ගිම් මන් දොක්

විකිපීඩියා වෙතින්

ගිම් මන්-දොක් (1739 – 1812) නොහොත් "කිම් මන්-දොක්" යනු 18වන සියවසේ ජොසොන් රාජ්‍ය සමය තුල විසූ සුප්‍රසිද්ධ වෙළෙන්දියක් සහා ව්‍යාපාරික කාන්තාවකි. 18වන සියවස අගභාගයේ ඇය ජීවත්ව සිටි ජෙජු දූපත අවට ප්‍රදේශ වලට විශාල සාගතයක් ඇති වූ අතර මෙහිදී ඇය සිය ඉඩම් සියල්ල විකුණා දමා මිල දී ගත් සහල් දිවයිනේ සාගින්නෙන් පෙළෙන ජනතාව බේරා ගැනීම සදහා පරිත්‍යාග කරන ලදී. ඇය කොරියාවේ ප්‍රථම විධායක නිලධාරිනිය ලෙස සලකනු ලබයි.

උපත සහා ජීවන පසුබිම

වර්ෂ 1739 දකුණු කොරියාවේ ජේජු දූපතේදී ගිම් මන්-දොක් උපත ලැබිය. ඇගේ පියා වන ගිම් ඉයුන්-ග්යොල් යැංබෑන් සමාජ පංතියට අයත් හමුදා නිලධාරියෙකු විය. පියා දේශපාලන පිටුවහලෙක් වූ අතර ඇගේ මව එකල කොරියාවේ පහලම සමාජ පංතිය වූ යැංමින් සමාජ පංතියට අයත් කාන්තාවක් විය. මන් දොක් හට පිළිවලින් ගිම් මන්-ජේ හා ගිම් මන්-සියොක් නමින් වැඩිමහල් සහ බාල සහෝදරයන් දෙදෙනෙකු සිට ඇත.

එකල නීතියට අනුව අසමාන සමාජ පන්ති දෙකක පුද්ගලයන් දෙදෙනෙකු අතර විවාහයකදී,  ඔවුන්ට ලැබෙන දරුවන් පහළ සමාජ පන්තියට අයත් විය. මේ අනුව, මන් දොක් සහ ඇගේ සහෝදරයන් ඔවුන්ගේ මව මෙන් යැංමින් පන්තියට අයත් වූහ.

1750දී ඇගේ පියා නාජු වෙත ගොස් ආපසු එන අතරතුරදී කුණාටුවකට හසු වී මියගිය අතර සැමියා අහිමි වූ ශෝකය හේතුවෙන් ඇගේ මව ඊළඟ වසරේදී මිය ගියාය.

1751දී යන්තම් 12 හැවිරිදි වූ මන්-දොක්ව වෝල් ජන්ග්-සියොන් නම් ගිසෙං කාන්තාව විසින් හදාවඩා ගැනීමට භාරගනු ලබයි. එතැන් පටන් ඈ ගිසෙං තරුණියක ලෙස හැදී වැඩුණු අතර එහිදී ඇයට ගායනය, නර්තනය මෙන්ම අත්කම් කලාවද හැදෑරීමට සිදු විය. තවද මන්-දොක් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උනන්දුවක් දැක්වූ අතර අශ්වයන් පැදීමෙහිද දක්ෂයෙක් විය.

1650 වර්ෂයේ සිට ගිසෙං කතුන් රාජ්‍ය දේපලක් ලෙස සලකනු ලැබූ අතර ගිසෙංවරියක් වූ කාන්තාවකට එම තත්ත්වයෙන් නිදහස් වීමට රජයට විශාල මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදු විය. කෙසේ නමුත් වයස අවුරුදු 22 දී, මන්-දොක් ගිසෙං නාම ලේඛනයෙන් ඇගේ නම ඉවත් කර ඇගේ යැංමින් තත්ත්වය නැවත ලබා ගැනීමට සමත් විය.

පසුව ඇය වෙළඳුන් සඳහා තානායමක් විවෘත කළාය.එමෙන්ම වරාය කටයුතු සඳහා කොමිස් ඒජන්සියක් ආරම්භ කළ ඇය එකල හන්යං සහ ජෙජු අතර වෙළෙද අතරමැදියෙකු ලෙස ක්‍රියා කරමින් අශ්ව කෙඳි, මුහුදු පැලෑටි, ස්වර්ණාභරණ, ගව සම්, මුතු, රෙදිපිළි සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වැනි දේශීය නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීමට සමත් විය.

ප්‍රධාන සැපයුම්කරුවන් මාර්ගයෙන් ධාන්‍ය මිලදී ගත් ඇය ඒවා ජේජු ජනතාවට විකිණීම මගින් විශාල මුදල් ප්‍රමාණයක් එක්රැස් කරගත් අතර ක්‍රම ක්‍රමයෙන් දූපත තුළ සහල් සහ ලුණු ඒකාධිකාරය ලබා ගැනීමට ඇය සමත් විය. මින් විශාල ධනයක් රැස්කරගත් ඇය වයස අවුරුදු 50 වන විට ජොසොන්හි ධනවත්ම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු බවට පත් වීමට සමත් විය.

වර්ෂ 1792දී ජේජු දිවයින හා ඒ අවට ප්‍රදේශ වගා අසාර්ථකත්වය සහ ගංවතුර හේතුවෙන් සාගතයකට ගොදුරු විය. ඉන්පසුව වර්ෂ 1794 දී තද සුළං සහ ඒ හේතුවෙන් හටගත් වඩදිය තත්ත්වයන් නිසා ජේජු හී සාගත තත්ත්වය තවත් තවත් දරුණු අතට හැරුණි. ජේජු ආණ්ඩුකාරවරයා සහනාධාර ලෙස සහල් මලු 20,000ක් එවන ලෙස උසාවියට ​​පෙත්සමක් ඉදිරිපත් කළ නමුත් එවන ලද බෝට්ටු දොළහෙන් හතක් අතරමගදී විනාශ වූ අතර 170,000 පමණ ජේජු වැසියන් සාගින්නෙන් මිය ගියහ.

මන්-දොක් පසුව ඇගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන් සහල් ඇතුලු ධාන්‍ය ආනයනය කර බෙදා හැරීමට යෙදවූවාට. මින් සාගින්නෙන් පෙළුණු ජීවිත 18,000ක් පමණ බේරා ගැනීමට ඇය සමත් විය.

මන්-දොක්ගේ මෙම සද්ක්‍රියාව පිළිබඳව ජොසොන් රාජ්‍ය පුරා ඉක්මනින්ම පැතිර ගිය අතර, මෙය රාජසභාවේ අවධානයටද නතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස එවක රාජ්‍ය පාලකව සිටි ජොංජෝ රජු ඇයව ප්‍රශංසාවට ලක් කරමින් ඇයට අවශ්‍ය ඕනෑම වරයක් ලබා දෙන බව ප්‍රකාශ කළේය. මන්-දොක් හන්යංහි ප්‍රධාන මාලිගාව හා කුම්ගං කන්ද දැක බලා ගැනීමට අවස්ථාවක් ඉල්ලූ අතර රජු ඇගේ ඉල්ලීමට එකඟ විය.

එතෙක් ජේජු දූපතේ සිටින කාන්තාවන්ට අගනුවරට පැමිණීමට නොහැකි ලෙස වාරණ පනවා තිබූ නමුත්, එම නීතිය කඩ කර මන්දොක් කළ සේවය අගය කිරීම සදහා ඇයව මාලිගයට කැඳවීමට රජු අණ කළේය. එහිදී ඇයට ගෞරව වශයෙන් රාජ්‍ය ඖෂධහලේ ප්‍රධාන හෙද තනතුර රජු විසින් ලබා දෙන ලදී. 1797දී මන්-දොක් නැවත ජේජු වෙත පැමිණියාය.

මරණය සහා පසුකාලීන තොරතුරු

අවසාන කාලයේදී ඇය තමන් හදා වඩාගත් අනාථ දරුවකු වෙනුවෙන් සුළු මුදලක් ඉතිරි කර අන් සියලු ධනය දුප්පතුන් වෙනුවෙන් බෙදා හැරීමට කටයුතු කළාය.

මන්-දොක් වර්ෂ 1812දී මියගිය අතර මියයන විට ඇගේ වයස අවුරුදු 73ක් විය.

ඇගේ මරණින් පසු ඇයගේ සමකාලීනයෙක් මෙන්ම ප්‍රධාන රාජ්‍ය අමාත්‍යවරයෙකුද වූ චේ ජෙ-ගොං විසින් ගිම් මන්-දොක්ගේ ජීවන චරිතය අලලා මන්-දොක් ජියෝන් නමින් චරිතාපදාන කෘතියක් ලිව්වේය.

1978දී කිම් මන්-දොක් වෙනුවෙන් ස්මාරකයක් ද කෞතුකාගාරයක්ද ජේජු දූපතේ ඉදිවිය. එමෙන්ම ආහාර අවශ්‍යතා ඇති අය වෙනුවෙන් සහනාධාර සැපයීම සදහා ජේජුහී මන්-දොක් පදනම පිහිටුවීය.

තවද සෑම වසරකටම වරක්ම කොරියාව තුල සිටින ගෞරවනීය කාන්තාවන් දෙදෙනෙකුට කිම් මන්-දොක් සම්මානය පිරිනැමීම වත්මනදී සිදුවේ.

ටෙලිකතාකරණය සහා සිනමාකරණය තුළ නිරූපණය

2010 වර්ෂයේදී දකුණු කොරියාවේ KBS1 නාලිකාව විකාශය කල The Great Merchant රූපවාහිනි කතා මාලාව තුළ Lee Mi-yeon විසින් ගිම් මන්-දොක්ගේ චරිතය නිරූපණය කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ගිම්_මන්_දොක්&oldid=537366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි