පාට කූරු (Crayon)

විකිපීඩියා වෙතින්


පාටකූරක් යනුවෙන් හැදින්වෙන්නේ වර්ණ ගන්වන ලද ඉටි, අගුරු හෝ රටහුණු වැනි ද්‍රව්‍යයකින් නිර්මාණය කළ කූරක් වන අතර එය ලිවීම හෝ ඇදීම සදහා භාවිතා කෙරෙයි. තෙල් සහිත රටහුණු වලින් නිර්මාණය කළ පාට කූරු තෙල් පැස්ටල් කූරු ලෙස හැදින්වෙන අතර වියළි බන්ධන මාධ්‍යයක් භාවිතයෙන් වර්ණක බැද තබාගන්නා ඒවා සරළව පැස්ටල් කූරු වශයෙන් හැදින්වෙයි. Grease Pencil හෙවත් China Marker (එක්සත් රාජධානියේදී මේවා Chinagraph Pencil ලෙස හැදින්වේ) නම් පාඨකූරු වර්ගය වර්ණ ගන්වන ලද සහ දැඩි බවට පත් කරන ලද ග්‍රීස් ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති අතර සාමාන්‍යයෙන් මේවා දැඩි දිලිසෙන සුළු පෘෂ්ඨයන් වන ඔප දැමු පෝසිලේන් සහ වීදුරු වැනි පෘෂ්ඨ මත සලකුණු යෙදීම සදහා ප්‍රයෝජනවත් වෙයි.

බොහෝ විට ඉටි ආශ්‍රයෙන් නිර්මිත පාට කූරු ඇදීම සහ වර්ණ ගැන්වීම සදහා ළමුන් විසින් භාවිතා කරති. ලොව පුරා බොහෝ පාසැල් තුළ පාට කූරු අත්‍යවශ්‍ය උපාංග බවට පත්ව ඇත. මේවා භාවිතය පහසුවන අතර තීන්ත හෝ වෙනත් සළකුණු කාරක මෙන් අපිරිසිදු තත්වයක් ඇති නොකරයි. එමෙන්ම මේවා මොට ස්වභාවයක් ගන්නා හෙයින් පැන්සල් හෝ පෑන් භාවිතයේදී ඒවායේ උල්හැඩති ස්වභාවය නිසා ඇති විය හැකි අනතුරු මේවා මගින් සිදුනොවෙයි. තවද මේවා විෂ සහිත නොවන අතර විශාල වර්ණ පරාසයක් මේවා මගින් ලබාගත හැක.

ලොව පාට කූරු නිෂ්පාදනයේ යෙදෙන විශාලතම සමාගම Binney & Smith Inc. වන අතර ඔවුන් පාට කූරු නිෂ්පාදනය ලොවට හදුන්වාදුන් සමාගම ද වේ. ඔවුන් නිපදවන පාට කූරු Crayola නම් වෙළද නාමය යටතේ අලෙවි කෙරෙන අතර ඒවා නිර්මාණය කර ඇත්තේ බොරතෙල් කර්මාන්තයේ ඵලයක් වන පැරෆින් ඉටි මගින් වේ. සෝයා බෝංචි මගින් නිස්සාරණය කරන තෙල් මගින් ද පාට කූරු නිර්මාණය කල හැකි නමුත් මෙය එතරම් ප්‍රචලිත ක්‍රමයක් නොවේ. Crayola වෙළද නාමය යටතේ නිකුත් කරන ලද පාට කූරු අටකින් යුත් පළමු ඇසුරුම් වෙළද පොළට නිකුත් කරන ලද්දේ 1903 වසරේදී වේ. මෙම පා‍ට කූරු ඇසුරුමෙහි මිල ඇමරිකානු මුදලින් නිකල් 1 ක් විය. එහි අඩංගු වූ වර්ණ වන්නේ කලු, දුඹුරු, නිල්, රතු, දම්, තැඹිලි, කහ සහ කොළ වේ. Crayola නාමය නිර්මාණය කරන ලද්දේ එඩ්වින් බිනීගේ බිරිද වු ඇලිස් ස්ටෙඩ් බිනී විසිනි. ඇය එම වදන නිර්මාණය කරන ලද්දේ රටහුණු සදහා වු ප්‍රංශ නාමය වන Craie සහ තෙල් සහිත යන අරුත දෙන ප්‍රංශ වදන වු Oleagineux නම් පද දෙක එක් කිරීමෙනි.

ඇතැම් කලා උපකරණ නිර්මාණ සමාගම් ජලයේ දිය කළ හැකි පාට කූරු නිෂ්පාදනය කරයි. ඒ සදහා උදාහරණයක් වන්නේ ස්විට්සර්ලන්ත සමාගමක් වන Caran d’Ache සමාගමයි. ජලය ඇතිව හෝ නැතිව මාධ්‍යයට යෙදු විට පාටකූරු වල වර්ණ ඉතා පහසුවෙන් මුසු කළ හැක.

තම වැඩකටයුතු සදහා Conte පාටකූරු භාවිතා කළ නිර්මාණ කරුවෙකු ලෙස ජීන් - ෆැන්කොයිස් මිලට් හදුන්වා දිය හැක. පාටකූරු ද්‍රව වන උෂ්ණත්වය සාමාන්‍යයෙන් 120 0F හෝ 400C පමණ වේ.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Crayon

"https://si.wikipedia.org/w/index.php?title=පාට_කූරු_(Crayon)&oldid=97470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි