තේච්චිතොට

විකිපීඩියා වෙතින්

තේච්චිතොට යනුවෙන් හඳුන්වන්නේ වර්තමානයේ වාද්දුව පොතුපිටිය දුම්‍රිය නැවතුම්පොළ නොම්මර 1 ස්ථානයට සමීපයේ පැවතියා වූ ඉපැරණි වරායකි. එම වරායේ ඉතිහාසය ප්‍රතිගාල් යුගයටත් එපිටට දිවයයි. ප්‍රතිගාල් දේශාටන වාර්තාවක සඳහන් වන්නේ මෙම තොට සමීපයේ ප්‍රතිගාලුන් පැමිණෙන විටත් එදිරිමුණි නම් හේවායෙකු බලවත් බලයක් ගොඩනගාගෙන සිටි බවය. නමුදු මෙම ප්‍රදේශයේ සලාගම බලය ව්‍යාප්ත වීම සිදුවූවේ ප්‍රතිගාල් යුගයේදී බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉන් එපිට කාලයේ මෙම පළාතේ වාසය කළ පට්ටිකුල කතුන් පිළිබඳ කෝට්ටේ සහ ගම්පල යුග ද්විත්වයේම රචනා වූ සංදේශ කාව්‍ය වල සඳහන් වේ.ප්‍රතිගාල් යුගයේ දී සීතාවක ධර්ම බණ්ඩාර කුමරුගේ යකඩදෝලිය සහ ඔහු පුතු වෙත කළුතර කපිතාන් දොන් දොමින්ගෝ විසින් වස්කඩුව ත්‍යාග කරවන ලදී. මෙකී යකඩ දෝලියගේ පුතු හඳුන්වන ලද්දේ යකුන්දූවේ ධර්මසේන ලෙසින. එයට හේතු වූවේ මෙම කුමරු උපත ලබන ලද්දේ සීතාවකින් තම මව ලද නින්දගම වූ රයිගම යකුන්දූවේ උපන් නිසාවෙනි. යකුන්දූවේ සිටි සමයේ ධර්මසේන කුමරු ගේ මව වූ තම්මිට බිසෝ බණ්ඩාර දේවිය ප්‍රතිගාලුන් වෙතින් කළ ඉල්ලීමකට අනුව මෙම වස්කඩුව ප්‍රදේශය තිළිණ කළ බව වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ මතයයි. එදවස වස්කඩුව ලෙසින් ලද මෙම නින්දගම වෙත වර්තමාන ගම් වලින් කුඩාවස්කඩුව මහවස්කඩුව පොතුපිටිය පොහද්දරමුල්ල පනාපිටිය දෙල්දූව කොරොස්දූව ආදී ගම් ඇතුළු සුවිසාල ප්‍රදේශයක් අයත් විය. මෙම නින්දගම භුක්ති විදිමින් ප්‍රතිගාල් සෙවනේ හැදී වැඩුණ ධර්මසේන කුමරු මුහුකුරාගිය සමයේ දී දේශානුරාගී හැඟීම් වර්ධනය වී තිබිණ. ප්‍රතිගාල් සහය ලබමින් හැදීවැඩුනට මොකද වැලිතර විසුවා වූ දොන් විජේසේකර නම් ප්‍රාදේශීය නායකයා සමඟ සමීප වී ප්‍රතිගාලුන් වෙත හොර රහසේ පහර දෙන ව්‍යායාමයක් පවත්වාගෙන යන ලද්දේය. විජේසේකර මුදලි පවා ප්‍රතිගාලුන් වෙත සමීප ව සිටිමින් විරුද්දවාදීන්ට සහය දුන් අයෙකු විය. ප්‍රතිගාලුන් ගේ ද සහයෙන් ධර්මසේන කුමරු විසින් තම නින්දගම වෙතට කුලී හමුදාපන්න හතක් ගෙන්වා ගන්නා ලද්දේ විජේසේකර මුදලි ගේ මෙහෙයවීමෙනි. ඔවුන් සලාගම වංශිකයන් විය. මෙම සලාගම වංශික හේවායන් සහ ඔවුනගේ පවුල් රැගත් නැව් වැලිතරින් සහ මහදම්පාගමින් පිටත්වී වස්කඩුව වෙත සේන්දු වන ලද්දේ මෙම තේච්චිතොට වරායටයි. මෙහි පැමිණි මෙම හේවා කණ්ඩායම් වස්කඩුවේ එක් එක් ප්‍රදේශ වල පවුල් ලෙසින් පදිංචි විය. ඒ අතරින් සලාගම කුලයේ මහ සලාගම උපකුලය ට අයත් වූ හේවාකාර උපවර්ගයේ පිරිස් බොහොමයක් පදිංචි වූවේ මහවස්කඩුවේය. හින්න සලාගම උපකුලයේ පිරිස් බොහොමයක් පොතුපිටිය පොහද්දරමුල්ල ලෙසින් වර්ථනාමයේ හඳුන්වන ප්‍රදේශ වල පදිංචි විය. කළුතොට හැරුණු කළ පානදුරේ දක්වා පැවති යේ තේච්චිතොට වරාය පමණි. ප්‍රතිගාලුන් විසින් මෙම තේච්චිතොට වගකීම ධර්මසේන කුමරු වෙත බාර කරන ලද අතර මහමුදලි තනතුරක් පිරිනමා ගෞරව සිදුකළේය. පසු කාලයේ සිදුවූ ගැටළුකාරී වාතාවරණ හමුවේ ධර්මසේන කුමරුවෙත සලාගම හේවායෙකු විසින්ම ප්‍රහාර එල්ල කළ බව සඳහන් වේ. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රයේ සඳහන් වන්නේ නම් ප්‍රතිගාලුන් විසින්ම කුමන්ත්‍රණය කරවා ධර්මසේන කුමරු ඝාතනය කළ බවය. කෙසේ නමුදු මෙම මිනීමැරුම සම්බන්දයෙන් වැරදිකරුවන් වූ හේවාකාර බොහෝ පිරිසක් තේච්චිතොට දීම ගිල්වා මරා දමන ලදී. ලන්දේසි ආගමනය දක්වාම මෙම වරාය ජනතාමතකයෙන් ඈත්ව පැවතියේ එම නිසාවෙනි. ධර්මසේන කුමරුවානන්ගේ මරණින් පසු ඔහුගේ එක් පුත්‍රයෙකු තම මිත්තනිය වූ තම්මිට පෙරුමාල් කුමරිය සමඟ පෙරදී තමා ලද නින්දගම වූ යකුන්දූව ග්‍රාමය වෙත පැමිණි පදිංචි විය. එයට හේතුවක් වූවේ විශ්වාසවන්ත කිසිවෙකු ඒ වන විට එම වස්කඩුවේ ඔවුනට නොසිටි නිසාවෙනි. යකුන්දූවේ ග්‍රාමයට පැමිණි ධර්මසේන කුමරුගේ පුතු එහි බලවත් බලයක් ගොඩනගා ගත් අතර කල්ගතව ඔහුව ප්‍රකට වූවේ යකුන්දූවේ ධර්මසේන හිටිරාළ නමින. (මෙම හිටිරාළගෙන් ඇරඹි පරම්පරා යකුන්දූවේ හිටිරාළලාගේ සහ හිටිගේ දොන් ආදී වාසගම් වලින් රයිගම පුරා ව්‍යාප්ත වී සිටී.)හිටිරාළගේ වැඩිමහලු පුතු නැවත වස්කඩුවේ තම නින්දගම වෙත පැමිණ පදිංචි විය. ඔහුගේ නාමය වූවේ යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ දොන් ජොවාන් පෙරේරා යි.ජොවාන් පෙරේරා ගේ පුතු වූ ගිමාර පෙරේරා විසින් තුඩුගල පරපුර (තෙන්නකෝන් රජ පරපුර)ට අයත් ලුසියානා පෙරුමාල් නම් කාන්තාව විවාහ කරගත් අතර ඇයගේ පියාගේ විදානෙ මුදලි තනතුර ගිමාර වෙත පැවරිණි. ලංදේසි ආණ්ඩුව විසින් ගිමාර වෙත මොල්ලිගොඩ ග්‍රාමයේ සිටදකුණු දෙසට ගම් සතක් සහ තේච්චිතොට ඇතුළුව වරායන්ගේ බලයද පවරා දෙන ලදී. වස්කඩුවේ සලාගම හේවාකාර උපවර්ගය තුලින්ම කුරුඳුකාර උපවර්ගයක් ද මේවන විට බිහිවෙමින් පැවතියේය. ලංදේසි විසින් ව්‍යාප්ත කළ කුරුඳු වගාවන්ට කුලීසේවා සැපයූ පිරිස් මෙසේ කුරුඳුකාරයින් ලෙසින් වස්කඩුව පුරාම ප්‍රචලිත විය. කුරුඳු වෙවෙළඳාම සඳහා ලංදේසි විසින් තේච්චිතොට කුඩා බලකොටුවක් ඩ ඉදිකළේය.බලකොටුව තුල විශාල මීනීවලක් පැවති බැවින් පසුකාළයේ මෙම ප්‍රදේශය වලපොල ලෙසින් හඳුන්වාතිබේ.කුරුඳු වෙළදාම තුල බදු අයකරන වගකීම ලන්දේසි විසින් පවරා දෙන ලද්දේද මෙකී ගිමාර පෙරේරා වෙතය. ගිමාර පෙරේරා විසින් පසු කාලයක මෙම වරාය බාර කටයුතු මොල්ලිගොඩ ප්‍රදේශයේ සුසෙව්හේවගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු නම් පුද්ගලයා වෙත පවරාදී තිබෙන අතර සුසෙව්හේවගේ පරිවාර විසින් මෙම වරායේ බලය අත්පත් කරගන්නා ලද්දේ පසුවයි.ගිමාර පෙරේරා ගේ පුතු වූ දොන් පෙරිය සප්තපෙරුමාල් සහ සුසෙව්හේවගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දුගේ පුතු අතර තේච්චිතොට අධිකාරිය සම්බන්දයෙන් ශීතල යුද්ධයක් ඇතිවූ නමුදු පසුව මුදලි තානාන්තර ලද සප්තපෙරුමාල් වෙත නිතැතින්ම මෙහි වගකීම ලැබීය. සුසෙව්හේවගේ පරිවාර විසින් යළි මෙම වරායේ හිමිකාරීත්වය ලබා ගන්නා ලද්දේ ක්‍රිස්තු වර්ශ 1800ශත වර්ශය තුලදීය. ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු පසු කාලයේ ලංදේසි වරප්‍රසාද මැද තම පුතු වූ කොරනේලිස්ව රෙපරමාදු ආගමට හරවා ගරු නම්බු ලබා බෞතීස්ම කළේය. පසුව ඔහුහේ නාමය වූවේ දොන් කොරනේලිස් පිලිප් පෙරේරා අප්පුහාමි ය. පිලිප් ලංදේසි හමුදාවට බැඳී කපිතාන් මට්ටමක් දක්වා උසස් වීම් ලද අතර උඩරට වෙත සේනාවක් බාරව ගොස් උඩරට ගැටුමින් පැරදී පසුව උඩරට දීම සසුන් ගතව පනස්වස් ඉක්මවූ කළ යළි මොල්ලිගොඩ වෙත පැමිණියේය. සසුන්ගත වුවත් ගණින්නාන්සේ කෙනෙක් වූ ඔහුට පුතුන් දෙදෙනෙකු විය. ඒ අතර සුසෙව්හේවගේ දොන් හාමියෙල් ෆනැන්ඩස් පෙරේරා අප්පුහාමි නම් පුතු යළි මොල්ලිගොඩ ප්‍රදේශයේ විදානේ තනතුරට පත් විය (ලංදේසි විදානේ තනතුර නොව ඉංග්‍රීසින්ගේ පොලිස් විදානේ තනතුර). ඉංග්‍රීසින් විසින් වරාය බදු ගැනීම වෙන්දේසියේ විකිණූ අතර හාමියෙල් අප්පුහාමි රාළ විසින් එය බදුගන්නා ලද්දේය. ඔහු පෙරියසප්තපෙරුමාල් රාළගේ මිණිබිරියෙක් සමඟ විවාහ වූ අතර මේසමය වන විට පොතුපිටියේ ධර්මසේන පරිවාර ව්‍යාපාරික ක්ෂේත්‍රය ට අවතීර්ණව සිටි සමයක් විය. හාමියෙල් රාළහාමිගේ බිරිඳගේ සොයුරා වූ පොතුපිටියේ දොන් ඩේවිඩ් රාළහාමි පොල්ලෙලිවල් සියයක් කරවන ධනපතියෙක් විය. බ්‍රිතාන්‍ය ඉන්දීය වෙළඳසමාගම සමඟ කොහු කඹ ව්‍යාපාර සිදුකළ ඔහුගේ කඹ සමීප බ්‍රිතාන්‍ය යටත් විජිත සියල්ලකම පාහේ ව්‍යාප්ත වී තිබුණේය.දෙමළ බසින් පවා එම කඹ හැඳින්වීමට නම් පට බැඳුනේය. ඒ කිත්තං රෝප් යන නාමයයි. ඉක්මනින් ම එය මෙම කඹ කර්මාන්තයේ ව්‍යාපාරික නාමය බවට ද පත්ව තිබුණේය.මෙම ධනවත් පවුලක කාන්තාවක් වූ හාමියෙල් අප්පුහාමි ගේ බිරිඳ එනම් දෝන මාරියා පෙරේරා(ධර්මසේන හිටිරාළලාගේ දෝන මාරියා පෙරේරා)ළමාතැනී විසින් ප්‍රදේශයේ තවත් ධානපතීන්ගේද සහයෙන් වස්කඩුවේ උපසම්පදාව ගෙන එන ලද්දේ මෙම වරායෙනි. එසේම පොතුපිටියේ සහ වස්කඩුවේ 1850දශකය වන විට රේන්ද කර්මාන්තය හරහා දියුණුවට පත් පවුල් ගනනාවක් විය. පොතුපිටියේ ධානපති මීගමුවගේ විජේවර්ධන පවුල,වස්කඩුවේ ධානපතිනි වීරසිංහ සිට්ටි ද සිල්වා ළමාතැනීගේ පවුල ප්‍රධාන කරගත් ව්‍යාපාරික ප්‍රජාව තම ගමන් බිමන් සඳහා මෙන්ම ව්‍යාපාරික භාණ්ඩ ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද්දේද මෙම වරායයි.ලන්දේසි සමයේ තේච්චිතොට සහ ලංදේසි කැප්පු ඇළ සම්බන්ධ කරමින් එකල ඇළමාර්ගයක් පැවත ඇති අතර පසු කාලයේ එය ගොඩවී විනාශ වීතිබේ. නාරිසංදේශ කාව්‍ය තුල මෙම ඇළමාර්ගය විවරණය කරමින් අගනා පද්‍ය ගණනාවක්ම දක්නට ලැබේ.1900 සියවසේ මුල් සමයේ දී මෙම ඇළ මාර්ගය සේම තේච්චිතොට වරායද ජනතාමතකයෙන් ඈත්ව යන ලද්දේ දුම්‍රියමාර්ග සහ වෙනත් පහසු ගමනාගමන කටයුතු ඇරඹීමෙන් පසුවයි.නමුදු 1930දශකය වන තෙක්ම ඉන්දියාවේ සිට ලංකාවේ රැකියා සොයා පැමිණි කොච්චි නැමති වංශයේ පිරිස් වරින් වර මෙම වරායට ලඟා වී තිබේ. මෙහි පැවති ඉපැරැණි සුසාන භූමිය සහ කොටුව 1900 සියවසේ මුල් දශකතුලදී පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වනු ලදුව සුසාන ඵලක ගලාවාගෙන සංරක්ෂණය සඳහා රැගෙන ගොස් ඇති අතර ගම් වැසියන් පවසන පරිදි අවසානයේ එම බලකොටුව නැත්තටම නැති ලෙස විනාශයට පත්වී ගිය බවයි.වර්තමානයේ මෙම නැව්තොට පාළුවීගිය පිට්ටනියක් පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=තේච්චිතොට&oldid=513892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි