නාම රූප
ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා :- නාමංච රූපංච
පරිඤ්ඤෙය්‍ය වූ ධර්මතා දෙකකි:- නාමය හා රූපයයි.(පටිසම්භිදාමග්ග,40පිට)
ඒ අනුව දුක්ඛ සත්‍යප්‍රතිවේදය නිර්වාණාවබෝධය නම් එය වනාහි නාම රූම පිරිසිඳ දැකීමෙන්ම උපදවා ගත හැකිය. ඒ නිසාම නාම රූප විග්‍රහය විවිධාකාර න්‍යායන් ඔස්සේ විභජනය වන අයුරු ත්‍රිපිටකය විමසීමෙන් පෙනීයයි. නාම රූප පිළිබඳව සොයා බලන්නකු විසින් මේ විවිධ න්‍යායන් පිළිබඳව තේරුම් නොගැනීමෙන් මහත්ම අවුලකට පත්විය හැකිය. ඒ නිසා නාමරූප න්‍යායන් යම් පමණකට මෙලෙස විග්‍රහ කල හැකිය.
1. ස්ඛන්ධ න්‍යාය.
නාමරූපය අර්ථ දක්වන ප්‍රධානතම ක්‍රමයක් ස්ඛන්ධ භේදයයි. එහිදී රූපය ලෙස සතර මහාධාතු හා උපාදාය රූපයත් නාමය ලෙස වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ විග්‍රහ කිරීමත් සිදුවේ. කලහ විවාද සූත්‍රයේ දක්නට ලැබෙන
"නාමංච රූපංච පටිච්ච ඵස්සො" යන තැන මහා නිද්දේස පාලියේදී තව දුරටත් විග්‍රහකොට දක්වයි.
"චක්ඛුං පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො. චක්ඛුංච රූපාච රූපස්මිං. චක්ඛු සම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං. ඒවංපි නාමඤ්ච රුපඤ්ච පටිච්ච ඵස්සො" එහි ඇස රූපය රූප වන අතරම චක්ඛුවිඤ්ඤාණය හා ස්ඵර්ශය හැර අනෙක් සියල්ලම නාම ධර්ම ලෙස දක්වයි. ඒ අනුව එහි විඤ්ඤානයද නාම සංඛ්‍යාවටම ඇතුළත්කොට දක්වා ඇත. (කලහවිවාද සුත්ත නිද්දෙසො, මහා නිද්දෙසපාලි, 374 පිට)
ද්වේ ධම්මා පරිඤ්ඤෙය්‍යා යන තැනද පටිසම්භිදාවේ නාම රූපය ස්ඛන්ධ න්‍යාය ඔස්සේම සංගෘහිතය. ඒ අනුව ස්ඛන්ධ දැක්වෙන බොහෝ තැන් නාම රූප යටතේ ස්ඛන්ධ න්‍යාය ඔස්සේ සාකච්ඡා කල හැකිය. එහිදී චක්ඛු ආදී රූපය පුරේජාතවත් නාම ධර්ම සහජාතවත් දැක්වේ. නාමයන්ගෙන් වේදනා ආදියේ වෙන වෙනම පැවැත්මක් නැත. (පට්ඨානපාලි1, 6 පිට)
2. පටිච්චසමුප්පාද න්‍යාය.
පටිච්චසමුප්පාදයේ එන නාම රූප විග්‍රහයද ඉතා සුවිශේෂී වූවකි. එහි නාම රූප යෙදෙන තැන් තුනකි.
නාමරූප පච්චයා විඤ්ඤාණං.
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාමරූප පච්චයා සලායතනං(දීඝ නිකාය 2, මහාපදාන සුත්ත, 48 පිට.)
මේ තුන් තැනම නාමරූප යෙදි ඇතිමුත් එයි ගම්‍යාර්ථය එකක් නොවේ. එනම් මේ තුන් තැන දක්වන නාම රූප එකිනෙකට වෙනස් ලෙස ධර්මානුකූල ලෙසම අර්ථ දැක්විය හැකිය. නමුත් බොහෝ දෙනෙකු මේ එකම නාමරූපය ලෙස වරදවා ගනී.
- නාමරූප පච්චයා විඤ්ඤානං
නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤානය වේ. මෙය මහා පදාන සූත්‍රය හා මහා නිදාන සූත්‍රය ආදියෙහි විග්‍රවී ඇත. ඒ අනුව විඤ්ඤානයට හේතුව නාමරූපයි. නාමරූපය ඇති තැනෙකම විඤ්ඤානය හටගනී. පුරාණ කර්මය නිසා ඇතිවන කර්ම කර්ම නිමිති ගති ගති නිමිති ආදිය මෙහි නාම රූප යන්නෙන් අදහස් වන අතර ඒ නිසාම විඤ්ඤානයාගේ මවුකුසට බැස ගැනීම වෙයි. අවිද්‍යා මූලිකව කතා කරන කල නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වන සංස්ඛාරයම මෙහි නාම රූප ලෙස දැක්වෙයි. ඕලාරික මට්ටමෙන් ගතහොත් අවසාන චුති චිත්තයට අරමුණුවන ගතිය හා නිමිත්ත නාමරූපයෙන් විග්‍රහ කරයි. ඒ නාමරූපය අනුවම විඤ්ඤානායාගේ ප්‍රතිසන්ධිය වේ. අරමුණු කරන තැන පහල වීමක් මෙනි. පටිසම්භිදාවේ උදයබ්බ්‍ය ඤානයේදී විඤ්ඤාණය අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ඛන ඔස්සේ හටගැනීම දැකිය යුතුයැයි කරන විග්‍රහයේදී විඤ්ඤාණයට හේතුවන නාමරූපය කෙලෙස් සහිත බවකින්ම ප්‍රකට කරයි.
- විඤ්ඤාණ පච්චයා නාමරූපං
විඤ්ඤානය නිසා නාමරූපයාගේ හට ගැනීම යන තැනෙක නාමරූපය ඉහත නාමරූපය නොවේ. මෙහි විඤ්ඤාණය තේරුම් ගැනීම නාමරූප සුඛාවබෝධයට හේතු වෙයි. ඕපපච්චයික නිබ්බත්ති ලක්ඛනණය මේ විඤ්ඤාණයේ ලක්ෂණයයි. (නෙත්තිප්පකරණ, පදට්ඨානහාර, 48 පිට) එනම් වස්තු සවිඤ්ඤාණක කරන ලක්ෂණයයි. (පේටකෝපදෙස, 152 පිට) විඤ්ඤාණය නාමරූපයට බැසගත් කල එය සවිඤ්ඤාණකයැයි කියනු ලැබේ. ඒ සවිඤ්ඤාණක බව නිසාම නාමරූප සැකැස්ම වේ. එහි රූපය චක්ඛු ආදී ආයතනයන්ගේ සැකසීම ලෙසටත් නාමය වේදනා, සඤ්ඤා, සංඛාර,ලෙසටත් දැක්වෙයි. (විභඞගප්පකරණ-1, පටිච්චසමුප්පාද විභඞගො, 260 පිට) ඒ නාමරූප රැස්කිරීම් අර්ථයෙන් වේ. ඇස රුප හා ඒ කෙරෙහි නැමුන මනසිකාරාදිය මෙහි නාමරූපය වේ. මේ ධර්මයන්ගේ රැස් කිරීම නාමරූපයයි. ඒ රැස්වීම නිසාම සලායතනය වේ.
- නාමරූප පච්චයා සලායතනං
නාමරූප ප්‍රත්‍යයෙන් සලායතන කී කල ඉහත නාමරූප සමවායෙ රැස්වීම ව්‍යවස්ථාපනයයි. (නෙත්තිප්පකරණ, පදට්ඨානහාර, 48 පිට) එනම් එය එක ආයතනයකට යොමු වීම ලෙස රලු මට්ටමෙන් දැක්විය හැකිය. එහි රූපය විඤ්ඤානය ඇසුරු කරන වස්තු රූපය වන අතරම නාමය වේදනා, සඤ්ඤා, සංඛාර, ලෙස දැක්වෙයි. චක්ඛුවිඤ්ඤානයෙහි නියෝජනයත් මෙයමයි.
3. පටිච්චසමුප්පාදයට අදාලව පොදු න්‍යායක් ලෙසත් මජ්ඣේ සූත්‍රය හා සම්මාදිට්ඨි සූත්‍රයත් ඇතුලත්ව බොහෝ සූත්‍රයන්ගේත් එන නාම රූප විග්‍රහය.
එහි රූපය ලෙස සතරමහා ධාතුව හා උපාදාය රූපය ලෙස දැක්වෙන අතර නාමය ලෙස වේදනා සඤ්ඤා චේතනා ඵස්ස මනසිකාර ලෙස දැක්වේ. ස්ඛන්ධ භේදයේදී නාම ස්ඛන්ධ සතරක් ලෙස හා පටිච්චසමුප්පාදයේදී ස්ඛන්ධ තුනක් ලෙස දැක්වුවද මෙහි නාම ධර්ම පසක් වෙයි. වේදනා සඤ්ඤා යෙදීම සාමාන්‍ය වන අතර මෙහි විශේෂව යෙදී ඇත්තේ චේතනා, ඵස්ස, මනසිකාර යන ලක්ෂණයි. මේ තුන හා අනෙක් දෙකද ඇතුළත්ව පොදුවේ සංස්කාරස්ඛන්ධයටම ඇතුලත් කල හැකි වුවද ඒ ඒ දෙයින් වෙන වෙනම ස්වීය අර්ථයක් ප්‍රධාන ලෙසම සිදුකරන නිසාම වෙනම දක්වා ඇත. වේදනාව අරමුණේ රස විඳීම ස්වභාව කොට ඇති අතරම සඤ්ඤාවේ ස්වභාවය හැඳිනීමයි. චේතනාව යනු සිතීමයි. ඵස්ස යනු ස්ඵර්ශයයි. එය සාමාන්‍යයෙන් ඇසට රූප ගැටීමෙන් වන ස්ඵර්ශය නොව වේදනා සඤ්ඤා චේතනාවන්ගේ සඞගතියයි. මනසිකාරය යනු ඒ අනුව සිදුවන මනසි කාරයයි. පටිච්චසමුප්පාදයේ එන නාමරූප ප්‍රත්‍යයද මේ ආකාරයට අර්ථ ගන්වා ඇත.
පොදුවේ ගත්කල නාමරූපයන්ගේ පොදු යෙදීම් මෙලෙස සමස්ථයක් ලෙස වර්ගීකරණයට ලක් කල හැකි අතර මෙහි අරුත් ගැනීම ඒ ඒ ප්‍රස්තුතයට අදාලව සිදුකල යුතුය. විශේෂයෙන් පටිච්චසමුප්පාදය වැනි න්‍යායක අර්ථ ග්‍රහණය කිරීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. පටිච්චසමුප්පාදය අප කිහිප න්‍යායකින් සාකච්ඡාවට බඳුන් කරයි. අභිධර්ම ක්‍රමය හා සූත්‍ර ක්‍රමයයි. සූත්‍ර ක්‍රමයට පොදුවේ සන්තති අර්ථයකින් සිත් රැසක් එක්ව හෙන පටිච්චසමුප්පාදය පැහැදිලිකොට ඇත. අභිධර්ම න්‍යායේදී පටිච්චසමුප්පාදය ඒ සංතතිය ඇතුලත පටිච්චසමුප්පාද රාශියක් විග්‍රහ කොට දක්වයි. මේ දෙක අවුල් නොකර ගත යුතුය.
උදාහරණයක් ලෙස:- ඇසට රූපයක් ගැටීමෙන් පසු ඒ රූපය අරඹයා තණ්හා කිරීමත් පුද්ගල බවේ ජාතිය හා ඒ නිසා ජරාමරණ දුක් විඳීමත් කියන සිදුවීම එක සිතක ස්වභාවයක් නොවේ. එය සිත් සමූහයක සිදුවීමකි. ඒ එක සිතක් සිතක් පටිච්චසමුප්පාදය අනුව වුවද එය සාමාන්‍ය සූත්‍රයන් තුළ අර්ථ ගන්වා නැත. නමුත් අභිධර්ම න්‍යාය ඔස්සේ එය වෙන වෙනම සිතක් සිතක් පාසා අර්ථ ගන්වා ඇත. එයින් කරුණු විමසන්නෙකුට මනාවම අනාත්ම දර්ශනය ප්‍රකට කොට දැක්විය හැකි නිසාමය. කරුණු නොදන්නෝ සූත්‍රය පමණක්ම ගැනීමෙන් මෙය අවුලකට පත්කරගන්නා අයුරක් දක්නට ලැබෙයි. නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයත් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූපත් වෙන බව සියලු තැනට ආදේශ කිරීමෙන් විපාක නාමරූපයේ ලක්ෂණ හෝ කර්මයන්ගේ ලක්ෂණය නොදක්වයි. විපාක සිත්වල පවා කර්ම යෙදෙන අයුරකින් දක්වයි. විපාක චක්ඛුවිඤ්ඤාණ සිත ගත හොත් මෙයද නාමරූප ප්‍රත්‍යයෙනි. නමුත් මෙහි නාම රූප දැක්විය යුත්තේ අභිධර්ම න්‍යායට මිස සූත්‍ර න්‍යායට නොවේ. සූත්‍ර න්‍යායට අනුව එක සිතක පටිච්චසමුප්පාදය දැක්වීමක් නොවේ. ඒ සිතේ නාමය වෙනම එකින් එක හටගැනීමක් නැත. ඒවා සහජාතය. චක්ඛුවිඤ්ඤානය හා එක්වම උපදී වේදනාව කලින් ඉපදී සඤ්ඤාව ඊට පසු උපදි ලෙස එයට අර්ථ දැක්විය නොහැකිය. එහි රූපයද ඇතැමෙක් නාමස්වරූපයක් ලෙස ගත්තද එය සාවද්‍යය. රූපය නිස්සය ප්‍රත්‍යයෙන් එම සිත හා නිශ්‍රය වන බව පට්ඨානයෙහි නිශ්‍රය ප්‍රත්‍ය විග්‍රහයෙහි දක්වා ඇත