ශ්‍රී ලංකාවේ පළාත් සභා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(පළාත් සභා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

1987 ජුලි මස 29 වන දින ජේ.ආර්.ජයවර්ධන හා රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීමෙහිලා මූලික විය. මේ නිසා ලංකාවේ පළාත් සභා ඉන්දියානු මොඩලයට නිර්මාණය කරන ලද්දක් බව විචාරකයන්ගේ මතයයි. මේ අනුව ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හදුන්වාදුන් අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඩ) දක්වා අලුතින් පරිච්ඡේදයක් ඇතුළත් විය. එපමණක් නොව 1987 අංක 42 දරණ පළාත් සභා පනත ද හදුන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාවේ පළාත්

අරමුණු[සංස්කරණය]

ස්වාධීන රජයක් විසින් රටේ සමස්ත ජනතාවගේම අපේක්‍ෂාවන් සඵල කරනවා යයි කිව නොහැක. එහිදී සුලු පිරිසක් අත බලය ඒකරාශී වන අතර විශාල පිරිසක් ඔවුන් යටතේ යැපීමට සලස්වයි. මේ තුළින් ඇතිවන්නේ සමාජ අසහනය මිස සුබසාධනය නොවේ. පළාත් සභා පිහිටුවීමෙහිලා මෙකි කාරණාවද ඉවහල් වී ඇති බව නොකිවමනාය. පළාත් සභා ක්‍රමය තුළින් තරුණ නායකත්වයක් ඇති කොට පාලන බලතල ජනතාවට සමීප කිරීම අපේක්‍ෂාව විය. මෙම තත්වය ක්‍ෂණයකින් උදාවූවක් නොවේ. එහිදී චෙල්වනායගම් මහතා ෆෙඩරල් පක්‍ෂය පිහිටුවා ගෙන බලය උපරිම ලෙස විමධ්‍යගත කරන ලෙස ඉල්ලා සිටිම, 1971 ඇතිවූ සිංහල බෞද්ධ තරුණයන්ගේ කැරැල්ල, 1957 ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් ආදිය නිදර්ශන වේ.

සැකැස්ම[සංස්කරණය]

මේ අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා 9ක් ඇති කරන ලද අතර උතුරු හා නැගෙනහිර එක් පළාත් සභාවක් ලෙසත් අනෙක් පළාත් එක් එක් පළාත් සභා ලෙසත් පිහිටුවා තිබුණි. (වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත් සභා වෙන් වෙන්ව පාලන කටයුතු සිදු කරයි.) එක් එක් පළාත් සභාව සඳහා ආණ්ඩුකාරවරයෙක්, මැති ඇමතිවරු, කැබිනට් මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක්, රාජ්‍ය සේවා කොමිසමක්, පොලිස් කොමිසමක්, මහාධිකරණයක්, යනාදිය ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන යොදා තිබේ. එසේම පළාත් සභා විසින් ක්‍රියාත්මක කළ යුතු ආයිතමයන්ද දක්වා තිබේ. පළාත් සභා ලැයිස්තුව හා සමගාමි ලැයිස්තුව ඒ අතර වේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාලන බලතල ප්‍රභූ පන්තියට පමණක් සීමා වී තිබුණි. එකි ක්‍රමය වෙනස් කරමින් තරුණ නායකයන්ට අවස්තාව ලබාදිමට පළාත් සභා පිහිටුවිම මගින් අපේක්‍ෂා කළේය. මේ අනුව පළාත් සභා 09 සඳහා මන්ත්‍රීවරුන් 455ක් සමානුපාතික ක්‍රමය යටතේ තෝරාපත් කර ගනු ලබන අතර ඒ හරහා පාලන බලතල ජනතාවට සමිප කෙරේ.

පාලන බලතල පළාතේ මනිත්‍රීවරුන්ට ලබා දීම තුළ තම පළාත සංවර්ධනය කළ යුතු යයි ඔවුන් අතර හැගීමක් ඇතිවේ. එහිදි ඔවුන් ඔවුන්ගේ මානව සම්පත් හා භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් පළාතේ සංවර්ධනය යථාර්තයක් බවට පත් කිරීමට කටයුතු කරයි. එසේම දූෂණය, වංචාව, ප්‍රමාදය අවම වී කංඩිනම් සංවර්ධනයක් පළාත තුළ ඇති වේ. එමගින් රටේ සංවර්ධනය කඩිනම් වේ. එපමණක් නොව ඉතා සීමිත වූ ජන කොටසක් තමන්ගේ අවශ්‍යතා තමන් අතරින්ම ඉටු කර ගැනීම තුළ විශාල ජන කණ්ඩායමක් වශයෙන් ඇතිවන නොගැලපීම් දුරස්ව යයි. එය ජන වාර්ගික ගැටුමට සාධනීය පියවරක් වේ.

පළාත්[සංස්කරණය]

  1. මධ්‍යම පලාත
  2. බස්නාහිර පලාත
  3. නැගෙනහිර පලාත
  4. උතුරු පලාත
  5. දකුණු පලාත
  6. වයඹ පලාත
  7. ඌව පලාත
  8. උතුරු මැද පලාත
  9. සබරගමු පලාත

වර්තමාන තත්වය[සංස්කරණය]

පළාත් සභාවේ මූලිකාංග දෙසට අවදානය යොමු කිරීමේදි සමානුපාතික නියෝජනය යටතේ මැතිවරණයකින් තෝරා පත්කර ගනු ලබන පාර්ලිමේන්තුවක් පළාත් සභා සතු වේ. ඔවුන් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගත යුතු අතර ආණ්ඩුකාරවරයා විසින් පළතේ විධායකය රජයයි. 154(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාව පත් කරනු ලබයි. පළාත් සභා සතුව මහ ඇමතිවරයෙක් වන අතර ඔහු පත්කිරීම ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබයි. පළාත් සභා කැබිනට් මණ්ඩලය පත් කිරීම මහා ඇමතිවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබන අතර එය ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළුව සාමාජිකයන් 04කට නොවැඩි විය යුතුයි. එසේම මහජන ආරක්‍ෂාවට පොලිස් කොමිසමක් වන අතර යුක්තිය පසිදලීම සඳහා පළාත්බඳ මහාධිකරණයක් ද වන්නේය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛණය යටතේ පළාත් සභා, සංවෘත හා සමගාමි වශයෙන් ලැයිස්තු 03ක් යටතේ බලතල බෙදා හැරීමක් කර තිබේ. මේ අනුව පළාත්සභා ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් ස්වාධීන බලයක් පළාත්සභා සතු වන අතර සමගාමී ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් අභිමතයක්ද වේ.

මේ ආකාරයට ප්‍රතිපාදන තිබුණද පළාත් සභා අසාර්ථක යයි චෝදනා එල්ල වේ. එසේ වීමට හේතු වී ඇත්තේ ඉන් අපේක්‍ෂා කළ අරමුණු ඉටු නොවීමයි. විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් නොලැබීම ඒ අතර ප්‍රධාන වේ. පළාත් සභා හදුන්වා දීමේ මූලික අරමුණ වූයේ උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලබා දීමයි. නමුත් එතී පළාත් සභාව(උතුරු-නැගෙනහිර) වසරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ බිඳ වැටුණි.

මේ ආකාරයට පළාත්සභා අසාර්ථක වීමේ ප්‍රබල හේතුකාරකය වූයේ නිසි බලතල පළාත්සභාවන්ට ලබා නොදීමයි. එම නිසා තරුණ නායකයන්ට රිසිසේ ක්‍රියා කරන්නට අවස්තාවක් නොලැබුණි. ඔවුන්ට තවදුරටත් මධ්‍යම ආණ්ඩුවේ බලයට නතුව දාසයන් සේ කටයුතු කිරීමට සිදු විය. මේ නිසා සමහර නායකයන් අරගල කරන්නටද විය. නිදසුනක් ලෙස 1988දී උතුරු-නැගෙනහිර මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඉඩම් බලතල ලබා ගැනීමට උත්සහ දැරූ අතර 1993දී චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාතේ පොලිස් බලතල ලබා ගැනීමට වෙහෙසුණි. මේ අනුව බලතල බෙදීමේ දෝෂය නිසා ජනතාව තුළ කළකිරීමක් ඇති විය. නැගෙනහිර පළාත් සභා ඡන්දයෙන් පසු ඉඩම්, පොලිස් හා අධිකරණ බලතල ලබා දෙන බව පැවසුවද ඒවා ලබා දෙන තුරු විශ්වාසය තැබීමේ නොහැකියාවක් ජනතාව තුළ ඇති වී තිබෙන්නේ නිරායාසයෙනි.

පළාත් සභා අසාර්ථක වීමේ හේතු අතර පළාත් සභා ස්වාධීන නොවීම එහිලා ප්‍රධාන වේ. ඒකීය රාජ්‍ය සංකල්පය තුළ බලය බෙදා හැරීමේදී පාර්ලිමේන්තුව උත්තරීතර වීම සාධාරණය. නමුත් උත්තරීතරභාවය ප්‍රයෝජනයට ගනිමින් පළාත් සභා අනිසි ආකාරයෙන් මර්දනය කරන්නේ නම් පළාත් සභා පිහිටුවීමේ අරමුණ ඉටුවන්නේද?

පළාත් සභාවේ විධායකය රජයන්නා වූ ආණ්ඩුකාරවරයා පක්‍ෂග්‍රාහී වීම පළාත් සභා අසාර්ථකවීමෙහිලා ප්‍රබල ලෙස බලපා තිබේ. ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මෙහිදී ජනාධිපතිවරයා ස්වාධීන අයෙකු පත් කරනු ලැබුවත් එකී පත් කරන්නා තමාට පක්‍ෂග්‍රාහී කෙනෙකු බව කවුරුත් දන්නා රහසකි. ඒ අනුව පත් කරනු ලබන ආණ්ඩුකාරවරයා නිතැතින්ම ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයාගේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට මිස පළාත සංවර්ධනය කිරීමට හෝ පළාතේ ජනතාවගේ අරමුණු ඉටු කිරීමට යැයි අපේක්‍ෂා කළ නොහැක.

154(ඊ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව පළාත් සභාවේ බහුතර මන්ත්‍රීන්ගේ සහය ලබා ගැනීමට හැකි යයි ආණ්ඩුකාරවරයා අපේක්‍ෂා කරන මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කිරීම සිදු කරයි. යම්, යම් අවස්තාවල ආණ්ඩුකාරවරයා ඔහුගේ අභිමතය (discretion) අනිසි ආකාරයෙන් භාවිතා කිරීමක්ද දක්නට ලැබේ. තමන් රුචි නියෝජිතයන්ව පළාත් සභාවන්ට තෝරා පත් කිරීම ජනතාව සිදු කරයි. එහිදී යම් පක්‍ෂයක් බහුතරය දිනා ගනීද එකී පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් බහුතර ජනතාවක් අපේක්‍ෂා කරයි. නමුත් ආණ්ඩුකාරවරයා මැදිහත් වී එය මර්දනය කරන්නේ නම් ජනතාව උදාසීන වන්නේ නිරායාසයෙනි.

ආණ්ඩුකාරවරයාට දී ඇති බලතල යටතේ පළාත් සභා විසිරුවා හැරීමද වේ. යම් ආකාරයකට ජනාධිපතිවරයාගේ උපදෙස් මත යම් පළාත් සභාවක් විසුරුවා හැරීමට කටයුතු කරයි නම් ජනතාවගේ ඉච්ඡා භංගත්වයක් ඇතිවන අතර පළාත් සභාවන්හි නාස්තියද වැඩි වේ.

154(උ) ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවන්ට ප්‍රඥප්ති සෑදීමට බලය ලබාදී තිබුණත් එය කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුතුය. පළාත් සභාවන්ට ප්‍රඥප්ති සෑදීමට බලය දීම යනු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 76 ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. නමුත් IN RE THE THIRTEENTH AMENDMENT හිදී බහුතර විනිසුරු මඩුල්ල කියා සිටියේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් නොවන බවයි. එනම් පළාත් සභාවන්ට දී ඇති බලතල අභිබවා සිටීමට පාර්ලිමේනුතුවට හැකියාවක් ඇති බවයි.

එසේම පළාත් සභා ලැයිස්තුවේ ඇති කාරණා සම්බන්ධයෙන් ප්‍රඥප්ති සෑදීමට බලය පළාත් සභාවන්ට ලබාදී තිබුණද ප්‍රඥප්තියක් නීතියක් බවට පත්වන්නේ ආණ්ඩුකාරවරයා අත්සන් තිරීමෙන් අනතුරුවය. යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඊට අකමැති වන්නේ නම් එය සංශෝධනයට ආපසු යවයි. නැවත ඉදිරිපත් කිරීමේදීද එයට ආණ්ඩුකාරවරයා අකමැති වන්නේ නම් එහි නෛතිකභාවය තීරණය කර ගැනීමට වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. එසේ ප්‍රඥප්තිය අත්සන් කිරීම නොකරන්නේ ජනාධිපතිවරයා හෝ මධ්‍යම ආණ්ඩුව දිනවීමේ අපේක්‍ෂාවෙන් නම් පළාත් සභා පිහිටුවීම තුළින් අපේක්‍ෂා කළ කඩිනම් සංවර්ධනය උදා කිරීම පරාජය වේ.

සමගාමී ලැයිස්තුවේ කාරණාවක් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් සකස් කරන්නේ නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් විමසීමක් කළ යුතුය. එසේම පාර්ලිමේන්තුව සමගාමි ලැයිස්තුවේ කරුණක් සම්බන්ධයෙන් නීතියක් සකස් කරන්නේ නම් සියලු පළාත් සභාවලින් විමසීමක් කළ යුතුය. එහෙත් ප්‍රායෝගිකව බලන කල පාර්ලිමේන්තුව සමගාමී ලැයිස්තුවේ බලතල භුක්ති විද ඇත්තේ තනි හා අනන්‍ය ස්වරූපයකිනි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිලිගැනීමට පළාත් සභාවන්ට සිදු වේ.

එසේම පළාත් සභාවන්ට දී තිබෙන බලතලද යම් යම් අවස්ථාවන් වලදී උදුරා ගැනීමක් මධ්‍යම ආණ්ඩුව විසින් සිදු කරනු ලබයි. පළාත් සභා සම්බන්ධයෙන් අමානුෂික ලෙස සැලකීමක් වන්නේ 154(උ)(11) ව්‍යවස්ථාවයි. ඒ අනුව පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණක් සම්බන්ධයෙන් වෙනත් යම් රටක් හෝ රටවල් සමග ඇති කර ගන්නා යම් ගිවිසුමක්, එකගවීමක් හෝ සම්මුතියක් කාර්ය පටිපාටිය නොවන වෙනත් ආකාරයකින් නීති සෑදිය හැකි වීමයි. මේ ආකාරයට බලය දකුණු අතින් දී වමතින් ආපසු ගැනීම තුළ පළාත් සභා දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

155(3)(අ) ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් නීති සැකසීමේ හැකියාවක් ජනාධිපතිවරයා සතු වේ. මෙහිදී සෑම නීතියක්ම යටපත් වේ. ඒ අනුව හදිසි නීතිය යටතේ දිගින් දිගටම නීති සම්පාදනය කිරීමට වුවහොත් පළාත් සභාවන්හි ප්‍රඥප්ති සෑදීමේ හැකියාව කිසිදා සැබෑ නොවන සිහිනයක් වේ. එනම් පළාත් සභාවන්හි ප්‍රයෝජනයක් නැති තත්වයට පත්වේ.

මධ්‍යම රජයේ බලය පළාත් සභාවන්ට විමධ්‍යගත කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස රාජ්‍ය සේවය පිළිබඳ බලතල ලබාදීම දැක්විය හැකිය. රාජ්‍ය සේවය පිළිබඳව කටයුතු කිරීම විධායකය යටතේ රාජ්‍ය සේවා කොමිසන් සභාව හරහා සිදුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව රාජ්‍ය සේවා කොමිසන් සභාව හා රාජ්‍ය සේවා කාරක සභාව ලංකාවේ ක්‍රියාත්මක විය. මේ යටතේ මූලික වශයෙන් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරිම ආදිය සිදු කරනු ලබයි.

1987 පළාත් සභා පිහිටුවීමත් සමග රාජ්‍ය සේවය පළාත් සභා මට්ටමින් ඇති කරන ලදි. පළාත් සභා පනතේ 32 වගන්තිය මගින් පළාත් රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබධව පැහැදිලිව දක්වයි. ඒ අනුව ආණ්ඩුකාරවරයා හරහා පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව සඳහා නිලධාරීන් පත් කරනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන් අධිකරණ නිලධාරීන් නොවන ඕනෑම තැනැත්තන් 3කට නොඅඩු සංඛ්‍යාවක් ඒ සඳහා පත් කරනු ලබයි. එසේම පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරීම පිළිබඳ වන තීරණයක් වෙනස් කිරීමේ හැකියාව ආණ්ඩුකාරවරයා සතු වේ. මෙහිදීද ආණ්ඩුකාරවරයා පක්‍ෂග්‍රාහි නොවේ යයි කිව නොහැක. නිදසුනක් ලෙස වයඹ පළාත් සභාව තුළ ඇති වූ ගැටුම දැක්විය හැක. මේ ආකාරයට පළාත් සභාව තුළ දිගින් දිගටම ගැටුම් ඇති වන්නේ නම් එම පළාත් සභා සාර්ථක වේ යයි කිව නොහැක.

පළාත් සභා අසාර්ථක වීමේ මූලිකම හේතුව වන්නේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරීත්වය බව පෙනී යයි. පළාත් සභාවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මූලික ප්‍රතිපාදන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154(ක) ව්‍යවස්ථාවේ දක්වා තිබේ. මේ අනුව මුදල් කොමිසන් සභාව පළාත් සභා මුදල් කටයුතු පාලනයේදී අතිශයින් වැදගත් කාර්යයක් ඉටු කරයි. එම කොමිසන් සභාව මධ්‍යම ආණ්ඩුව සතු වූවකි. පළාත් සභා පනත දක්වන ආකාරයට පළාත් සභාවලට සිව් ආකාරයකින් මුදල් ලැබේ. නමුත් පළාත් සභා පනතේ 19 වගන්තියේ මේ සම්බන්ධ සියලු ප්‍රතිපාදන දක්වමින් අවසානයේදී ඒ සඳහා රීති සෑදීමේ හැකියාවක් ආණ්ඩුකාරවරයාට ලබ දී තිබේ. එමගින්ද යම් ආකාරයකට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් මධ්‍යම රජයට ලැබී තිබේ.

මුදල් කොමිසන් සභාවේ අනුමැතිය මත වාර්ෂිකව පළාත් සභා සඳහා මුදල් බැර කෙරේ. එකී වෙන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යයද මුදල් කොමිසන් සභාව සිදු කරනු ලබයි. එමගින් විද්‍යමාන වන්නේ මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පළාත් සභා වෙත ස්වාධීනත්වයක් නොමැති බවයි. එනම් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේදී මධ්‍යම ආණ්ඩුව ඒ ඒ පළාත් සභාවන් සඳහා ඍජුව බලපෑම් කිරීමට අවස්ථාවක් ලැබී තිබේ.

පළාත් සභා වෙත ලැබෙන බදු මුදල් දෙසට අවදානය යොමු කිරීමේදී ආදායම් බදු හා සුරා බදු එකතු කිරීමට පළාත් සභාවන්ට අවස්ථාව දී නොමැත. එම බදු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලැබේ. එනිසා පළාත් සභාවලට බදු මුදල් වලින් ලැබෙන ආදායම් අල්පය.

පළාත් සභාවලට විමධ්‍යගත කොට ඇති බලතල සලකා බලන විට ඒවා ක්‍රියාත්මක කිරීමට සරිලන ආදායමක් පළාත් සභාවලට ලැබිය යුතුය. එම බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ආදායම් නොලබන්නේ නම් එකී බලතල විමධ්‍යගත කිරීමේ ඵලක් නැත.

පළාත් සභා අසාර්ථක වීමෙහිලා බලපෑ සාධක සාරාංශයක් වශයෙන් ගත් කල මූලික වශයෙන් පළාත් සභාවලට නිසි බලතල ලබා නොදීම, විධායකය හා ව්‍යවස්ථාදායකය නිරන්තරයෙන් පළාත් සභා කටයුතුවලට ඇගිලි ගැසීම සිදු කිරීම, පළාත් සභාවල ආණ්ඩුකාරවරයා නිරන්තරයෙන් මධ්‍යම ආණ්ඩුවේ ඉත්තෙකු බවට පත්වීම, පළාත් සභාවන් මහජනතාව සමග බද්ද නොවීම, පළාත් සභාවන්ගේ ආදායම් ඌණතාවය, පළාත් සභාවන්හි සම්පත් අසම ව්‍යාප්තිය යනාදි හේතූන් දැක්විය හැකිය. එකී කාරණා නිසා පළාත් සභා ක්‍රමය කෙරෙහි ජනතාව තුළ උදාසීනත්වයක් ඇතිවී තිබේ.

යෝජනා[සංස්කරණය]

පළාත් සභා පවත්නා තත්වයෙන් ගොඩ ගැනීමට නම් එක් එක් පළාත් සභාවන්ට නිසි බලතල නිසි බලතල ලබා දී පළාත් සභාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකිවන සේ පත් කිරීම් සිදු කිරීම හා ප්‍රමාණවත් ආදායම් ලබා ගැනීමට හැකිවන සේ මධ්‍යම ආණ්ඩුව විසින් කටයුතු සම්පාදනය කිරීම යුගයේ අවශ්‍යතාවයකි. මෙය තමන්ගේ වාසියට යොදා නොගෙන සමස්ත ජනතාවගේම සහ රටේම අභිවෘද්ධිය උදෙසා ක්‍රියාවට නැංවීම කළ යුතුය.

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]