කොරියාවේ රාජකීය බඳපටිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කොරියාවේ රාජකීය බඳපටිය
හංගුල්금제과대
හංජා金製과帶
සංශෝධිත රොමානුකරණයgeumje gwa dae
මෙකන්–රයිෂවර්kŭmje kwa tae

කොරියාවේ රත්රන් බඳපටි කිහිපයක්ම කැනීම් කටයුතුවල දී සෙයාගෙන ඇත. මේවා රාජකීයයන්ගේ සංකේතයක් වුව ද, රාජ්‍ය නිලධාරීන් විසින් ද සුළු බඳපටියක් පැළඳ තිබේ. මෙම බඳපටි සිල්ලා සහ බෙක්ජේ රජවරුන්ගේ මෙන්ම රැජිනියන්ගේ සහ සුළු වංශවතුන්ගේ සොහොන්ගැබ්වලින් හමුවී ඇත. සුළු බඳපටි ඒවායේ ප්‍රමාණය, භාවිත අමුද්‍රව්‍යය සහ වර්ණය අනුව වෙන්කර හඳුනාගත හැක. සියලුම රාජකීය බඳපටි එකම ආකෘතියකට අනුව නිමවා ඇත. රාජකීය බඳපටි එකිනෙක හා සම්බන්ධ පිරිසිදු රන් ලෝහ ඵලකවලින් යුක්ත අතර, ගොගොක් වැනි අංගවලින් ඒවා විසිතුරු කොට ඇත. ‍ඉහත පබළු වැනි අංගවල භාවිතය සහ ඒවායින් සංකේතවත් වන්නේ කුමක් ද යන්න තවමත් පැහැදිළිව හඳුනාගෙන නැත. බඳපටි පැළඳීමේ පිළිවෙත චීන සම්ප්‍රදායයන්ගෙන් උරුම වූවක් විය හැක.

සිල්ලා යුගයේ නිර්මිත රන් බඳපටියක්; කොරියාවේ ජාතික වස්තුව අං. 88
රජු සහ අගබිසව යන දෙදෙනාම රන් බඳපටි පැළඳ ඇත. අගබිසවගේ බඳපටියේ යෝපේ නැමැති ඕවලාකාර දාමය කැපී පෙනේ. රජුගේ බඳපටිය ගොගොක් සහ වෙනත් ආභරණවලින් විසිතුරු කොට ඇත.

ජාතික වස්තුව අං. 88[සංස්කරණය]

ග්‍යුම්ග්වන්චොං ග්වාදේ මිත් යොපේ (හංගුල්: 금제과대; හන්ජා: 金製과帶) (ග්‍යුම්ග්වන්චොංවලින් හමුවූ බඳපටිය සහ තැලි) 1962 දෙසැම්බර් 20 දින 88වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කරන ලදී.[1] මෙම බඳපටිය හමුවූයේ සිල්ලා සම්භවයක් සහිත රන් කිරුළු සොහොන්ගැබෙනි. වර්තමානයේ මෙය ග්යොංජු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ජාතික වස්තුව අං. 190[සංස්කරණය]

චොන්මාචොං ග්‍යුම්ජේ ග්වාදේ (හංගුල්: 천마총금제과대; හන්ජා: 天馬塚金製과帶) (චොන්මාචොංවලින් හමුවූ රන් බඳපටිය සහ තැලි) හමුවූයේ දිව්‍යමය අශ්ව සොහොන්ගැබේ කැනීම්වලිනි. 1978 දෙසැම්බර් 7 දින මෙය කොරියාවේ 190වන ජාතික වස්තුව ලෙස නම්කෙරිණි.[2] මෙම බඳපටිය ද ග්යොංජු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙයට සිල්ලා සම්භවයක් ඇත.

රත්රන් බඳපටිය සෙන්ටිමීටර 125කදිගින් යුතු අතර, එය නිර්මාණය කොට ඇත්තේ ඍජුකෝණාස්‍රාකාර ලෝහ ගාංචු 44කිනි. සම් හෝ ලෝහ වළලු භාවිතයෙන් බඳපටියේ ඇති සිදුරු නවය එකිනෙක සම්බන්ධ කොට තිබිණි. බඳපටියෙන් එල්ලෙන විසිතුරු අංග ගණනාවකි. මෙම අංගවල සංකේතාත්මක අර්ථය මෙතෙක් හඳුනාගෙන නැත. කෙසේනමුත්, යේගි ග්‍රන්ථය අනුව මෙම අංග චීන සම්ප්‍රදායයන්ගේ බාහිරාලංකාරය පිණිස යෙදෙන්නට ඇත. බඳපටියේ විසිතුරු අංග අතරට, කොමා-හැඩැති ජේඩ් ගොගොක්, කුඩා පිහියක්, ඖෂධ කොපුවක්, රෝද ගලක්, ගිනිගලක් සහ කුඩා අඬු ද දැනගත හැක. මෙම අංග චීන සම්ප්‍රදාය අනුව මුතුන්මිත්තන් පිදීමේ චාරිත්‍ර සඳහා භාවිතා වූ දෑ සමග ගැළපේ. බඳපටියේ දකුණු පසින් එල්ලා වැටෙන අංග අතරට දුනු විදීමේ දී භාවිතා වූ මහපටැඟිල්ලෙහි පැළඳි අස්ථිමය උපාංගයක්, දුනු දිය එල්ලීමට යොදාගත් උපාංගයක් සහ සරාවක් ද විය.

බඳපටියෙහි අමුණා ඇති යෝපේ සෙන්ටිමීටර 22.5 සිට 73.5 දක්වා දිගින් යුක්ත විය. මෙම ආභරණය ඕවලාකාර සහ චතුරස්‍රාකාර රන් ඵලක දහතුනකින් යුත් දාමයක් ලෙස පවතී.

බඳපටිය සහ යොපේ යන අංග දෙකම දිව්‍යමය අශ්ව සොහොන්ගැබෙහි මෘතදේහයේ ඉණෙහි සම්බන්ධ කොට ඇත.

ජාතික වස්තුව අං. 192[සංස්කරණය]

ග්‍යුම්ජේග්වදේ (හංගුල්: 금제과대; හන්ජා: 金製과帶) (අං. 98 සොහොන් ගොඩැල්ලේ උතුරු ගොඩැල්ලෙන් හමුවූ රන් බඳ පටිය සහ තැලි) 1978 දෙසැම්බර් 7 දින කොරියාවේ 192වන ජාතික වස්තුව ලෙස නම්කෙරිණි.

මෙම බඳපටිය සෙන්ටිමීටර 120ක දිගින් යුක්ත ය. පිරිසිදු රනින් නිමවා ඇති මෙය එකිනෙක හා සම්බන්ධ කළ ඍජුකෝණාස්‍ර ලෝහ ගාංචු 28කින් සමන්විත ය. ජාතික වස්තුව අං. 120 මෙන්ම, මෙම බඳපටියෙහි ද වම්පස විසිතුරු අංග ගණනාවක් වේ. ඒ අතරට කොමා-හැඩැති ජේඩ් පබළු, පිහියක්, ඖෂධ මංජුසාවක්, රෝදගලක්, ගිනිගලක් සහ කුඩා අඬුවක් ද වේ. චාරිත්‍ර පිළිබඳ සඳහන් යේගි ග්‍රන්ථය අනුව, මේවා මුතුන්මිත්තන් පිදීමේ උපාංග සමග ගැළපේ. දකුණෙහි බඳපටියෙහි වූ අංග අතර දුනු විදීමේ දී මහපටැඟිල්ලෙහි පැළඳි අස්ථිමය උපාංගයක්, දුනු දිය එල්ලීමට යොදාගත් උපාංගයක් සහ සරාවක් ද දැකගත හැක.

මෙම බඳපටිය සමග යොපේ නම් රන් දම්වැලක් ද හමුවූ අතර,එය ඕවලාකාර සහ ඍජුකෝණාස්‍රාකාර ලෝහ ඵලක 13කින් යුතුව නිර්මාණය වූ අතර, බඳපටියට අසව් කොට තිබිණි. මෙය සෙන්ටිමීටර 22.5 සිට 73.5 පමණ දක්වා දිගින් යුතු ය. මෙම යොපේ අංගය වැදගත් වන්නේ එමගින් බඳපටිය පැළඳි ආකාරය සහ භාවිත වූ ආකාරය පිළිබඳ ඉඟියක් සපයන හෙයිනි.

හ්වංනම්දේචොං යනුවෙන් හැඳින්වෙන සොහොන් අං. 98 මිචුවංන්‍යොං දිස්ත්‍රික්කයේ වූ පුරාතන සොහොන් සංකීර්ණයේ කොටසක් වූ අතර, සිල්ලා රාජවංශ සමයේ නිර්මිත විශාලතම සොහොන ද එය වේ. (මිචු රජුගේ සොහොන්ගැබ, සිල්ලා රාජවංශය) මෙම සොහොන්ගැබ ක්‍රි.ව. 688ට පෙර එනම්, සිල්ලාව එක්සත් කිරීමට පෙර යුගයක දී ඉදි වන්නට ඇතැයි කාලනිර්ණය කොට ඇත. මෙම ‍සොහොන් ගොඩැල්ල 1973දී වරක් සහ 1975දී තවත් වරක් ලෙස දෙවරක් කැනීම් කටයුතුවලට භාජනය විය. නැගෙනහිර-බටහිර අක්ෂය ඔස්සේ එහි විෂ්කම්භය මීටර 80ක් වන අතර, උතුරු-දකුණු අක්ෂය ඔස්සේ විෂ්කම්භය මීටර 120කි. ද්විත්ව ගොඩැල්ලක් වන මෙය වට්ටක්කා හැඩැති ය. මෙහි උතුරු සහ දකුණු සොහොන්ගැබේ භූමදානය කළ පුද්ගලයින් පිළිබඳ විශේෂිත මතභේදයක් පවතියි. මෙම සොහොන්ගැබෙන් හමුවූ බඳපටිය සිල්ලා රාජ්‍ය කරන රැජිනකට අයත් යැයි විශ්වාස කෙරෙන්නේ සොහොන්ගැබෙන් හමුවූ ඵලකය මගින් එය කාන්තාවකට අයත් බව සංකේතවත් වන හෙයිනි. කෙසේනමුත්, සොහොන්ගැබ අයත් කාල පරාසය සමග කිසිදු සිල්ලා රැජිනිය‍කගේ රාජ්‍ය සමයයන් නොසැස‍ඳෙන හෙයින් උතුරු සහ දකුණු ගොඩැල්ලෙහි භූමදානය කළ පුද්ගලයාගේ අනන්‍යතාව සහ ලිංගය පිළිබඳ තවමත් වාද විවාද පවතී.

වස්තුව අං. 629[සංස්කරණය]

ග්‍යුම්ජේග්වදේමිත්යොපේ (හංගුල්: 금제과대; හන්ජා: 金製과帶) (අං. 98 සොහොනෙහි දකුණු ගොඩැල්ලෙන් හමුවූ රන් බඳපටිය සහ තැලි) යනු අං.‍ 98 සොහොනෙහි දකුණු ගොඩැල්ලෙන් හමුවූ සුළු රන් බඳපටියකි. මෙය වර්තමානයේ ග්යොංජු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙය ද සිල්ලා නිමැවුමකි.

මෙම බඳපටියේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 99කි. කෙටි බඳ ඵලකය සෙන්ටිමීටර 18 සිට 22 දක්වා දිගින් යුතු අතර, දිගු බඳ ඵලකය සෙන්ටිමීටර 79.5ක දිගින් යුක්ත ය. සෙසු කොරියානු බඳපටි මෙන්ම මෙම බඳ පටි ද, සමචතුරස්‍ර ඵලකවලින් තනා ඇත. මෙම බඳ පටියෙහි කැටයම් දැකගත හැකි අතර, එහි පත්‍රාකාර මෝස්තර 34ක් අන්තර්ගත ය. බඳපටියෙහි අන්තර්ගත වන්නේ එල්ලෙන විසිතුරු දාම හතක් පමණි. ඉන් සයක් බඳපටියට ආසන්නව ඒලලා වැටෙන අතර, යොපේ නැමැති දිගැති දාමය පහළට දිවෙයි. කෙටි දාමවල මත්ස්‍ය සංකේතයක් සහ කොමා-හැඩැති පබළු (ගොගොක්) තුනක් දක්නට ලැබේ. මෙම බඳපටියේ දෙකෙළවරම ගාංචු ඇති හෙයින්, සෙසු රන් බඳපටිවලින් සුවිශේෂී වේ. සොහොන් අං. 98හි උතුරු ගොඩැල්ලෙන් හමුවූ බඳපටිය තරම් උසස් නොවන මෙය සිල්ලාවේ රජකු හෝ රැජිනක විසින් පැළඳි ආභරණයක් නොවේ යැයි විශ්වාස කෙරේ.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "National Treasure (국보 國寶)" (in Korean). Empas/EncyKorea. Retrieved 2008-04-14.CS1 maint: unrecognized language (link)
  2. "Heritage classification". Cultural Heritage Administration.

බාහිර සබැඳි[සංස්කරණය]