චන්ද්‍රරත්න මානවසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

චන්ද්‍රරත්න මානවසිංහ යනු ශ්‍රී ලාංකික කවියෙකු හා රචකයෙකු වේ.ඔහු ඉතාමත් ශ්‍රෙශ්ට පුද්ගලයෙකි.

1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහු‍ගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.

අත්දැකීමක්

මිහිර පතා ආදරේ - ළපලු නටයි ගංතෙරේ

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ වගතුග සොයා ගිය ගමනක්

පනස් එක් වසරක් බඳු කෙටි කාලයක් ජීවත් වූ චන්ද්‍රරත්න මානවසිංහයන් කවියකු, පුවත්පත් කලාවේදියකු, ගීත නිබන්ධකයකු, පඩිවරයකු, සටන්කාමියකු, විචාරකයකු, කෙටිකතාකරුවෙකු,දේශකයකු, ජෝතිශ්‍රාස්ත්‍රඥයකු වූ ඔහුගේ දක්ෂකම් නිසා විස්මය දනවන පුද්ගලයකු බවට පත්විය.

රුහුණු රට බෙලිඅත්ත පුවක්දණ්ඩාවේ කඩවර වැව අසළ පංචථූපාරාමයට යාබදව වඅවගහව වත්තේ ඕබඩආරච්චි පරපුරට අයත් පවුලක් විසීය. එහි රූමත් දියණියන් දෙදෙනකුද විසීය. සූරියආරච්චි මොහොට්ටි නමින් හඳුන්වන බද්දෙගම හාමු කුඹුරු අස්වැන්න කපන කාලයේ කුඹුරු වපුරන කාලයේ කරත්ත වලින් ගමන් ගන්නා විට නවාතැන් ගත්තේ පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේය. ඔහුගේ ඇස ගැටුණු පන්සල ආසන්න වැවගාව වත්තේ විසූ පුංචි එතනා ඔබඩආරච්චි සමඟ විවාහ විය. ඔහු එම වත්තේ පදංචියට පැමිණිමත් සමඟ ගමේ අය එම වත්තට හාමුගෙවත්ත ලෙස ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තේය. එම යුවළට 1913 ජුනි 19 වන දින පුතකු උපන් අතර එම බිළිඳාට චන්ද්‍රරත්න දියෝස් සූරියආරච්චි මොහොට්ටි යන නම තබන ලදි. චන්ද්‍රරත්න දියෝස් සූරියආරච්චි මොහොට්ටි දරුවාට සුභ නැකතින් අකුරු කරවූයේ පුවක්දණ්ඩාවේ සාරානන්ද හිමි විසිනි. කුඩා කළ නිවස අසළ වැවෙහි ඉවුරු දෙකේ තිබූ පන්සල් දෙක වන පන්ථාරාමය හා පංචථූපාරාමය ඇසුරෙහි කල් ගෙවූ මේ කුඩා දරුවා බෙලිඅත්ත ශ්‍රී පන්ඥ්ඥානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් අකුරු කරවීය. කඩවර වැවට පැන දවසට දෙතුන් පාරක් නාන මේ චන්ද්‍රරත්න මානවසිංහයන් වැවේ එගොඩ මෙගොඩ පීනන්නටද දක්ෂයෙකි.

ඌරුබොක්කේ සරණංකර හිමි වෙතින් පැවිදි බව ලබා ගන්නා මේ චන්ද්‍රරත්න දරුවා වයස 12 පමණ වන විට පුවක්දණ්ඩාවේ චන්ද්‍රරත්න නමින් පැවිදිවියට ඇතුළත් විය. ඌරුබෙක්කේ සරණංකර හිමි ඇසුර නිසා කුඩාකළ සිට කවි පැබඳුමට දක්ෂයකු විය. පුවක්දණ්ඩාවේ සරණංකර හිමි වෙතින් ජෝතිෂ්‍ය දැනුමද ලබා ගන්නා ලදි.

කුඩා චන්ද්‍රරත්න හිමි ඉන් අනතුරුව කිරවෙහර රජමහා විහාරයේ වැඩ විසීය. ඒ වකානුවේ කිරවෙහෙර අයිතිය පිළිබඳව දෙපාර්ශවයක් අතර ගැටුමක් ඇතිවිය. ඒ පොළොම්මාරුවේ පියරතන හිමි පාර්ශවයේ පිරිස හා ආර්.එම්. කටුගහරටේ මහත්තයාගේ පාර්ශවය අතරයි. චන්ද්‍රරත්න පොඩි හාමුදුරුවන් සමඟ කිරිවෙහෙරට ගිය තවත් ගිහි පුද්ගලයකු විය. ඔහු පන්සල් අප්පුහාමි නොහොත් බයිසිකල් අප්පුහාමි නමින් හැඳින්විය. ඔහු තංගල්ල විහාරයේ වෙසෙමෙන් මන්ත්‍ර ගුරුකම් හා නැකැත් කටයුතු කරමින් සිටි නිසා පන්සල් අප්පුහාමි නම් විය. පිස්සු බලු රෝගය සුවකිරීමේ හැකියාවක් ද ඔහුට විය. ගමේ බයිසිකලයක් තිබූ එකම පුද්ගලයා ඔහු නිසා බයිසිකල් අප්පුහාමි නමින් ද හඳුන්වන ලදි.

දිනක් කිරිවෙහෙරේ අයිතිය පිලිබද දෙපාර්ශවය අතර අාරවුල නැවත ඇති විය. වෙඩි තැබීමක් සිදුවී මිනිසකු මිය ගියේය. තවත් පිරිසකට තුවාල සිදුවිය. කිරිවෙහෙරේ අයිතිය පතා කළ අරගලය මිණීමැරුමකින් කෙළවර විය. පුවක්දණ්ඩාවේ චන්ද්‍රරත්න කුඩා හිමි කැවිලි පාර්සලයක්ද සිවුරේ ඔතාගෙන පන්සලෙන් පළාගොස් සැඟවූණි. ඔහු සමඟ කිරිවෙහෙරට ආ පන්සල් අප්පුහාමි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන සිර භාරයේ තබන ලදි. චන්ද්‍රරතන හිමි අඳනය පිටින් පළායන විට මගදි හමුවූ ගැමියකුගේ ඇඳුමක් බලෙන් ඉල්ලා ඇඳගෙන පළාගියේය. මේ සිදුවීම සිදුවී ඇත්තේ 1933 1934 කළයේදීය. මිණීමැරීමේ නඩුවෙන් මරණීය දණ්ඩනය නියම වූ පන්සල් අප්පුහාමි පසුව හිරගෙදරින් පැන ගියේය. ඔහු අල්ලා දෙන කෙනෙකුට රුපියල් දහසක් දෙන බවට හැම තැනම දැන්වීම් ඇලවීය. ගිහිවූ චන්ද්‍රරත්න හිමි දඹුල්ලේ කඩයක වැඩ කරමින් සිටියදී හසුව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසුව නිදහස් විය. විජේසිංහ නැමැත්තකු පන්සල් අප්පුහාමි ගැන ඔත්තුවක් දීම නිසා ඔහු අල්ලා එල්ලා මරණ ලදි. පොළොම්මාරුවේ පියරතන හිමි විජේසිංහට වස්කවි කිවේය. පසුව විජේසිංහ පිස්සුවැටී තැනින් තැන ඇවිද මිය ගියේය.

කතරගිමින් නික්ම ගොස් සිටි චන්ද්‍රරත්න මානවසිංහ කොලුගැටයා දඹුල්ල විහාරයේ නැවතී සිටියේය. අහම්බෙන් දිනක් දඹුලු විහාරයේ චිත්‍ර බැලීමට පැමිණි මහා කවි බර්නාඩ් ෂෝ චන්ද්‍රරත්නයන්ට මුණගැසිණි. චන්ද්‍රරත්නන් පසුව අසල කඩයක වැඩකළේය. කඩය ඔහු නමින් ලියූ මුදලාලි හදිසියේ අසනීප වී මළේය. චන්ද්‍රරත්නයන් කඩය මුදලාලිගේ නැදෑයන්ට පවරා කොළඹ ආවේය. කොළඹ නගරයේ ගතකරමින් බේරේ වැවට පැන නාගත්තේය. මීගමුවේ අඟුරුකාරමුල්ලේ බෝධිරාමයට ගිය ඔහු විහාරාධිපති මිගමුවේ මේධංකර හිමි වෙතින් දෙවන වරටත් පැවිදි විය. පුවක්දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරතන ධම්මාලෝක තිස්ස නමින් හිමි නමින් ලක්මිණි පහනට ලිපි ලියන්නට විය. එකල එහි කර්තෘ මුනිදාස කුමාරතුංගයන්ය. ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 22ක් විය. බසුරථහිමියකු වූ ලොකු හාමුදුරුවන් හා ඇතිවූ ගැටුමක් නිසා සිවුරු හළ චන්ද්‍රරත්න මානවසිංහයන් අසළ කඩයක නවාතැන් ගත්තේය. චන්ද්‍රරත්නයන්ගේ වස්කවි නිසා හාමුදුරුවන්ගේ බස් ව්‍යාපාරය බංකොලෙත්වුවායැයි ගැටුමක්ද ඇතිවිය. එයට එරෙහිව පටන්ගත් පත්තරය පත්තරයයි “නීතිය”. 1937 දී නීතිය නමින් ඇරඹි මෙම පත්තරයේ එක් කලාපයක් ශත දෙකකි. අවුරුද්දක දායක මිළ රුපියල් 1.50කි මාස හයකට හත හැත්තෑපහකි. එතනින් පුවත්පත් ගිහි ජීවිතය ඔහු පටන් ගනී.

තිස්එක් හැවිරිදි චන්ද්‍රරතන මානවසිංහයන් සොළොස් හැවිරිදි ශ්‍රීමති වසන්තා කුමාරි හේවාකලුගමගේ මෙනවිය සමඟ 1944 ඔක්තෝබර් 27 දින විවාහ දිවියට ඇතුළත් විය. 1947 දුගි හඟ නැමති නාට්‍ය රචනා ගළේය. එහි සංගීතය සැපයූවේ ඩබ්.ඒ. ඇල්බට් පෙරේරා නමින් එකළ හැඳින්වූ අමරදේවයන් විසින්ය. හෙළදිව පුවත්පතට ලිපිද ලිවේය. චාරුමන්දා නමින් තීරු ලිපියක් ද හෙළ දිවට ලියුවේය. 1947 ඔක්තෝබර් 27 ලංකාදීප පුවත්පත පටන් ගත්තේය. එයද දොරට වඩින්නේ මානවසිංහයන් සැදු නැකතකටය. ලේක්හවුස් ආයතනයේ ඩී.ආර්. විජේවර්ධනයන් සමඟ ගැටුමකින් ඉවත්වන ඩී.බී.ධනපාලයන් මෙම ලංකාදීප පුවත් පත පටන් ගත්තේය. ඩී.බී.ධනපාලයන් ලංකාදීපයේ ජොතිශ්‍ය පලාපල පිළිබඳ තොරතුරු ලිවීම මානවසිංහයන්ට පැවරීය. දිනපතා ඔහුගේ පලාපල ලංකාදීපයේ පලවිය. එය ලිවේ හෛරෝ නමිනි. දිනමිණ හා ලංකාදීපය අතර ඇති වූ වාද වලදී ලංකාදීපයේ ලිපිවලින් ප්‍රහාර එල්ල කලේ මානවසිංහයන්ය. 1955 සූර්යග්‍රහණය දා ලංකාදීපය සිය පාඨකයන්ට වදකහ පෙවීම මුල්කරගෙන රටේ මහා ආන්දෝලනයක් ඇති විය. එකළ ලංකාදීපයට ‘වගතුග’ තීරු ලිපිය ලිවේ චන්ද්‍රරත්න මානවසිංහයන්ය. දිනමිණ පුවත් පත මේ සිද්ධිය මුල්කරගෙන ‘වදකහ’ නමින් තීරු ලිපියක් පටන් ගෙන වගතුගට පහර දෙන්න විය. මානවසිංහ ‘වදකහ’ තීරුව විවේචනය කරමින් වගතුගේ ලියුවේය. දිනපතා පත්තරයක තිරුලිපියකට වමනයත් පාචනයත් දෙකම තැවරුනු ‘වදකහ’ වැනි නමක් යොදා ගැනීම එම පත්තරයේ බංකොලොත්භාවය මනාව ඔප්පු වන බව කිවේය. දිනමිණෙහි වදකහ තීරුව එතනින් නතර විය. ‘වගතුග’ ලංකාදීපයෙහි 1947 සිට 1964 දක්වා මානවසිංහයන් ලියුවේය. මානවසිංහයන් ලියූ ගීත බොහෝය. 1956 බණ්ඩාරනායක මහතා බලයට පත්කිරීමට ලංකාදීපය හා එක්ව ක්‍රියා කලේය. 1964 සැප්තැම්බර් 28 වන දින ලංකාදීපයේ මුල් පිටුවේ ‘ලේඛකයාට බරපතලයි’ මැයෙන් චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සේයාරුවක් සමග ඔහු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පලවිය.

චන්ද්‍රරත්න මානවසිංහය් මියයන විට උදය මානවසිංහ, ප්‍රභාත් මනවසිංහ නමින් පුතුන් දෙදෙනෙක්ද , දයා ලක්ෂ්මී .මංජුලා, මධුපාණි, මීපා හා කිංකිණි යන නමින් දියණියන් පස් දෙනකි

රංජිත් අමරකිර්ති පළිහපිටියගේ

මූලාශ්‍ර ඇසුරෙන්.....නන්දික බැද්දේගම .....පුවක්දණ්ඩාවේ ඇතුළු ගම් චාරිකාවකින් පසු...


"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රරත්න_මානවසිංහ&oldid=429666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි