Jump to content

නායයෑම්

විකිපීඩියා වෙතින්
1997 ජනවාරි මාසයේදී කැලිෆෝනියාවේ (ඇමරිකා එක්සත් ජනපදයේ) සැන් මැටියෝ ප්‍රාන්තයේ "පල්ලම්" නාය යාමක පරිගණක සජීවිකරණයක්.

නාය යෑම යනු විශාල ප්‍රදේශයක පොළොව සෙලවීමේ භූගෝලීය සංසිද්ධියයි. එයින් ගිලාබැසීම,ගල් වැටීම, සහ කඳු කොටස් ගැලවීයාම සිදුවිය හැක. මෙය බොහෝදුරට කඳුකර ප්‍රදේශවල සහ වෙරළ ආශ්‍රිතව සිදුවිය හැකිය. මෙම ක්‍රියාවලියට ප්‍රධාන ලෙස බලපාන්නේ ගුරුත්වාකර්ෂණයයි. එසේ වුවත් නායයෑම් වලට බලපාන තවත් සාධක රාශියක් ඇත. දැන් බොහෝමයක් නායයෑම් ඇතිවන්නේ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමෙන්ය. නාය යෑම භූමි කොටසේ ස්ථායිතාව මත රදා පවතී ,මෙම ස්ථායි-අස්ථායිතාවයට මිනිසාගේ ක්‍රියා සහ තවත් සාධක බලපායි

මිනිසාට හානි කරන උපද්‍රව අතරින් නායයෑම් ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකා‍වේ අති ප්‍රබල මට්ටමේ නායයෑම් කිහිපයක් ම සිදුවිය. මහාමාර්ග, දුම්රිය, රෝහල්, පාසල් ඇතුළු යටිතල පහසුකම් රැසක් ද මිනිස් ජීවිත වලට අමතරව විනාශයට පත් විය.අද වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 25න් 10 ක් ම නායයෑමේ තර්ජනයට මුහුන පා සිටියි. නායයෑම සඳහා භෞතික සාධක ‍සේම මානව සාධක ද බලපාන අතර අද වන විට මිනිසාගේ අක්‍රමවත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස නායයෑම් උග්‍ර වී ඇත. නාය යාමක් යනු කුමක්ද? එහි ප්‍රති විපාක මොනවාද? ඉන් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මිනිසා දැනුවත් කළ යුතුව ඇත. මේ සඳහා පහත ප්‍රධාන කරුනු ඔස්සේ අවධානය යොමු කරනු ලැබේ.

නායයෑමක් යනු කුමක්ද?

[සංස්කරණය]

මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති නිර්වචන 02ක් පහත දැක් වේ.

"නායයෑමක් යනු,ගුරුත්ව බලය හේතුකොටගෙන බෑවුමක පස,පාෂාණ,ගස් ගල් වැනි ද්‍රව්‍යයන් පහතට හා පිටතට පරිවහනය වීමයි."

-ඵ්.කේ.ලොබෙක් මහතා-

"උස් ස්ථානයක සිට පහත් ස්ථානයක් දක්වා බෑවුම දිගේ ගුරුත්ව බලය නිසා මැටි, රොන් මඩ,වැලි,බොරළු,විශාල ගල්වලින් සමන්විත ගලා යාමකි."

-මහාචාර්ය කපිල දහනායක මහතා-

කන්දක සිට වර්ෂාවත් සමග එහි තිබෙන ගස් ගල්, පාශාන ආදිය පහළට පැමිණීම නායයෑමයි

- මහාචාර්ය T.H. උදීෂ ඉවාන් මහතා-

නායයෑමක් ආශ්‍රිත ක්‍රියාවලිය.

[සංස්කරණය]

කඳු බෑවුමක් මුලින් නිර්මාණය වී‍‍මේදී ඵහි මතුපිට සකස් වී ඇත්තේ මව් පාෂාණ වලිනි. කාලයක් ගත වීමත් සමඟ භෞතික,රසායනික හා ඓන්ද්‍රිය (ජීව විද්‍යාත්මක) ජීරණ ක්‍රියාවලියට මව් පාෂාණ නතු වීම නිසා ජීරණයට ලක් වේ.එම දිරාපත් වූ ශේෂ කොටස් කඳු බෑවුම මත තට්ටුවක් ලෙස තැන්පත් වේ.ඊට යටින් පිහිටා ඇත්තේ ජීරණයට ලක්නොවූ මව් පාෂාණයයි.තද වැසි ඇති වන විට මෙම ජීරණාවශේෂ තට්ටුව උරා ගන්නා ජල ප්‍රමාණය අධික වීම නිසා අවසානයේ ජීරණාවශේෂ තට්ටුව ජලයෙන් සංතෘප්ත වී එහි බර වැඩි වේ.එමෙන් ම භූ ගත ජල ප්‍රමාණය,මව් පාෂාණය හා ජීරණාවශේෂ තට්ටුව අතර තිබෙන ඉඩ තුලින් ගලා යෑමට පටන් ගැනීම නිසා ස්තර දෙක අතර ඒකාබද්ධතාවය බිඳ වැටේ.අවසානයේ ගුරුත්ව බලය හේතුවෙන් කඳු බෑවුමේ තැන්පත් වූ ජීරණාවශේෂ තට්ටුව පහළට රූරා යයි.මෙය විද්‍යාත්මකව ස්කන්ධ අවගමනය (MASS MOVEMENT) ලෙස ද හඳුන්වනු ලැබේ.

නායයෑම් වර්ග

[සංස්කරණය]

නායයෑම් කෙ‍රෙහි බලපාන සාධක

[සංස්කරණය]

මෙය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැකිය.

  1. භෞතික සාධක
  2. මානව සාධක

භෞතික සාධක

  • භූමියේ අනුක්‍රමනය හෙවත් තීව්‍රතාවය

භූමි ප්‍රදේශයක් ප්‍රධාන කොටස් පහකින් සමන්විතය.තැනිතලා,මද බෑවුම්,මධ්‍යස්ත බෑවුම්,දල බෑවුම්,ඉතා මද දල බෑවුම් වශයෙනි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අනුව බෑවුම් අංශක15-40 අතර බෑවුම් ප්‍රදේශවල ශ්‍රි ලංකාවේ නායයෑම් ඇති වේ.ඵ් අතරින් 20-30 අතර ප්‍රදේශවල වැඩියෙන් නාය යන බව දක්වයි.

  • කඳු බෑවුමේ භූ විද්‍යාත්මක ලක්ෂණ

කඳු බෑවුමක ඉරිතැලීම්,විභේද කුස්තුර,ආදී සාධක නායයෑම සඳහා හේතු වේ.වශේෂයෙන් ම මොහොර බෑවුම්වල පාදයෙහි පිහිටා ඇති බෑවුම් නිර්මාණය වී ඇත්තේ ඊට ඉහළින් පිහිටා ඇති පාෂාණ ජීරණයෙන් ඉතිරි වූ කොටස් ආශ්‍රයෙනි.මේවා හොඳින් ඒකාබද්ධ වී නොමඅති අතර,ස්ථාවර නොවේ.අධික වර්ෂාපතනයක් ඇති අවස්ථාවල මෙම බෑවුම් කොටස සංතෘප්ත වී නායයෑම් ඇති කරයි.

  • කඳු බෑවුමේ වෘක්ෂලතාවරණය

වෘක්ෂලතා ආවරණයක් සහිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන විට වැහි බිංදු ශාක මතට වැටී ක්‍රමයෙන් බිමට පතිත වේ.ඉවිට පාංශු ඛාදනය පාලනය වේ.

  • වර්ෂාපතනයේ ප්‍රමාණය හා තීව්‍රතාවය

අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතනයක් දිගු කාලයක් තිස්සේ ලැබුනහොත් එය නායයෑම් කෙරෙහි බලපෑමක් ඇති කරයි.අධික වර්ෂාපතනයක් ලැබීම නිසා කඳු බෑවුමේ ජීරණාවශේෂ අධි සංතෘප්ත (Over Saturation) බවට පත් වේ. එය නායයෑමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමකි.

  • භූමි කම්පා ඇති වීම

භූමිකම්පාවක් නිසා ඇතිවන කම්පන තරංග පෘෂ්ඨය මතුපිට ගමන් කිරීම නිසා අදාල ප්‍රදේශයේ බෑවුම් ප්‍රදේශ ද චලනයට ලක් වේ.එවැනි අවස්ථාවක කඳු බෑවුමේ පවතින පාෂාණ කොටස් ගැලවී ක්ෂණිකව පහළට කඩා වැටිය හැකිය.
මානව සාධක

  • වනාන්තර විනාශය

ජන සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීම සමග ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වනාන්තර විනාශ කරන ලදී.ශාක වල මුල් මගින් පස් බැඳ තබා ගනී.එයින් එහි භෞතික තත්වය හා යාන්ත්‍රික ශක්තිය වැඩි වේ.එහෙත් වන විනාශය නිසා පසේ බෑවුම් වල ස්ථායිතාවය අඩු වී පස් අස්ථායි වේ.එවිට වැස්ස ආ විට මෙම පස් ස්තර ගැලවී යාමට ලොකු හැකියාවක් ලැබේ.දළ බෑවුම්වල දුම්කොළ වගාව මෙන්ම අවිධිමත් තේ වගාවත් නායයෑමට හේතු වේ.

  • අක්‍රමවත් ඉදි කිරීම්

මිනිසුන් තමන්ට නිවාස තැනීමට භූමිය හිඟ වූ නිසා කඳුකර ප්‍රදේශවල නිවාස හදන ලදී.අංශක90 බෑවුම කපා නිවාස හැදීම නිසා නායයෑම බහුලය.

  • භූමිය මතුපිට ජලය ගලා යාමට බාධා ඇති වීම

ක්‍රමානුකූලව සකසා ඇති ජල ප්‍රවාහන පද්ධතියක් ඇත්නම් ජලය ගලා යාම ක්‍රමවත් වේ.

  • කෘතීම පිපිරවීම් ඇති කිරීම

කළුගල් වැඩපලවල ඩයිනමයිට් යොදා පිපිරවීම් කරයි.එමගින් ඇති කරන කම්පනය භූමිකම්පාවකින් සිදුවන ක්‍රියාවලියට සමානය.ජීරණාවශේෂ තට්ටුව පිපිරීම නිසා සෙලවීමකට ලක් විය හැකිය.ජීරණාවශේෂ තට්ටු අතර ඒකාබද්ධතාවය නැති වීම නාය යාමට හේතු වේ.

  • අවිධිමත් වගා ක්‍රම හා අනුචිත වගාවන්

මේ නිසා ජලය ගලායාමට බාධා ඇති වේ.අතීතයේ සිට කඳුකරයේ වගාවන් සඳහා යොදා ගත්තේ හෙල්මළු වගා ක්‍රමයයි.නමුත් අද දුම්කොළ,එළවළු ආදී වගාවන් වලදී මේ ක්‍රමය යොදා නොගනී.මෙය ජලය බැස යාමට බාධාවක් වන අතර මේ නිසා පාංශු ඛාදනය බහුලය.

  • පැරණි නාය බිම් භාවිතයට ගැනීම

එක් අවස්ථාවකදී නාය ගිය ප්‍රදේශයක් නැවත නාය යාමට ඇති ප්‍රවණතාවය වැඩිය. උදා-2003 වර්ෂයේ පුද්ගලයන් 60ක් පමණ මිය ගිය රත්නපුර ඇලපාත ප්‍රදේශයේ නායයෑම.

  • අවිධිමත් වන වගාව

නායයෑම් බහුල ප්‍රදේශ වල දේශීය ශාක වෙනුවට විදේශීය ශාක වගා කිරීම. උදා-පයිනස් වගාව

නායයෑමක් ඇති වීමට පෙර ඇති විය හැකි ලක්ෂණ

[සංස්කරණය]

මූලික ලක්ෂණ කිහිපයකි.

  • කඳු බෑවුම් ප්‍රදේශවල පැලුම් ඇතිවීම හා ඒවා ක්‍රමයෙන් පුළුල් වෙමින් ගැඹුරු වීම.
  • කලින් තිබූ ජල උල්පත් සිඳී යාම හා පෙර ජල උල්පත් නොතිබූ තැන් වලින් හිටි හැටියේ ජල උල්පත් මතු වීම.
  • කඳු බෑවුමේ ඇති ගස්,දුරකතන කණු,විදුලි කණු,කඳු බෑවුමේ පහළ ප්‍රදේශයට ඇලවීම.
  • මොහොර බෑවුමක පස් තට්ටුව මත සරුවට වැඩුණු පොල්,පුවක් වැනි ශාක ක්ෂණිකව මැරී යාම.
  • ස්ථීර ගොඩනැගිලි පුපුරා යාම.
  • ස්වාභාවික දිය උල්පත් වලින් පිටවන ජලය මඩ සහිත වීම.
  • ආපදාවට ලක් වන ප්‍රදේශවල තිබෙන බෑවුම,මාර්ගවල,ගොඩනැගිලිවල,නිවාසවල බිත්තිවල හෝ ඉදිකිරීම්වල හදිසියේ පැලීම් ඇති වීම.
  • බෑවුම් වල ගිලා බැසීම්,ඉලිප්පීම්,හදිසියේ ජලය මතු වීම.
  • ගංඟා ආශ්‍රිත ප්‍රදේශවල සතුන්ගේ හා පක්ෂීන්ගේ අසාමාන්‍යය අස්වාභාවික හැසිරීම.

නායයෑම් වලින් සිදුවන හානි.

[සංස්කරණය]

ජීවිත හානි

[සංස්කරණය]

මෙය ප්‍රබලම හානියයි.මානව සම්පත රටේ ආර්ථිකයට ඉතා වැදගත් වේ. එබැවින් මෙලෙස මියයෑම ආර්ථිකයට බලපායි.

නිවාස හානිය

[සංස්කරණය]

මෙය පුද්ගලයාට ආර්ථික වශයෙන් ද මානසික වශයෙන් ද බලපායි.

දිස්ත්‍රීක්කය වර්ෂය ස්ථානය සිදු වූ ජීවිත හානි නිවාස හානි
කෑගල්ල 1947 කඩුගන්නාව 40 15
1957 පහල කඩුගන්නාව 05 15
1981 යටියන්තොට 20 02
1981 අරණායක(බෙරවල) නොදනී 30
1983 මාවනැල්ල 02 03
1985 වරකාපොල 10 03
2016 අරණායක 150 ක් පමණ නොදනී
නුවර එළිය 1970 වලපනේ 19 නොදනී
1973 වලපනේ 13 නොදනී
1983 හෝර්ටන් බ්‍රිජ් 05 නොදනී
1986 මතුරට-කැටපලාන 13 නොදනී
රත්නපුර 1979 කුරුවිට 05 10
1982 පැල්මඩුල්ල 08 15
1982 පතුල්පාන 09 නොදනී
1984 ඇඹිලිපිටිය නොදනී 21
1984 කුරුවිට නොදනී 40
1985 ඇහැලියගොඩ නොදනී 46
2003 ඇලපාත 75 නොදනී
2003 පලාවෙල 60 40
මාතලේ 1982 පිටකන්ද 23 නො‍දනී
කළුතර 1984 බුලත්සිංහල 42 නොදනී
මහනුවර 1985 නාවලපිටිය 04 10

භූමි හානිය

[සංස්කරණය]
  • භූමියේ ගුණාත්මක බවට හානි සිදු කරයි
  • පුද්ගලයන් සතු ඉඩකඩම් අහිමි වීමෙන් භූමියට හානි සිදු කරයි

ගංවතුර හා නායයෑම් නිසා සිදු වූ හානිය

[සංස්කරණය]

2003 වර්ෂය

විපත්තිය සංඛ්‍යාව
තම ජීවිකාවට තර්ජනය එල්ල වූ පවුල් 73,000
තම භූමි අහිමි වූ පවුල් 3381
හානියට ලක් වූ කුඹුරු බිම් (හෙක්ටයාර) 12,000
හානියට ලක් වූ කුඩා තේ වතු(හෙක්ටයාර) 7595
හානියට ලක් වූ කුඩා වැව් 69
හානියට ලක් වූ අමුණු ප්‍රමාණය 675
විනාශයට ලක් වූ පාසල් 106274

වගා හානිය

[සංස්කරණය]
විපතේ ස්වභාවය සිදු වූ හානිය රුපියල් සිදු වූ හානිය ඇ.ඩොලර්
කෘෂි ක්ෂේත්‍රය තුළ ඇස්තමේන්තුගත අලාභහානිය 38,000,000 400,000
තේ වගා ක්ෂේත්‍රය තුළ ඇස්තමෙන්තුගත අලාභහානිය 86,400,000 900,000
ප්‍රධාන වාරි ක්ෂේත්‍රය තුළ 106,147,000 1,105,700
කුඩා වාරි සහ ජල සංරචක ක්ෂේත්‍රය තුළ 768,000,000 800,000
පාසැල් වැඩි දියුණුව සඳහා වන පිරිවැය 133,008,000 1,385,500
පාසැල් වලට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා වන පිරිවැය 96,000,000 1,000,000
එකතුව 586,355,200 5,591,200

රටේ ආර්ථිකයට සිදුවන හානි

[සංස්කරණය]

යටිතල පහසුකම් වලට සිදුවන හානි

[සංස්කරණය]

සමාජීය හානි

[සංස්කරණය]

පරිසරයට හා සතුන්ට සිදුවන හානි

[සංස්කරණය]
  • කඳු ප්‍රදේශ කඩා වැටීමෙන් කඳුකරයේ භෞතික භූ දර්ශනයේ ස්වභාවය වෙනස් වීම.
  • ජල උල්පත්වල ගමන්මාර්ග අවහිර වීම හා උල්පත් සිඳීයාම හෝ නව ජල උල්පත් නිර්මාණය වීම.
  • වනාන්තර විනාශ වීම හා සත්ත්ව වාසභූමි වෙනස් වීම.
  • පාංශු ව්‍යූහය වෙනස් වීම.
  • ජල ගැලීම් ඇති වීම.

ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ නායයෑම්වල ස්වභාවය.

[සංස්කරණය]
  • ඇ.එ.ජ. භූ විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව 1999 දෙසැම්බර් මස වෙනිසියුලාවේ සිදු වූ නායයෑම් වලින් සිදු වූ මරණ සංඛ්‍යාව 30,000ක් තරම් විශාල විය.
  • ඇ.එ.ජ. භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව 21 වන ශත වර්ෂ‍යේ ඉතා විශාල නායයෑම් 02 ක් වාර්තා විය. ඒවා නම් 1980 දී ශාන්ත හේලන්ස් (වොෂින්ටන්) සිදු වූ නායයෑම ඉන් එකකි. මෙම නායයෑම මගින් දළ වශයෙන් ප්‍රමාණයෙන් ඝණ සැතපුම් 1.7 ක් තරම් විශාල පාෂාණ හා මඩ තට්ටුවක් පහතට කඩා වැටුණි.අනෙක් විශාල නායයෑම වන්නේ 1911 දී ටජිකිස්තාන්හි සිදු වූ නායයෑමයි.
  • ශ්‍රී ලංකාවේ නුවරඑළිය,බදුල්ල,රත්නපුරය,කෑගල්ල,මාතලේ,කළුතර,මහනුවර,ගාල්ල,මාතර,හම්බන්තොට නායයෑමේ තර්ජනයට මුහුන පා ඇති දිස්ත්‍රීක්ක වේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වේ.
  • අරණායක එළගපිටිය කන්දේ සිදු වුයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඇති වු නාය යාම් අතුරින් විශාලතම ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍නායයෑමයි.
  • දැනට ඇති වාර්තා වලට අනුව මෙම ශතවර්ෂය ආරම්භයේ එනම් මුල් දශක හය තුළ විශාල නායයෑම් 6 ක් සිදු වූ අතර ඊට පසුව 1981-1986 දක්වා වර්ෂ 06 තුළ විශාල පරිමාණ නායයෑම් 4ක් සිදු වී ඇත. 1989 ජූලි මාසයේදී තවත් විශාල ප්‍රමාණයේ නායයෑමක් ඇති විය.ඊට පසුව සෑම වසරකදී ම විශාල ප්‍රමාණයේ නායයෑම් වාර්තා වේ.

නායයෑම් වලක්වා ගැනීමට අපට කළ හැකි දේ

[සංස්කරණය]
  • නායයෑම් වලට අවධානමක් ඇති කඳු බෑවුම් වල මිනිස් කටයුතු පාලනය කළ යුතුය.ඒ යටතේ අක්‍රමවත් ඉදි කිරීම් සිදු කිරීම,වගා කටයුතු කිරිම වැනි දෑ පාලනය කළ යුතුය.
  • පොළොව මතුපිට ජලය රඳා නොසිට පහසුවෙන් බැස යාම පිණිස කාණු පද්ධතියක් ස්ථාපිත කළ යුතුය.මෙම කාණු ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ වන සේ සමෝච්ඡ රේඛාවන් ඔස්සේ කැපිය යුතුය.
  • කඳු බෑවුම ආශ්‍රිතව කරන වගාවන් වලදී ජලය නිසි ලෙස බැස යන ආකාරයට සැකසීම.
  • පැරණි නායයෑම් බිම් හඳුනා‍ගෙන එම බිම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සිතියම් නිර්මාණය කිරීම.
  • නායයෑම් වලට ලක් වූ ප්‍රදේශවල පාංශු ස්තරය ආරක්ෂා කිරීම සඳහා ගස් වැල් රොපණය කිරීම.
  • බෑවුම මත ජීරණාවශේෂ තට්ටුවේ ඒකාබද්ධතාවය ඇති කිරීම සඳහා දේශීය ශාක සමෝච්ඡ වැටි ලෙස වැවීම.
  • නායයෑම් පූර්ව ලක්ෂණ හඳුනාගෙන පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියා පටිපාටියක් රට තුළ ස්ථාපිත කිරීම.
  • නායයෑමේ දී පහතට ලිස්සා යන බිමෙහි හිස ඉවත් කර (මුදුනු කපා)භූමියේ බර අඩු කිරීම සහ මනා ජලවහන රටාවක් ඇති කිරීම. මෙහිදී ජලය නිසි ආකාරයෙන් බැස යන ආකාරයට කානු පද්ධතියක් ස්ථාපිත කළ යුතුය.
  • නායයෑම් වලට ගොදුරු විය හැකි ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විකල්ප නිවාස හා ඉඩම් ලබා දීම.
  • වන විනාශය අවම කිරීම. ආදියයි

කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමට නම්,

[සංස්කරණය]

ක්‍රමවත් ඉඩම් ප්‍රතිපත්තියක් යටතේ

  • පාංශු සංරක්ෂණයට ක්‍රමෝපායන් හඳුන්වා දීම.
  • කඳුකර බිම්වලට උචිත භූමි පරිභෝගයක් ස්ථාපිත කිරීම.
  • සැලසුම් සහගත නොවන ඉදි කිරීම් නතර කිරීම.
  • පරිසරයට වන හානිය අවම කර ගනිමින් සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම.
  • ජනතාවගේ දැනුම මට්ටම වර්ධනය.
  • නවීන තාක්ෂණික ක්‍රියා මාර්ග අනුගමනය කිරීම.
"https://si.wikipedia.org/w/index.php?title=නායයෑම්&oldid=680299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි