Jump to content

බිම්මල් වගාව

විකිපීඩියා වෙතින්

බිමිමල් යනු කුමක්දැයි හඳුනා ගනිමු.

[සංස්කරණය]

බිම්මල් වශයෙන් හැඳින්වෙන්නේ දිලීර විශේෂයකි. ඒ අනුව බිම්මල් දිලීරමය ආහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙවැනි දිලීර වගර්‍ අප්‍රාණික ශාක හෘ සත්ව කොටස් මත ජීවත්වේ. එමනිසා මෙවැනි දිලීර මෘතෝප ජීවීන් වශයෙන් හැඳින්වේ. මේ අනුව අප විසින් ආහාරයට ගනු ලබන විවිධ බිම්මල් වර්‍ග මෘතෝප ජීවී කාණ්ඩයට අයත් මිනිසාට ප්‍රයෝජනවත් දිලීර වල හටගන්නා විශේෂිත කොටස් ලෙස සැලකිය හැක. ඈත අතීතයේ සිටම ස්වහාවිකව හට ගත් බිම්මල් මිනිසා ආහාරයට ගෙන තිබේ. නමුත් දැනට වසර කිහිපයකට පෙර සිට ආහාරයට නිරතුරුවම බිම්මල් යොදාගැනීම කෙරෙහි අප සමාජය තුළ පවතින උනන්දූව ක්‍රමයෙන් වැඩිවෙත්ම බිම්මල් වගාව සඳහා යොමුවීමක් දක්නට ලැබේ. දිලීරයන්හි පවතින ලක්ෂණ අනුව විද්‍යාත්මකව දිලීර වර්ගීකරණය කර තිබේ. ඒ අනුව ආහාරයට ගනු ලබන බිම්මල් අයත් වන්නේ බැසීඩියොමයිටීස් කාණ්ඩයටය. මෙම බැසීඩියොමයිටීස් කාණ්ඩයට අයත් වන දිලීර අතුරින් ආහාරයට ගන්නා බිම්මල් අයත් වන්නේ ඇගාරිකාලේස් ගණයටය. මෙම ගණයට අයත් වන බිම්මල්ද නැවත මාංසල හා මාංසල නොවන යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. මාංසල කොටසට අයත් වන සමහර බිම්මල් වර්ග පමණකි ආහාරය සඳහා සුදුසු වන්නේ.

ගොනුව:Mushroom Life Circle.jpg

බිම්මල් කෘත්‍රිමව වගා කිරීමේදී සිදූකරනු ලබන්නේ මෙහි (7) වන හා (1) වන අවස්ථා පමණක් මාරුවෙන් මාරුවට පවත්වා ගැනීමයි. මෙය වර්ධක ප්‍රජනන ක්‍රියාවලියකි.


ප්‍රධාන වශයෙන් වගා කරන බිම්මල් වර්ග (Plearotus Ostreasas).

  • මුතුබෙලි බිම්මල්
    • ඇමරිකන් වර්ගය.
    • භූතාන් වර්ගය.
  • පිදුරු බිම්මල් (Volveriella Volvaceae).

සුළු වශයෙන් වගා කරනු ලබන බිම්මල් වර්ග.

  • ඇබලෝනි බිම්මල් (Pleorotus Oystidiosus).

ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම වගාකරන වඩාත් ජනප්‍රියම බිම්මල් වර්ගය වන්නේ මුතුබෙලි බිම්මල්ය. නමුත් ලෝකයේ වඩාත් බහුල වශයෙන් වගා කරනු ලබන්නේ බොත්තම් බිම්මල්ය.

බිම්මල් වගාවේ මූලික අවශ්‍යතාවයන්.

[සංස්කරණය]
  • පියන සහිත පිරිසිදු ග්‍රීස් බැරලයක්.

මෙය අවශ්‍ය වන්නේ ලී කුඩු මළු හුමාලයෙන් තම්බා ගැනීම සඳහාය.‍

  • තෙතමනය හා අඩු උෂ්ණත්වයක් රදා පවත්වා ගත හැකි ස්ථානයක්.

‍මෙ සඳහා මඩුවක් සකස් කර ගත හැකිය. එය කොටස් දෙකකින් යුක්ත වන ආකාරයට සකසා ගත යුතුය. එය භාවිතා කරන්නේ දිලීර වර්ධනය වන තෙක් පොලිතීන් මළු ගබඩා කර තබා ගැනීමටය. මෙය බීජෞෂණ කුටිය (Incubation Room) ලෙස හැඳින්වේ. අනෙක් කොටස විශාලත්වයෙන් වැඩි විය යුතු වන අතර මනා ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිදි සකසා ගත යුතුය. අස්වනු නෙළීම සිදු කරන දිලීර අඩංගු බඳුන් මෙතුළ තැම්පත් කරනු ලැබේ. මෙය හඳුන්වනුලබන්නේ නෙලන කුටිය (Cropping Room) යනුවෙන්ය. මඩුවේ වහලය සඳහා පොල් අතු යොදාගත හැකි අතර එහි බිත්ති පොළවේ සිට අඩි 3-4 ක් පමණ උසක් දක්වා ගඩොලින් හෝ පොල් අතු වලින් අහුරා ගත හැකිය. වහලය දක්වා වූ අනෙක් කොටස දැල් වලින් හෝ ගෝනි වලින් අහුරා ගත හැකිය. එසේ සකස් කර ගනු ලබන්නේ තෙතමනය හා ආලෝකය නිසි පරිදි පාලනය කර ගැනීම සඳහාය. මඩුව තුළ පොළව මතුපිටට අඟල් දෙකක් පමණ ඝනකමින් යුත් පිරිසිදු වැලි තට්ටුවක් අතුරා ගත යුතුය. මේ සඳහා උණ ලී හෝ වෙනත් ලී පටි යොදා ගත හැකය. මෙම රාක්ක අතර පහසුවෙන් ගමන් කිරීමට හැකි පරිදි සකස් කර ගත යුතුය.

  • නිරෝගී සරු බිම්මල් බීජ සපයා ගැනීම.

මෙම බීජ සපයා ගැනීම සඳහා පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි කෘෂි කර්ම දෙපාර්තුමේන්තුවේ පිහිටි බීජ මධ්‍යස්ථානයෙන් හෝ රත්මලානේ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකිය. බිම්මල් වගාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ උසස් ගුණාත්මකභාවයෙන් යුත් බීජ පැකට් තෝරාගැනීම තුළින්ය. උසස් ගුණාත්මයෙන් යුත් මුතුබෙලි බිම්මල් බීජ පැකට් තුළ ඒකාකාර සුදු පැහැයකින් යුතුව දිලීර වර්ධනය වී ඇති ආකාරයක් දැකගත හැකිය. බිම්මල් බීජ ගබඩා කිරීමේදී එය උණුසුම් නොමැති කාමරයක පිරිසිදු මේසයක් මත සති දෙකක් පමණ කාලයක් තබා ගත හැකිය. මුතුබෙලි බිම්මල් බීජ නම් ශිතකරණයක පහළ කොටසෙහි සති හයක් පමණ කාලයක් ගබඩා කොට තබා ගත හැකිය.

මුතුබෙලි බිම්මල් වගාව

[සංස්කරණය]

මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වගා කළ හැකිය. එනම් පොලිප්‍රොපිලීන් බඳුන් වල ලී කුඩු මත වගා කිරීම හා තැටි තුළ ඇති පිදුරු මත වගා කිරීමයි. මෙහිදී විස්තර කරනු ලබන්නේ මුතුබෙලි බිම්මල් වගාව සඳහා පහසු මෙන්ම අවම වියදම් දැරිය හැකි ක්‍රමය වන පොලිප්‍රොපිලීන් බඳුන් වල ලී කුඩු මත වගා කිරීමයි.

  • ලී කුඩු මළු පිළියෙළ කිරීම සඳහා මිශ්‍රණය සකස් කර ගැනීම.
    • මාධ්‍ය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය.
    • සැහැල්ලු ලී කුඩු 100Kg.
    • මෝල් වලින් ඉවත දමන සහල් නිවුඩු (කුඩු) 10Kg.
    • සෝයා පිටි හෝ මුං පිටි 500g.
    • කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට් 2Kg.
    • මැග්නීසියම් සල්පේට් 200g
    • ජලය අවශ්‍ය පමණ
    • බෑගය සකස් කිරීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය
    • සෙලෝ පොලිතීන් 7' x 13' මළු (ගේජ් 150 පොලිප්‍රොපිලීන් පොලිතීන් )
    • P. V. C මුදු (විශ්කම්භය අඟලක් සහ උස අඟල් 1/2 ක් පමණ )
    • රබර් බෑන්ඩ්, පුළුන් හෘ අඟල් 4 x 4 ප්‍රමාණයේ කඩදාසි කැබලි.

1 පියවර

[සංස්කරණය]
  • මිශ්‍රණය සකස් කරගැනීම
    ගොනුව:B.mal.jpg
    මිශ්‍රණය සකස් කිරීම

පිරිසිදු පොළොවක් මත හෝ ඉටිරෙද්දක් මත ලී කුඩු දමා ඒ සමග සහල් නිවුඩු කැල්සියම් කාබනේට් සහ සෝයා පිටි හෝ මුං පිටි මිශ්‍ර කරගන්න.ඉන් පසු මැග්නීසියම් සල්පේට් ජලයේ දියකර ඉහත මිශ්‍රණය සමග හොඳින් කළවම් කරගන්න. මෙම මිශ්‍රණයෙන් මිටක් අතට ගෙන එය හොඳින් මිරිකන්න.එවිට ඇඟිලි අතරින් වතුර නොවෑස්සෙන සේ තිබිය යුතුය.එසේම ඇගිලි ලිහිල් කළ විට ලී කුඩු මිශ්‍ර ගුලිය නොකැඩෙන තත්වයෙන් තිබිය යුතුය.මිශ්‍රණය අවශ්‍ය පදමට එන තුරු ජලය යන්තමින් එක්කරමින් මිශ්‍ර කරන්නට මතකතබා ගත යුතුය. මින් පසු කලින් සකස්කර ගත් අඟල් 13 ක් උස අඟල් 7 ක් පළල සෙලෝ පොලිතීන් වලට මිශ්‍රණය ටිකින් ටික දමමින් අතින් තද කරමින් පිරවිය යුතුය.මිශ්‍රණය තද කිරීම සඳහා අඩිය වක්‍රාකිර බෝතලයක් උපයෝගී කරගත හැක.බෑගයෙන් 3/4 ක් පමණ වැසෙන සේ මිශ්‍රණය පුරවා ගත යුතුය.පසුව පොලිතීන් බෑගයේ කට අ‍තේ මිටට එකතුකොට ගෙන පි.වී.සී මුදුව ඒ තුළින් යවන්න.මෙය හොදට තබා තදකර පුළුන් ඇබය ගැසිය යුතුය.පී.වී.සී මුදුව බෑගයේ කටට ඇතුලු කළපසු බෑගයේ කට විහිදුවා පුළුන් වලින් සාදාගත් ඇබය පී.වී.සී මුදුචට හොඳින් තදවන සේ ගසන්න.මීලඟට බෑගයේ කට පුළුන් ඇබය වටේට පිට පැත්තට නවා පුළුන් ඇබය පත්තර කැබැල්ලකින් හොදින් වසා එය වටේට රබර් පටිය හොඳින් හිරවන සේ පටලවන්න.

2 පියවර

[සංස්කරණය]

බැරලය ලිප මත තබා ඔහි අඟල් 6 ක් පමණ උසට ජලය දමා හුමාලය ගමන් කළ හැකි ආකාරයේ ලී බංකුවක් ගෙන බැරලයේ පතුල මත තබන්න.ඉන්පසු බංකුව මත ලි කුඩු පැකට් එකිනෙක කෙලින් අතට සිටින පරිදි අසුරන්න.මෙහිදී එකිනෙක තදට අසුරන්නේ නැතිව වාතාශ්‍රය ලැබෙන සේ ඇසිරීමට මතක තබා ගතයුතුය.ඉන්පසු බැරලයේ පියන මත කුඩා සිදුරක් විදිය යුතුය.නැතහොත් ජීවානුහරණයේ දී ජල වාෂ්ප පීඩනය වැඩි වී පුපුරා යාහැකිය.ඉන්පසු වටේට හුමාලය පිට නොවෙන සේ පියන හොඳින් තදකර වසාගත යුතුය. මේ ආකාරයට සකස් කිරීමෙන් අනතුරුව බැරලයේ පියන මත ඇති සිදුරෙන් හුමාලය පිටවීම ආරමිභ වූ අවස්ථාවේ සිට පැය 2 1/2ක් හෝ 3ක් යනත්රු තම්බා ගත යුතුය.නියමිත කාලය තුළ තද ගින්දර දමා ජීවානුහරනය කළ පසුවත්බැරලය මත පැකට් ටික ලිප මතම තිබෙන්නට හරින්න.

3 පියවර

[සංස්කරණය]
  • බීජ එන්නත් කිරීම

සපයා ගන්නා ලද බිම්මල් බීජ පැකට් තුළ ඇතිබීජ වෙන් වන පරිදි පැකට්ටුව පිට පැත්තේ හොදින් පොඩි කරන්න.පසුව පැකට්ටුව යටින් එක් කොනකින් මදක් විවර කළ යුතුය.ඵය කලයුත්තේ ලී කුඩු මළුවලට බීජ ඵන්නත් කිරීමට සූදානම් වූ මොහොතේය. තම්බාගත් ලී කුඩු මඵ දිනක් ගතවූ පසු හොදින් නිවී පවතී. වටේට ඉටිපන්දම් හෝ ස්ප්‍රිතු ලාම්පු දැල්වූ මේසයක් මත මේවා එකිනෙක තැබිය යුතුය. මෙසේ සිදු කරනුයේ වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවින් බෑගය තුළට ඇතුල්වීම වැළැක්වීම සදහාය. ඉන්පසු එක් එක් ලී කුඩු මඵ මේසයට ගෙන එහි රබර් බෑන්ඩ් එක ගලවා බිම්මල් බීජ පැකට්ටුවේ ඇති බිම්මල් බීජ තේ හැන්දකින් එකක් පමණ ගෙන ලී කුඩු මල්ලට ඇතුල් කරන්න. පසුව හැකි ඉක්මනින් පුඵන් ඇබයෙන් වසා පොලිතින් බෑගයේ දිග වැඩි කොටස කපා ඉවත් කර පෙර පරිදිම කඩදාසියෙන් වසා රබර් පටිය දමා ගත යුතුය.

4 පියවර

[සංස්කරණය]
  • බීජෞෂණ අවස්ථාව

මෙහිදී සිදු කරනු ලබන්නේ ලී කුඩු මඵ බීජෞෂණය සදහා තැන්පත් කිරීමය. මේ සදහා අදුරැ ස්ථානයක් සකස් කර ගත යුතුය. නැතහොත් කාමරයක අසුරා කඵ ඉටි රෙද්දකින් වසා තැබිය හැක. මේ ආකාරයට දින 25-30 ක් පමණ කාලයක් ගත වූ විට ලී කුඩු මඵ සම්පූර්ණයෙන් සුදු පැහැ ගැන්වී තිබෙන අයුරැ දැක ගත හැකිය.

5පියවර

[සංස්කරණය]
  • ලී කුඩු මඵ මඩුව තුළ තැන්පත් කිරිම.
    ගොනුව:Fea-03-1.jpg
    රාක්ක තුළ අසුරා ඇති ලී කුඩු ම්‍ළු

මඩුව තුළ බිම්මල් ඇසිරීමට පෙර විෂබීජ නාෂක පොළව හා අවට ස්ථාන වලට යෙදිය යුතුය. (දින 2 කට පෙර) ඉන්පසු සම්පූර්ණයෙන් සුදු පැහැ ගැන්වු ලී කුඩු මඵ වල කට කපා රාක්ක මත තද නොවන ලෙස අසුරා ගත යුතුය. පැකට් ඇසිරූ පසු දිනපතා උදේ සවස මඩුවේ බිත්ති වලටත් බිමටත් වදින පරිදි ජලය ඉසින්න. මීදුමක් මෙන් විසිරී යන පරිදි ජලය ඉසීම සිදු කළ යුතුය. දින 6-8 ත් අතර කාලයක් ගත වන විට මෙම ලී කුඩු මඵ වලින් බිම්මල් පොකුරැ හට ගැනේ. එය ඉතා අලංකාර දර්ශනයකි.

6 පියවර

[සංස්කරණය]
  • අස්වැන්න නෙළා ගැනීම

බිම්මල් පොකුරැ වශයෙන් පිපෙන බැවින් සාමාන්‍ය වශයෙන් පොකුරක බිම්මල් 50% ක් පමන නෙළන අවස්ථාවේ පවතී නම් සම්පූර්ණ පොකුරම නෙලාගත යුතුය. බිම්මල් නෙළිමේදී ලී කුඩු මඵවේ කට ගැලවී නොයන පරිදි නෙළීම සිදු කළ යුතුය. එමෙන්ම බිම්මල් යෙදීමෙන් අනතුරැව වතුර ඉසීම සිදු කළ යුතුය. මල් නෙලීමේදී උදේ සවස ‍ජලය ඉසීම සිදු කළ යුතුය.

7 පියවර

[සංස්කරණය]
  • ඇසුරුම

ලිකුඩු මළු සඳහා යොදාගත් ගේජ් 150 පොලිතින්ම මෙහිදී පැකට් සදහා භාවිතා කල යුතුය.අඟල් 7'x10' පමණ කෑලි කපා එක් පැත්තක් කියත්තල පටියක ආධාරයෙන් පුළුස්සා බෑගයක් ලෙස සකස් කර ගත යුතුය.ඉන් පසුව පන්ච් කිරිම මගින් පැකට්ටුව මත සිදුරු 10ක් පමණ නෙලාගත් බිම්මල් වල කිණිති වල මුල් කපා පැනට්ටුවේ පැතලියට සිටින සේ අසුරා ගත යුතුය.පසුව පැනට්ටුවේ කටද පුළුස්සා වසා ගත යුතුය.ඉන් පසුව වෙලදපොළට ඉදිරිපත් කළ හැක.බිම්මල් ශීතකරණයක් තුළ දින 3-4 ක් පමණ තබා ගත හැක.

බිම්මල් වගාව ආශ්‍රිතව පැන නගින ගැටලු හා යෙදිය හැකි පිළියම්

[සංස්කරණය]

බීජෞෂණ සමයේදි කළු ඉටි රෙද්දකින් වසා දැමූ පසු එය දිනපතාම නිරික්ෂණය කළ යුතුය.මන්ද කූඹින් මීයන් සහ වේයන් වැනි සතුන් මීට හානි කිරීමට ඉඩ ප්‍රස්ථා වැඩි නිසාය.මල් හටගන්නා අවධියේදි විශේෂයෙන් කුරුමිණි වර්ග හා කෝදුරු වර්ග මගින් මල් වලට හානි සිදු කල හැකිය. මේ සදහා මුල සිටම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම භාවිතය වැදගත් වේ.එමෙන්ම කෘමි උවදුරු සදහා ස්වාභාවික සිදු කර ගත හැකි පිලියමක් වන්නේ සාමාන්‍යය ව්‍යවහරයේ බාලොලියා කටු කිගුරු වැනි නම් වලින් හදුන්වනු ලබන උද්භිත විද්‍යාත්මකව ලැන්ටානා කැමරු නමින් හදුන්වන ලබන ශාකයේ වියලි පත්‍ර කැබලි සහ පත්‍ර යුෂ මගින් බිම්මල් වගාවන්හි පළිබෝධ පාලනය සාර්ථකව සිදුකරගත හැකි බව සොයාගෙන ඇත. එමෙන්ම කෘමි උවදුරු අධිකව පවතින්නේ නම් සල්ෆර් දියකර ඉසීම සිදු කල හැකියතමේ ආකාරයට බිම්මල් වගාව ආශ්‍රිත ගැටළු මඟ හරවා ගත හැක.

බිම්මල් වල ඇති පෝෂණිය හා ඖෂධීය ගුණය.

[සංස්කරණය]

බිම්මල් ප්‍රෝටීන් බහුල ආහාරයකි.සාමාන්‍යය මස් මාංශ වලින් තරම්ම ප්‍රෝටීන් ප්‍රමාණයක් නොලැබුනද මෙහි එක් විශේෂත්‍වයක් ඇත.එනම් මස් මාංශ හේතුවෙන් සිරුරේ කො‍ලොස්ටරෝල් තත්‍වය හට ගන්නා නමුදු බිම්මල් වල කොලොස්ටරෝල් නාශකයක් අඩංගුව ඇත.

  • අමු බිම්මල් 100 ක අඩංගු පෝෂණ අගය
    • ජලය ග්‍රෑරැම් 91.0
    • ශක්තිය කිලෝ කැලරි 13
    • ප්‍රෝටින් ග්‍රෑරැම් 2.5
    • මේදය ග්‍රෑරැම් 0.3
    • කැල්සියම් මිලිග්‍රෑරැම් 20
    • යකඩ මිලිග්‍රෑරැම් 1.0
    • තයමීන් මයික්‍රො ග්‍රෑරැම් 100
    • රයිබො‍ෆ්ලේවින් මිලිග්‍රෑරැම් 600
    • නයිසීන්මිලිග්‍රෑරැම් 5.8
    • විටමින් සී මිලිග්‍රෑරැම් 3.0

බිම්මල් වල අඩංගු ඖෂධීය ගුණය පිළිබදව විමසා බැලුවහොත් එහි සිරුරේ පවතින කොලොස්ටරෝල් අඩු මට්ටමක පැවතීමට උපකාරිවන ඊරිසපැනින් නැමති රසායනිකය අඩංගු වේ.මේ නිසා බිම්මල් හෘදරෝගින්ට ඉතාමත් ගුණදායකය.එසේම නොයෙකුත් ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට බිම්මල් යොදා ගැනේ.ලියුකේමියා රෝගය මැඩලීමට ලබා දෙන ඖෂධ සදහාත් මේවායේ රසායනිකයන් යොදා ගැනේ.දියවැඩියා රෝගය සදහාත් මෙය සුවිශේෂි ඖෂධයක් ලෙස බොහෝ රටවල පළිගෙන ඇත.

පින්තූර ගැලරිය

[සංස්කරණය]


ආශ්‍රිත ග්‍රන්ථ.

[සංස්කරණය]
  • බිම්මල් වගාව-කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව,ගන්නෝරුව,පේරාදෙණිය.

මේ අඩවිත් බලන්න.

[සංස්කරණය]

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව[permanent dead link]

"https://si.wikipedia.org/w/index.php?title=බිම්මල්_වගාව&oldid=592712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි