තුවාල සුවවීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තුවාල සුවවීම හෙවත් සුවවීම යනු හානියට පත් වූ හෝ විනාශ වූ පටක සහිත ප්‍රදේශයක ප්‍රමාණය අවමකර ගැනීම සදහා ශරීරයෙහි සෛල මගින් ප්‍රතිජනනය හා ප්‍රතිසංස්කරණය කිරීම සිදුවන ක්‍රියාවලියකි. සුව වීමේදී හානි වූ පටක ඉවත් කිරීම සහ ඒවා නව පටක මගින් ප්‍රතිස්ථාපනය කිරීම යන අංග දෙකම සිදුවේ.

මෙලෙස ප්‍රතිස්ථාපනය සිදු කිරීම ක්‍රම දෙකකට සිදුවේ

  • ප්‍රතිජනනය මගින් (Regeneration) මෙහිදී කුණු වූ පටක හා සෛල එහි මුලින්ම පැවති සෛලවලින්ම නැවත ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
  • අළුත් වැඩියා කිරීම මගින් (Repair) මෙහිදී තුවාල වූ පටක කැළලක් මගින් ප්‍රතිස්ථාපනය කරයි.

බොහෝමයක් වූ අවයවවල සුවවීම ඉහත සදහන් කළ ක්‍රමෝපායන් දෙකේම සංකලනයක් ලෙස සිදුවේ.

ප්‍රති ජනනය මගින් සුවවීම[සංස්කරණය]

තුවාලයක් ප්‍රතිජනනය මගින් සුවවීම සඳහා එලෙස හානි වූ සෛල වර්ගයට ගුණනය වීමේ හැකියාව තිබිය යුතුය. බොහෝ සෛලවලට මෙම හැකියාව ඇතත් හෘද පේෂී සහ ස්නායුවලට ගුණනය වීමේ හැකියාව නොමැත.

සෛලවලට වර්ධනය වීම පිණිස කොලජන් මගින් ආධාරය සපයන රාමුවක් අවශ්‍ය වේ. බොහෝ සෛල සඳහා පාදස්ථ පටලයක් හෝ ෆයිබ්‍රොබ්ලාස්ට් මගින් නිර්මාණය වූ කොලජන් පද්ධතියක් අන්තර් ගත බැවින් එමගින් සෛලවල වර්ධනය සඳහා මග පෙන්වනු ලබයි. සෛලවලට රුධිරය සැපයීම අඩාල වීම මගින් සහ බොහෝමයක් ධූලක වර්ග මගින් කොලජන් විනාශයට පත් නොකරන බැවින් එය අවට ඇති සෛල මරණයට පත් වුවද එය දිගින් දිගටම පවතී.

ප්‍රතිජනනය සඳහා උදාහරණ[සංස්කරණය]

වකු ගඩුවල වෘක්කාණුවල සෛල මරණයෙන් පසු (Acute Tubular Necrosis) ඒවා නැවත වරක් සුවවීම සම්පූර්ණයෙන්ම සිදු වනුයේ ප්‍රතිජනනය මගිනි. මෙලෙස වකුගඩුවල සෛල මරණයට පත් වනුයේ වකුගඩුවේ අපිච්ඡද පටක ඔක්සිජන් ඌණතාවය නිසා විනාශයට පත් වීම (රුධිර පීඩනය අඩුවීම හෝ වකු ගඩුවලට රුධිර සැපයුම කැපීපෙනෙන ලෙස අඩු වූ අවස්ථාවන් වලදී) මගින් හෝ ප්‍රතිජීවක ඖෂධ , බර ලෝහ හෝ කාබන්ටෙට්‍රා ක්ලෝරයිඩ් වැනි ධූලක මගිනි.

අළුත්වැඩියා කිරීම මගින් සුවවීම[සංස්කරණය]

ප්‍රතිජනනය සිදුවිය නොහැකි සෛලවල තුව‍ාල වීමකදී ඒවා සුවවීම සිදුවනුයේ එම සෛල අළුත්වැඩියාව මගිනි. (උදා - හෘද පේෂි සහ නියුරෝන) තවද සෛල වටා ඇති කොලජන් රාමුවට හානි සිදුවන අවස්ථාවල දී හෝ (උදා - එන්සයිම මගින් හෝ භෞතික වශයෙන් විනාශ වන අවස්ථාවන්හිදී) සම්පූර්ණයෙන්ම කොලජන් රාමුව බිඳ වැටෙන අවස්ථාවන්හිදී (ලේ සැපයුම් අවහිර වීම නිසා‍ සෛල විනාශයට පත්වන අවස්ථාවහිදී) සුවවීම සෛල අළුත් වැඩියාව මගින් සිදුවේ.

සෛලවලට හානි සිදුවීමක් සිදු වූ ක්ෂණයකින්ම තුවාල සුවවීමේ ක්‍රියා දාමයන් ආරම්භ වේ. මෙම ක්‍රියාදාමයන් සාමාන්‍යයෙන් අවධි 3 කින් සිදුවේ.

  1. ආසාදනය
  2. සෛල ගුණනය සහ
  3. සෛල පරිණත වීමේ අවධියේය.

ආසාදනය වීමේ අවධියේදී මහාභක්ෂානු සහ අනෙකුත් භක්ෂක සෛල බැක්ටීරියා සහ විනාශ වූ පටක මරණයට පත් කරමින් වර්ධක හොමෝන වැනි රසායනික සාධක නිදහස් කරනු ලබයි. එමගින් ෆයිබ්‍රෝබ්ලාස්ට , අපිච්ඡද සෛල සහ ආස්තරණ සෛල අදාල ප්‍රදේශයට සංක්‍රමණය වීමෙන් ගුණනය වීමෙන් හානියට පත් වූ හෝ තුවාල වූ සෛල අවට කේෂ නාලිකා සෑදීමක් සිදු කරනු ලබයි.

සෛල ගුණනය වීමේ අවධියේදී ක්‍රියාකාරී ෆයිබ්‍රෝබ්ලාස්ට විශාල ප්‍රමාණයක් අන්තර්ගත පරිණත නොවූ කණිකා කෘත පටක සෑදේ. (Granulation tissue) මෙම ෆයිබ්‍රෝබ්ලාස්ට ඉතා ක්ෂණයකින් තුන්වන වර්ගයේ කොළජන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් විවෘත තුවාලයෙහි ඇති සිදුරු සියල්ලම පුරාවා දමනු ලබයි. මෙම කණිකාකෘත පටක තරංග ආකාරයකට තුවාලයේ මායිමේ සිට මැද දක්වා වර්ධනය වෙමින් ගමන් කරනු ලබයි.

මෙම කණිකාකෘත පටක පරිණත වීමත් සමගම ෆයිබ්‍රෝබ්ලාස්ටර් මගින් කොළජන් සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ඒවා‍ දිගටි සිහින් ස්වරූපයක් ගනී. මේ සමගම එමගින් වඩාත් ශක්තිමත් පළමු වන වර්ගයේ කොලජන් නිෂ්පාදනය වීම ආරම්භ කරයි. ඇතැම් ෆයිබ්‍රෝබ්ලාස්ට මෘදු පේෂිවල අන්තර්ගත ඇක්ටින් හා සමාන මයෝ ෆයිබ්‍රෝබ්ලාස්ට බවට පරිණත වීමක් සිදුවේ. එමගින් ඒවාට සංකෝචනය වීම මගින් තුවාලයෙහි ප්‍රමාණය කුඩා කළ හැකිය.

තුවාල සුවවීමේ පරිණතවීමේ අවධියේ දී කණිකාකෘත පටකවල ඇති අනවශ්‍ය රුධිර වාහිණී ස්වාභාවිකව සිදුවන සෛල මරණය (Apoptosis) මගින් ඉවත් කරනු ලබන අතර තුන්වන වර්ගයේ කොලජන් පළමුවන වර්ගයේ කොළජන් මගින් විශාල වශයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. මුල් අවස්ථාවන්හිදී අසංවිධානාත්මකව සැකසී තිබූ කොලජන් මෙහිදී ආතති රේඛාවන් ඔස්සේ එකිනෙක හා හරස් අතට සම්බන්ධවෙමින් පෙළ ගැසේ. ඉහතින් සඳහන් කරන ලද අවධිය වසරක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ වුවද පැවතිය හැකිය. අවසාන වශයෙන් කොළජන් වලින් කැළලක් නිර්මාණය වන අතර ඉතා කුඩා ප්‍රමාණයක ෆයිබ්‍රෝබ්ලාස්ට සංඛ්‍යාවක් ඉතිරිවේ.

සාමාන්‍ය සැත්කම් කැපුමක් සම්මත කාලසීමාවන් මගින් සිදුවන සිදුවීම් මාලාවක් වශයෙන් ක්‍රියාවට නැංවෙයි. මුල් අවස්ථාවේදී රුධිර කැටියක් සෑදීම, පැය 3 සිට පැය 24 ක් අතර කාලසීමාවකදී නියුට්‍රෝෆිල මගින් අදාල තුවාලය දෙසට ආක්‍රමණය කිරීම සහ පැය 24 සිට 48 ක් දක්වා කාලයක දී අපිච්ඡද සෛල අනූනන විභාජනය මගින් ගුණනය වීම සිදු වේ. මෙම අවස්ථාවෙන් පසු සුවවීම මින්පෙර සඳහන් කරන ලද ක්‍රියාමාර්ගය ඔස්සේ සිදුවේ.

මෙලෙස බොහොමයක් අපිච්ඡද පටක මරණයට පත් වුවද යම් ස්ථානවල අපිච්ඡද පටක තවදුරටත් ජීවීව පවතී. මීට අමතරව වකුගඩුවේ නාලිකාවල කොලජන් රාමුව සම්පුර්ණයෙන්ම යථාතත්වයෙන්ම පවතී.

ඉහතින් සඳහන් කළ පරිදි මෙලෙස ඉතිරිව පවතින අපිච්ඡද පටකවලට පාදස්ථ ස්ථරය මගපෙන්වීමක් ලෙස භාවිතා කරමින් ගුණනය වීමෙන් අවසානයේදී වකුගඩුව සාමාන්‍ය තත්වයට පත් කළ හැකිය. මෙලෙස ප්‍රතිජනනය සම්පුර්ණ වීමෙන් පසුව සිදුවූ හානිය අන්වීක්ෂයකින් පවා දැක බලාගත නොහැකි මට්ටමට පැමිණේ.

"https://si.wikipedia.org/w/index.php?title=තුවාල_සුවවීම&oldid=394577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි