්ධයකදී හෝ සාමයකදී යුධ ප්‍රශ්න විසඳීම සඳහා ලබා දුන්නේ ප්‍රබල සහායකි. මෙම සහායන් ලබා දීමට යුධ භූගෝල විද්‍යාඥයින් භූ දේශපාලනයේ සිට භෞතික පිහිටීම් දක්වා වූ විවිධ අංශ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. එසේම යුධ වාතාවරණයකදී බලපැවැත්වෙන සංස්කෘතික සහ ආර්ථිකමය සාධක පිළිබඳව ද ඔවුන් විශේෂ අවධානයක් යොමුකළ යුතු වේ. යුධ භූගෝල විද්‍යාව යනු භූදේශපාලනික පාලනයේදී ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරිපත්වන ප්‍රධාන අංගය වේ.

යුධ භූගෝල විද්‍යාඥයෙකු සපයන සටහනකින් තොරව අණදෙන නිලධාරියෙකුට තම ඉදිරි පියවරවලට යාම අවුල්විය හැක. පරිසර විශ්ලේෂණයන්, සංස්කෘතික විශ්ලේෂණ‍යන් සහ තවත් විශාල අධ්‍යයනයන් රැසකින් ලබා ගන්නා තොරතුරු එක් රැස් කිරීම සිදු කරන භූගෝල විද්‍යාඥයා විසින් ලබා දෙන විශ්ලේෂණය ඉතා ප්‍රබලය. එමගින් යම් භට ඛණ්ඩයක් අදාල මෙහෙයුම් ප්‍රදේශයේ භූමිය පිළිබඳ අධ්‍යයනයක් ලබා ගත්ත ද ජලවහන පද්ධතිය පිළිබඳ සැලකිළිමත් නොවිය හැක. එම ජලවහන පද්ධතිය පාදක කොට සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දැඩි අවාසියක් විය හැක. නාරිගකව සංවර්ධිත ප්‍රදේශයන්හි ගැටුම්වලට යොමුවීමකදී ඇතිවන බාධක සාමාන්‍ය යුධ බිමකට වඩා දස ගුණයකින් වැඩිය.

“යුද්ධය” නම් වූ නාටකයේ සාර්ථක නළුවකු වන්නට සිතන්නෙකු සතු පළමු රාජකාරිය වන්නේ නාටකය හොඳින් අධ්‍යයනය කිරීමවන අතර එමගින් ඔහුට මෙන්ම සතුරන්ට ද ඇතිවන වාසි සහ අවාසි හොඳින් දැක ගත හැකි වේ.

ලඳු කැලෑ සහ වනාන්තරවල යුධ වැදීම්[සංස්කරණය කරන්න]

මෙම පරිසරයන්හි ලක්ෂණ මූලිකවම කාන්තාර ප්‍රදේශයන්හි දුටු ලක්ෂණවලට වඩා විරුද්ධය. දහස් ගණනක් වූ සත්ව පද්ධතියකින් සහ වෘක්ෂලතාවන්ගෙන් සමන්විතවන මෙම වනාන්තර පද්ධතීන්හි සෑම විටකම තෙත සහිත භූමියක්වන අතර එම ලක්ෂණයම එකී ප්‍රදේශයන්හි දුෂ්කරතාවයද වේ. මෙම තෙත සහිත බව යුධ වැදීම්වලදී සිදුවන තුවාලවීම් ඉතා ඉක්මණින් නරක් වීමට බලපාන ප්‍රධානතම හේතුවකි. විවිධ බැක්ටීරියා වර්ග ජලයේ ජීවත්වීම මෙම සාධකයට හේතුවයි. කෙසේ වුවද යුධ හමුදාවන්ට දැඩි අපහසුවක් ඇති නොවනුයේද මෙම තෙත සහිත බව නිසාමය.

විශාල වන ගහණය සහ යටි ශාක ස්ථරය හේතුවෙන් ගුවනින් වුවද සැඟවීමට පහසුය. නාගරික පරිසරයක මෙන් මෙම වන ගහණයේද රැකසිට පහර දීමට ඉතා පහසුවෙන්ම හැකි වේ. මෙම පරිසර පද්ධතියේද කඳු දැකිය හැකි වුවත් ඒවා කාන්තාරවල දැකිය හැකි කඳුවලට වඩා වෙනස් වේ. වනාන්තරවල පිහිටි කඳුවල පැළෑටි වැනි ස්ථර පිහිටීමෙන් සෑම විටකදීම මෙම කඳු තරණයට ඉතා අපහසුය. වනාන්තර ආශ්‍රීත ගැටුම්වලදී ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය වන්නේ හෙලිකොප්ටර් යානාවයි. ඒ බැව් වියට්නාම සටන්තුළදී ඔප්පු විය. යුධ ටැංකි සහ අනෙකුත් හමුදා වාහන මෙම වන ගහණය තුළින් ගමන් කරවීම කාලය විනාශ කරන්නකි. එහෙත් බොහෝ වේගයෙන් ගමන් කරන යුධ ගුවන්යානාවන්ට ඉතා නිවැරදිව හා ඉතා කාර්යක්ෂමව තම සේවාවන් ලබා දීමට නොහැකිය.

කඳුකර සටන්[සංස්කරණය කරන්න]

කඳු දෙකක් එක සමාන නොවන සේම මෙම ආකාරයේ සටනකට කෙරෙන පුහුණුවද ඉතා තීව්‍ර වන අතර එය සෑම විටකම වෙනස් වන සුළුය. පුහුණු වීම් වලට සහභාගි වන විරුවන් සුවිශේෂි වුවෝවෙති. අනෙක් සොල්දාදුවන් සිදුකරන සියළුම දේ මොවුන් ද සිදු කරන නමුදු ඔවුන් ඒවා සිදු කරන්නේ තම පෙනහළුවලට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙමිනි. කඳු ආශ්‍රිතව යුද්ධ කිරීම අනතුරු සහිතය. එහි හිමධාවයන්, ගල්බෑවුම්, කඳු ප්‍රපාත සහ බෑවුම්වල රැක සිට පහර දීම් සහ කඳුවල පිහිටි ගල් ලෙන වැනි අති භයානක තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැක. මෙවන් තත්ත්වයන් ඇෆ්ගනිස්ථාන කඳු බිම්වලට ද දැකිය හැක.

කාන්තාරයේ යුධ වැදීම්[සංස්කරණය කරන්න]

මෙම කාන්තාරයේ දේශගුණය ඉතා ශුෂ්ක එකකි. ලොව පුරා බොහෝ කාන්තාරවල සමාන ලක්ෂණය වන්නේ වැලි සහිත වීමයි. බොහෝ විට මෙවන් ප්‍රදේශවල යුද වදින්නන්ගේ ගමන් වළකාලීමට මෙම පරිසර පද්ධතිය සමත් වන්නේ කාන්තාර පෙදෙස්වල ගමන් කරන්නන්ගේ සමෙහි තෙතමනය උරා ගැනීමට එකී දේශගුණයට ඇති හැකියාව හේතුවෙනි. තවද වැලි බලපාන නිසාවෙනි. තවද වැලි පරිසරය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බොහෝ අවි ආයුධ හිරවීමකට ලක්වීමට වැලි බලපාන නිසාවෙනි. කෙසේ වුවද AK47 අවියට ‍නම් මෙම හේතුව අදාල නොවේ.

මෙකී භූමි භාග බොහෝ විට තරමක සමතල ස්වාභාවයකින් යුතු වුවද විශාල භූමි ප්‍රමානයක් පෙරළෙන සුළු වැලි කඳුවලින් යුතුවේ. එසේම කාන්තාර පරිසරය තුළ කඳු ද දැකිය හැකිවේ. ඊශ්‍රාලය අවට සහ ඇෆ්ගනිස්ථාන හි දී මෙම කඳු සහිත ප්‍රදේශ දැකිය හැකි විය. මැද පෙරදිග පවතින යුධ ගැටුම් නිසා එක්සත් ජනපද හමුදාවන් තම නිල ඇඳුම් නැවත එම ප්‍රදේශයන්ට සරිලන සේ නිර්මාණය කළහ. එම නිල ඇඳුම් හි දැකිය හැකිවන්නේ කාන්තාර පරිසරය තුළ දැකිය හැකි වර්ණ සංකලනයක් වන අතර සාමාන්‍ය ඔප දැමිය හැකි කළු පැහැති සපත්තු වෙනුවට ඔප නොදැමූ දුඹුරු පැහැ සපත්තු භාවිතයට පෙළඹී ඇත. එසේම මෙම සපත්තුවල අභ්‍යන්තරය ඉතා සිසිල් ලෙස සකසා ඇත්තේ කාන්තාර හිරු රශ්මියෙන් ඇති වන රස්නය අවම වන සේය.

"https://si.wikipedia.org/w/index.php?title=යුධ_භූගෝලීය_විද්‍යාව&oldid=367880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි