මී මැසි පාලනය

විකිපීඩියා වෙතින්
මී මැසි පාලනය, tacuinum sanitatis casanatensis (14 වන ශතවර්ෂය)
සර්බියාවේ (Serbia) මී මැසි පාලනය

මී මැසි පාලනය යනු මිනිසුන් විසින් මී මැසි ජනපද(පොදුවේ මී වද ) ප්‍රායෝගිකව පාලනය කිරීමට පෙළඹීමයි. මී මැසි පාලකයා මෙය සිදු කරන්නේ ; මී පැණි හා මී ඉටි එකතු කරගැනීමට හෝ බෝග පරාගණය අරමුණු කොටගෙනය. නැතිනම් අනෙකුත් මී මැසි පාලකයන් සඳහා මී මැස්සන් ලබාදීම අරමුණු කොටගෙනය. මී මැස්සන් වෙසෙන ස්ථානය 'මී මැසි ගෘහය' ලෙස හැඳින්වේ.

සාම්ප්‍රදායික මී මැසි පාලනය[සංස්කරණය]

ලිතුවේනියාවේ ස්ට්‍රිපෙයිකියෙයි හි දැව මීවද

මී වද වර්ගවල සැලකිය යුතු තරම් ප්‍රාදේශීය වෙනස්කම් පවතී. මී වද පෙට්ටියක් සෘජුකෝණාස්‍රාකාර දැව පෙට්ටි ගොල්ලකින් සමන්විත අතර, ඒවා චලනය කල හැකි ප්ලාස්ටික් හෝ දැව රාමු වලින් යුක්තය. ඒ හැම රාමුවක්ම ඉටි පතක් (sheet of wax) හෝ ප්ලාස්ටික් පදනමක් රඳවා තබා ගැනීමට සමත්ය. පැණිවදයක් ඇතිකිරීමට පෙර මී මැස්සන් විසින් පදනම් පත් මත කෝෂ සාදා ගනී. පදනම කෝෂ-ප්‍රමාණ දෙකකින් සමන්විත වේ. සේවක පදනම මී මැස්සාට ශඩස්‍රාකාර කුඩා සේවක ‍කෝෂ තනා ගැනීමට හැකියාව සලසන අතර, පිරිමි මී මැසි පදනම පිරිමි මීමැස්සන්ට වඩා විශාල කෝෂ තනා ගැනීමට ඉඩ සලසයි.


පහළ පෙට්ටිය හෝ සමූහ මැදිරිය තුළ මී මැසි රැජින හා බොහෝ මී මැස්සන් වාසය කරති. උඩ පෙට්ටියේ හෝ උපරිම ව්‍යුහයේ පැණි පමණක් අඩංගු වේ. තරුණ මීමැස්සන් පමණක් ඔවුන්ගේ උදරයේ පට්ටක වලින් වාස්සවා මී ඉටි පෙති (Wax flakes) නිපදවයි. ඔවුන් මධු පටලන කෘතිම මී ඉටි පදනමකින් තැනීම අරඹයි. ඉන්පසු ඔවුන් මී මැසි රොත්ත බලාගැනීම හෝ මධු හා රේණු මී වදයේ කෝෂ තුළ තැන්පත් කිරීම සිදුකරති. මෙවා මැසි ලේඩියෙන් මෙහෙවිය හැකි අතර මධු වලින් පිරි මධු පිරුණු ව්‍යුහ වලින් අස්වැන්න ලබාගත හැක.

මී පැණි ලබාගන්නා ආකාරය[සංස්කරණය]

මී මැසි ජනපදය[සංස්කරණය]

රැජින (මැද)

මී මැසි ජනපදයක මී මැස්සන් වර්ග තුනක් සිටිති.

  • රැජිනක් - මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතාය.
  • ගැහැණු කම්කරු මී මැස්සියන් විශාල ප්‍රමාණයක් - සාමාන්‍යයෙන් මෙම ප්‍රමාණය 30,000 - සිට 50,000 දක්වා ප්‍රමාණයකි.
  • පිරිමි මී මැස්සන් සංඛ්‍යාවක් - වදයක සිටින පිරිමි මී මැස්සන් ප්‍රමාණය වෙනස් විය හැකිය. ඉතා හොඳ වදයක පිරිමි මී මැස්සන් දාහක් පමණ සිටිය හැකි අතර ශීත ඍතුවේදි හා හිඟ කාලවලදි මෙම ප්‍රමාණය අඩුවේ.

මී මැසි රැජින[සංස්කරණය]

මී මැසි රැජින මී මැසි ජනපදයක සිටින ලිංගික වශයෙන් පරිණත භාවයට පත් වූ එකම මී මැස්සියයි. මී වදය තුල සිටින සියලුම ගැහැණු වැඩකාර මැස්සියන්ගේ සහ පිරිමි මී මැස්සන්ගේ මව වන්නේ ඇයයි. මී මැසි රැජිණක් අවුරුදු තුනක් පමණ ජීවත් වන අතර එම කාලය තුල ඇය මිලියන භාගයක තරම් බිජු ප්‍රමාණයක් දමන්නීය. හොඳින් බිත්තර දමන කාලයේ මී මැසි රැජිණක් දිනකට බිත්තර 3000 ක් පමණ දමන්නීය. එය ඇගේ ශරීරයේ බර ප්‍රමාණයටත් වැඩිය. මෙය විශේෂිත අවස්ථාවකි. සරු භාවයෙන් යුත් රැජිණක් ඇගේ බිත්තර දෑමේ උපරිම කාලයේදි දිනකට 2000 ක් පමණ ද, සාමාන්‍ය වශයෙන් 1500 ක් පමණද බිත්තර දමන්නීය. මී මැසි රැජිනද සාමාන්‍ය බිත්තරයකින් බිහි වන නමුදු ඇය සාමාන්‍ය මී මැස්සකුට වඩා වැඩි ප්‍රමාණයක් “රෝයල් ජෙලි” ආහාරයට ගනී. මෙය ඇගේ සීඝ්‍ර ශරීර වර්ධනයට මෙන්ම ශරීර ස්වරූප පරිනාමයටද බෙහෙවින් බල පානු ලැබේ. රජ මැස්සිය තම අණසක මී මැසි ජනපදය පුරා පතුරුවා හරින්නේ විවිධාකාර ෆෙරමෝන වර්ග නිපදවා ඒවා පතුරුවා හැරීමෙනි. මෙම රසායනයන්ගෙන් එකක් අනෙකුත් සියලු මී මැස්සියන්ගේ බීජ කෝෂ වර්ධනයට බාධා පමුණුවන අතර එම නිසා උන්ගේ බිජු ලෑම නතර වේ.


රැජිනගේ සංසේචනය[සංස්කරණය]

දින 15 ක සංවර්ධන කාල සීමාවකින් පසු මී මැසි රැජින ඇගේ කුටියෙන් පිටතට අවුත් සංසේචනය වීම සඳහා පිටත්ව යාමට පෙර දින 3 සිට 7 දක්වා අතර කාලයක් ජනපදයේම රැඳී සිටී. සංසේචනය වීම සඳහා ඇයගේ පළමු පියාසර කිරීම මී මැසි ජනපදය තිබෙන ඉසව්ව සළකුණු කර ගැනීමට තරම් සෑහෙන තත්පර කිහිපයකට පමණක් සීමා දුරකට වේ. ඉන් අනතුරුව එළඹෙන සංසේචන පියා සැරීම මිනිත්තු 5 සිට 30 දක්වා කාලයක් පවතී. මේ සෑම පියාසැරියකදීම ඇය පිරිමි මැස්සන් කීප දෙනෙකු සමග සංවාසයේ යෙදෙන්නීය. මෙසේ කීප වරක් (සමහර විට වාර 12 ක් හෝ ඊට වඩා ප්‍රමාණයක්) සංසර්ගයේ යෙදීමෙන් පසු මිලියන ගණනක් බිජු නිපදවීමට අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය රජ මැස්සිය විසින් ගබඩා කර ගනු ලැබේ. මෙසේ සංසේචනය වීම සඳහා කුමන කාරණයක් (ඇතැම් විට කාල ගුණය හෝ ජනපදය තුල හිර විමක් වැනි අවස්ථා) නිසා හෝ රජ මැස්සියට ජනපදයෙන් ඉවත් වීමට නොලැබුනහොත් ඇයට සරු නොවුනු මැස්සියක් ලෙස තවදුරටත් සිටීමට සිදු වන අතර කම්කරු මී මැස්සියන් නිෂ්පාදනය කළ නොහැකි වෙයි. මී මැසි ජනපදය අභාවයට යාම සිදු වේ.

සංසේචනය සිදු වන්නේ මී මැසි ජනපදයට මදක් ඈතිනි. බොහෝ විට ජනපදයට අඩි සිය ගණනක් ඉහළිනි. මෙසේ සිදු වන්නේ ශක්තිමත් පිරිමි මැස්සන් දුර්වල මැස්සන්ගෙන් වෙන් කිරීම් සඳහා යැයි විශ්වාස කරනු ලැබේ. මෙයින් ශක්තිමත් මැස්සන්ගේ ජාන පමණක් ඉදිරියට ගෙන යාම සිදු වේ.


සරු බීජ හා නොසරු බීජ[සංස්කරණය]

සාර්ථකව සංසේචනය වීමෙන් දින කිහිපයකට පසු රජ මැස්සිය බිජු ලෑම ආරම්භ කරයි. සාර්ථකව සංසේචනය වූ බිජු වලින් ගැහැණු වැඩ කාර මැස්සියන් බිහි වන අතර බිජු වලින් විශාල ප්‍රමාණයක් එම වර්ගයේ ඒවාය. හොඳින් සංසේචන නොවූ බිජු වලින් පිරිමි මැස්සන් බිහි වේ. කොපමන ප්‍රමාණයක් වැඩ කාර මැස්සියන් සිටිය යුතුද, කොපමණ ප්‍රමාණයක් පිරිමි මැස්සන් ප්‍රමාණයක් සිටිය යුතුද යන්න පිළිබඳව මී මැසි ජනපදයක් තීරණය කරන්නේ කෙසේද යන්න වටහා ගත නොහැක.


ගැහැණු වැඩකාර මැස්සන්[සංස්කරණය]

මී මැසි ජනපදයක වැඩි පුරම (බොහෝ විට සම්පූර්ණයෙන්ම වාගේ) සිටින්නේ වැඩ කාර මැස්සියන්ය.ගිම්හාන ඍතුවේ උපරිම අවස්ථවේදි මී මැසි ජනාවාසය තුල ක්‍රියාකාරිත්වයද උච්චතම තත්වයට පැමිනෙද්දී වැඩ කාර මැස්සියකගේ ජීවිත කාලය සති 6 ක් වැනි කෙටි කාලයකට සීමා වේ. ශරත් ඍතුවේ අවසානයේ සහ සහ ළදරු මැසි ගහණය ඇති දැඩි කිරීමට අවශ්‍ය නොවන, මී පැණි නිෂ්පාදනය නොවන කාලයකදී නම් වැඩ කාර මැස්සියක් සති 16 ක් තරම් කාලයක් ජීවත් වේ. වැඩ කාර මැස්සියක් ඇගේ ජීව්ත කාලය තුල මීමැසි ජනපදයේ විවිධාකාර වැඩ කටයුතු කරන අතර ඒවා තීරණය වන්නේ ඇයගේ වයස අනුවය.


කාලය කාර්ය භාරය
දින 1 – 3 කුටි පිරිසිදු කිරීම හා බිජු රැකීම
දින 3 – 6 වයසින් වැඩි පිලවුන් පෝෂණය
දින 6 – 10 තරුණ පිලවුන් පෝෂණය
දින 8 – 16 ක්ෂේත්‍ර මී මැස්සන්ගන් මල් රේණු සහ පැණි ලබා ගැනිම
දින 12 – 18 ඉටි නිපදවිම - කුටි තැනිම
දින 14 කින් පසු දොරටු මුර කිරීම - මල් පැණි හා රේණු එකතු කිරීමට යාම

පිරිමි මී මැස්සන්[සංස්කරණය]

පිරිමි මී මැස්සන්, වැඩකාර මී මැස්සියන්ට සාපේක්ෂව විශාලය.

පිරිමි මැස්සා මී වදයක විශාලතම මැස්සාවන අතර, විශාලත්වය වැඩකාර මැස්සියක මෙන් තුන් ගුණයකි. උන් වැඩ නොකරති. එසේම මල් පැණි, රේණු සොයා නොයති. ඔවුන්ගේ එකම රාජකාරිය අලුත් රජ මැස්සියක් සමග සංසර්ග කාර්යයෙහි යෙදීම හා සංසර්ග පියාසැරියේදී ඇය සරු භාවයට පත් කිරීමයි. සාමාන්‍යයෙන් මී මැසි ජනපදයක පිරිමි මැස්සන් ඇති දැඩි කිරීම ආරම්භ කරනු ලබන්නේ රැජිනගේ කුටි සැදීමට සති කීපයකට පෙරදීය. අසමත් රැජිනක් ඉවත් කිරීමට හෝ රංචු වශයෙන් ඉවත් වීමට පෙර මෙය සිදු වේ. රැජින මැස්සිය ඇති දැඩි කිරීමේ කාල සීමාව අවසාන වූ පසු ශිත කාලගුණයේදි පිරිමි මැස්සන් ජනදයෙන් පලවා හරිනු ලැබේ. එයින් පසු පිරිමි මැස්සන් ජනපදයට බරක් වන අතර එලවා දැමීමේදි උන්ගේ පිහාටු, පාද ඉරීම, හපා කෑම අනෙකුත් මැස්සන් විසින් කරනු ලැබේ.

වර්ධනයේ වෙනස් වන අවස්ථා[සංස්කරණය]

වර්ධනයේ අවස්ථා රැජින කම්කරු පිරිමි මැස්සන්
බිත්තර දින 3 දින 3 දින 3
පිලව් අවස්ථාව දින 8 දින 10 දින 13: Successive moults occur within this period 8 to 13 day period
කෝෂ 8 වන දිනය 8 වන දිනය 10 වන දිනය
Pupa දින 4 දින 8 දින 8
එකතුව දින 15 දින 21 දින 24

මී මැසි ජනපදයක ව්‍යුහය[සංස්කරණය]

ගෘහස්ථ මී මැසි ජනපදයක් සාමාන්‍යයෙන් පිහිටුවනු ලබන්නේ හතරැස් පෙට්ටියකයි. එතුල සමාන්තරව පිහිටුවන ලද රාමු 10 ක් හෝ 12 කින් යුක්තය. මෙම රාමු වල පැණි වද සහ බිත්තර, පිලව්, කෝෂ වලින් යුක්ත වද නිර්මාණය වේ. මෙම වද හරහා ලම්බාකාර හරස් කඩක් කැපුව හොත් පිලව් සිටින ප්‍රදේශය ඕවාලාකාර හැඩයෙන් දැකිය හැක. මෙය මීවද තිබෙන රාමු 5-8 දක්වා සංඛ්‍යාවක් දැකිය හැක. දෙපැත්තේම පිටතින් තිබෙන වද දෙක මී පැණි සහ මල් රේණු පරාග තැන්පත් කිරීමට විශේෂයෙන්ම වෙන් කෙරි ඇත.

පිලව් සහිත ප්‍රධාන කොටස තුළ එක් තනි වදයක් තුළ බිත්තර පිලව්, පිලව් සහිත මුද්‍රිත කාමර වලින් යුත් ප්‍රධාන කොටසක් තිබේ. එම කොටස රවුම් තැටියක් මෙනි. මෙය රාමුවේ කෙළවර දක්වා බොහෝ විට විහිදේ. මෙම කවාකාර කොටසට උඩින් ඒ ළඟින්ම මල් රේණු, පරාග පිරුණු කෝෂ වලින් යුත් අර්ධ කවාකාර ආරුක්කු හැඩයේ කොටසක් ඇත. එයද එක් පැත්තක සිට අනිත් පැත්තට විහි‍දේ. ඊටත් උඩින් නැවත වතාවක් තරමක් පළල් ආරුක්කු හැඩයේ පැණි පිරුණු කෝෂ තිබෙන අතර එම කොටස රාමුවේ ඉහළ කෙළවර දක්වා විහිදේ. මල් රේණු ප්‍රෝටීන් සපිරි ආහාරයකි. පැණිද ආහාරයක් නමුත් එය ප්‍රෝටීන් ගුණයට වඩා ඉහළ අගයක් ඇත්තේ ශක්තිය නිපදවීම අතිනි. පිලවුන් ගැන බලාගන්නා සාත්තුකාර මැස්සියන් රෝයල් ජෙලි නම් ද්‍රවයක් නිකුත් කරති. මෙය විශේෂ ආහාරයකි. පිලවෙකුට දෙනු ලබන රෝයල් ජෙලි ප්‍රමාණය මත එම පිලවා රජ මැස්සියක වේද නැතහොත් සාමාන්‍ය මැස්සෙකු වේදැයි නිශ්චය කෙරේ.

ළදරු මැස්සන් නිර්මාණය වන ප්‍රධාන රාමුව තුල ගබඩා කර තිබෙන මී පැණි හැරුණු විට මී මැස්සෝ එම කොටසට ඉහලින් අතිරේක පැණි ගබඩා කරති. නවීන මී මැසි පාලකයෝ වෙනම පෙට්ටි මේ සඳහා තබන අතර ඒවා “සුපර්ස්” යනුවෙන් හැඳින්වේ. මෙයින් මී මැසි පාලකයන්ට මී වදයට හානි නොකරමින් අමතර පැණි ප්‍රමාණයක් එකතු කර ගත හැකි වේ. ශීත ඍතුවේ යැපීමට තිබෙන පැණි ද ඇතුලුව සියලුම පැණි සොරකම් කරනු ලැබුවහොත් මී මැසි පාලකයා විසින් එම අඩුව පිරවීමට සීනි හෝ කෝර්න් සිරප් තැබිය යුතුය.


මී මැසි ජනපදයක වාර්ෂික චක්‍රය[සංස්කරණය]

මී මැසි ජනපදයක වර්ධනයට අවුරුද්දක පමණ කාලයක් ගතවේ. එය වසන්ත සමයේ ආරම්භය වේ. පිලවුන් ඇති වීම ජනවාරි තරම් මුලදි ආරම්භ වේ. මැයි වන විට එය උපරිම තත්වයට පත් වේ. (උතුරු අර්ධ ගෝලයේ) යුරෝපයේ ඇතැම් කලාප වල පැණි බහුල කාල සීමාවන් දෙකක් තිබේ. එකක් වසන්ත ඍතුවේ අගභාගයේ වන අතර අනෙක අගෝස්තු අවසානයේදිය. වෙනත් කලාප වල ඇත්තේ එකක් පමණි. මී මැසි පාලකයෙකුගේ දක්ෂකම රඳා පවතින්නේ ඔහුගේ ප්‍රදේශයේ මල් පැණි තිබෙන්නේ කුමන කාලයේද යන්න දැන දැනීම සහ පැණි එකතු කරන මැස්සන්ගේ ගහණය වැඩි වන විට කාල සීමාව පිළිබඳ පවතින අවබෝධය මතයි.

මෙහිදි ප්‍රධාන සාධකයක් වන්නේ මී මැස්සන් පිටවී යාම වැළැක්වීම හෝ උන්ගේ පාලනයයි. මී මැසි ජනාවාසයක් හදිසියේ ඉවත් වන්නේ නම් සහ පාලකයාට එය අල්ලා ගැනීමට නොහැකි වූයේ නම් නිසැකයෙන්ම ඔහුට එම ජනපදයෙන් ලැබෙන මී පැණි ප්‍රමාණය අඩුවේ. හේතුව එසේ පිටවී යන්නේ ඔහුගේ ජනපදයෙන් භාගයක් වීම හේතුවෙනි. කෙසේ වුවද මී මැස්සන්ගේ මෙසේ පිටවී යාමේ ආවේගය නවත්වා ගෙන එය අලුත් රැජිනක් ඇති කර ප්‍රයෝජනයට ගන්නේ නම් ඔහුට වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙයට වසර ගණනක පළපුරුද්ද අවශ්‍යවේ.

නවීන මී මැසි පාලනය[සංස්කරණය]

එක්සත් ජනපදය තුළ පොදුවේ පාවිච්චි කරනු ලබන්නේ ලැංග්ස්ට්‍රොත් ක්‍රමයයි (Langstroth). මතුත පිට විවෘතව තිබෙන, එහා මෙහා කළ හැකි රාමු වලින් යුක්ත එම ක්‍රමය මී මැසි ජනපද නිර්මාණය කිරීමේ පළමු සාර්ථක ක්‍රමය වුනු අතර අනෙකුත් ආකෘති වලටද එම ක්‍රමය පදනම් වී ඇත. ජාන් ඩ්සියර්සොං (Jan Dzierzon) පෝලන්ත මී මැසි පෙට්ටි ක්‍රමය මුල් කර ගෙන මෙම ක්‍රමය පැවත එයි. එක්සත් රාජධානිය තුළ බොහෝ ලෙස භාවිතා වන්නේ බ්‍රී ටිෂ් නැෂනල් හයව් (British National hive) ක්‍රමයයි. එහෙත් (ස්මිත්, කොමර්ෂල් ඇන්ඩ් ඩබ්ලිව් බි සි සහ කලාතුරකින් ලැංග්ස්ට්‍රොත් වැනි) අනෙකුත් ක්‍රමද එහි දැකිය හැක. ස්ට්‍රො ස්කෙප්ස්, බී ගම්ස් සහ රාමු නොකරන ලද පෙට්ටි බොහෝ ඇමෙරිකානු ජනපද වල නීත්‍යානූකූල නොවේ. එයට හේතුව එම ක්‍රම වලදි මීවද සහ පිලවුන්, බිත්තර ආදිය ලෙඩ රෝග සම්බන්ධ කාරණාවලදී පරික්ෂා කිරීම අපහසු හෙයිනි. කෙසේ වෙතත් ස්ට්‍රො ස්කෙප්ස් ක්‍රමය මී මැස්සන් එකතු කිරීම සඳහා එක්සත් ජනපදයේ තවමත් භාවිතා කරනු ලැබේ.

Top Bar Hives[සංස්කරණය]

විනෝදයට මී මැස්සන් පාලනය කරන කිහිප දෙනෙකු මී මැසි පාලනය සඳහා ටොප් බාර් ක්‍රමය පාවිච්චි කරති. මෙම ක්‍රමය අප්‍රිකාවේ බොහෝ සෙයින් භාවිතා වේ. මේවාට රාමු නොමැත. එමෙන්ම ලැංග්ස්ට්‍රොත් ක්‍රමයේ මෙන්, පැණි බේරාගත් පසු එම වද ආපසු තැබීමක් නොකෙරේ. මේ නිසා ටොප් බාර් ක්‍රමයේ පැණි අස්වැන්න ලොංග්ස්ට්‍රොත් ක්‍රමයේ මෙන් නොව එයින් 20% ක තරම් ප්‍රමාණයක් වේ. එහෙත් මූලික වියදම් සහ අවශ්‍ය වන උපකරණ අතින් බැලු කල ඒවා අවශ්‍ය වන්නේ අඩුවෙනි. “සංවර්ධනය සඳහා මී මැස්සන්” ව්‍යපෘතිය යටතේ අප්‍රිකාවේ සහ ආසියාවේ දියුණු වෙමින් පවතින රටවල් බොහොමයක මෙම ටොප් බාර් ක්‍රමය භාවිතා වේ.

ආරක්ෂක ආවරණ[සංස්කරණය]

මී මැස්සන් ඇති කරන්නන් මී මැසි දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සදහා ආරක්ෂක ආවරණ පලඳිති.

මී මැස්සන් ඇති කරන්නන් මී මැසි දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සදහා ආරක්ෂක ආවරණ පලඳිති. ආධුනික මී මැසි පාලකයෝ සාමාන්‍යයෙන් අත් වැසුම් සහ හිසද ආවරණය වන ඇඳුම්, තොප්පි මෙන්ම මුහුණු වැස්මක්ද හඳිති. පළපුරුදු මී මැසි පාලකයින් ඇතැම් විට අත් වැසුම් පාවිච්චි නොකරන්නේ ඉතා සියුම්ව වැඩ කිරීමට එය බාධාවක් වන බැවිනි. වඩාත් ආරක්ෂා විය යුත්තේ මුහුණ හා ගෙල පෙදෙස බැවින් බොහෝ අය මුහුණු ආවරණයක් පළඳිති.

මී මැස්සන් ප්‍රශ්වාස වාතයට ආකර්ශනය වෙති. මුහුණට කරනු ලබන මී මැසි දෂ්ඨනයක් බොහෝ සෙයින් වේදනාකාරි වනු ඇත. එමෙන්ම ශරීරයේ අනික් තැනකට වඩා මුහුණ ඉදිමෙන්නට පටන් ගනි. අතට දෂ්ඨ කරනු ලැබුවහොත් වීෂ ශරීර ගත වීම වැලැක්වීම සඳහා නිය මගින් විෂ දල සූරා දැමිය හැක.

ආරක්ෂක ඇඳුම් සාමාන්‍යයෙන් ලා පාටින් සහ මෘදු අමු ද්‍රව්‍ය යොදා සකස් කරනු ලැබේ. මී මැසි ජනපදයක ස්වභාවික සතුරන් වූ වලස්සු, උගුඩු ආදි සතුන්ගේ තද පාට සහ ලොම් වලට වඩා පැහැදිලි වෙනසක් මෙම ආරක්ෂක ඇඳුම් නිසා ලැබේ.

දුම් පිඹින උපකරණය[සංස්කරණය]

මී වදයකට දුම් පිඹින උපකරණයක්, රස්නය ආවරණය කරන උපකරණයක් සහ කොක්කක් සමග.

දුම් පිඹීම යනු මී මැසි පාලකයින්ගේ තෙවැනි ආරක්ෂක උපක්‍රමයයි. ඔව්හු බොහෝ විට දුම් පිඹින උපකරණයක් පාවිච්චි කරති. මෙම උපකරණය විවිධකාර දහන ද්‍රව්‍ය යොද‍ා ගිණි ඇවිලිමට ඉඩ නොදීමෙන් දුම් උපදවා ගනු ලැබේ. දුමෙන් මී මැස්සන් අක්‍රීය වේ. එමෙන්ම ආරක්ෂක මැස්සන්ගේ අනතුරු අඟවන ෆෙර‍ෙමාන් ක්‍රියාකාරීත්වය දුම නිසා අඩපන වේ. මී මැස්සන් පත් වන මෙම ව්‍යකූල තත්වය මී මැසි පාලකයන්ට මී වදය විවෘත කර තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට උපකාරි වේ. මීට අමතරව මී මැස්සකු පැණි බිව් විට උගේ උදරය ඇදෙන බැවින් දෂ්ඨ කිරීමට අවශ්‍ය නම්‍යශීලි බව නැති වේ. මෙය විද්‍යානූකූලව පරික්ෂා කර නැත.

දුම් ගැසීම සඳහා ස්වභාවික ද්‍රව්‍ය යොදා ගත හැකි සේම ඒවා විෂ සහිත ද්‍රව්‍ය නොවිය යුතුය. දුම් ගැසීම සඳහා යොදා ගන්නා ඉන්ධනවලට හෙස්සියන්, පයින් කටු, කොරුගේටඩ් කාඩ්බෝඩ්, දිරාගිය දැව ආදිය යොදනු ලැබේ. මී මැසි පාලනයට අවශ්‍ය උපකරණ නිෂ්පාදකයෝත් මෙම කටයුතු සඳහා වාණිජ වශයෙන් පල්ප් කළ කඩදාසි, කැටි කළ පුළුන් ආදිය විකුණති.මේ සියල්ලටම වඩා පිරිසිදු කරගත් (කෘෂිරසායන හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය නොතැවරුණු ) වියළි පොල්මුඩු භාවිත කිරීම ඉතා සුදුසුවේ.එය මීමැස්සන්ට අහිතකර නොවන අතර අධිකව දුම් ගැසීම කුමන තත්වයක් යටතේ වුවද සිදු නොකල යුතුය.

නව මී මැසි ජනපද ඇති කිරීම[සංස්කරණය]

පහත වීමට ආසන්න මී මැසි රංචුවක්

සියලුම මී මැසි ජනපද සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රැජින මතයි. බිත්තර දමන්නේ ඇය පමණී. කෙසේ වුවත් ඉතාම හොඳ තත්වයේ රජ මැස්සියක් පවා ජීවත් වන්නේ වසර කීපයක් පමණී. අවුරුද්දක් හෝ දෙකක් ජිවත් වීම සාමාන්‍ය නියමයයි. බිත්තර දමන අතරවාරයේදී ම එම බිත්තර සරු භාවයට පත්කරන්නේද නැද්ද යන්න තෝරා ගැනීමට රජ මැස්සියට හැකියාව තිබේ. එසේ කළහොත් එම බිජු වලින් වැඩකාර මැස්සියන් බිහි වේ. ඇය සරු බවට පත් නොවූ බිජුවක් දැමුවහොත් එයින් බිහි වන්නේ පිරිමි මැස්සෙකි. කුටියේ ප්‍රමාණය සළකා බලා කුමන ආකාරයේ බිත්තරයක් දමන්නේදැයි තීරණය කිරීමට රජ මැස්සියට පිලිවන. කුඩා කුටියක ඇය දමන්නේ සරු බිත්තරයකි. ඇයට විශාල කුටියක් හමු වුවහොත් ඇය එයට දමන්නේ සරු නොවූ පිරිමි මී මැස්සෙකු පිහි වන බිජුවකි.

රජ මැස්සිය සරු බවට පත් වී බිත්තර දමන සෑම අවස්ථාවකම ඇය ‍අනෙකුත් මැස්සන්ගේ හැසිරීම් රටාව පාලනය කරන ෆෙරමොන් නිෂ්පාදනය කරයි. විවිධාකාර ෆෙරමෝන් වර්ග තිබෙන අතර ඒවායින් විවිධාකාර සේවාවන් බලාපොරොත්තු වේ. රජ මැස්සිය වයසට යත්ම ඇය ගබඩා කර ගෙන තිබෙන ස්තීර බීජ ප්‍රමාණය අඩු වන අතර ෆෙරමොන් නිෂ්පාදනයටද ඇය අසමත් වන්නීය. කිසියම් අවස්ථාවකදී රජ මැස්සිය දුර්වල වුවහොත් ජනපදයේ මී මැසි කැල එම රජ මැස්සියගේම වැඩකාර මැසි බීජයකින් තවත් රැජිනක් නිර්මාණය කිරීමට තීරණය කරති. රජ මැස්සියට අනතුරක් සිදු වී (පාදයක් අහිමි වූ විට හෝ සංවේදක වලට හානි වූ විට) ඇයගේ බීජ නිපදවීම අඩු වී සරු බිත්තර දැමීමට නොහැකි වූ විට මෙන්ම ඇයගේ ෆෙරමොන් නිෂ්පාදනය දුබල වී ජනපදයේ මී මැස්සන් පාලනය අපහසු වූ විට මෙසේ කරනු ලබයි.

මෙම තීරණාත්මක අවස්ථාවේදී මී මැස්සෝ දැනට පවතින වැඩකාර මැස්සන්ගේ කුටියක් නවීකරනය කර රජ මැස්සියක් සඳහා කුටි එකක් හෝ දෙකක් නිර්මාණය කරති.ස මෙම කුටි තුල තිබෙන්නේ සාමාන්‍ය ගැහැණු බිජුවකි. කෙසේ වෙතත් මෙහිදී මී මැස්සන් අනුගමනය කරන විශේෂිත හැසිරීම් රටාවන් දෙකක් තිබේ.

1. ජනපදයෙන් පිට නොගොස් ජනපදය තුලම රජ මැස්සියක් ඇති කර ගැනීම.

2. ජනපදය රංචු දෙකක් වශයෙන් බෙදීම.

ඇපිස් මෙලි‍ෆොරා වර්ගයේ උප විශේෂයන් යුරෝපා මහාද්වීපයේ එක් එක් කලාප තුළ දී ඔවුන්ගේ පරිනාමයට අදාළව විවිධාකාරයේ හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කරති. සාමාන්‍යයෙන් වඩාත් උතුරේ සිටින කලු වර්ගය රංචු ගැසී ඉවත් වීම අඩුවෙන් කරන අතර රජ මැස්සිය ඉවත් කිරීම වැඩියෙන් කරති. එපරිදිම වඩා දකුණු ප්‍රදේශවලට වන්නට කහ සහ අලු පැහැති වර්ගයා රංචු වශයෙන් ඉවත් වීම වැඩි පුර කරති.

මී මැසි පාලකයින් විසින් රජ මැස්සිය ඉවත් කිරීමේ හැසිරීම් රටාව අගය කරති. එසේ වන්නේ රජ මැස්සිය ඉවත් කළ මීයක් පියඹා නොගොස් නව රජ මැස්සියක් නිර්මාණය කර ගන්නා හෙයින් එහි කලින් රජ මැස්සිය දුර්වල වී යාමට ඉඩ හරිති. එසේ නැතහොත් අලුත් රජ මැස්සිය පැමිණි වහාම පරණ රජ මැස්සිය මරා දමනුලබේ. මෙහිදී අලුත් රජ මැස්සිය සඳහා රැජින කුටි එකක් හෝ දෙකක් නිර්මාණය කෙරේ.

මේ සෑම ක්‍රියාවලියක්ම ඇරඹුණු විට සාමාන්‍යයෙන් පැරණි රැජිණිය මී වදයෙන් ඉවත් වන්නීය. මෙසේ ඉවත් වන පැරණි රජ මැස්සිය සමග තවත් මී මැස්සන් රාශියක් එක් වෙති. මොවුන් තරුණ, ශක්තිමත් (ඉටි නිපදවන) මි මැස්සෝ වෙති. නව මී මැසි ජනපදයේ අත්තිවාරම මෙම මී මැස්සන්ය. ඔත්තුකාර මී මැස්සන් නව මී මැසි ජනපදය තැනීමට සුදුසු හිස් බෙනයක් හෝ ගල් බෙනයක් සෙවීම පිණිස යවනු ලබති. එවැනි ස්ථානයක් සොයා ගත් විගස මී මැසි රංචුවම එම ස්ථානයට යති. පැය කිහිපයකින් තරුණ මැස්සන් විසින් අලුතින් උපදින පිලවුන් සඳහා ඉටි වද නිර්මාණය කරති. මෙම ඉටි නිෂ්පාදනය කරනු ලබන්නේ තරුණ මී මැස්සන්ගේ උදරය පෙදෙසිනි. පළමු මී මැසි රංචුව සමග කන්යාස රැජිනයන් කිහිප දෙනෙකු ගමන් කරති. අලුත් රැජින සංවාසයට එක් වීමෙන් පසු බිත්තර දමන අවස්ථාව වන විට පැරණි රැජින ඉවත් කරනු ලැබේ.

මී මැසි ජනපද ඇති වීම ඉක්මන් කිරීමේ සාධක[සංස්කරණය]

මී මැසි ජනපදයක්, ජනපදය තුල සියලු වද, බිත්තර, පිලව්, ළදරු මැස්සන්ගෙන් පිරී අවසාන වනතෙක් වෙනත් ස්ථානයක් කරා නොයයි. මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ වසන්ත ඍතුව අවසානයේදී මී මැසි ජනපදයේ අනෙක් කොටස් සීග්‍රයෙන් මී පැණි වලින් පිරෙන අවස්ථාවේදිය. වෙනත් ස්ථානයකට යාමට හේතු වන තවත් සාධකයක් නම් ම‍ව් රැජිනට බිත්තර දැමීමට ඉඩකඩ තව දුරටත් නොමැති වීම සහ ජනපදයේ මැස්සන්ගේ ගහණය අධික වී තදබදයක් ඇති විමයි, රජ මැස්සිය යන අලුත් ජනපදයේ පිලවු, බිත්තර ආදිය නොමැති නමුත් තරුණ මී මැස්සන් යුහුසුලු වී ඒ සඳහා කෙටි කාලයකින් වද නිර්මාණය කරති.

තවත් සාධකයක් වන්නේ රජ මැස්සියගේ වයසයි. වයසින් වැඩි රැජිනියන් මී මැසි ජනපදයට බොහෝ ලැදියාව දක්වද්දී, ජනපදයේ තදබදය තිබේනම් මිස වයස අවුරුදු එකට අඩු මී මැස්සන් ජනපදය අතහැර නොයති.

මී මැසි පාලකයෝ වසන්ත කාලයේ ඔවුන්ගේ මී මැසි ජනපද ඉතා ප‍රෙස්සමින් බලා ගන්නේ රැජිනන්ගේ කුටි පෙනෙන්නට තිබේද යන්න ගැනයි. එය නව ජනපදයක් ආරම්භ කිරීම සඳහා යාම නිශ්චය කිරීමට ප්‍රබල සළකුණකි.

මී මැසි ජනපදයක් නිර්මාණය කිරීමට තීරණය කරන විට රැජින සඳහා කුටි දොළහක් හෝ ඊට වැඩියෙන් තනනු ලැබේ. මෙම රැජින පිලවුන්ට ආහාර සපයා දින 8 කට පසු පිලව් කෝෂ වසනු ලැබේ. ඉන් පසු නව රැජින කෝෂ අවස්ථවට පැමිනේ. ඉනුත් දින 7 කට පසු කුටියෙන් ඉවතට පැමිනේ. වෙනත් ස්ථානයක් කරා යාමට පළමුව මී මැස්සෝ උන්ගේ කුස මී පැණි වලින්පුරවා ගනිති. මෙසේ කරනුලබන්නේ නව ස්ථානයක අලුත් මී වද නිර්මාණය කිරීමට සූදානම් වීමක් වශයෙනි. මෙසේ මී පැණි රැගෙන යන අවස්ථාවේ උන් දෂ්ට කිරීමට පෙළඹෙන්නේ අඩුවෙනි. පැය 24 ක් යන තෙක් උන් මෘදු බවක් දක්වති. අත් වැසුම් හෝ මුහුණු වැසුම් නොමැතිව උන් සමග කටයුතු කිරීමට පාලකයාට පුලුවන.

අත්තක බැඳ තිබෙන මීයක්

මෙම රංචු ව නැවතීමට තැනක් සොයති. මී මැසි පාලකයා මේ බව තේරුම් ගෙන උන්ට නිවහනක් සැපයිය යුතුය. එසේ නොවුනහොත් උන් පාලනය කිරීම අමාරු වෙයි. එසේ වූ විට උන් ගස් බෙනයක, ගල් බෙනයක හෝ වෙනත් එවැනි ස්ථානයක උන්ගේ නිවහනක් නිර්මාණය කර ගැනීමට පිටත්ව යති.

මුල් මී මැසි ජනාවාසයකින් පළමු රැජින කෝෂ අවස්ථාවෙන් ඉවතට පැමිණි විට පළමුවෙන් කරනු ලබන්නේ කෝෂ වලින් පිටට ඒමට සූදානමින් සිටින අනෙක් තරඟකාරී මී මැසි ළදරු රැජිනියන් විනාශ කිරීමයි. එහෙත් අනෙකුත් මී මැස්සෝ ඇයගේ මෙම ක්‍රියාව කිරීමට ඉඩ නොහරිති. එවැනි අවස්ථාවක ඇය එම මී වදයෙන් පිට වී යාමට කටයුතු කරයි. මෙසේ පිට වී යන මී මැසි රංචු අනුප්‍රාප්තික රංචු (After swarms) වශයෙන් හඳන්වනු ලැබේ. මෙවැනි කණ්ඩායම් ඉතා කුඩාය. ප්‍රධාන ජනපදයක 10000 සිට 20000 ක් පමණ මී මැස්සන් සිටිති.

මෙවැනි මී මැසි කණ්ඩායම් වලට දිගු කල් පැවැත්මේ ඉඩකඩ ඇත්තේ සුලු වශයෙනි. එහෙත් ඒවා ප්‍රධාන මී මැසි ජනපදයටද තර්ජනයක් වෙමින් එහි ප්‍රමාණයද අඩු කරන්නේය. මී මැසි රංචුවක් ඉවත් වී යාම වැලැක්වීමට මී මැසි පාලකයා උත්සාහ ගනිමින් සිටියදී එසේ වැලැක්වීමට නොහැකි වූයේ නම් එම අවස්ථාවේදී කළ යුතු වන්නේ බිත්තර සහිත රාමු කිහිපයක් එහි තැබීමයි. මේ මගින් සිදු වුනු පාඩුව ඉක්මණින් යථා තත්වයට පත් වන අතර රැජිනක් ඇති කර ගැනීමට තවත් අවස්ථාවක් ලබා දෙයි.

මී මැසි උප විශේෂ හෝ එක් එක් වර්ගයාට ඔවුන්ටම ආවේනික එංචු වශයෙන් ඉවත් වී යාමේ ගති සිරිත් තිබේ. ඉතාලි මී මැස්සන් තම වර්ගයා බෝ වීම අතින් උසස් තත්වයක සිටින අතර, අලුත් ජනාවාස සොයා යාමට වැඩි නැඹුරුවක් දක්වති. උතුරු යුරෝපීය “කලු මී මැස්සන්” ඔවුන්ගේ පරණ රජ මැස්සිය ඉවත් කර නව රජ වැස්සියක් බිහි කිරීමේ වැඩි නැඹුරුවක් තිබෙන බව පෙන්වති.

කෘත්‍රිම ජනපද[සංස්කරණය]

කිසියම් ජනපදයක රජ මැස්සිය හදිසියේ අහිමි වන අවස්ථා තිබේ. කම්කරු මැස්සන්ට ඒ බව පැයකටත් අඩු කාලයකදී දැනෙන්නට පටන් ගනී. එසේ වන්නේ රජ මැස්සියගේ ෆෙරමොන් වල බලය අඩු වීම හේතුවෙනි. රජ මැස්සියක් විසින් පිලවුන් බෝ කිරීමකින් තොරව මී මැසි ජනපදයක් පවත්වන්නේ නැත. මෙවිට වැඩකාර මැස්සන් දින 3 කට වඩා අඩු වයසක් ඇති බිජු තිබෙන කුටියක් තෝරා ගෙන එය විශාල කරති. මෙය “හදිසි රැජින කුටිය” ලෙස හඳුන්වනු ලැබේ. මෙය විශාල රටකජු කෙඩියක හැඩය ගනි. අඟලක් පමණ දිගය. මෙය අනෙක් ළදරු මී මැස්සන් සිටින ප්‍රදේශයේ මැද හෝ කොනක එල්ලී තිබේ. මේතුල සිටින ළදරු මී මැසි රැජිනට අනෙකුත් සාමාන්‍ය ළදරු මැස්සන්ට වඩා වැඩි ප්‍රමාණයක ආහාර සපයනු ලැබේ. ඊට අමතරව රෝයල් ජෙලි නම් විශේෂ ආහාරයක් දෙනු ලැබේ. ඒ අනුව මෙහි සිටින පිලවා පසුව කෝෂ අවස්ථාවට පැමිණ කුටියෙන් ඉවතට එන්නේ මි මැසි රැජිනක් විලසිනි. මී මැසි ජනපදයක ඩිම්බ කෝෂයක් තිබෙන්නේ රජ මැස්සියට පමණී. ඇය ෆෙරමොන් නම් රසායන වර්ගයක් නිකුත් කරන අතර ඒ මගින් අනෙකුත් මැස්සියන්ගේ ඩිම්බකෝෂ වර්ධනය වීම අඩපණ කරයි.

මී මැසි පාලකයින් ඔවුනට අලුත් ජනපදයක් ඇති කර ගැනීමට අවශ්යෙ වූ විට මී මැස්සන් සතු නව රැජිනක් බිහි කර ගැනීමේ හැකියාව ප්‍රයෝජනයට ගනිති. මෙහිදී කරන්නේ බිජු සහ පිලවුන් සහිත වද කිහිපයක් නව ස්ථානයක තැබීමයි. ඒ සමග පැණි වද ද තබනු ලැබේ. මෙම වද සමග වැඩකාර මැස්සන්ද සිටින අතර උන් ළදරු මැස්සන් බලා කියා ගැනීම හා ඔවුන් උණුසුම් කිරිම ආදී සාත්තු සේවා වැඩ කරති. නව ස්ථානයේ රැජිනක් නොමැති බව වටහා ගන්නා වැඩ කාර මැස්සේ ඒ වන විට තිබෙන බිජු වලින් නව රජ මැස්සියක් ඇති කර ගැනීමට ක්‍රියා කරති.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මී_මැසි_පාලනය&oldid=539863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි