නාමල් උයන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

Namal uyana7.jpg

නාමල් උයන යනු ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නා වනය වේ. මෙහි ඇති ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය සහ භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්‍ෂණ නිසා සුවිශේෂී වූ සංරක්‍ෂිත භූමියක් ලෙස නම් කොට ඇත. මේ නිසාම ජාතික නාමල් උයන සංචාරකයින්ගේ ආකර්ෂණීය තෝතැන්නක් වී ඇත.

පිහිටීම[සංස්කරණය]

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම ප්‍රදේශයේ පිහිටි නාමල් උයනට පිවිසීම සඳහා කොළඹ අනුරාධපුර අධිවේගී මාර්ගයේ මඩාටුගම හන්දියෙන් කි.මී.7 ඇතුළට පිහිටි ගල්කිරියාගම ගමේ ආඬියාගල නම් පාරේ පැමිණිය යුතුය.

Location in namal uyana.gif

භෞතික ලක්‍ෂණ[සංස්කරණය]

ජාතික නාමල් උයනේ ‍භෞතික වශයෙන් කැපී පෙනෙන ලක්‍ෂණ දෙකකි.එනම්

  1. ප්‍රදේශයේ භූමි ප්‍රමාණයෙන් අක්කර 260 ක ප්‍රමාණයක් පුරා නා ගස්
  2. වසර මිලියන 500 ක භූමියක් පුරා පැතිරුණ රෝස තිරුවානා කන්ද
රෝස තිරිවානා කන්ද

රෝස තිරුවානා කන්ද කඳු වැටි 7කින් සැදුම්ලන අතර එය දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය ද වේ.මෙහිදී සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු ‍‍‍බෙදුණු විශාල නා කඳන් සහිත නා ගස් දැකීමට හැකි අතර නා පත්‍ර දළු අවධියේ දී රක්ත වර්ණයෙන් දිස්වන අතර පරිණත වන විට දී දිලිසෙන තද කොළ පැහැයෙන් දැකීමට හැකිවීම කැපී පෙනෙන ලක්‍ෂණයකි.මෙහිදී ශ්‍රී ලංකාවේ දැකිය හැකි අඩි 60 ක පමණ වට ප්‍රමාණයෙන් යුක්ත වූ විශාලතම නා ගස ද මෙම වනය තුළ දැක ගත හැකිය.නා වනය තුළ නා වි‍ශේෂ දෙකක් ප්‍රධාන වශයෙන්ම හඳුනා ගත හැකිය.එනම් ,

  1. දිය නා
  2. බටු නා ලෙස එය නම් කෙරේ.

නා උයන නා මලින් බරව සුවඳවත්ව වඩාත් ලෙස පවතිනුයේ අප්‍රියෙල් සිට ජුනි මාසය කාලය තුළය.

ඓතිහාසික තොරතුරු[සංස්කරණය]

මෙම නා වනයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජු දක්වා දිව යයි.එකල නා ගස්වලින් තොරව මෙම වනය පැවති අතර වැරදි කරන්නවුන් පුනරුත්ථාපනය කරවන ස්ථානයක් ලෙස පැවති බවට විශ්වාස කෙරේ.මේ සඳහා දියත් කරන ලද වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙසත් මෙම භූමියේ නා ගස් වැවීමට නියම කරන ලද බව සඳහන් වේ.(ජයසේකර,2009,පිටු:56)මෙසේ නා ගස් වැවීමට පෙළඹුණු හේතු සාධකය වනුයේ මතු බුදු වන මෛත්‍රී බුදු හාමුදුරුවන් බුදු වනුයේ නා ගසක් පෙරටු කරගෙන බවට මතයක් පවතින බැවින් උන්වහන්සේ උදෙසා සිහිපත් කිරීම් වස් මෙම නා වනය එකල රෝපණය කිරීමට පෙළඹුණු බවට මතයක් පවතී.තවද මෙම නා වෘක්‍ෂ අභය භූමිය තුළ ඓතිහාසික තොරතුරු රාශියක් සැඟවී ඇති බවට මෙහි ඇති රෝස තිරුවානා කඳු මුදුනෙන් පහළ ඇති හෙළ තුළ මිනිස් ක්‍රියාකාරකම් රාශියක් සිදුවී ඇති බවට එහි ඇති නටඹුන් සාක්‍ෂි දරන නමුත් සාමාන්‍ය ජනතාවට ඒ දෙසට පහසුවෙන් ළඟා වීමට අපහසු බැවින් තවමත් එහි ඇති තොරතුරු අධ්‍යයනය වෙමින් පවතී.(ජයසේකර,2009,පිටු:56)


ලෝකයේ විශාලතම "එක් ටැම් සෙල්ලිපිය" ද මෙම නාමල් උයනේදී දැකිය හැකිය.

වෙහෙර විහාර[සංස්කරණය]

නාමල් උයනෙහි විවිධ වෙහෙර විහාර ද රාශියක් දැක ගත හැකිය.ඒ අතරින්

  • සඳකඩ පහණ
  • නාමල් සෑය
  • රෝස තිරුවානා ගල්වලින් ඉදි කර ඇති බෝධිඝරය
  • පිළිම ගෙය
    රෝස තිරුවානා බුදු පිළිමය
  • ආවාස ගෙය
  • ගල් කණු භාවිත කරමින් තනා ඇති සීමා මාලකය
  • පට්ඨානඝරය
  • ගල් පහණ
  • ආසනඝරය
  • බොරදම් යෙදූ කළු ගලින් නිර්මාණය කරන ලද සක්මන් මළුව
  • පබ්බත විහාරය ආදී ස්ථාන වැදගත් වේ.
නාමල් සෑය

දේවානම්පියතිස්ස රජු දවසේ සිට තුන්වන හා හතරවන දප්පුල රජවරුන් හා හතරවන කාශ්‍යප රජු රාජ්‍ය පාලන කාලයන් තුළ මෙම ස්ථානයේ විහාරයක් හා භාවනා මධ්‍යස්ථානයක් තිබූ බවට සාක්‍ෂි තිබේ.මහ ඉදිගොල්ලෑව, ඉබ්බන් කොටුව වැව, රණව වැව, දිග් අන්නෑව හා කලා වැව ආශ්‍රිතව පිහිටි නාමල් උයන එවක‍ට සරුසාර ගොවි බිමක් ලෙස පැවත ති‍බේ.


නාමල් උයන අභ්‍යන්තරයේ ඇති කඳු පද්ධතියේ විවිධ ස්ථානවලින් කුඩා දිය පහරවල් ගලා එන සුවිශේෂී ස්ථානයක් දැක ගත හැකිය. මෙහි එක් ස්ථානයක තිරුවානා කඳු පද්ධතිය අභ්‍යන්තරයෙන් ඇද හැලෙන කුඩා දිය ඇලි 3ක් හඳුනාගෙන ඇති අතර මේවා නාමල් උයන මැදින් ගලා යන අතර ආයුර්වේදීය ඖෂධ ගුණයෙන් හා ලවණ ඝනත්වයෙන් ඉහළ අගයක් ගනියි. තවද මෙම උයනේ එක් ස්ථානයකින් ගලා එන දිය ඇල්ලක් පොළවට පතිත‍ව එම ස්ථානයේදීම ඇති ගලින් නිමවන ලද පියන් ස්ථරය වටා කැලතී භ්‍රමණය වෙමින් පොළොවට කිඳා බසිනු දැකිය හැකිය. වර්ෂාවකදී වුවද ජලය එතනින් පිටාර ගැලීමක් නොමැතිව පොළොවට කිඳා බැසීම සුවිශේෂී සිදුවීමකි. මෙම ස්වාභාවය අනුව එම ස්ථානයෙන් පෙර දවස ගම්මානයට අවශ්‍ය වන්නා වූ ජලය බෙදා හැරීම සඳහා වාරි පද්ධතියක් භූ ගර්භය අභ්‍යන්තරයේ ඉදි කර ඇත්තේ දැයි අනුමාන කරයි.


වර්තමානයේ රෝස තිරුවානා කඳු වැටියේ පැහැය අවපැහැ ගැන් වී ඇත්තේ නිරන්තර පා ස්පර්ශයන්ට යොමු ‍වීමත් මතුපිට ඇති තිරුවානා පාෂාණය ඉක්මනින් ජීර්ණයට ලක්වීමත් දැඩිසූර්යතාපයට හා ජලයට නිරාවරණය වීමත් නිසාය. කඳු වැටියේ මතුපිට ස්ථරය කෙසේ වුවත් අඩි 1.5 - 2 ක් ගැඹුරින් ස්ථරය දම් පැහැයෙන් යුක්ත බවට සොයා ගෙන ඇත.රෝස තිරුවානා කඳු වැටිය ලුණු කන්දක් ලෙස පියවි ඇසට පෙනෙන බැවින් ආදි ගම්වාසීන් මෙයට " ලුණුගල් දෙබල " යැයි ව්‍යවහාර කර ඇති බ‍ව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම නාමල් උයන වෙතට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ ගම් සභා හන්දියේ ඇති සෙල්ලිපිය තුළ ලොය පුදුම හතෙන් එකක් වූ ටජ්මහල සෑදීම සඳහා අවශ්‍ය වන්නා වූ රෝස තිරුවානා සාජ්හන් කුම‍රා රැගෙන 77ගිය බවට සටහන් වී ඇති බවට පුරා විද්‍යාත්මක මූලාශ්‍රවල සඳහන් වේ.(මුතුතන්ත්‍රි,2007,පි:21)

ජෛව විවිධත්වය[සංස්කරණය]

පුරා විද්‍යාත්මක වැදගත්කමින් අනූන නාමල් උයන සුන්දර ශාක හා සත්ව පාරාදීසයක් ද වේ.මෙහි ඇති ජෛව විවිධත්වය සලකා බැලූ විට

  • ඝර්ම කලාපීය ශාක විශේෂ 108 ක්
  • පැළෑටි 82 ක්
  • විවිධ ක්‍ෂීරපායි සතුන් (රිලවුන්, අලින්, දිවියන්, මුවන් ..)
  • විෂකුරු සර්පයින්
  • සමනළ විශේෂ
  • ඖෂධීය ශාක (අගිල්, අක්කපාන, කොහොඹ, නාගවල්ලි , නව ‍හන්දි , හිරැස්ස..) හඳුනා ගත හැකිය.

වටිනා ශාක විශේෂ පවතින බැවින් නිරන්තර දැව ජාවාරම්කරුවන්ගේ ද ‍තෝතැන්නක් වී ඇත.දර්ශනීයව වැවී තිබෙන ලතා මණ්ඩප ද නාමල් උයනේදී දැක ගත හැකිය.

සාරාංශය[සංස්කරණය]

මනස්කාන්ත භූමියක් වන ජාතික නාමල් උයන යනු හුදෙක් අමිල වටිනාකමකින් යුත් ලෝක ප්‍රජාවගේ නිරීක්‍ෂණයට ලක්විය යුතු භූමියක් වන බැවින් පරිසර හිතකාමි පුරවැසියන් වශයෙන් නාමල් උයනේ සිරි නැරඹීමේදී පොලිතින්, ප්ලාස්ටික් ඉවත හෙලීමෙන් වැලකීම, සතුන් හා ශාකවලට හානි නොකිරීම අප සැමගේ යුතුකමක් වනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

1 එම්.ජයසේකර,සොබා පරිසර ප්‍රකාශන (2009)"ලොවට අමිලයක් වූ ජාතික නාමල් උයන",පරිසර සහ ස්වභාවික අමාත්‍යාංශය,බත්තරමුල්ල.(පි:55-59)

2 මුතුතන්ත්‍රි,ඒ.(2007)"ජාතික නාමල් උයනේ ඓතිහාසික වටිනාකම",මිහිමඬල,2007 ජූලි-අගෝස්තු (පි:21)

සබැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

පිංතූර ගැලරිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාමල්_උයන&oldid=106321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි