ජොර්ජ් වොෂින්ටන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජෝර්ජ් වොෂිංටන්
Gilbert Stuart Williamstown Portrait of George Washington.jpg
ඇමෙරිකාවේ පළමු ජනාධිපති
In office
1789 අප්‍රේල් 30 – 1797 මාර්තු 4  
Vice President ජෝන් ඇඩම්ස්
Preceded by අලුතින් පිහිටුවන තනතුරකි
Succeeded by ජෝන් ඇඩම්ස්
එක්සත් ජනපද හමුදාවේ අණදෙන හමුදාපති
In office
1798 ජූලි 13 – 1799 දෙසැම්බර් 14
Appointed by ජෝන් ඇඩම්ස්
Preceded by ජේම්ස් විල්කින්සන්
Succeeded by ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්
කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා
In office
1775 ජූලි 15 – 1783 දෙසැම්බර් 23
Appointed by කොන්ටිනෙන්ටල් කොංග්‍රසය
Preceded by අලුතින් පිහිටුවන තනතුරකි
Succeeded by හෙන්රි නොක්ස් එක්සත් ජනපද හමුදාවේ අණදෙන හමුදාපති
දෙවැනි කොන්ටිනෙන්ටල් කොංග්‍රසයට වර්ජිනියාව නියෝජනය
In office
1775 මැයි 10 – 1775 ජූනි 15
Preceded by අලුතින් පිහිටුවන තනතුරකි
Succeeded by තෝමස් ජෙෆර්සන්
පළමු කොන්ටිනෙන්ටල් කොංග්‍රසයට වර්ජිනියාව නියෝජනය
In office
1774 සැප්තැම්බර් 5 – 1774 ඔක්තෝබර් 26
Preceded by අලුතින් පිහිටුවන තනතුරකි
Succeeded by තනතුර ආලෝපනය කරන ලදි
Personal details
උපක පෙබරවාරි 22, 1732(1732-02-22)
වර්ජිනියාවේ වෙස්ට්මෝර්ලන්ඩ් කවුන්ටිය, වර්ජිනියා, වෙස්ට්මෝර්ලන්ඩ්, යටත් විජිත වර්ජිනියාව, බ්‍රිතාන්‍ය ඇමෙරිකාව
මරණය 1799 දෙසැම්බර් 14 (වයස 67)
මවුන්ට් වර්නන්, වර්ජිනියා
දේශපාලන පක්ෂය ස්වාධීන
කලත්‍රයා(යන්) මාර්තා වොෂිංටන්
වෘත්තිය වතු වැවිලිකරණය, යුද හමුදාවේ නිලධාරි
සම්මාන කොංග්‍රසය ප්‍රදානය කළ රත්තරන් පදක්කම, කොංග්‍රසයේ ස්තූතිය
අත්සන Cursive signature in ink
හමුදා සේවය
පක්ෂපාතිත්වය මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය්‍ය, මහා බ්‍රිතාන්‍යය
එක්සත් ජනපදඇමෙරිකා එක්සත් ජනපදය
සේවය/ශාඛාව වර්ජිනියා ප්‍රාන්ත මිලීෂියාව
කොන්ටිනෙන්ටල් හමුදාව
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව
සේවා වසර මිලීෂියාව: 1752–1758
කොන්ටිනෙන්ටල් හමුදාව: 1775–1783
හමුදාව: 1798–1799
අනුස්ථීතිය US-O9 insignia.svg ලුතිනන් ජනරාල්
හමුදාපති (මළ පසු: 1976)
ආඥාපතිත්වය යටත්විජිත වර්ජිනියා රෙජිමේන්තුව
කොන්ටිනෙන්ටල් හමුදාව
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව
යුද්ධ/සටන් ප්‍රංශ ඉන්දියානු යුද්ධය
ග්ලෙන් ජුමොන්විල් යුද්ධය
නෙසැසිටි බලකොටුවේ යුද්ධය
බ්‍රැඩ්ඩොක් ගවේෂණාත්මක ගමන
මොනොන්ගහෙලා යුද්ධය
ෆෝර්බ්ස් ගවේෂණාත්මක ගමන
ඇමෙරිකන් විප්ලවීය යුද්ධය
බොස්ටන් මෙහෙයුම
නිව් යෝර්ක් හා නිව් ජර්සි සංග්‍රාමය
ෆිලඩෙල්ෆියා සංග්‍රාමය
යෝර්ක්ටවුන් සංග්‍රාමය
  මාර්තු 4 වැනි දිනය පළමු ජනාධිපති වාරය නිල වශයෙන් පටන් ගත් දිනයයි. කොංග්‍රසය විසින් චන්ද කොට්ඨාශ වල චන්ද ගණන් කර අනතුරුව ජනාධිපති වශයෙන් සහතකිය ලැබෙන්නේ අප්‍රේල් 6 වැනිදා ය. ඇමෙරිකන් එක්සත් ජනපදයේ ජනාධිපති වශයෙන් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුනේ අප්‍රේල් 30 වැනිදා ය.
ජෝර්ජ් වොෂිංටන් (1772 ඡායාරූපය) හැඳ සිටින්නේ වර්ජීනියා රෙජිමේන්තුවේ කර්නල් නිල ඇඳුමයි. ඔහු මිලීෂියාවට අප්‍රසාදය දැක්වූයේය. ප්‍රංශ ඉන්දියානු යුද්ධයේ දී සහ ඇමෙරිකන් නිදහස් අරගලයේ දී ඔහු වෙහෙසුනේ පූර්ණකාලීන, වෘත්තීමය හමුදාවක් පිහිටුවීම සඳහා ය.
ජෝර්ජ් වොෂිංටන් නිවස -අද
මවුන්ට් වර්නන් හි උද්‍යානය -අද
එදා ගොවිතැන් සඳහා පාවිච්චි කරන ලද උපකරණ
වොෂිංටන්ගේ ලිපිකරුවාගේ නවාතැන
රෙදි අපුල්ලන ලද කාමරය
වොෂිංටන් පවුලේ අශ්ව කරත්තය
ජෝර්ජ් හා මාර්තා ගේ සූසාන පෙට්ටි
මවුන්ට් වර්නන් වතුයායේ මියගිය වහල් සේවකයන් සඳහා ඉදි වූ ස්මාරකය

ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපතිවරයා විය. වතු වැවිලි කරුවෙක් හා මිනින්දෝරුවෙක් වූ ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදය, ජනරජයක් ලෙසින් පිහිටුවීමේ දී එහි මූලිකත්වය ගත් ආදී පීතෘවරුන් අතරින් අයෙක් ලෙසින් ද සැලකේ. ඔහු ඇමෙරිකන් නිදහස් අරගලයේ දී යුද වැදුණු කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධානියා ද විය. එසේම ඇමෙරිකන් ව්‍යවස්ථාව නිර්මාණයේ දී ඒ සාකච්ඡා සියල්ලේ ම සභාපතිවරයෙක් ලෙසින් ද කටයුතු කළේය. ඒකමතික තෝරා ගැනීමෙන් ඔහු නව ජනරජයේ මුල් ම ජනාධිපතිවරයා බවට පත්විය. ඔහු වාර දෙකක් ජනාධිපති ධූරය දැරීය. ආර්ථිකයෙන් ශක්තිමත් භාණ්ඩාගාරයක් ද, යුරෝපයේ වූ යුද කැළඹීම් වලට සහභාගී නොවී සිටීමෙන් ද, විස්කි කැරැල්ල මැඬ පවත්වා ගත හැකිවීමෙන් ද යහපත් පාලනයක් ගෙන ගිය ඔහු ජනතාව අතර ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට ලක් වූ ජනාධිපතිවරයෙක් විය. ඔහුට තවත් බලයේ ඉන්නට යැයි ඉල්ලා සිටිය දී ඔහු තෙවැනි වාරයක් ප්‍රතික්ෂේප කර, ගොවිතැන් කටයුතු සඳහා කාලය යොදවන්නට අවශ්‍ය්‍ය යැයි කියා විශ්‍රාම ගියේය.

ළමා කාලය[සංස්කරණය]

ජෝර්ජ් වොෂිංටන් ගේ පියා ඔගස්ටීන් වොෂිංටන් දුම්කොළ වගාවේ නියුතු වතු වැවිලිකරුවෙකි. ඔහුට ජේන් බට්ලර් නැමති පළමු විවාහයේ බිරිඳ ගෙන් ලැබි දරුවන් හතර දෙනෙක් සිටියහ. ලෝරන්ස් හා ඔගස්ටීන් යන පුතුන් දෙදෙනා හැරෙන්නට අනිත් දරුවන් දෙදෙනා ළමා කාලයේ දී මිය ගියහ. ජේන් ද උණක් වැළඳී මිය ගියාය. ඔග්ස්ටීන්ගේ දෙවැනි විවාහය මේරි බෝල් නැමැත්තිය සමඟ සිද්ධ වුණි. ඇය රෑමත් බව කියැවේ. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුතුනුවන් වනුයේ ජෝර්ජ් වොෂිංටන් ය. ජෝර්ජ් වොෂිංටන්ට සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ද වූහ.

නොයෙක් පළාත් වල ජීවත්වෙමින් කාලය ගෙවන පවුල අනතුරුව වර්ජිනියාවේ ෆෙඩරික්ස්බර්ග් ගමේ රැෆහැනෙක් ගඟ අසල අක්කර 260 ක වත්තක පදිංචියට යති. ජෝර්ජ්ගේ පියාගේ වැඩිමහල් පුතුනුවන් වූ ලෝරන්ස් හා ඔගස්ටීන් දෙදෙනා එංගලන්තයේ අධ්‍යාපනය ලැබූහ. ඔගස්ටීන්ගේ පළමු දරුවා වූ ලෝරන්ස් පවුලේ වස්තුව සඳහා සම්ප්‍රදායික උරුමක්කාරයා ද විය. ජෝර්ජ් වොෂිංටන් අධ්‍යාපනය ලැබුවේ ගමේ එක් පංති කාමරයක් තිබි පාසැලක ය. එහි ගුරුවරුයා වූයේ හොබී නැමැත්තෙකි. ගුරුවරයාගේ දැනුම එතරම් ප්‍රමාණවත් නැතැයි ජෝර්ජ් මැසිවිලි කී බව සටහන් වෙයි. එසේම දුර බැහැර ගොස් ඉගෙනීමක් ලබා ගැනීමට මිල මුදල් නොමැති වූවා යැයි ඔහු කළකිරුණු ළමා කාලයක් ද ගෙවි බව සටහන් වෙයි. ක්‍රමවත් අධ්‍යාපනයක් නොලැබූ නිසා අද ඉතිරි වී ඇති, විශාල හා දැකුම්කළු අකුරු වලින් ලියැවී ඇති ඔහුගේ ලිපි ලේඛන හා සටහන් වල අක්ෂර වින්‍යාස දෝෂයන් දකින්නට ලැබේ. සිය පියාගේ ගෙදර වූ පුස්තකාලයේ පොත් බොහොමයකින් ඔහු පරිපාලනය හා වගා කටයුතු ගැන ඉගෙන ගත්තේ ය.

ඔහු කුඩා කාලයේ දී වත්තේ වූ චෙරි ගස කපා දැමුවා යැයි දෝෂාරෝපණයකට ලක් වූ විට "මට බොරු කියන්න බැහැ, මම ඒක කළේ මගේ කුඩා කැත්තෙන්" යැයි කියා වැරැද්දේ වගකීම ගත්තා යන්න සුප්‍රසිද්ධ කට කතාවක් මිසක සත්‍ය්‍ය සිදුවීමක් නොවේ.[1]

දේහ ශක්තියෙන් හා ජවයෙන් පිරි කඩවසම් හැඩිදැඩි තරුණයෙක් වූ ජෝර්ජ් ක්‍රීඩාවන්ට හපනෙක් විය. එසේම නොදත් දෑ පොත පතින් තනිවම උගත්තේ ය. දක්ෂ අශ්වාරෝහකයෙකු මෙන් ම අශ්වයන් පුහුණුවට ද ඔහු දස්කම් දැක්විය. ජෝර්ජ් වොෂිංටන්ට වයස අවුරුදු අටක් වෙද්දී ලන්ඩන් අධ්‍යාපනය හමාර කළ වැඩිමහල් සුළු සොහොයුරා වූ ලෝරන්ස් ආපසු වර්ජිනියාව බලා පැමිණියේය. උගත් ලෝරන්ස් ගේ මනා හැදියාවන් හා නුවණ දැක වොෂිංටන් ඔහු හා වැඩියෙන් කාලය ගත කිරීම ප්‍රිය කළේය. ලෝරන්ස් ජෝර්ජ්ට වඩා වසර දාහතරකින් වැඩිමහල් විය. ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය අතර වෙළඳ සබඳතා වල දී පටන් ගත් අරගල යුද්ධ වලට හැරෙද්දී වයස 22 වූ ලෝරන්ස් කපිතන්වරයෙක් ලෙසින් වර්ජීනියාවේ ස්වේච්ඡා භට හමුදාවක් සමඟින් කොලොම්බියා රටේ කාර්තහේනා නැමති ස්පාඤ්ඤ බලකොටුව වැටලීමට පිටත් වී ගියේය. සටන අසාර්ථක වූවත් ලෝරන්ස් ආපහු එන්නේ දස්කම් හා නීර්භීතත්වය දැක්වූ යුද වීරයෙක් ලෙසිනි. ලෝරන්ස් බෙදාගත් යුධ පිටියේ තොරතුරු අසන්නට ජෝර්ජ් ඉතා කැමැත්ත දැක්වූයෙකි. යුද වික්‍රමයන් දැක්වීම නිසා ලෝරන්ස් වර්ජීනියා ප්‍රාන්තයේ සහකාර ජනරාල් විදියට උසස් වීමක් ලබයි. ලෝරන්ස්ගේ කාර්ය භාරය වූයේ මිලීෂියා භටයන් පුහුණු කිරීම විය.

ජෝර්ජ් ට වයස අවුරුදු 11 සම්පූර්ණ වෙද්දී ඔහුගේ පියා වූ ඔගස්ටීන් මිය ගියේය. පියාගේ අන්තිම කැමති පත්‍රයෙන් දේපලෙන් වැඩි උරුමය ලෝරන්ස්ට පැවරුණි. ජෝර්ජ්ට ලැබුනේ ඔහු විසු නිවස පිහිටි ෆෙරී නම් කුඩා වතුයායක් සහ තවත් ඉඩම් කැබලි කිහිපයකුත් සමඟ වහලුන් දහ දෙනෙකි. වයස අවුරුදු 21 වෙන තුරු එහි පාලනය ඔහුගේ මව සතු විය. ජෝර්ජ් වැඩියෙන් කාලය ගෙවූයේ ලෝරන්ස් සමඟිනි. ලෝරන්ස් ජීවත් වූ මවුන්ට් වර්නන් වතුයායේ ය. එය පසු කලක දී ජෝර්ජ් විසින් ඥාතීන්ගෙන් මිල දී ගෙන තම නිවහන කර ගනියි.

තුරුණු විය[සංස්කරණය]

ලෝරන්ස් ගේ නිවහනට නිතර යන එන ජෝර්ජ් ට ලෝර්න්සේ ගේ බිරිඳගේ පියා කර්නල් විලියම් ෆෙයාර්ෆැක්ස් සහ පසුව කර්නල් ගේ ළඟ නෑදැයෙක් වූ ලෝර්ඩ් තෝමස් ෆෙයාර්ෆැක්ස් හමුවෙයි . ලෝර්ඩ් තෝමස් ෆෙයැර්ෆැක්ස් ඇමරිකාවේ ඉඩම් වරප්‍රසාද අයිතිය ලබන්නේ 1649 දී සිට ය. ඔහුට පටෝමික් සහ රෆාහැනෙක් ගංඟා අසල බඩ ඝන වනාන්තර භූමි පෙදෙස් වලින් අක්කර මිලියන පහකට වඩා වැඩි ප්‍රමාණයක අයිතිය තිබිණ. 1747 දී ලෝර්ඩ් ෆෙයාර්ෆැක්ස් එංගලන්තයේ සිට වර්ජීනියාවට පැමිණෙන්නේ තම ඉඩකඩම් දැක බලා ගන්නට හා ඒවා කොටස් කඩා විකිණීම සඳහාත් ය. තම උරුමය වූ ඉඩම් හි මායිම් දැන නොසිටි හෙයින් ලෝර්ඩ් ෆෙයාර්ෆැක්ස්ට මිනින්දෝරුවෙකුගේ අවශ්‍යතාවයක් දැඩිව තිබිණ. ජෝර්ජ් පොත පතින් මිනින්දෝරු ශාස්ත්‍රය ඉගෙන ගෙන තිබුණි. ආදායමක් ලබා ගැනීමට මිසක එය වෘත්තියක් ලෙසින් කිරීම ජෝර්ජ්ගේ බලාපොරොත්තුවක් ද නොවීය. ජෝර්ජ් කර්නල් විලියම් ෆෙයාර්ෆැක්ස් ගේ පුතා සමඟින් මිනින්දෝරු වැඩ සඳහා ගොස් පුහුණුවක් ද ලබා සිටිය බැවින් ඔවුන්ගේ රෙකමදාරු වලින් ලෝර්ඩ් තෝමස් ෆෙයාර්ෆැක්ස් ගේ ඉඩම් මනින්නට අවස්ථාව ලැබීය. වයස අවුරුදු 18 දී ඔහු වසරකට මිනින්දෝරු වැඩ වලින් බ්‍රිතාන්‍ය පවුම් 125 ක් උපයන්නට සමත් විය. එසේම ඝන කැලෑවන් තුලින් ගමන් කිරීමත්, නුහුරු එළිමහන් පෙදෙස් වල රාත්‍රියන් ගෙවීමෙන් ද ඔහු දුෂ්කර ජීවන රටාවක් ගැනත් පරිසරයේ පිහිටීම් ගැනත් මනා අවබෝධයක් අත්දැකීමෙන් ලද්දේ ය. එසේම සිතියම් කියවන්නට හා සිතියම් හදන්නට ද හේ උත්සුක විය. මිනින්දෝරු කටයුතු වල දී ද, මිලීෂීයා හමුදාවේ ගමන් බිමන් වල දී සහ පසුව විප්ලවීය හමුදාව මෙහෙවන කාලය තුල දීත් ඔහු සිතියම් හැදීම කළ බව සඳහන් වෙයි.[2]

මිනින්දෝරු වෘත්තියට එතරම් ලැදියාවක් නොමැති වුව ද එය මුදල් උපයා ගන්නට තිබි කදිම මඟකි. ජෝර්ජ් ගේ අභිප්‍රාය වූයේ සිය සහෝදරයා වූ ලෝරන්ස් මෙන් හමුදාවට එකතු වීමට ය. එහෙත් රදළ උරුමයෙන් ආ තනතුරක් හෝ ගෙවා ලබා ගත හැකි තනතුරකට ප්‍රමාණවත් මුදල් ඔහු සතු නොවූයෙන් ඔහු වෙහෙසුනේ මිනින්දෝරු රැකියාවෙන් හමුදා නිලයක් ගන්නට තරම් ප්‍රමාණවත් මුදලක් එකතු කර ගැනීමටයි. නමුත් ඊට බාධා පැමිණියේ ලෝරන්ස් හදිසියේ ම ක්ෂය රෝගයෙන් පෙළෙන්නට පටන් ගැනීම ය. ජෝර්ජ් වොෂිංටන් ලෝරන්ස් සමඟ වර්ජීනියාවේ සීතල පරිසරයෙන් නික්ම වී උණුසුම් දේශගුණයෙන් සිය සුළු සහෝදරයාට සහනයක් ලැබෙතැයි සිතා බාර්බඩෝස් දූපත බලා ගියේය. 1751 දී ගිය ඒ බාර්බඩෝස් ගමන ජෝර්ජ් වොෂිංටන් රටින් පිට වී ගිය එක ම සංචාරයයි. එහි දී ජෝර්ජ් වොෂිංටන් ට වසූරිය වැළඳුනි. සහෝදරයාගේ තත්වය යහපත් අතට හැරුනේ ද නැත. ජෝර්ජ් ආපසු වර්ජීනියාව බලා ගිය අතර ලෝරන්ස් තමාට බර්මියුඩා දූපතේ දී සහනයක් ලැබිය හැකි දැයි විමසනු පිණිස එහි ගියේය. 1752 දී කිසිත් සුවයක් නොලැබි ලෝරන්ස් ආපසු වර්ජීනියාව බලා පැමිණියේය. ඔහු මිය යද්දී ජෝර්ජ් ඔහු අසල සිටි බව සඳහන් වෙයි. ලෝරන්ස් සිය අන්තිම කැමති පත්‍රයෙන් තම භාර්යාවගේ කැමැත්ත අනුව, ඇයගේ අභාවයෙන් ද පසුව, මවුන්ට් වර්නන් වත්ත ජෝර්ජ් වෙතට ලියා තිබිණ. ලෝරන්ස් ගේ අන්තිම කැමති පත්‍රය ක්‍රියාවට නැංවූ ජෝර්ජ් එහි සටහන් සියල්ල විමසා බලද්දී දැනගත්තේ සිය සුළු සහෝදරයා තමන් සිතූ තරම් ධනවත් නොවන, එසේම මිල මුදල් තත්වය නිසි පිරික්සාවෙන් නොයුතු බැවින් අවුල් ජාලයකින් පවතින බවත් ය. ජෝර්ජ් පසු කාලයේ දී තමන් කරන සියළු ගණුදෙනු විධිමත් ලෙසින් සටහන් තබන්නට ඉතා සුපරීක්ෂාකාරී වෙයි. මවුන්ට් වර්නන් වතු යායේ ඇති ඔහුගේ නිවහනේ තිබෙන කාර්යාල කාමරයේ තමන් ලියන හැම ලිපියක ම කොපියක් ලියැවෙන ලී පෙට්ටියක් ද මේසයේ ඇත. පාලනයේ දී වූ වියදම්, ගණුදෙනු හා ලිය කියැවිලි සියල්ල ක්‍රමවත් ව හසුරුවන්නට ඔහු විසින් වේතනයක් ගෙවා, කාමරයක් දී, පූර්ණකාලීනව තබාගත් ලිපිකරුවෙක් ද විය.

වර්ජීනියා ප්‍රාන්තයේ සහකාර දිස්ත්‍රික්ක නිලධාරී[සංස්කරණය]

1753 පෙබරවාරි 1 වැනිදා ජෝර්ජ් වොෂිංටන් වර්ජිනියා ප්‍රාන්ත මිලීෂීයාවේ සහකාර දිස්ත්‍රික්ක නිලධාරියෙක් හැටියට තනතුර ලැබීය. ඒ සිය සහෝදරයාගේ අභාවයෙන් හිස් වූ පදවිය කොටස් හතරකට බෙදී යෑමෙන් ඔහුට ලැබි තනතුරකි. එයින් ඔහුට මේජර් නිල නාමයක් ලැබිණ. එය ඔහු බලාපොරොත්තුවෙන් සිටි බ්‍රිතාන්‍ය හමුදාවේ කොමිසම නොවීය. බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකුට ආබාධිත හා විශ්‍රාම වැටුප් වේතනයෙන් හරි අඩක් දිවි තිබෙන තුරා ලැබිණ. නිල නිවාස, නිල ඇඳුම්, ආහාර හා බෙහෙත් ද ලැබිණ. එකල ලුතිනන්වරයෙකුගේ කොමිසමක් උරුමයෙන් නැතිනම් මිල දී ගන්නට බ්‍රිතාන්‍ය පවුම් 500 ක් ද, කර්නල්වරයෙකුගේ කොමිසමක් ගන්නට බ්‍රිතාන්‍ය පවුම් 3,500 ක් ද අවශ්‍ය විය. ජෝර්ජ් ලැබි තනතුරට මාසයකට බ්‍රිතාන්‍ය පවුම් 15 ක් ගෙවීම කිසිසේත් ම ප්‍රමාණවත් නැති බව ජෝර්ජ් ගේ මතය විය. ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නට ද සිතූ බවත්, කර්නල් ෆෙයාර්ෆැක්ස් ඒ ගැන විමසා බලන්නට පොරොන්දු වූ නිසා අස්වූයේ නැති බවත් සඳහන් වෙයි. වයස 21 දී ජෝර්ජ් ට අක්කර 1400 කට වඩා ඉඩම් අයිතියක් සතු වූවත්, ඒ බිම් වල වගා කටයුතු පටන් ගැනීම සඳහා ප්‍රාග් ධනයක් නොතිබුණි.

1754 දී වර්ජිනීයාවේ යටත්විජිත ආණ්ඩුකාරයා වූ රොබට් ඩින්විඩී විසින් එහි මිලීෂියා රෙජිමේන්තුවක් පිහිටුවන ලදි. එහි ලුතිනන් කර්නල් පදවිය සඳහා ජෝර්ජ් උසස් වීමක් ලැබීය. ඔහු අයිති වූ මිලීෂීයා හමුදාවේ වැඩ බලන නිලධාරියා වූයේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් වූ ජොසුවා ෆ්‍රයි නැමැත්තා ය. කර්නල්වරයෙකු වූ ෆ්‍රයිගේ අභාවයෙන් පසුව වොෂිංටන්ට කර්නල් පදවිය ලැබී එහි අණ දෙන නිලධාරියා බවට පත්විය.

ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර යුද උත්සන්න වෙද්දී, කැනඩාවේ ආණ්ඩුකාරයා වූ ප්‍රංශ ජාතික මාර්කි ඩ්‍යුකෙස්නි ස්වදේශී ඉන්දියානුවන් සමඟ එක් වී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට රටෙන් පිටවෙන්නට යැයි අණ කළේය. සත්ව දඩයමේ ගිය ඇමෙරිකානු පදිංචිකරුවන් උතුරු පෙදෙස්වල ප්‍රංශ හමුදාවන් බලකොටු ශක්තිමත් කරනවා යැයි ආරංචි ගෙනාහ. එයින් බ්‍රිතාන්‍ය හමුදාව කළබල වූහ. වර්ජිනීයාවේ යටත්විජිත ආණ්ඩුකාරයා වූ රොබට් ඩින්විඩී හට බ්‍රිතාන්‍යයෙන් අණක් ලැබුනේ ප්‍රංශ හමුදාවන්ට තවත් පහළට එන්නට ඉඩ නොදෙන්න යැයි අවවාද කරන්නට කියාය. එහෙත් ඒ පණිවුඩය ප්‍රංශ හමුදා නායකයා වෙත ගෙන යන්නට අයෙක් නොවීය. කිසිවෙක් ගමන් කළ නොමැති උතුරට ගොඩබිමින් ගමන් කරන්නට අයෙක් හොයනා බව ජෝර්ජ් වොෂිංටන්ට දැන ගන්නට ලැබිණ. ඒ පැතිවල ජීවත් වූ ස්වදේශී ඉන්දියානුවන් සුදුහම ඇති අයගේ හිස් කබල ගලවන බව ආරංචි පැතිර ගියෙන් කිසිවෙක් හමුදා රැකවරණයක් නැතිව උතුරට යන්නට ද පසුබට විය. ජෝර්ජ්ගේ වයස අවුරුදු විසිදෙකකි. ඔහු අඩි හයක් සහ අඟල් දෙකක් උස විය. ඉදිරිපත් වූ වෙන අයෙක් නැති බැවින් ජෝර්ජ්ට ඒ මෙහෙය බාර වුණි. කුලියට බඳවා ගත් පිරිමි හය දෙනෙක් ද එකතු කරගත් ජෝර්ජ් ගමනාරම්භ කරන්නේ 1753 ඔක්තෝබර් මාසයේ දී ය. පණිවිඩය දීම පමණක් නොව, ප්‍රංශ හමුදාවන්හි ශක්තිමත් බව සොයන්නටත්, ඔහායෝ පෙදෙස් හි සිතියම් හදන්නටත්, ඉංග්‍රීසි බලකොටු සඳහා සුදුසු තැන් සොයාගෙන එන්නටත් ඔහුට බාර විය.

ජෝර්ජ් ඇතුළු පිරිස සැතපුම් නවසියයක් ගමන් කර ල බෆ් නම් ප්‍රංශ බලකොටුව ඇති ප්‍රදේශයට ළඟා වෙන්නේ 1753 දෙසැම්බර් 11 දා ය. [3] ඔවුන්ගේ කණ්ඩායමේ ඕලන්ද ජාතික හමුදා නිලධාරියෙක් විය. ජෝර්ජ් ප්‍රංශ භාෂාව කතා කරන්නට නොදත් නිසා ඒ ඕලන්ද ජාතිකයා වූ ජේකොබ් වෑන් බ්‍රාම් ජෝර්ජ්ගේ සහායට පැමිණියෙකි. තමන් ගෙනා බ්‍රිතාන්‍ය පණිවිඩය ප්‍රංශ හමුදාවේ අණ දෙන නිලධාරියා අතට දුන් පසු ඔවුන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වන්නට ද ජෝර්ජ්ට අවස්ථාව ලැබුණි. ඔහායෝ ගඟ දිගේ දකුණට එන්නට ප්‍රංශ ඔරු දෙසියයක් පමණ ලැහැස්ති වී ඉන්නා ආකාරය දකින්නට ජෝර්ජ් ට හැකිවිය. ආපසු එන ගමනේ දී සීතල පරිසරයෙන් මහත් බැට කෑ ඔවුන් ස්වදේශී ඉන්දියානුවන්ට අහු වී එහෙත් පණ බේරාගෙන එති. ඔහුට මෙහෙය සඳහා ලැබුනේ බ්‍රිතාන්‍ය පවුම් පනහකි. එය තමන් ගිය ගමනේ වැය පියවන්නට කිසිසේත් ප්‍රමාණවත් නැතැයි ජෝර්ජ් වොෂිංටන් සිය දිනපොතේ සටහන් කරයි.[4]

තමන් යටතේ වූ මිලීෂියා භටයන්ගේ වේතනයන් ද ප්‍රමාණවත් නැතැයි ජෝර්ජ් වොෂිංටන් දුටුවේය. වගා කටයුතු වලින් ලැබෙන ආදායම අඩුවෙන බැවින් මිලීෂීයාවට බැඳීමට වැඩි පිරිසක් අකමැති වූහ. එහෙත් ප්‍රංශ භටයන් දකුණට එනවා යැයි වාර්තා ලැබි නිසා හමුදාව තර කරන්නට යටත්විජිත ආණ්ඩුකාරයාට උවමනා විය. අනතුරුව මුළු මිලීෂියා හමුදාවේ ම අණදෙන නිලධාරියා හැටියට කර්නල් ජොසුවා ෆ්‍රයි නැමති විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරන ලදි. කිසිත් හමුදා පුහුණුවක් නොතිබි මිනිසුන් රැසක් සමඟින් ප්‍රංශ හමුදාව නවත්වන මෙහෙයට ජෝර්ජ් වොෂිංටන් එක්වෙයි. සහකාර දිස්ත්‍රික් නායකයන් පොරොන්දු වූ අශ්වයන්, ආහාර, ගැල් හා අවි ආයුධ කිසිවක් ඔවුනට මඟ දිග දී ලැබුනේ ද නැත. කැලෑ පෙදෙස්වල ආහාරයට ඔවුන්ට දඩයම් කරගත්තක් අනුභව කරන්නට සිද්ධ විය. ප්‍රංශ ජාතිකයන්ට විරුද්ධ වූ ස්වදේශී ඉන්දියානු ටැනචැරිසන් නොහොත් "බාග රජු" යැයි නම් දැරුවා[5] මෙහි දී ජෝර්ජ්ගේ සහායට ආවේය. ප්‍රංශ ඉන්දියානු යුද්ධය අරඹමින් ඔවුන් වැදි සටන ජුමොන්විල් ග්ලෙන් හි සටන ලෙස සටහන් වෙයි.

ප්‍රංශයන් ප්‍රතිප්‍රහාර එල්ල කළහ. 1754 දී නෙසැසිටි බලකොටුවේ දී ජෝර්ජ් ඇතුළු පිරිසට පහර දී ඔවුන් සිරබාරයට ගන්නට ප්‍රංශ හමුදාව සමත් විය. එහෙත් සිය මිලීෂියා කණ්ඩායම සමඟින් ආපසු වර්ජීනියාව බලා එන්නට ඔවුන් ඉඩ දුන්හ. 1755 උතුරු ඇමෙරිකාවට ප්‍රංශයත් බ්‍රිතාන්‍ය්‍යත් දෙකම විසින් හමුදාවන් එවන ලද වසරයි. නිල වශයෙන් යුද්ධ ඇරඹෙන්නේ 1756 දී ය.

බ්‍රැඩ්ඩොක් ව්‍යසනය 1755[සංස්කරණය]

බ්‍රිතාන්‍ය ජනරාල්වරයෙකු වූ එඩ්වර්ඩ් බ්‍රැඩ්ඩොක් උපනිවේෂ ප්‍රාන්ත 13 හි ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙසින් පත් වී ඇමෙරිකාව බලා ආවේය. එහෙත් ඔහු ඇමෙරිකාවේ භූගෝලය ගැන දැන සිටියේ නැත. එසේම ඇමෙරිකානු ස්වදේශී ඉන්දියානුවන්ගේ ගෝත්‍රික සටන් හා යුධ උපායයන් ගැන දැන සිටියේ ද නැත. බ්‍රැඩ්ඩොක්ගේ හමුදා විනය හා යුද පුහුණුව බ්‍රිතාන්‍ය වූ ද, යුරෝපීය වූ ද, යුධ ක්‍රම සහ විධි වලට සීමා වී තිබිණ. මිලීෂීයාවෙන් සමුගෙන මවුන්ට් වර්නන් හි වගා කටයුතු වල නිරත වී සිටි ජෝර්ජ් වොෂිංටන් පටෝමික් ගඟ දිගේ රැගෙන යන්නා වූ අවි ආයුධ පිරි නැව් බලමින්, තුවක්කු වලින් නැඟෙනා වෙඩි හඬ අසමින් තවමත් බ්‍රිතාන්‍ය හමුදාවට එක් වන්නට බලා සිටියේය. මුදල් නොගෙවා සිය පළපුරුද්ද හා අතීත දස්කම් වලට හමුදාවේ කොමිසමක් හේ බලාපොරොත්තු වූයේය. එහෙත් අවසානයේ හේ වේතනයක් නැතිව ස්වේච්ඡා සේවයට එක්විය. ඔහුට වර්ජීනියා මිලීෂියාවේ කර්නල් පදවියෙන් යුතුව යුද පිටියේ පුහුණුව ලබන්නට අවස්ථාවක් උදාවිය.

1775 මැයි 10 වැනිදා ජෝර්ජ්, ජනරාල් බ්‍රැඩ්ඩොක් ඇතුළු පිරිසක් සමඟ කම්බර්ලන්ඩ් බලකොටුව බලා පිටත් විය. බ්‍රිතාන්‍ය රාජකීය රෙජිමේන්තුවේ බල ඇණි දෙකෙහි පිරිස එක් දහස් හාරසීයයක් විය. වඩු කාර්මිකයන් හා යටත්විජිත මිලීෂීයා කණ්ඩායම් දෙකෙහි පිරිස හැට දෙනෙකි. මාර්ගය පෙන්වන්නට අය ද, තවත් හමුදා බල ඇණි ද මග දී ඔවුනට එකතු වූහ. බ්‍රිතාන්‍ය යුද සිරිත් අනුව නලා හා බෙර වාදනයෙන් ගමන් කරන ඔවුනට කැලෑව මැදින් යන ගමන් වල දී දිනකට සැතපුම් දෙකකට වඩා යන්නට නොහැකි විය. ජෝර්ජ් ඒ සිරිත් ගැන ඉතා අකමැත්තෙන් සිටියේය. අතරමග දී උණකින් පෙළුනු ජෝර්ජ් සුවය ලබන්නට විවේක ගෙන ඔවුනට යළි එකතු වෙද්දී ඔවුන් ඩ්‍යුකෙස්නි බලකොටුවට නුදුරින් මොනොන්ග්හෙලා ගඟ අසල වාඩියක් ගසා ගෙන නැවතී සිටියහ. ප්‍රංශ හමුදාවට පහර දෙන්නට ගිය බ්‍රැඩ්ඩොක් ඇතුළු පිරිස ඉන්දියානුවන් සමඟ ආ ප්‍රංශ හමුදාවට වට කරගන්නට හැකිවිය. ජනරාල් බ්‍රැඩ්ඩොක්ගේ පෙනහළුවක වෙඩි උණ්ඩයක් රැඳිණ. යුද පිටියේ අණ දීම් හා මෙහෙයවීම් බොහොමයක් කරන්නට සිද්ධ වූයේ ජෝර්ජ්ටයි. ඔහුගේ වර්ජීනියා හමුදාව සහමුලින් විනාශ විය. දින හතරකට පසුව ජනරාල් බ්‍රැඩ්ඩොක් අවසන් සුසුම් හෙළීය. සෞඛ්‍ය තත්වයෙන් පීඩා විඳි ජෝර්ජ් මවුන්ට් වර්නන් බලා ගියේය.

එක පැත්තකින් ප්‍රංශ භටයන් පහර දුන්හ. අනිත් පැත්තෙන් ගෝත්‍රික ස්වදේශී ඉන්දියානුවන් පහර දුන්හ. වර්ජීනියා ආණ්ඩුකාර ඩින්විඩී නැවතත් ප්‍රාන්ත ආරක්ෂාවට මිලීෂීයා භටයන් සහ ජෝර්ජ්ව කැඳවා ගත්තේය. අණ දෙන නිලධාරියෙකු ගෙන් ද, හමුදා නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ද නොමැතිව සටන් වැදිය නොහැකි යැයි ජෝර්ජ් කියූ බැවින් ආණ්ඩුකාරයා හා මෙතෙක් තිබි හොඳ හිත ද පළුදු වී ගියේය. එහෙත් වෙනත් කිසිවෙක් ඉදිරිපත් වූයේ නැති හෙයින් 1755 වසර අවසන් භාගයේ දී ඔහු වර්ජීනියා මිලීෂියා හමුදාවේ අණදෙන නිලධාරියා ලෙසින් පත්වීම බාරගත්තේ ය. ප්‍රමාණවත් හමුදාවක්, අශ්වයන් ගැල් යනාදී උපකරණ, ආහාර හෝ අවි ආයුධ පවා ඔවුනට නොතිබුණි. ෂෙනන්ඩෝහා මිටියාවතේ ගෝත්‍රික ස්වදේශී ඉන්දියානුවන් විසින් වැවිලි යායවන් පුළුස්සා එහි පදිංචිකරුවන් මරා දමනා බව ඔවුනට ආරංචි විය. හැම අත යන ජෝර්ජ් නිතරම ක්‍රියාත්මක කළේ තමන්ට ඉහළින් ලැබුණු විධි විධානයන්ය. ඔහුගේ අදහස් වලට කිසිවෙක් සවන් නොදුන්හ.

ප්‍රංශ ඉන්දියානු යුද්ධය 1756 සිට 1763 දක්වා වසර හතක් පැවතිණ. ප්‍රංශ ඉන්දියන් යුද්ධයෙන් ප්‍රංශය පරාද විය. මහා බ්‍රිතාන්‍ය්‍ය ජය ලැබීය. රණ විරුවෙක් ලෙසින් ජෝර්ජ් කීර්තියක් අත්කර ගත්තේය. එහෙත් ඔහුට පදක්කම් හෝ බ්‍රිතාන්‍ය හමුදා කොමිසමක් ලැබුනේ නැත. 1758 දෙසැම්බර් 26 වැනිදා ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

මාර්තා කස්ටිස් සමඟ විවාහය[සංස්කරණය]

වර්ජීනියා වතු යායක උපන් මාර්තා ඩැන්ඩ්‍රිජ් වයස අවුරුදු දහතුනේ දී ඩැනියෙල් පාකර් කස්ටිස් හා විවාහ විය. ඔවුනට දරුවන් හතර දෙනෙක් ලැබුන ද එයින් දෙදෙනෙක් ළාබාල වියේ දී ම මිය ගියහ. 1757 දී ඩැනියෙල් කස්ටිස් ද මිය ගියේය. වයස අවුරුදු විසිපහක වැන්දඹුවක් වූ මාර්තාට අක්කර හය දහසක භූමියත් සමඟින් බ්‍රිතාන්‍ය පවුම් දොළොස්දහසක මුදල් වත්කමක් ද හිමිවිය. ජෝර්ජ් හා මාර්තා මුණ ගැසි ආකාරය හෝ ඔවුන් අතර සබඳතාවය ගොඩනැඟි ආකාරය ගැන වැඩි විස්තර සොයාගත නොහැකිය. 1759 ජනවාරි 6 වැනිදා ඔවුන් අතිනත ගන්නේ ඇයගේ නිවහනේ දී ය. ඇය ඔහු ඇමතුවේ "ඕල්ඩ් මෑන්" සහ "පපා" යන නාම වලිනි. ඔහු ඇය අමතා ඇත්තේ "ඩියර් පැට්සි" කියාය. ඔවුන් දෙදෙනා සතුටු යුග දිවියක් ගත කළ බව කියැවේ. මාර්තාගේ පළමු විවාහයේ දරුවන් වූ ජැකී හා පැට්සි යන දෙදෙනාට ජෝර්ජ් තම දරුවන්ට සේ සලකන ලදැයි කියැවේ. බාර්බාඩෝස් හි ජෝර්ජ්ට වැළඳුන වසුරියත්, මාර්තාට විවාහයෙන් පසුව වැළඳුන සරම්ප රෝගයත් ඔවුන් දෙදෙනාට දරුවන් නොසිටීමේ හේතු හැටියට පෙන්වා දෙති.

මාර්තා සමඟ විවාහයෙන් පසු ලැබෙන මුදල් ආයෝජනයෙන් වගා කටයුතු මනාව කරගෙන යන ජෝර්ජ් සියළු වියදම් හා ලාභයන් සටහන් කර තබයි. මවුන්ට් වර්නන් වත්තේ වැවුන දුම්කොළ ප්‍රමාණය වසරකට රාත්තල් අසූදහසක් යැයි සටහනක ඇත. ඔහු පොලියට ණය මුදල් දුන්නේ ය. විලියම්ස්බර්ග් හා ඇලෙක්ස්සැන්ඩ්‍රියා වල තම ඉඩම් වල හැදූ නිවෙස් කුලියට ද දුන්නේය. තම පියා වෙතින් උරුම වු වහල් සේවකයන් 10 දෙනාට අමතරව ඔහුට මාර්තා ගෙන් වහල් සේවකයන් 150 ක් ද ලැබිණ. ඔවුන් වෙනුවෙන් ඉදි කරන ලද නවාතැන් අදත් මවුන්ට් වර්නන් වතුයායේ දකින්නට ඇත.

විප්ලවීය හමුදාවේ හමුදාපති[සංස්කරණය]

බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටත්විජිත යුද්ධ වල දී තමන් ගත් ණය පියවා ගනු නොහැකිව ඒ මුදල් යටත්විජිත ඇමෙරිකාවේ බදු වලින් අය කරගැනීමට පටන් ගති. ඇමෙරිකාවේ වැසියන් මෙතෙක් බදු ගෙව්වේ තම ප්‍රාන්ත පාලක නියෝජිත මඬුල්ල වෙත ය. එහෙත් මුද්දර බද්ද නම් වූ ඇමෙරිකාවේ භාවිතා වූ භාණ්ඩ 43 කට බදු පැනවිණ. බදු වලට එරෙහි වූ ජනතාව වර්ජීනියාවේ බර්ජෙසස් මඬුල්ලේ රැස් වී බ්‍රිතාන්‍ය්‍යට බදු ගැන අකමැත්ත ප්‍රකාශ කළහ. ජෝර්ජ් ද ඊට එකතු විය. දේශප්‍රේමී සංවාද පටන් ගැණින.

"මුදල් ලබා ගන්නට ඔබගේ පසුම්බියට අත දැමීමට ඔබගේ අනුමැතිය නැතිව මට වරම් නැත්තා සේ මගේ අනුමැතිය නොමැතිව මගේ පොකැට්ටුවට අත දැමීමට බ්‍රිතාන්‍ය රජයට ද වරම් නැත. මෙය දැනටමත් කිහිප වතාවක් ම යටත් විජිත ප්‍රාන්ත එම රජයට කාරුණිකව මෙන් ම ස්ථිර ලෙසින් දන්වා ඇත. එසේ පවතිද්දී ඔවුන් ගෙන් අපි කෙසේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙමු ද?" යැයි ජෝර්ජ් වොෂිංටන් 1774 දී ලියූ ලිපියක සඳහන් වෙයි.[6]

යටත්විජිත ප්‍රාන්තයන් හි පාලන මණ්ඩල වලට නියෝජිතයන් තෝරා පත් වූයේ ඡන්දයකිනි. එය එකල ලොව කිසිම රටක සිද්ධ නොවූ ක්‍රමයකි. මුද්දර බද්දකින් ඇමෙරිකාවේ භාවිත වූ භාණ්ඩ හා සේවවාන් 43 කට බදු වැටෙද්දී නියෝජනයක් නොමැතිව තමන් වෙනුවෙන් තීරණ ගන්නවා යැයි විරෝධතාවය තැන තැනින් පටන් ගැනුණි. වර්ජීනියා බර්ජෙසස් මඩුල්ලේ දී ප්‍රැටික් හෙන්රි විසින් මුද්දර බද්ද හෙළා දකින ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. මුද්දර බද්ද පැනවූ භාණ්ඩ පරිහරණය සමහර යටත්විජිත ඇමෙරිකානුවන් ප්‍රතික්ෂේප කරන්නට පටන් ගති. බ්‍රිතාන්‍යයට ගෙවන බදු නිසා දුම්කොළ වගාව අවාසිදායක යැයි දැකි ජෝර්ජ් සිය වතුයායේ එය වගා කිරීම නවතා තිරිඟු, ෆ්ලැක්ස්, ඕට්ස්, පීචස්, ඇපල් හා චෙරි යනාදිය වගා කරන්නට පටන් ගති. යුරෝපයේ වෙළඳාමේ දී ද බදු වැදෙන නිසා රට ඇතුලත වැඩි ඵලදාව අලෙවියට සමත් විය.

1774 සැප්තැම්බර් මාසයේ දී ෆිලඩෙල්ෆියාවේ දී හමුවන සියළු ප්‍රාන්ත නියෝජිතයන් බ්‍රිතාන්‍ය්‍යේ බදු පිළිවෙත් හමුවේ කුමක් කරන්න දැයි කතාබහ කළහ. එය පළමු කොන්ටිනෙන්ටල් (මහා ද්වීප) කොංග්‍රසය නමින් හැඳින්වෙයි. පළමු කොන්ටිනෙන්ටල් කොංග්‍රසය අවසන් වූයේ බ්‍රිතාන්‍යයෙන් ආනයන කෙරෙන සෑම භාණ්ඩයක් ම වර්ජනය කරන තීරණයකිනි. එසේම යටත්විජිතයෙන් බ්‍රිතාන්‍ය්‍යට යවන අපනයනයන් ද නවතන්නට ඔවුන් තීරණය කළහ. වර්ජීනියාවට පැමිණි ජෝර්ජ් නිදහස් විප්ලවයට සූදානම් වූයේ තම ස්වේච්ඡා මිලීෂීයා හමුදාවට තම මුදල් වලින් ආයුධ සැපයීමෙනි. හමුදාවක් ලෙසින් පුහුණු වන්නට පටන් ගැනීමෙනි.

1775 මැයි 10 වැනි දින දෙවැනි කොන්ටිනෙන්ටල් කොංග්‍රසය හමුවූහ. ඊට හමුදා වර්ජීනියා මිලීෂීයා හමුදාවේ නිල ඇඳුමෙන් සැරසී ගියේ ජෝර්ජ් වොෂිංටන් ය. ඔහු හමුදා නිල ඇඳුමකින් සැරසී පැමිණි එකම පුද්ගලයා ද විය. දෙවැනි කොංග්‍රසයේ ප්‍රධාන කාර්යය යටත් විජිත ඇමෙරිකානු හමුදාව මෙහෙයවීම සඳහා නායකයෙකු තෝරා පත් කර ගැනීමයි. කොංග්‍රසය ඇමතූ ජෝන් ඇඩම්ස් සියළු ඇමෙරිකානුවන් ප්‍රසාදය දක්වන පුද්ගලයෙක් වර්ජීනියාවෙන් සහභාගී වෙන නියෝජිත කණ්ඩායමේ සිටිනවා යැයි කියා ජෝර්ජ් වොෂිංටන්ව හමුදාපති තනතුර වෙනුවෙන් යෝජනා කළේය. එය සම්මත විය. ඇමෙරිකන් නිදහස වෙනුවෙන් දැනට රැස් වී ඇති සහ ඉදිරියේ දී රැස් කරන සියළු හමුදාවල හමුදාපති ජනරාල්වරයා ලෙසින් ජෝර්ජ් වොෂිංටන් පත් කරන්නට සභාව තීරණය කළහ. වාද විවාද සියල්ලෙන් පසුව 1775 ජූනි 15 වැනිදා ඇමෙරිකන් මහාද්වීප හමුදාවේ ජනරාල්වරයා ලෙස ඒකමතික චන්දයකින් ජෝර්ජ් ව තෝරා ගැනිණ.

තනතුරට වේතනයක් වශයෙන් බ්‍රිතාන්‍ය පවුම් 500 ක් යෝජනා වී තිබිණ. ඔහු එය එපා යැයි කියා තනතුර බාර ගත්තේ ය. එවක දී ඔහු සියළු ණය පියවා සාර්ථක වූ වතු වැවිලිකරුවෙක් වී සිටියේය. දක්ෂ හා උගත් කථිකයන් අතර සබකෝලයෙන් හා වෙව්ලමින් ලියාගත් කොළයක් දිහා බලාගෙන කතාව පැවැත්වූ එකම පුද්ගලයා ජෝර්ජ් විය. ඔහු තනතුර පිළිගන්නවා යැයි ද, වේතනයක් එපා යැයි ද, වියදම් ගණන් තබා එය පමණක් පසු කාලයක දී පියවන ලෙස සභාවෙන් ඉල්ලා සිටියේය. දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රසයට එනවිට තම අසිපත, නිල ඇඳුම් හා ගමන් මළු සියල්ල රැගෙන ආ ජෝර්ජ් වහාම හමුදාවේ වැඩ පටන් ගන්නට සූදානම් වී සිටියේය. ඔහු හෝ ඇමෙරිකන් හමුදාවේ වූ ස්වේච්ඡා හා මිලීෂීයා භටයන් කාල තුවක්කු ශිල්ප, බල ඇණි විධි විධාන යනාදී මෙහෙයවීමේ කටයුතු කිසිත් දැන නොසිටියහ. ජනරාල් බ්‍රැඩ්ඩොක් හා එක්ව වැදි සටන් වලින් ජෝර්ජ් බ්‍රිතාන්‍ය හමුදාවේ ශක්තිය මෙන් ම දුර්වලකම් ගැන ද දැන සිටියේය.

ඇමෙරිකන් නිදහස් අරගලයේ තීරණාත්මක සටන් මෙසේය. 1775 ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන ඇමෙරිකාව දිනුවේය. 1775 බන්කර් හිල් සටන බ්‍රිතාන්‍ය ජය ලැබීය. 1776 නිව් යෝර්ක් සටන ද බ්‍රිතාන්‍ය්‍ය ජය ලබන්නට සමත් විය. 1776 ට්‍රෙන්ඩන් සටන ඇමෙරිකාව දිනාගති. 1777 සරටෝගා සටන ද ඇමෙරිකාව දිනාගති. 1779 සැවෑනාහ් සටන බ්‍රතාන්‍ය දිනුවේය. 1780 චාල්ස්ටන් සටන ද බ්‍රිතාන්‍ය දිනුවේය. 1781 කව්පෙන්ස් සටන ඇමෙරිකාව ජයගති. 1781 යෝර්ක්ටවුන් සටන ඇමෙරිකාවට ජය ලබාදුනි.

හමුදාවේ නායකයා ලෙස පත් වූ දිනයේ සිට යුද්ධය ජය ගන්නා තෙක් යුද පිටියේ රැඳී සිටි ජෝර්ජ් 1783 දෙසැම්බර් 23 වැනිදා තමන්ට බාර වී තිබි හමුදාපති කොමිසම මැනවින් ඉටු කර එය ආපසු නිල වශයෙන් කොංග්‍රසයට බාර දෙයි. ආපසු මවුන්ට් වර්නන් බලා එන යුද්ධය ජයගත් වීරයාගේ වයස එවිට වසර පනස් එකකි.

ප්‍රථම ජනාධිපති[සංස්කරණය]

ඔහු යුද්ධයේ නිරත වූ කාලයේ දී තම වතුපිටි පාලනය අකාර්යක්ෂම වී ඇති ආකාරය ඔහුට දැක ගන්නට හැකිවෙයි. ඔහුගේ ආර්ථික තත්වය අයහපත් බව දැකි වර්ජීනියා ප්‍රාන්ත ආණ්ඩුව ඔහුට මුදල් ත්‍යාග පිරිනමන්නට උත්සාහ කළ ද ඔහු ඊට ඉඩ නොදුන්නේ ය. ඉඩකඩම් කුලියට දී, සමහර ඉඩම් කෑලි කර විකුණා ඔහු මුදල් උපයා ගති. ඔහු නැවතත් වගා කටයුතු වලට බැස්සේ ය. එහෙත් වැඩි කලක් නොගිහින් රටේ ප්‍රාන්ත ආණ්ඩු වලට ෆෙඩරල් ආණ්ඩුවක අවශ්‍යතාවය දැඩිව දැනුනෙන් ඔවුන් රටෙහි ආණ්ඩුවක් පිහිටීම ගැන කතාබහ කරන්නට පටන් ගති.

ෆිලඩෙල්ෆියාවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංස්ථාපන සම්මන්ත්‍රණය පැවැත්විණ. රට මෙහෙයවන පොදු යාන්ත්‍රණයක් තුල එහි නායකයා කවුදැයි ද කතාබහ විය. ජනාධිපති යන තනතුර පිහිටුවන්නටත්, ඊට පැවරෙන බලතල ගැන කතාබහ කරන්නටත් විය. එයට සුදුසු කවුදැයි, ඒ පුද්ගලයා තෝරා ගන්නේ කෙසේදැයි සාකච්ඡාවන්ට ලක්විය. විවිධ ප්‍රාන්ත නියෝජනය කරමින් කොංග්‍රස සභිකයන් 55 දෙනෙකු විසින් ෆිලඩෙල්ෆියාවේ දී පැවැත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංස්ථාපන සම්මන්ත්‍රණය 1787 මැයි 25 වැනිදා පැවැත්වෙන්නේ නූතනයේ "නිදහස් ශාලාව" නම් හැඳින්වෙන එදා පෙන්සිල්වේනියාවේ ප්‍රාන්ත නිවසෙහි ය. සම්මන්ත්‍රණයේ සභාපති ලෙසින් කටයුතු කළ ජෝර්ජ් සියළු සාකච්ඡා වලට සහභාගී වූවත් කිසි පැත්තකට පක්ෂපාතීව අදහස් ඉදිරිපත් කළේ නැත. ඒ කාලය තුල ඔහු සිය දිනපොතේ ද කිසිවක් සඳහන් නොකර සිටියි. ප්‍රාන්ත 13 කින් ආණ්ඩු නියෝජිතයන් එකතු වී ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවා 1787 සැප්තැම්බර් 17 වැනිදා ඔවුන් ව්‍යවස්ථාව අනුමත කළහ. නියෝජිතයන්ට තම ප්‍රාන්ත වල අනුමැතිය ලබාගන්නට ද, අනතුරුව සමාජයේ කැමැත්ත ලබාගැනීම ද බාර විය.

ආපසු මවුන්ට් වර්නන් බලා එන ජෝර්ජ්ට විශ්‍රාම යන්නට ඉඩ නොදී නව ඇමෙරිකන් කොංග්‍රසය එහි උසස් ම තනතුර වූ ජනාධිපති ධූරයට ඒකමතික චන්දයකින් ඔහුව තෝරා ගැනිණ. 1789 අප්‍රේල් 30 වැනිදා ඔහු ජනාධිපති ලෙසින් දිවුරුම් දුන්නේ ය. නව ආණ්ඩුවේ උසස් හා සුළු නිලධාරීන් බොහොමයක් පත් කරන ලද්දේ ජෝර්ජ් විසිනි. දහසකට ආසන්න පිරිසක් ඔහු අතින් තේරී පත් වී ඇත. ජනතාව අතින් තේරී පත් වූ ලොව එකම නායකයා ලෙසින් ඔහු සිය වගකීම රකින්නට හා ආදර්ශයක් ලෙසින් හැසිරෙන්නට හැම විටෙක ම වග බලාගත්තේය. තමාට එක්සත් ජනපදයේ ජනාධිපති යැයි කියන්නටත්, කෙටියෙන් කියද්දී "ජනාධිපති මහත්මයාණෙනි," යැයි අමතන්නටත් කියූ ඔහු එය රජෙකුගේ අධිරාජ්‍ය්‍යක් නොව සමූහාණ්ඩුවක් බව පැහැදිලි කළේය.

ඔහු කොංග්‍රස සාමාජිකයන් හා සමීප ඇසුරක් පැවැත්වූයේ නැත. එහෙත් රට ගැනත් එහි ජනතාව ගැනත් සොයා බලන්නට සංචාරය කළේය. 1789 දී ඔහු වර්මොන්ට් හා රෝඩ් අයිලන්ඩ් හැරෙන්නට අනිකුත් නව එංගලන්ත පෙදෙස් යැයි සැලකෙන නැගෙනහිර වෙරළබඩ උතුරු ප්‍රාන්ත සියල්ල ම දැකබලා ගෙන තිබුණි. ඔහු වර්මොන්ට් හා රෝඩ් අයිලන්ඩ් නොගියේ ඒවා එතෙක් ජනපදය හා එකතු වී නොතිබුණ බැවිනි.

1791 දී ජෝර්ජ් දකුණු ප්‍රාන්තයන් නරඹන්නට ගියේය. මේ දිනවල නව ආණ්ඩුවේ ජාතික ණය පියැවීම පිණිස විස්කි බද්දක් භාණ්ඩාගාරය විසින් පනවන ලදි. රටේ බටහිර පැතිවල විස්කි හදන්නන් වෙතින් ඒ බදු එකතු කර ගැනීම අපහසු විය. එහෙත් ඊට විරුද්ධතාවය දැක්වූවන් රට පුරා ම කෙමෙන් වැඩි වූහ.

ප්‍රංශ විප්ලවය ගැන ඇසූ ජෝර්ජ් සිය සංවේගය ප්‍රකාශ කළා යැයි සඳහන් වෙයි. ජෝර්ජ් හා ඇමෙරිකන් නිදහස් විප්ලවයේ සටන් වැදි ලාෆායෙට්ට අනතුරු ඇඟ වූ ලිපි ජෝර්ජ් විසින් යවන ලදි. ඇමෙරිකන් නිදහස් විප්ලවයට අත දුන් නිසා ප්‍රංශයේ සහායට යා යුතු යැයි කොංග්‍රසයේ සමහරු කියා සිටියත් ජනාධිපති වශයෙන් ජෝර්ජ් කියා සිටියේ විදේශ අරගල මඟහැර ආර්ථික සබඳතා පමණක් වර්ධනය කළ යුතු යැයි කියාය. දේශපාලන පක්ෂ ඇරඹෙන්නේ මේ සමයේ ය. තෝමස් ජෙෆර්සන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු පක්ෂය ද, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ප්‍රමුඛ ෆෙඩරලිස්ට් පක්ෂය ද බිහිවිය. ඒ පක්ෂ දෙකට ම අයත් නොවූ ජෝර්ජ් ව තවත් පාලන සමයක ජනාධිපති වශයෙන් කටයුතු කරන්න යැයි සමස්ත කොංග්‍රසය ඉල්ලා සිටියහ. නැවත වරක් කොංග්‍රසයේ ඒකමතික තීරණයෙන් ජෝර්ජ් 1793 මාර්තු 4 වැනි දා දෙවන වාරයට ජනාධිපති වශයෙන් පත්විය.

1793 අප්‍රේල් මස ජෝර්ජ් විසින් "මධ්‍යසථ නිවේදනය" යනු ප්‍රකාශය කොංග්‍රසයට ඉදිරිපත් කළේය. ඉන් කොංග්‍රසය අනුමත නොකරන කිසිම යුද්ධයකට සහභාගී වන්නට ඇමෙරිකානුවන්ට තහනම් කෙරුණි.

1794 ජූලි මාසයේ දී බටහිර පෙන්සිල්වේනියාවේ ඉස්කාර අයිති වූවන් බදු නොගෙව්වා යැයි ඔවුන්ට රිට් ආඥාවන් බාර දෙන්නට මාර්ෂල්වරු ගියහ. අවිගත් ජනතාව පහර දුන්හ. එක පැත්තකින් කතාබහ කර අර්බූදය නිරාකරණයට සාම කොමිසාරිස්වරු යැවූ ජෝර්ජ් වොෂිංටන් අනිත් පැත්තෙන් කැරැල්ල මර්ධනයට නොයෙක් ප්‍රාන්ත වලින් කැඳවූ මිලීෂීයා හමුදා සමඟ තමන් ද අසුපිට නැඟී ඉදිරියෙන් ම එහි ගියේය. මිනිසුන් විසි දෙනෙක් පමණක් අත් අඩංගුවට ගෙන කැරැල්ල මර්ධනයට හැකිවිය. ඔවුන්ව පසුව නිදහස් කර හැරුණි. 1801 දී විස්කි බද්ද අහෝසි කරන ලදි. එසේම ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ නව ආණ්ඩුවේ නීති අනුගමනයට රට වැසියන් යොමු කරවා ගන්නට හැකි වූ නිසා මෙම ගැටළුව මෙසේ නිරාකරණය කර ගැනීමට හැකිවීම ජෝර්ජ් වොෂිංටන්ගේ පාලනයේ දක්ෂතාවයක් වූවක් බවයි.[7]

තුන්වැනි වාරයක් ද ජෝර්ජ් වොෂිංටන් වෙත පැවරීමට කොංග්‍රසය කැමති වූහ. ඒත් ඊට ජෝර්ජ් අකමැති විය. 1796 සැප්තැම්බර් 19 වැනිදා "දිනපතා ඇමෙරිකන් දැන්වීම්කරු" නම් වූ පුවත්පතෙහි තම සමුගැන්මේ ඇමතීම පළ කළ ජෝර්ජ් තනතුර ප්‍රතික්ෂේප කර මවුන්ට් වර්නන් බලා ගියේය.

1799 දී ජෝර්ජ් සිය අන්තිම කැමති පත්‍රයෙන් සිය උරුමය මාර්තා වෙත පැවරීය. තම මරණයෙන් පසුව වහල් සේවකයන් නිදහස් කරන්න යැයි ඉන් ඔහු ඉල්ලා සිටියේය. 1799 දෙසැම්බර් 14 වැනි දා ජෝර්ජ් අවදි වූයේ උගුරේ වේදනාවකිනි. ඔහුට හුස්ම ඉහළ පහළ ගැනීම අසීරු විය. ඔහු සිය නිදියහනේ මිය යන්නේ එදින ය.

"මුළු ලෝක ඉතිහාසයේ ම බලය නිසා වෙනස් නොවුනු අය ටික දෙනෙකු අතරට ජෝර්ජ් වොෂිංටන් ද අයිතියි," යැයි කියන්නේ විසිවන සියවසේ කවියෙක් වන රොබට් ෆ්‍රොස්ට් විසිනි.[8]

මූලාශ්‍ර[සංස්කරණය]

  • http://en.wikipedia.org/wiki/George_Washington
  • http://en.wikipedia.org/wiki/Virginia_Regiment
  • මැලගොඩ, නයනි (2006) ජෝර්ජ් වොෂිංටන්, කර්තෘ ප්‍රකාශනයකි. ISBN 955-96557-5-2
  • Alden, John R. (1984). "George Washington: A Biography." Louisiana State University Press. ISBN13: 9780788151583
  • Chadwick, Bruce (2004). "George Washington's War: The Forging of a Revolutionary Leader and the American President." Naperville, Illinois: Sourcebooks Inc.
  • Ferling, John E. (1988) "First of Men: A Life of George Washington." Knoxville: The University of Tennessee Press.
"https://si.wikipedia.org/w/index.php?title=ජොර්ජ්_වොෂින්ටන්&oldid=309874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි