මිනිසාගේ දේහ උෂ්ණත්වය යාමනය

විකිපීඩියා වෙතින්

මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37ක් (ෆැරන්හයිට් අංශක 98.4ක්) පමණ වේ. මිනිසා අචලතාපි ජීවීයෙක් නිසා බාහිර පරිසරයේ උෂ්ණත්වයෙන් ස්වාධීනව දේහ උෂ්ණත්වය පවත්වා ගත හැක. මේ සඳහා දේහයේ ඇති පහත සඳහන් අවයව සහ ක්‍රියාවලීන් ඉවහල් වේ.

  • සමේ ඇති උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක
1.රෆ්නි දේහාණුව්
2.ක්‍රවුස් අන්ත බල්බ
3.නිදහස් ස්නායු අන්ත
  • හයිපොතලමසයේ උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානය
1.තාපලාභී මධ්‍යස්ථානය
2.තාපහානි මධ්‍යස්ථානය
  • සිරුරේ තාපය උත්පාදනය කරන යාන්ත්‍රණ
  • සිරුරේ තාපය හානි කරන යාන්ත්‍රණ


දේහ උෂ්ණත්වය සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා වැඩි වූ විට,[සංස්කරණය]

සමේ ඇති උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක වන රෆ්නි දේහාණුව සහ නිදහස් ස්නායු අන්ත උත්තේජනය වේ. (ක්‍රවුස් අන්ත බල්බ සංවේදී වන්නේ අඩු උෂ්ණත්ව වලටයි). එවිට ඇතිවන ආවේග නිසා හයිපොතලමසයේ තාප යාමන මධ්‍යස්ථානය උත්තේජනය වේ. එවිට තාප යාමන මධ්‍යස්ථානයෙන් ඇතිවන ආවේග නිසා තාප හානි මධ්‍යස්ථානය උත්තේජනය වේ. එවිට දේහයේ තාපය හානි වීමේ යාන්ත්‍රණ උත්තේජනය කරන අතර තාපය නිපදවීමේ යාන්ත්‍රණ නිෂේධනය කරයි. මේ නිසා පහත ක්‍රියාවලි සිදුවේ.

සමේ ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
එවිට සම මතුපිටට ගලා එන ස්වේද ප්‍රමාණය වැඩි කරයි.
ස්වේද වල ඇති ජලය වාෂ්ප වීම සඳහා දේහයෙන් තාපය උරා ගනී.
එවිට දේහයෙන් ගුප්ත තාපය හානි වේ.
සමේ ඇති ධමනිකා විස්තාරණය වේ.
shunt රුධිර වාහිනිය සංකුන්චනය වේ.
මේ නිසා සම මතුපිටට ගලා එන රුධිර ප්‍රමාණය වැඩි වේ.
මේ හේතුවෙන් විකිරණයෙන් සිදුවන තාප හානිය වැඩි වේ.
තයිරොක්සින් හා ඇඩ්රිනලින් හෝමෝන ශ්‍රාවය නිෂේධනය වේ.
මේ නිසා පරිවෘත්තීය සීඝ්‍රතාවය අඩු කරයි.
මේ නිසා තාපය නිපදවීම අඩු කරයි.
  • මෙම යාන්ත්‍රණ මගින් දේහ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටම දක්වා අඩු වූ විට තාප යාමන මධ්‍යස්ථානයෙන් සැපයෙන ස්නායු ආවේග නිෂේධනය වීම නිසා තාප හානි මධ්‍යස්ථානය තවදුරටත් උත්තේජනය නොවේ. මෙය ඍණ ප්‍රතිපපෝෂී යාන්ත්‍රණයකි.

දේහ උෂ්ණත්වය සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා අඩු වූ විට,[සංස්කරණය]

උෂ්ණත්ව සංවේදී නිදහස් ස්නායු අන්ත සහ ක්‍රවුස් අන්ත බල්බ උත්තේජනය වේ. එවිට ඇති වන ආවේග හයිපොතැලමසයේ තාප යාමන මධ්‍යස්ථානයට ගමන් කිරීම නිසා එය උත්තේජනය වේ. තාප යාමන් මධ්‍යස්ථානයෙන් සැපයෙන ආවේග නිසා තාපලාභී මධ්‍යස්ථානය උත්තේජනය වේ. එවිට තාපලාභී මධ්‍යස්ථානයෙන් සැපයෙන ආවේග නිසා දේහයේ තාපය හානි වීමේ යාන්ත්‍රණ උත්තේජනය වේ. මේ නිසා පහත ක්‍රියාවලි සිදුවේ.

සමේ ස්වේද ගරන්ති වල ක්‍රියාකාරීත්වය නිෂේධනය වේ.
එවිට දහදිය නිපදවීම අඩු වී තාප හානිය අඩුවේ.
සම මතුපිටට ආසන්න ධමනිකා සංකුන්චනය වේ.
shunt රුධිර වාහිනිය විස්තාරණය වේ.
මේ නිසා සම මතුපිටට ගලන රුධිර ප්‍රමාණය අඩුවේ.
විකිරණය මගින් සිදු වන තාප හානිය අඩු වේ.
දේහයේ පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩි කිරීමට හේතු වන තයිරොක්සින්, ඇඩ්රිනලින් ශ්‍රාවය උත්තේජනය වේ.
එවිට පරිවෘත්තීය වේගය වැඩි වී දේහය තුල නිපදවන තාප ප්‍රමාණය වැඩි වේ.
කංකාල පේශි සංකෝචනය වී වෙව්ලීම ඇති වී තාපය නිපදවයි.
සමේ රෝම උද්ගාමක පේශිය සංකෝචනය වී රෝම සමට ඍජු කරයි.
මේ නිසා රෝම අතර උණුසුම් වාත ස්තරයක් රඳවයි.
මෙය තාප පරිවාරක ස්ථරයක් ලෙස ක්‍රියා කරමින් තාප හානිය අඩු කරයි.
මිනිසාගේ රෝම ස්ථරය තුනී නිසා මෙය සාර්ථක නොවේ.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස දේහ උෂ්ණත්වය සාමාන්‍ය අගය දක්වා වැඩි වේ. එවිට හයිපොතලමසයේ තාප යාමන මධ්‍යස්ථානයෙන් සැපයෙන ආවේග නිෂේධනය වීම නිසා තාප ලාභී මධ්‍යස්ථානය තවදුරටත් උත්තේජනය වීම නවතී. මෙය ඍන ප්‍රතිපොෂී යාන්ත්‍රණයකි.

  • දේහ උෂ්ණත්ව යාමනයට ඉච්ඡානුග දායකත්වයක්ද ඇත.