තරිඳු උඩුවරගෙදර

විකිපීඩියා වෙතින්
තරිඳු උඩුවරගෙදර
වෘත්තියස්වාධීන මාධ්‍යවේදී, සිවිල් ක්‍රියාකාරී

තරිඳු උඩුවරගෙදර මහතා මාධ්‍යවේදියෙකු වන අතර සටහන් රේඩියෝහි අධ්‍යක්ෂවරයෙකු ද වෙයි.

ගවේෂණාත්මක මාධ්‍යවේදය සහ රජය පිළිබඳ විවෘත විවේචන සඳහා ප්‍රසිද්ධ "රාවය" සහ "අනිද්දා" ඇතුළු සිංහල භාෂා පුවත්පත් කිහිපයකම ඔහු සේවය කර තිබේ. ඔහු විසින් “සටහන් රේඩියෝ" නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලබන අතර එහිදී සමාජයීය ගැටලු සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විවේචනාත්මක හා ආන්දෝලනාත්මක අන්තර්ගතයන් නිකුත් කොට තිබේ. මේ අතර ප්‍රහසන ශිල්පිනි නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ අදහස් දැක්වීමක් හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉකුත් ජූනි 29 වෙනිදා දැනුම් දීමක් සිදු කරන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබුනේ ජුලි මස 04 වෙනිදා පෙරවරු 10.30 ට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසයි.

සම්මාන සහ ඇගයීම්[සංස්කරණය]

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී තරිඳු උඩුවරගෙදර රාවය පුවත්පත සදහා කළ වාර්තාකරණය සදහා 2016 දී 'වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට' පිරිනැමෙන 'ඩෙන්සිල් පිරිස්' සම්මානය හිමිකර ගත් අතර, අනිද්දා පුවත්පතේ සේවය කරමින් සිටිය දී 2020 වසරේ 'මර්වින් ද සිල්වා වසරේ මාධ්‍යවේදියා' ලෙස ද සම්මානයට පාත්‍ර විය. ඔහු ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLYJA) හිටපු සභාපති සහ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වන අතර ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) විධායක කමිටු සාමාජිකයෙක් ද වේ.

සහාසික ලෙස අත්අඩංගුවට ගැනීම[සංස්කරණය]

හෙතෙම 2023 ජුලි මස 28 දින විරෝධතාවක් අතරතුරදී ජංගම දුරකතනයකින් වීඩියෝ කරමින් සිටියදී පොලිසිය විසින් සහාසික ලෙස පහරදී අත්අඩංගුවට ගන්න ලදී.කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද එම උද්ඝෝෂණය ආවරණය කරමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනුනි.ත්‍රීරෝද රථයක් තුළ සිටිමින් ඔහු එම උද්ඝෝෂණය වීඩියෝ ගත කරමින් හින්ද තිබෙන අතර පොලීසිය ඔහුට අමානුෂික ලෙස පහර දෙමින්,හිසකෙස්වලින් අදිමින් ත්‍රීරෝද රථයෙන් පිටතට ගෙන පොලීස් ජීප් රථයක දමාගෙන රැගෙන යනලදී. තමන් මාධ්‍යවේදියෙකු බව පවසන විටත් පොලීසිය ඔහුට දිගින් දිගටම පහර දී තිබේ.ඔහුව බොරැල්ල පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බව සඳහන් වේ. උදුවරගෙදර වෙත ඇප ලබා දෙන බවට පවසා තිබුණද පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ප්‍රකාශ වී තිබේ. කෙසේවෙතත් ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් එල්ල වී නැත.[1]

2023 ජුලි 29 වන දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කර තිබේ.[2]

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රතිචාරය[සංස්කරණය]

ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන විසින් පහත ලිපිය පොලිස්පති වෙත යොමුකරන ලදී.

චන්දන වික්‍රමරත්න මහතා,

පොලිස්පති,

පොලිස් මූලස්ථානය,

කොළඹ


මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම

විරෝධතාවක් අතරතුරදී සටහන් රේඩියෝහි අධ්‍යක්ෂ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් පහරදී, අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි පිළිකුලෙන් හෙළාදකිමු.

මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පැවති උද්ඝෝෂකයකට සහභාගී වී එහි දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුද ඇතුළුව මාධ්‍යවේදී සිටි දෙසට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, උද්ඝෝෂණය අවසන් වී ත්‍රීරෝද රථයක යමින් පොලිස් ජල ප්‍රහාරක රථ වීඩියෝ කරමින් සිටියදී පොලිසිය පහරදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ජීප් රථයට නංවාගන්නා අවස්ථාවේදී ද හිසකෙස්වලින් ඇද වධහිංසාවට භාජනය කරනු වීඩියෝ සාක්ෂි මගින් තහවුරු කළ හැකිය. එසේම ජිප් රියේදී පොලිසිය ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිසට ප්‍රහාරයක් එල්ල කර ඇත.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ විරෝධතා අවස්ථාවලදී පොලිසිය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ගණනාවක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ ගණනාවක් ලබා දී ඇති තත්ත්වයක් තුළ පොලිසියේ මෙම හැසිරීම අතිශය නිර්ලජ්ජිත ය. කෘර, අමානුෂි සහ අවමන්සහගත හැසිරීම්වලින් මිදීමට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර තිබිය දී, ශ්‍රී ලංකා පොලිසිය තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදකි. තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගන්නේ ඔහු ජංගම දුරකතනයකින් වීඩියෝ කරමින් සිටියදී වන අතර මහජන මුදලින් නඩත්තුවන නිලධාරීන් පොදු ස්ථානයකදී හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ. මාධ්‍යවේදියක් එම කටයුත්ත සිදුකිරීම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියේද කොටසකි.

එසේ තිබියදී කිසිදු නීති විරෝධී කටයුත්තක් හෝ සංඥය වරදක් නොකළ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රටේ මූලික නීතිය ඇතුළු නීති අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි. එසේ හෙයින්, තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතෙත් පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

තරිඳු ජයවර්ධන

සභාපති,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

0710661417

web.yjasl@gmail.com

tharindu.rti@gmail.com


පිටපත්

1) සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව

2) සභාපති, ජාතික පොලිස් කොමිසම

3) නියෝජ්‍ය පොලිස්පති, පොලිස් නීති කොට්ඨාසය

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රතිචාරය[සංස්කරණය]

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසි සිංහල සේවයට මෙම සිද්ධිය පිළිබඳව මෙසේ පවසා තිබේ.

අනීතික ලෙස අත්අඩංගුවට ගනු ලැබූ තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කළ යුතු බවද ඔහු මෙහිදී පැවසිය.

"තරිඳු උදුවරගෙදර දිගින් දිගටම විවිධ විදිහේ මාධ්‍ය ආවරණ කිරීම්වල යෙදුණා. ඒ වගේම ඔහු සිවිල් ක්‍රියාකාරිකයෙක් ලෙසත් සමාජයේ විවිධ කරුණු සඳහා මැදිහත් වෙලා කටයුතු කළා."

"අපි දකින්නේ ඔහු ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඔහුට තිබිය යුතුයි."

"අද දවසේදී උද්ඝෝෂණයක් වාර්තා කිරීමේදී සහ උද්ඝෝෂණයක් අසල සිටියේ යැයි කියා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා බොරැල්ල පොලිසියෙන්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ ඉතාම නින්දිත, ම්ලේච්ඡ විදිහටයි. ඔහුට පහර දීලා, කොන්ඩෙන් ඇදලා.ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට අපි මේක හෙලා දකිනවා මේ සිදුවීම.ආණ්ඩුව කල්පනා කරනවා නම් මේ වගේ ක්‍රියාවලින් ජනමාධ්‍ය නිහඬ කරන්න පුලුවන් කියලා ඒක මිත්‍යාවක්. මේ වගේ සිද්ධි වෙන්න වෙන්න ජනමාධ්‍යවේදීන් සංවිධාන වෙනවා."

"අපි ආණ්ඩුවට කියනවා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ජනමාධ්‍යවේදීන්ට භාරදීලා ආණ්ඩුව ආණ්ඩුවේ කාර්යභාරය කළා නම් මේ වෙලාවේ හැටියට ඒක වටිනවා.ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම තරිදුව නිදහස් කරන්න කියලා." ඔහු සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසි ප්‍රකාශ[සංස්කරණය]

නිදහස් මාධ්‍යවේදීයකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ගෙන් කරුණු විමසා ඇත. එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු බවයි. "බොරැල්ල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උද්ඝෝෂණයක් අතරතුරදි කලහකාරී ලෙස හැසිරීම කියන එකට තමයි ඇරස්ට් කරලා තියෙන්නේ. එයාව හෙට අංක 02 අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි." තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ද බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමක් කරන ලදී. එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළව චෝදනාවක් තිබේනම් ඒ ගැන ද අවදානයට ලක් කළ හැකි බව යි.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට! - LNW Sinhala (lankanewsweb.net), 2023 ජුලි 28
  2. තරිඳු උඩුවරගෙදර ට ඇප (adaderana.lk)
"https://si.wikipedia.org/w/index.php?title=තරිඳු_උඩුවරගෙදර&oldid=570374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි