පුංචි දඹුල්ල
෴ පුංචි දඹුල්ල ෴
වළගම්බා රජු ගල් තලාවක හිඳගෙන බුලත් විටක් අනුභව කර රන් ගිරය අමතකව ගිය ස්ථානය ' කෑ ගල ' නමින් ව්‍යවාහාර වී පසු කළක කෑගල්ල ප්‍රදේශය බවට පත් විය. බොහෝ ඓතිහාසික වටිනාකම් රැසකට උරුමකම් කියන කෑගල්ල ප්‍රදේශයේ ඇති සැලව රජමහ විහාරය පුංචි දඹුල්ල යනුවෙන් විරුදාවලි ලබයි. අරණායක ප්‍රාදේශීය ලේකම් කලාපයේ දොළොස්භාගේ කඳුවැටියෙන් ආරම්භව මා ඔයට එක්වන කුඩා ඔය ඉස්මත්තේ සැලව කන්ද පාමුල සැලව රජමහා විහාරය ඉඳිකර ඇත.
ජනප්‍රවාදයේ රාවණ රජුගේ මාලිගයක් පැවතියා යැයි පැවසෙන රහළ ගල නිරිත හා දකුණු දිග පවුර කොට ගෙන ගිණිකොණ හා නැගෙනහිර කරගල හා ගලඋඩගල වටකොටගෙන පිඹුරාගල හා පහන තිබූ ගල යන කඳු මුදුන් අයත් කඳුවැටියක සෞන්දර්ය උකහාගෙන සැලව රජමහ විහාරය බැබළෙයි. දියපහර වලින් සහ කඳු මුදුන් වලින් අලංකෘත පරිසරය සිත නිවන තෝතැන්නක් වැන්න. විහාරය පිටුපස පහන තිබූ ගල පර්වතය මුදුනේ ඇති පහනක් වැනි ගල්කුළ ආශ්චර්යජනක ය.
මල්වතු පාර්ශ්වයට අයත් අක්කර 600කින් යුතු මේ විහාරස්ථානයට පිවිසෙන පියගැටපෙළ හමුවන්නේ පහතරට හෙල්මළු ක්‍රමයට වගා කරන ලද අලංකාර කුඹුරු යායක් පසුකර ගිය තැනය. කොටස් තුනකින් යුතු ලෙන් විහාරයට පිවිසෙන අතරමඟ කටාරම් කෙටූ ගල්ලෙන් හා ඉහළ ලඳු කැළෑවේ පිහිටන වැඩ අවසන් නොකළ බුදු රුවකට සමාන ශෛලමය නිර්මාණය දැකගත හැක. ලෙන් විහාරය තුළ මහනුවර යුගයට අයත් මකර තොරණ , බුදු පිළිමය හා සිතුවම් අතර අඩි 8ක් උස පීඨිකාවක් මත ඉඳිකරන ලද සැතපෙන පිළිමය සුවිශේෂ ය.
සැලව රජමහ විහාරය අමතක කළ නොහැකි ඓතිහාසික ස්ථානයක් වන්නේ සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය මෙහිදී හමුවන නිසා ය. මෙම ප්‍රදේශයේ කඳු , දියදහර හා ප්‍රදේශ හඳුන්වන සියලු නම් අතීතයේ සිටම පැවත එන බව මෙම සෙල්ලිපි තහවුරු කරයි. විහාරය ආසන්නයේ ඇති වෙළ මැද පිහිටන 9වන සියවසට අයත් සෙල්ලිපියක දැක්වෙන්නේ සැලව ප්‍රදේශය අතීතයේ සැල්හෝගම නමින් හැඳින්වූ බවය.
පුරාවිද්‍යාඥ H. C. P. බෙල් මහතා 1892 දී රචනා කරන ලද කෑගලු දිස්ත්‍රික් පුරාවිද්‍යා වාර්තාව මඟින් සැලව රජමහ විහාරය වළගම්බා රාජ්‍ය කාලයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය දක්වා නොමද රාජ්‍ය අනුග්‍රහය ලබමින් විකාශය වූ ආකාරය දැක්වේ. මනරම් ගම්බද අසිරිය විදින්න මෙන්ම වන්දනාමාන කටයුතු සඳහා ද ශිල භාවනා කටයුතු සඳහා ද සැලව විහාරස්ථානය ඉතා අගනේ ය. නිදහස් මනසින් නිදහස අත්දකින්න පෞරාණික උරුමය සොබාදහම හා ඒකාත්මිකව ඇත.