Jump to content

පලිබෝධනාශක

විකිපීඩියා වෙතින්

පලිබෝධනාශක යනු කෘමීන් විසින් සිදු කරන හානිය වැළැක්වීමට, පාලනය කිරීමට හෝ අවම කිරීමට යොදා ගන්නා සංයෝගයක් හෝ සංයෝග මිශ්‍රණයකි. පලිබෝධනාශකයක් රසායනික සංයෝගයක්, ජීව විද්‍යාත්මක ප්‍රතිකාරකයෙක් (වෛරස් හෝ බැක්ටීරියා වැනි) , ප්‍රතිමයික්‍රෝබීය , විශබීජ නාශකයක් හෝ කෘමීන්ට එරෙහිව යොදා ගන්නා උපකරණයක් විය හැකිය. පලිබෝධකයන්ට ‍මිනිසා සමඟ ආහාර සඳහා තරඟ කරන, දේපල විනාශ කරන ව්‍යසනයක් වන හෝ පතුර වන හෝ නොසන්සුන්තාවක් ඇති කරන කෘමීන්, ශාක රෝග කාරක බීජය, වල් පැළ, පෘෂ්ටිකයන්, කුරුල්ලන්, ක්ෂීරපායීන්, මත්සයන්, පණුවන් ‍හා ඒක සෛලික ජීවීන් ඇතුළත් වේ. පලිබෝධනාශක භාවිතයේ වාසි තිබුණ ද මිනිසාට හා අනෙකුත් ජීවීන්ට විෂ දායක වීම වැනි දුබලතා ද ඇත.

පළිබෝධනාශක වර්ග

[සංස්කරණය]

මෙහි දැක්වෙනුයේ විවිධ රටවල එක් වර්ග සැතපුමකට භාවිතා වන ඇට්‍රසීන් රාත්තල් ගණන දැක්වෙන සටහනකි. ඇට්‍රසීන් එක්සත් ජනපදයේ ඉතා බහුලවම භාවිතා වන වල් නාශකයක් වේ. (මෙම සටහන USGS පලිබෝධනාශක භාවිතය සම්බන්ධ සිතියම් ඇසුරෙන් උපුටා ගන්නා ලද්දකි.)

පලිබෝධනාශක වර්ගීකරණය සඳහා ක්‍රමවේද ගණනාවක් පවතී.

  • ඇල්ගීනාශක - මේවා ඇල්ගී පාලනය සඳහා භාවිත වේ.
  • ඇවිසයිඩ/ පක්ෂිනාශක - පක්ෂීන් පාලනය සඳහා භාවිත‍වේ.
  • බැක්ටීරියානාශක - බැක්ටීරියා පාලනය සඳහා භාවිත වේ.
  • දිලීරනාශක - දිලීර සහ ඌමයිසයිටාවන් පාලනය සඳහා භාවිත වේ.
  • වල් නාශක - අනවශ්‍ය ශාක වර්ග පාලනය සඳහා භාවිතා වේ.
  • කෘමිනාශක - කෘමීන් පාලනය සඳහා භාවිතා වේ. - මේවා කෘමි බිත්තර විනාශ කරන සංයෝග, කෘමීන්ගේ පිළා අවස්ථාව විනාශ කරන සංයෝග හෝ සුහුඹුල් කෘමීන් විනාශ කරන සංයෝග විය හැක.
  • කීඩෑනාශක - කීඩෑවන් පාලනය සඳහා භාවිතා‍වේ.
  • මොලුස්කානාශක - ගොළුබෙල්ලන් සහ හම්බෙල්ලන් පාලනය සඳහා භාවිතා වේ.
  • නෙමැටෝඩානාශක - නෙමැටෝඩාවන් පාලනය සඳහා භාවිතා වේ.
  • කෘන්තකනාශක - කෘන්තකයින් පාලනය කිරීම සඳහා භාවිතා වේ.
  • වෛරස් නාශක - වෛරස් වර්ග පාලනය කිරීම සඳහා භාවිතා වේ. (උදා - H5N1)

පලිබෝධනාශක කෘතීම පලිබෝධනාශක සහ ජෛව පලිබෝධනාශක ලෙස ද වර්ගීකරණය කළ හැකි නමුත් ඇතැම් විට මේවා අතර වෙනස්කම් එතරම් පැහැදිලි නොවේ.

පුළුල් පරාස පලිබෝධනාශක ලෙස හැඳින්වෙනුයේ විශේෂ ගණනාවක් මරණයට පත් කළ හැකි පලිබෝධනාශක වන අතර පටු පරාස පලිබෝධනාශක ලෙස හැඳින්වෙනුයේ තෝරාගත් සීමිත විශේෂ සංඛ්‍යාවක් මරණයට පත් කළ හැකි පලිබෝධනාශක වේ.

ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන පලිබෝධනාශක ශාකයක් මඟින් අවශෝෂණය කර ගැනීමෙන් අනතුරුව ශාකය පුරා පැතිරීම සිදුවේ. බොහෝ කෘමිනාශක සහ දිලීරනාශක මෙසේ පැතිරෙන්නේ ශාකයේ ඉහල ප්‍රදේශ දක්වා වන අතර මෙය සෛලම පටකය හරහා සිදු වේ. අනතුරුව මේවා ශාකයෙන් පිට වීම සිදුවේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස පලිබෝධනාශකයෙහි කාර්යක්ෂමතාව ඉහල යාම සිදු විය හැක. මෙම ක්‍රියාවලිය ඔස්සේ ශාකයක පරාග හෝ පුෂ්පයක අඩංගු පැණි තුළට කෘමිනාශක ඇතුළත් වීම සිදුවේ නම් මී මැස්සන් වැනි පරාගන කාරක ජීවීන් විනාශ වීම සිදු විය හැක.

බොහෝ පලිබෝධනාශක පලිබෝධකයන් සඳහා විෂ ද්‍රව්‍ය වේ.

කෘමිනාශක යෙදීම්

[සංස්කරණය]
භාවිතයේ ඇති අතින් ක්‍රියා කරවන විසිර විදිනයක්


මෙවැනි පින්තූර පුද්ගලික ආරක්ෂණ උපකරණ අඩුකම හේතුවෙන් බොහෝවිට විවේචනයට භාජනය වන නමුත් අවාසනාවන්ත ලෙස මෙය නිරූපණය කරන්නේ දියුණු වන රටවල ආදර්ශයයි.

පලිබෝධ නාශක භාවිතය, වාසි සහ අවාසි

[සංස්කරණය]

පලිබෝධ නාශක හානිකර යැයි සැළකෙන ජීවී විශේෂ පාලනය සඳහා භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස ඒවා මාරාන්තික ලෙඩ රෝගවන බටහිර නයිල් වෛරසය සහ මැලේරියාව වැනි රෝග සඳහා වාහක ලෙස ක්‍රියා කරන මදුරුවන් විනාශ කිරීම සඳහා භාවිතා වේ. එමෙන්ම ආසාත්මික තාවන්ට හේතුවන මී මැස්සන් දෙබරුන් සහ කුහුඹුවන් වැනි විශේෂ විනාශ කිරීම සඳහාද මේවා භාවිතා කළ හැක. තවද, කෘමිනාශක සතුන් මැක්කන් වැනි පරපෝෂිතයන් මගින් ඇතිවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම සඳහාද භාවිතා කළ හැක. දිලීර සහිත ආහාර සහ යල් පැනගිය නිෂ්පාදන හේතුවෙන් මිනිසාට රෝග ඇති වීම වැළැක්වීම සඳහා පලිබෝධ නාශක යොදා ගත හැක. මහාමාර්ග දෙපස පවතින අනවශ්‍යය ශාක , ගස් වර්ග සහ පඳුරු වර්ග ඉවත් කිරීම සඳහා වල් නාශක භාවිතා කළ හැක. තවද, වල් නාශක වනෝද්‍යාන සහ වනාන්තර ප්‍රදේශවල වැඩෙමින් පරිසරයට හානි කරන ආක්‍රමණශීලී වල් පැළෑටි විනාශ කිරීම සඳහාද භාවිතා කෙරේ.‍ජලාශ සහ පොකුණු වල වැඩෙමින් පිහිනීම සහ මසුන් ඇල්ලීම වැනි ක්‍රියාකාරකම්වලට බාධා පමුණුවන, සහ ජලයට අප්‍රසන්න වර්ණයක් හෝ ගන්ධයක් ලබාදීමට හේතු වන ඇල්ගී සහ ජලජ තෘණ වර්ග පාලනය සදහා ද සාමාන්‍යයෙන් වල්නාශක යොදනු ලැබේ. පාලනය නොකළ විට දිලීර සහ වේයන් වැනි පළිබෝධකයින් නිසා නිවාස වැනි ව්‍යුහයන්ට හානි සිදුවිය හැක. වෙළද සැල් සහ ආහර ගබඩා තුළ ධාන්‍ය වැනි ආහාර වලට හානි පමුණු වන කෘන්තකයින් සහ කෘමීන් පාලනය සදහා පලිබෝධ නාශක භාවිතා කරනු ලැබේ. කෙසේ නමුත් මෙම පලිබෝධ නාශක භාවිතා කරන ඕනෑම අවස්ථාවකදී එහා සම්බන්ධ අවධානමක් ද පවතියි. එහෙත් නිවැරදි ආකාරයේ පලිබෝධ නාශක භාවිත කිරීම තුළින් අදාළ අවධානම් මට්ටම EPA සහ PMRA වැනි පලිබෝධ නාශක පාලක ආයතන මගින් පිලිගත හැකි යැයි සම්මත කොට ඇති මට්ටම දක්වා ගෙන ඒම සිදු කළ හැක.

පලිබෝධ නාශක භාවිතය මගින් කෘමීන් සහ අනෙකුත් පලිබෝධකයන්ගේ වගාවන්ට සිදු වන හානි වැළැක්වීම මගින් ගොවීන්ට මූල්‍යමය වශයෙන් ලාභ ගෙනදිය හැක. එක්සත් ජනපදය තුළදී ‍ගොවීන්ට මෙසේ ලැබෙන ලාභය ඔවුන් පලිබෝධ නාශක සදහා වියදම් කරන මුදල මෙන් 4 ගුණයක් පමණ වෙයි. එක්තරා අධ්‍යයනයකට අනුව පලිබෝධ නාශක භාවිතා නොකළ විට අස්වැන්න 10% කින් පමණ අඩුවීම සිදු වෙයි.

1950 දශකයේ පටන් මැලෙරියා රෝගය මර්ධනය සදහා නිවාස වල බිත්තිමත DDT ඉසීම සිදුකර ඇත. මෑත කාලීනව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කළ ප්‍රතිපත්තිමය ප්‍රකාශනයන් තුළ මෙම ක්‍රමයට වැඩි සහයෝගයක් දක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියා රෝගය සම්බන්ධ අංශයේ ප්‍රධානීන් ආචාර්ය අරාටා කොචි ප්‍රකාශ කරන අන්දමට මැලෙරියා රෝගයට එරෙහිව අප සතුව ඇති ප්‍රධානම අවියක් ලෙස නිවාස වල අභ්‍යන්තරයේ මර්ධක සංයෝග ඉසීම සැලකිය හැක. එසේම ඔහුගේ අදහසට අනුව නිවෙස් අභ්‍යන්තරයේ ඉසීම සදහා ආරක්ෂිත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත කෘමිනාශක වර්ග අතරින් වඩාත් ක්‍රියාකාරී සංයෝගය වන්නේ DDT වෙයි. කෙසේ නමුත් ඔහු මෙම අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 2007 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් වු අධ්‍යයනයකට අනුව පියයුරු පිළිකා සහ වැඩි විය පැමිණීමට ප්‍රථම DDT වලට නිරාවරණය වීම අතර සම්බන්ධතාවයක් ඇතැයි ප්‍රකාශ කෙරුණි. විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තු වලට අමතරව 1945 වසරේ පටන් මේ දක්වා මැලෙරියාව, කුද්දීටි ඉදිමීමේ වසංගත රෝග, නිද්‍රා රෝගය, සහ ටයිෆස් රෝගය වැනි රෝග පැතිරීයාම වැළැක්වීම මගින් DDT ඇතුළු ඕගැනෝපොස්පේට කාණ්ඩයට අයත් පලිබෝධ නාශක වර්ග මිනිස් ජීවිත මිලියන 7 ක් පමණ ආරක්ෂා කරදීමට සමත්ව ඇත. කෙසේ නමුත් DDT භාවිතය හැම විටම සාර්ථක නොවෙයි. මුල්වරට අප්‍රිකාව තුළ DDT ප්‍රතිරෝධය 1955 වසරේදී හදුනාගන්නා ලද අතර 1972 වසර වන විට ලොව පුරා මුදුරු විශේෂ 19 ක් DDT වලට ප්‍රතිරෝධය දැක්වීය. 2000 වසරේදී වියට් නාමය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ සිදු කළ අධ්‍යයනයකින් හෙලිවුයේ DDT නොවන මැලේරියා පාලන ක්‍රම වේදයක් DDT වලට වඩා සැලකිය යුතු තරම් කාර්යක්ෂම වන බවයි.

එක්සත් ජනපදයේ භාවිතා වන සමස්ථ පලිබෝධක නාශක වලින් 25% ක් පමණ නිවාස, ගෙවතු, උද්‍යාන, ගොල්ෆ් පිටි සහ පිහිනුම් තටාක ආශ්‍රිතව භාවිතා වෙයි. ඉතිරි ප්‍රමාණයෙන් 70% ක් පමණ ගොවිතැන් කටයුතු ආශ්‍රිතව භාවිතා කෙරේ.

පලිබෝධ නාශක ප්‍රතිරෝධීතාවය

[සංස්කරණය]

ප්‍රතිරෝධී පලිබෝධකයන් සඳහා පලිබෝධනාශක යෙදීම් කෘත්‍රීමව තෝරා ගැනීම සිදු වේ. මෙම රූප සටහනේ ප්‍රථම පරම්පරාවේ පලිබෝධනාශකයකට (රතු) වැඩි ප්‍රතිරෝධීතාවයකින් යුත් කෘමියෙක් සිටී. පලිබෝධනාශක යෙදීමෙන් පසු එහි අවරෝහණයක් විශාල ජනගහන අනුපාතයක් නිරූපණය කරයි. එයට හේතුව ප්‍රතිරෝධී පළි බෝධකයන් (සුදු) තෝරා ගෙන මරා දමා තිබීමයි. නැවත නැවත යෙදීමෙන් අනතුරුව ජනගහණයෙන් බහුතරයක් ප්‍රතිරෝධි පළි බෝධකයන්ගෙන් යුක්තය.

පළිබෝධ නාශක ප්‍රතිරෝධීතාවය යනු පලිබෝධ නාශකයකින් ඉලක්ක ගත වී ඇති පළිබෝධ වර්ගයක අනුවර්ථනය එමගින් එම රසායනික සංයෝගය එමගින් එම රසායනික සංයෝගයට අඩු නැඹුරුතාවක් දක්වයි. වෙනත් වචන වලින් කෘතිම තෝරා ගැනීම හරහා පළිබෝධකයන් විසින් රසායනික ද්‍රව්‍යයන් සදහා ප්‍රතිරෝධයක් ගොඩනංවයි. ඔවුන් එම පළිබෝධ නාශකයට දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් අනතුරුව එම පළිබෝධ නාශක විසින් කලින් තරම් කාර්යක්ෂ්‍යමව ඔවුන් ජීවිතක්ෂ්‍යට පත් නොකරයි. වඩාත්ම ප්‍රතිරෝධි ජීවීන් වන්නේ ගැලවී සිට ඔවුන්ගේ ජානමය ලක්ෂණ ඔවුන්ගෙන් පැවත එන්නට යැවීමට හැකි ජීවින්ය.

පළිබෝධ නාශක ප්‍රතකිරෝධිතාවයේ වඩාත් විශේෂිත අර්ථ දැක්වීම් යම් විශේෂිත පළිබෝධ නාශක කාණ්ඩ වලට යෙදෙයි. පලිබෝධ නාශක නිෂ්පාදකයන් වඩා කැමැත්තක් දක්වන්නේ සත්‍යය තත්ත්ව වලදී යම් නිෂ්පාදනයක බිදවැටීමට හේතු නොවන අර්ථ දැක්වීම් වලටය. මෙය සමහරක් විට ක්ෂේත්‍ර ප්‍රතිරෝධිතාවය ලෙස සැලකෙයි. උදාහරණ ලෙස කෘමිනාශක ප්‍රතිරෝධිතා ක්‍රියාකාරී කමිටුවේ (IRAC) කෘෂිකාර්මික ප්‍රතිරෝධිතාව පිළිබද අර්ථ දැක්වීම වන්නේ එය පලිබෝධන ජනගහනයක සංවේදීතාවය උරුම වෙනසක් බවත් ඒ හරහා ඒ ඒ පලිබෝධ ප්‍රභේදය සදහා ලේබල උපදේශ වලට අනුව අවශ්‍ය පාලන තත්ත්ව ලබාගැනීම සදහා යොදා ගත් විට නිෂ්පාදන වල නැවත නැවත සිදු වන අසාර්ථක වීම් සිදු වන බවත්ය.

පළිබෝධ නාශක ප්‍රතිරෝධිතාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවති. 1940 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ගොවීන්ට ඔවුන්ගේ බෝග වලින් 7% ක් පලිබෝධකයන් නිසා නැති වුණි. 1980 දශකයේ සිට වඩාත් වැඩිපුර පලිබෝධ නාශක භාවිතා කරත් එම ප්‍රතිශතය 13% දක්වා ඉහල ගොස් ඇත. පලිබෝධකයන් ප්‍රභේද 500 කට වැඩි ගණනක් පලිබෝධ නාශක වලට ප්‍රතිරෝධිතාවක් ගොඩ නංවා ඇත. අනෙකුත් ප්‍රභව තක්සේරු කරන්නේ 1945 සිට ගත් කළ එම ප්‍රභේද ගණන 1000 අවට පවතින බවයි.

ක්‍රැචෙල් කාෂල් විසින් මෙම සංසිද්ධිය 1962 ඇය විසින් රචනා කළ Silent Spring ග්‍රන්ථයේ සදහන් කර තිබෙයි.

ඉතිහාසය

[සංස්කරණය]

ක්‍රි.පූ. 2500ට පෙර යුගයේ පටන් පවා මානවයින් තම බෝග ආරක්ෂා කර ගැනීම සඳහා පලිබෝධ නාශක භාවිතා කොට ඇත. දැනට හෙලිව ඇති පරිදි ලොව ප්‍රථම පලිබෝධනාශකය වනුයේ මූලද්‍රව්‍ය තත්වයේ පැවති ගෙන්දගම්/සල්ෆර් කුඩු වේ. මෙය වසර 4500කට පමණ ප්‍රථම සුමේරියාවේ භාවිත කෙ‍රුණු බවට සාධක ඇත. 15 වන ශත වර්ෂය වන විට ආසනික්, රසදිය සහ ඊයම් වැනි විෂ සහිත මූලද්‍රව්‍ය පලිබෝධනාශනය සඳහා වගාවන්ට යෙදීම ආරම්භ වී තිබුණි. 17 වන සියවසේ දී දුම්කොළ පත්‍ර මඟින් නිකොටින් සල්ෆේට් නිස්සාරණය කොට එය කෘමිනාශකයක් ලෙස භාවිත කිරීම ආරම්භ කරන ලදී. මේ හැරුණු විට 19 වන ශත වර්ෂය තුළ දී තවත් ස්වභාවික පලිබෝධනාශක වර්ග යුගලක් හඳුන්වා දීම සිදු විය. ඒවා නම් ක්‍රිසැන්තමම් ශාක ඇසුරෙන් නිස්සාරණය කළ පයිරෙත්‍රම් සහ ඝර්ම කලාපීය එළවළු ශාකවල මුල් ඇසුරෙන් නිස්සාරණය කෙ‍රුණු රොටෙනෝන් යන සංයෝගයි.

1939 වසරේ දී පෝල් මුලර් විසින් DDT ඉතා සක්‍රීය කෘමිනාශකයක් බව සොයා ගන්නා ලදී. මේත් සමඟම DDT ඉතා ඉක්මනින්ම ලොව වඩාත් ප්‍රචලිත පලිබෝධනාශකය බවට පත්විය.

1940 දශකය ආරම්භ වීමත් සමඟ විවිධ නිෂ්පාදකයින් කෘතීම පලිබෝධනාශක විශාල වශයෙන් නිෂ්පාදනය ආරම්භ කළ අතර ඒවා ලොව පුරා ප්‍රචලිත විය. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව 1940 සහ 1950 දශකයන් පලිබෝධනාශක යුගයෙහි ආරම්භය සනිටුවහන් කරයි. 1950 සිට අද දක්වා කාලය තුළ දී පලිබෝධනාශක භාවිතය 50 ගුණයකින් ඉහල ගොස් ඇත. ඒ අනුව වර්තමානය වන විට එක් වසරක් තුළ කාර්මික පලිබෝධනාශක ටොන් මිලියන 2.5ක (මෙට්‍රික් ටොන් මිලියන 2.3ක්)ප්‍රමාණයක් ලොව පුරා භාවිතයට ගැනේ. ලොව භාවිතා වන පලිබෝධ නාශක ප්‍රමාණයෙන් 75%ක ප්‍රමාණයක් සංවර්ධිත රටවල භාවිතා කෙරේ. කෙසේ නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල පලිබෝධ නාශක භාවිතා වන ප්‍රමාණය ඉහල යමින් පවතී.

1960 දශකයේ දී DDT මඟින් බොහෝ මසුන් මත යැපෙන පක්ෂීන්ගේ ප්‍රජනනය වළක්වන බව සොයා ගන්නා ලද අතර එය ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් විය. මේ සමඟම රේචර් කාසන් විසින් ජෛව සාන්ද්‍රණකරණය පිළිබඳ Silent Spring නම් ග්‍රන්ථයක් ප්‍රකාශයට‍පත් කළ අතර එය ඉතා ප්‍රචලිත තත්වයට පත් විය. වර්තමානය වන විට DDT අවම වශයෙන් රටවල් 86 ක තහනම් සංයෝගයක් ලෙස නම් කර ඇති නමුත් ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල එය තවදුරටත් භාවිත කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=පලිබෝධනාශක&oldid=624743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි