Jump to content

භාර්යාව විකිණීම (එංගලන්ත චාරිත්‍රය)

විකිපීඩියා වෙතින්
Woman standing before a crowd of men.
Selling a Wife (1812–1814), by Thomas Rowlandson. The painting gives the viewer the impression that the wife was a willing party to the sale, which was "a genial affair" marked by laughter.[1]

එංගලන්තයෙදී භාර්යාව විකිණීම යනු අසතුටුදායක විවාහයක් අවසන් කිරීමේ එක් ක්‍රමයක් වූ අතර එය පොදු එකඟතවක් මත සිදුවිය. මෙහි ආරම්භය 17 වන සියවසේ අවසන් භාගයේදී සිදුවිය. එකල ඉතා ධනවත් පුද්ගලයන්ට හැර අන් අයට දික්කසාද වීම ප්‍රායොගික වශයෙන් සිදුකල නොහැකි විය. තම බිරින්ද ගේ ගෙලට, දෑතට හෝ ඉනට කණ්ඨපාශයක් පැලඳ ඇය ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ස්වාමිපුරුශය විසින් ප්‍රසිද්ධියේ ඇයව වැඩිම ලංසුව තබන්නාට වෙන්දේසි කරයි. භාර්යාව විකිණීම තෝමස් හාඩි ගේ කාස්ටබ්‍රිජ් හි නගරාධිපති (Mayor of Casterbridge) නම් නවකතාවට පසු තිරය සැපයීය. මෙම කතාවේ ප්‍රධන චරිතය තම බිරිඳව කතාව ආරම්භයේදීම විකුණන අතර එම ක්‍රියාව ඔහුගේ මුලු ජීවිතයම හොල්මන් කරමින්, බිය වද්දන අතර අවසානයේදී ඔහුව විනාශ කර දමයි.

මෙම චාරිත්‍රයට නීත්‍යානුකූල පදනමක් නොමැති වූ හෙයින් නිරන්තරයෙන්ම අභි චෝදන ලැබූවද, විශේෂයෙන් 19වන සියවසේ මැද භගයේ සිට මේ පිලිබඳ බලධාරීන්ගේ ආකල්පය අපහැදිලි සැක උපදවනසුලු විය. වාර්තා වලට අනූව 19වන සියවසේ මුල් භගයේ එක් මහේස්ත්‍රාත්වරයෙකු පවසා ඇත්තේ භාර්යා වෙළඳාම වැලැක්වීමට තමාට අයිතියක් ඇතැයි තමා විශ්වාස නොකරන බවයි. එසේම අනාථ නිවාසයකට තම පවුල නඩත්තු කිරීමට දීමට නොදී තම භාර්යාව විකුණා දැමීමට පුරුෂයන්ට බලකල ප්‍රාදේශීය දුප්පතුන්ට සහන සැලසීමේ කොමසාරිස්වරු පිලිබඳවද එකල තොරතුරු විය.

භාර්යා වෙළඳාම 20වන සියවසේ මුල් භාගය දක්වා කිසියම් ආකරයකට පැවති බව නීතිවිශාරද හා ඉතිහාසඥ ජේම්ස් බ්‍රයිස් 1901දී රචනා කළ තොරතුරු අනූව පෙනී යයි. එංගලන්තයේ අවසාන කාලයේදී වාර්තා වී අති එක් සිද්ධියකට අනූව ලීඩ්ස් නගරයේ පොලිස් අධිකරණයකදී 1913දී සාක්ෂි දෙමින් එක් කාන්තාවක් පවසා ඇත්තේ ඇයව £1කට තම සැමියා ඔහුගේ සේවා ස්ථානයේ මිතුරෙකුට විකිණූ බවයි.

නීතිමය පසුබිම

[සංස්කරණය]

භාර්යා වෙළඳාම එහි "චාරිත්‍රානුකූල අර්ථයෙන්" ගත් කල, එය 17වන සියවසේ අග භාගයෙදී "නිපදවූ චාරිත්‍රයකි". කෙසේ නමුත් 1302දී ද පුද්ගලයෙක් ඔප්පුවක් මගින් තම බිරිඳ තවත් පුද්ගලයෙකුට ප්‍රදානය කළ අවස්ථාවක් වාර්තා වී ඇත. පුවත්පත් වලින් ලත් ප්‍රසිද්ධිය නිස 18 වන සියවසේ දෙවන භාගය වන විට මෙම ක්‍රියාව බහුල ලෙස ක්‍රියාත්මක වන්නට විය.

20වන සියවසේ රචකයකු වූ කෝට්නි කෙනී දක්වන පරිදි මෙම පිලිවෙතේ "මූලාරම්භය මෑතකදී නොවන බව එත්තු ගන්වන පරිදි මුල්බැසගත් චාරිත්‍රයක් බවට පත් වී ඇත." 1901දී භාර්යා වෙළඳාම පිළිබඳව ජේම්ස් බ්‍රයිස් පැවසුවේ "අපගේ නීතියේ (ඉංග්‍රීසි නීතියේ) මෙවැනි අයිතියක් පිලිබඳ කිසිම සලකුණක් දක්නට නොමැති බවයි." ඔහු වැඩි දුරටත් පැවසුවේ, "හැමදෙනාම භාර්යා විකිණීමේ අමුතු පුරුද්ද පිළිබඳව අසා ඇති අතර, එය තවදුරටත් සමාජයේ යටහත් පහත් පන්ති අතර කලතුරකින් වුවද සිදුවන බවයි.

විවාහය

[සංස්කරණය]

1753 වෛවාහක පනත පනවන තුරු, පූජකවරයෙක් ඉදිරියේ විවාහය චාරිත්‍රානුකූලව සිදුකිරීම අනිවාර්ය නෛතික අවශ්‍යතාවක් ලෙස එංගලන්තයේ නොසැලකුනු අතර විවාහය ලියාපදිංචි කිරීමක්ද සිදුනොවිනි. විවාහයක් සඳහා වූ එකම අවශ්‍යතාව වූයේ පාර්ශව දෙක එක්වීමට කැමති වීම හා ඔවුන් විවාහයට අවශ්‍ය නීතිමය වයස් සීමාව, එනම් ගැහැණු ළමයෙකු නම් අවුරුදු 12ද පිරිමි ළමයෙක් නම් අවුරුදු 14ද පසුකර තිබීම පමණි. විවාහයෙන් පසුව කාන්තව සම්පූර්ණයෙන්ම පුරුෂයාට යටත් විය යුතු වූ අතර, ස්වාමියා හා භාර්යව යන දෙදෙනාම එකම නෛතික ඒකකයක් ලෙස සළකයි. එය පතිකූලත්වය ලෙස හඳුන්වයි. සුප්‍රකට ඉංග්‍රීසි විනිශ්චයකාර ශ්‍රීමත් විලියම් බ්ලැක්ස්ටෝන් 1753දී දැක්වූ පරිදි "කාන්තවගේ නෛතික පැවැත්ම ඇගේ වෛවාහක කාල සීමාව තුළ අත්හිටුවන අතර එම අයිතිය ඇගේ ස්වාමියාගේ අයිතියට එකතු කරයි. ඔහුගේ ආරක්ෂාව හා රැකවරණය යටතේ ඇය සියලු කටයුතු සිදුකරයි. විවාහක කාන්තාවකට දේපල හිමිකාරත්වය ඇය සතුව තබාගත නොහැක. ඇයද තම ස්වාමියාගේ දේපලක් ලෙසට සලකන ලදි. බ්ලැක්ස්ටෝන් තවදුරටත් නිරීක්ෂණය කළ පරිදි, "බොහෝවිට බිරිඳ තම නොහැකියාවන් පිලිබඳ බොරුකීමට පවා පෙළඹෙන්නේ ඇගේ ආරක්ෂාව හා වාසිය තකාය. එංගලන්ත නීතියට කාන්තාවන්ගේ ඇති කැමැත්ත එයින්ම පෙනේ".

වෙන්වීම

[සංස්කරණය]

විවාහයක් අවසාන කිරීමේ ක්‍රම 5ක් එංගලන්ත ඉතිහාසයේ මුල් නූතන යුගයේ විය. එකක් නම් පැවිදි අධිකරණයකදී වාසය හා සංවාසයෙන් (a mensa et thoro) වෙන්වීම සඳහා අනාචාරය හෝ මරණ තර්ජන කරන වධහිංසාව පදනම් කරගෙන නඩු පැවරීමයි. නමුත් මෙහිදී නැවත විවාහ විය නොහැක. 1850 සිට, 1857දී විවාහ නඩුකර පනත පනවන තුරු,එංගලන්තයේ දික්කසාදය ලබාගත හැකි වූයේ සංකීර්ණ හා මිල අධික පුද්ගලික පාර්ලිමේන්තු පනතක් මගිනි.1857 පනතින් පසු දික්කසාද අධිකරණ ඇති කළ පසු දික්කසාද ක්‍රියාපටිපාටියේ වියදම සැළකිය යුතු ප්‍රමානයකින් අඩුවුවද එයද සමාජයේ දිළිඳු පුද්ගලයන්ට මිල අධික විය. මීට විකල්පයක් වූයේ "පුද්ගලික වෙන්වීමක්" ලබාගැනීමයි. මෙය දෙපාර්ශවය අතර එකඟතාවක් වූ අතර වෙන්වීමේ ඔප්පුවක් ලෙස නොතාරිස්වරයකු විසින් ඇතිකළ යුතු විය. අතහැර දැමීම හෝ රහසින් පළායාමද කළහැකි විය. මෙහිදී බිරිඳව බලෙන් නිවසින් පිට කිරීම හොඅ සැමියා තම අනියම් බිරිඳ සමඟ වෙනම නිවසක පදිංචියට යාම හොඅ සිදුවිය. අවසන් ක්‍රමය වන්නෙ එතරම් ප්‍රසිද්ධ නැති භාර්යව විකිණීම නම් නීත්‍යානුකූල නොවන ක්‍රමයට විවාහය අවසන් කිරීමයි. කාන්තාවන්ට හිමි නෛසර්ගික හිමිකම් ඇති නිසා,කාන්තාවන් පිළිබඳ නීති (1777) දැක්වූ පරිදි, භාර්යාව විකිණීම යනු දුප්පතුන්ට, "බිරිඳට හා ස්වාමිපුරුෂයාට එකිනෙකාව එපා වී ඇති අවස්ථාවක, දෙදෙනාම වෙන්වීමට කැමැත්තෙන් සිටී නම් හා පුරුෂයාට එම වෙන්වීම වලංගු බවට අපකීර්තිමත් ලෙස වුවද ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය වූ විට, භාවිතා කළ හැකි ක්‍රමවේදයක් ලෙස සැකීය.

19වන සියවසේ බිරින්දෑවරු මෙයට අකමැත්ත පළ කර තිබුනද, 18වන සියවසේ බිරින්දෑවරුන් තමාව විකිණීමට විරුද්ධ වූ බවට කිසිදු වාර්තාවක් නැත. තමා සතුව මුදල් හෝ මුදල් ඉපයිය හැකි කුසලතාවන් නොමැති බොහෝ කාන්තාවන්ට විකිණීම යනු අසතුටුදායක විවාහයක් නිම කළ හැකි වූ එකම ක්‍රමය විය. සමහර අවස්ථා වල විකිණීම සිදු කළ යුතු බවට යෝජනා කර ඇත්තේ බිරිඳ බවටද වාර්තා වී ඇත. වෙන්ලොක් වෙළඳපලේ 1830දී සිලිං2 පැංස6කට විකිණීමට ගෙන ගිය බිරිඳගේ සැමියා අවසන් මොහොතේදී තම තීරණය වෙනස් කිරීමට ගියද බිරිඳ පවසා ඇත්තේ, තමාටද වෙනසක් අවශ්‍ය බැවින් තමාව විකුණන ලෙසයි.

භාර්යාව විකිණීමෙන් පසු, ස්වාමිපුරුෂයා ඔහුගේ සියලු වෛවාහක වගකීම්, එනම් බිරිඳගේ මූල්‍ය වගකීම් වලින් පවා නිදහස් වේ. ගැනුම්කරු බොහෝ විට බිරිඳගේ පෙම්වතා වේ. මිළදී ගැනීම නිසා ඔහු ස්වාමිපුරුෂයා විසින් පැවරිය හැකිව තිබූ සාපරාධී සංවාදය සම්බන්ද නීතිමය ක්‍රියාමාර්ග, එනම් තම දේපල වලට හානි කිරීම නිසා ගත හැකි පියවර (මෙහිදී බිරිඳ ස්වාමියාගේ දේපලක් ලෙස සලකයි ) වලින් බේරී සිටිය හැක.

විකිණීම

[සංස්කරණය]

ප්‍රසිද්ධ වෙන්දේසියකින් බිරිඳ විකිණීමේ චාරිත්‍රය මුලින්ම ආරම්භ වූයේ කවදාද යන්න නිශ්චිත නැති නමුත්, එය 17වන ශතවර්ෂයේ අවසන් කාලයේ සිදුවූ බවට සිතිය හැක.1692 නොවැම්බර් වලදී, ටිප්ටොන් හි නේදන් වයිට් හවුස්ගේ පුත් ජෝන්, තම බිරිඳව බ්‍රේස්ගර්ඩ්ල් මහතාට විකිණූ බවට, විකිණූ ආකාරය පිළිබඳව දක්වා නැතත්, සඳහන් වී ඇත.1696දී තෝමස් හීත් මෝල්ස්ටර්, චිලර් හි ජොර්ජ්ගේ බිරිඳ සමඟ නීති විරෝධී ලෙස සංවාසයේ යෙදීම නිසා තේම් හි විශේෂ පූජක අධිකරණය විසින් දඩ ගැසීමකට ලක්කර ඇත. මෙහිදී මෙම පුද්ගලයා විසින් කාන්තව මිලට ගෙන ඇත්තේ පවුමෙන් පැන්ස 2ක ප්‍රමානයටය. කෙසේ නමුත් 1690 හා 1750 අතර කාලයේදී එංගලන්තයෙන් තවත් සිද්ධි 8ක් වාර්ත වී ඇත. 1789 ඔක්ස්ෆර්ඩ් හි සිද්ධියකදී භාර්යා වෙළඳාම හඳුන්වා ඇත්තේ "දික්කසාදයේ ග්‍රාමීය ප්‍රතිරූපය ලෙසත්, දැනට එය ප්‍රදේශ කිහිපයක පැවතුනද සෙමෙන් අනෙකුත් ප්‍රදේශ වලට ව්‍යාප්ත වන තත්වයක් ලෙසත්ය". කෙසේ නමුත් මෙම ක්‍රියාව කුමන හෝ ආකාරයකින් 20වන සියවසේ මුල් කාලය දක්වා පැවතුනු අතර එම කාලයේදී එය වර්ධනය වූ වෙන්වීමේ ක්‍රමයක් විය.

බොහෝ වාර්තා වලට අනුව විකිණීම පිළිබඳව ඊට පෙර සිටම, බොහෝ විට ප්‍රාදේශීය පුවත්පත් දැන්වීම් මගින්, නිවේදනය කර ඇත. භාර්යාව විකිණීම බොහෝ විට ප්‍රාදේශීය වෙලඳපලක සිදුවන වෙන්දේසියක ස්වරූපයක් ගත් අතර, බිරිඳගේ අතට හෝ ගෙලට බැඳි කණ්ඨපාශය (බොහෝ අවස්ථා වල ලණුවක් හා සමහර අවස්ථ වල පීත්ත පටියක්) සමඟ ඇයව ගෙන යනු ලැබීය. බොහෝ විට ගැනුම්කරු ඊට පෙර සොයගත්තකු වන අතර, විකිණීම, වෙන්වීමේ හා නැවත විවාහවීමේ ස්ංකේතයක් විය. මේඩ්ස්ටෝන් හි 1815 ජනවාරි වල සිදුවූ සිද්ධියකට අනුව, ජොඅන් ඔස්බෝන් තම බිරිඳව ප්‍රාදේශීය වෙලඳපලකදී විකිණීමට සැලසුම් කලේය. නමුත් එදින එම ස්ථානයේ පොල නොපැවැත්වීම නිසා වෙළඳාම සිදුකෙරුනේ "අර්ල් වීදීයේ ගල් අඟුරු පාලම පිළිබඳ සංඥා පුවරුව අසල දීය". මෙහිදී වෙලඳම ඉතා විධිමත් ආකාරයකට සිදුවූ අතර ඔහුගේ බිරිඳ සහ දරුවා £1කට විලියම් සාජන්ට් නැමති පුද්ගලයාට විකුණනු ලැබීය. මෙම වසරේම ජූලි මාසයේදී එක් ස්වාමිපුරුෂයෙක් තම බිරිඳව ස්මිත්ෆීල්ඩ් වෙළඳපලට අශ්වකරත්තයකින් ගෙන ආ අතර ඇයව ගිනි 50ක් හා අශ්වයෙකු වෙනුවෙන් විකුණන ලදි. වෙළඳාම අවසන් වූ පසු "එම කාන්තාව තම නව ස්වාමියා සමඟ ඔවුන් එනතුරු නවතාතිබූ කුඩා අශ්වකරත්තයකට නැග ගියේ කිසිම අකමැත්තකින් නොවේ. 1875 සැප්තම්බර් වල ස්ටේන්ස් වෙළඳපලේ පැවති විකුණුමකදී, සිලිං 3 හා පැන්ස 4ක එක් ලංසුවක් පමණක් තිබූ අතර වෙන කිසිවෙකු ලංසු තබන්නා සමග තරඟ කිරීමට ඉදිරිපත් නොවීය. ඔවුන් ගැන දන්නා පුද්ගලයන් ඊට හේතුව දැන සිටියහ. මෙහිදී ගැනුම්කරුට පුරසාරම් දෙඩිය හැකිවූයේ ඔවුන් අතර තිබූ දිගු කාලීන කිට්ටු සම්බන්ධය නිසා වෙනින් කිසිවෙකු ඇයව ගැනීමට ඉදිරිපත් නොවීම නිසාය.

වෙළඳම සඳහා ප්‍රතිෂ්ඨාව සපයන්නේ පුරුෂයා වුවද ඒ සඳහා භාර්යාව කැමති විය යුතුය. 1824දී මැන්චෙස්ටර් වල වාර්තාවකට අනුව "ලංසු තැබීම් කීපයකට පසුව බිරිඳ සිලිං 5කට විකිණීමට තීන්දු විය. නමුත් බිරිඳ එම ගැණුම්කරුට අකමැති වූ නිසා නැවත වෙන්දේසිය ආරම්භ වූ අතර ඇයව සිලිං 3ක් හා බීර නැළියකට විකිණීමට තීරණය විය. බොහෝ විට වෙලඳාම සිදුවන විටත් බිරිඳ තම නව ස්වාමියා සමග ජීවත්වීම ආරම්භ කර තිබිනි. 1804දී වාර්තා වූ තවත් සිද්ධියකට අනුව ලන්ඩන් හි කඩ හිමියෙකුට තම බිරිඳ අමුත්තෙකු සමග සංවාසයේ යෙදී සිටියදී හසුවිය. එහිදී ඇතිවූ ආරවුලකදී එම ආගන්තුකයා කාන්තව මිලදී ගැනීමට එකඟ විය. මෙම සිද්ධියට අදාලව විකිණීම යනු මෙවැනි අවස්ථා විසඳා ගැනීමේ පිළිගත් ක්‍රමයක් ලෙස පිළිගැනිණ. කෙසේ නමුත් විකිණීම නිදහසේ සිදුවන අවස්ථාද තිබේ. මෙහිදී බිරිඳට තම ගැණුම්කරු ආගන්තුක පුද්ගලයන් අතුරින් තෝරා ගැනීමට සිදුවේ. 1766 මාර්තු මාසයේදී, සවුත්වෝක් හි වඩුවෙක් තම බිරිඳව ආපනශාලාවකදී විකුණුවේ විවාහයකට සුදුසු උනන්දුවක් නැති බව පවසමිනි. පසුව මත් බව සිඳී හොඳ සිහියට පැමිනි පසු ඔහු ඇයට නැවත තම සමඟ එන ලෙස පැවසුවද කාන්තාව එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු සියදිවි නසාගන්නා ලදි. නිවසේ ඇතිවන අඬදබරයක් සමහර විට බිරිඳව විකිණීමට මුල් විය හැක. නමුත් බොහෝ අවස්ථාවල වාර්තා වී ඇති අන්දමට භාර්යව විකිණීමේ පරමාර්ථය, දික්කසාදයකට සමාන නීත්‍යානුකූලභාවයක් ලැබෙන පරිදි විවාහය අවසන් කිරීමයි. සමහර වාර්තා වලට අනුව බිරිඳ විසින්ම තම විකිණීම සැලසුම් කළ අවස්ථා ඇත. එසේම ඇය විසින්ම තම නියෝජිතයාට, තමාව මිලදී ගෙන තම විවාහය අවසන් කිරීමට මුදල් දුන් අවස්ථාවක් 1822 ප්ලයිමවුත් වලින් වාර්තා විය.

19වන සියවසේ මැද භාගය

[සංස්කරණය]

19වන සියවසේ මැද භාගය වන විට් භාර්යාව විකිණීම පහළම මට්ටමේ කම්කරුවන්ට, විශේෂයෙන්ම ඈත පිටිසර බද ජීවත්වන්නන්ට සීමා විය. නමුත් තම බිරිඳව විකුණන ස්වාමිපුරුෂයන්ගේ හා ඔවුන්ගේ ගැනුම්කරුවන්ගේ රැකියා අනුව විග්‍රහ කර බැලීමේදී මෙම චාරිත්‍රය වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ කාර්මික විප්ලවයට පෙර සිටි ජන කොටස් අතර බව පෙනේ. ස්වාමියාගේ රැකියාවන් සඳහන් කර තිබු අවස්ථා 158න් විශාලම පිරිස, එනම් 19ක්, යෙදී සිටියේ පශු සම්පත් හෝ ප්‍රවාහන ක්ෂේත්‍ර වලයි. 14 දෙනෙකු ගොඩනැගිලි ක්ෂේත්‍රයේ රැකියා කළ අතර, 5 දෙනෙකු කම්මල්කරුවන්ද, 4 දෙනෙකු දුම් කවුළු ශුද්ධ කරන්නන්ද විය. දෙදෙනෙකු ගුණවතුන් ලෙස විස්තර කර ඇති නිසා, භාර්යාවන් විකිණීම ගොවියන්ගේම චාරිත්‍රයක් නොවන බවට සිතිය හැක. වාර්තා වී ඇති ඉහළ තත්වයක් සහිත සිද්ධිය වන්නේ චන්ඩෝස් හි දෙවන ආදිපාද හෙන්රි බ්‍රිජස්, තම දෙවන බිරිඳ අශ්වයන් බලා ගන්නා පුද්ගලයෙකුගෙන් 1740දී මිලට ගැනීමයි.

භාර්යාවන්ගේ මිල ගණන් සැලකිය යුතු ප්‍රමාන වලින් වෙනස් විය. බිරිඳට £100 හා දරු දෙදෙනාට £25 බැගින් 1865දී, ( 2011දී එය £10800කට සමාන වනු ඇත ) වූ උපරිම මුදලක සිට බීර වීදුරුවක් දක්වා වූ අවම මිලකට හෝ සමහර විට නොමිලේ ද විකිණීම සිදුවිය. හුවමාරුව සිදුවී ඇති අවම මුදල් ප්‍රමානය තුට්ටු 3කි, එනම් පැන්සයෙන් 3/4කි. සාමාන්‍ය මිල ගනන් සිලිං 2 පැන්ස 6 සිට සිලිං 5 දක්වා චලනය විය. වේඩ් මැන්සෙල් හා බෙලින්ඩා මීට්යාඩ් යන රචකයන්ට අනුව මුදල් මෙහිදී අතුරු ප්‍රතිලාභයක් විය. වඩා වැදගත් කාරණය වූයේ බොහෝ පුද්ගලයන්, මෙම විකිණීමට නීතිමය පදනමක් නොතිබුනත්, එය නීත්‍යානුකූල ලෙස සැලකීමයි. සමහර ජෝඩු ද්විවිවාහ කර ගත්තද, භාර්යාවන් විකිණීම පිලිබඳව, බලධාරීන්ගේ ආකල්පය සැක උපදවන සුළු විය. ගම්බද පූජකවරු හා මහේස්ත්‍රාත්වරු මෙම චාරිත්‍රය ගැන දැනගෙන සිටියද, එහි නීත්‍යානුකූල භාවය පිළිබඳ නිශ්චිත නොවීම නිසා හෝ එය නොදුටුවා සේ සිටින්නට විය. බෞතීස්ම පිළිබඳ සටහන් පොත් වලද මෙවැනි කාරණා, එනම්, 1782දී එසෙක්ස් හි පර්ලි හි සටහනක " ඒමි ඩෝටර්, මෝසස් ස්ටෙබින් හිදී කණ්ඨපාශයක් සමඟ මිලදී ගත් බිරිඳ" ලෙස දැක්වේ. 1784 දී ලින්කන්ෂයර් හි ජූරියක් පවසා තිබුනේ, වරක් තම බිරිඳ විකුණූ පුද්ගලයෙකුට නැවත ගැණුම්කරුගෙන් ඇයව ඉල්ලා සිටීමට අයිතිය නොමැති බැවින් පළමු ගනුදෙනුව අනුමත කරන බවයි. 1819 දී ඩර්බි හි, ඇෂ්බෝර්න් හි මහේස්ත්‍රාත්වරයෙක් විකුණීමක් නැවත්වීමට ගිය විට මිනිසුන් ඔහුට ගසා පන්නා ගන්නා ලදි. ඔහු පසුව පැවසුවේ, "එම ස්ථානයට කොස්තාපල්වරු යැවීමේ මූලික අරමුණ එම නින්දිත වෙලඳාම නැවැත්වීම වුවද විද්‍යමාන වූ අරමුණ වූයේ සාමය පවත්වා ගැනීමයි..... විකිණීමේ අර්ථයෙන් ගත් කල, එය වැළැක්වීමට හෝ එයට විරුද්ධ වීමට මට අයිතියක් ඇතැයි මම නොසිතමි. ඊට හේතුව එය රැඳී ඇත්තේ මිනිසුන් විසින් පවත්වාගෙන ආ චරිත්‍රයක් මත බැවින් එය වළක්වන නීති පැනවීම භයානක විය හැකි නිසාය".

1814 දී හෙන්රි කුක් ගේ වැනි අවස්ථාවලදී දුප්පතුන්ට සහන සැලසීමේ නීති බලධාරීහු ස්වාමිපුරුෂයන්ට තම බිරිඳ විකුණන ලෙස බල කළේ, එසේ නොවුනහොත් ඇයව හා ඇගේ දරුවාව එෆින්ගැම්හි අනාථ නිවසකට යැවීමට සිදුවන බව පවසමිනි. ඇයව ක්‍රොයිඩන් වෙළඳපලේදී සිලිං 1කට විකුණූ අතර දේවස්ථානයට අයත් ගම විසින් ගමනේ මුළු වියදම හා බිරිඳගේ හා ගැණුම්කරුගේ පළමු රාත්‍රී ආහාර වේල ලබා දෙන ලදි.

ස්ථානය

[සංස්කරණය]

විකිණීම සිදුවන ස්ථානය ලෙස පොදු වෙළඳපලක් තෝරා ගැනීම මගින් සැමියා හා බිරිඳ, තම වෙන්වීමට සාක්ෂි දැරීමට අති විශාල ජනකායක් සිටින බවට සහතික කර ගත්හ. කණ්ඨපාශය ස්ංකේතාත්මක අදහසින් භාවිතා විය. විකිණීමෙන් පසු එය නව ගැනුම්කරුට ලබා දීමෙන් ගනුදෙනුව නිම වූ බවට සනිටුහන් කරයි. එසේම සමහර අවස්ථා වලදී සැමියා විසින් ගැනුම්කරු ලවා, තමාට තව දුරටත් බිරිඳගේ වගකීම් නැති බවට ගිවිසුමක් අත්සන් කර ගැනීමක් සිදුවී ඇත. 1735දී ශාන්ත ක්ලෙමන්ට් හි සිදුවූ සාර්ථක භාර්යා වෙළඳාමකින් පසු පොදු ඝෝෂක (අණ බෙරකරු වැනි පුද්ගලයෙක්) මාර්ග දිගේ මෙම විකිණීම පිළිබඳ තොරතුරු සැල කළේ, එම කාන්තාවගේ පළමු සැමියා තවදුරටත් ඇය ලබාගන්නා ණය ගෙවීමට බැඳී නොසිටින බව්,අ එහි වෙළෙන්දන්ට දැනුම් දීමටයි. මෙම කරුණම සඳහන් කරමින් 1789දී ඉප්ස්විච් ජර්නල් පුවත්පතෙහි දැන්වීමක් පළවිය. එහි සඳහන් වූයේ "ඇයට මගේ නමින් කිසිවක් පවරා නොදෙන්න. ඇයට තවදුරටත් මට අයිතියක් නොමැත". මෙම වෙළඳාම සිදුකළ සමහර පුද්ගලයන් විකිණීම නීත්‍යානුකූල කිරීම සඳහා සකස් කළ විකුණුම් පතක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දක්නට ඇත .විකුණුම්පත 1758දී සමර්සෙට් හි සමාදාන විනිශ්චයකරුවෙකුට ඉදිරිපත් කරන පෙත්සමක ආකාරයට ඉදිරිපත් කර ඇත්තේ බිරිඳ විසිනි. එහි සඳහන් වන්නේ ඊට මාස 18කට පෙර තමාව, තම ස්වාමියා විසින් £6 සිලිං 6 කට විකුණුවේ, ඔහුගේ වියදම් අඩු කර ගැනීමට බව පවසමින් වුවද, වෙළඳාමෙන් මාස 3කට පසු තම පළමු සැමියා, තමාගෙන් හා තම නව සැමියාගෙන් ගනුදෙනුව සඳහා තවත් මුදල් ඉල්ලා සිටීමක් පිළිබඳවය.

සසෙක්ස් වල තානායම් හා තැබෑරුම්, බිරියන් විකිණෙන ප්‍රසිද්ධ ස්ථාන වූ අතර, වටිනාකමේ කොටසක් වූයේ මත්පැන්ය. උදාහරණයක් ලෙස මිනිසෙකු යැප්ටන් හි ෂෝල්ඩර් ඔෆ් මට්න් හා ක්‍යුකම්බර් හිදී 1898දී තම බිරිඳ විකුණූ විට, ගැණුම්කරු ඇයව මිලට ගත්තේ සිලිං 7 පැන්ස 6 (2011දී £ 30) හා බීර (බ්‍රිතාන්‍ය මිනුමෙන්) නැළියක් (ලීටර 1.1) ගෙවීමෙනි. මීට සියවසකට පෙර බ්‍රයිටන් වල සිදුවූ වෙළඳාමකදී බීර මුට්ටි 8ක් හා සිලිං 7 (2011දී £20) කට වෙළඳාම සිදුවිය. 1790දී නින්ෆීල්ඩ් හි මිනිසෙකු, තම බිරිඳව ජින් පයින්ට් භාගයකට හුවමාරු කරගෙන පසුව තම අදහස වෙනස් කරගෙන ඇයව නැවත මිලට ගනු ලැබීය.

සමහර අවස්ථා වලදී ප්‍රසිද්ධියේ සිදුකරන භාර්යා වෙලඳාමට මිනිසුන් විශාල ප්‍රමානයක් පැමිණ සිට ඇත. 1806දී හල් වල පැවැත්වීමට තිබූ වෙන්දේසියක් කල් දැමීමට සිදුවූයේ එවැනි අසාමාන්‍ය සිදුවීමක් නැරඹීමට පැමිණ සිටි මිනිසුන් ප්‍රමානය වැඩි වීම නිසාය. මෙහිදී භාර්යා වෙළඳාම කලාතුරකින් සිදුවූ අතර එනිසා ජනප්‍රියතාවයෙන් වැඩිවිය. 1780ත් 1850ත් අතර මෙම චාරිත්‍රය සිදුකිරීම් 300ක් පමණ වාර්ත වූ අතර අත්හැර යාම් වලට සාපෙක්ෂව ඉතා අවම මට්ටමක පැවතියේ, වික්ටෝරියානු යුගයේ අත්හැරයාම් දහස් ගණන් පිළිබඳ වාර්තා වීම නිසාය.

ව්‍යාප්තිය හා සංකේතනය

[සංස්කරණය]

භාර්යා වෙළඳාම එංගලන්තය පුරා පැතිරී තිබුනද, එය වේල්සයේ පැතිරී තිබුනේ අඩුවෙනි. එම නිසා එම ප්‍රදේශයෙන් වාර්තා වූයේ සුළු සිද්ධි කිහිපයකි. ස්කොට්ලන්තයෙන් වාර්තා වූයේ එක් සිද්ධියක් පමණි. 1760ත් 1880ත් අතර කාල සීමාව තුළ වැඩි වශයෙන්ම සිදුවීම් වාර්තා වී ඇති එංගලන්ත පළාත වූයේ යෝක්ෂයර් ප්‍රාන්තයයි. ඉන් සිදුවීම් 44ක් වාර්තා වී ඇති අතර එය එම කාලසීමාවේදීම මිඩ්ල්සෙක්ස් හා ලන්ඩන් වලින් වාර්තා වූ ප්‍රමානයට වඩා 19ක් වැඩිය. මෙකල ලන්ඩන් වලට පැමිණ සිටි ප්‍රංශ විකටයෙකු වූ ජෝන් බුල් ලන්ඩන් හි ස්මිත්ෆීල්ඩ් වෙළඳපලේ "මගේ බිරිඳ £15ක්" ලෙස කෑගසමින් ගිය අතර ඔහුගේ බිරිඳ කුඩා කුටියක කණ්ඨපාශයක් පළඳා ප්‍රදර්ශනයට තබා තිබිණි.

"භාර්යාවෝ විකිණීම පිණිසයි" (wives for sale) නම් තම එකතුව තුළින් එහි කර්තෘ සැමුවෙල් පියට් මෙන්ෆී, භාර්යා වෙළඳාමට අදාල සිද්ධි 387ක් එකතු කළේය. එහි අවසන් සිද්ධි කිහිපය, 20වන සියවසේ මුල් කාලයේදී වාර්තා වී ඇත. ඉතිහාසඥ ඊ.පී.තොම්සන් පවසන පරිදි මෙන්ෆීගේ බොහෝ වාර්තා අවිනිශ්චිත හා අනුමාන වාර්තා වන අතර සමහර සිද්ධි දෙවතාවක් වාර්තා වී ඇත. ඔහු තවදුරටත් පැවසුවේ මින් 300ක් පමණ සත්‍ය සිදුවීම් බවත්, ඔහු විසින් කරන ලද පර්යේෂණත් සමඟ මුළු වාර්තා සංඛ්‍යාව 400ක් පමණ වන බවයි.

මෙන්ෆීගේ තොරතුරු වලට අනූව ඔහු පැවසා ඇත්තේ මෙම චාරිත්‍රය සත්ව වෙළඳාමකට සමාන බවයි. කණ්ඨපාශයේ සංකේතාත්මක අදහස හා භාර්යාවන්ට සමහර අවස්ථා වලදී බර අනුව මිල නියම කිරීම යන දෑ සත්ව වෙළඳාමට අනුකූල බවයි. කණ්ඨපාශය යොදාගත්තේ වෙළඳාමේ නෛතික භාවය විදහා දැක්වීමට බව පවසන තොම්සන්, මෙන්ෆී මෙම ගනුදෙනුවේ සමාජ සම්බන්ධය වරදවා වටහා ගෙන ඇති බව පවසයි. පොදු වෙළඳපලක් යොදාගත්තේ එහි සත්ව වෙළඳාම සිදුවන නිසා නොව, එහි සිටින ජනකාය අනුව, ස්වාමියාගේ හා බිරිඳගේ වෙන්වීම බොහෝ පිරිසකට දැනගත හැකි වන නිසා බව ඔහු වැඩි දුරටත් පවසයි. බොහෝ අවස්ථා වලදී විකිණීම සිදුවූයේ පොදු වෙළඳපලවල්, තැබෑරුම් හා ප්‍රාදේශීය මං සලකුණු අසලදීය. 1817දී ප්‍රෙස්ටන් හි ස්ථම්භය, 1835දී බෝල්ටන් හි වායු කුළුණ වැනි සෙනඟ ගැවසෙන ස්ථාන ඊට උදාහරණ විය. ස්වාමිපුරුෂයා විකිණීම පිළිබඳ ඉතා සුළු අවස්ථා කිහිපයක්ද වාර්තා වී ඇත. නූතන දැක්මට අනුව දික්කසාදයක් සඳහා වුවද බිරිඳ සතකු මෙන් විකිණීම පහත් තත්වයක් ලෙස සැලකේ. එසේම බොහෝ මෑත කාලීන වාර්තා වල කාන්තා නිදහස හා ඇගේ අවශ්‍යතා පිළිබඳ අදහස් ඇතුලත් විය. එම වාර්තා වල කාන්තාව විස්තර කර තිබුනේ ලස්සන, ප්‍රියමනාප, හොඳින් හැසිරෙන, නිහතමානී, විනෝදයෙන් කල් ගත කරන, ගැමි ළඳ වැනි වදන් වලිනි.

17වන සියවසේ අවසන් භාගයේ හා 18වන සියවසේ මුල් භාගයදී ඇමරිකානු ජනපද වලට සංක්‍රමණය වූ ඉංග්‍රීසි ජාතිකයෝ, අනිකුත් ඉංග්‍රීසි චාරිත්‍ර සමඟ භාර්යාව විකිණීමේ චාරිතයද, විවාහයක් අවසන් කිරීමට එහි ඇති නීත්‍යානුකූල භාවය පිළිබඳ මතයද, එම ප්‍රදේශ වලට රැගෙන ගියෝය. 1645දී කනෙක්ටිකට්, හාට්ෆෝඩ් හි "විශේෂ අධිකරණයක්", බාගට් එගල්ස්ටන් නම් පුද්ගලයාට, තම බිරිඳ වෙනත් පුද්ගලයෙකුට පැවරීම නිසා, සිලිං 20ක දඩයක් ගසන ලදි. 1736 මාර්තු 15වන දින බොස්ටන් ඊව්නින්-පෝස්ට් (Boston Evening-Post) පුවත්පතේ, පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් අතර ඇති වූ වාදයක් පිළිබඳ තොරතුරු වාර්තා විය. මෙහිදී මෙම පුද්ගලයන් දෙදෙනාම මෙම කාන්තාව තම බිරිඳ බවට තර්ක කරමින් සිට ඇත. සැබෑවටම සිදුවී ඇත්තේ මින් එක් පුද්ගලයෙක් සිලිං 15කට තම බිරිඳ වූ මෙම කාන්තාව අනෙක් පුද්ගලයාට විකුණා ඇත. ගැණුම්කරු සම්පූර්ණ මුදල ගෙවීමට අකමැති වී ඇති අතර, නැවත ඇයව ඇගේ පළමු ස්වාමිපුරුෂයාට භාර දීමට සැරසී තිබේ. කෙසේ නමුත් ඔහුට හිඟ මුදල් ප්‍රමානය ලබා දීමට එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු එකඟ වී ඇති අතර එම මුදල ඇගේ ස්වාමියාට දුන් පසු, ඔහු ඇයට විනීතව ආචාර කර, ඇයට සුභ පතා ඇති අතර තම භාර්යාව විකිණීම නිසා ඔහු මහත් සතුටකින් සිට ඇත. 1781දී දකුණු කැරනිනා හි විලියම් කොලින්ස් තම භාර්යාව ඩොලර් 2ක් හා මැටියෙන් කළ කුඩා බඳුන් 6කට විකුණා ඇත.

ආකල්ප වල සිදුවූ වෙනස්කම්

[සංස්කරණය]

18වන සියවසෙ අවසන් කාලය වන විට, භාර්යාව විකිණීම පිළිබඳ විරෝධය සමාජය තුළින්ම ඇතිවන්නට විය. 1756දී ඩබ්ලින් හිදී සිදුවීමට ගිය එක් භාර්යා වෙළඳාමකදී, එතනට පැමිණි කාන්තාවන් පිරිසක් විකිණීමට ගිය කන්තාව මුදාගත් අතර, ඔවුන් විසින් එම පුරුෂයාට ආදර්ශ නඩු විභාගයක් පවත්වා ඔහුව පසුදා එළිවන තුරු දඬුකඳේ ගසා තබා ඇත. 1777දී කාමතෙන්ෂයර් හිදී භාර්යා අලෙවියකට සහභාගි වූ පිරිස අතර දැඩි නිශ්ශබ්දතාවක් හා එම අවස්ථාව දැකීම නිසා දැඩි නොසන්සුන්තාවක් ඇතිවී ඇත. 1806දී ස්මිත්ෆීල්ඩ් වෙළඳපලේදී එක් කම්කරුවෙක් තම බිරිඳව විකිණීමට යාමේදී, මහජනතාව එම පුද්ගලයා ගැන කුපිත වූ අතර, පොලිස් නිළධාරීන් මැදිහත් නොවන්න්නට, එම පුද්ගලයාට දරුණු ලෙස දඬුවම් දීමට ඉඩ තිබිණි.

භාර්යාවන් විකිණීම පිළිබඳ වාර්තා වීම් 1750 ගණන් වල දශකයකට දෙකක් පමණ වුවද 1820 හා 1830 ගණන් වල එය දශකයකට 50ක් පමණ විය. සිදුවීම් ගණන වැඩිවීමත් සමඟ ඊට එල්ල වන විරෝධයද වැඩි වන්නට විය. එය එතෙක් කල් පැවතියද, ඒ වන විට ප්‍රභූ සමාජය විසින් එය අහෝසි කළ යුතු, තම වගකීමක් ලෙස සැලකිණි. එසේම් එම යුගයේ කාන්තාවන් පැවසුවේ, භාර්යා වෙළඳාම තමන්ට තර්ජනයක් හා අපහාසයක් බවයි. කාර්තු සැසිවල සිටි සමාදාන විනිශ්චයකරුවන්ද භාර්යා වෙළඳාමේ නියුක්තව සිටි පුරුෂයන්ට දඬුවම් දීමේ නිරතව සිටියහ. එසේම සමහරක් ඉහළ උසාවි වල තීන්දු මඟින් භාර්යාව විකිණීම නීති විරෝධි බවටද නියම වී ඇත. පුවත්පත් ලිපි වලින්ද මෙම චාරිත්‍රය හෙළා දැක ඇත. 1832දී එක් පුවත්පතක මෙම ක්‍රියාව සඳහන් කර ඇත්තේ ඉතාම නින්දිත හා ජුගුප්සාජනක අවස්ථාවක් ලෙසයි. කෙසේ නමුත් භාර්යාව විකිණූ සිද්ධි ගණන සීඝ්‍රයෙන් පහළ බැසීමට පටන් ගත්තේ 1840 ගණන් වලය. තොම්සන්ගේ පර්යේෂණ වලට අනුව, 1800ත් 1840ත් අතර 121ක් වූ භාර්යාව විකිණීමේ සිද්ධි ප්‍රමානය, 1840ත් 1880ත් අතර 55ක් දක්වා පහළ බැස තිබිණි.

මෑන්ස්ෆීල්ඩ් හි 1වන එර්ල්වරයා වූ විලියම් මුරේ අගවිනිසුරුතුමා ,භාර්යා වෙළඳාම, අනාචාරයේ හැසිරීමට කරන කුමන්ත්‍රණයක් ලෙස සැලකුවද, වාර්තා වූ සිද්ධි අතරින් සුළු ප්‍රමානයකට පමණක් උසාවියේදී දඬුවම් දෙනු ලැබීය. 1818දී ද ටයිම්ස් පුවත්පත (The Times) එවැනි එක් සිද්ධියක් වාර්තා කළේය. එක් පුද්ගලයෙක් තම බිරිඳ සිලිං 2 පැන්ස 6කට ලියොමින්ස්ටර් වෙළඳපලේදී, ස්මිත්ෆීල්ඩ් හි වැඩිම ලංසුව තබන්නාට විකිණීම පිළිබඳව අධිචෝදනා ලබා තිබුනේය. 1825දී ජොන්සන් නම් පුද්ගලයෙක්, තම බිරිඳ විකිණීමේ අදහසින්, වීදි දිගේ බිරිඳගේ ගුණ වර්ණනා කරමින් ගීත ගායනා කිරීමේ වරදට චෝදන ලබා තිබිණි. ඔහුව අතඩංගුවට ගත් නිළධාරියා පැවසුවේ ඔහුගේ ගීතය ඇසීමට බව හඟවමින් බොහෝ රස්තියාදුකරුවන් පිරිසක් එක් රැස්වී සිටියද ඔවුන් විසින් එම අවස්ථාවේදී අන් පුද්ගලයන්ගේ මුදල් පසුම්බි පැහැරගෙන ඇති බවයි. 1842දෙ ජෝන් ඈෂ්ටෝන් "බිරිඳක් විකිණීම" නම් කෘතියේ දක්වා ඇත්තේ මෙවැනි ගීත අනන්‍ය නොවන බවයි. කෙසේ නමුත් මෙම පුද්ගලයා උසාවියේදී පැවසුවේ, ඔහුගේ අදහස වූයේ තම බිරිඳ විකිණීම නොව තම කටහඬ යොදා ගනිමින් කිසියම් මුදලක් උපයා ගැනීම බවයි. ඔහු තව දුරටත් පැවසුවේ, තම බිරිඳ තම කුසගිනි දරුවන් සමඟ නිවසේ වසන බවයි. එසේම ඔහු තම ගීතය රචනා කළ පත්‍රිකා බෙදා හැරිය බවද, බිරිඳ විකුණන බව කියමින් මුදල් ඉපයීමට තැත් කළ බවද කීය. කෙසේ නමුත් ඔහුව නිදහස් කිරීමට පෙර නගරාධිපතිවරය පැවසුවේ ජොන්සනෙගේ මෙම ක්‍රියාව ඉදිරියටත් කරගෙන යාමට අවසර දිය නොහැකි බවයි. 1833දී එපින් හිදී භාර්යාවක් විකිණූ සිද්ධියක් වාර්තා වී ඇත. ඇයව විකුණා තිබුනේ සිලිං 2 පැන්ස 6ක් හා තවත් පැන්ස 6ක තීරු බද්දක්ද සමඟිනි. මත්බව සිඳුනු පසු ඔහුව සමාදාන විනිශ්චයකරුවෙකු ඉදිරියට පමුණුවන ලද අතර, එහිදී ඔහු පවසා ඇත්තේ, ඔහුව මෙම විවාහයට තම කෝරලයේ බළධාරීන් විසින් බලෙන් ඇතුලත් කරන ලද අතර, එදා පටන් ඔහු තම බිරිඳ සමඟ කිසි දිනෙක එකට ජීවත් වී නොමැති බවත්, ඇය බ්‍රැඩ්ලි නම් පුද්ගලයෙකු සමඟ ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරී ඇති බවත්, පසුව එම පුද්ගලයා විසින්ම ඇයව මිලට ගෙන ඇති බවත්ය. තම බිරිඳව අතහැර දමා යාමේ වරදට එම පුද්ගලයාට දඬුවම් කර ඇත.

වසර 18කට පසු තමා විකිණූ බිරිඳ නැවත තමා කරා පැමිණීමෙන්, සිදුවන මයිකල් හෙන්චාඩ් ගේ බිඳ වැටීම, තෝමස් හාඩි ගේ කාස්ටබ්‍රිජ් හි නගරාධිපති (Mayor of Casterbridge) නම් නවකතාව ඉදිරිපත් කරයි. තදින් කිපෙනසුළු, ආවේගශීලී, කෲර ස්වාමිපුරුෂයෙකු වන හෙන්චාඩ්, තම බිරිඳ තමාට බරක් ලෙස සිතා පිටස්තර පුද්ගලයෙකුට ගිනි 5කට විකුණයි. හෙන්චාඩ් පසුව බොහෝ දියුණු ව්‍යාපාරිකයෙක් වන අතර අවසානයේදී නගරාධිපති ධූරයටද පත්වේ. නමුත් වසර ගණනාවකට පසු ඔහුගේ පැරණි බිරිය නැවත පැමිණීමෙන් ඔහු ඉතා අසරණ තත්වයකට පත්වේ. මෙම චාරිත්‍රය 19වන සියවසේ ප්‍රංශ නාට්‍යයක් වූ Le Marché de Londresහි ඉදිරපත් කරයි. මෙම නාට්‍ය හා මෙම කාලයේදී මෙම චාරිත්‍රය පිළිබඳව ප්‍රංශ ජාතිකයන්ගේ ආකල්ප පිළිබඳව සඳහන් කරමින් 1846දී රචක ඇන්ගස් බී. රීච් පවසන්නේ, ප්‍රංශ ජාතිකයන් අපේ(ඉංග්‍රීසීන්ගේ) දුර්වල අංග පිළිබඳව මනාව හදාරන අතර, ඔවුන් එංගලන්තයේ භෞතික පිහිටීම හා ශක්තිය පිළිබඳව ඇති විශ්වාසය අඩු කරගනු ඇත්තේ, එංගලන්තයේ ස්වාමි පුරුෂයෙකුට තම අශ්වයා හෝ සුනඛයා විකුණන ලෙසම තම බිරිඳවත් විකිණිය හැකි නිසා බවයි. ඊට වසර 20කට පසු වුවද එවැනි චෝදනා සාමාන්‍ය දෙයක් බවට පත්වන්නේ, 1864දී ද බුක් ඔෆ් ඩේස් (The Book of Days) හි රචක රොබට් චේම්බර්ස් 1832දී භාර්යා විකිණීම පිළිබඳ සිද්ධියක් ගෙන හැර පාමින්, "කලාතුරකින් හෝ පැවැත්වෙන භාර්යා වෙළඳාම් අප ඉතා සුළු කොට තැකුවද යුරෝපාකරයේ අනෙකුත් රටවල් එම චාරිත්‍රය අප නොදියුණු ශිෂ්ඨාචාරයක් ලෙස පෙන්නුම් කිරීමට උපයෝගී කරගන්න බව" තම කෘතියේ දැක්වීම මගිනි. මෙම චාරිත්‍රය නිසා මහත් ලැජ්ජාවට පත්වී 1853දී එක් නීති අත්පොතක්, විනිශ්චයකරුවන්ට, භාර්යා වෙළඳාම මිත්‍යාවක් ලෙස සලකා බැහැර කිරීමට උපදෙස් ලබාදිනි. එහි වැඩිදුරටත් දැක්වුනේ "තම භාර්යාවගෙන් මිදීමට, ඇයව ප්‍රසිද්ධ වෙළඳපලේ, ගෙලට පළඳින ලණුවකුත් සමඟ විකුණා දැමීම අශීලාචාර වැරැද්දක් බවත් එවැනි ක්‍රියාවන් කළ පුද්ගලයෙකුට මහේස්ත්‍රාත්වරයෙකු විසින් දැඩි දඬුවම් දිය යුතු බවත්ය". 1869දී මුලින්ම පළ කරන ලද බර්න් ගේ ජස්ටිස් ඔෆ් ද පීස් ඇන්ඩ් පැරිෂ් ඔෆිසර් (Justice of the Peace and Parish Officer) හි දැක්වෙන පරිදි, "ප්‍රසිද්ධියේ බිරිඳ විකිණීම හෝ මිලදී ගැනීම නඩු පැවරිය හැකි වරදකි. භාර්යාවන් විකිණීම හෝ මිලදී ගැනීම පිළිබඳව මෑත කාලයේදී විභාග වූ චෝදනා වලදී දෙපාර්ශවයම වරද පිළිගත් අතර ඔවුන්ට මාස 6ක සිරදඬුවම් නියම විනි".

භාර්යාව විකිණීමේ තවත් ක්‍රමයක් වූයේ ඔප්පුවක් මඟින් පැවරීමයි. මුලදී මෙම ක්‍රමය ඉතා අඩුවෙන් භාවිතා වුවද, 1850න් පසු භාර්යාව ප්‍රසිද්ධියේ විකිණීමට විරෝධය පළකරමින් ඇතිවූ මහජන මතයත් සමඟ මෙම ක්‍රමය බහුලව භාවිතා විය. කෙසේ නමුත් භාර්යාව විකිණීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුව ආණ්ඩුව තුළටද පැමිණ තිබිණි. 1881දී ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් විලියම් හාකෝට් (William Harcourt), ෂෙෆීල්ඩ් (Sheffield) හි පුද්ගලයෙක් භාර්යාව බීර නැළියකට විකිණීම පිළිබඳ සිද්ධියකදී පැවසුවේ, "එංගලන්තයේ කිසිම තැනක භාර්යාව විකිණීම නීත්‍යානුකූල බවට මතයක් නැත. එසේම එවැනි චාරිත්‍රයක්ද නැත" යනුවෙනි. නමුත් 1889දී ගැලවීමේ හමුදාවේ (Salvation Army) සමාජිකයෙක් තම භාර්යාව සිලිමකට නොටිංහැම්ෂයර් (Nottinghamshire) හි හක්නෝල් ටෝකාර්ඩ් (Hucknall Torkard) හිදී විකුණා ඇයව කණ්ඨපාශය සමඟ ගැණුම්කරුගේ නිවසට ගෙනයන ලදි. මෙය කණ්ඨපාශය යොදා ගැනීම පිළිබඳව වාර්තා වී ඇති අවසන් සිද්ධියයි. එංගලන්තයේ භාර්යාව විකිණීම පිළිබඳව අවසානයටම වාර්තා වී ඇති සිද්ධිය 1913දී, තම ස්වාමිපුරුෂයා තමාව ඔහුගේ වැඩපලේ මිතුරෙකුට £1කට (2011දී £70කට සමාන වේ) විකුණූ බවට, ලීඩ්ස් පොලිස් උසාවියේ සාක්ෂි දී තිබීමයි. මෙහිදී වෙළඳාම සිදුවූ ආකාරය වාර්තා වී නැත.

  1. ^ Vaessen, Rachel Anne (2006) (PDF), Humour, Halters and Humiliation: Wife Sale as Theatre and Self-divorce (thesis), ir.lib.sfu.ca, http://summit.sfu.ca/item/6318, ප්‍රතිෂ්ඨාපනය 18 December 2009