ධම්මචක්කප්පවත්තන සූත්‍රය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, තථාගතයන් විසින් අවබොධ කරන ලද පැනැස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි. එනම් : “සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි” යි. මහණෙනි, පැනැස කරන නුවණැස කරන ඒ මේ මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.

මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශෙෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරොධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ය. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.

මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දතයුතු (ඉක්මැ වියැ යුතු) ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළවිය ... එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය.

මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු යයි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහීණයැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය.

මහණෙනි, මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතුය යි. පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය.

මහණෙනි, මේ දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුතු ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. ... එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය.

මහණෙනි, යම්තාක් මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්ශනය තතුසේ වෙසෙසින් විසුදු නො වී ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බොධිය අවබොධ කෙළෙමැ යි නො ම පිළින කෙළෙමි. මහණෙනි, යම් කලෙක මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්ශනය තතුසේ වෙසෙසින් විසුදු වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බොධිය අවබොධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට ඥානදර්ශනයත් පහළ විය. මාගේ අර්හත්ඵල සමාධිය අකොප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති පස්වග භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව පිළිගත්හ යි.

මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි “යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ”යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවැත්වූ කල්හි මහණකූ විසින් හෝ බමුණකූ විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකූ විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ (තමන් වහන්සේ හා සමාන ලෙස) නො පැවැත්විය හැකි මේ අනුත්තර දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ”යි බූමාටු දෙවියෝ ප්‍රීති ශබ්ද ඇස්වූහ. (සාධුකාර දුන්හ.) මහණකූ විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ යි බූමාටු දෙවියන්ගේ (සාධුකාර) ශබ්දය අසා සිවුමහරජවැසි දෙවියෝ සාධුකාර දුන්හ ... සිවුමහරජවැසි දෙවියන්ගේ සාධුකාර ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ සාධුකාර දුන්හ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිර්මාණරතී දෙවියෝ ... පරනිර්මිතවශවර්ති දෙවියෝ ... මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ” යි ... බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ” යි.

මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් (සාධුකාර) ශබ්දය උස්ව පැන නැංගේ ය. මේ දශසහස්‍රී ලොකධාතුවත් සැලුණේ ය. මහත්සේ සැලුණේ ය. දැඩිසේ වෙවුළී ය. දෙවියන්ගේ දෙවානුභාවය ඉක්ම සිටි අප්‍රමාණ උදාර ආලොකයෙක් ද ලොව පහළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් (චතුස්සත්‍යය) දැන ගත්තේ ය. භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් දැන ගත්තේ ය යි උදන් ඇනූ සේක. මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට “අඤ්ඤාකොණ්ඩඤඤ”යි ම මේ නමෙක් වී යි.

අටුවාව[සංස්කරණය]

යථාභූතං ඤාණදස්සනං