මුට්ටි මංගල්ලය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
Bjoo.jpg

යල මහ දෙකන්නයේ වපුරන කෙත සාරවත් කරගැනිම පිණිස දෙවි දේවතාවුන්ගෙන් පිහිට, ආරක්ෂාව පැතීම හෙළ ගොවිතැනේ සම්ප්‍රදායක් වේ. " ...කලට-කන්නට-කතාවට වී ගොවිතැනේ නිරත වු අතීත හත්කෝරළයේ වැව් ගම්මානවල ගොවීන් යල මහ දෙකන්නයේ අස්වනු සාර වේවා යි ප්‍රාර්ථනා කරමින් ඒ උදෙසාම වෙන් කරන ලද ස්ථානයක භාර හාර වීම "මුට්ටි මංගල්ලය හෙවත් මුට්ටි නැමීම "යනුවෙන් අදහස් වේ".[1]


අදින් වසර සීයයකට ඉහත පුරාතන සමයක සිට චාරිත්‍රානුකූලව පවත්වා ගෙන එනු ලබන මුට්ටි මංගල්ලය නම් උත්තම හෙළ සිරිත හත්කෝරළේ වැව් ගම්මානවල සුවිශේෂි වූ සංස්කෘතික අංගයකි. "කමතේදී රැස් කර ගත් නැවුම් වී අස්වැන්න හෙවත් බැත කන්දෙන් හාහාපුරා කියා දෙවියන් උදෙසා ‍වෙන් කරන කොටස " අක්යාල"වශයෙන් හඳුන්වයි.

" ...මෙහිදි ලැබෙන්නා වූ නැවුම් අක්යාල හෙවත් අස්වැන්න වෙන්කරනු ලබන්නේ "ගම්භාර,දයියණ්ඩ,වීරමුණ්ඩ,දැඩිමුණ්ඩ,අයියනායක,කතරගම,සුමන සමන්,ආදී දෙවි දේවතාවුන් හත් කට්ටුවක් වෙතයි..."[2]


එම අක්යාල පුජා කිරිමේ කෘතවේදී මුහුරත් මංගල්ලය, මුට්ටි මංගල්ලය නම් වේ.එමඟින් සිදු කරන්නේ මුට්ටි ගහ අද්දරදී හෝ ගංකරයේ තෝරා ගත් සම්මත ස්ථානයකදී සියලුම ගොවීන් සාමූහිකව එකරාශි වි කිරි ඉතිරවිමේ මංගල්ලයට දායක විමයි.

" හත්කෝරළයේ වැව් ගම්මානවල ගොවිතැන හා බැඳුණු අතිමහත් පුජනීය පුද පුජාවක් ලෙසද මුට්ටි මංගල්ලය හැඳින්විය හැකිය.මෙම වැව් ගම්මානවල භාවිතා වන්නාවු සුවි‍ශේෂි බස් වහරද මෙම සුවිශේෂි මංගල්ලයේ ගාම්භාරත්වය ප්‍රකට කරවයි... "

*(මහේෂා සුභාෂිණි පැල්පොළ-1999 " අපේ සංස්කෘතික උරැමයන් ", 3)

කමත් භූමියේදී දෙවියන් උදෙසා වෙන් කරන වී මුරය බහාලන්නේ ඊටම වෙන් කර තිබෙන ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ ගල්ලැහැ හෝ හැවැං පන් වර්ග වලින් වියන ලබන්නාවූ "හුනු මල්ල"වෙතයි.මෙහිදි අක්යාල වෙන් කිරිමේදි එම බැත කන්දේ හිමිකරු හෝ අත්වාසිය ඇතැයි ගංකරයේ ගොවීන් අතර සම්මත අයෙක් ලවා හෝ හුනු මල්ලට පුරවා ගනී.එම පුද්ගලයාගේ විශේෂත්වය වනුයේ උපත,මරණ හෝ වැඳුම් යන කිසිදු කිල්ලකට හසු නොවූ නීරෝගි අයෙක් වීමයි.දේව ආශිර්වාදය ලබා ගෙන "සබ්බ පාපස්ස අකරණං......." ගාථාව කියමින් බැත කන්දේ මුදුනෙන්ම එම අක්යාල කොටස හුනු මල්ලට පුරවා ගනි.මුට්ටි මංගල්ලයේ දී සුවිශේෂි,සිත්කළු‍ අංග මෙන්ම යම් යම් තහංචි අංගයන රාශියක් ද දැක ගත හැකිවේ.ඒවා මුට්ටි නැමීමේ සිට කිරි ඉතිරවීමේ මංගල්ලය දක්වා ම දක්නට හැකි වේ.

  • අක්යාල පිරවු හුනු මල්ල බිම තැබීම මෙන්ම බවලත් අයෙකුට හෝ කුඩා දරුවෙකුට අල්ලා ගැනිමට දීම එක් තහංචියකි.
  • කමත් භූමියේ දී බැත මැනීමේ කටයුතු අහවර වන තෙක් අක්යාල දැමු හුනු මල්ල කිරි ගහක අත්තක එල්ලීම සිදු කළ යුතු ප්‍රධාන චාරිත්‍රයකි.
" ...සියලුම ගෝවීන්ගේ හුනු මල්ලේ තැන්පත්ව ඇති අක්යාලවල් වෙල් විදානේ උන්දෑගේ හෝ මහ ගමරාළ උන්දෑගේ නිවෙස් හි තැන්පත් නොකර,ඒ වෙනුවෙන් ම තනා ගත් "වී බිස්සක"තැන්පත් කරනුයේ ගං ගෙවල්වල ඇති  "කිළි"වලින් ආරක්ෂා කර ගැනිමටය ".
*(මහින්ද කුමාර දළුපොත-2003 " වී බිස්ස " 4)

යල මහ දෙකන්නයේ කුඹුරු ගොවිතැන් කටයුතු ආරම්භ විමට ප්‍රථමයෙන් කෙම්මුර දිනයක නැකත් රාළ උන්දෑගේ අභිමතය පරිදි දේවතා හත් කට්ටුවක් වෙත භාර හාර වී මුට්ටි නැමිම සිදුවේ.මෙහිදි එළඹෙන දෙකන්නයේ ස්වකීය කුඹුරු ගොවිතැන් කටයුතු වලට දේව ආශිර්වාදය ලබාගැනිමත් ,පණු රෝග, මැහි රෝග,අව් වැහි උපද්‍රව වලින් වගාවන් ආරක්ෂා කර ගැනිමත් අභිමතාර්ථ වේ.

බිනර මහ ගෙවි වප් මහ උදා වී "අක්වැහි" ආරම්භ වීමට පුර්වයෙන් මුට්ටි මංගල්ලය පැවැත්වීම සම්මත චාරිත්‍රයකි. මෙහිදි වැදගත් වන්නා වූ ප්‍රධාන පුද්ගලයන් රාශියකි.

  • ගංකරයේ ගොවීන්,වෙල් විදානේ ,මහ ගමරාළ ,නැකැත් රාළ ,අන්නඩි රාළ, මා හේනේ මාමා, වාද්දියක්කාරයින් ,මහි පණ්ක්කි රාළ වැනි අය මෙහිදි වැදගත් වේ.

වසර සීයයකට ඉහත හත්කෝරළයේ හෙළ චාරිත්‍ර-වාරිත්‍ර අනුගමනය කරමින් ද ඊට යෝග්‍ය නොවන යමක් දුටු විට ඊට විරුද්ධව නැගී සිටිමට මෙහි ගොවියෝ වගබලා ගනිති.එසේ විරුද්ධ යමක් දුටු විට "වරිග සභාව" රැස්ව කටයුතු විමසා දඩුවම් නියම කිරිම සිරිත වේ. මුට්ටි මංගල්ලයේ දී පුරුෂ පක්ෂයේ සාමුහිකභාවය වැදගත් වන අතර කිරි දෙනුන්ගෙන් කිරි දෙවිම, ආහාර පාන සැකසිම,ආහාර පාන වලින් සංග්‍රහ කිරිම...,ආදී වූ සියලුම කර්තව්‍යයන් සිදු කරන්නේ පුරුෂ පක්ෂය විසිනි. කිළි,පිළා පිළිහුඩු,ලෙඩ රෝග වලින් මිදී සිටින පුරුෂ පක්ෂයේ අය පමණක් මේ සදහා දායක කර ගැනිමට සියල්ලෝම වග බලා ගනිති. නමුත් "පිළ හොඳ නොවූ දැරිවියන් හෙවත් මල්වර නොවූ දැරිවියන්ට" පමණක් මේ සදහා සහභාගි වීමේ හැකියාව පවති. දෙවියන් සදහා වූ අක්යාල පුජාවෙන් අනතුරුව කිරිබත ගංකරයේ මෙන්ම පිට ගංකරවල "ගැබ්බර සිරියාවන්ට හා කිරි දෙන මව්වරුන්ට" ගිහියන් සදහා වූ ප්‍රථම ආහාර අනුභවය දීම සිදුවේ.

" එසේ කිරිබත් කොටස් ගංගෙවල්වල සිටින බවලත් උදවියට "දෝතින්ම" ගෙන ගොස් භාර දීමේ යුතුකම හිමි වනුයේ ඔවුන්ගේම ස්වාමිවරුන්ටය. "

*(සංජීව ලක්මාල් විජේවීර-2000 " හෙළ දිව අතීත විත්ති " 5)

ඊට පෙර ගංකරයේ හාමුදුරුවන් වෙත කිරිබත් කොටස් පිළිගැන්වීමෙන් අනතුරුව සෙසු ගිහි පිරිසටද ආහාරය කැප වේ. ඇතැම් වැව් ගම්මානවල පංසල උදෙසා "ඉඹුල් කිරිබත් පුජාව"පිරි නැමිම සිදුවේ.

මුට්ටි මංගල්ලයේ අංග[සංස්කරණය]

මුට්ටි ගහ තේරීම[සංස්කරණය]

මුට්ටි නැමිමට සුදුසු "මුට්ටි ගහ"තේරීමේදී බොහෝවිට වැව අද්දර හෝ වැව් බැම්මේ තිබෙන තරමක් විශාල එමෙන්ම පැරණි ඇටුවම් බැහැපු ගහක් මේ උතුම් කාර්යයට තෝරා ගනී.

  • යල මහ දෙක්නයේ කුඹුරු ගොවිතැන් කටයුතු ආරම්භ වීමට ප්‍රථමයෙන් කෙම්මුර දිනයක ගංකරයේ සියලුම ගොවීන් මුට්ටි ගහ අද්දරට රැස්වේ.ඒ

සමඟම ගං ගෙවල් වලින් නැවුම් මුට්ටියක්ද රැගෙන ඒමද සිදුවේ.ගංකරයේ නැකැත් රාළ හා කපු රාළ පැමිණ යාතිකා කිරිමද මෙහිදි සිදුවේ.

මුට්ටි නැමිමට පේවීම[සංස්කරණය]

මුට්ටි නැමිමට පෙර ඇඹුල් ජාති ගා ගෙන වැවෙන් ස්නානය කිරිම මෙහිදි සිදුවේ.පිළා පිළිහුඩු ආහාර වලින් වැළකීමද ,අක්යාල වැහි ආරම්භ වීමට ප්‍රථමයෙන් මෙම උතුම් මංගල්ලය අවසන් කිරිමද කළ යුතු වේ.එසේ නොවුනහොත් ස්වකීය අස්වැන්න "අසානාසී වීම" සිදුවන බවට ගොවීන් අතර මතයක් වේ.

දේව රාජකාරි කටයුතු ආරම්භ වීම[සංස්කරණය]

මේ කටයුතු භාරව ඇත්තේ "කපු රාළ" වෙතයි.ඔහුට "ආරාධනා බුලත්" දීමෙන් පසුව සියලු දෙනාම ඉතා ඕනැකමින් මෙම මංගල්ලයට දායක වේ.

ආහාර පිළියෙල කිරිම[සංස්කරණය]

ගංකරයේ වැසියන්ට අවශ්‍ය මුළු කිරිබත් ප්‍රමාණය,කැවුම් ප්‍රමාණය නැකැත් රාළ සිය අත්දැකීමෙන් තීරණය කරයි.පාන්දර සමයේ කාක් නාදයටත් ප්‍රථම පළමු පිටි මුරය කොටා ඒ සියල්ලත්,අවශ්‍යවන්නා වූ කලප්පන්නත් මුට්ටි ගහ පාමුල ඇති පැඳුරු,මාගල් මත තබයි.පිරිසිදු දියෙන් ආහාර පිළියෙල වීම මෙහිදි සිදු වන්නේ පුරුෂ පක්ෂයේම දායකත්වයෙනි.

මුට්ටි මංගල්ලය පැවැත්වීම[සංස්කරණය]

ගංකරයේ ගෝවීන්ගේ නැවුම් අක්යාල ප්‍රධාන දේව හත්කට්ටුවක් වෙත පිරි නැමිම මෙහිදි සිදුවේ. ඉන් පසුව ඉතා කුළුදුල් මෙම ආහාරය සම්මත පුද්ගලයන්ට ප්‍රධානය වීම සිදුවේ.ඊට පෙර උදෑසන බුද්ධ පුජාව පිළි ගැන්වීම සිදුවේ.බලු-කපුටු සතුන්ට මේ ආහාරය කිසිදු විටෙක කෑමට දීම තහංචියකි. අවසානයේ මුට්ටි ගහ සමීපයට ගොස් මුට්ටි නැවීම සිදුවේ.මෙසේ අක්යාල පුජාව කොට සම්මත චාරිත්‍ර අනුගමනයෙන් පසුව මුට්ටි මංගල්ලය නිමාවට පත්වේ. " කුමන බාධක මධ්‍යයේ වුවද සෑම වසරක් පාසාම හත්කෝරළයේ වැව් ගම්මානවල සිදු වන්නා වූ මෙම අති උතුම් මංගල කර්තව්‍යයේ දී මූලික අභිමතාර්ථය වනුයේ ගංකරයේ වැව් ගම්මානවල ගෝවීන්ගේ ගොවිතැන්කටයුතු වලදී දේව ආශීර්වාදය ලබා ගැනීමයි...."

  • (අභය හේවාවසම්-1989 " හත්කෝරළයේ විත්ති " 6 )

ගොනුව:Bhuh.jpg

මූලාශ්‍ර[සංස්කරණය]

3.මහේෂා සුභාෂිණි පැල්පොළ-1999 මාර්තු , " අපේ සංස්කෘතික උරුමයන් " චතුර මුද්‍රණය ,අවිස්සාවේල්ල පාර ,වැල්ලම්පිටිය.

4.මහින්ද කුමාර දළු‍පොත-2003 මැයි , " වී බිස්ස " ඇස් ගොඩගේ සහ සහෝදරයෝ ,675 ,මරදාන පාර ,කොළඹ.

5.සංජීව ලක්මාල් විජේවීර-2000 අගෝස්තු , "‍ හෙළදිව අතීත විත්ති " සීමාසහිත තිසර ප්‍රකාශකයෝ ,දුටුගැමුණු වීදීය ,දෙහිවල.

6.අභය හේවාවසම් -1989 අප්‍රියෙල් , "හත්කෝරළයේ විත්ති " විමල ප්‍රකාශක‍යෝ ,හොරගොල්ල ,ගණේමුල්ල.


‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

  1. පිටාරඹ ධම්මසිරි ස්ථවීර-1996 , " බෞද්ධ ශිෂ්ටාචාරය ශ්‍රිපාලී ප්‍රින්ටර්ස් ,අලුත්ගම
  2. තිසර සමරසිංහ-1995 දෙසැම්බර් , " මුට්ටි මංගල්ලයේ අතීත විත්ති " තිසර ප්‍රකාශකයෝ ,හිද්දන ,ගොකරැල්ල
"https://si.wikipedia.org/w/index.php?title=මුට්ටි_මංගල්ලය&oldid=351476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි