පූජ්‍ය කො‍ටුගොඩ ධම්මාවාස හිමි

විකිපීඩියා වෙතින්

අපවත් වී වදාල අග්ග මහා පණ්ඩිත කො‍ටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ නූතන ශ්‍රී ලාංකීය බෞද්ධ සංඝ ඉතිහාසයේ, බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් වූ සේවාවක් සිදුකල සංඝ පීතෲන් වහන්සේ නමකි. ශ්‍රී ලංකාවේ අමරපුර - රාමඤ්ඤ නිකායේ උත්තරීතර මහනායක පදවිය හෙබවූ උන්වහන්සේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන්ද කටයුතු කරන්නට යෙදුනි.

ළමා කාලය[සංස්කරණය]

1933 ජනවාරි 23 වැනි දින, ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේ සිරිමෙවන් රොද්‍රිගු නමින් හරමානිස් රොද්‍රිගු පියාණන්ටත්, සෙලෙස්තිනා රොද්‍රිගු මෑණියන්ටත් දාව උපන් පින්වත් කුල පුතනුවන් කො‍ටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙන් කො‍ටුගොඩ රාහුල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද්දේය.සිරිමෙවන් පුතනුවන් සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ අතර ඔහුට වඩා වැඩිමහල් සොයුරන් පස් දෙනෙකුගෙනුත් සොයුරියන් දෙදෙනෙකුගෙනුත් සමන්විත විය. පාසල් අධ්‍යාපනය ලබන අතරවාරයේම, ගමේ පන්සලේ විහාරාධිපති පූජනීය කො‍ටුගොඩ පේමානන්ද නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පූජ්‍ය උණව‍ටුනේ ධර්මපාල ස්වාමීන් වහන්සේ ගේ උපාධ්‍යායත්වය යටතේ 1948 අගෝස්තු මස 17 වන දින කො‍ටුගොඩ ධම්මාවාස නමින් පැවදි දිවියට එලඹුනි. 1952 වසරේ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනින් ද්විතීක අධ්‍යාපනය ලද උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්දේ විද්යෝදය මහ පිරිවෙනට ඇතුලත් වූහ