බුද්ධ ප්‍රතිමා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ආරම්භය[සංස්කරණය]

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පැවති බවට සාධක දක්නට නොමැති වූවත් වන්දනාමාන කිරීම සඳහා බෝධීන් වහන්සේත් චෛත්‍යයත් තිබුණි. සක්විත බුදු පසේ බුදු මහරහත් ආදී උතුමන් සඳහා ද දාගැබ් කර වැඳුම් පිඳුම් කිරීම සුදුසු බව මහා පරිනිබ්බාන සූත්‍රයේ ද සඳහන් වෙයි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා නෙලීම අපහසු කාර්යයක් බවත් එසේ පිළිම නෙලීම උන්වහන්සේට කරනු ලබන අගෞරවයක් බවත් එකල නිර්මාණ ශිල්පීහු විශ්වාස කළහ. නමුත් බුද්ධ ප්‍රතිමාව ගැන සඳහනක් ගන්ධාර දේශයෙන් වාර්තා වෙයි.

ඒ කණිෂ්ක රජ දවසය. ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස එතුමා විසින් නිකුත් කරන ලද කාසියක එම බුදුරුව දක්නට ලැබෙයි. එහි වම් පස ඕඋච්ච්ර්‍ණ යන වචනය සඳහන් හෙයින් එය බුදුන් වහන්සේගේ ම රූපය යැයි අපට විශ්වාස කළ හැකිය. කුෂාණ වංශයට අයත් කණිෂ්ක රජතුමා මහායාන බුදුදහමට අනුග්‍රහය දැක්වූ අයෙකි. ඒ අනුව මහායානිකයෝ බුදුරුව නිර්මාණය කිරීමේ ආරම්භකයෝ වූහ.

එහෙත් ඊට සියවස් ගණනකට පෙර ලංකාවේ රජකළ දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි දාගැබ වැඳ වැඩ සිටින ඉරියව්වෙන් බුදුරුවක් සත් රුවනින් කළ බව මහාවංසයේ සඳහන් වෙයි. නමුත් මෙහි සත්‍යතාව පරීක්‍ෂාකර බැලීමට ක්‍රමයක් නැත. මහායානය පිළිගත් වළගම්බා රජ දවස අභයගිරි වාසීන් බුදුරජාණන් වහන්සේ මිනිස් රුවින් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නට ඇතැයි ද කල්පනා කිරීමට පුළුවන.

ඒ අනුව කණිෂ්ක රජ සමයට පෙර ලාංකිකයන් බුද්ධ ප්‍රතිමා නෙළීමට පුරුදුව සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

අනුරපුර යුගයට අයත් ශෛලමය හා ලෝහමය බුද්ධ ප්‍රතිමා රාශියක් හමු වී ඇති නමුත් ඒවායේ කාල නිර්ණය කිරීමට ද සාක්‍ෂි නැත. ලංකාවේ මූර්ති ශිල්පීහු කළුගල්, මැටි, බදාම, ලෝහ කිරිගරුඬ ඇත් දත් සහ දැව යන මාධ්‍යයන් ගෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළහ. බුද්ධ ප්‍රතිමා ඇතුළත් පිළිම තැනීම පිළිබඳ උපදෙස් ‘සාරි පුත්‍රය’ නමැති ග්‍රන්ථයේ සඳහන් වෙයි.

මේ හැම බුද්ධ ප්‍රතිමාවකම දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණය වන්නේ යම් කිසි මුද්‍රාවත් නිරූපණය කර තිබීමයි.


මුද්‍රා[සංස්කරණය]

ධ්‍යාන, අභය, භූමිස්පර්ශ ඊට උදාහරණය.

1.හිටි පිළිම – මහ ඉලුප්පල්ලම, අවුකන, වේරගල, මාලිගාවෙල. 2. වැඩ හිඳි පිළිම – මහ මෙවුනාව, ගල් විහාරය 3. ඔත් පිළිම – තන්තිරිමලේ ගල් විහාරය මේ ආදී වශයෙන් ද බුද්ධ ප්‍රතිමා වහන්සේ වර්ග කීපයකට අනුව නෙළා ඇත.


හිටි පිළිම[සංස්කරණය]

මහඉලුප්පල්ලම -
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඉරියව්වෙන් නෙළා ඇති ප්‍රතිමා හිටි පිළිම නමින් හැඳින්වෙයි. දැනට ලක්දිව හමු වී ඇති පැරැණිම හිටි ප්‍රතිමාව වශයෙන් සැලකෙන්නේ මහ ඉලුප්පල්ලමෙන් ලැබී තිබෙන ප්‍රතිමාවයි. මෙය අනුරාධපුර යුගයට අයත් ය. අමරාවතී සම්ප්‍රදායට අයත් එම බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දියාවේ කිරිගරුඬ විශේෂයකින් නෙළන ලද්දකි.

මේ නිසා එය ඉන්දියාවෙන් මෙරටට ගෙනෙන ලද්දකැයි විශ්වාස කෙරේ. දකුණු අත්ල ඉදිරියට පෙනෙන සේ නෙළා ඇති එම බුද්ධ ප්‍රතිමාවේ අභය මුද්‍රාව නිරූපණය වෙයි.එම ප්‍රතිමාවේ වැලමිටෙන් ඉහළට එසවුන අග්‍ර බාහුවෙන් පාදයේ ඇස්වටය දක්වා පහළට එල්ලෙන සිවුරු පොට දරා සිටී. වම් අතේ ඇඟිලි තුඩුවලින් සිවුර ස්පර්ශ කරන බවක් දක්වා ඇත. සිවුර ඒකාංශව පොරවා ඇත. සිවුරේ රැළි පැහැදිලිව පෙන්වයි. ඊට සමාන ප්‍රතිමා රුවන්වැලි දාගැබ් මළුවේ පිළිමගෙයින් හමුවී තිබේ. ඒවාද ඉන්දියාවේ ආනන්දා ප්‍රදේශයෙන් මෙහි ගෙනෙන ලද ඒවායයි සැලකේ.


මාලිගාවෙල පිළිමය
බුත්තල මාලිගාවෙල විහාර මන්දිරයක කඩා වැටී බිඳී ගොස් ඇත. එම ප්‍රතිමාවද හිටි පිළිමයකි. පිළිමය අඩි 31 ක් පමණ උසය. උරහිස් අඩි දහයක් පමණ පළලය.

මුහුණ සාමාන්‍යයෙන් හතරැස් හැඩයක් ගනී. එම ප්‍රතිමාවද මහායානිකයන්ගේ නිර්මාණයක් ලෙස පිළි ගැනේ. බාහිර ආධාරකයක් නොමැතිව නෙළා ඇති මෙය අනාබද්ධ පිළිමයකට උදාහරණයකි.

අග්ගබෝධි කුමාරයා විසින් ක්‍රි.ව. 600 දී පමණ කාණගාමයේ කරවන ලද ප්‍රතිමාව මෙය යැයි විශ්වාස කරයි. සඳ එළියට දිලිසෙන චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිර්මිතය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් මෙය පෙර පැවති ආකාරයට සකස් කරන ලදී.

බුදුරුවගල පිළිමය
වැල්ලවායේ බුදුරුවගල පර්වත මූණතේ අඩක් මතුවන සේ නෙළා ඇත. අඩි 50 ක් පමණ උසය. සිවුරේ රැළි හුණු බදාමයෙන් කර තිබේ. මුහුණ අනෙක් පිළිමවලට වෙනස් ය. පිළිමය දෙපස අවලෝකිතේශ්වර සහ චඤ්ජු ශ්‍රී යන මහායාන බෝසත් රූප ද නෙළා ඇත.


අවුකන හිටි පිළිමය
මෙය කලාවැව සමීපයේ ඇති හුදකලා පර්වතයක නෙළා ඇත. ක්‍රි.ව 456 – 413 කාලයේ දී ධාතුසේන රජතුමා විසින් කාලසෙල (කලාගල) නමැති ස්ථානයේ කරවන ලද පිළිමය මෙයයි. පාද පීඨයක් සමඟ මෙහි උස අඩි 42 කි. අමරාවතී සම්ප්‍රදායට අයත්ය.

බුදුරජාණන් වහන්සේගේ දශ බලධාරී ගුණය මෙයින් නිරූපණය වෙයි. මුහුණෙහි කිසිඳු හැඟීමක් පළ නොවෙයි.

ඉන් ප්‍රඥා ගුණ මහිමය මතු වී පෙනෙයි. දෙසවන් ලම්බාකාරය. හිස මත දැක්වෙන සිරස් පත පසු කාලයේ දී එකතු කරන ලද්දකි. සිරස් පත යම්තමින් මතුවන සේ දක්වා ඇත. හිසෙහි කෙස් ගැටි දකුණට කැරකුණු ආකාරයෙන් පෙන්වයි. දකුණු අත වැලමිට ළඟින් නැවී උරහිස් මට්ටමට එසවී ඇත.

සුළැඟිලි පැත්ත ඉදිරියට පෙනෙන සේ අත්ල දිගහැර ඇඟිලි ඉහළට යොමු වී තිබේ. අභය මුද්‍රාව හෝ ආශිර්වාද මුද්‍රාව දැක්වෙන බව කියැවේ. වම් අතද වැලමිට ළඟින් නැමී උරහිස් මට්ටම තෙක් එසවී තිබේ. එහි පිටි අත්ල ඉදිරිපසට යොමු වී ඇත. එය උරහිස පැත්තට යොමුය. අත්ල හා ඇඟිලි අඩක් නැමී ඇත. මින් කර්කටක මුද්‍රාව නිරූපණය වෙයි. උරමඩල විවෘත වන සේ වම් අතද වැසී යන ආකාරයට සිවුර පොරවා ඇත. සිවුර වමතින් දරා ඇත. එය රැළි සහිතය. රැළි සමාන්තරය. අඳන වාටිය දක්වා සිවුර විහිදේ. සිවුරේ රැළි වම් උරහිස සමීපයේ දී සිහින්ව ඇත. දෙපතුල් උසය. පද්මාසනයක් මත දෙපතුල් පිහිටුවා තිබීමද අලංකාරය.

ගල්විහාරයේ හිටි පිළිමය
උතතරා රාමයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ හිස දෙසින් නෙළා ඇති මෙම ප්‍රතිමාව අඩි 22 ක් පමණ උසය. ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් මෙය කරවන ලදී. මෙය අනුරාධපුර යුගයේ හිටි පිළිමවලට වඩා වෙනස් ය. මෙම ප්‍රතිමාවෙන් පාරදුක්ඛ දුක්ඛිත භාවය අනුන්ගේ දුකෙහි දී කරුණාව දැක්වීම පෙන්නුම් කරන බව පරණවිතාන ශූරීන්ගේ මතයයි. පපුවේ බැඳගත් දෑතින් යුතුව සිටින මෙම පිළීමය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ දී ශෝකයට පත් අනද හිමියන් ගේ යැයි සමහරු පිළිගනිති. ශෛලමය පද්මාසනයක් මත වැඩ හිඳින මෙම ප්‍රතිමාවේ වකුටු හිසකේ නිරූපණය කර ඇත. කන් එල්ලෙන සුළු ය. මේ නිසා මෙය වෙනත් මුද්‍රාවක බුද්ධ ප්‍රතිමාවක් ලෙස පිළිගැනේ. මෙහි මුහුණ පළල් ය. නළල පටු ය. නැහැය දිගය. සිවුර ඒකාංශව පොරවා ඇත. සිවුරේ රැළි සමාන්තරය. රැළි රේඛා දෙකකින් බරය. වම් පාදයේ දණහිස මදක් ඉදිරියට නැවී ඇත. මීට සමාන සාමාන්‍ය ප්‍රතිමා දෙකක් තිස්සමහාරාමයේ යටාල විහාරයෙත්, දඹුලු විහාරයේත් තිබේ.


ලෝහමය පිළිම අනුරාධපුරයේ වෙහෙර ගල විහාරස්ථානයෙන් රන් ආලේප කරන ලද අඟල් 26 ක් උස හිටිපිළිමයක් හමු වී තිබේ. ඒහා සමාන අඟල් 19 ක් උස හිටි පිළිමයක් කුරුණෑගලින් ද සොයා ගෙන තිබේ. මේවා මීට පෙර දක්නට ලැබුණ හිටි පිළිම හා සමානය. අංග ලක්‍ෂණ සිවුරු ලක්‍ෂණ සමානය. දකුණු අත්ල තරමක් ඉදිරියට දක්වා ඇත. එය මදක් හකුළුවා ගෙන තිබේ. අභය මුද්‍රාව හෝ වරද මුද්‍රාව නිරූපණය වෙයි. මෙම කුඩා ලෝහමය පිළිබඳ අලංකාරය.


වැඩ හිඳී පිළිම[සංස්කරණය]

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව I
එම බුද්ධ ප්‍රතිමාව දේවානම්පියතිස්ස රජතුමා විසින් ථූපාරාමයේ කරවන ලද පිළිමය යැයි සැලකේ. එය ක්‍රි.ව. 263 – 273 කාලයේ දී දෙටුතිස් රජතුමා විසින් නුවර වැව අසල ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයට ගෙන එන ලදී. එයින් පසු කි.ව.274 – 301 කාලයේ දී මහසෙන් රජතුමා විසින් අභය ගිරි විහාරයට ගෙන එන ලදී. මේ මහා වංශයේ දක්වන ලද කරුණු ය. සමාධි බුද්ධ ප්‍රතිමාවේ සිවුර සිරුරට ඇලී ඇත.

දකුණු උරහිස විවෘතය. සිවුර ඒකාංශව පොරවා සිටී. සිවුරේ සීමාව පපුව හරහා ඇදී සියුම් රේඛා තුනකින් දක්වා තිබේ. දෙපා නමාගෙන වම් පස මත දකුණු පය තබාගෙන සිටී. වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන ඉතා ලිහිල් ඉරියව්වෙන් සමාධි සුවයෙන් වැඩ හිඳිනා ආකාරයෙන් මේ ප්‍රතිමාව නෙළා තිබේ. වැඩහිඳිනා ඉරියව්ව විරාසනයයි. දෙ අතේ පිහිටීම සමාධි මුද්‍රාවයි. සමාධි පිළිමයේ කෙහෙ ගැට අලංකාරය ලඹ සවන් නළල, දෙබැම, නෙත් දෙතොල්, දෙ අත්, දෙපා යන අඟපසඟ එක් අරමුණක් කරා යොමුව ඇත. මේ සමාධි සුවයයි. මහමෙවුනාවේ සමාධි පිළිමය මථුරා පිළිම සම්ප්‍රදායට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි.


තොලුවිල පිළිමය
මෙම බුද්ධ ප්‍රතිමාව අනුරාධපුරයේ අභයගිරි පෙදෙසේ තොලුවිල ප්‍රතිමා මන්දිරයක තිබී සොයා ගෙන ඇත. එය අඩි 5 අඟල් 9 ක් උසය.එය දැනට කොළඹ කෞතුකාගාරයට පිවිසෙන ස්ථානයේ දී දක්නට පුළුවන. සමාධි පිළිමයේ වීරාසනය ද සමාධි මුද්‍රාවද මෙහි දක්වා තිබේ. සිවුර ද සමාධි පිළිමයේ මෙනි. මනා පිරිපුන් සිරුර බුදුරජාණන් වහන්සේගේ දසබලධාරී ගුණය පිළිඹිබු කරයි. මුහුණ රවුම් ය. ඉන් කරුණාව සහ ප්‍රඥාව විදහා දැක්වෙයි. අඩවන් දෙනෙතින් නුදුර බලා සිටින ආකාරයෙන් නෙළා ඇති මෙම පිළිමයෙන් බුදුරජාණන් වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව මැනවින් පැහැදිලිව පෙනෙයි.


ගල් විහාරයේ වැඩහිඳිනා පිළිම
මෙහි වැඩහිඳිනා පිළිම දෙකකි. එයින් විශාල පිළිමය අඩි 15 කි. කුඩා පිළිමය විජ්ජාධර ගුහාවේ ඇත. මෙම පිළිම දෙකෙහිම ධ්‍යාන මුද්‍රාව සහ වීරාසනය පිළිබිඹු වෙයි. පැතලි මුහුණ පටු නළල, දික් නැහැය ගල් විහාරයේ තිබෙන හිටි පිළිම හා සමානය. සමාන්තර රේඛා දෙකකින් සිවුරු රැළි දක්වා ඇත. පිළිම වැඩ හිඳිනා ආසන කැටයම් වලින් අලංකාර ය. ලොකු පිළිමයේ හිස වටා කැටයම් කළ රැස් වළලල්කි. ඊට ඉහළින් කුඩා විමාන පහකි. ඒවායේ කුඩා බුද්ධ රූප පහ බැඟින් වෙයි. මෙම බුද්ධ රූප මහායානයේ ධ්‍යානි පස් බුදුවරුන් යැයි සැලකේ. විජ්ජාධාර ගුහාවේ වැඩහිඳි පිළිමය භාව ප්‍රකාශන ශක්තියෙන් යුක්තය. එය ගලින් නෙළන ලද ඡත්‍රයක් යට ඇත. සිංහ රූප දෙකකි. දොරටුපාල රූප දෙකකි. දොරටුපාල රූප ආභරණවලින් සරසා ඇත. පොළොන්නරුවේ වටදාගෙයි බුදු පිළිම හතරකි. ඒවායේ හිසකෙස් හිසට ඇලී ඇත. ඒවා හිස් පළඳනා ආකාරයෙන් දක්වා තිබේ. අනුරාපුර මුල් යුගයේ පිළිමවල මෙන් මේවායේ සිවුරු ඇඟට ඇලී ඇත. රැළි සහිතය.

ඔත් පිළිම[සංස්කරණය]

බුදුරජාණන් වහන්සේ සැතපෙන ඉරියව්වෙන් නිමවා ඇති පිළිම ඔත්පිළිම වහන්සේ ය. අනුරාධපුර යුගයේ අග භාගයට අයත් සැතපෙන පිළිම දෙකකි. ඒ ඇලහැර සැතපෙන පිළිමය හා තන්තිරිමලේ සැතපෙන පිළිමයයි. මේවා ද ගලින් නෙළා ඇති විශාල පිළිමය.


ගල් විහාරයේ ඔත් පිළිමය.
ක්‍රි.ව. 1153 – 1186 පොළොන්නරුවේ රජකළ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලදී. මෙය විශාල ඔත් පිළිමයයි. උක්තරාරාමයේ ඇති මෙම පිළිමය අඩි 46 කි. පිළිමයේ මුහුණින්, අලෞකික ස්වභාවය සහ මහා කරුණාව පිළිබිඹු වෙයි. පිළිමයේ නළල පටු ය. සිවුරේ රැළි සමාන්තර රේඛා දෙකකින් දක්වා ඇත. සිරස රැඳි කොට්ටය මොළොක් ය. පහළට එබී තිබෙන ආකාරයෙන් ඒ බව පැහැදිලි ය. කැලණි විහාරය, මහනුවර යුගයේ ලෙන් විහාර දඹුල්ලේ දෙවිරජ විහාරය සහ දෙගල්දොරුව විහාරයේත් ඔත් පිළිම දක්නට ඇත

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධ_ප්‍රතිමා&oldid=324327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි