මහනුවර යුගයේ පහතරට සිතුවම්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මහනුවර යුගයේ පහතරට සිතුවම් මහනුවර යුගයේ සිතුවම් ආභාශය ලැබූ පහතරට සිතුවම් මෙලෙස හැඳින්වේ. මහනුවර රාජධානි සමයෙහි උඩරට සිතුවම් කලාව ඇසුරු කොට ගනිමින් දිවයිනේ පහතරට ප්‍රදේශයන් පුරාද සිතුවම් කලාව පැතිර යනු දක්නට ලැබේ. වෙසෙසින්ම දකුණු හා බටහිර පළාත්බදව ප්‍රචලිත විය.මේවායේ කාල නිර්ණය සම්බන්ධයෙන් තරමක ගැටලූකාරී මතවාදයන් පැන නැගුනද ආසන්න වශයෙන් මහනුවර සම්ප්‍රදායයේ බිතු සිතුවම් පහතරට ප්‍රදේශයන් හි ව්‍යාප්ත වීම උදෙසා ප්‍රධාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අවධියෙහි ඇති වූ බෞද්ධ පුනරුදය බලපාන්නට ඇත.මේ පිළිබඳව සිය අදහස් දක්වමින් සේනක බණ්ඩාරනායක දක්වන්නේ වැලිවිට සංඝරාජ හිමියන් තම ශිෂ්‍ය පිරිසට පහතරට ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ආරම්භ කොට පවත්වා ගැනීමට උනන්දු කළ බවයි.

තත්කාලයේ ස්වදේශික ධනේශ්වර පන්තියක් වර්ධනය වීමත්,ඔවුන්ගේ බෞද්ධ පුනර්ජීවනය උදෙසා ලැබූ අනුග්‍රහයත් චිත්‍ර කලාවේ උන්නතියට බලපෑ වැදගත් සාධකයන් විය.විශේෂයෙන් ධනේෂ්වර ප්‍රභූ පැලැන්තිය අතර විහාරස්ථාන ගොඩ නැංවීමට තරගකාරීත්වයක් පැවතුණි.මෙලෙස ඉදිවන විහාරස්ථානයන් හි සිතුවම්කරණයට පාරම්පරික ශිල්පීන් සාපේක්ෂ වශයෙන් හිඟ වීම නිසා පාරම්පරික චිත්‍ර ශිල්පය පුහුණු නොකළ ශිල්පී පරම්පරාවක් පහතරට බිහි විය.

උඩරට සිතුවම් වල බලපෑමෙන් ඇති වූවා යැයි සැලකිය හැකි පහතරට සිතුවම් තුළ උඩරට සිතුවම් හා සමාන වන අංගයන් ද වේ.නමුත් ඊට සාපේක්ෂව ඉස්මතු වී පෙනෙන සියුම් වෙනස්කම් ද වෙයි.ශෛලීය හා අනුගමනය කළ ශිල්ප ක්‍රමය අතින් යම් සමාන බවක් පෙන්නුම් කළ ද මනුෂ්‍ය රූප වල හැඩය,ඇඳූම් පැළදුම්,රේඛාකරණය,පසුබිම් හා පසුබිම් සැරසිලි,භාවිත වර්ණාලේපයන් හි සැලකිය යුතු වෙනසක් ඉස්මතු වී පෙනෙයි.

මහනුවර චිත්‍ර සම්ප්‍රදාය ව්‍යාප්ත වූ පහතරට විහාරස්ථාන ලෙස කතළුව පූර්වාරාමය,තොටගමුවේ සුභාරාමය,දොඩම්දූවේ ශෛලබිම්බාරාමය, වැල්හේන්ගොඩ විජයසුන්දරාරාමය,අම්බලන්ගොඩ සුභද්‍රාරාමය,දොඩන්දූව කුමාරකන්ද රජමහා විහාරය,බෝගහගොඩැල්ල පරමකන්ද විහාරය,තොටගමු විහාරය,කරගම්පිටිය සුබෝධාරාමය, මුල්කිරිගල රජමහා විහාරය,කැළණිය රජමහා විහාරය,වැලහිද සුදර්ශනාරාමය, හික්කඩුවේ සුධර්මාරාමය,කළුතර පුලිනතලාරාමය, මාතර මහාමන්තින්ද මහ පිරිවෙන,අකුරැස්ස ඇල්ගිරි විහාරය,කොටහේන දීපදුත්තරාරාමය, ඈතගම විහාරය ආදිය දැක්විය හැකි වේ.

දහඅට හා දහනව වන සියවස් හි ලංකාවේ පැවති සමාඡ ක්‍රමය වෙරළබඩ කලාපයේ විසූ ජනතාවගේ ජීවන ක්‍රමය විදේශයන්ගේ සංස්කෘතිමය සම්ප්‍රදායන්ගේ ප්‍රවාහයට හසුවූ බව පහතරට සිතුවම් විමර්ශනයේදී පෙනී යයි. සිතුවම් හි තේමා භාවිතයේදී උඩරට සිතුවම් ගත් මඟ ගනු ලැබුවද ඒ සඳහා අදාල පරිසරය, ඇඳූම් පැළඳූම්, යානවාහන, ගෘහ භාණ්ඩ ආදීය සිතුවම්කරණය කිරීමේදී පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි සංස්කෘතික ලක්ෂණ මතුව පෙනෙයි.

කතළුව පූර්වාරාමයේ පටාචාරා කතා වස්තුවේ පටාචාරා මෙහෙණිය නැවට නංවා ගැනීමට කටයුතු කරන පුද්ගලයා හා නැවියා යන දෙදෙනාම යුරෝපීය ඇඳූම් කට්ටලයක් හැඳ යුරෝපීය හිස්වැසුම් ලා ගත් අය වෙති.

කතළුව දොඩම්ගොඩ සුදර්ශනාරාමයේ සිදුහත් යශෝදරා විවාහය දක්වා සිටින්නේද යුරෝපීය විවාහයක් ලෙසින්ය. දෙදෙනාම සපත්තු පැළද සිටිති. සිදුහත් කුමරු හිසලා ඇති ඔටුන්න බි්‍රතාන්‍ය කිරීටයක් ලෙස පෙනෙයි.යශෝදරා ද ගවුමක් ඇඳ ඇති අතර වරලස මලින් සරසා තිබේ.

ගොඩනැගිලි සිතුවම් කිරීමේදී ද බොහෝ ලෙසින් අර්ධ කවාකාර ආරුක්කු සහිත දොර ජනෙල් හා බටහිර පන්නයට නෑකම් කියන පියසි,කුළුණු ආදිය කැටයම් සහිතව යොදා ගෙන තිබේ.මේ කාලය තුළ පහතරට සමාජය සඳහා දැඩි වශයෙන් බලපවත්නා ලද විදේශිය සංස්කෘතිමය බලපෑමෙන් සිත්තරාද යටපත් වූ බවට මේ සිතුවම් දෙස් දෙයි.එසේ නමුදු තදබල විදේශිය පාලනයක් යටතේ වූවද විදේශිය ලක්ෂණ පරයා යමින් දේශිය ලක්ෂණ ඇඳ දැක්වීමට සිතුවම්කරුවා දරනු ලැබූ උත්සාහයක ඡායාමාත්‍රයක් පහතරට සිතුවම් ගැඹුරින් විමසා බැලීමේදී පෙනී යයි.

මහනුවර පහතරට සම්ප්‍රදායේ සිතුවම් දැකගත හැකි ස්ථාන[සංස්කරණය]

කතලුව පූර්වාරාමය[සංස්කරණය]

19 වන සියවසෙහි අගභාගයට අයත් නිර්මාණ මෙහිදී දැකගත හැක. කඩොල්ගල්ලේ මහ සිත්තරා සහ පොඩ්ඩ සිත්තරා යන ශිල්පීන් විසින් මෙහි සිතුවම් ඇඳ ඇති අතර මෙහි වෙස්සන්තර ජාතකය, සුතසෝම ජාතකය, තේමීය ජාතකය, චුල්ලපදුම ජාතකය වැනි ජාතක කතාද පටාචාරා, මහදන සිටුවර, නන්දිය උපාසක වැනි බුද්ධ චරිතයට සමකාලීන චරිතයන්ගේ කතා පුවත් හා සූවිසි විවරණය, අපාය, දිව්‍යලෝකය වැනි සිතුවම්ද මෙහිදී දැකගත හැක.

මෙහිදී දැකගත හැකි සිතුවම් අතර මහදන සිටුවරයාගේ කතාව සහ සුතසෝම ජාතකය වඩාත් විශේෂත්වයක් ගනී. මහදන සිටුවරයාගේ කතාව සිතුවමෙහි යුරෝපීය ආභාශය මැනෙවින් ඉස්මතු කෙරේ. එහි අත් දිගු කෝට් එකකින් සැරසුනු මහදන සිටුවරයා සහ ප්‍රියසම්භාෂණයේ යෙදෙනු කාන්තාවන් යුරෝපීය ගවුම් හැඳ සිටිනු සහ අවකාශයේ ඇති යුරෝපීය සංගීත භාණ්ඩ, ගොඩනැගිලි මෙම සිතුවමේ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි.

කරගම්පිටිය සුබෝධාරාමය[සංස්කරණය]

දෙහිවල පිහිටි මෙම විහාරයේ ඇති සිතුවම් 'පළමුවැනි පරාක්‍රමබාහු රජ කාලයේ සිට පැවති විවිධ යුගයන් වලට අයත් වේ. අනුරාධපුර යුගයේ සිතුවම් සේම 19 වන සියවසෙහි අගභාගයේ සිතුවම්ද දැකගත හැකිය. ජාතක කතා, බුද්ධ චරිතයේ සිද්ධීන් හා අපාය, සූවිසි විවරණය, දිව්‍යලෝකය මෙහි ඇති සිතුවම් අතර විශේෂත්වයක් ගනියි.

මෙම විහාරයේ ඇති සිතුවම්වල ත්‍රිමාන ලක්ෂණ මතු කිරීමට වලාකුළු හා ජලය දැක්වීමට ඉන්ඩිගෝ නිල භාවිතය විශේෂ ලක්ෂණයකි.

තෙල්වත්‍ත රජමහා විහාරය[සංස්කරණය]

දොඩම්දූව රජමහා විහාරය[සංස්කරණය]

මුල්කිරිගල රජමහා විහාරය[සංස්කරණය]