ජපානයේ දේශපාලන ආර්ථිකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Japan Political Wall Map.jpg

හැදින්වීම[සංස්කරණය]

නව ධනේෂ්වරවාදී පද්ධතියක් තුළ ගොඩනැගුණු ජාතික රාජ්‍යයන් තුළ සංවිධානය වූ නිෂ්පාදනය පිළිබඳ තත්වයන් අධ්‍යනය කිරීම දේශපාලන මඟින් දේශපාලන ආර්ථික විද්‍යාව ප්‍රභවය ලැබීය. මෙම වචනය මුලින්ම භාවිතා කරනු ලැබුවේ 18 වන සියවසේදීය. දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රධාන දාර්ශනිකයන් වන්නේ ඇඩම්ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ සහ කාල් මාක්ස්ය.


දේශපාලන ආර්ථික විද්‍යාව යනු රාජ්‍ය කළමණා කිරීමේ ක්‍රයාවලියක් ලෙස හැදින්විය හැකිය. ඒ අනුව දේශපාලන ආර්ථික විද්‍යාව වනාහි නිෂ්පාදනය, විකිණීම හා මිලට ගැනීම පිළිබඳ පනත් හා නීතිය චාරිත්‍ර හා ආණ්ඩුවට ඇති සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යනයකි.


Political Economy යන ඉංග්‍රීසි ව්‍යවහාරයට ප්‍රධාන අර්ථ දෙකක් පවතියි. එනම් රටක දේශපාලන අර්ථ ක්‍රමය හා දේශපාලන අර්ථ ශාස්ත්‍රය යනුවෙනනි. කාර්මික විප්ලවයට පෙර දේශපාලන අර්ථ ශාස්ත්‍රය යන වචනය භාවිතා කළද කාර්මික විප්ලව‍‍යෙන් පසුව ආර්ථික විද්‍යාව යන වචනය භාවිතා කළ නමුත් ‍මෑත කාලයේදී මෙම විශේෂඥ බේදීම්වල දුර්වලතාවයන් අවබෝධ කරගන්නා විද්වතුන් පැරණි දේශපාලන අර්ථශාස්ත්‍රයේ සමහර ප්‍රවේශයන් නැවත භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලබයි.අද වන විට දේශපාලන අර්ථශාස්ත්‍රීය විෂය දේශපාලන සීමාවන් ඉක්මවා යමින් ජාත්‍යන්තර දේශපාලන අර්ථ ශාස්ත්‍රය බවට පත්ව තිබේ. තවද දේශපාලන අර්ථශාස්ත්‍රය ලෙස අද හදුන්වන්නේ සාර්ව ආර්ථික විද්‍යාවයි. මෙයින් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ රටක ආර්ථිකයක් සමස්ථ වශයෙන් භාවිතා කිරීමයි. එනම් එහි වර්ධනය, වෙළදාම, මූල්‍ය භාවිතය,නිෂ්පාදනය, බැංකු ක්‍රමය හා ඒ සියල්ලගෙන්ම සැදුණු සංවර්ධනය සමස්ථ වශයෙන් ගෙන කරන විග්‍රහය දේශපාලන අර්ථ ශාස්ත්‍රය ලෙස එක් අතකට ගැනේ. එමෙන්ම රටක ආර්ථික සංවර්ධනය පිළිබඳ කරන සාකච්ඡාවේදී එරට සමාජ ගැටුම් පවතිනවාද නැද්ද යන වග හා නවීකරණය යන තත්වයන් ඔස්සේ හැදැරීමයි. දේශපාලන අර්ථ ශාස්ත්‍රය යනු රටක සංවර්ධනය හැදැරීම බව ඒ අනුව ගම්‍ය වේ. එනම් දේශපාලන අර්ථ ශාස්‍ත්‍රඥයින් කල්පනා කරන්නේ සංවර්ධන නැමැති කාරණයේදී ආර්ථික, සමාජ, දේශපාලන, නීතිමය කරැණු ගණනාවක් වැදගත් වන අතර ඒවායේ අන්තර් සම්බන්ධතා තුළ ආර්ථික සංවර්ධනය සිදුවන බවයි.


දේශපාලන අර්ථශාස්ත්‍රීය විග්‍රහයන් කිරීමට ජපානය තෝරාගනු ලැබුවේ, ජපානය අවස්ථා දෙකකදී ආර්ථික අවපාතයක් ඇති වී ආර්ථික වර්ධනයක් අත්පත්කරගත් අතර අද වන විට ආර්ථික වශෙයන් ලොව බලවත්ම රටක් ලෙස පත්ව තිබීමයි. බටහිර රටවලින් පිටස්තරව ඉහළම ආර්ථික සංවර්ධනයක් ලබාගත් මුල්ම රට වන්නේ ජපානයයි. දෙවන ලෝක සංග්‍රාමයෙදී ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වී ගියද ජපානයට අද නැවත වරක් ලොව ප්‍රධාන ආර්ථික බලවේගයක් බවට පත්වීමට හැකි වී ඇත. මෙම කරුණු හේතු කොටගෙන ජපානයේ දේශපාලන ආර්ථික විද්‍යාව විශ්ලේෂණය කිරීම වැදගත් වේ.


නැගෙනහිර ආසියා සමුද්‍ර තීරයෙහි පිහිටි ජපානය ප්‍රධාන දූපත් හතරකින්ද ආසන්නව පිහිටා ඇති කුඩා දූපත් 3000කින් පමණද සමන්විත රටකි. හොන්ෂු, හොකයිඩො, කියුෂු සහ ෂිකොකු ප්‍රධාන දූපත් සතර වන අතර විශාලම දූපත හොෂුහි රටේ අගනුවර වන තෝකියෝ නගරය පිහිටා ඇත. ජපානයේ විශාලත්වය වර්ග කි.මී. 3,77619 කි. ඒනම් ඒය මුළු බිම් ප්‍රමාණයෙන් 72%කි. ප්‍රයෝජනයට ගතහැකි බිම් ප්‍රමාණය 25%කි. වගා කර ඇති බිම් ප්‍රමාණය 16%කි. අවුරැද්ද ශීත, වසන්ත, ගිම්හාන සහ සරත් වශයෙන් ඍතු හතරකට බෙදෙන අතර ඍතු අනුව වෙනස් වූ දේශගුණික තත්වයන්ට මුහුණ දීමට ද ජපන් ජනතාවට සිදුවේ.


ස්වාභාවික සම්පත් අඩුම කාර්මික රට ජපානයයි. ඛනිජ තෙල් අවශ්‍යතාවය 100%කින්ද ඉන්ධන අවශ්‍යතාවලින් 60%ක්ද කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 60%ක්ද ආනයනය මගින් සපුරා ගැනීමට සිදුව ඇති ලොව එකම කාර්මික රට වන්නේද ජපානයයි. ජපානයේ ප්‍රධානතම ස්වාභාවික සම්පත වන වැසි වනාන්තර සහ මුහුදු වුවත් රටේ අවශ්‍යතා සඳහා දැව හා මාළුද විදේශ වලින් ආනයනය කිරීමට ජපානයට සිදුව ඇත.


ජපාන සංස්කෘතික අංගයන් බොහෝමයක් උකහා ගත්තේ චීනයෙනි. එනම් අධ්‍යාපනය, දේශපාලනය, කලාව සහ ආගම ආදී සෑම දෙයක්ම උකහා ගත්තේ චීනයෙනි. නමුත් මේ සියල්ලම තුලින් තමන්ගේම සංස්කෘතියක් ගොඩනැගීමට ද අමතක නොකළේය. ජපන් ජාතිකයන් බොහෝ දෙනෙක් බුද්ධාගම අදහති. 1600දී පමණ කොන්ෆියුසියස් ඉගැන්වීම් ජපානයේ බෙහෙවින් ප්‍රචලිත වූ අතර ආර්ථික ජීවිතයේදී අද දක්නට ලැබෙන බොහෝ පැවතුම් වලට මුල්වී ඇත්තේ කොන්ෆියුසියස් දහමෙන් ලබන ලද ආභාසයන්ය.


1946 මැයි මස 3 වන දින සිට ජපානයේ වර්ථමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වේ. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිරාජ්‍යයා ජපන් රාජ්‍ය මූර්තිමත් කරන සංකේතයක් වන අතර ජනතාවටග් එකමුතු භාවයේ සංෙක්තයද වේ. එසේ වුවද ඔහුට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කිසිදු බලයක් හිමි නොවේ.


ජපානය පිළිබඳ පසුබිම් දැනුම පදනම් කරගෙන ජපානයේ දේශපාලන ආර්ථිකය විග්‍රහ කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ. මෙම විග්‍රහය ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ 1868 මෙයිජි ප්‍රතිසංස්කරණය හා 1960 ආර්ථික වර්ධනය බදනම් කරගෙනය. නැතහොත් ජපානයේ හාස්කහ් දෙක මූලික වශයෙන් විග්‍රහ කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ. එනම් ජපානයේ සංවර්ධන ගමන් මඟ පැහැදිලිවන අයුරින් එරට ආර්ථිකයේ ස්වාභාවය, එය දියුණුවට පත්වූ ආකාරය, ආර්ථිකය මුහුණ දුන් අර්බුද සහ අභියෝග, යුද අවධියේ හා ඉන්පසු ආර්ථික තත්වය, ආර්ථික වර්ධනයට බලපෑ හේතු සහ ඒවා බටහිර රටවලින් වෙනස්වන ආකාරය ආදිය මෙම නිබන්ධනයෙන් විස්තර වේ.

තොකුගාවා පාලන යුගය හෙවත් ජපානයේ වැඩවසම් ආර්ථික ක්‍රමය තහවුරු වීම[සංස්කරණය]

නූතන ආර්ථික ක්‍රමයකට ප්‍රවිශ්ට වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වූයේ තොකුගාවා යුගයේදීය.මෙම යුගය 1600 සිට 1868 දක්වා ක්‍රියාත්මක විය.මෙම යුගය තුළ අභ්‍යන්තරික සාමයද දේශපාලන ඒකාබද්ධතාවය ද තහවුරු වූ අතර සියවස් දෙකහාමාරකට ආසන්න කාලයක් ජපානය වැඩවසම් ක්‍රමයක් යටතේ පවත්වාගෙන ගියේය.මෙය එම කාලය තුළදී නවීන ආර්ථික ක්‍රමයක් ගොඩනැංවීම සඳහා වූ පදනම සකස් කර ගැනීමට හැකිවිය.තොකුගාවා ඉඵයසු විසින් ආරම්භ කළ පාලන ක්‍රමය 1600 සිට 1868 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූයේ ඉඵයසුගේ ඇවැමෙන් පසු ඔහුගේම පවුලේ අයෙකුට අඛණ්ඩව බලය හිමිවන ක්‍රමයක් සැකසීම නිසා පාලනය ස්ථාවර තත්වයකට පත්විය.ඉඵයසු බලයට පත්වන අවස්ථාවේදී ජපන් සමාජ ක්‍රමය තුළ නැගී එන මධ්‍යම පන්තියක් දක්නට ලැබීම සුවිශේෂි විය. එසේවුවද මෙම පාලනය යටතේ වැඩවසම් පන්ති ක්‍රමයන් තහවුරු කරනු ලැබීය. චීනයේ පවතින ක්‍රමයට අනුව යමින් සමාජය තුළ පන්ති ස්ථරයක් ස්ථානගත විය.

  1. සමුරායි පන්තිය (යුධ සහ පාලක පන්තිය)
  2. ගොවීන්
  3. කාර්මික ශිල්පීන්
  4. වෙළෙන්දන්

ගොවීන්ට හමුදා සේවයට බැදීමට තහනම් විය. උපතින්ම වෘත්තියක් හිමිවන ආකාරයටත් එය වෙනස් කළ ‍නොහැකි ආකාරයටත් නීති පනවනු ලැබීය. දේශපාලන ඒකාබද්ධතාවය තහවුරු කිරීම සඳහා තොකුගාවා පාලනය ගත් තවත් පියවරක් නම් විදේශ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. මෙය ක්‍රියාත්මක වූ ආකාරයන් නම්,

  1. කිතු දහම ඇදහිය තහනම් කිරීම
  2. විදේශිකයන් ජපානයට පැමිණීමද ජපන් ජාතිකයන් විදේශවලට යාමද විදේශවලට යාමද විදේශවල සිටින ජපන් ජාතිකයන් නැවත ජපානයට පැමිණීමද 1636 දී තහනම් කළේය.
  3. විදේශ වෙළෙදාමට යෝග්‍ය වන ආකාරයේ වැව් තැනීමද තහනම් කරනු ලැබීය.
ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවු ආකාරය
අධ්‍යාපන ප්‍රතිපත්ති කොන්ෆියුසියස් දහම හැසිරීමට රාජ්‍යය විසින් මහජනතාව උනන්දු කරවීය.

සමුරායිවරු හෝ පූජකවරැන් විසින් පවත්වාගෙන ගිය තෙරකොයා නමින් හැදින් වූ පන්තිවල සාමාන්‍ය ජනතාව සඳහා වූ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මෙම අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපන සහ අභ්‍යාස ආයතන පවත්වාගෙන යාම

ජාත්‍යන්තරමට්ටමේ පහසුකම්
  • දියුණු මංමාවත් පද්ධතියක් බිහි කළේය.
  • ආරක්‍ෂක හේතුන් මත පාලම් තැනීම, විශාල නැව් තැනීම,

දේශ සීමා අතර ස්වාභාවික බාධක ඉවත් කිරීම තහනම් කිරීම.

  • ග්‍රාමීය ප්‍රදේශදේශවල රෝද යෙදු කරත්ත භාවිතා කළේය.
කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වැඩවසම් ක්‍රමයේ නීති රීති වලින් හා පන්ති ක්‍රමය ස්ථාපිත කිරීමෙන් ගොවීන් කෘෂිකාර්මික අංශය කෘෂිකාර්මික අංශයට බැද තැබීය.

රජයේ නඩත්තු සඳහා කෘෂිකාර්මික අංශය පවත්වාගෙන යාමට පෙළඹුණි.

කාර්මික ප්‍රතිපත්තිය 1857 දී බටහිර තාක්‍ෂණය උයෝගී කරගෙන පිගන් සහ වීදුරු කර්මාන්ත ශාලාවක් සත්සුමා ප්‍රදේශයෙහි ආරම්භ කරන ලදි.

(ප්‍රථම කාර්මික නිෂ්පාදන ආයතනය) රෙදිපිළි නිෂ්පාදනය ආශ්‍රිතව නූල් කැටීම, විවීම සඳහා ආදිය ද යම් ප්‍රමාණයක යන්ත්‍ර සූ ත්‍ර යොදා ගෙන තිබිණි. (ගෘහස්ථ මට්ටමෙන් පැවතිණි.) ශිල්පීන් වශයෙන් හැදින් වූ පන්තිය කෘෂිකාර්මික උපකරණ යෙදවීම සිදු කළේය.

වාණිජකරණය හා මුදල් භාවිතය වෙළෙඳ අංශෙයේ දියුණුව කෙරෙහි මෙම අවධියේ පැවති සහල් වෙළෙදාම බෙහෙවින් ආධාර විය.

නාගරීකරණයේ බලපෑම මත වෙළෙඳපළවල් හා මුදල් භාවිතය වැඩි විය. මේ අනුව වාණිජකරණයද ඉක්මන් විය.



බටහිර රටවලින් තොකුගාවා යුගය වෙනස්වන ආකාරයක් නම් යුරෝපා රටවල කෘෂිකාර්මික අංශයේ බිඳවැටීමත් සමඟය. නමුත් ජපානයේ සිදු වූයේ කෘෂිකාර්මික අංශය වාණිජ අරමුණු කරා යොමු වීම වැඩවසම් ක්‍රමයතහවුරු වීමත් සමඟම සිදු විය.

මෙම ක්‍රියාදාමය ඔස්සේ සිදුවුයේ පන්ති ක්‍රමයට බලවත් පහරක් වැදීම හා පන්ති ක්‍රමය වෙනුවට ධනය මූලික කරගත් පන්ති ක්‍රමයක් ගොඩනැංවීමයි.

මෙයිජී ප්‍රතිසංස්කරණය හා ආර්ථික සංවර්ධනය[සංස්කරණය]

තොකුගාවා යුගයේ අවසන් දශක කිහිපය තුළ ඇති වූ කාර්මික හා සමාජ පරිවර්ථනයන් හේතුවෙන් එම යුගයට පදනම්ව පැවති වැඩවසම් ක්‍රමය දෙදරා යන වාතාවරණයක් උදා වීමට මූලික හේතුව වූ බව පෙනේ. ඒ අනුව ආර්ථිකය තුළ ඇති වූ වෙනස්කම්වලට අනුකූල වන අයුරින් සමාජ ක්‍රමය තුළද වෙනස්කම් හඳුන්වා දුන්නේය. මේ හේතුවෙන් ශක්තිමත් ආර්ථිකයක් හා ආර්ථික සංවර්ධනයක් සඳහා සෑම අංශයක් තුළම ප්‍රතිසංස්කරණ ඇති කළේය. නවීන සමාජයකට අවශ්‍ය වන අන්දමින් සමාජ සංස්ථාවන්ගේ පරිවර්ථනයක් ඇති කිරීමට මෙයිජි පාලනය මුලින්ම බලාපොරොත්තු විය. එනම් ප්‍රාදේශීය පාලනයට වැඩි බලතල ලැබෙන ප්‍රාදේශීය ඒකක ක්‍රමය අහෝසි කළ අතර දයිම්යෝවරුන්ට තමන්ගේම ඉඩම් සහ ප්‍රදේශ මධ්‍යම පාලනයට පවරා දීමට සිදුවිය. මෙහිදි වසර ගණනාවක් පැවති ප්‍රාදේශීය ඒකක ඇති කරනු ලැබීය.

මෙයිජි ප්‍රතිසංස්කරණ තුළ සිදි වූ තවත් වැදගත් ප්‍රතිසංස්කරණයක් නම් පන්ති ක්‍රමය අහෝසි කිරීමයි. එනම් පන්ති ක්‍රමයක් තුළ ආර්ථිකආර්ථික සංවර්ධනයක් අත් කරගත නොහැකි බව මෙයිජි පාලකයන් තේරැම්ගත් බව මෙයින් ගම්‍ය වේ. මෙයිජි පාලනය විසින් සහල් බදු ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර දමා ඒ වෙනුවට ඉඩම් බදු ක්‍රමය හදුන්වා දුන්නේය.මෙය සහල් බදු ක්‍රමයට වඩා ක්‍රමවත් විධිමත් සහ ප්‍රායෝගික වු එකකි. මේ හේතුව නිසා රජයේ ආදායමද විශාල වශයෙන් ඉහළ ගියේය. එමෙන්ම මුදල් නිකුත් කිරීමේ බලය මධ්‍යම රජයට පවරා ගත්තේය. 1882 දී ජපන් මහ බැංකුව පිහිටු වන ලද අතර 1872 දී ජාතික බැංකුව නම් වූ බැංකු ආයතන පිහිටු වීමට රාජ්‍ය අවසර ලබා දුන්නේය.1876 දී බැංකු ආරම්භ කිරීම පිළිබඳ නීති තව දුරටත් ලිහිල් කිරීම නිසා වාණිජ බැංකු රැසක් බිහිවිය.

ජපානය නවීකරණය කිරීම සඳහා ඇති කළ යුතු සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ අතර අධ්‍යාපනයට මුලික තැනක් ලැබිය යුතුය යන්න මෙයිජි නායකයන්ගේ විශ්වාසය විය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් වන අතර එයින් ගම්‍ය වන්නේ ජපානයේ ආර්ථික ප්‍රතිසංස්කරණ දුරදෘෂ්ටිකත්වයෙන් ගත් ඒවා බවයි. බටහිර රටවල් හා සමාන ආකාරයේ දියුණුවක් ලබා ගැනීමට එම රටවල පවත්නා අධ්‍යාපන ක්‍රමයන් හදුන්වා දුන්නේය.1871 දී අධ්‍යාපන අමාත්‍යාංශයක් ඇති කළ අතර 1872 ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කළේය. ඉන්පසු උසස් අධ්‍යයන ආයතන හා කාර්මික ආයතන ඇති කළේය.

මෙයිජි පාලනය විසින් ප්‍රවාහනය හා සන්නිවේදනය සඳහා පනවා තිබු සියලු බාධක ඉවත් කොට රට පුරා නිදහස් ගමනාගමනයට ඉඩ සැලසුණි. මන්දයත් යහපත් ආර්ථිකයක් පැවතීමට නම් හොඳ ප්‍රවාහනය හා සන්නිවේදන සේවාවක් පැවතීම අනිවාර්ය වන හෙයිනි. ඒ අනුව 1872 දී දුම්රිය සේවාවත් 1870 දී විදුලි සංදේශ සේවාවත් 1871 දී තැපැල් සේවාවත් ආරම්භ කළේය. මෙමඟින් මුළු රටම එක් භාණ්ඩ වෙළෙඳපොළක් ඇති කර ගැනීමත් නවීන කාර්මික අංශයක් ගොඩ නැගීමට ආධාර වන ආකාරයේ ශ්‍රම වෙළෙඳපොළක් බිහි කර ගැනීමටත් හැකි විය.

මෙයිජි ප්‍රතිසංස්කරණ දුරදක්නා නුවණින් ඇති කළ ඒවා බවට තවත් නිදසුනක් ලෙස දේශපාලන ප්‍රතිසංස්කරණ දැක්විය හැකිය. බටහිර රටවල ආර්ථික සංවර්ධනය ලගා කරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ යැයි අවබෝධ කරගත් මොවුන් කිසියම් දුරකට මහජනතාවට පලෙන බලය ලැබෙන අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් හඳුන්වා දුන්නේය. 1889දී ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වා දෙනු ලැබීය. 1871දී ගොවීන් තමන් කැමති ආකාරයට වගා කිරීමටත් අස්වැන්න විකිණිමටත් අවසර ලබා දුන් අතරම ගොවි ඉඩම් විකිණීම තහනම් කරමින් පනවා තිබු නීතිය 1872 දී ඉවත් කරනු ලැබීය.එසේම ගොවීන්ට ගොවි වෘත්තියෙන් ඉවත් වීමටත් තමන්ගේ කැමැත්ත පරිදි වාණිජ සහ කාර්මික කටයුතුවල නියැලීමටත් අවසර දෙන ලදී. තවද බටහිර තාක්‍ෂණික ක්‍රම හදුන්වා දෙමින් කෘෂිකාර්මික අංශයෙන් ප්‍රතිසංස්කරණ ඇති කළේය.

මෙයිජි රජය කාර්මික අංශය දියුණු කිරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය. කාර්මික අංශය දියුණු කිරීම සඳහා පුද්ගලික අංශයට ආධාර ලබා දුන් අතර පුද්ගලික අංශය ඒ සඳහා හැඩගැසෙන තුරු රජයේ මුලිකත්වයෙන් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා කටයුතු කළේය. රජය මුලින්ම අවධානය යොමු කළේ රෙදි පිළි කර්මාන්තය දියුණු කිරීම සඳහාය. ඒ අනුව බටහිර තාක්‍ෂණය යොදා ගෙන නූල් කටින ක්‍රම දියුණු කිරීමට රජයේ කර්මාන්ත ශාලා ආරම්භ කළේය. සමහර කර්මාන්ත බටහිර තාක්‍ෂණය යොද‍වා ඒවා ආදර්ශ කර්මාන්ත වශයෙන් පවත්වාගෙන ගියේය. බටහිරින් නවීන යන්ත්‍ර සූත්‍ර ගෙන්වා අලෙවි කිරීමට හෝ සහනදායි කොන්දේසි මත ණයට දීමටද කටයුතු කළ අතරම පුද්ගලින අංශය විසින් ආරම්භ කිරීමට අපොහොසත් කර්මාන්ත රජය විසින් ආරම්භ කරනු ලැබීය.නිදසුනක් ලෙස 1874 සිමෙන්ති නිෂ්පාදනය හා 1876 වීදුරු නිෂ්පාදනය ලෙන්වා දිය හැකිය. පුද්ගලික ව්‍යවසාය දියුණු කිරීම සඳහා රාජ්‍ය ගත් පියවරක් වන්නේ බද්ධ ව්‍යාපාර වස්තු සමාගම් ඇති කිරීමයි.මෙය 1871 දී ආරම්භ කළ අතර මේවා බොහෝ විට ප්‍රවාහන හා බැංකු යන ක්‍ෂේත්‍රවලට සම්බන්ධ සමාගම් විය.

නිෂ්පාදන අංශයේ ප්‍රසාරණයත් සමඟම විදේශ වෙළදාම ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණි. මෙහිදී ජපන් ජාතිකයන්ට ඍජුවම විදේශ වෙළදාමෙහි යෙදීමට හැකිවන අයුරින් තමන්ගේම ඒජන්සි ආයතන පිහිටුවා ගැනීමට ආධාර ලබා දුන් අතර මීට නිදසුනක් ලෙස 1876දී ආරම්භ කළ මිත්සුයි සයිබත්සු ආයතනය පෙන්වා දිය හැකිය.


පශ්චාත් යුධ කාලීන දේශපාලන ආර්ථිකය (1960 ආර්ථික සංවර්ධනය)[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් 1945 වන විට ජපානය දේශපාලන වශයෙන් අතීශයින් අසීරු තත්වයකට පත්විය. නමුත් ජපානය දෙවන ලෝක යුද්ධයට ප්‍රවේශ වූයේ අධික බලාපොරොත්තු ඇතිවයි. 1945 ඇමරිකාව විසින් හිරෝෂිමා හා නාගසාකි වලට පරමාණු බෝම්බ 2 ක් හෙළීය. යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් ජපාන ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්විය. 1945 වන විට නිෂ්පාදනය 60% දක්වා පහත වැටුණි. කියෝතෝ නගරය හැර සියලුම නගරයන් මත බෝම්බ හෙළීමෙන් ඇමරිකාව විසින්ජපානය ආක්‍රමණය කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යටිතල පහසුකම්, වරායවල්,ගමනාගමනය,පාලම්, ප්‍රධාන ගොඩනැගිලි සියල්ලම 25% අධික ප්‍රමාණයක් විනාශ විය. ආර්ථික විනාශය නිසා ඉහළ උද්ධමනයක් රැකියා වියුක්තියක් ඇති විය. යුද්ධය තුළින් ජපන් ජාතිකයන්ට ලැබුණු පාඩම වෙස්වලාගත් ආශිර්වාදයක් කර ගනිමින් යථාර්ථවාදී දේශපාලන දැක්මකට එළ‍ඹෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟකට අවතීර්ණ වීමෙන් ජපානයට නැවත නැගිටීමට හැකි විය. මෙම නැගිටීම 1960 වන විට පැහැදිලිව දක්නට ලැබෙන අතර ආර්ථික වර්ධන වේගය 14% පමණ වීමටත් ඒක පුද්ගල ආදායම බටහිර මට්ටමට ගෙන ඒමටත් ජාතික ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථිකය බවට පත් කිරීමටත් මෙම නැවත නැගිටීම හේතු වී තිබේ. එබැවින් මෙය දෙවන හාස්කම නැතිනම් ආශ්චර්යක් ලෙස හැදින් වේ.

පශ්චාත් යුධ කාලීන ජපානයේ දේශපාලන ආර්ථිකය යුග කිහිපයකට වෙන් කිරීමකට හැකියාව ඇත. එක් යුගයක් ලෙස ඇමරිකාව ජපානය ඍජු වශයෙන් පාලනය කිරීම දැක්විය හැකිය.1947 දී ඇ මරිකාව විසින් ජපානයට අලුත් ව්‍යවස්ථාවක් හදුන්වා දුන් අතර මෙම ව්‍යවස්ථාව මෙයිජි ව්‍යවස්ථාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය.මෙහිදී ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය හා මානව අයිතිවාසිකම් අන්තර්ගත කර තිබුණි.මෙම කාලය තුළ ඇමරිකාව ජපානයට විශාල ලෙස විදේශ ආධාර ලබා දුන්නේය. පාරිභෝගික ආධාර ලෙස දුන් මෙම ආධාර පසුව සංවර්ධන ආධාර ලෙස ලබා දුන්නේය. මැක් ආතර්ගේ නායකත්වයෙන් ඉඩම්, අධ්‍යාපනය, කාර්මික හා සමාගම් ප්‍රතිසංස්කරණ ලබා දුන්නේය. ඉඩම් අයිතිය අහෝසි කිරීමෙන්ඉඩම් අයිතිකරුවන්ගේ දේශපාලන හා ආර්ථික බලය සීමා කරනු ලැබීය. ජාතිවාදී අධ්‍යාපනයක් වෙනුවට ලිබරල්වාදී අධ්‍යාපන ක්‍රමයක් ලබා දුන් අතර සයිබත්සු ක්‍රමය අහෝසි කිරීම හේතුවෙන් මධ්‍යම ප්‍රමාණයේ සහ ස්වාධීන ව්‍යාපාර ආයතනවලට ඉදිරියට ඒමට අවස්ථාව ලැබුණි. මීට අමතරව ජපානයේ ආර්ථික සැලසුම් මෙහෙය වීමට ජපන් පාලකයින්ට හැකි විය.මෙහිදි ප්‍රධාන ස්ථානයක් ගත්තේ ජාත්‍යන්තර වෙළෙදාම හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යංශයයි(MITI- Ministry of International Trade Industry). මෙම ආයතනයේ මූලික කාර්ය භාරය වූයේ කර්මාන්ත දියුණු කිරීම හා එම නිෂ්පාදන විදේශවලට අලෙවි කිරීමයි.මෙම ආයතන තුළ ඊළඟ විහශ්ෂ අවස්ථාව වූයේ ජපන් බැංකු පිහිටු වීමයි. මින් පසුව නගර මට්ටමින් බැංකු හදුන්වා දුන් අතර මෙය 1950 වන විට බැංකු ජාලයක් බවට පත්විය. මෙම බැංකුවල පෙළඹවීම වූයේ අධික ලෙස ණය දීමයි. මොවුන්ගේ කාර්ය වූයේ කඩිනමින් අඩු පොළියට අවම කොන්දේසී යටතේ ණය දීමයි.මෙයින් පිළිබිඹු වන්නේ මෙම ලිහිල් බැංකු ක්‍රමය යටතේ ණය ගැනීමට පෙළඹවීමක් ඇති කිරීමයි.

ජපන් ආණ්ඩු ක්‍රමයේ සඳහන්ව තිබු ස්ථාවර හමුදාවක් පවත්වාගෙන යාම තහනම් කිරීම හා යුද්ධයකට සම්බන්ධ නොවිය යුතු බව මඟින් අද දක්වා ජාතික ආදායමෙන් 1% යුධ වියදම් සඳහා ඉක්මවා නැත. ඒ වියදම් වලින් විශාල ප්‍රමාණයක් ඉක්මවන්නේ ඇමරිකාවයි. මෙම යුගයේ දක්නට ලැබෙන තවත් ලක්‍ෂණයක් නම් තෘතිය අංශයේ වර්ධනයයි. 1960දී මෙම අංශයේ වර්ධනය 30% ඉක්මවන විට 1970 එය 58% දක්වා ඉහළ ගියේය. ජපානයේ ආර්ථික වර්ධනය හේතු කොට ගෙන උද්ධමනය පහළ මට්ටමකත් ඉතිරි කිරීම ඉහළ මට්ටමකත් තිබිණි. මෙහිදී රාජ්‍ය ප්‍රතිපත්ති වැදගත් වේ. නිර්යාථ දිරි ගැන්වීම සඳහා සමහර සමාගම් රාජ්‍ය විසින් යොමු කරවනු ලැබීය. මෙම සමාගම් සෝගේ සෝෂාන් ලෙස හදුන්වයි.මෙම ආයතන 1980 ගණන්වලදී රටේ නිර්යාථ ආයාථ මෙහෙය වන ලදී. නිර්යාථ වලින් 50% හා ආයාථ වලින් 60% මෙම ආයතන මෙහෙයවන ලදී. ජපානයේ දේශපාලන අර්ථ ශාස්ත්‍රීය ඥානයට නව කළමණාකරණයක් ඉදිරිපත් කළේය.එනම් මුල සිටම ජිවිතාන්තය දක්වාම රැකියා යන සංකල්පයයි. එනම් ජපන් ජාතිකයන් තම රටේ සංවර්ධනය සඳහා තමන්ගේ විවේකය පරිත්‍යාග කර තිබෙන බවයි. රාජ්‍ය ප්‍රතිපත්ති හා ජනතාව තුළ පවතින්නාවු කැපවීම මත ජපානය තුළ 1960දී ආර්ථික සංවර්ධනයක් අත්කරගත් ආකාරය මෙහිදි ගම්‍ය වේ. ඒ අනුව ජපානය අද වන විට ලෝකයේ දෙවන බලවතා බවට පත්ව තිබේ.

නිගමනය[සංස්කරණය]

ඉහත කරුණු සමාලෝචනය කිරීමේදී ගම්‍ය වන්නේ බටහිර ලෝකයෙන් පිටස්තරව බටහිර ලෝකයේ දියුණු රටවලට සමාන ආර්ථික සංවර්ධනයක් අත්කරගත් ප්‍රථම රට බවට ජපානය පත් වී ඇති බවයි. මීට දේශපාලනික හා සමාජීය සාධක බලපා තිබේ.

තොකුගාවා යුගයෙන් මෙයිජි ප්‍රතිසංස්කරණවලට පරිවර්ථනය වීමේදී ජපානය පුළුල් ස්ථිරසාර ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය පසුබිම සකස් කර ගත්තේය. එනම් පන්ති ක්‍රමය අහෝසි කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ප්‍රත්සංස්කරණ හදුන්වාදීම පෙන්වාදිය හැකිය. මෙම ප්‍රතිසංස්කරණ හරහා මූලික වශයෙන් සිදුකරනු ලැබුවේ.ධනවාදී පරිසරයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි. හනම් ධනවාදී ක්‍රමය පන්ති ක්‍රමයක් තුළ ස්ථානගත කළ නොහැකිය.අනෙක් අතට උත්පත්තිය මත රැකියාව තීරණය වීම ආර්ථික වශයෙන් යම් ආකාරයකට සීමා කිරීමයි. මෙම සියලුම අවස්ථාවලින් නිදහස් කිරීම තුළින් ගම්‍ය වන්නේ ජපානය ධනවාදී ක්‍රමයක් සඳහා විවෘත වු බවයි.

අනෙක් අතට කාර්මීකරණයට විතැන් වීමට පෙර කෘෂිකාර්මික අංශයත් වාණිජ අංශයත් දියුණු වීම නිසා දේශීය වෙළෙඳපොළ තුළම කාර්මික භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් ලබාගත හැකිවිය. එනිසා ආයතන ආදේශන සාර්ථක වූ අතර එනිසාම අපනයන ව්‍යාප්තියද වර්ධනය විය. එනම් ජපානය දේශීය ආර්ථිකය තුළ ශක්තිමත් වීම පිළිබිඹු කිරීමෙන් දේශපාලන අර්ථ ශාස්ත්‍රයට නව මාවතක් ඉදිරිපත් කිරීමයි. තවද පෙද්ගලීකරණය කිරීමේදී රාජ්‍ය අංශයේ වැඩි දායකත්වයක් සැපයීමට හා දේශීය ආයෝජකයින්ට ප්‍රමුඛස්ථානය දීමත් සුවිශේෂිකරණයක් ලෙස දැක්විය හැකිය. ඒතුලින් ස්ථිරසාර සංවර්ධනයකට අවශ්‍ය මංපෙත විවර විය.

ධනවාදී මුල් පියවර ලෙස යටත් විජිතකරණය දැක්විය හැකිය. ජපානයද යටත් විජිත ඇති කරගන්නා ලද්දේ තමන්ගේම කාර්මික භාණ්ඩ අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළක් ලබා ගැනීම සඳහාය. මෙය බටහිර රටවල් අනුගමනය කළ යටත් විජිත ප්‍රතිපත්තියට දෙවෙනි නොවීය.

පළමු ලෝක සංග්‍රාම යුගයේදී ජපානයේ අපනයනය වර්ධනය වූයේ ලුහු කර්මාන්ත ආශ්‍රිතවය. එහෙත් දෙවන ලෝක යුද්ධයට පෙර වර්ෂවලදී ජපානය ක්‍රමයෙන් බැර කර්මාන්ත සඳහා යොමු විය. මේනිසා ජපානයට සිය නිෂ්පාදන ප්‍රතිපත්තිය අන්තර්ජාතික වෙළෙඳපොළේ පවත්නා තත්වයට අනුකූල වන අයුරින් හැඩගැස්වීමට සිදුවිය. ඒ අනුව 1960 මැද භාගය වන විට මෝටර් රථ, කෘතිම රෙදි සහ නව විද්‍යුත් නිෂ්පාදන ආදිය ජපානයේ ආයතනවල මූලිකත්වය බවට පත්විය. තවද දේශපාලන ආර්ථික ශාස්ත්‍රීය වශයෙන් ජපානය සජවර්ධනය විස්තර කිරීම ඉතා යහපත් චක්‍ර දෙකක් වන නිපදවීමේ චක්‍රය හා නිර්යාථ කිරීම් චක්‍රය අතර අන්තර් ක්‍රියාවලියක් වශයෙන් හදුන්වාදීමට කැමතිය. මෙම චක්‍ර දෙක තුලින් ආර්ථික වෘද්ධිය ඇති කර ගැනීමට හැකි විය.

පින්තූර ගැලරිය[සංස්කරණය]


ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • භග්වාන්, විශ්ණු, විද්‍යා භූෂාන්.2004. ලෝක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. අධ්‍යාපන ප්‍රකාශන දේපාර්තමේන්තුව
  • මද්දුම බණ්ඩාර, සුන්දර. 1998.ජපානයේ ආර්ථික සංවර්ධන. අභය මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ
  • හේනනායක ආරච්චි, රංජිත්. 1999. නව නිදහස්වාදය තුළ ජගත්කරණය, විජේසුරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ
  • Woronoff,Jon.1996. Asia's Miracle Economies. Seoul: Si-Sa-Yong-a-Sa-line
  • Economics Development and cultural changes, Volum 56, 2007 Octorber, The University of Chicargo press.
  • The Jurnal of Asians Studies, Volum66,2007 February, Cambrige University Press.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]