නිල් යෝධ තරු

විකිපීඩියා වෙතින්
Zeta Orionis සූර්යයා සමඟ පරිමාණයට සැසඳූ විට

තාරකා විද්‍යාවේදී, නිල් යෝධ තරුවක් යනු තරු වර්ගීකරණයේ O හෝ B (නිල් පැහැති) ආකාරයේ සහ දීප්තතාව III වන පංතියේ (යෝධ තරු) වන තරුවකි. මේවායේ ඉහළ දීප්තතාව සහ තරු වර්ගීකරණයේ මුල්ම තරු හේතුවෙන් සම්මත හ'ට්ස්ප්‍රන්ග් - රසල් ප්‍රස්ථාරයේ වම්පස ඉහළ මෙම තරු සටහන් කරණු ලැබේ.

නිල් යෝධ තරුවක්, එහි න්‍යෂ්ඨියේ හයිඩ්‍රජන් දහනය අවසන් වූ ප්‍රධාන ධාරාවෙන් ඉවත් වූ තරුවක් ලෙස සැලකිය හැකියි. මේවායේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයෙන් 30 000K පමණ වන අතර දීප්තතාව අප හිරු මෙන් 1000 ගුණයක් පමණ වේ. මෙම තරු වයස්ගතවෙත්ම තව තවත් ප්‍රසාරණය වන අතර උෂ්ණත්වය ක්‍රමයෙන් පහත වැටේ. ඉන්පසු සමහර තරු ක්‍රමයෙන් රතු යෝධ තරුවක් බවට පත්වේ.

නිල් යෝධ තරු ඉතාමත් දීප්තිමත් වන අතර නිරපේක්‍ෂ විශාලත්වය -5, -6 අගයන්ට ළඟා වන අතර සමහර විට ඊටත් වැඩි වේ. මේවයේ මතුපිට උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගන්නා අතර (20 000K හෝ ඊට වැඩි), සැලකිය යුතු ශක්ති ප්‍රමාණයක් අප ඇසට නොපෙනෙන පාරජම්බූල කිරණ‍‍ ලෙස පිට කරයි.

බොහෝ නිල් යෝධ තරු, තරු වර්ගීකරණයට‍ අනුව O - B වල සුසංයෝගයක් ලෙස පවතී. එම තරු වල උෂ්ණත්වයේ අධිකත්වය සහ ඉහළ ඝණත්වයක් නැති බව නිසා ඉතා කෙටි ආයු කාලයක් ඇතැයි අපේක්‍ෂා කරණු ලැබේ (අවුරුදු මිලියන 10 - 100ක් පමණ). වර්තමානයේ භාවිතා වන න්‍යායන්ට අනුව මෙම තරු සුපර්නෝවා(අතිනවතාරා) පිපිරීමකින් සිය ජීවිතය කෙළවර කරගනු ඇතැයි අනුමාන කෙරේ.

නිල් යෝධ තරු යන යෙදුම නිවැරදි නොවන යෙදුමකි. සාමාන්‍යයෙන් “යෝධ“ යන යෙදුම යෙදෙන්නේ තරුවක පරිණාමයේ උසස් අවධියක් වන න්‍යෂ්ඨියේ හයිඩ්‍රජන් වෙනුවට හීලියම් දහනය වන අවධියටයි (බලන්න රතු යෝධ තරු). සත්‍ය වශයෙන් නිල් යෝධ තරු යනුවෙන් දෙයක් නොපවතියි. උදාහරණයක් වශයෙන් බෙල‘ට්‍රික්ස් (B2III) තරුව වැනි තරු මධ්‍යම වයසේ පසුවන විශාල තරු වේ. මේවා දීප්තිමත් යෝධ තරු (II පංතිය)වීමේ ක්‍රියාවලියේ නිරතව සිටිත්. නමුත් ස්ථාවර රතු යෝධ තරු වන ආක්ටෝරස් (K1III) වැනි තරු වලින් සහමුලින්ම වෙනස්ය.

මෙම මධ්‍යම වයසේ විශාල නිල් යෝධ තරු සංක්‍රාන්ති අවස්ථාවක් නියෝජනය කරයි. එනම් දීප්තිමත් යෝධ තරුවක් (සහ ඊළඟට ග්‍රහලෝකාකාර නෙබියුලාවක් වී ඉන් පසු සුදු වාමනයෙක්) බවට හෝ සුපිරි යෝධ තරුවක් (ඊළඟට සුපර්නෝවා පිපිරීමකින් හෝ දුලබ ඔක්සිජන්-නියොන් සුදු වාමනයෙක්) බවට හෝ පත්වීමට යන තරුවක් ලෙසින් නිල් යෝධ තරු හැඳින්විය හැකිය. කිසිඳු තරුවක් නිල් යෝධ තරුවක් ලෙසින් දිගු කලක් නොපවතියි. අප සූර්යාගේ මීට සමාන අවස්ථාව වනුයේ උප යෝධ (subgiant) (IV පන්තිය) අවස්ථාවයි. එනම් හයිඩ්‍රජන් දහනය ක්‍රමානුකූලව අඩු වී යන කාලයයි. තවමත් හීලියම් දහනය ඇරඹී නැත.

මෙම නිල් යෝධ තරු වල මතුපිට උෂ්ණත්වය 20 000 - 50 000 K දක්වා වන අතර අප හිරු මෙන් 25 ගුණයක් පමණ විශාල වේ. මෙම තරු සුවිසල් වීම සහ අධික උෂ්ණත්වයකින් යුතු වීම නිසාම ඉන්ධන ඉක්මනින් දහනය වී අවසන් වේ. අප හිරු වැනි තරුවක් අවුරුදු බිලියන 12ක් පමණ කල් පවතිද්දී නිල් යෝධ අවස්ථාවට පත්වන තරුවක ආයු කාලය මිලියන කිහිපයක් පමණක් වේ. ඉතා විශාල තරු නියුට්‍රෝන තරු හෝ කළු කුහර බවට පත් වෙද්දී කුඩා තරු කිසියම් දවසක වාෂ්ප වී යනු ඇත.

අතීතයේ විසූ තාරකා විද්‍යාඥයන් ස්පයිකා වැනි හයිඩ්‍රජන් දහනය කරන වාමන තරු, හත්දින්නත් තරු පොකුර වැනි ඒවා අධික දීප්තිය නිසා නිල් යෝධ තරු ලෙස නම් කරන ලදී.

නිල් යෝධ තරු, රීගල් හෝ රෙගියුලස් (සාමාන්‍ය ලෙස හයිඩ්‍රජන් දහනය කරන O හෝ B පන්තියේ තරුවකි) වැනි නිල් සුපිරි යෝධ තරු සමඟ පටලවා නොගත යුතුය.

යොමුව[සංස්කරණය]

වැඩිදුර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිල්_යෝධ_තරු&oldid=416056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි