භයතුපට්ඨාන ඤාණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

බුදුදහමට අනුව වත් පිළිවෙත් පුරන්නකු තුළ පහළ වන විශේෂිත ඤාණ අතුරෙන් භයතුපට්ඨාන ඤාණය තුළින් චිත්ත අභ්‍යන්තරයේ පහළ වන අකුසල චේතනා, පාප ක්‍රියා බවට පරිවර්තනය වීම වළක්වයි.

පාප ක්‍රියා කිරීමට ලැජ්ජා හෝ බිය නැති නිසාම මිනිස්සු සිත, කය, වචනය යන තිදොරින් අකුසල් රැස් කර ගනිති. පව් කිරීමට ලැජ්ජා හෝ බිය නැති පුද්ගලයකු බවට පත්වන්නේ ධර්මතා පිළිබඳ ඔවුන්ගේ අනවබෝධය හා නොදන්නාකමයි. එවැනි අය බුදුරජාණන් වහන්සේ නම් කර ඇත්තේ බාලයන් ලෙස ය. මහාමංගල සූත්‍රයේ දී බාලයන් ඇසුරු කිරීමෙන් වළකන ලෙස 'අසේවනාච බාලානං' යනුවෙන් දේශනා කොට ඇත. ප්‍රාණඝාතය, හොරකම් කිරීම, වැරැදි කාම සේවනය, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන කීම, මිථ්‍යා දෘෂ්ඨි අභිධ්‍යා, ව්‍යාපාද යන දස අකුසල් කිරීමට යොමු වන්නේ භයතු පට්ඨාන ඤාණය නැතිවීම නිසා ය. දඬුවම් හා අපකීර්ති අවලාද ඇති වෙතැයි යන හැඟීමෙන් පව්කම් වලින් වැළකී සිටීමකි. එවැනි සිත් ඇති අය බොහෝ විට අන් අයට නොහැගෙන නොපෙනෙන පරිදි රහසින් හෝ පවුකම් වලට පෙළඹෙන අය බවට පත්වෙති.

භයතු පට්ඨාන ඤාණය පහළ වූවකු ගේ සිත තුළ අකුසල කර්ම සිදුකිරීමෙන් ඇති වන ඵලවිපාක ගැන මනා අවබෝධයක් ඇති නිසා, මෙලොව පරලොව වශයෙන් අත්විඳින්නට වන භයානක ප්‍රතිඵල කිසිම සැකයකින් තොරව දන්නා නිසාත්, එසේම විශ්වාස කරන නිසාත් පව් කිරීමට බිය වෙයි. ගිනි පෙල්ලෙන් බැට කෑ අයකුට ඒ නිසා ඇති වන වේදනාව අත්දැකීමෙන් දන්නා නිසා කණා මැදිරි එළියටත් බිය වන්නාක් මෙන් පව් කළොත් ලැබෙන ප්‍රතිඵල ගැන සැක හැර දන්නා භයතු පට්ඨාන ඥාණයෙන් යුක්ත වූවෝ සුළු වෙන් හෝ පවක් කිරීමට බිය වෙති.

භයතු පට්ඨාන ඤාණයෙන් යුක්ත පුද්ගලයා ජාති, ජරා, මරණ ආදී ඝෝර භව දුක් ගැන ඇති අවබෝධය හේතුවෙන් සතර අපාය, ප්‍රේත යෝනිය, තිරිසන් අපාය ආදී දුගති වල ඉපදී දුක් විඳීමට හේතු වන පාපා කර්ම කිසිම හේතුවක් නිසා කිරීමට බිය වෙයි. නව විධ විදර්ශනා ඤාණ අතරත් දසවිධ විදර්ශනා ඤාණ අතරත් භයතු පට්ඨාන ඤාණය ඇතුළත්ව ඇත. ඉන් අදහස් වන්නේ විදර්ශනා නුවණින්ම භයතු පට්ඨාන ඤාණය වඩවා ගත යුත්තක් බවයි.

සසරේ ඇති බියකරු ස්වභාවය නොදන්නා නිසා බොහෝ අය කිසිම ලජ්ජාවක් බියක් නැතිව පාප කර්ම කරති. සිත, කය, වචනය යන තිදොරින් කරන පාප කර්මවලට අනුව මෙලොව පරලොව වශයෙන් සිදුවන හානිය ගැන හොද වැටහීමක් ඇතිවන්නේ භයතුපට්ඨාන ඤාණය තුළිනි.

හොර බොරු වංචා කපටිකම් කර මෙලොව වශයෙන් විශාල දියුණුවක් ලබා සැප සම්පත් භුක්ති වින්දත් එම සැප සම්පත් දැහැමින් උත්සාහයෙන් වීර්යයෙන් ලබා ගත් දේ නොවන බව එවන් කොනකුගේ යටි සිත දකියි. ඒ නිසා මෙලොව වශයෙන් බාහිර ලෝකයට පෙන්වන ලොකුකම් හයිය, ඔවුන්ගේ අධ්‍යාත්මය තුළ ඇති වී නැති බැවින් තමා කළ පව්කම් යටිසිතින් කොඳුර කොඳුර මතකයට නැගෙන මොහොතක් මොහොතක් පාසා පසුතැවිල්ලෙන් පෙළෙන අයෙකු බවට පත්වෙයි.

මෙම ස්වභාවය ටිකෙන් ටික ශරීරය දුර්වල වෙමින් මහලු වන විට වැඩි වැඩියෙන් දැනෙන්නට වෙයි. මරණාසන්න මොහොත වන විට කර්මයක් හෝ කර්ම නිමිත්තක් වශයෙන් මෙම සිත් නිතර නිතර පහළවීම හේතුකොට ගෙන මානසික තත්ත්වය බෙහෙවින් දුර්වල වීම මෙන්ම අපිරිසුදු වීම ද සිදුවෙයි. මරණාසන්න මොහොත වන විට කර්ම හෝ කර්ම නිමිති වශයෙන් මෙම සිත් නිතර නිතර පහළ වෙයි. එබැවින් බොහෝ විට අවසාන වශයෙන් පහළ වන භවාංග සිත මෙන්ම චුති සිත බවට එවැන්නක් පත්වුවහොත් මරණින් පසු පේ‍්‍රත ලෝක, තිරිසන් අපාය වැනි දුගති යන පුනර්භවයක් ලැබෙයි.

මෙම දුගතිගාමි භව චක්‍රය ගැන කිසිම සැකයකින් තොරව දැනීමක් ඇති වන්නේත්, විශශ්වාසයක් පිළිගැනීමක් ඇති වන්නේත් භයතු පට්ඨාන ඤාණය නමැති විදසුන් නුවණ මුහුකුරා ඇති තරමට ය. එබැවින් එවැනි නුවණක් ඇති අය මොනම හේතුවක් නිසා හෝ පාප ක්‍රියාවලට පෙළඹෙන හෝ අනුබල දෙන පුද්ගලයෝ නොවෙති.

ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධයෝ ධර්මය කෙරෙහි සැක නොඋපදවා අකුසල විපාක විශ්වාස කරමින් තම ජීවිත තුළට සැනසීම උදා කර ගත්හ. අතීතයේ විසූ මුතුන්මිත්තෝ මේ සඳහා බෝහෝ විට පන්සිය පනස් ජාතක පොතේ කතා ආදර්ශයක් කර ගත්තා සේ පේ‍්‍රතවත්ථු, විමානවත්ථු කතා ද ථෙර ථෙරී අපදානද ඒවායින් කියැවෙන කර්ම විපාකද විශ්වාස කළහ. එම කතා සිය දරු මුණුපුරන්ට ඉගැන්වූහ.

අද කුඩා දරුවන්ට කතා කියාදීමේ සම්ප්‍රදාය බොහෝ නිවෙස් තුළ දකින්නට නැති අතර, ඒ වෙනුවට රූපවාහිනි වැනල් මගින් විකාශනය කරන කාටුන් චිත්‍රපට බැලීමට යොමුව ඇත. එමගින් දරවන්ට තාවකාලික විනෝද ආශ්වාසයක් මිස පව් පින් හෝ අපාය දිව්‍ය ලෝක, බ්‍ර‍්‍රහ්ම ලෝක ගැන හැඟීම් සිත් තුලට ඇතුළු වන්නේ නැත. යම්කිසි කථාන්තරයක් දරුවකු අසා සිටින විට එම කතාවට අදාල චිත්ත රූප ඒ ඒ අයගේ දැනීමට අනුව සිත තුළ මැවෙයි. එය අසා සිටින දරුවාගේ නිර්මාණාත්මක දැනීම සංවර්ධනය වීමට ද එය හේතු වෙයි. විශ්ව සාහිත්‍ය කෘති පවා පසුව බිහිවන්නේ එසේ ඔවුන් තුළ ඇතිවන දැනීම් හා හැඟීම් නිසා ය. මෙකල බහුතරයක් වැඩි හිටියන් තුළ පවා සතර අපාය, පේ‍්‍රත ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන සැක සංකා මිස විශ්වාසයක් නැත. මේ නිසා වැඩි දෙනෙකු තුළ ඤාණයක් වශයෙන් භයතු පට්ඨාන ඤාණය වැඩෙන්නේ නැත. කිසියම් විෂයයක් පිළිබඳ දැනීමක් හේතුකව ඇති වන්නේ නැත. ඒ සඳහා දැන ඉගෙන ගෙන, එසේ ඉගෙන ගත් දේ පිළිබඳ සොයා විමසා බැලීමක් අවශ්‍ය ය. එසේ නම් භයතු පට්ඨාන ඤාණය පහළ වීමටත් බුදු දහම අනුව ධර්මතා ගැන දැන ඉගෙන ගෙන, ඒ ගැන විමසා බලා ධර්මය අවබෝධ කර ගැනීම අවශ්‍ය ය. එසේ සත්‍යාවබෝධය ලැබෙන විට සංසාර ගමනේදී ඒ ඒ ඝෝර භව තුළ දී අත්විඳින්නට සිදුවන අප්‍රමාණ වූ භයානක දුක්කම්කටොලු පිළිබඳ ඇතිවන දැකීම නිසා භයතු පට්ඨාන ඤාණය උපදියි.

එයම පුද්ගලයා පාපයෙන් වැළැක්වීමට හේතු වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=භයතුපට්ඨාන_ඤාණය&oldid=340517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි