ඩැනියෙල් ඩෙ‍ෆෝ

විකිපීඩියා වෙතින්
උපත 1659/1661 (?)
මිය ගියේ 1731 අප්‍රේල් 24
වෘත්තිය ලේඛක, පත්‍ර කලාවේදි, ඔත්තුකරු
වර්ගය වික්‍රමයන් ලිවිම

ඩැනියෙල් ඩෙෆෝ ඉංග්‍රිසි ලේඛකයෙකි. ඔහු පත්‍ර කලාවේදියෙකු මෙන්ම ඔත්තුකරුවෙකුද විය. ඔහුගේ රොබින්සන් කෲසෝ නම් නව කථාවෙන් ඔහුට සදා නොමැකෙන කීර්තියක් ලැබුනි. නවකථා ලිවීමේ කලාව මුලින් හඳුන්වා දුන් කීප දෙනා අතරින් කෙනෙකු ලෙස ඩෙෆෝගේ නම සඳහන් වේ. එසේම බ්‍රිතාන්‍යය තුල නව කථාව ජනප්‍රිය කරවීමට කටයුතු කළේය. ඔහු, මුල්ම තැනැත්තා නොවේ නම් ඉංග්‍රිසි නවකථාව ආරම්භ කළ මුල් කීප දෙනාගෙන් කෙනෙකි. විවිධ දක්ෂතා සහිත ඔහු පන්සීයකට අධික පොත් ද කුඩා පොත් ද, සටහන් ද ලිවීය. මෙම කෘතින් වලට දේශපාලනය, අපරාධ, ආගම්, විවාහය, මනෝ විද්‍යාව මෙන්ම භූත විද්‍යාව වැනි කරුණුද විෂය විය. ඔහු ආර්ථික පුවත් කලාවේ ද ආරම්භකයෙකි. ඔහුගේ ප්‍රසිද්ධ නවකථාව වූ ‘රොබින්සන් කෲසෝ’ හි කියැවෙන්නේ නැවක් විනාශ වීම නිසා දූපතක අතරමං වූ එක් පුද්ගලයෙකු සහ ඉන්පසු එම පුද්ගලයා මුහුණ දුන් අත් දැකීම් පිළිබඳවයි.

සමහර විට මෙම ලේඛකයා ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් නම් සැබැවින්ම එවැනි සිද්ධියකට මුහුණ පෑ පුද්ගලයාගේ විස්තරය මෙම කථාවට පාදක කර ගන්නට ඇත. එසේම අබුබකර් ගේ ෆිලොසොෆස් ඔටෝඩිඩැක්ටස් නම් කෘතියේ ඉංග්‍රිසි හෝ ලතින් පරිවර්ථනයක ආභාෂය ලබන්නට ඇත. මෙම නවකථාව ද පාලු දූපතක් පාදක කර‍ගෙන ලියැවුනු මුල් කෘතියකි.

රොබින්සන් කෲසෝ කෘතිය සඳහා ආභාෂය ලබා ගත්තා යයි විශ්වාස කළ හැකි මූලාශ්‍ර බොහොමයක් පිළිබඳව ටීම් සෙවෙරින් ඔහුගේ ‘Seeking Robinson Crusoe 2002’ කෘතියෙන් අනාවරණය කරයි. සෙවෙරින් මහත් පරිශ්‍රමයෙන් රැස් කර ගත් තොරතුරු වලින් ඔහු හෙළිකරන්නේ සැබෑවටම එක් දූපතක අතරමං වූ පුද්ගලයා වූයේ මොන්මවුත් හි ආදිපාදවරයාට ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් සිටි හෙන්රි පිට්මන් නැමැත්තකු බවයි. පිට්මන් තමාගේ කුඩා කෘතියෙහි මොන්මවුත් කැරැල්ලෙහි වරදකරුවෙකු ලෙස කැරිබියන් කඳවුරක සිටියදි ඉන් පලා එන විට නැව විනාශ වී තනි වූ දූපතක අතරමං වීම සම්බන්ධව විස්තර කර ඇත. මෙම පොත ලන්ඩනයේ ජේ ටේලර් නැමැත්තා ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ පුතා වූ විලියම් ටේලර් පසු කාලයකදි ඩැනියෙල් ඩෙෆෝගේ කෘතිය පළ කරන ලදි. සෙවෙරින් තව දුරටත් කියන්නේ ඩෙෆෝට පිට්මන් හමුවන්නට ඇති බවත් ඔහු දූපතේ හුදෙකලා වීම සම්බන්ධයෙන් කෙළින්ම ඔහුගෙන් දැන ගන්නට ඇති බැවත්ය.

ශිෂ්ඨත්වයේ වැඩි දියුණුව සඳහා ආදර්ශයන් ලෙසද, ආර්ථික ස්වාර්ථවාදයේ ප්‍රකාශන ලෙසද සහ යුරෝපීය කොළණි ක්‍රමයන්හි අභිලාශයන් ලෙසද ඔහුගේ කෘතින් බොහෝ විට කියැවීමට ලක් වී තිබේ. එහෙත් එය පසු තැවිලි වීමේ වැදගත් කමද පෙන්වන අතර ඩෙෆෝගේ ආගමික අවබෝධයේ ශක්තිමත් භාවය විස්තර කරයි. රොබට් ලුවි ස්ටීවන්සන් වැනි මුල් කාලීන විවේචකයින් ඒවා අගය කළේ කෲසෝ හි පා සළකුණු දර්ශනය ඉංග්‍රිසි සාහිත්‍යයේ කීර්තිමත් හතරෙන් එකක් ලෙසිනි. “එක් දිනක් මධ්‍යා‍හ්නයේදි එම බෝට්ටුව දෙසට යන විට පැහැදිලිව දැක ගත හැකි ලෙස වැල්ලේ සටහන් වුනු මිනිසෙකුගේ නිරුවත් පා සළකුණක් දැක විශ්මයට පත් වූයෙමි”

ඩෙෆෝගේ ඊළඟ නවකථාව වූයේ 1720 දී පළ වුනු ‘කැප්ටන් සින්ගල්ටන්’ කෘතියයි. කොටස් දෙකකින් යුත් එහි පළමු කොටස අප්‍රිකානු සංචාරයක් සම්බන්ධයෙනි. දෙවැනි කොටස සමකාලීන මුහුදු කොල්ලකෑම් සමග සම්බන්ධ වූවකි. එක්තරා වීරවරයෙකු සහ ඔහුගේ ආගමික උපදේශකයා වූ විලියම් වෝල්ටර්ස් අතර පැවති සමාන සමාජ සම්බන්ධතාවයක විස්තර සම්බන්ධයෙන් මෙය පැසසුමට ලක් වී තිබේ.

කර්නල් ජැක් (Colonel Jack) (1722) අනාථ කොලුවෙකු දරිද්‍රතාවය සහ අපරාධ සහිත සමාජයක සිට යටත් විජිත වාදි සමෘද්ධිය, යුදමය සහ විවාහ ආරවුල් සහ ආගමික වෙනස් කිරීම් සහිත සමාජයකට පිවිසුනු ආකාරය අඩංගු කථාවකි.

1722 වර්ෂයේ නැවතත් ඩෙෆෝ විසින් මෝල් ෆ්ලාන්ඩර්ස් (Moll Flanders) රචනා කර ඇත. මෙය දාහත් වෙනි සියවසේ එංගලන්තයේ සිටි හුදෙකලා වූ ගැහැණියකගේ වැටීම සහ අනතුරුව එම තත්වයෙන් ගොඩ ඒම පිළිබඳ උත්තම පුරුෂ කෝණයෙන් කියැවෙන ධූර්තයන් හා සොරුන් පිළිබඳ කථාවකි. මෙහි කථා නායිකාව නාම මාත්‍ර වශයෙන් නම්බුනාම ඇති වෙසඟනක් සේ පෙනි සිටින්නියකි. ඇය බහු පරුෂ සේවනයේ සහ සොරකමේ යෙදෙන්නියකි. දූෂණ හා දුරාචාර වල යෙදෙන්නීය. එහෙත් පාඨකයාගේ අනුකම්පාව ඇය වෙත යොමුවේ.

මෝල් ෆ්ලාන්ඩර් සහ ඩෙෆෝගේ අවසාන නවකථාව වූ රොක්ෂානා ද ෆෝර්චුනේට් මිස්ට්‍රස් (Roxana the fortunate mistress) (1724) කෘතින් ඩෙෆෝගේ චරිත නිර්මාණය කිරීම පිළිබඳ විශිෂ්ඨ උදාහරණ ලෙස පෙන්වා දිය හැක. පසුව සඳහන් කරන ලද නවකථාව උසස් සමාජයේ වෛශ්‍යාවකගේ සදාචාරාත්මක සහ ආත්මීය කඩා වැටීම පෙන්නුම් කරයි.

ප්‍රබන්ධ කථාවක් නොවේයයි බොහෝ විට කියැවෙන ඔහුගේ එක් කෘතියක් නම් 1655 දී ලන්ඩනයේ ඇති වුණු වසංගතයක් පිළිබඳ ඔහු තැබු සටහන්ය. අ ජර්නල් ඔෆ් ද ප්ලෙග් යිඅර් (A journal of the plague year) නම් කෘතිය 1722 දී ප්‍රකාශයට පත් කළ සංකීර්ණ ඓතිහාසික නවකථාවකි. 1703 නොවැම්බරයේදි කුණාටුවක් වැනි සුළිසුළඟක් ලන්ඩන් නුවරට කඩා වැදුනි. මෙය දැනට හැඳින්වෙන්නේ ‘මහා කුණාටුව’ වශයෙනි. (බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මහා කුණාටුවක් ලෙස මේ ගැන සඳහන් වේ) මෙය ඩෙෆෝ ගේ ජීවිතයේ නොමැකෙන සිද්ධියක් විය. ඔහුගේ ද ස්ටෝර්ම් (the storm) නම් කෘතියට පාදක වුනේ එම සිද්ධියයි. ඔහු ඒ ගැන විස්තර කරන්නේ මෙලෙසිනි. “නිවාස වල වහල් වලින් වැටුණු උලු සහ පුවරු වලින් වීථී වැසි ගියේය. සැතපුම් පණහක ප්‍රදේශයේ සියලු උලු පිළිසකර කළ හැකි වූවත් ඒ ඉතා සුලු කොටසකි” පසුව ඔහු මිමෝවාර් ඔෆ් අ කැවලියර් (1720) (Memoirs of cavalier) ලීවේය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩැනියෙල්_ඩෙ‍ෆෝ&oldid=465091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි