පරිශීලක සාකච්ඡාව:Sannasgama
මහින්දාගමනය--Sannasgama (talk) 10:40, 23 ජනවාරි 2012 (යූටීසී)මහින්දාගමනය
මිහිඳු හිමි වැඩම කළේ උත්තිය රජු දවස ද?
දේ වානම්පියතිස්‌ස රජුගේ රාජ්‍ය කාලයේදී මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කළ බව නොදන්නේ කවරහුද? නමුත් මේ සම්මත මතයට සපුරා පටහැනි මතවාදයක් ලෙස පරණවිතාන මහතා සහ ගාමිණී මෛත්‍රීවර්ධන වැනි වියතුන් උත්තිය රජුගේ රාජ්‍ය කාලයේදී මිහිඳු හිමි වැඩම කළ බවට නව මතයක් ඉදිරිපත් කර ඇති බව දන්නේ කීපදෙනෙකි. මේ නිසා ශාසන ඉතිහාසයේ නව මතයක් වූ උක්‌ත අදහස වඩාත් සරලව පැහැදිලි කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. උත්තිය යනු, මුටසීව රජුගේ තෙවැනි කුමාරයා වූද, දේවානම්පියතිස්‌ස ලෙස හඳුන්වන රජුගේ අනුප්‍රාත්තික සොහොයුරා වූද, වංශකතා අනුව ක්‍රි. පූ. 210 දී අභිෂේක වූ රජතුමාය. ඇත්තටම මුටසීව රජුගේ දෙවැනි පුත්‍රයා වූ "දේවානම්පියතිස්‌ස" රජතුමාගේ කාලයේදී මහින්දාගමනය සිදුවීද? මුළුමහත් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේම පදනම වන්නේ දේවානම්පියතිස්‌ස රාජ්‍ය කාලයේදී සිදුවූ බව කියන මහින්දාගමනයයි. එහෙත් ඇත්ත වශයෙන්ම මහින්දාගමනය සිදුවූයේ එකී දේවානම්පියතිස්‌ස යුගයේදී ද? මහින්දාගමනය පිළිබඳව සාහිත්‍යමය කරුණු හා පුරාවිද්‍යාත්මක කරුණු තුලනාත්මකව පරීක්‍ෂා කළ විට එය තිස්‌ස රජුගේ කාලයේ සිදු වී නැති බවට තහවුරු වන තොරතුරුද හමුවිය. මේ සටහන එම වංශකතා මූලාශ්‍රවල තොරතුරු සහ ශිලා ලේඛනවල තොරතුරු තුලනාත්මකව සැසඳීමෙන් මහින්දාගමනයේ සැබෑම තත්ත්වය හෙළිකිරීම පිණිසයි. වංශකතා සහ ශිලා ලේඛන යන මූලාශ්‍ර වර්ග දෙකින්ම තිස්‌ස රජු හෝ වෙනත් රජ කෙනකු මහින්දාගමනයට සම්බන්ධ රජු ලෙස තහවුරු වේද, ඔහු සැබවින්ම මහින්දාගමනයට සම්බන්ධ රජු ලෙස පිළිගත හැකිය. එබැවින් අප තහවුරු කරගත යුත්තේ, 01. වංශකතා අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු කවුද? 02. ශිලා ලේඛන අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු කවුද? එලෙස සාහිත්‍යමය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර වෙන් වෙන්ව සහ තුලනාත්මකව විග්‍රහ කර නිගමනයකට පැමිණිය යුතුය. 01. වංශකතා අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු කවුද? පැරැණිම වංශකතාවල මහින්දාගමනය වන විට ලංකාවේ සිටි පාලකයා කවුද? දැනට හඳුනාගෙන ඇති පැරැණිම වංශකතා දෙක වූ දීපවංශයේ සහ මහාවංශයේ මිහිඳු මා හිමියන් වඩින විට ලංකාවේ සිටි රජු ලෙස සහ ශිලා ලිපි වල අදාළ යුගයේ පාලකයා එක් අයෙක්‌දැයි බලමු. මහින්දාගමනය සිදුවන විට ලංකාවේ සිටි පාලකයා මුටසීව රජුගේ අනුප්‍රාත්තිකයා වූද, මහින්දාගමනයට පෙර දෙවැනි වරද අභිෂේක වූද, මිහින්තලේ ඇටසැට ලෙන් පූජා කළා වූද, මහා විහාරය පූජා කළා වූද, දෙවනපිය නමැති විරුද පදයක් මුලින්ම භාවිත කළ රජුය. එසේනම් අප කළ යුත්තේ මේ එක් එක් කාර්යන් කළ රජු වංශකතාවලින් හඳුනාගෙන ඔහු සහ දේවානම්පියතිස්‌ස රජු එක් අයෙක් දැයි බැලීමයි. ද්විතීය අභිෂේකය පවත්වා ඇත්තේ කුමන රජුටද? දීපවංශය, "දුතියං අභිසිඤත්ථ රාජානං දේවානමපියං - අභිසත්තෝ දුතියාභිසෙකො විසාඛමාසේ උපොසථෙ (දීපවංශය ( 11 පරි ( 40 ගාථාව) අදහස, මෙසේ දෙවැනි වරද ලක්‌දිව්හි "දෙවනපිය" අභිෂේක කළේය. වෙසක් මස පෞර්ණමී පෞෂිත දිනයෙහි උහු ද්විතීයාභිෂෙක කරන ලද්දේයෑයි දත යුතුය. මහාවංශය, "දේවානම්පිය යන උපපද නම්කොට ඇති ජනයාට සැප දෙන්නා වූ ඒ නරේන්ද්‍රයා වෙසක් මස පුණු පොහෝදා ලක්‌දිවිහි ඉතා ප්‍රසිද්ධ සම්පූර්ණ උත්සවයකදී මෙසේ තමන් (නැවත) අභිෂේක කළේය. (මහාවංශය 11( පරි( 42 ගාථාව) දීපවංශය අනුව, දෙවන වරද "දෙවනපිය" අභිෂේක කළ බව සඳහන්ය. මහාවංශයේ "දේවානම්පිය" යන උපපද නම් කර ඇති ලෙස අදාළ රජු හඳුන්වා ඇත. උපපද යනු විරුදයකි. අභිධ්‍යානයකි. කෙනකුගේ නමක් නොවේ. වංශකතා අනුව දීපවංශයේ සහ මහාවංශයේ බුදු දහම වැළඳ ගැනීම සම්බන්ධ රජුට දෙවනපිය අභිධානය ලබා දී ඇත්තේ වෙසක් පොහෝ දිනෙක විශේෂ උත්සවයකදීය. මහාවංශයේ ඉතාමත් පැහැදිලිවම දෙවනවර අභිෂේකය ලැබූ රජු "දේවානම්පිය යන උපපද නම් කොට ඇති" බව කීමෙන් දෙවනපිය කිසියම් කෙනකුගේ පුද්ගල නමක් නොවන බව වැඩිදුරටත් තහවුරු වෙයි. එතැන තිස්‌ස නමැති පුද්ගලයකු කිසිසේත්ම අදහස්‌කර නැත. මේ වංශකතා සටහන් අනුව මුටසීව රජුගෙන් පසුව පළමු අභිෂේකය හා දෙවැනි අභිෂේකය ලත් යම් රජෙක් වේද, ඔහුට වංශකතාවල "දෙවනපිය" විරුදයෙන් මිස පුද්ගල නාමයෙන් හඳුන්වා නැත. • මහින්දාගමනයට අනුග්‍රහකර බුදුදහම වැළඳගත් එවකට ලංකාවේ පාලකයා වංශකතා අනුව කවුද? දීපවංශය, "දේවානම්පියෝ රාජා පසනෙතා බුද්ධ ශාසනෙ - දෙහි ධාතුවරං තස්‌සතාහතී ථූප මුත්තමං" (දීපවංශය(15 පරි 14 ගාථාව) අදහස ( "දෙවනපිය රජතෙම ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි ප්‍රසන්න වූයේය. මහාවංශය, "දෙවනපිය යන වචනයෙන් වළඳින ලද නම් ඇත්තා වූ යහපත් ප්‍රඥ ඇති ඒ රජතෙමේ නිර්මල බුද්ධි ඇත්තාවූ මහා මහේන්ද්‍ර නම් ස්‌ථවිරයන් වහන්සේ කරා පැමිණ ලංකාද්වීපයේ පළමුවැනි මහාවිහාරය කරවීය." (මහාවංශය 15 පරි( 232 ගාථාව) මේ අනුව දීපවංශයේ පාලකයා හා මිහිඳු හිමි හමුවීම හා බුදු දහම වැළඳගත් රජු දෙවැනපිය ලෙස මුල් පාලි ගාථාවල හඳුන්වා ඇති බව ඉතාම පැහැදිලිය. කොතැනක වත් "තිස්‌ස" නමැති පුද්ගලයකු අදහස් කර නැත. නමුත් දීපවංශයේ සිංහල පරිවර්ථනයේ ඉතාමත් වැරැදි සහගත ලෙස "දෙවනපිය" යන නම "දේවානම්පියතිස්‌ස" නම් රජු ලෙස පරිවර්ථනය කර ඇත. කෙසේ නමුත්, දීපවංශයේ මුල් පාලි ගාථා අනුවත්, මහාවංශය අනුවත් මහාවිහාරය මිහිඳු හිමිට පූජාකර ඇත්තේද තිස්‌ස කෙනකු නොව, "දෙවනපිය" නමැති කිසියම් නිර්නාමික රජ කෙනෙකි. ඔහු "තිස්‌ස" නැමැත්තාම වීමටත් පුළුවන. නොවීමටත් පුළුවන. දීපවංශයේ සඳහන් මහාවිහාරය පූජා කළ රජු දෙවනපිය "උප පදයෙන්" මහාවංශයේද හඳුන්වා තිබීම ඉතා වැදගත්ය. හේතුව, මහින්දාගමනයට සම්බන්ධ පාලකයා මුල් කාලීන සියලු ග්‍රන්ථවල හඳුන්වා ඇත්තේ "දෙවනපිය" නම් විරුද නාමයකි. මහින්දාගමනයට අනුග්‍රහ කළ එවකට ලංකාවේ පාලකයා බුදු දහම වැළඳ ගැනීම පිළිබඳව ලියූ වංශ කතා සටහන් වල කිසිදු තැනක එම රජු තිස්‌ස නමැත්තෙකු ලෙස හඳුන්වා නැත. පින්කම්හි නිරත වූ බැවින් එම ධාර්මික රජු, ජනයා අතර පූජනීය වීම හේතුකොට පසුකාලීනව පුද්ගලනාමය වෙනුවට දෙවනපිය නාමය පමණක්‌ම භාවිත කර ඇති බව වංශකතා අනුව පෙනීයයි. මෙලෙස රජු දෙවනපිය ලෙස හැඳින්වීම වංශකතා කරුවන්ට ලැබී ඇත්තේ "පොරාණා" නමැති කිසියම් මුඛවරින් පවත්වාගෙන ආ ඉතිහාස කතා මාලාවකි. පොරාණා" ලෙස හඳුන්වා ඇත්තේ මහා විහාරිකයන්ගේ වචනා මාර්ගය බව මහාවංශ ටීකාවේ සඳහන්ය. මෙම "පොරාණා" නමැති ඉතිහාස මූලාශ්‍රයේ දොaශයක් නිසා මහින්දාගමනයෙන් වසර හයසීයකට වඩා පසුව ලියූ වංශකතාවල "දෙවනපිය" රජුගේ පුද්ගලනාමය අමතක කර ඇති බව සිතිය හැකිය. එසේම මහින්දාගමනයට ඉතාමත් ආසන්න කාලයක ලියූ වෙනත් ග්‍රන්ථ වලින් අනුරාධපුර යුගයේදී පවා මහින්දාගමනයට සම්බන්ධ රජු පිළිබඳ මත ගැටුමක් තිබුණු බවට සාධක ඇත. වංසන්තප්පකාසිනී ටීකාව නමැති ක්‍රි. ව. දහවැනි සියවසේ ලියූ මහාවංශ ටීකාවද මෙම ගැටලුව නිරාකරණයට යම් උත්සාහයක් ගෙන ඇත. එහි දෙවනපිය යන්නට දී ඇති අර්ථකථනය මෙසේය. "දේවානම්පිය වචනොපගූල්හ නාමෝති එත්ථ දේවානම්පිය සංඛාතස්‌ස වචනස්‌ස උපපදෙ ගුල්හ පටිච්ඡන්න තිස්‌ස නාමකෝති අත්ථො, තංහි නාම විනා එව ජතො දේවත්ත කර පුඤ්Æභිරත්ත්තා දේවානංපිය රාජාති එවං තං වොහාරි" "දේවානම්පිය" යන්නෙහිම "තිස්‌ස" අන්තර්ගත බවත් රජු පින්කම්හි ඇලුනෙකු බැවින් මහජනයා ඔහු දේවත්වයට ළඟා කර තිස්‌ස යන නාමය අතහැර දෙවනපිය රජු ලෙස හැඳින්වූ බව ටීකාවේ අදහසයි. රජු අසීමිත ලෙස බුදු දහමට අනුග්‍රහ කළ නිසා ඔහුගේ පුද්ගල නාමය කුමක් වුවත්, එය අතහැර උප පදය හෙවත් අභිෂේකයේදී ලැබුණු නිල නාමය (විරුදය) වූ දෙවනපිය රජු ලෙස හඳුන්වා ඇත. නමුත් වාග් විද්‍යාව අනුව "දෙවනපිය" තුළ "තිස්‌ස" අන්තර්ගත බව කිසිසේත්ම පිළිගත නොහැක. දෙවනපිය විරුදය දැරූ රජවරු සෑහෙන ගණනක් සිටි බවට ශිලා ලිපි හමුවන නිසා එය පුරාවිද්‍යාව අනුවද පිළි නොගැනේ. එම නිසා ටීකාව දෙවනපිය සඳහා දී ඇති අර්ථකථනය වැරැදි එකකි. නමුත් දෙවනපිය රජු ලෙස හඳුන්වා ඇති නියම පුද්ගලයා පිළිබඳව තිබූ ගැටලුව මහාවංශ ටීකාව ලියන යුගයේදී ද පැවැති බව ටීකාකරුගේ සාවද්‍ය අර්ථකථනයෙන් ඉස්‌මතු වන වැදගත්ම කරුණයි. ඇත්ත වශයෙන්ම ටීකාවේ වැරැදි අර්ථකථනය නිසා වංශකතා ලියන යුගය වනවිට පවා දෙවනපිය අභිධ්‍යානය පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා නොසිටි බව පෙනීයයි. මහින්දාගමනයෙන් වසර හයසියකට වඩා පසුව වංශකතා ලියා ඇති නමුත්, ශිලා ලේඛන එම යුගයේදීම ලියන ලද්දක් නිසාත්, වරින් වර වෙනස් නොකර ඇති නිසාත් වඩාත් විශ්වසනීය මූලාශ්‍රය වෙයි. ක්‍රි. පූ. 3 වැනි සියවසට අයත් බ්‍රාහ්මී ශිලා ලිපිවලද "දෙවනපිය" නමැති නිර්නාමික රජ කෙනකු පිළිබඳව සඳහන්ය. මේ මිහින්තලෙන් හමුවූ එවැනි එක් ශිලා ලිපියකි. "දෙවනපිය මහරජුගේ බිරිඳගේ සොයුරිය වන වරුණ දන්නාගේ ලෙණ" (Inscription of Ceylon,vol;1, 1972(No.01.Mihintale -02) ක්‍රි. පූ. 3 වැනි සියවසට අයත් බ්‍රාහ්මී ශිලා ලිපියක් නිසාත්, මිහින්තලේ පිහිටීම අනුවත් මෙම දෙවනපිය මහරජු සහ මහාවංශයේත්, දීපවංශයේත් මිහිඳු හිමියන් වැඩම කරන විට මෙරට පාලකයා ලෙස සඳහන් කර ඇති "දෙවනපිය" රජුත් එක් අයකු විය යුතුය. මේ නිසා පසු කලෙක ලේඛනගත කළ මුඛ වහරේ තිබුණු කතා එකතුවක් වුවද වංශකතා වල විස්‌තරයේ වැදගත්ම දෙය වන්නේ මිහිඳු හිමියන්ගෙන් බණ අසා බුදුදහම වැළඳගත් තත්කාලීන ලක්‌දිව පාලකයා "දෙවනපිය" නැමැති වෙනත් නමකින් හඳුන්වා ඇති බවයි. ෆ වංශකතා අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු පිළිබඳ නිගමනය, මහින්දාගමනයට සම්බන්ධ රජුගේ ද්විතීය අභිෂේකය, මහින්දාගමනය, මහා විහාර සීමා ලකුණු කිරීම ආදී සියලු විස්‌තර පැරැණිම වංශකතාව වූ දීපවංශය විස්‌තර කරන්නේ "දෙවනපිය" විරුද පදයකින් පමණක් හඳුන්වා ඇති රජෙකු යටතේය. මහාවංශයේද ද්විතීය අභිෂේකය හා මහාවිහාර පූජා කිරීම අවසන් කරන්නේ "දෙවනපිය" නම් විරුද පදයකින් පමණක් හඳුන්වා ඇති රජෙකු යටතේය. මේ නිසා දැනට ව්‍යවහාර කරන පැරැණිම වංශකතා දෙක වූ දීපවංශයේ සහ මහාවංශයේ මිහිඳු හිමියන් වැඩම කරන කාලයේ ලංකාවේ සිටි පාලකයා හඳුන්වා ඇත්තේ හුදෙක්, "දෙවනපිය" යන විරුද පදයෙන් මිස "දේවානම්පිය තිස්‌ස" නමැති රජ කෙනකු ලෙස නොවේ. මේ දෙවනපිය නමැති විරුද පදයෙන් හඳුන්වන ලද පාලකයා කවුද? මුටසීව රජුගේ පුත් තිස්‌සද? නැතිනම් වෙනත් අයෙක්‌ද? 03. ශිලා ලේඛන අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු කවුද? "දෙවනපිය" යනු කුමක්‌ද? අතීත ලංකාවේ රජවරු "ගාමිණී මහරජ", මහරජ ගාමිණී දෙවනපිය "බුද්ධදාස, ත්‍රී සිංහලේශ්වර ආදී විවිධ විරුද පද භාවිත කර ඇත. "දෙවනපිය" ආදී වචන පුද්ගල නමට මුලින් යෙදූ ගෞරවාන්විත පද මිස රජවරුන්ගේ පුද්ගලික නම් නොවේ. දෙවනපිය" ලෙස අප දන්නා සුප්‍රකට දේවනපිය තිස්‌ස රජු වුවත් උත්තිය රජුගේ සිට අමණ්‌ඩ ගාමිණී අභය" රජු දක්‌වා රජවරු විශාල ගණනක් "දෙවනපිය" පදය විරුද පදයක් ලෙස පුද්ගල නමට එකතු කර භාවිත කර ඇති බවට බ්‍රාහ්මී ශිලා ලේඛන වලින්ම තහවුරු වෙයි. රජවරුන් භාවිත කළ විරුද නැතහොත් ගෞරවනාම පදවල ඉතිහාසය පරීක්‍ෂා කළ විට විරුද පද භාවිතයේ ප්‍රධාන පරිණාමීය අවධි කීපයකි. ඒවා ඉපැරැණි ආර්ය ජනාවාස නාගරීකරණය වී රාජ්‍යයන් ලෙස ක්‍රමයෙන් දේශපාලන සංකල්ප දියුණු වීමට සමාන්තරව විරුද පද සංවර්ධනය වීම සිදු වී තිබේ. මෙකී විරුද පදවල සංවර්ධනය පරීක්‍ෂා කර "දෙවනපිය" විරුදය ආරම්භ කළ රජු හෙවත් මිහිඳු හිමි වඩින විට සිටි ලංකාවේ පාලකයා හඳුනාගත හැකිය. විරුද පද භාවිත කිරීම අනුව එහි සංවර්ධනයේ ප්‍රධාන අවධි එක් එක් යුගවල රාජ්‍යත්වයේ වෙනස්‌කම්වලද නිරූපණයන්ය, ඒවා පහත පරිදිය. I ගාමිණී II ගමිණී රජ "හෝ "රජ" III "ගාමිණී මහරජ" IV "මහරජ ගාමිණී දෙවනපිය" මුල්ම ආර්ය ජනාවාස පාලකයන් ග්‍රාම පාලක තනතුර යන අරුතින් "ගාමිණී" විරුදය භාවිතකර ඇත. ග්‍රාම පාලක ප්‍රදේශ පුළුල් වී "ගාමිණීවරු කීප දෙනෙකුගේ බලය ඇත්තා යන අරුතින් ගාමිණී රජ ව්‍යවහාර කරන්නට ඇත. මහින්දාගමනය දක්‌වාම අනුරාධපුර ප්‍රධාන පාලකයා පමණක් ගාමිණී මහ රජ ලෙස හඳුන්වා ඇති බව ශිලා ලේඛන මගින් තහවුරු වෙයි. එම නිසා විරුද පදවලින් රජවරුන්ගේ බලවත්කම කොතෙක්‌දැයි නිරූපණය කරයි. දෙවියන්ට ප්‍රිය යන අරුතින් "දෙවනපිය" අශෝක අධිරාජ්‍යයා විසින් භාවිත කළ විරුද පදය ලංකාවට හඳුන්වා දී ඇත්තේ මිහිඳු හිමියන්ය. ධාර්මික රජු මහජනයා සතුටින් තබන බැවින් ඔහු දෙවියන්ට ප්‍රියවෙයි. වංශකතා අනුව "දෙවනප්‍රිය" විරුදය මහින්දාගමනය හා සම්බන්ධ රජතුමා පළමුවරට භාවිත කළ බව නොඅනුමානය. මහාචූලී මහ රජුගේ ශිලා ලිපිවල එතුමා හඳුන්වා ඇත්තේ තමන් "දෙවනපිය කුලයෙන් පැවත එන බවයි. ලඡ්ජිතිස්‌ස, භාතිකාභය, අමණ්‌ඩගාමිණී අභය වැනි රජවරුන්ගේ ලිපිවල ඔවුන්ගේත්, පිය රජවරුන්ගේත් නම් සමඟ දෙවනපිය විරුදය ලියා ඇත. මේ නිසා ඔවුන්ගේ එකම ශිලා ලේඛනයේ "දෙවනපිය" රජවරු දෙදෙනකුගේ නම් දක්‌නට ඇත. එසේම දෙවනපිය විරුදය යම් රජ කෙනකු ආරම්භ කළේද, එය එතැන් සිට අමණ්‌ඩගාමිණී රජ දක්‌වා අඛණ්‌ඩව භාවිත කළ බවට ශිලා ලේඛනමය සාධක ඇත. මෙලෙස විරුද පද සංවර්ධනය වීමේ ඉතිහාසය අනුව මහින්දාගමනය සිදු වූ කාලය මෙරට සිටි පාලකයාද සහ මුල්වරට දෙවනපිය විරුදය භාවිත කළ පාලකයා ද එක් අයකු විය යුතුය. කෙසේද යත්, "දෙවනපිය" විරුදය හඳුන්වා දීමට පෙර අනුරාධපුර රජු භාවිත කළ ඉහළම විරුදය වූයේ "ගාමිණී මහරජ" නමැති විරුදයයි. එබැවින් "ගාමිණී මහරජ" විරුදය පමණක් භාවිත කළ අවසන් රජතුමා සහ "දෙවනපිය" විරුදය මුලින්ම භාවිත කළ යම් රජෙක් වේද, එම රජුගේ කාලයේදී මහින්දාගමනය සිදු වී තිsබිය යුතුය. ගාමිණී මහරජ" විරුදය අවසානයට භාවිත කළ රජුත්, "දෙවනපිය" පළමුවෙන්ම භාවිත කළ රජුත්, වංශකතාවල මහින්දාගමනයට සම්බන්ධ "දෙවනපිය" රජුත් එක් අයකු විය යතුය. සුප්‍රකට දෙවන පෑතිස් රජුගේ යෑයි පැහැදිලිව කිව හැකි කිසිදු ශිලා ලිපියක් දැනට හමුවී නැත. නමුත් ඔහුගේ අනුප්‍රාත්තික උත්තිය රජුගේ ශිලා ලිපි කීපයක්‌ම හඳුනාගෙන ඇත. එම ලිපි අතරින් එක් ලිපියක උත්තිය රජතුමාව "ගාමිණී උත්තිය මහරජ" ලෙස හඳුන්වා ඇත. මේ එම ශිලා ලිපියයි, "ගාමිණි උත්තිය මහරජුගේ දියණිය වූ අබි තිස්‌සාගේ ලෙණ දස දෙස සංඝයාට" (Gamini - Uti - maharajhaha Jhita - Abi Tisayalene dasa - disa- sagaya dine (Inscripton of Ceylon, voI :1, 1972:No 34 Mihintaie) මේ අනුව "මහරජ උත්තිය" රජු අනුරාධපුර ප්‍රධාන පාලකයා ලෙස දෙවනපිය විරුදය නොමැතිව ශිලාලිපි පිහිටුවා ඇත. වෙනත් ලෙසකින් කිවහොත් උත්තිය රජුට දෙවනපිය විරුදය නොතිබුණ යුගයකදී උත්තිය රජතුමාගේ දියණිය මේ ලිපිය ලියා ඇත. මේ ශිලා ලිපියෙන් තහවුරු වන වැදගත්ම කරුණ වන්නේ, උත්තියට පෙර සිටි තිස්‌ස ඇතුළු කිසිදු අයෙකු දෙවනපිය විරුදය භාවිත කර නැති බවයි. උත්තියට පෙර සිටි තිස්‌ස රජුට දෙවනපිය විරුදය භාවිත කර නැති නම්, උත්තිය කුමරු අභිෂේක වූ තැන් පටන් ඔහුද දෙවනපිය විරුදය අඛණ්‌ඩව භාවිත කර තිබිය යුතුය. මිහිඳු මාහිමියන් ඇතුළු පිරිසට පළමු වස් කාලය ගත කිරීම සඳහා සකස් කර දී ඇත්තේ ලෙන් විහාරයි. කන්ථක චෛත්‍ය (පසුකාලීනව) පිහිටි තැන. "ගහට්‌ඨසිද්ධි" නමැති ලෙනක් මිහිඳු හිමියන්ට පූජා කළ බව දීපවංශයේ සඳහන්ය. එම ස්‌ථානය පරීක්‍ෂා කළ විට ක්‍රි. පූ. තුන්වන සියවසට අයත් සෙල් ලිපි සහිත ලෙන් හමුවිය. මේ එම ශිලා ලිපියයි. "දෙවනපිය මහරජ ගාමිණී උත්තියගේ නිර්මාණයයි" (De(va)napiya - maharajhaha Gamini - U (ti) nimane...., (Inscripton of Ceylon, voI :1, 1972:No 47 Mihintaie (47) O.No.04) "ගහට්‌ඨසිද්ධි" නමැති එම ලෙන පූජාකළ රජු වංශ කථාවේ දෙවනපිය රජු ලෙස නිර්නාමික රජ කෙනකු ලෙස හඳුන්වා ඇති නමුදු, එතැනම පිහිටි ශිලා ලිපිය අනුව එම ලේඛන සාදවා පූජා කර ඇත්තේද උත්තිය රජුය. අනෙක් අතට, දෙවනපිය විරුදය ලියූ සෙල්ලිපිය අතිශය වැදගත් වන්නේ දෙවනපිය විරුදය සහිතව සෙල්ලිපි ලියූ ආදිතම අවස්‌ථාව මෙය නිසාය. මහාවංශයේ සහ දීපවංශයේ මහින්දාගමනයට අදාළ සටහන්වල දෙවනපිය ලෙස හඳුන්වා ඇති රජු සහ ශිලා ලිපිවල පළමුවෙන්ම දෙවනපිය විරුදය භාවිත තැනැත්තා උත්තිය බව මෙයින් නිසැකවම කිව හැකිය. මේ නිසා උත්තිය පළමු දෙවනපිය වරයාය. කන්ඨක චෛත්‍ය (පසුකාලීනව) පිහිටි තැන "ගහට්‌ඨසිද්ධි" ලෙස හැඳින් වූ ලෙණක් වංශකතාවේ සඳහන් සේම එහි ඇති ශිලා ලිපියේ ලෙණේ අනුග්‍රාහකයා "දෙවනපිය මහරජ ගාමිණී උත්තිය" ලෙස හඳුන්වා ඇත. උත්තිය නමින් අනුරාධපුර සිටි එකම පාලකයා වන්නේ මුටසීව රජුගේ තෙවැනි පුත් කුමරා වූ උත්තිය විය යුතුය. මෙම ලිපිය පැහැදිලිව මිහිඳු මාහිමියන්ට පූජා කළ අටසැටලෙන් කර්මාන්තයේ දායකයා ලෙස උත්තිය රජු හඳුන්වා දිය හැකිය. මේ නිසා පසුකාලීන වංශකතාවල දේවනම්පිය තිස්‌ස නම් රජෙකු යටතේ විස්‌තර කරන සිදුවීම් සැබෑ ඉතිහාසයේදී උත්තිය රජුට අයත් බව නිසැකවම කිව හැකිය. මේ නිසා මුටසීව රජුගේ පුත්, තිස්‌ස මහින්දාගමනයට සම්බන්ධයක් නැති වෙනත් රජකෙනකු බව කිවහැකිය. • ශිලා ලේඛන අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු පිළිබඳ නිගමනය, උත්තිය රජු එක අතකින් "ගාමිණී මහරජ" විරුදය පමණක් භාවිත කළ අවසන් රජුය. අනෙක් අතට උත්තිය රජුම "දෙවනපිය විරුදය" පළමුව භාවිත කළ රජුය. එබැවින් උත්තිය රජුගේ යුගයේදී දෙවනපිය විරුදය එම රජුට ලැබීමට හේතුව, උත්තිය රජතුමාගේ රාජ්‍ය කාලය තුළ දී මහින්දාගමනය සිදුවී ඇති නිසා බව නිසැකවම කිව හැකිය. මහින්දාගමනය පිළිබඳ වඩාත් පෙරළිකාර වූත්, වඩාත් වෙනස් වූත් මතයක් මුලින්ම 1972 තරම් ඈත කාලයකදී එළිදැක්‌වූ පුද්ගලයා මහාචාර්ය පරණවිතාන මහතාය. ඒ මහතා ඒ සඳහා ඉවහල් කරගත් මූලාශ්‍රය අන්තරාලීන ලිපි නම් වෙනස්‌ම සෙල් ලිපි විශේෂයකි. InterIineaI Intcriptions ලෙස වෙනස් වචනයකින් මේ සෙල් ලිපි හැඳින්වීය. ඊට හේතුව වූයේ පරණ සෙල් ලිපියක් මත අලුත් සෙල්ලිපියක් ලිවීම නිසාය. මේ නිසා අලුත් ලිපිය බොහෝ දුරට කියවාගත හැකි තත්ත්වයක තිබූ නමුත් පරණ සෙල්ලිපිය ගලේම කඩතොලු වූ තැනක් සේ දිස්‌විය. මේ ලිපි මිහින්තලා පුවරු ලිපිය, පොළොන්නරු ගල්පොත ලිපිය ආදී තැන්වල එබඳු ලිපි තිබී හමුවිය. නමුත් මේවා පිළිබඳ දැනුමක් තිබුණු එකම විද්වතා වූයේ පරණවිතාන මහතා නිසා එම ලිපිවල අන්තර්ගත ආන්දොaලනාත්මක විෂය කරුණු විද්වත් සභාවල නිසි ඇගයීමක් නොලැබිණි. අදටත් විවාදාපන්න තත්ත්වයක තිබේ. පරණවිතාන මහතා කිය වූ එබඳු එක් අන්තරාලීන ශිලා ලිපියක උත්තිය රජුගේ රාජ්‍ය කාලය තුළදී මහින්දාගමනය සිදුවූ බව හෙළිකරන ලදී. මේ එම ශිලාලේඛනයයි. "..... තශ්‍ය පුත්‍රස් තථ්‍යස් චන්ද්‍රගුප්ත සප්ත විම්සතී වර්ෂාණී රාජස්‍ය නප්තූර් ධර්මාශෝක රාජ්‍යදුෂ්ට මිත්‍රො භුත්වා සප්ත විම්සති වර්ෂාණි රාජ්‍යයන් කාර්යයන් සථත්වා මෘතා නස්‍ය භාත්‍රා උත්තිය රාජා ධර්මාශෝක රාජස්‍ය භාතරම් මහා මහේන්ද්‍ර ස්‌ථවිරම් ප්‍රතිගෘහ්‍ය ත්‍රාමුපර්ණි ද්වීපෙ බුද්ධ ශාසනම් ප්‍රතිෂ්ඨා පිතාය සොඩශ වර්ෂා ෂාණී රාජ්‍යම් කාර්යං සථිතා මාතා...." (paranavitana S: the Greeks and the Manryas 1972, p.174) අදහස "චන්ද්‍රගුප්ත අධිරාජ්‍යාගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ ධර්මාශෝක රජුගේ පුත්, මහා මහින්ද හිමියන් උත්තිය රජුගේ කාලයේදී ලංකාවට පැමිණි බවයි. නමුත් එම ලිපියේ අක්‍ෂර කියෑවීම විද්වතුන් අතර විවිධ මතිමතාන්තර ඇත. වංශකතා සාහිත්‍ය සහ විරුද පද වල සංවර්ධනය බැලූ විට මහින්දාගමනය සමඟ ධර්මාශෝක රජතුමා එවූ දෙවනපිය විරුදය මුලින්ම භාවිතා කර ඇත්තේ උත්තිය රජුය. මේ නිසා පරණවිතාන මහතාගේ අන්තරාලීන ලිපි කිය වීමද නිවැරැදි බව මෙයින්ම පැහැදිලිය. මීට අමතරව ආනන්ද ස්‌ථවිර වාර්තා නම් කෝට්‌ටේ යුගයේ විසූ හිමි නමක විසින් අග්නිදිග ආසියානු රටකින් පිටපත් කරගත්තා වූ දුර්ලභ පුස්‌කොළ පොතකද මහින්දාගමනය උත්තියගේ රාජ්‍ය කාලයේදී සිදුව ඇති බව සඳහන් කර ඇති බව පරණවිතාන මහතා හෙළි කර ඇත. මෙම මතයම අභයගිරි වාසීන්ගේ වංස කතාව වූ "උත්තර විහාරඨිඨ කතා" නම් දැනට සොයාගත නොහැකිව ඇති වංශකතාවක සදහන්ව තිබුණු බව පරණවිතාන මහතාම පවසා ඇත. එබැවින් මහින්දාගමනයට ඉමහත් දායකත්වයක් සලසා ඇති දෙවනපියවරයා වන්නේ මුටසීව රජුගේ තෙවැනි පුත් කුමරා වූ උත්තිය රජු මිස තිස්‌ස රජු නොවේ. මෙම මතය නිරවුල් කිරීම සඳහාම ගාමිණී මෛත්‍රීවර්ධන මහතා "දෙවනපිය උති මහ රජ දවස මිහිඳුහිමි වැඩම කළහ" යන හිසින් අගනා ග්‍රන්ථයක් පවා එළි දක්‌වා ඇත. නමුත් ඉතිහාසයේ සැඟවුණු ශේ්‍රෂ්ඨයා වූ උත්තිය රජුට හිමි ගෞරවය ලබා දීමට විද්වතුන්ගේ ඒ කිසිදු මෙහෙවරක් ප්‍රමාණවත් වී නැත. නිගමනය , පැරැණිම වංශකතා මූලාශ්‍ර අනුව, මිහිඳු මාහිමියන් වැඩම කරන විට ලංකාවේ සිටි පාලකයා හඳුන්වා ඇත්තේ "දෙවනපිය" යන විරුදයෙන් පමණි. රජුගේ පුද්ගලනාමය සඳහන්ව නැත. නමුත් ශිලා ලේඛන අනුව එම නිර්නාමික "දෙවනපියවරයා" සහ උත්තිය රජු එකම පාලකයෙක් බව තහවුරු කළ හැකිය. එබැවින් මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කරන විට ලංකාවේ සිටි පාලකයා උත්තිය රජු බව පැහැදිලිවම කිව හැකිය. එසේම ක්‍රි. පූ. 250 දී මහින්දාගමනය සිදු වූ නිසා උත්තිය රජුගේ රාජ වර්ෂ පටන් ගත යුත්තේ ක්‍රි. පූ. 250 සිටයි. අප සෙවිය යුතු වැදගත්ම කරුණ වන්නේ උත්තිය රජු වෙනුවට තිස්‌ස නමැති පූර්වගාමියා ආදේශ වූ හේතුවයි. අශෝක අධිරාජ්‍යයාගේ ශිලා ලේඛන මගින්ම එයටද පිළිතුරක් සොයාගත හැකිය. අශෝක අධිරාජ්‍යයාගේ කාලයේදී ලංකාවට ධර්ම දූත කණ්‌ඩායම් දෙකක් පැමිණ ඇත. එනම්, 01. අශෝක අභිෂේකයෙන් වසර අටකට පසුව ක්‍රි. පූ. 260 දී පමණ ලංකාවට පැමිණි "අශෝක ධර්මය හඳුන්වා දීමට පැමිණි අප්‍රකට දූත කණ්‌ඩායමක් පිළිබඳව තොරතුරු ඇත. (13 වැනි ගිරි ලිපිය) "අශෝක ධර්මය යනු බුද්ධ ධර්මයේ ගිහි විනය සඳහා දේශනා කර ඇති සූත්‍ර ඇසුරින් අශෝක රජු පුද්ගලිකව ගොඩනඟා ගත් පාලන ප්‍රතිපත්ති මාලාවකි. එය ස්‌වයං විනයක් ඇති කිරීමෙන් රාජ්‍ය තුළ සංවර ජනතාවක් බිහිකර ගැනීම අරමුණ කර ගත්තකි. 13 වැනි ගිරි ලිපියේ මෙකී "අශෝක ධර්මය" ලංකාවට (තාමුපර්ණියට) හඳුන්වා දීමට දූතයන් පැමිණි බව සඳහන්ය. එම දූතයන් ලංකාවට එන විට මෙහි සිටි පාලකයා සහ උත්තියට පෙර සිටි "තිස්‌ස" නමැති රජු එක් අයකු විය හැකිය. 2. අශෝකගේ අභිෂේකයෙන් වසර දහඅටකට පසුව ක්‍රි. පූ. 250 දී පමණ මොග්ගලීපුත්තතිස්‌ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලංකාවට පිටත් කළ මිහිඳු හිමි ඇතුළු බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා පැමිණ ඇති සේක. මිහිඳු හිමි ඇතුළු බෞද්ධ භික්‍ෂුන් වහන්සේ වැඩම කරන විට තිස්‌සගේ රාජ්‍ය කාලය අවසන් වී උත්තිය අභිෂේක වී සිටින්නට ඇත. මෙම අශෝක අභිෂේකයෙන් වසර අටකට පසුව ක්‍රි. පූ. 260 දී පමණ ලංකාවට පැමිණි අශෝක ධර්මය හඳුන්වා දීමට පැමිණි දූත කණ්‌ඩායම සහ අශෝකගේ අභිෂේකයෙන් වසර දහ අටකට පසුව, ක්‍රි. පූ. 250 දී පමණ මොග්ගලීපුත්තතිස්‌ස මහරහතන් වහන්සේ ලංකාවට පිටත් කළ මිහිඳු හිමි ඇතුළු බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාගේ ගමන එකම ගමනක් ලෙස මුඛ වහරේ තිබෙන්නට ඇත. එය පිළිගත හැක්‌කේ ඉන්දීය ශිලා ලිපියකින් තහවුරු වන "අශෝක ධර්මය" හඳුන්වා දීමට පැමිණි දූත ගමන ලංකාවේ වංශකතාවල වෙනම සටහන් කර නැති නිසාවෙනි. නමුත් මිහිඳු හිමි වැඩම කිරීමට පෙර සිදුවූ අරිඨිඨගේ දූත ගමන් සහ තිස්‌ස - අශෝක දෙමිතුරන්ගේ තෑගි හුවමාරුව ආදිය, අනියමින් වුවද අශෝක ධර්මය හඳුන්වා දීම හා සබැඳි ක්‍රියා ලේඛන ගතකර ඇති ආකාරය බව සිතිය හැකිය. වංශකතා ලියූ ලේඛකයන්ද, පොරාණා මුඛවහර ගෙන ආ භික්‍ෂුන්ද මහින්දාගමනය මතු කළා මිස අශෝක ධර්ම දූත සේවාව විස්‌තර කර නැත. අනෙක් අතට මහින්දාගමනයට සම්බන්ධ රජු ජනප්‍රිය වූයේ "දෙවනපිය නමින්ය. එම නිසා පොරාණාවල උත්තිය නම අභාවිතව අමතක වී ඇත. අනෙක් අතට "අශෝක ධර්මය" දූත සේවාව පිළිබඳ පොරාණා වල "තිස්‌ස" නම භාවිත වී ඇත. ක්‍රි. ව. 4 වැනි සියවසේදී වංශකතා ලෙස ලේඛනගත කර ඇත්තේ මෙම පොරණාවල ලිත සංස්‌කරණයක්‌ය. එහිදී අප අතට පත්වන මහින්දාගමනය එකිනෙකට වෙනස් දූත ගමන් දෙකක් මිශ්‍ර වීමෙන් සෑදී ඇත. එනම්, (අශෝක ධර්ම දූත සේවාව + බෞද්ධ ධර්ම දූත සේවාව) - වර්තමානයේ අප අතට පත්ව ඇති මහින්දාගමනය එසේම, මහින්දාගමනය සිදුවන විට ලක්‌දිව පාලකයාගේ නමද රජවරුන් දෙදෙනකු නම් දෙකක් එකතුවීමෙන් සෑදී ඇති බව පෙනෙයි. එනම්, (බෞද්ධ ධර්ම දූත සේවාවේ + අශෝක ධර්ම දූත සේවාව) - දේවානම්පියතිස්‌ස රජතුමා දෙවනපිය රජු තිස්‌ස රජතුමා මේ නිසා පොරාණා නමැති මුඛවහරේ කතා එකලස්‌කර, සංශෝධනය කර වංශකතා ලියන විට නියම මහින්දාගමනය බොහෝ සෙයින්ම විකෘති වී ඇති බව පෙනෙයි. ලලීන්ද්‍ර සන්නස්‌ගම
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් Sannasgama, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 13:28, 23 ජනවාරි 2012 (යූටීසී)