ටෝකියෝ කුළුණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ටෝකියෝ කුළුණ
東京タワー
Tokyo Tower M4854.jpg
සාමාන්‍ය තොරතුරු
තත්ත්වය සම්පූර්ණයි
ප්‍රභේදය සන්නිවේදන කුළුණ
නිරීක්‍ෂණ කුළුණ
පිහිටීම 4-2-8 Shiba-Koen, Minato, Tokyo 105-0011
ඉදිකිරීම් ආරම්භ වූයේ ජූනි 1957
සමාප්තිය 1958
විවෘත කිරීම දෙසැම්බර් 23, 1958
පිරිවැය යෙන් බිලියන 2.8
(ඇ.ඩො මිලියන 8.4​ 1958දී)
හිමිකරු Nihon Denpatō
(Nippon Television City Corp.)
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියා Tachū Naitō[1]
ව්‍යූහාත්මක ඉංජිනේරු Nikken Sekkei Ltd.[2]
ප්‍රධාන කොන්ත්‍රාත්කරු Takenaka Corporation[1]

ටෝකියෝ කුළුණ (東京タワー?) සන්නිවේදන හා නිරීක්ෂණ කුළුණකි. එය පිහිටා ඇත්තේ ජපානයේ ටෝකියෝහි ශිබා උද්‍යානයේය. මෙය උසින් මීටර් 333කි(අඩි 1,093), මෙය ජපානයේ දෙවන උසම කෘතිම ආකෘතික ව්‍යූහයයි. අයිෆල් කුළුණේ ගරාදි ආකෘතියේ ආභාෂය මෙය නිර්මාණයයෙදී යොදාගෙන ඇත. එමෙන්ම ගුවන් ආරක්ෂණය සදහා අනුකූලතාව දැක්වීම සදහා පිළිගත් සුදු සහ අන්තර්ජාතික තැඹිලි වර්ණ ආලේප කර ඇත.

මෙය ඉදිකරන ලද්දේ වර්ෂ 1958හි දීය. සංචාරක ව්‍යාපාරය සහ ඇන්ටනා කුලියට දීම මෙහි මූලික ආදායම් මාර්ග වේ. ආරම්භයේ පටන් කුළුණ නැරඹීම සඳහා මිලියන 150කට වැඩි ජනතාවක් පැමිණ තිබේ. පාදනගරය නමින් හැඳින්වෙන මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලක් මෙහි පාදම මධ්‍යයේ පිහිටා ඇත. කුඩා කෞතුකාගාරයක්, ආපනශාලා හා වෙළදසල් මෙහි පිහිටා ඇත. කුළුනේ නිරීක්ෂණ මහල් දෙකට යාමට අවශ්‍ය නම් මෙම පාද නගරය තුළින් යා යුතුය. මෙහි ප්‍රධාන නිරීක්ෂණ මහල මීටර් 150(අඩි 490) උසින් පිහිටා ඇත. විශේෂ කුඩා නිරීක්ෂණ මහල මීටර් 250 (අඩි 820) උසින් පිහිටා ඇත.

මෙම කුළුණ ඇන්ටනා වලට අධාරක ව්‍යුහයක් ලෙස ක්‍රියාකරයි. මෙහි මූලික අරමුණ වූ සම්ප්‍රේෂණ ඇන්ටනා සවිකිරීම 1961 දී සිදු කරන ලදී. වර්තමානයේ දී ජපාන ගුවන් විදුලි සංස්ථාව NHK , TBS හා Fuji TV ආයතන තම විකාශන කටයුතු සදහා මෙම කුළුණ භාවිතා කරනු ලබයි. 2011 දී ජපානය තම විකාශන කටයුතු අංකිත රූපවාහිනී විකාශනය ක්‍රමයට කිරීමට උත්සාහ කලද එය ගැටළු සහගත විය. එයට හේතුව වූයේ ටෝකියෝ කුළුණේ උස (මීටර් 333) භූගෝලීය අංකිත විකාශනය සඳහා ප්‍රමාණවත් නොවීමයි. මේ නිසා අංකිත විකාශනය සඳහා උසින් වැඩි නව කුළුණක් 2012 වර්ෂයේදී සාදා නිම කරන ලදී. එය ටෝකියෝ අහස්ගස ලෙස නම් කරන ලදී.

ගොඩනැගීම[සංස්කරණය]

1953 දී ආරම්භ කරන ලද NHK ආයතනය , ජපානයේ කන්තෝ ප්‍රදේශ‍යේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට විකාශන කුළුණක අවශ්‍යතාවයක් ඇති වී තිබිණි. පුද්ගලික සමාගම් ඒ වන විටත් තම මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබූ බැවින් මුළු ටෝකියෝවම ආවරණය වන පරිදි විකාශන කුළුණක් ස්ථාපිත කිරීම ඔවුන්ගේ අරමුණ විය. 1950 දී යුද්ධයෙන් පසු ජපානයේ ඇති වූ ආර්ථීක පෙරළිය​ ලොවටම කියා පෑම සඳහා සිහිවටනටක් ඉදිකිරීමටත් ජපන් රජයේ අවධානය යොමු වී තිබුණි. [4]

ගොනුව:Tokyo tower constuction.jpg
කුළුණ ඉදිකිරීමේ අතරතුර 1958දී ගත් ජායාරූපයක්

හිසකිචි මෙයිඩා (Hisakichi Maeda), විසින් මෙම යෝජිත කුළුණේ සැලසුම නිර්මාණය කරන ලදී. එකල ලොව උසම ගොඩනැගිල්ල වූ එම්පයර් ස්ටේට් අභිබ​වා යන ආකෘතියක් නිර්මාණය කරන ලදී. නමුත් අරමුදල් හා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟ වීම නිසා එම සැලසුම් ප්‍රතික්ෂේප විය. ඉන්පසු නව සැලසුමක් නිර්මාණය සඳහා එකල දක්ෂ උස ගොඩනැගිලි නිර්මාණකරුවකු වූ ටාචු නයිටෝ (Tachū Naitō) හට භාර දෙන ලදී. ඔහු විසින් රූපවාහිනී විකාශන සම්ප්‍රේෂණ ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය සැලකිල්ලට ගෙන හා බටහිර ලෝකයේ අයිෆල් කුළුණේ ආභාෂයෙන් යුතු නව කුළුණක සැලසුම් නිර්මාණය කරන ලදී. කුළුණේ ඉදිකිරීම් කටයුතු සඳහා ඔහු විසින් නිකෙන් සෙකෙයි ඉංජිනේරු ආයතනය තෝරාගන්නා ලදී. සැලසුම් අනුව මෙම කුළුණ 1923 දී ජපානයේ කන්තෝ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාව මෙන් දෙගුණයක ත්‍රීව්‍රතාවයකට​ ඔරොත්තු දෙන තරමේ මෙන්ම පැයට කි.මී 220 ක සැඩ​ සුලඟකට වුවද ඔරොත්තු දෙන තරමේ ශක්තිමත් ආකෘතියක් විය.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා කුළුණු ඉදිකිරීමේ විශේෂඥයෙකු වූ සාම්ප්‍රදායික ටෝබි (tobi) කම්කරුවන් සියගණනක් යොදා ගන්නා ලදී. ජපානයේ විශාලතම ඉදිකිරිම් ආයතනය වන ටකෙනකා සංස්ථාව 1957 දී කුළුණ නිර්මාණය සඳහා දිනකට කම්කරුවන් 400 බැගින් සපයන ලදී. මෙය මුළුමනින්ම වානේ යොදා කල නිර්මාණයකි. මේ සඳහා කොරියානු යුද්ධයෙදී හානියට ලක් වූ යුධ ටැංකි වල ලෝහ ද්‍රව්‍ය ද යොදා ගන්නා ලදී. මෙහි මීටර් 90ක් වන ප්‍රධාන ඇන්ටනාව සවිකරන ලද්දේ 1958 ඔක්තෝබර් 14 දිනදීය. මෙය එකල පැවති උසම කුළුණු ආකෘතිය විය. ඊට පෙර ලොව උසම කුළුණ වූ අයිෆල් කුළුණට වඩා මෙය මීටර් 13කින් උස්විය. නමුත් මෙහි යොදාගෙන ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය, අයිෆල් කුළුණට නිර්මාණයට යොදාගත් අමුද්‍රව්‍ය ප්‍රමාණයට වඩා ටොන් 4000-3300 ප්‍රමාණයකින් අඩුය. ටෝකියෝ කුළුණ තවමත් ආධාරකයක් රහිතව පවතින වානේ කුළුණු අතර උසම කුළුණ ලෙස සැලකේ. වර්ෂ 2010 වනතෙක්ම මෙය ජපානයේ තිබූ උසම කුළුණු ආකෘතිය වූ අතර දැන් එය ටෝකියෝ අහස්ගස විසින් හිමිකරගෙන ඇත. ටෝකියෝ කුළුණ ඉදිකිරීම සඳහා 1957දී යෙන් බිලියන 2.8ක් (ඇ.ඩො මිලියන 8.4ක්) වැය විය. වර්ෂ 2000දී ටෝකියෝ කුළුණ, යෙන් බිලියන 10කට උකස් කරන ලදී. [5] [6] [7] [8] [6][9] [10]

කාර්යයන්[සංස්කරණය]

අංකිත රුපවාහිනී විකාශන මෙවලම් වලට පහළින් ඇති විශේෂ නිරීක්ෂණ මහල

ටෝකියෝ කුළුණේ ප්‍රධාන අදායම් මාර්ග වනුයේ ඇන්ටනා කුලියට දීම සහ සංචාරක ව්‍යාපාරයයි. මෙහි මූලික කාර්යය ලෙස රූපවාහිනී හා ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය සිදුකරනු ලබයි. මෙහි පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය 2000 වසර වන විට වසරකට මිලියන 2.3 පමණ විය. වර්තමානයේ එය වසරකට මිලියන 3ක් පමණ වේ. මෙය නැරඹීමට පැමිණෙන සංචාරකන් පළමුව කුළුණ යට ඇති පාද නගරයට පැමිණිය යුතුය. මෙහිදී සංචාරකයින්ට අවශ්‍ය අහාරපාන ලබා ගැනීම, සාප්පු සවාරි, කෞතුකාගාර හා චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක් නැරඹීමට ද අවස්ථාව සලසා ඇත. මෙම පාද නගරයේ පළමු මහලින් ආරම්භ වන සෝපානයේ ගමන් කිරීමෙන් ප්‍රධාන නිරීක්ෂණ මහලට ගමන් කල හැක. විශේෂ නැරඹුම් මහලට යාමට අවශ්‍ය නම් වෙනම ප්‍රවේශපතක් ලබාගෙන පාද නගරයේ දෙවන මහලේඇති සෝපානය භාවිතා කල යුතුය. [11] [12]


විකාශන කටයුතු[සංස්කරණය]

ටෝකියෝ කුළුණ ලොව ප්‍රධාන කුළුණු පදනමේ (World Federation of Great Towers) සාමාජිකත්වයද ලබා ඇත. මෙම පදනමේ කුළුණු මූලික වශයෙන් විවිධ විකාශන කටයුතු සඳහා යොදා ගැනේ. ටෝකියෝ කුළුණ මූලික වශයෙන් ඉදිකරන ලද්දේ රූපවාහිනී විකාශන කටයුතු සඳහාය, නමුත් 1961දී පටන් ගුවන්විදුලි විකාශන කටයුතු සඳහා ද මෙය භාවිතා කරනු ලබයි. වර්තමානය වන විට මෙය ප්‍රතිසම රූපවාහිනී (analog television),අංකිත රූපවාහිනී (digital television), ගුවන්විදුලි (radio) හා අංකිත ගුවන්විදුලි (digital radio) තරංග සම්ප්‍රේෂණය කරනු ලැබේ. මෙම කුළුණේන් සේවා ලබා ගන්නා ආයතන පහත දැක්වේ.

  • General TV Tokyo (JOAK-TV): Channel 1 (ප්‍රතිසම)
  • Educational TV Tokyo (JOAB-TV) - Channel 2 (ප්‍රතිසම)
  • Radio FM Tokyo
  • Asahi Tokyo (JOEX-TV): TV Asahi ප්‍රතිසම රූපවාහිනී/VHF Channel 10 (ප්‍රතිසම)
  • Television Tokyo (JOCX-TV): Fuji ප්‍රතිසම රූපවාහිනී /VHF Channel 8 (ප්‍රතිසම)
  • Broadcasting System Television (JORX-TV): TBS රූපවාහිනී/VHF Channel 6 (ප්‍රතිසම)
  • Television Tokyo (JOAX-TV): VHF Channel 4 (ප්‍රතිසම)
  • TV Tokyo (JOTX-TV): VHF Channel 12 (ප්‍රතිසම)
  • J-WAVE
  • Tokyo FM
  • InterFM|FM Interwave
  • Open University of Japan|The University of the Air TV
  • The University of the Air-FM
  • Tokyo Metropolitan Television (JOMX-TV) - Channel 14 (ප්‍රතිසම)
  • Radio Nikkei|Nikkei Radio Broadcasting Relay Antenna
භූමික්ම්පාවෙන් පසු ප්‍රධාන ඇන්ටනාව​ March 2011 Tōhoku earthquake

වර්තමානයේදී ජපානය ප්‍රතිසම හා අංකිත සම්ප්‍රේෂණ ක්‍රම දෙකම භාවිතා කරනු ලබයි. නමුත් 2011 වන විට සියලුම රූපවාහිනී විකාශන කටයුතු අංකිත තාක්‍ෂණයට මාරු කිරීමට තීරණය කොට තිබිණි. නමුත් අංකිත විකාශන කටයුතු කිරීමට ටෝකියෝ කුළුණෙහි උස ප්‍රමාණවත් නොවූ හෙයින් උසින් වැඩි ටෝකියෝ අහස්ගස 2012දී විවෘත කරන ලදී. මේවන විට NHK ඇතුලු තවත් වාණිජ විකාශන ආයතන 5ක් තම සම්ප්‍රේෂණ කටයුතු සඳහා නව කුළුණට මාරු වී තිබේ. ටෝකියෝ කුළුණෙහි ප්‍රධාන ඇන්ටනාව අංකිත විකාශන කටයුතු සඳහා තවත් මීටර් 80-100 අතර උසක් දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කලද එයට යෙන් බිලියන 4ක (ඇ.ඩො මිලියන 50ක්) පිරිවැයක් දැරිය යුතුවූ හෙයින් එය අසාර්ථක විය. මෙවැනි හේතුනිසා ජපාන විවෘත විශ්වවිද්‍යාලය (Open University of Japan) හැර අනෙකුත් සියලුම ආයතන ටෝකියෝ කුළුණේ අංකිත විකාශන කටයුතු වලින් ඉවත් වී ඇත. නමුත් ගුවන්විදුලි විකාශන කටයුතු පෙරපරිදීම සිදු වෙමින් පවතී. මසහිරෝ කවාඩා "Masahiro Kawada", කුළුණේ සැලසුම් අධ්‍යක්ෂක විසින් ටෝකියෝ කුළුණ, ටෝකියෝ අහස්ගසෙහි උපස්ථ කුළුණක් ලෙස යොදා ගැනීමට යෝජනාකොට ඇත. 2011 මාර්තු 11 වන දින ඇතිවූ භූමිකම්පාව (Tōhoku earthquake) නිසා ටෝකියෝ කුළුණෙහි ප්‍රධාන ඇන්ටනාව හානියට ලක්විය. එය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව කුළුණෙහි උස මීටර් 315 දක්වා අඩුවී ඇත. [11] [13] [11][14] [15] [3]

ආකර්ෂණය[සංස්කරණය]

ටෝකියෝ කුළුණේ පාදම සහ පාදනගරය​

පාදනගරය[සංස්කරණය]

කුළුණේ පාදම මධ්‍යයේ පිහිටා ඇති මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලයි. මෙහි පළමු මහලේ මින්මැදුරක්, උත්සව ශාලාවක්, පුද්ගලයන් 400ක ධාරිතාවයෙන් යුතු කුළුණු අවන්හල හා සිහිවටන වෙලදසැලක් දක්නට ලැබේ. ප්‍රධාන නිරීක්ෂණ මහලට සෘජුවම ගමන් කරන විදුලි සෝපාන තුනක්ද මෙම මහලෙන් ආරම්භ වේ. දෙවන මහලේ ප්‍රධාන වශයෙන් අහාරපාන (food court) හා සාප්පු සවාරි සඳහා වෙන්වූ වෙළදසැල් පිහිටා ඇත. මැක්ඩොනල්ඩ් අවන්හල ඇතුළු තවත් ප්‍රසිද්ධ අවන්හල් හතරක්ක් මෙහි පිහිටා ඇත.

ප්‍රධාන නිරීක්‍ෂණ මහලේ දෙවන තට්ටුවේ පිහිටා ඇති Shinto shrine

පාදනගරයේ තෙවන සහ සිව්වන මහල් සංචාරක ආකර්ෂණය ඇතිකිරීම සඳහා යොදාගෙන ඇත. මෙහි තෙවන මහලේ ගිනස් ලෝක වාර්තා කෞතුකාගාරයක් ස්ථාපිත කර ඇත. මෙහිදී ගිනස් වාර්තා පොතෙහි අඩංගු ඡායාරූප, දත්ත, සංඛයාන ආදිය දැකබලාගත හැක. තවද මෙහි 1970දී විවෘත කරන ලද ඉටි කලාගාරයක් ද ඇත. මෙහි ඇති ඉටි රූප (wax figures) එංගලන්තයෙන් ගෙන්වනු ලද ඒවා වන අතර සුප්‍රසිද්ධ බීටල්ස් (The Beatles) සංගීත කණ්ඩායමේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉටි ආකෘති දැක බලාගත හැක. දෘශ්‍ය මායාවන් (optical illusions) සහ ඊට සම්බන්ධ චිත්‍ර සහ වස්තූන් ඇති කලාගාරයක් ද මෙහි සිව්වන මහලේදී දැකගත හැක.

කුඩා දරුවන්ට විනෝද වීමට සකස් කරන ලද කුඩා ළමා උද්‍යානයක් මෙම ගොඩනැගිල්ලේ වහලය මුදුනත මත පිහිටා ඇත. කුළුණ නැගීම සඳහා පියගැටපෙළ භාවිතා කරන්නේ නම්, එය ආරම්භ වන්නේද මෙම ගොඩනැගිල්ලේ වහලය මුදුනතින්ය. මෙම පියගැටපෙළහි පඩි 660ක් අන්තර්ගත වන අතර, පියගැටපෙළ ප්‍රධාන නිරීක්ෂණ මහල දක්වා දිවෙයි.

නිරීක්ෂන මහල්[සංස්කරණය]

ටෝකියෝ කුළුණ සහ ෆුජි කන්ද

ටෝකියෝකුළුණෙහි නිරීක්ෂන මහල් දෙකකි. මෙම මහල් දෙකෙහි ටෝකියෝ නගරයේ අංශක 360 ක දර්ශණයක් නැරඹිය හැකිය. නිරීක්ෂන මහලේ නිරිත දෙසින් ෆුජි ගිණිකන්ද දර්ශණය වේ. රධාන නිරීක්ෂණ මහල මිටර් 145ක උසින් පිහිටා ඇත.

"බිම බැලීමේ ජනේල" තුලින් බිම බැලීම

තවද මෙහි කුඩා වේදීකාවක් ඇති අතර, එය කුඩා සංගීත සංදර්ශනයක් සඳහා භාවිත කල හැක. මෙහි ඇති විශේෂ අංගයක් වනුයේ "බිම බැලීමේ ජනේල" සවිකොට තිබීමය. සංචාරකයන්ට එම වීදුරු මත සිටගෙන ඒ හරහා කුළුණේ පාදම නැරඹීමට හැකිය. සිහිවටන මිලදී ගැනීමට අවශය නම් කුඩා සිහිවටන සාප්පුවක්ද නිරීක්ෂන මහලේ දෙවන තට්ටුවේ පිහිටාඇත.තවද ආගමික වැදගත් කමක් ඇති ශින්ටෝ ශ්‍රින් පුජනීය වස්තුද මෙහි තැම්පත් කර ඇත. විශේෂ නිරීක්ෂණ මහලට යාමට අවශය විදුලිසෝපානද කියාත්මක වන්නේ මෙම ප්‍රධාන නිරීක්ෂණ මහලේ සිටයි.

පෙනුම[සංස්කරණය]

ටෝකියෝ කුළුණ සම්පූර්ණයෙන් තීන්ත ආලේප කිරීම සඳහා සුදු හා තැඹිලි වර්ණයෙන් ලීටර 280000 අවශ්‍ය වේ තීන්ත ආලේපනය සෑම වසර 5කට වතාවක්ම සිදු කරයි. 1987 පැවැති කුළුණේ 30 වන සංවත්සරයට පෙර මෙහි විදුලි බල්බ සවිකර තිබුණේ මුදුන් ඇන්ටනාවේ පමණකි. 1987 දී නිහාන් ඩෙන්පාවෝ විසින් අලෝකකරණ ශිල්පියෙකු (lighting designer) වන මොකාටෝ ඉෂි හට කුළුණ නැරඹිමට එන ලෙස ආරාධනා කළේය. මේ වන විටත් කුළුණ නැරඹිමට එන සංචාරකයන්ගේ අඩුවීමක් දක්නට ලැබුණු අතර එනිසා ආදායම් පහත වැවීමක්ද සිදු වී තිබුණි. සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කුළුණේ ආලෝකකරණ පද්ධතිය ප්‍රතිනිර්මාණය මොටෝකෝ ඉෂි හට පවරන ලදී.

1989 දී නව ආලෝක පද්ධතිය විවෘත කරන ලදී. එහිදී පිට මායිමේ තිබූ බල්බ ගලවා ඉවත් කර නව ධාරා අලෝක බල්බ 176 කුළුණේ රාමුව වටා සවිකරන ලදී. සන්ධ්‍යාභාගයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා මේවා මුළු කුළුණම ආලෝකමත් කරනු ලබයි. සෝඩියම් හුමාල පහන් (Sodium vapor lamps), කුළුණේ තැඹිළි වර්ණය ඉස්මතු කිරීම සඳහා ඔක්‍තෝබර් 2 සිට ජූලි 6 දක්වා කාලය තුළ දල්වනු ලබයි. ලෝහ හේලයිඩ් පහන් ([en.wikipedia.org/wiki/Metal_halide_lamp metal halide lamps]) ජූලි 7 සිට ඔක්‍තෝබර් 2 දක්වා කාලය තුළ සුදු වර්ණය ඉස්මතු කිරීම සඳහා දල්වනු ලබයි. මෙය සෘතුමය තත්ත්වයන්ට අනුකූල වීමක් වන අතර ඉෂි විසින් මෙය පැහැදිලි කර ඇත්තේ සීත කාලයට උණුසුම් වර්ණයක් හා උණුසුම් කාලය සෞම්‍ය වර්ණයක් කුළුණ ආලෝකමත් කිරීමට යොදා ගැනීම යෝග්‍ය බවයි.

ඇතැම්විට ටෝකියෝ කුළුණේ ආලෝකකරණය විශේෂ උත්සව අවස්ථා සඳහා වෙනස් කරනු ලබයි. වසර 2000 සිට සෑම ඔක්‍තෝබර් පළමුදාකම ජාතික පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය (National Breast Cancer Awareness) වෙනුවෙන් එය රෝස පාටින් ආලෝකමත් කරනු ලැබේ. 1994 පටන් නත්තල සඳහා විශේෂ ආලෝකකරණයක් යොදා ගනී. සෑම වසරකම අලුත් අවුරුදු උදාවේදී (New Year's Eve) එම වර්ෂයේ ඉලක්කම්, බල්බ යෝදා ටෝකියෝ කුළුණේ නිරූපණය කරනු ලබයි. 2002 වසරේදී ජපානයේ පැවැත්වූ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය (FIFA World Cup) සමරනු වස් එකළ එය නිල් පැහැයෙන් ආලෝකමත් කර තිබුණි. 2007 වසරේ ශාන්ත පැට්‍රික් දිනය (Saint Patrick's Day) සැමරීම සඳහා කොළ වර්ණයෙන් ආලෝකමත් කරන ලදී. ජපානයේ දී මේට්‍රික්ස් චිත්‍රපටය (The Matrix Reloaded) පළමු ප්‍රදර්ශනයේදී කුළුණේ ඉහළ භාගය කොළ වර්ණයෙන් ආලෝකමත් කරන ලදී.

තවද ජපානයේ ප්‍රථම වරට කොකාකෝලා සී2 (Coca-Cola C2) බීම හඳුන්වා දීමේදී එය රතු සුදු හා කළු වර්ණයන්ගෙන් ආලෝකමත් කර ඇත. 2000 නව සහස්‍රකය සැමරීම පිණිස මොටෝකෝ ඉෂි එයටම අනන්‍ය වූ ආලෝකකරණයක් එකල යොදා ගනු ලැබීය. 2008 දී නිහාන් ඩෙන්පැටෝ විසින් ඇ.ඩො. මිලියන 6.5 යොදා නවතම ආලෝකකරණ උපක්‍රමයන් යොදා ගනු ලැබීය. එය දියමන්ති වේලය නමින් ඔහු හඳුන්වන ලදී. එය ටෝකියෝ කුළුණේ 50 වන සංවත්සරය සැමරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. එහිදී වර්ණ 7කින් ආලෝක ධාරා 276 සමානව කුළුණේ පාද හතරේ පහළ සිට ඉහළට සවිකරන ලදී. මෙම ආලෝකකරණ වැඩසටහන් වලදී නරීක්ෂන මහල් වැදගත් කාර්යයභාරයක් ඉටුකරනු ලබයි. දෙවන ලෝක සුදු පටි දිනයේදී (White Band Day) (2005 සැප්තැම්බර් 10) ප්‍රධාන නිරීක්ෂන මැදිරිය වටා දීප්තිමත් සුදු වර්ණයෙන් ආලෝකමත් ලදී. එය එදින සුදු පටියක් සංකේතවත් කිරීම සඳහා යොදා ගන්නා ලදී. නිරීක්ෂන මහලේ ආවරණය කර ඇති වීදූරු ඡනේල පිට පැත්තෙන් අංක සහ අකුරු ප්‍රදර්ශනය සඳහා යොදාගනී. 2005 දී හඳුන්වාදෙනු ලැබූ ලැබු භූගෝලීය අංකිත විකාශනය එලෙස නම සඳහන් කරමින් නිරීක්ෂන මහලේ දර්ශනය කරන ලදී.මෑත කාලයේ එහි Tokyo සහ 2016 වදන් දර්ශනය වේ. ඒ ඔවුන් 2016 ඔලිම්පික් සත්කාරකත්වය (2016 Olympic bid) අපේක්ෂාවෙන් සිටින නිසාවෙනි.


සුරතල්ලු[සංස්කරණය]

ටෝකියෝ කුළුණ සතුව සුරතලුන් දෙදෙනෙකු සිටී. ඔවුන් හඳුන්වන්නේ නොපොන් යනුවෙනි. සොහොයුරන් දෙදෙනෙකු වන මොවුන් අතරින් වැඩිමහල් සොහොයුරා නිල් පැහැයෙන් සැරසී සිටින අතර බාල සොහොයුරා රතු පැහැයෙන් සැරසී සිටියි. මොවුන් හඳුන්වාදෙන ලද්දේ 1998 දෙසැම්බර් මස 23 වැනිදා පැවැති ටෝකියෝ කුළුණේ 40 වැනි සංවත්සරයට සමගාමීවය.

ජනප්‍රිය සංස්කෘතිය තුල[සංස්කරණය]

අයිෆල් කුළුණ නිරන්තරයෙන් ජනප්‍රිය සංස්කෘතිය තුල පැරිසියේ දර්ශන තල හා සම්බන්ධ වනවා මෙන්ම, ටෝකියෝ කුළුණද ටෝකියෝවෙදී එවැනි ජනප්‍රිය කටයුතු සඳහා යොදා ගනු ලැබේ. ජපානයේ ජනප්‍රිය anime හා manga කාටුන් තුල ටෝකියෝ කුළුණ දර්ශන තල සඳහා යොදාගෙන ඇත. එමෙන්ම ඇතැම් චිත්‍රපට තුලද ටෝකියෝ කුළුණේ දර්ශන තල යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙස ජපාන කයිජු චිත්‍රපට ප්‍රභේදය, ගොඩ්zසිලා, මොත්‍රා (Mothra) හා කිං කොං එවැනි චිත්‍රපට කිහිපයකි. 2005 වර්ෂයේදී තිරගත කරනලද en:Always Sanchōme no Yūhi චිත්‍රපටය, ටෝකියෝකුළුණ ගොඩනගන කාලවකවානුව තුළදී ඒ අවට ප්‍රදේශයේ සිදුවන සිදු වීම් හා එකල ජන ජීවිතය අලලා නිර්මාණය කරන ලද්දකි.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Tokyo Tower". Emporis. සම්ප්‍රවේශය 2008-04-11. 
  2. "Structural Engineering". Nikken Sekkei. Archived from the original on 2008-04-21. සම්ප්‍රවේශය 2008-04-11. 
  3. 3.0 3.1 "Tokyo Tower gets shorter for the 1st time". සම්ප්‍රවේශය 2012-07-23. 
  4. Bruan, Stuart. "Big in Japan:Tokyo Tower". Metropolis. Archived from the original on June 10, 2008. සම්ප්‍රවේශය 2008-09-21. 
  5. "鉄の豆知識" (in Japanese). Otani Steel Corporation. සම්ප්‍රවේශය 2008-03-30. 
  6. 6.0 6.1 Fackler, Martin (December 30, 2008). "Tokyo Tower goes from futuristic hope to symbol of the good old days". International Herald Tribune. Archived from the original on 2009-01-10. සම්ප්‍රවේශය 2009-01-21. 
  7. Gilhooly, Rob (March 17, 2002). "The tower and the story". The Japan Times. සම්ප්‍රවේශය 2008-09-20.  [dead link]
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; official data නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. "Tokyo Tower vs. Super Tower: Crossed Signals?" (PDF). Colliers International. October 2005. සම්ප්‍රවේශය 2009-01-21. 
  10. Alex Vega (July 7, 2006). "The Small Print". Metropolis. Archived from the original on February 24, 2008. සම්ප්‍රවේශය 2008-03-30. 
  11. 11.0 11.1 11.2 Ito, Masami (December 30, 2008). "Half century on, Tokyo Tower still dazzles as landmark". The Japan Times. Archived from the original on 2012-12-19. සම්ප්‍රවේශය 2009-01-21. 
  12. Sato, Shigemi (December 23, 2008). "Tokyo Tower turns 50 with big party". Associated Press. Archived from the original on 2009-02-07. සම්ප්‍රවේශය 2009-01-21. 
  13. "Tokyo Tower to add 100 meters". The Japan Times. September 23, 2007. Archived from the original on 2012-07-20. සම්ප්‍රවේශය 2008-09-18. 
  14. Arpon, Yasmin Lee (March 22, 2012). "Tokyo Skytree: A towering symbol". AsiaOne. සම්ප්‍රවේශය April 9, 2012. [Tokyo Skytree] will serve as the new broadcasting facility for six terrestrial broadcasters headed by NHK. Tokyo Tower, which stands at 333m… 
  15. "Tokyo Tower antenna bent, tourists evacuate via stairs". Jiji Press (in Japanese). 

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටෝකියෝ_කුළුණ&oldid=389233" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි