Jump to content

ජන කවි

විකිපීඩියා වෙතින්

Welcome to SL Wikipedia      HSL Academy

ජනකවි

[සංස්කරණය]

සංස්කෘතිය, සදාචාරය, සාරධර්ම, ආචාර ධර්ම සහ ශිෂ්ටාචාරය යන වදන් මාලවකින් ධ්වනිත වන මානව හැඩගැස්ම ලෝකය තුළ ඇති වූයේ කෘෂිකර්මාන්තයේ ආරම්භයත් සමඟයි. ගමත් පන්සලත් වැව හෝ ජලාශයත් කුඹුරත් කමතත් හේනත් පැලත් ආශ්‍රිත ව නිර්මාණය වූ ගොවි ජන ජීවිතය ජන කවිය බිහි වූ තක්සලාවයි. ගොවි ජන ජීවිතය තුළ නිතර නිතර රජ කළේ අස්ථීර අනියත දුක්බර හා කටුක ස්වභාවයයි. සතුට රැඳුණේ කලාතුරකිනි. මිනිසුන්ගේ දුක සතුට අතරින් උපන් අපූර්ව නිමැවුමක් සේ ජන කවිය හැදින්විය හැකිය.


දැනමුතුකම් දෙන ජන කවි

[සංස්කරණය]

පොහොසත් කලට ඇති කුලමල නැතිවෙන්නා

දුප්පත් කලට නැති කුලමල ඇතිවෙන්නා

සම්පත් ඇති අයට නෑයොත් එන්නා

හිඟපත් කලට නෑකමවත් නොකියන්නා


මෙර උසුලන මහ මිහිකතටත් වැඩිය

ලොව සුරකිනා පින් ඇති අයටත් වැඩිය

හැම සැපදෙනා සුගතිඳු බණටත් වැඩිය

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය


ජනකවි

[සංස්කරණය]

වෙල් යායක ගොන් දෙන්නෙක්‌ කකා උනි

ඉන් එක ගොනෙක්‌ වලිගය නැතිව වැනි වැනි

වලිගය ඇති ගොනා මැස්‌සන්ට බැට දුනි

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි


පැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝ

උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ

හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ

ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ


අතට වළලු කොහෙන් දුවේ

පයට ගිගිරි කොහෙන් දුවේ

ඉනට හවඩි කොහෙන් දුවේ

දැනට නිදා ගනින් දුවේ


පුතේ නුඹේ ලොකු අම්මා

අතේ වළල්ලක්‌ දැම්මා

මෙසේ මියුරු තෙපළම්මා

පුතේ නාඩ නිදියම්මා


බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට

මැනලා වී දෙකක්‌ දුන්නයි මල්ල කට

ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට

මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට


මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට

තියෙන දෙයක්‌ දෙන්නෙත් අපි දෙන්නාට

දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට

බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට


කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී

වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී

පැලේ ගොසින් පැල් රැක්‌කා පැදුර දනී

මෙදා යලේ වී නැතුවා අටුව දනී


වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා

ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා

පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා

මීට වැඩිය නරකද ගම හිඟා කකා


දම්බරා මැද්ද මග හිමය මැද යමු

කඩා පලු වීර කාලා වතුර බොමු

අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු

මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු


අහසට හිමි ඉරහඳ දෙවියන් නේ

පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ

දෙලොවට තෙද ඇති සක්‌දෙවියන් නේ

මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ


බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී

සබේ බැන්ද ජයසක්‌ සේම පෙනි පෙනී

ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී

ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී


ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා

සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා

මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා

අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා

පැල් කවි

Saturday, 08 September 2012 21:45

පැල් කවි

[සංස්කරණය]

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින තුරා

සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින තුරා

ගණ දෙවියන් ගන අඳුරෙන් වඩින තුරා

සීපද කියමු අපි ඉරගල තිබෙන තුරා


උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා

බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා

වතුර බසින තැන හොල්මන් කුරුල්ලා

සීපද කියන්නට කවුරුත් වරෙල්ලා


පෙරකලේ තැනු පැල දැන් දිරාලා

එමකා‍ලේ බැදපු වැට ගොනු කඩාලා

පැල්පතේ ගොයම් රෑ රැක බලාලා

නිදිමතේ කියමු පැල් කවි ගොතාලා


එගොඩත් බලම් එගොඩත් වවුලන්ගෙ කැලේ

මෙගොඩත් බලමි මොගොඩත් වවුලන්ගෙ කැලේ

දෙගොඩම බලම් දෙගොඩම වවුලන්ගෙ කැලේ

වවිලනි තොපට මොර ඉදිලා පල්ලෙ කැලේ


දුම්බර හිමවතේ මා වී පැසෙන්නේ

දුක්‌දෙන අලි ඇතුන් පන්නා හරින්නේ

රැකුමෙන දෙවියනේ වෙල බත බුදින්නේ

දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ


අනේ මහතුනේ මට උන වියෝයා

පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා

ගෙදර ගියත් මා නොතකන ලියෝයා

පැදුර දුන් කෙනෙක්‌ මගෙ නෑ සියෝයා


ඇල් හේනේ උඩ මැස්සේ සිටින නගෝ

ඇඳි සේලේ රැළි සුළඟට නගන නගෝ

කකා බුලත් සප සුළඟට නගන නගෝ

කුරුණෑගලට මග නොසඟව කියකො නගෝ


කන්ද උඩින් එන කිකිළිය ගෝමරි යේ

නළල් වටින් එන දාඩිය මුතු සැටි යේ

අත පා මුදු පය පා මුදු වයිරෝඩි යේ

මට පිටිපා ගෙට යනවද සුරතලි යේ


කිරි වැදි වැදි කිරි වැදි වැදි මෝරන්නේ

ගොබ ඇදි ඇදි ගොබ ඇදි ඇදි පූදින්නේ

අත නැමි නැමි අත නැමි නැමි බරවෙන්නේ

පැලට වෙන්න දැන් කාලය ලන්වෙන්නේ


ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ

දුක් දෙන අලි ඇතුන් පලවා හරින්නේ

රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ

දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ


පැලේ පැදුර සුළඟට වැනි වැනීයෝ

වැවේ වතුර රැල්ලට සිඳි සිඳීයෝ

වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ

‍අපේ මෙවන් දුක දෙවිඳුට පෙනීයෝ


වෙලක මහිම බල මාවී පැසී ලා

පැලක මහිම බල බට කොල හොයා ලා

මලක මහිම බල අතු අග පිපි ලා

ළියක මහිම බල ගෝමර ඉසි ලා


වෙල හොඳ මොකද යල මහ පාලු වේ නම්

පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්

මල හොඳ මොකද අතු අග පරවයේ නම්

ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්


වරම්ගතිමි ඉර සඳ දෙවි අතින් වරම්

වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම්

වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම්

වරම් ගොයම් කව්පුමට දෙවිඳුගෙන් වරම්


තෙල් ගාලා ඉස පිරන් නෑනෝ

ඇට වැල ඇරගෙන බැදගන් නෑනෝ

සේලේ අරගෙන ඇදපන් නෑනෝ

ගොයමි නෙළන්නට යමු අපි නෑනෝ


ඉරැ දෙවියෝ වැඩිය තැනේ

බොල් පිණි ගිලිහෙයි සැනිනේ

සද දෙවියෝ වැඩිය තැනේ

කරැවල නොතිබෙයි එතනේ


පසේ බුදුන් වැඩිය තැනේ

පස්පව් දුරැවෙයි සැනිනේ

ගන දෙවියෝ වැඩිය තැනේ

නුවණ වැඩෙනවා නිතිනේ


මේ කොතනින් ගෙනා ගොනා

රැහුණු රටින් ගෙනා ගොනා

කොඹ මැඩුමට ගෙනා ගොනා

කොඹ මැඩුම‍ට හොදයි ගොනා


ගොනුගෙ පයේ රනෙන් විල්ල

අපේ පයේ රිදි විල්ල

කමත වටේ කරැකැ විල්ල

උනා වරෙන් බැත වලල්ල


එගො‍ඩ ගොඩේ නා කණුවෙ බැන්ද ගොනා

මෙගොඩ ගොඩේ සපු කණුවෙ බැන්ද ගොනා

දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා

අපොයි මගේ රන්මුතු මල්ලියා ගොනා


මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ

බලේ බලේ රාසිං දෙවියන්ග බලේ

රැළේ රැළේ මුදෙන් දමන දිය රැළේ

ගලේ කොටුව බැන්දයි තිරිකුණා ම‍ලේ


මං බාලේ ඇති කළ තලගොයි පැටියා

මට තනිවට මිදුලේ පෙමි‍‍ කෙළ සිටියා

‍උගෙ මරැවා ඌ ඇවිදින් ඇරන් ගියා

නිවන් පුරේ පලයන් තලගොයි පැටියා


ගසට නමකි ගස මරැණම වෙන නමකී

ගෙඩියට නමකි ගෙඩියේ පොත්තට නමකී

මදයට නමකී මද කන කොට වෙන නමකී

මෙතුන් පදේ තෝරාලා කියන් සකී

ගොයම් කවි/නෙළුම් කවි


රන් දෑකැති ගෙන නිති සැරසෙනවා

රත්ත්‍රං පටි ඉන වට දිලිසෙනවා

හිරුදුටු පිණිබිදු සුලඟේ යනවා

දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා


උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා

බිමින් සිටින මිහිකත දෙවි කලස දරා

වටින් සිටින මිහිකත දෙවියෝ අරක් කරා

ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා


වරම් වරම් මට මහ බඹු අතින් වරම්

වරම් වරම් දෙවි ඉසිවර අතින් වරම්

වරම් වරම් සක් දෙවි අතින් වරම්

වරම් ගොයම් කැපුමට දෙවිඳුගෙන් වරම්


මං සොඳ දෙවි වැඳ අවසර ගන්නේ

පෙම් වඩවන කවි නිතර කියන්නේ

ඉන් වරදක් ඇති මුත් දුර ලන්නේ

පින් ඇති සැම දෙවි අවසර දෙන්නේ


මුදුනේ යන ගොන් රජු නේ

පසුපස යන කිරි ගොනු නේ

වට දුවනා නාම්බ නේ

කොඹ මඩවා දෙන් සොදි නේ


මේ කාගෙද ගොන් වස්සා

කලු‍ ගොයියාගෙ ගොන් වස්සා

උගේ පිටේ ඇට මැස්සා

එළවා දක්කන් වස්සා


දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්

මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්

බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්

තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්


ඉඩවර දවසට කොයි ‍ ගොයියා

සතර වනන්තර කොටා දමයියා

පතර අකුල් කටු නසා දමයියා

විසුණු කරයි වැසියොති ගිනි දෙයියා


විදලා නගුලුත් ඇණ ගසමින්නේ

විදලා විය දඬු ලණු අදිමින්නේ

යොදලා නැකතක් ගෙන සලසන්නේ

බැඳලා ගොන්ගෙයි හි මඩවන්නේ


ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්

අතේ බලාපන් අත වට ගිගිරි බලාපන්

කරේ බලාපන් කරවට මාල බලාපන්

දැදුරු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්


තඹුරු පුබුදු මල් සුවඳයි හැම විට

බමරු ඇවිත් රොන් ගෙන යති උදයට

මදුරු කිඳුරු නද වෙති තද වාතෙට

නැඹුරු වෙලා ඉකි ගෝමර තරමට


ඇදුනි සතක් කොළ පෙති අග තුඩු දී

පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී

ඇදුනි යපුරුකක් ඒ නිසි කල දි

පිපුණි ගොයම් මල් නව පෙත්තේ දී


සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර

මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර

දොසක් ඇතත් දුරු කර සෙත සලසා නිරතුර

මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර


සැමට කියමි වදනක් සිතුසේම අසන් නට

සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට

කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට

පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹු රට


උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා

අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා

ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා

බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


තෙල් ගාලා ඉස පීරන් නෑනෝ

ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ

සේලේ අරගෙන ඇඳපන් නෑනෝ

ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ


කැකුළු තිසරු ඔසරියෙන් වසා ගෙන

රුකුළු වළලු දෑතේ නද දී ගෙන

මැදලා පුස්කොළ තෝඩු තියා ගෙන

වෙල මැද නෙලුමට යමු සැරසි ගෙන


රටට ගමට ජාතියටත් ගරු කොට

පණට කයට අප සැම උදව්වට

නිවට නොවී හොඳ කල් ගත කෙරුවට

වෙලට බහිමු අපි ගොයම නෙලන්නට


බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු

බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු

කොහොම කලත් බෑ නොහෙලා දැනගනු

නෙළුම තමයි අපේ පුරුදුම කහවනු


තුනක් ඇදුනි කොළ පෙති ජල මත්තේ

මදක් පමණ වෙන කොට සිවු පෙත්තේ

දනක් පමණ වෙන කොට පස් පෙත්තේ

සයක් ඇදුණි කොළ බොරු නැත සන්නේ

පතල් කවි

[සංස්කරණය]

මහ බෝගලට අපි ඇවිදින            දුකා

ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා  කකා

පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා

සතර වරම් දෙවි පිහිටෙන් නොවන්           දුකා


දුම්බර කන්ද පාමුල මිනිරන්         පතළේ

බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ

බස්නාහිරට දෝනා දෙක ගමන්    කළේ

විස්තර කියමි දුම්බර මිනිරන්        පතළේ


ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට         

බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට

යන්නේ කවදාද මව්පිය දකින්නට


වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්

සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්

දබරෙ උඩින් දම්වැල වාසනාවන්

දුප්පත් අපට පත්ලේ වාසනාවන්


මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ

බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ

ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ

ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ


මහ බෝගලට අපි ඇවිදින දුකා

ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා

පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා

සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා


මී වදේ ලෙසට ඉල්ලම සොයා ගෙන

එම වදේ ලෙසට කටු පණ තියා ගෙන

ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැ ගෙන

මේ සඳේ පතල් වල ඉල්ලම් කපන


ඉර පායා එනකොට රැස් විහි දෙනවා

සද පායා එනකොට තරු දිලි සෙනවා

මල් පිපිලා සුවදට බමරුන් එනවා

ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා


කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ

කිරට අඬන අත දරුවෙකි මම අම්මේ

අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ

ඈත හිටන් කටහඬ පානුය අම්මේ

කරත්ත කවි

[සංස්කරණය]

කලු ගල් තලාලයි පාරට දමන්නේ

එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ

ගොනා නොවෙයි හරකයි බර අදින්නේ

කිරිගල්පොත්ත කන්දයි මේ අදින්නේ


තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා

කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ දනවා

පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා


සසඳ සසඳ හඳ පානේ අපි යනවා

මම්මල බඳව ගොන් බානක් දක්කනවා

සකිය සගව්ව‍ට රෝදය කැර කෙනවා

දත් කැකුළට අපි කුරුණෑගල් යනවා


වයිර ගොනා දන ගහලා අදින කොට

මයිල ගොනා පැන්නයි පස්සට හොරට

මොනවා කරන්නද පුරුවේ කල පවට

පවු කල ගොනෝ ඇදපන් ගාල ගාවට


දුප්පත් කමට ගොන් බැඳ දක්වනවා

කන්නත් නැතිව රෑ දාවල් වෙහෙසෙනවා

ගොන්ටත් නොයෙක් වද දීලා ගෙනියනවා

දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා

පාරු කවි

[සංස්කරණය]

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා

තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා

යන එන ඔරු පාරු නවතාගෙන සිටියා

මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා


ගමන් යන්ඩ නැකතින් පාරු පැද ගෙනේ

සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙනේ

මෙවන් කළු ගගේ කඳු මුල් බලා ගෙනේ

අපිත් යමුව සැම දෙවියන්ට වැඳ ගෙනේ


ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්

කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්

සාධුකාර දී ඔරුවක නැගී වරෙන්


ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන

හබලක් හදාගෙන ගඟකට දමා ගෙන

එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන

කොළුවෙක් තෙමී ගෙන ඔරු පදි මුලා වෙන


මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ

ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ

පස්ස බලන කොට අඟුලක් ගිලී ගියේ

රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ


වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්

ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්

අතු අග පිපෙන සපු මල වාසනාවන්

අපේ අම්මා ජාතිත් වාසනාවන්


එගොඩත් බැලිමි එගොඩත් දේදුන්න වගේ

මෙගොඩත් බැලිමි මෙගොඩත් දේදුන්න වගේ

දෙගොඩම බැලිමි දෙගොඩම දේදුන්න වගේ

පේරාදෙණියෙ පාලම දේදුන්න වගේ


එගොඩ ගොඩට යනකොට සූරියා වගේ

මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ

දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ

උඔ නම් ලඳේ මට හිත ඇති කෙනෙක් වගේ

බඹර කවි

[සංස්කරණය]

මලේ හැමතැනම බඹරුන් අඬන්නේ

බඹරු බැන්ද තැන අපි වද සොයන්නේ

බඹර කපා පැණි හැමටම බෙදන්නේ

බඹරුනි තොපිට පින් අත්වෙයි කියන්නේ


බැද්ද වටට සුදු මොර මල් පිපි ලා

සද්ද කර බමරු ඒ වග කියා ලා

ඉටිත් පැණිත් ලොව හැමටම බෙදා ලා

යන්නන් බමරු දුක් මැසිවිලි කියා ලා


බමරු අඬන්නා කඳු අස නෙළුම් මලේ

බමරු පිට දෙබරු නාඬත් ද මොර මලේ

මුතු කුඩ සේ රැලි අල්ලා බඳිති ගෙලේ

පැදලා කපාපන් රුසිරු ගොයිඳු හෙලේ


රොනට යන බමරු රොන් අරගෙන එද්ද

මලට යන බමරු මල් අරගෙන එද්ද

දියට යන බමරු දිය බීගෙන එද්ද

යන්ට යන බමරු අඩ අරගෙන එද්ද


කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල බලා

මන්දෙන් බඳින්නේ අසු නොවන වල් කුලා

දැන් දැන් ලියන්නේ සිත්තම දුරින් දුරා

යන්නෙමි මල්ලියේ සඳගල වැටෙන තුරා


ඔතන ඉඳින්නා මෙතනට පෙනෙන් නා

ඔතනට එන්න මගෙ සිත කර කැවෙන් නා

කතා කරන කට හඬ කන නො වැටෙන් නා

හයියෙන් කතා නොකරන් පපුව දන් නා


හේලි හෙළේ හෙළ වට කරැ කැවිල්ල

ගල් නළළේ බැන්දා වැනි තොටිල්ලා

තොටිල්ල මැද යනකොට කරැ කැවිල්ල

මඩු ගම හෙළ බලතොත් මෙහි වරෙල්ලා


උඩ මාලේ මල් වැසි වැස්සත් යනවා

බිම් මාලේ මල් වැසි වැස්සත් යනවා

ලිප ලිග්ගල තුන වෙන් වූවත් යනවා

නා ගස බමර කැපුමට දෙන්නම යනවා


මලේ හැම තැනම බමරුන් අඬන්නා

බමර බැද්ද තැන අපි වද සොයන්නා

බමර කපා පැණි හැමටම බෙදන්නා

බමරු තොපට පිං අත්වෙයි කියන්නා


නව නවා බමර අතු අග යන කලට

නැමි නැමි කඳින් බර විය අතු අගට

වදේ කඩා බැරිවුණි එය බාන්නට

මුලෙන් කඳ බිඳුනි දෙන්නගේ කරුමයට


කුසේ උපන් ලොකු අයියා කරපු හැටී

ගසේ සිටියදි හැරපොට කපා බසී

බමරු සිය දහස් ඇඟ ලේ උරා බොතී

පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී


වැල ඉද්දර සේනාවක් සිට පල් ලා

වැල පාමුල සේනාවක් සිටපල් ලා

වැලේ යන දෙන්න පේවි පලයල් ලා

වස් නැති ගලේ බඹරෙට දුම්දාපල් ලා


මලට යන බඹරු මල් ඇඳුමේ යන්නේ

ගහට යන බඹරු රොන් අරගෙන යන්නේ

ගඟට යන බඹරු දිය ඇදුමේ යන්නේ

යන්ට යන බඹරු පැණි අරගෙන යන්නේ


පොල්ගහ ගම පනික්කි ගුරු සැවොම ගියා

වලස් බඹර දැක කියලා එන්ට ගියා

කිතුලා පොලේ බුක්කිරිය කන්ඩ ගියා

කිතුලා හෙලේ අඩ් ඇරගෙන බඹරු ගියා


එන්නන් කියන්නන් කළුකොටු අරවන් ට

ලී වැල් කපන්නේ හැරපොට බඳවන් ට

මලේ අඬන්නේ තව මල් රොන් ගන් ට

පලයව් බඹරුණේ තොපෙ දිවි ගැලවෙන් ට


නව නවා ගබඹර අතු අග යන කලට

නැවි නැවී තදින් බරවිය අතු අගට

වදේ කඩාලා බැරිවිය බාන්නට

මුලින් කඳ බිඳුණි දෙන්නගෙ කරු මයට


මලේ හැම තැනම බඹරුන් අඬන්නා

ඹර බැන්ද තැන් අපවද සොයන්නා

බඹර කපා පැණි හැමටම බෙ බෙදන්නා

බඹරු තොපට පින් අත්වෙයි කියන්නා

ආදි වශයෙන් ඇති බඹර කවි කියති.

කුරක්කන් කවි

[සංස්කරණය]

මුලදි කැලේ හැටි බැලුවම කුමක් වැනි

පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි

හේන කොටා ගිණි තිබ්බම කුමක් වැනි

බඳින දවසේ එළිකල මගේ මුහුණ වැනි


කුරක්කනේ පොඩි පැල්පත කුමක් වැනි

විසි වයසේ මගේ කම්මුලේ පෙනුම වැනි

පීදිගෙන එන කුරහන් කුමක් වැනි

අලුත් ළමිස්සියකගේ මල් හිනා වැනි


බණ්ඩි කුරක්කන් පැද්දෙනු කුමක් වැනි

පොඩි නෑනා දුර සිට අත වනන වැනි

පැසී තිබෙන විට කුරහන් කුමක් වැනි

පෝරුව උඩ මනමාළිගේ ඔළුව වැනි


නැමි තිබෙන රතු කුරහන් කුමක් වැනි

මගුල් ලගඳි නෑනා ඉස වනන වැනි

කරල් කපා මලු පුරවනු කුමක් වැනි

අතිරස උයා මගුලට එක් කරනු වැනි


කැපූ කුරක්කන් ගෙන යනු කුමක් වැනි

මනමාළිය කැන්ඳාගෙන යන්න වැනි

වංඩුව බැද තැනු පිට්ටුව කුමක් වැනි

මිරිසවැටිය අව්වට දිළිසෙනා වැනි


ගම රාළගේ කට එතකොට කුමක් වැනි

වළාකුලෙන් මතු වි එන සඳක් වැනි

ඒක දැකපු කම්මැලි කට කුමක් වැනි

කරත්තයට අසුවුණ කඡු ලෙල්ල වැනි


කුරක්කන් තමා හේනේ පැහෙන්නේ

නරක්කන් තමා උඹ මට කරන්නේ

කොච්චර නරක්කන් කෙරුවත් බොලන්නේ

කුරක්කන් හේන කපලයි ගමට යන්නේ


ගමේ ගෑනු ඔක්කොම නිදි බොලන්නේ

මගෙ නෙත් දෙකට කවදද නින්ද යන්නේ

ඇයිද ගලේ ඔය හොර දඟ කරන්නේ

ඇටපොතු නැතිව පිටි ඇඹරී වැටෙන්නේ


හඳ පායාගන එනකොට ඉඳගත්තා

ඉර පායාගන එනකොට පිටි පිස්සා

ඇට කොරලා පොතු කරලා අරගත්තා

ඒ කොරලාවත් මයෙ බඩ කොස්පොත්තා

තෙතඟු කවි

[සංස්කරණය]

පිහිල්ල ලග ගලේ සිටන් බලාන් සිටිනවාත් තෙතඟු

අලංකාරයෙන් සුලගට මල කැරකෙනවාත් තෙතඟු

බඹරැ ඇවිත් මල වටකර නාද කරනවාත් තෙතඟු

මෙරන් මෙතට මල අඹරට උඩින් පෙනෙනවාත් තෙතඟු


එමල් වනේ වන මුදුනේ වන මල් පිපිලාත් තෙතඟු

මල මුදුනේ බමරු ගනේ මල් පැණි බීලාත් තෙතඟු

මද පවනේ සුවද ගෙනේ දස අත පතත් තෙතඟු

වන සිහිනේ දුටු දනගේ මන නෙත් තුටුකලත් තෙතඟු


සිංදු කියන අපි සැම දෙන කැලණිය වැදලාත් තෙතඟු

ධාතු සොදට පෙති පිළිමත් දෝතින් වැදලාත් තෙතඟු

ස්වර්ණ හංස තිලකේ සිරිපාදය වැදලා ත් තෙතඟු

එන මෙත්තේ බුදුන් දකිමු සිරි පා වැදලා ‍ තෙතඟු

සිංදු සිවු පදයි තැන තැන ඉද කියනා

බිංදු දහඩියයි නලලේ තොර නොවෙනා

පෙර කල අකුසලෙන් ගල් කූරු උගුලනා

ලන්දු සොඳ රුවයි හේනේ මදු නෙලනා


ඉරු දෙවියන් ඉර මුදුනින් වඩින තුරා

සද දෙවියන් සද මුදුනින් වඩින තුරා

ගණ දෙවියන් ගණ අදුරෙන් වඩින තුරා

සිවු පද කියමු අපි ඉරු ගල තිබෙන තුරා


මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ

රලේ රලේ මුහුදෙන් දමන දිය රලේ

බලේ බලේ රාසින් දෙවියන්ගෙ බලේ

ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ


දුම්බරේ කෙතේ වැට බැදලා රැකුම් බැලුම්

මා වැලි ගගේ දිය බැදලා කෙතට ගිලුම්

බොළද ලියන් කර ඔසවා බලන බැලුමි

තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්


රොත්තෙන් රොත්ත එන වලි කුකුළු පැටියනේ

නිත්තෙන් ගොබලු දෙපතුල් රතු කොබෙයියනේ

අසල ගසේ මල් අවුලන පරෙයියනේ

බාල නගා නුදුටුද සියලු දෙවියනේ

ඔන්චිලි වාරම්

[සංස්කරණය]

ඔන්චිලි චිලි චිල්ල මලේ

වැල්ල දිගට නෙල්ලි කැලේ

කඩන්න බැරි කටු අකුලේ

කඩා දියන් මගේ මලේ


සතර දෙයි අපි ආවේ ඔක්කොම

සතර වටට සොඳ කැරකෙන ගෙත්තම

සතර අතට අල්ලා මාලක්කම

කතර ගමට බාරයි අපි ඔක්කොම


ඉඳ ගත්තෙමි උස පුටුවක ගුවනා

බැඳ ගත්තෙමි ජය කොන්ඩය මුදුනා

ඇඳ ගත්තෙමි වතකුත් ආබරණා

වැඳ ගත්තෙමි නාරායණ සරණා


පදිනා කල විත් වැල් ඔංචිල්ලා

අඳිනා වත තද කර ඇදගල්ලා

පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ල‍ා

සොඳිනා ගී කියමින් පැදපල්ලා


මිතුර මෙනුඹ අපි එක්ව සියල්ලා

කතුර ලෙසට බැඳි රන් ඔංචිල්ලා

නතර වෙවී ගුවනේ ඔංචිල්ලා

මෙවර පදිමු අපි රන් ඔංචිල්ලා


විසි තුරු කර බැඳි රන් ඔංචිල්ලා

රිසි රිසි අය අරගෙන පැදපල්ලා

ඇසි පිය නො හෙළා බලා සිටිල්ලා

කිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා


පුර වර මැද බැඳි රන් ඔංචිල්ලා

දුර යන තරමට පුදුම නො වෙල්ලා

වවුලන් ලෙෂ කැරකෙයි ඔංචිල්ලා

අපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා


රනේ රුව සේ ඇති බාල ලදුන්ගේ

කණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේ

ඉනේ සළුව තද කර ඇද ගන්නේ

අනේ ළදුනි ඔංචිලි පැදපන්නේ


අත්ත උසං උසං උසං

ජම්බු පොකුරු සිලිං බිලිං

ලොකු අක්කේ පදිං පදිං

ජම්බු කඩං බෙදං බෙදං


වවුල් දහයි දහයි දහයි

කොක්කු දහයි දහයි දහයි

අහසේ උඩ නගියි නගියි

පදිමු අපිත් එහෙයි මෙහෙයි


ඉරු දෙවියෝ යන්නේ උඩින්

සඳ දෙවියෝ යන්නේ උඩින්

තරු බැබළෙන අහස උඩින්

නඩා ගහමු අපිත් උඩින්

දරු නැළවිලි ගී

[සංස්කරණය]

දොයි දොයි දොයි දොයි දෙය්යෝ

බයි බයි බයි බයි දෙය්යෝ

දොයි දොයි බයි බයි දෙය්යෝ

නින්දක්‌ නිදි ගන් දෙය්යෝ

දොයි දොයි දොයිය බබෝ

බයි බයි බයි බයිය   බබෝ

මගේ පුතා නැලවෙන්නේ

නැලවි නැලවි නිදියන්නේ

තොටිල්ල තාලෙට යන්නේ

සැම දෙවියනි රැකදෙන්නේ

කපුටු කාක් කාක් කාක්

ගොරක දේන් දේන් දේන්

අමුතු වාව් වාව් වාව්

කොට කිඹුලා වැට බිඳලා

ගෑ පොල් කුඩු ඌ කාලා

පිලට ගියා පිල ඇඳිරී

උච්ච කාක්කෝ

ඔ න් න    බබෝ හොරු එන     වා

අ  ඬ න ලමයි අල්ලන     වා

ක   රේ තියා ගෙණ යන    වා

උ    න්  විකුණා රා බොන  වා

උත්තම ගුණ ඇති වේවා

ලත් තැන වැඩ සෑදේවා

උවදුරු බයකුත් නේවා

රෑ සඳ නුඹ රැකදේවා

ඔන්න බබෝ ඇතින්නියා

ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පනින්නියා

බබුට බයේ දුවන්නියා

පුතා මගේ හරි හපනා

දවසට කොළඹට යනවා

පවුම් තිහක්‌ පඩි කනවා

ඉන් පවුමක්‌ මට දෙනවා

උඹෙ අම්මත් ඉතා කළුයි

නුඹෙ අප්පත් ඉතා කළුයි

නුඹ නලවන මාත් කළුයි

නුඹ විතරයි තල එළළුයි

බාලොලි ලොලි බාලොලියේ

බාල පුංචි ලමයින්නේ

අම්මා කොයිදෝ ඉන්නේ

නිම්මාවක් නැත උන්නේ

දෑතේ වළළුත්  නැතිකෝ

දෙපයේ ගිගිරිත්   නැතිකෝ

අප්පා එයි දැන්  හනිකෝ

නාඩන් සුරතල්   මැණිකෝ

නුබේ අම්මා කොතැන     ගියා

කොහිල විලේ පතට ගියා

පත් උදුරා එන්ට  ගියා

එන්ට නැතිව පමා   ගියා

අඹර කුරක්කන් කළුවේ

ගලකට පිටි කොයි    කළුවේ

රොටී එකක් උය     කළුවේ

අම්මට දීපන් කළුවේ

තවත් එකක් උය    කළුවේ

අප්පට දීපන්   කළුවේ

මටත් එකක් දිය     කළුවේ

උඹත් එකක් කා     කළුවේ

සුරතල් දරු බිය වෙති

කුරුළු පැටවු නො    හඩති

නැළවිල්ලෙන් කම්    නැති

කිරිල්ලෝද සැතැ    පෙති

තොටිල්ල සැම සුව    පිරි

පැද්දෙයි තාලෙට සරි

අසමින් ගී සුමි හිරි

නිදන්නෑ පුත රන්     කිරී


මෙම ලිපිය සේදුපත් බැලීමකින් තොරව රචනා කෙරුණු බව කරුණාවෙන් සලකන්න

ස්තුතියි.....


ඔබට පැන නැගෙන අධ්‍යාපනික ගැටලු අපවෙත එවන්න

මාගේ විද්‍යුත් තැපෑල

janithaathmaherath@gmail.com

අපගේ ෆේස්බුක් අඩවිය

HSL Academy

අපගේ දුරකථන අංක

077 4278416

076 4348295

Wikipedia නිදහස් විශ්ව කෝශය වෙත පිවිසි ඔබට අපගේ ප්‍රණාමය


2020/02/07 වන දින රචනා කරන ලදී.

මේවාත් බලන්න

[සංස්කරණය]

ජනකවි e-thaksalawa සංරක්ෂණය කළ පිටපත 2018-05-26 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=ජන_කවි&oldid=703812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි