මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය

විකිපීඩියා වෙතින්

මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඍන ප්‍රතිපොෂී යන්ත්‍රණයක් මගින් පාලනය වේ. මිනිසාගේ රුධිරයේ සාමාන්‍යයෙන් තිබිය යුතු ග්ලූකෝස් සාන්ද්‍රණය රුධිරය මිලි ලීටර 100 කට ග්ලූකෝස් මිලි ග්‍රෑම් 80කි. නිරාහාරව සිටින විටදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට වඩා අඩු විය හැකි අතර ආහාරයක් ගත් පසුව ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට වඩා වැඩි විය හැකිය.

  • රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍යයෙන් තිබිය යුතු අගයට වඩා වැඩි වූ විට අගන්‍යාශයේ ලැන්ගර්හැන් බීටා සෛල උත්තේජනය වී ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය සිදු වේ. ලැන්ගර්හැන් ඇල්ෆා සෛල නිෂේධනය වී ග්ලුකගන් හෝමෝනය ශ්‍රාවය නිෂේධනය කරයි. ඉන්සියුලින් හෝමෝනය මගින්, සෛල තුලට ග්ලූකෝස් ඇතුළු වන වේගය වැඩි කරයි; ග්ලූකෝස් අක්මා සෛල තුලදී ග්ලයිකොජන් බවට පත් වීම හා එම ග්ලයිකොජන් අක්මාවේ සංචිත කිරීම උත්තේජනය කරයි; කංකාල පේශි තුලදී ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් වීම සහ එම ග්ලයිකොජන් එම ග්ලයිකොජන් කංකාල පේශි සෛල තුල සංචිත කිරීම උත්තේජනය කරයි; අක්මා සෛල තුලදී වැඩිපුර ග්ලූකෝස් මේද බවට පත් වීමද එම මේද, මේද පටක වල සංචිත කිරීමද උත්තේජනය කරයි;දේහ සෛල තුලදී ග්ලූකෝස් කාබන්ඩයොක්සයිඩ් හා ජලය බවට බිඳ දැමීම උත්තේජනය කරයි. මෙම ක්‍රියාවලීන් වල ප්‍රතිඵලයක් වනුයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට අඩු වීමයි. මෙය ඍන ප්‍රතිපොෂී යන්ත්‍රණයක් (එනම් පාලනය කල යුතු සාධකය මගින්ම නිවැරදි කිරීමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කරවීම) බැවින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට අඩු වූ විට ලැන්ගර්හැන් බීටා සෛල වලින් ඉන්සියුලින් ශ්‍රාවය නිෂේධනය වේ.
  • රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට වඩා අඩු වූ විට අග්න්‍යාශයේ ලැන්ගර්හැන් ඇල්ෆා සෛල උත්තේජනය වීමෙන් ග්ලුකගන් හෝමෝනය ශ්‍රාවය කරයි. ලැන්ගර්හැන් බීටා සෛල නිෂේධනය වී ඉන්සියුලින් ශ්‍රාවය නිෂේධනය වේ. ග්ලුකගන් හෝමෝනය මගින්, අක්මාවේ සංචිතව ඇති ග්ලයිකොජන් ග්ලූකෝස් බවට බිඳ හෙලීම උත්තේජනය කරයි; අක්මාවේදී ප්‍රෝටීන ග්ලූකෝස් බවට පරිවර්තනය උත්තේජනය කරයි; මෙම ග්ලූකෝස් අක්මා සෛල වලින් රුධිරයට නිදහස් කිරීම උත්තේජනය කරයි. මෙම ක්‍රියාවලීන්හි ප්‍රතිඵලයන් ලෙස රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගය දක්වා ඉහල යයි. මේ නිසා ලැන්ගර්හැන් ඇල්ෆා සෛල වලින් ග්ලුකගන් ශ්‍රාවය නිෂේධනය වේ. මෙයද ඍන ප්‍රතිපොෂී යාන්ත්‍රණයකි. ග්ලුකගොන් හෝමෝනයට අමතරව ඇඩ්රිනලින්, නොඇඩ්රිනලින්, කෝටිසෝල්, තයිරොක්සින් යන හෝමෝන ද රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහල නැංවීමට දායක වේ.
  • රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනයට වෘක්ක ද දායක වේ. රුධිරයේ ග්ලූකෝස් මට්ටම රුධිරය මිලි ලීටර 100 කට ග්ලූකෝස් මිලි ග්‍රෑම් 180 ට වඩා වැඩි වූ විට අතිරේක ග්ලූකෝස් වෘක්කානුව මගින් අවිදුර සංවලිත නාලිකාවේදී වරණ ප්‍රතිශෝෂණය සිදු නොකරයි. මේවා මුත්‍රා සමඟ දේහයෙන් බැහැර කරයි.