නළඟන (මොහෙන්ජො-දාරෝ)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලෝකඩ නළඟන, මොහෙන්ජො-දාරෝ
Dancing Girl of Mohenjo-daro.jpg
ශිල්පියානොදනී, ප්‍රාග්-ඓතිහාසික
වර්ෂයක්‍රි.පූ. 2500 පමණ
වර්ගයලෝකඩ
මාන10.5 cm  × 5 cm  (අඟල් 4 1/8  × අඟල් 2 )
පිහිටීමජාතික කෞතුකාගාරය, නව දිල්ලි, දිල්ලි

නළඟන යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන පාකිස්ථානයට අයත් මොහෙන්ජො-දාරෝවෙන් හමුවූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ‍කුඩා ලෝකඩ ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව ක්‍රි.පූ. 2500ට පමණ අයත් යැයි සැලකේ. වර්තමානයේ මෙම ප්‍රතිමාව නව දිල්ලි ‍ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

විස්තරය[සංස්කරණය]

නළඟන යනුවෙන් හඳුන්වන මෙම කුඩා ලෝකඩ ප්‍රතිමාව සෙන්ටිමීටර 10.5 (අඟල් 4.1) උසින් යුක්ත ය. මෙය වසර 4,500ක් පමණ පැරණි යැයි සැලකේ.[1] මෙය සොයාගන්නා ලද්දේ 1926දී අර්නස්ට් මැකේ විසින් මොහෙන්ජො-දාරෝවේ "HR කලාපයෙනි".[1] මෙම ප්‍රතිමාව සිටගත් ඉරියව්වකින් යුතු වුවත්, එය " නළඟන" ලෙසින් නම්කොට ඇත්තේ ඇගේ වෘත්තිය පිළිබඳ උපකල්පනයක් ලෙසිනි. මෙම ප්‍රතිමාව මොහන්ජො-දාරෝවෙන් හමුවූ සෙසු වඩා රූපික ඉරියව්වලින් යුතු ප්‍රතිමා හා සැසඳීමේ දී, වඩා සුනම්‍ය ලක්ෂණ දක්නට ලැබෙන ලෝකඩ කලා කෘති ද්විත්වය අතුරින් එකකි. නග්න යුවතියක වන මැය වළලු ගණනාවක් සහ මාලයක් පැළඳ, සිය ඉණෙහි එක් අතක් තබාගෙන ස්වාභාවික ඉරියව්වකින් සිටගෙන සිටියි.[2] ඇය සිය වමතෙහි වළලු 24 සිට 25 දක්වා වූ සංඛ්‍යාවක් ද, දකුණතෙහි වළලු 4ක් ද පැළඳ සිටියි. ඇගේ වමතෙහි ඇති භාණ්ඩය සිය කලවා මතට හේත්තු කොටගෙන සිටියි. ඇගේ දෑත් අසාමාන්‍ය ලෙස දිගින් වැඩි ය.[3] එක් අතක් සම්පූර්ණයෙන්ම වළලුවලින් වැසී ඇත්තේ බන්ජාරා ස්ත්‍රියකගේ අයුරිනි. ඇගේ මාලය විශාල තැලි තුනකින් සමන්විත ය. ඇගේ දිගු කේශ කලාපය ගෙඩියක් ලෙස සකසා උරහිස මතින් දක්වා ඇත.මෙම ප්‍රතිමාව ඓතිහාසික යුගයේ දී කාන්තා සිරුරේ සෞන්දර්යය පිළිබඳ පැවති සංකල්පය නිරූපණය කරන සංස්කෘතික මානව කෘතියකි.[4]

විද්වත් අදහස්[සංස්කරණය]

1973දී, බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ මෝටිමර් වීලර් මෙම කෞතුක වස්තුව සිය ප්‍රියතම ප්‍රතිමාව ලෙස පහත පරිදි හඳුන්වා ඇත:

"මා සිතන ආකාරයට ඇයට වයස අවුරුදු පහළොවක් පමණ විය යුතු ය. ඇය සිටගෙන සිටින්නේ සිය දෑතම වැසෙන සේ වළලු පැළඳගෙන ය. වෙනත් කිසිදු දෙයක් එහි දක්නට නැත. පරිපූර්ණව මෙම යුවතිය, මේ මොහොතේ, ඇය සහ ලෝකය පිළිබඳ පරිපූර්ණ විශ්වාසයකින් පසුවන්නී ය. මා සිතන ආකාරයට, ඇය වැනි කිසිවක මෙලොව නැත." [5]

මොහෙන්ජො-දාරෝව පිළිබඳ තවත් පුරාවිද්‍යාඥයකු වූ ජෝන් මාර්ෂල් මෙම රුව පිළිබඳ විස්තර කරන්නේ, "සිය අතක් ඉණෙහි තබාගෙන තරමක් අවිනීත ලීලාවකින් සිටින තරුණ යුවතියකි. ඇය දෙපා මඳක් ඉදිරියට කොට ඇ‍ත්තේ සංගීතය අනුව රිද්මයට ඇගේ දෙපා තැබීම පිණිස විය හැක".[6] මෙම ප්‍රතිමාව දුටු විට ඔහු විස්මයට පත්වූ බැව් පැවසේ. ඔහු පැවසූයේ "මා පළමුවරට ඒවා දුටු විට එය ප්‍රාග්ඓතිහාසික වස්තූන් යැයි විශ්වාස කිරීම පවා මට අපහසු විය." [7] පුරාවිද්‍යාඥ ග්‍රෙගරි පොසේල් විසින් මෙම නළඟන හඳුන්වන්නේ "ඉන්දු භූමියෙන් හමුවූ වඩාත් චිත්තාකර්ෂණීයම කලාකෘතිය ලෙසයි". එසේම නළඟනක ලෙස ඇය පිළිබඳ විස්තර කරමින් ඔහු පැවසූයේ, "ඇය නළඟනක වූයේ දැයි අපට නිශ්චිත නැත. නමුත් ඇය ඇගේ කාර්යයෙහි දක්ෂ තැනැත්තියක වන්නට ඇත."[8]

මෙම ප්‍රතිමාව හේතුවෙන් ශිෂ්ටාචාරය පිළිබඳ වැදගත් අනාවරණ දෙකක් හෙළිදරව් විය: පළමුව, ඔවුන් ලෝහ මිශ්‍ර කිරීම, වාත්තු කිරීම සහ අනෙකුත් දියුණු තාක්ෂණ ක්‍රම දැන සිටි බවයි. දෙවනුව රසවින්දනය, විශේෂයෙන් නර්තනය සංස්කෘතියෙහි අංගයක් වූ බවයි.[1] මෙම ලෝකඩ යුවතියගේ ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ ඉටි මැකුම් වාත්තු ක්‍රමය අනුව වන අතර, එකල මිනිසුන් ලෝකඩ නිර්මාණකරණයට දැක්වූ විශේෂඥභාවය මින් පැහැදිළි වේ.[2] මෙම ප්‍රතිමාව වර්තමානයේ නව දිල්ලියේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[1] 1930-31 අතර කාලයේ මැකේ විසින් සිය අවසන් පූර්ණ රාජකාරි සමයේ මෙයට සමාන තවත් ලෝකඩ ප්‍රතිමාවක් සොයාගන්නා ලදී. මෙය මොහෙන්ජො-දාරෝවේ DK-G කලාපයේ නිවසකින් හමු විය. මෙහි සංරක්ෂණ තත්ත්වය සහ ශිල්පීය නිපුණත්වය සුප්‍රකට නළඟන ප්‍රතිමාවේ තරම් උසස් නැත.[8] මෙම දෙවන ලෝකඩ ස්ත්‍රී ප්‍රතිමාව වර්තමානයේ පාකිස්ථානයේ කරාචි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[9]

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ෆාටෙහාබාද් දිස්ත්‍රික්කයේ භිරානා නැමැති හරප්පානු භූමියෙන් රතු මැටි බඳුන් කැබැල්ලක තිබී කැටයමක් හමු විය. මෙහි ද නළඟන සිහි ගන්වන රුවක් දැකගත හැක. මෙම කැනීම් කණ්ඩායමේ නායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ එල්. එස්. රාඕ සඳහන් කළේ, “... [මැටි බඳුන් කැබැල්ලේ රේඛාවල] නිරේඛනය ලෝකඩ ප්‍රතිමාවේ අත්වල විහිදීම ඇතුළු ඉරියව්වට අනුරූප වේ. මේ අනුව පෙනෙන්නේ භිරානාහි කලා ශිල්පීන්ට පළමු නිර්මාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනීමක් වූ බවයි”.[10][11]

පාකිස්ථානයේ ඉල්ලීම[සංස්කරණය]

ඇතැම් පාකිස්ථාන දේශපාලනඥයෝ සහ විශේෂඥයෝ නළඟන නැවත පාකිස්ථානය වෙත "භාර දිය යුතු" බවට ප්‍රකාශ කරති.[12] 2016දී පාකිස්ථාන අධිනීතිඥ ජාවෙඩ් ඉක්බාල් ජෆේරි ලාහෝ මහාධිකරණයට පෙත්සමක් යවමින් ප්‍රතිමාව යළි ඉල්ලා සිටින්නට වූයේ එය "වසර 60කට පෙර පාකිස්ථානයෙන් රැගෙන ගියේ දිල්ලියේ ජාතික කලා මණ්ඩලයේ ඉල්ලීම මත බවත්, එය කිසිදින යළි භාර නොදුන් බවත්" පවසමිනි. ඔහුට අනුව පාකිස්ථානයට නළඟන, යුරෝපයට ඩා වින්චිගේ මොනා ලිසා මෙන් අගනේ ය.[13]

මෙම සිදුවීම් පිළිබඳ තවත් ප්‍රභේදයක් අනුව කියැවෙන්නේ "මෙම ප්‍රතිමාව මෝටිමර් වීලර් විසින් දිල්ලිය වෙත රැගෙන ගියේ ඉන්දියාව බෙදීමට පෙර බවයි".[14]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Collections:Pre-History & Archaeology". National Museum, New Delhi. Retrieved 3 February 2014.
  2. 2.0 2.1 McIntosh, Jane R. (2008). The Ancient Indus Valley : New Perspectives. Santa Barbara, California: ABC-CLIO. පිටු 281, 407. ISBN 9781576079072. https://books.google.com/books?id=1AJO2A-CbccC&q=dancing+girl#v=snippet&q=dancing%20girl&f=false. Retrieved 15 November 2014. 
  3. Singh, Upinder (2008). A History of Ancient and Early Medieval India : from the Stone Age to the 12th century. New Delhi: Pearson Education. පි. 162. ISBN 9788131711200. https://books.google.com/books?id=H3lUIIYxWkEC&pg=PA162&dq=dancing+girl+harappa&hl=en&sa=X&ei=3E9oVLnXNcmIuASOtoLwAQ&ved=0CBsQ6AEwAA#v=onepage&q=dancing%20girl%20harappa&f=false. Retrieved 15 November 2014. 
  4. Nalapat, Dr Suvarna (2013-02-16) (enයෙන්). Origin of Indians and their Spacetime. D C Books. ISBN 9789381699188. https://books.google.co.in/books?id=e--vDQAAQBAJ&pg=PA34&lpg=PA34&dq=aesthetics+of+the+dancing+girl+mohenjodaro&source=bl&ots=YO7jfPHQbn&sig=F13JtU_Xy5olSvRHBbbpVY65l9A&hl=en&sa=X&ved=0ahUKEwiX-qnM1q3TAhVKerwKHR9aCpIQ6AEIQDAE#v=onepage&q=aesthetics%20of%20the%20dancing%20girl%20mohenjodaro&f=false. 
  5. "The Dancing Girl of Mohenjo-Daro - Who Was She?". thoughtco.com. Retrieved 29 March 2017.
  6. Possehl, Gregory (2002). The Indus Civilization: A Contemporary Perspective. AltaMira Press. පිටු 113. ISBN 978-0-7591-0172-2. 
  7. Marshall, John. Mohenjo daro and Indus Civilization. Arthur Probsthain. 
  8. 8.0 8.1 Possehl, Gregory L. (2002). The indus civilization : a contemporary perspective (2. print. සංස්.). Walnut Creek, CA: AltaMira Press. පි. 114. ISBN 9780759101722. https://books.google.com/books?id=pmAuAsi4ePIC&pg=PA112&dq=dancing+girl+harappa&hl=en&sa=X&ei=3E9oVLnXNcmIuASOtoLwAQ&ved=0CCEQ6AEwAQ#v=onepage&q=dancing%20girl%20harappa&f=false. Retrieved 15 November 2014. 
  9. "Bronze female figure, Mohenjodaro". masterfile.com. Masterfile. Retrieved 15 November 2014.
  10. "Discoveries made at Bhirrana in Haryana provide the missing link in the evolution of Harappan civilisation archaeology". Frontline. 2008-01-19. Retrieved 2016-01-20.
  11. Subramanian, T. S. (12 September 2007). "The ageless tale a potsherd from Bhirrana tells". The Hindu, Newspaper. Retrieved 15 November 2014.
  12. Mansoor, Hasan (11 October 2016). "Pakistan needs to do homework for Dancing Girl's return". Dawn.
  13. Reporter, The Newspaper's Staff (2016-10-11). "Move to bring 'Dancing Girl' back from India". DAWN.COM (in ඉංග්‍රීසි). Retrieved 2017-04-18.
  14. Khalid, Haroon (26 October 2016). "Should Pakistan get the dancing girl from Mohenjo-Daro back?". Huffington Post.

සාමාන්‍ය ආශ්‍රේයයන්

සැකිල්ල:Indus Valley Civilization

"https://si.wikipedia.org/w/index.php?title=නළඟන_(මොහෙන්ජො-දාරෝ)&oldid=430975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි