දුම්රිය මගෙහි සිවිල් ඉංජිනේරු විසදුම් තැපැල් මුද්දර යුගලය
දෙමෝදර වට වංගු උමං මාර්ගය සහ ගොටුවල ආරුක්කු නමයේ දුම්රිය පාලම නිරූපනය කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යංශය[1] විසින් රුපියල් 5 ක වටිනාකම් වලින් යුත් නව තැපැල් මුද්දර දෙකක් 2014 පෙබරවාරි 28 වන දින නිකුත් කරනු ලැබීය.
මුද්දර නිවේදන
[සංස්කරණය]අංකය 839
මුද්දර විස්තර
[සංස්කරණය]නිකුත් කරන දිනය - 2014 පෙබරවාරි මස 28 වැනි දින. වටිනාකම - රුපියල් 5.00 x 2. මුද්දර සැලසුම්කරු - මෙවන් ෆොන්සේකා. ප්‍රමාණය - මි. මී. 40 x මි. මී. 40. හැඩය - දියමන්ති. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 20 බැගින්. සිදුරු ප්‍රමාණය - 13. මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - 500,000. අලෙවි කරන අවසන් දිනය - 2015.02.27.
නිරූපිත ස්ථාන
[සංස්කරණය]මෝදර ගැටය
[සංස්කරණය]මෝදර ගැටය යන ජනප්‍රිය නාමයෙන් හැදින්වෙන දෙමෝදර උමං දුම්රිය මාර්ගය 1920 ගණන් දක්වා අතීතයට දිවයන ඉතිහාසයක් ඇති, ශ්‍රී ලංකාවේ යටත් විජිත දුම්රිය සේවයේ විස්මයජනක ඉංජිනේරු නිර්මාණ අතුරින් ඉතාම සිත් ගන්නා සුළු එකකි. බෙහෙවින් අවශ්‍යව තිබූ පුළුල් දුම්රිය මාර්ගය ඌව දක්වා දීර්ග කිරීමේ ඉදිකිරීම් වලදී දුම්රිය සිවිල් ඉංජිනේරුවන්ට සහ මිනින්දෝරුවන්ට පෙනී ගිය කරුණක් වුයේ දෙමෝදර එක් එක් පැත්තේ පිහිටි කදුගැට වල උන්නතාංශය වැඩි නිසා ඒවා සම්බන්ද වන ආකාරයෙන් දුම්රිය මාර්ගය එක් වරම ඉදිකිරීම ඉතා දුෂ්කර බවය. එවක ලංකා දුම්රිය සේවයෙන් අවසර ලැබුනේ උපරිම වශයෙන් අඩි 44 ට එක් අඩියක් (1/44) ආනතියක් පමණක් පවත්වාගෙන යාමට වූ නිසා යම් නව ආකාරයක දුම්රිය මාර්ගයක් සැලසුම් කල යුතුව තිබුනි. ප්‍රදේශයේ මුඛ පරම්පරාගත පැවතෙන පුරාවෘත්තයක පැවසෙන පරිදි, දෙමෝදරින් ඔබ්බට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගැටළුවට මුහුනපා සිටි මිනිදෝරුවන් මුන ගැසුනු ප්‍රදේශයේ ජීවත් වු, ගවයන් බැලීමේ යෙදී සිටි එක් ගැමියෙකු, තමන්ගේ හිස බැදි තලප්පාවේ ආකාරයෙන් ක්‍රමයෙන් ඉහලට නැගෙන මාර්ගයක් ඉදිකිරීම ඊට විසදුම සේ ඉංජිනේරුවන්ට යෝජනා කර ඇත. ඒ අනුව ගැටළුව විසදීම සදහා එසේ දගර ආකාරයෙන් ඉහලට නැගෙන මාර්ගයක් තැනිය යුතු යැයි අවසානයේ තීරනය කරන ලදැයි පැවසේ. (මේ පුවතේ සත්‍යාසත්‍යතාවය විවාද සහිතයි.) සර්පිලාකාර දුම්රිය මාර්ගය සහිත දෙමෝදර දුම්රිය ස්ථානයත්, දුම්රිය ස්ථානය පහලින් පිහිටි උමං මාර්ගයත්, බදුළු ඔය හරහා ඇති "කළු පාලමත්" සම්පූර්ණ කරනු ලදුව 1921 දී විවෘත කරන ලදී. "වටය වට කිරීම" යනුවෙන් හැදින්වෙන මේ සුවිශේෂී සැලසුම නිසා, දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රමිතියට අනුව නියමිත අණුක්‍රමණය පවත්වා ගනිමින් මධ්‍යම කදුකරයට ඇතුල් විය හැකි ඉහල මට්ටමට ලගා වීමට අවශ්‍ය ඉහළ උන්නතාංශයක් කරා දුම්රිය මාර්ගය ගෙනයාමට දුම්රිය ඉංජිනේරුවන්ට හැකිවිය. දෙමෝදර දුම්රිය ස්ථානයට යටින් පිහිටි අංක 42 දරන උමගේ දිග අඩි 414 කි.
ගොටුවල ආරුක්කු නවයේ දුම්රිය පාලම
[සංස්කරණය]ආරුක්කු පාලම අතීතයේ දුම්රිය ඉංජිනේරු ශිල්පයේදී භාවිතා වූ ජනප්‍රියම මෙන්ම සුලභ සංකල්පයක් වු අතර එය කාර්මික විප්ලව සමයේ එළිදුටු මෙන්ම වඩාත් දියුනු හා නවීන පාලම් සැලසුම් සොයාගැනීමෙන් පසුව වුවද බෙහෙවින් ඇගයීමට ලක්වු නිර්මාණයක් විය. කෙසේ වුවද, අධි තාක්ෂන සැලසුම් සහ නූතන ඉදිකිරීම් ද්‍රව්‍ය යොදාගෙන නව පාලම් දැනට ඉදිවෙමින් පැවතුනද සමහර පැරණි ආරුක්කු පාලම් අද පවා භාවිතයේ පවතී. ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර අතර ගොටුවල පිහිටි ආරුක්කු නවයේ පාලම 1921 දී බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉදි කරන ලද්දකි. අඩි 100 ක් දිගැති මේ ආරුක්කු පාලම සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ ලෝහ කැබැල්ලකුදු භාවිතා නොකර කළුගල්, ගඩොල් හා සිමෙන්ති පමණක් භාවිතා කරමිනි. ගොටුවල ආරුක්කු නවයේ පාලම, "හදවත් නවයේ පාලම" සහ "අහස් පාලම" යනුවෙන්ද හැදින්වේ. විසිවෙනි සියවසේ මුල් භාගයේදී එය ඉදිකෙරුනු අවස්තාවේදී මේ පාලම සලකන ලද්දේ "පෙරදිග දිගම ආරුක්කු පාලම" වශයෙනි. එය අද පවා ශ්‍රී ලංකවේ යටත්විජිත දුම්රිය සිවිල් ඉංජිනේරු ශිල්පයේ තවත් විශ්මයජනක නිර්මාණයක් වශයෙන් පවතී.
- ^ මුද්දර කාර්යයංශය විස්තර පත්‍රිකාව