පොත්ගුල් විහාරය, අලවල

විකිපීඩියා වෙතින්

කොළඹ - නුවර පාරේ නිට්‌ටඹුව මංසන්ධියෙන් දකුණට හැරී කිලෝමීටර් පහක්‌ පමණ ගමන් කළ විට අත්තනගල්ල රජමහා විහාරය හමුවේ. විහාරය පසුකර වමට හැරී පස්‌යාල පාරේ මඳ දුරක්‌ ගිය විට නැවත දකුණුපසට විහිදුණු මාවතක්‌ හමුවේ. එය ඇතාඋඩකන්ද, දුනුමාල, ගලපිටමඩ දක්‌වා දිවෙන මාර්ගයයි. අත්තනගල්ල රජමහා විහාරයේ සිට මෙම මාර්ගයේ කිලෝමීටර් හයහමාරක්‌ පමණ ගමන් කළ විට අලවල ග්‍රාමය හමුවේ. තවමත් ගම්බද පෙදෙසක සිරිය ඉතිරිව පවතින මෙම ගම්මානයේ ඉහත්තාවට වන්නට පිහිටා ඇති අලවල පොත්ගුල් ලෙන රජමහා විහාරය අසලින් වැටී ඇති අතුරු මඟේ මඳ දුරක්‌ ඉදිරියට ගොස්‌ පොත්ගුල් කන්ද වනය මැදින් වැටී ඇති දුෂ්කර එහෙත් සුන්දර මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ඉහළට ගමන් කරන විට පොත්ගුල් ලෙන හමුවේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා ඇතුළු ගවේෂණ කණ්‌ඩායම 2008 දෙසැම්බර් මස මෙම ස්‌ථානයේ කැණීම් ආරම්භ කිරීමට පෙර අලවල පොත්ගුල් ලෙන වනයට හිමිකම් කියන රූස්‌ස අතුපතර ගස්‌ අතර හුදෙකලා වී තිබිණි.

පොත්ගුල් ලෙන සහ අවට කලාපය ප්‍රාග් ඓතිහාසික ගවේෂණ උදෙසා සුවිශේෂී කලාපයක්‌ වේ. පොත්ගුල් ලෙනට කිලෝමීටර් දහයක්‌ පමණ ඊසාන දෙසින් මහඔය මව් ශාඛා ආශ්‍රිතව පිහිටි දොරවක ලෙන, බටහිර දෙසින් වූ වාරණ ලෙන, කිලෝමීටර් අටක්‌ පමණ ගිනිකොන දෙසින් පිහිටි ගුරුගොඩ ඔය නිම්නයේ පිහිටි සල්ගල වනාන්තරය සහ ලෙනගල පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි සහිත ලෙන් පරීක්‍ෂා කිරීමේදී ඒ බව තහවුරු වන බව මහාචාර්ය ගාමිණී අධිකාරි මහතාගේ අදහසයි.

අලවල පොත්ගුල් ලෙන කැණීම් භාර නිලධාරියා ලෙස කටයුතු කළ ගාමිණී අධිකාරි මහතා පවසන්නේ වසරකට ආසන්න කාලයක්‌ පුරා කරනලද මූලික කැණීමෙන් සොයාගත් දැ අතර මානව අවශේෂ කොටස්‌ ප්‍රධාන වන බවයි. හිස්‌ කබල් කොටස්‌ 29, යටිහනු 2, දත් 22 දිගු අස්‌ථි කැබැලි 7, දණිස්‌ කටු 2, කොඳු ඇට කොටස්‌ 2, හමු වී ඇති මානව අවශේෂ අතර ඇත. වයස්‌ පරතර කිහිපයකට අයත් එනම් වැඩිහිටි මානව කොටස්‌ සහ ළාබාල පුද්ගලයන්ට අයත් හිස්‌ කබල් කොටස්‌ හමු වී ඇත. මීට අමතරව ළාබාල පුද්ගලයකුට අයත් පහළ හනු කොටසක්‌, කිරිදත් කිහිපයත් හමු වී ඇත. මේ මානව ශේෂ අතර වැඩිහිටියකුට අයත් ඉහළ හනුවේ ප්‍රථම කෘන්තක දත අතිශයම වැදගත් වේ. එහි වූ රූපික ලක්‍ෂණ අනුව මානව දතක දැකිය හැකි දුර්ලභ ලක්‍ෂණ එහි වේ. හමුවී ඇති චාර්වක දත් සූක්‍ෂමව පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නේ අනෙකුත් ගුහාවලින් හමු වී ඇති දත්වලට සාපේක්‍ෂව ඉතා අඩුවෙන් ගෙවී ඇති බවයි. එම දත් හනුවලින් පිටතට පැමිණීමට පෙර පුද්ගලයන් මියගියා විය හැක. සෙසු සාධක හා තුළනාත්මකව සලකා බලන කල ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයාd මිනීමස්‌ අනුභව කළ බවට අනුමාන කළ හැකි සාධක හමුවී ඇත. තියුණු කැපුම් හා තැළුම් සලකුණු සහිත හිස්‌කබල් කොටස්‌ ද ඒ අතරින් සමහරක්‌ පුළුස්‌සා තිබීම ද, ඊට අමතරව අස්‌ථි කොටස්‌ සහ ඇඟිලි පුරුක්‌ පුළුස්‌සා තිබීමෙන්ද මේ නිගමනයට එළැඹිය හැකි බවයි පුරාවිද්‍යාඥයන්ගේ අදහස. එහෙත් මේ සුළු සාධක මත පමණක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා මිනීමස්‌ අනුභව කළ බවට සෘජුවම පැවැසිය නොහැකි අතර, ඒ පිළිබඳ ගැඹුරින් පර්යේෂණ සිදුකළ යුතු බව මහාචාර්ය ගාමිණී අධිකාරිගේ අදහසයි.

අලවල මානවයාගේ ආහාර රටාව

අලවල මානවයාගේ ආහාර පරිභෝජන පරාසය පුළුල් පරිමාවක විහිදී ඇත. ගොඩබිම වෙසෙන විශාල සත්ත්වයා වූ අලියාගේ සිට හික්‌මීයන් දක්‌වාවූ කරදිය, මිරිදිය සහ ගොඩබිම් වසන සත්ත්වයන් ආහාරයට ගෙන ඇති බවට සැක කෙරෙයි. නිවර්තන වැසි වනාන්තර පරිසරයක ජීවත් වූ මෙම මානවයා, තම වටපිටාවේ ජීවත් වූ ආහාරයට සුදුසු සෑම සත්ත්වයෙක්‌ ම ආහාරයට ගත් බවට අලවල ලෙනෙන් හමු වූ සත්ත්ව ශේෂ සාක්‍ෂි සපයයි. අනෙකුත් සත්ත්ව විශේෂවලට සාපේක්‍ෂව අලවල මානවයා වැඩි රුචිකත්වයක්‌ දක්‌වා ඇත්තේ රිළවුන්, වඳුරන් හා දඬු ලේනුන් ආහාරයට ගැනීමටය. ඊට අමතරව මිරිදිය කකුළුවන්, මිරිදිය ගොළුබෙල්ලන්, ගොඩ ගොළුබෙල්ලන් වැනි අපෘෂ්ඨවංශී සතුන්ගේ සිට මිරිදිය මසුන්, කටුස්‌සන්, සර්පයන්, ගෝනුන්, මුවන්, ඉබ්බන්, කුඩා ප්‍රමාණයේ මීයන්, ඉත්තෑවුන් සහ අලියා දක්‌වා වූ පරාසයක සත්ත්ව ශේෂ අලවල පොත්ගුල් ලෙනෙන් හමුවී ඇත.

ලෙන තුළින් හමු වී ඇති බොහෝ සත්ත්ව කොටස්‌ පුළුස්‌සන ලද ඒවා වන අතර, ඒවා ක්‍රමානුකූලව තියුණු ආයුධයකින් වෙන් කරන ලද කොටස්‌ බව හඳුනාගැනීමට හැකීවීමෙන් අලවල මානවයාගේ පොහොසත් ආහාර රටාව හඳුනාගත හැකිය. අලවල පොත්ගුල් ලෙනෙන් හමු වූ ගොළුබෙලි කටු අධ්‍යයන කිරීම ඔස්‌සේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගොළුබෙල්ලන් පරිභෝජන රටාව පිළිබඳ නව අදහසක්‌ ඉදිරිපත් කිරීමට කැණීමට සම්බන්ධ වූ පුරාවිද්‍යාඥයන් කණ්‌ඩායමට හැකි විය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා "බටදොඹලෙන" පාහියන් ලෙන, සීගිරිය, පොතාන ආදී තෙත් සහ වියළි කලාපීය ගුහාවල කරන ලද කැණීම්වලදී ගොළුබෙලි විශේෂ රැසක්‌ හමුවුණා. ඉතා සුවිශේෂ කාරණය වන්නේ මෙම ගොළුබෙල්ලන්ගේ කටුවලින් සියයට අසූවක්‌ (80%) පමණ ස්‌වාභාවික නොවන හේතුවක්‌ නිසා සිදුරු වී තිබීමයි. මෙම සිදුර සාදා ඇත්තේ ගොළුබෙලි කටුවේ ප්‍රධාන ද්වාරයට ආසන්න කටුවේය. වසර 60 ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ මෙම සිදුර පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌වුණත් ඒ පිළිබඳ පිළිගත හැකි නිගමනයක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි වුණා.

අලවල ලෙන, කැණීමෙන් හමු වූ සිදුර සහිත ගොළුබෙලි කටු වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් එළැඹි නිගමනය වන්නේ මෙම සිදුර සාදා ඇත්තේ ප්‍රාග් ඓතිහාසික මානවයාම බවයි. වෙනත් ගොළුබෙලි කටුවක උල් වූ කෙළවරින් පහරදී එම සිදුර සාදා ඇති අතර, ආහාරයට ගන්නා ගොළුබෙල්ලන් පරිසරයෙන් ගලවා හෝ අල්ලාගත් සැණින් මරණයට පත් නොකර දින කිහිපයක්‌ වනතුරු නිරාහාරව තබා ඔවුන්ගේ ආහාර මාර්ගයේ ඇති කලින් ගන්නා ලද ආහාර ශරීරයෙන් ඉවත්වන තුරු තබාගෙන ඇත. වැලක එල්ලා තැබීමෙන් සජීවී ගොළුබෙල්ලන් රාශියක්‌ ඉතා පහසුවෙන් තබාගත හැකිය. ගොළුබෙල්ලන් ඇමුණු වැල ඒ අයුරින් ම ගින්දරට ඉහළින් තබා හෝ එක්‌ එක්‌ ගොළුබෙල්ලා වෙන වෙනම ගෙන කෝටුවක්‌ සිදුර හරහා යවා ගින්දර මත පුළුස්‌සා ආහාරයට ගෙන ඇත. ඒ අනුව අපට නිගමනය කළ හැක්‌කේ ගොළුබෙල්ලන්ගේ ස්‌වාභාවික නොවන සිදුර අලවල මානවයා ඇතුළු ප්‍රාග් මානවයන් විසින් කාර්යයන් රැසක්‌ පහසුකර ගැනීම සඳහා සකසන ලද්දක්‌ බවයි.

මෙවලම් තාක්‍ෂණය

වර්තමානයේ පමණක්‌ නොව ප්‍රාග් ඓතිහාසික යුගයේ ද මානවයාගේ ක්‍රියාකාරකම් අතර ප්‍රමුඛ වන්නේ තම කුසගින්න නිවාගැනීම සඳහා නිරත වන සටනයි. ඒ ඔස්‌සේ නිරායාසයෙන් ගොඩනැගෙන තාක්‍ෂණය සුවිශේෂී වෙයි. එම තාක්‍ෂණය උපයෝගී කරගෙන නිමවන ආයුධ විශ්මයජනකය. අලවල ලෙනින් හමු වූ පුරාවස්‌තු 1305 අතුරින් 600 ක්‌ පමණ අයත් වන්නේ අස්‌ථි ආයුධ වලටය. හැඩය සහ නිෂ්පාදන තාක්‍ෂණ ක්‍රියාවලිය අනුව ඒවා කොටස්‌ පහකට බෙදිය හැකි බව පර්යේෂණ නිලධාරීන්ගේ අදහසයි.

අස්‌ථි ආයුධ තැනීමේදී සීරීම, කැපීම, උලච්චි කිරීම වැනි ක්‍රම අනුගමනය කර තිබේ. මෙම සත්ත්ව අස්‌ථි මෙවලම් අලවල මානවයා විසින් විශාල පරාසයක කාර්යයන් සඳහා යොදා ගන්නට ඇතැයි අනුමාන කළ හැක. ඇඳුම් තැනීම සඳහා සත්ත්ව සම් සිදුරු කිරීමට, ඊතල හිස්‌ ලෙස, බිලී කොකු ලෙස, ගොළුබෙලි කවච තුළින් මස්‌ ඉවත් කිරීම, ආයුර්වේද කටයුතු ඒ අතර ප්‍රධාන වන්නට ඇත. උගුඩුවා, වඳුරා, හෝතඹුවා, කලවැද්දා, උරුලෑවා ආදී සත්ත්වයන්ගේ විශේෂිත අස්‌ථි මේ සඳහා භාවිත කර ඇති බව පොත්ගුල් ලෙනෙන් හමු වූ සාධක අනුව නිගමනය කළ හැක.

ආයුධ නිෂ්පාදන ක්‍රියාවලියේදී අලවල මානවයා ගල් හා ගැටෙමින් ගල් ආයුධ නිර්මාණය කිරීමේ කාර්යයේද ඉහළ මට්‌ටමින් යෙදී ඇති බවට පොත්ගුල් ලෙනෙන් හමු වූ ශිලා මෙවලම් සාධක සපයයි. ආයුධ සඳහා ගැළපෙන ශිලා මාධ්‍ය තෝරාගැනීම අතින් අලවල මානවයා සුවිශේෂ බුද්ධි මට්‌ටමක පසු වී ඇත. අලවල පොත්ගුල් කන්ද පාමුලින් ගලා බසින උඩුවක දොළ ආශ්‍රිතව ඇති පාෂාණ විශේෂයක්‌ ඒ සඳහා භාවිත කර ඇත. ඉතා තද පාෂාණයක්‌ තෝරා ගැනීමෙන් පසු වෙනත් ගලකින් ගසා හෝ පතුරු ගැලවීම ඔස්‌සේ ආයුධ සකස්‌ කරගෙන තිබේ. මූලික පතුරු ගැසීමෙන් පසුව තම කාර්යය සඳහා වඩා සුදුසු ගල්පතුරු තෝරාගෙන ඒවා නැවත සියුම්ව සකස්‌ කර ගැනීමෙන් තම කාර්යයන් පහසුකර ගැනීමට අලවල මානවයා දැන සිටි බවට හමු වී ඇති ශිලා ආයුධ සාක්‍ෂි දරයි. මෙසේ ඉතා සියුම්ව සකසා ගත් ශිලා ආයුධ කැපීම, සීරීම, සිදුරු කිරීම වැනි කාර්යයන් රැසක්‌ සඳහා උපයෝගී කර ගෙන තිබේ.

ආභරණ හා අභිචාර

අලවල මානවයාගේ ආභරණ පරිභෝජනය සහ අභිචාර විධි ඔහුගේ අනන්‍යතාව ගොඩනැගීමේදී සුවිශේෂ වන බව මහාචාර්ය ගාමිණී අධිකාරි මහතාගේ අදහසයි. අලවල ලෙනෙන් හමු වූ මේ මානවයා පරිහරණය කළ ආභරණ පිළිබඳ කෙටි සටහනක්‌ ඉංග්‍රීසි බසින් අන්තර්ජාලයේ මුදාහළ අතර ඒ පිළිබඳ විදෙස්‌ පුරාවිද්‍යාඥයන්ගේ නොමඳ අවධානය යොමු වී ඇති බව මහාචාර්යවරයා අප සමඟ පැවැසීය.

ආරම්භක අවදියේ සිටම මානවයා සතුව පැවැති නිසඟ අවශ්‍යතාවන් අතර සෞන්දර්යය පිළිබඳ ඇති හැඟීම ප්‍රමුඛ සාධකයක්‌ වන බවට අලවල මානවයා භාවිත කළ මොර මත්ස්‍යයාගේ දතකින් සියුම් ලෙස සකස්‌ කරගත් ආභරණය කදිම සාක්‍ෂියකි.

මුහුදු බෙලි කවච, කුඩා මුහුදු බෙල්ලන් සිදුරු කර ගැනීමෙන් සකසා ගත් ආභරණ, මිරිදිය බෙල්ලන් යොදා සකසා ගත් ආභරණ අලවල මානවයාගේ ආභරණ පරිහරණ රටාව පිළිබඳ මනා නිදසුන් වේ.

මිනිසා විසින් ස්‌වාභාවික ලෝකය සකස්‌ කරගත්, සංස්‌කරණය කරගත් ආකාරය සංස්‌කෘතිය යනුවෙන් පුළුල් අර්ථයෙන් මානව විද්‍යාඥයන් හඳුන්වයි. වර්තමානයේ අප විශ්වාස කරනුයේ මිනිසා දියුණුවත්ම බොහෝ සංස්‌කෘතිකාංග එක්‌කර ගත් බවයි. මියගිය ස්‌වකීය ඥාතියා හුදු මළ සිරුරක්‌ සේ ඉවත නොහෙළුE අලවල මානවයා මෘත ශරීරය තම ගුහාවෙන් එපිට තැන්පත් කර නැවත එම හිස්‌ කබල්, අස්‌ථි කොටස්‌ ඒකරාශී කරමින් එහි ගුරුගල්, මිනිරන් තැවරීමෙන් සිදු කළේ කිනම් අභිචාරයක්‌ ද යන්න තවමත් රහසකි. වර්ණ ගැන්විය හැකි ඛනිජ පිළිබඳ අවබෝධයක්‌ තිබූ අලවල මානවයා, ඒවා ගල්වමින් තම මියගිය ඥාතියා සමඟ තිබූ සබඳතාව මරණින් පසුවද අඛණ්‌ඩව පවත්වා ගෙන යැමට අදහස්‌ කළාද විය හැකිය. දඩයමින් ආහාර එක්‌රැස්‌ කිරීමෙන් ජීවිකාව ගෙන ගිය ද ස්‌වකීය තාක්‍ෂණයේ විවිධ ඉම් ඔස්‌සේ නිර්මාණශීලී, සෞන්දර්යාත්මක පුද්ගලයකු ලෙස ද පෙනී සිටි අලවල මානවයා වර්ණක ඛනිජ සොයා ගනිමින්, උපයෝගී කර ගනිමින් අලංකරණය, අභිචාරය හෝ අප නොදත් වෙනත් කාර්යයන් සිදු කළා දැයි කීමට තරම් තවම අප පොහොසත් නැත. අපේ තාක්‍ෂණය දියුණු නැත.

උරුම කළමනාකරණය

බොහෝවිට අප රටේ සිදුවන්නේ තෝරාගත් ස්‌ථානයන්හි කැණීම් සිදුකිරීමත්, ඒ ඔස්‌සේ හමු වූ පුරාවස්‌තු අගනගරයට ගෙන යැමත්, කාල නිර්ණ පර්යේෂණ අවසන වාර්තාවක්‌ එළිදැක්‌වීමත් ය. ඉන් ඔබ්බට විහිදුනු උරුම කළමනාකරණය සිදු කළ යුතු බවට අතළොස්‌සක්‌ වූ පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ හඬක්‌ නගමින් සිටී. මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා ඒ අතර ප්‍රමුඛයෙකි. අලවල පොත්ගුල් ලෙන කැණීම් ව්‍යාපෘතියේ කොටසක්‌ ලෙස එළිමහන් කෞතුකාගාරයක්‌ පිහිටුවීමේ සැලැසුමක්‌ ද යෝජනා වී තිබිණි.

මෙවන් කෞතුකාගාරයක්‌ නිර්මාණය කිරීම පුරාණ ශාක, සත්ව හා මානව පරිසරය පිළිබඳ දැනුම වර්ධනය, ආකල්ප සංවර්ධනය, ප්‍රාග් මානවයා වාසය කළ පරිසරය තුළදීම ඒ පිළිබඳ සමීප අත්දැකීම් සමඟ අවබෝධාත්මක විනෝදාස්‌වාදයක්‌ ලබා දීමට ඉතා වැදගත් වේ. පොත්ගුල් ලෙන කේන්ද්‍ර කොට පවතින අවට පරිසර කලාපය සංචාරක හා අධ්‍යයන කලාපයක්‌ සේ වර්ධනය කිරීම ඊට සමගාමීව ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ හා පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස සංවර්ධනය කිරීම එම උරුමයන් වසර සිය දහස්‌ ගණනක්‌ සඟවා රැකගත් අලවල ප්‍රදේශයටත් එහි පාරම්පරික උරුමකරුවන්ටත් මහඟු දායාදයකි.

"https://si.wikipedia.org/w/index.php?title=පොත්ගුල්_විහාරය,_අලවල&oldid=469030" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි